එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවේ බහුවිධ සමාජ ව්‍යසනයන් හෙලි කරයි

[මෙය UN report reveals multidimensional social catastrophe in Sri Lanka යන මැයෙන් 2023 සැප්තැම්බර් 08 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සැප්තැම්බර් 1 වැනිදා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (එජාසංවැ), එහි බහුවිධ අවදානම් අවබෝධතා: ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම පිලිබඳ වාර්තාව නිකුත් කලේය.

2022 නොවැම්බර් සහ මේ වසරේ මාර්තු අතර කුටුම්භ 25,000 ක් අලලා සිදු කරන ලද පුලුල් සමීක්ෂනය, ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදයේ සහ වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත්වල විනාශකාරී බලපෑම හෙලිදරව් කරයි.

2023 ජුනි 26 වැනි දින නුවරඑලියේ දී, අස්වැසුම සහනාධාර ගෙවීම් ඉල්ලා සිටිමින් විරෝධතා දක්වන කාන්තාවෝ [ඡායාරූපය: ෆේස්බුක්] [Photo: Facebook]

වාර්තාව මගින් ජීවන තත්වයන්, සෞඛ්‍ය, ආපදා සහ අධ්‍යාපනය පිලිබඳව විමර්ශනය කර ඇත. මේවා, නය තත්වය, ශාරීරික සෞඛ්‍ය තත්වය, ආහාර තොග, රැකියා තත්වය, වත්කම් අයිතිය, පාසල් පැමිනීම සහ ජල මූලාශ්‍ර ඇතුලු දර්ශක 12 කට බෙදා ඇත. දල වශයෙන් මිලියන 12.34 ක ජනතාවක් ඒනම්, මිලියන 22.16 ක් වන ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 55.7 ක් “බහුවිධ අවදානම්වලට ලක්විය හැකි” බව එය අනාවරනය කලේය.

මෙම අත්‍යසාමාන්‍ය සංඛ්‍යා පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි මහජන නැගිටීම, වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව වැඩෙන විරෝධය සහ වැඩෙන කම්කරු පන්ති අරගල සංඛ්‍යාවට තුඩු දුන් සමාජ සාධකයන් ය.

වාර්තාවට අනුව, බහුවිධ අවදානමට වැඩිම දායකත්වය සපයන්නේ ගෘහස්ථ නය වන අතර, ජනගහනයෙන් සියයට 33.4 ක් මෙම සාධකය නිසා ඇති වන සමාජ අහිමිවීම් අත්විඳිති. 2022 දී සමස්ත ජාතික දරිද්‍රතාවය සියයට 25 දක්වා දෙගුනයකින් වැඩි වූ අතර නාගරික දරිද්‍රතාවය සියයට 15 දක්වා තුන් ගුනයකින් වැඩි විය.

2022 දී, ජාමූඅ පියවරයන් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.8 කින් හැකිලී ගොස්, ප්‍රධාන වශයෙන් නාගරික ප්‍රදේශ පදනම් වූ ඉදිකිරීම්, ප්‍රවාහන, ආහාර සහ නවාතැන් ක්ෂේත්‍රවල රැකියා මිලියන භාගයක් විනාශ විය.

'ඔවුන්ගේ අභියෝගාත්මක තත්වයන්ට ප්‍රතිචාර වශයෙන් පුද්ගලයන් විවිධ ක්‍රමෝපායන්' අනුගමනය කරන බව බහුවිධ අවදානම් සමීක්ෂනයෙන් සොයාගෙන ඇත. “ස්වර්නාභරන උකස් කිරීම, මිතුරන්ගෙන් සහ නෑදෑයන්ගෙන් නයට ගැනීම, අමතර වැඩ කිරීම, ආහාර වේලවල ප්‍රමානය අඩු කිරීම, නයට ආහාර මිල දී ගැනීම සහ ආහාර වේල් මඟ හැරීම පවා” මේවාට ඇතුලත් ය.

ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 60 ක් තරම් විශාල ප්‍රමානයක්, මිල අඩු ආහාර විකල්ප වෙත යොමු වීම හේතුවෙන් තම පෝෂන ප්‍රමානය අඩු වෙමින් තිබේ. “සියයට 30.8 ක් පමන, යැපියහැකි කාලය දිගු කිරීම සඳහා අනුභව කරන ආහාර කොටස අඩු කිරීමට තීරනය කර ඇති අතර දල වශයෙන් සියයට 20.9 ක් එම අරමුන සඳහා දෛනික ආහාර වේල් ගනන සීමා කර තිබේ. සියයට 19.5 ක් පමන නය මත ආහාර මිලදී ගැනීමට යොමු ව ඇත. ශ්‍රී ලාංකිකයින්ගෙන් තවත් සියයට 3 ක් ඔවුන් මුහුන දෙන වාතාවරනය නිසා දින ගනන් ආහාර වේල් මඟහරින බවට” සමීක්ෂනය පෙන්වා දෙයි.

විරෝධතාකරුවෝ 2023 ජූනි 26 වැනි දින නුවරඑලියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලට බලෙන් ඇතුලු වෙමින් [ඡායාරූපය: ෆේස්බුක්] [Photo: Facebook]

තවදුරටත් අදහස් දක්වමින් වාර්තාව පවසා සිටියේ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අධික මිල යනු, තව තවත් පවුල් “මන්දපෝෂනයට, දුර්වල සෞඛ්‍ය තත්වයන්ට සහ දරිද්‍රතාවයේ විෂම චක්‍රයට ඇදවැටීමේ අවදානමට ලක්ව ඇති බවත්, එය දිගුකාලීනව, මානව ප්‍රාග්ධන සංවර්ධනය අඩුවීමට සහ සෞඛ්‍යමය දුර්වලතාවයන්ට හේතු වන බවත්‍ය.'

මෙය “මානව ප්‍රාග්ධනයට” දිගුකාලීන බලපෑමක් ඇති කරනු ඇති බවට—එනම්, මහා ව්‍යාපාරිකයන්ට සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට ලාභ උත්පාදනය කිරීමේදී අවදානමක් විය හැකි බවට වාර්තාව අනතුරු ඇඟවීය.

බහුවිධ අවදානම් සඳහා දෙවන විශාලතම දායකත්වය සපන්නේ, “දේශගුනික අවදානම් වේගවත් වීම” මගින් දැන් උග්‍ර වී ඇති, “ආපදා සමඟ කටයුතු කිරීමට හැඩගැසීමේ හැකියාව” අඩු වීම බව එජාසංවැ පැවසීය.

ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසකට දේශගුනයෙන් විය හැකි ආපදාවන්ට මුහුන දීමේ සූදානමක් නොමැති බවට එය අනතුරු ඇඟවීය. ඔවුන්ගේ ජීවනෝපායට හානි සිදුවීම, “අවදානමට ලක්වන ප්‍රජාවන් අතර නයගැතිභාවය, ආහාර අනාරක්ෂිතභාවය සහ මන්දපෝෂනය ඇති වීමටත්, ඒවාට අනුගත වීමට සහ ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව ඛාදනය වීමටත්” හේතු වේ.

ශ්‍රී ලංකාව 'දේශගුනික විපර්යාසවල බලපෑමට—විශේෂයෙන්, මුහුදු මට්ටම ඉහල යාම, උෂ්නත්වය ඉහල යාම, වර්ෂාපතන රටා වෙනස් වීම සහ ගංවතුර, කුනාටු සහ නියඟ වැනි ආන්තික සිදුවීම් තීව්‍ර වීම වැනි බලපෑම්වලට බෙහෙවින් ගොදුරු වේ.'

කෘෂිකාර්මික කම්කරුවන් සහ ස්වභාවික සම්පත් මත යැපෙන අනෙකුත් අය වඩ වඩාත් දරුනු හා නිරන්තර කාලගුනික තත්වයන් නිසා දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර අනෙකුත් අංශ හා සසඳන විට ඉහල දරිද්‍රතා අනුපාත අත්විඳින බව සමීක්ෂනය පෙන්වා දෙයි.

සමීක්ෂනය “ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය ම අතර අධ්‍යාපන මට්ටම් ඉහල නැංවීම සඳහා මූලික මැදිහත්වීම්” ඉල්ලා සිටින අතර, කොවිඩ්-19 වසංගතයේ පලමු වසර දෙක තුල ආර්ථික කැලඹීමෙන් සහ පාසල් සම්පූර්නයෙන් හෝ අර්ධ වශයෙන් වසා දැමීමෙන් සමස්ත අධ්‍යාපන පද්ධතියම 2022 දී පසුබෑමට ලක්ව ඇති බව පවසයි.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 35 කට වැඩි ප්‍රමානයකට ජලය අහිමි වී ඇති හෝ අවදානමට ලක්විය හැකි බව සමීක්ෂනය පවසයි. 'පිරිසිදු ජලය සඳහා විශ්වාසදායක ප්‍රවේශයක් නොමැතිකම අවදානමට ප්‍රබල ලෙස දායක වේ' යනුවෙන් සමීක්ෂනය වැඩිදුරටත් සඳහන් කලේය. මේ හිඟය ඇති කර තිබෙන්නේ ලංකාවේ බලයට පත් වූ ආන්ඩු විසිනි.

සැප්තැම්බර් 8දා වාර්තාව එලිදක්වමින් එජාසංවැ ශ්‍රී ලංකා නියෝජිත අසුසා කුබෝටා කියා සිටියේ, සමීක්ෂනය, ශ්‍රී ලාංකික ජනතාව මුහුන දෙන සැබෑ ප්‍රශ්න දක්වා ගැඹුරින් කිමිදීමට ප්‍රතිපත්ති සහ තීරන ගන්නන්ට බල කල යුතු බවයි.

එහෙත් කුබෝටාගේ ආයාචනාවලට පටහැනිව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ආන්ඩුව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ජීවිත හා කොන්දේසි මත සමාජ ප්‍රහාර ගැඹුරු කරන ජාමූඅ කප්පාදු පියවර නිර්දය ලෙස ක්‍රියාත්මක කරමින් සිටී.

2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, දැඩි කොන්දේසි සහිතව ශ්‍රී ලංකා රජයට ඩොලර් බිලියන 3 ක ඇපදීමේ නයක් අනුමත කලේය. රාජ්‍ය සතු ව්‍යවසාය (රසව්‍ය) 430 පෞද්ගලීකරනය/ප්‍රතිව්‍යුහගත කිරීම, රැකියා දස දහස් ගනනක් විනාශ කිරීම සහ ඉතිරිව ඇති සහනාධාර සේවා ඉවත් කිරීම මේවාට ඇතුලත් වේ.

සෞඛ්‍ය, අධ්‍යාපනය, යැපුම් කෘෂිකර්මය සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා වන රාජ්‍ය අරමුදල් දැනටමත් දංගෙඩිය මත තබා ඇත. භාන්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, අඟහරුවාදා පැවති “රසව්‍ය ප්‍රතිසංස්කරන: අභියෝග සහ අවස්ථා” සම්මන්ත්‍රනයේදී පැවසුවේ සමාජ සේවා සඳහා අරමුදල් නොමැති බවත්, ආන්ඩුවට “[වඩා කාර්යක්ෂම] රසව්‍ය වලින් වැඩි බදු ආදායමක් හෝ ලාභාංශයක් අවශ්‍ය” බවත්‍ය.

ශ්‍රී ලංකාවේ නිල උද්ධමන අනුපාතිකය අගෝස්තු මාසයේදී සියයට හතරක් වූ අතර, රුපියල පහත වැටීම සහ ආනයන වියදම් ඉහල යාමත් සමඟ ආහාර, ඉන්ධන, ජලය, පිසින ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අඛන්ඩව ඉහල යයි.

වැඩකරන ජනතාව මත පනවා ඇති සෘජු හා වක්‍ර බදු කොඳු කැඩෙන මට්ටම් දක්වා ඉහල නංවා ඇති අතර, ආන්ඩුවේ දේශීය නය පහත හෙලීම සඳහා කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් පැහැර ගනී. වික‍්‍රමසිංහ ආන්ඩුව නව කම්කරු නීති පැනවීමට ද සූදානම් වෙමින් සිටී. සීමිත නමුත් දැඩි අරගලයකින් දිනාගත් අත්‍යාවශ්‍ය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වැඩිවන මහා ව්‍යාපාරික ආයෝජනවලට පහසුකම් සැලසීම සඳහා අතුගා දමනු ඇත.

රාජපක්ෂ පවුල විසින් පාලනය කරනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පිටුබලය ඇතිව, වික්‍රමසිංහ තන්ත‍්‍රය ජාමූඅ නියෝග ක්‍රියාත්මක කරමින් සිටී. සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන, (ජවිපෙ), මෙන්ම ව්‍යාජ වම්මු සහ වෘත්තීය සමිති ද ඇතුලු ශ්‍රී ලංකාවේ ඊනියා විරුද්ධ පක්ෂ ජාමූඅ ඉල්ලීම් මුලුමනින්ම අනුමත කරමින් ධනේශ්වර ලාභ ආරක්ෂා කරති.

කම්කරු පන්තියට දරුනු වන සමාජ ව්‍යසනය ජයගත හැකි සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය වෙනුවෙන් ක්‍රියා කරන ආන්ඩුවේ ප්‍රහාර පරාජය කල හැකි එකම මාර්ගය වන්නේ, එහි ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග සන්ධානගතව, තම ස්වාධීන දේශපාලන ශක්තිය බලමුලු ගැන්වීම සහ ඒ සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වැදීමයි.

එවැනි වැඩපිලිවෙලකට, සියලුම විදේශ නය ප්‍රතික්ෂේප කිරීම, බැංකු සහ වතු ඇතුලු මහා ව්‍යාපාරික සමූහ ජනසතු කිරීම සහ ඒවා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කිරීම ඇතුලත් වේ. ලාභ සඳහා නොව, සමාජ අවශ්‍යතා අනුව නිෂ්පාදනය සංවිධානය කිරීම සහ මහා දරිද්‍රතාවය සහ සාගින්නෙන් මිදීම සඳහා සුපිරි ධනවතුන්ගේ ධනය අත්පත් කර ගැනීම සහ යලි බෙදා හැරීම ද මෙයට ඇතුලත් වේ.

මේ මාවතේ ඉදිරියට යාමට නම් කම්කරුවන්ට වෘත්තීය සමිති හා සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, සෑම සේවා ස්ථානයකම සහ කම්කරු පන්තියේ අසල්වැසි ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවීම අවශ්‍ය වේ.

මෙම ප්‍රයත්නයේදී අවශ්‍ය සහාය සහ දේශපාලන නායකත්වය සපයන සමාජවාදී සමානතා පක්ෂය (සසප), මෙම අරගලය පෙරට ගෙන යාමට කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සටන් වදියි. ක්‍රියාකාරී කමිටු නියෝජිතයන්ගෙන් සමන්විත එවැනි සම්මේලනයක් අවශ්‍ය වන්නේ, මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීමටය.

Loading