[මෙය After failure of Ukraine’s “spring offensive,” US-NATO escalate war against Russia යන මැයෙන් 2023 සැප්තැම්බර් 18 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයට සහයෝගය බලමුලු ගැන්වීමේ උත්සාහයක් ලෙස, අඟහරුවාදා (19), යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නිව් යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය අමතනු ඇත.
ඔවුන්ගේ කතා පවත්වන්නේ, දහස් ගනන් යුක්‍රේන හමුදා සෙබලුන් අහිමි වුව ද සැලකිය යුතු භෞමික ජයග්‍රහන ලබා නැති, යුක්‍රේනයේ “වසන්ත ප්‍රහාරය” අසාර්ථක වීමෙන් පසු ව ය. පසුගිය මාසයේ රටේ ආරක්ෂක ඇමති ඔලෙක්සි රෙස්නිකොව් නෙරපා හැරීමෙන් පසු ව, සෙලෙන්ස්කිගේ ආන්ඩුව එහි සියලු ම නියෝජ්‍ය ආරක්ෂක ඇමතීන් තනතුරුවලින් පහ කල බව සඳුදා නිවේදනය කලේ ය.
අර්බුදයේ සහ මංමුලාවේ සන්දර්භයට තවත් එකතු කිරීමක් කරමින්, සෙලෙන්ස්කි එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිනීමට යන්තම් දිනකට පෙර, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවක් ප්‍රකාශ කලේ, සැප්තැම්බර් 6 දා අවම වශයෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු මරා දමමින් යුක්‍රේන වෙලඳපොලකට එල්ල කල මිසයිල ප්‍රහාරය රුසියානු “ත්‍රස්තවාදීන්” හිතාමතා කල සංහාරයක් බවට වන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි. ඒ වෙනුවට ටයිම්ස් වාර්තා කලේ, මෙම ව්‍යසනය, අහම්බෙන් සිදු වූයේ යැයි කියනු ලබන යුක්‍රේන මිසයිල ප්‍රහාරයක ප්‍රතිඵලයක් බව යි—එය රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යුක්‍රේනයට පැමිනීමට නියමිත දිනට ම සිදුවීම සැක කටයුතු විය.
යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශයේ සියලු ප්‍රමුඛ නිලධාරීන් සමූහ වශයෙන් නෙරපා හැරීම ප්‍රති-ප්‍රහාරය අසාර්ථක වූ බවට විවෘත පිලිගැනීමකි. හදිසි සාකච්ඡා සඳහා සෙලෙන්ස්කි වොෂින්ටනයට පියාසර කරමින් සිටියි. බයිඩන් පරිපාලනය මිලිටරි පසුබෑමට ප්‍රතිචාර දක්වන්නේ යුද්ධය උත්සන්න කිරීම මගින් බව පැහැදිලිය. දැනටමත් වෙන් කර ඇති ඩොලර් බිලියන 150 කට වැඩි ප්‍රමානයට තවත් ඩොලර් බිලියන 21ක් එකතු කරමින් යුක්‍රේනයට ආයුධ සහ ආධාර ලබා දෙන ලෙස එය කොංග්‍රසයෙන් ඉල්ලා සිටී. රුසියානු භූමියේ ඈත ප්‍රදේශ වලට පහර දිය හැකි දිගු-දුර මිසයිල යැවීමට ද එය පියවර ගනිමින් සිටී.
එක්සත් ජනපද මාධ්‍ය ආවරනයන් රුසියාවට එරෙහි විවෘත යුද්ධයේ භාෂාව වඩ වඩාත් සෘජු ව භාවිතා කරයි. “රුසියානු ආර්ථිකයට එරෙහි ව මූල්‍ය යුද්ධය ගෙන යන්නේ කෙසේ ද” යනුවෙන් වොෂින්ටන් පෝස්ට් හි කතුවැකියක් ලියැවුනි.
ඇමරිකාවේ ප්‍රමුඛ යුද ප්‍රචාරකයෙකු වන නිව් යෝර්ක් ටයිම්ස් හි තෝමස් ෆ්‍රීඩ්මන්, සිකුරාදා දිනයේ දී පල වූ කතුවැකියකින්, ඍජු මැදිහත් වීමකට එරෙහි ව ඉතිරි ව ඇති සියලු සීමා ඉක්මනින්ම ඉවත් කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ ය. “යුක්‍රේනය පුටින්ගේ හමුදාවට හැකි තරම් ඉක්මනින්, හැකි තරම් විශාල හානි සිදු කල යුතුය,” යනුවෙන් ෆ්‍රීඩ්මන් ලිවී ය.
“එයින් අදහස් කරන්නේ, රටේ ගිනිකොන දෙසට පුටින්ගේ මායිම් බිඳ දැමීම සඳහා යුක්‍රේනයට අවශ්‍ය ආයුධ දැවැන්ත ලෙස හා වේගයෙන් ලබා දිය යුතු බවයි. මම මේ කතා කරන්නේ සෑම දෙයක්ම: F-16 ප්‍රහාරක ජෙට් යානා ...; රුසියානු මායිම් වලින් බොහෝ ඈතට පහර දිය හැකි MGM-140 යුධ උපායික මිසයිල පද්ධති—යුක්‍රේනියානුවන්ට ඵලදායී ව හා ඉක්මනින් භාවිතා කල හැකි ඕනෑ ම දෙයක්.”
ෆ්‍රීඩ්මන් අවසන් කලේ “යුක්තිය ඉටුවීමට නම් සෑම විට ම පාහේ ආක්‍රමනිකයා පූර්න ලෙස පරාජය කර යටත් කර ගැනීම අවශ්‍ය වේ” යනුවෙනි.
වොෂින්ටනයේ අරමුනු විවෘත ව හෙලි කරමින් ෆ්‍රීඩ්මන් ප්‍රකාශ කලේ, “යුක්‍රේනය යනු බටහිරට තීරනාත්මක රටකි.” මක්නිසාද යත්, එය “යම් දිනක යුක්‍රේනය යුරෝපීය සංගමයට හා නැටෝවට ඒකාග්‍ර වීම, බර්ලින් තාප්පය බිඳ වැටීම හා ජර්මානු එක්සත් කිරීම පරයා හැකි බල පෙරලියක් විය හැකි” බැවිනි.
පසු ගිය සතියේ රොයිටර් පුවත් සේවය වාර්තා කලේ, රුසියානු මායිම් වල සිට සැතපුම් සිය ගනනක් ඇතුලට පහර දිය හැකි දිගු-දුර ඒටීඒසීඑම්එස් මිසයිල යුක්‍රේනයට යැවීමට බයිඩන් පරිපාලනය සූදානම් වෙමින් සිටින බවත්, රුසියානු අගනුවර වන මොස්කව් නගරය පවා නැටෝ ආයුධවල ප්‍රහාරයට ලක්වීමේ අවදානමක් පවතින බවත් ය.
සිකුරාදා, රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් පිරිසක්, ඒටීඒසීඑම්එස් මිසයිල පද්ධතියක් යුක්‍රේනයට යැවීමට බයිඩන් පරිපාලනයෙන් ඉල්ලා සිටිමින් ප්‍රකාශයක් නිකුත් කලහ.
“MGM-140 හමුදා උපායික මිසයිල පද්ධති (ඒටීඒසීඑම්එස්) වහාම යුක්‍රේනයට යවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් සෙනෙට් සභිකයෝ ලිවීය. “තව තවත් ප්‍රමාද වීම එක්සත් ජනපදයේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතා තව දුරටත් අඩපන කරනු ඇති අතර මෙම ගැටුම දීර්ඝ කරනු ඇත.”
ඔවුන් තවදුරටත් කියා සිටියේ, “බ්‍රිතාන්‍ය ස්ටෝම් ෂැඩෝ දිගු-දුර ආයුධ භාවිතා කරමින් සෙවස්ටොපෝල් නාවික වරායට මෑත දී එල්ල කල යුක්‍රේනියානු ප්‍රහාරය එවැනි ආයුධවල යුධ පිටියේ කාර්යක්ෂමතාවය පෙන්නුම් කරන,” බවයි.
ලිපියේ සඳහන් වූයේ පසුගිය සතියේ සෙවස්ටොපෝල් වරායේ නෞකා අලුත්වැඩියා කරන තටාකාංගනයේ (dry dock) රුසියානු යුද නැව් දෙකකට යුක්‍රේනය විසින් එල්ල කරන ලද ප්‍රහාරය යි. මීට පෙර යුක්‍රේන නිලධාරීන් රුසියාව තුලට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් වගකීම භාර ගෙන නොතිබුන ද, පසුගිය සතියේ ප්‍රහාරයේ වගකීම පිලිබඳව ඔවුහු පුරසාරම් දෙඩූහ.
වඩාත් වැදගත් දෙය නම්, නැටෝව විසින් සපයන ලද මිසයිල, ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමට භාවිතා කල බව ඔවුහු විවෘත ව පිලිගැනීමයි. මෙම වසර මුල දී එක්සත් රාජධානිය විසින් යුක්‍රේනයට ලබා දුන් දිගු දුර මිසයිලය ගැන සඳහන් කරමින් එක් නිලධාරියෙක් ස්කයි නිව්ස් වෙත “එය තමයි ස්ටෝම් ෂැඩෝව” යනුවෙන් ප්‍රකාශ කලේ ය.
පසුගිය සතියේ, එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, යුක්‍රේනයට රුසියාව තුලට ප්‍රහාර එල්ල කිරීමට නැටෝවේ දිගු දුර මිසයිල භාවිතා කිරීම බලවත් ලෙස දිරි ගන්වමින්, “ඔවුන්ගේ භෞමික අඛන්ඩතාව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ දී වඩාත් ඵලදායී විය හැක්කේ කුමක් ද යන්න පිලිබඳව තීරන ගැනීම ඔවුන් සතු ය” යනුවෙන් ප්‍රකාශ කලේ ය.
මෙම වර්ධනයන්හි පැහැදිලි ගමන් පථයක් තිබේ. තම යුක්‍රේන කුලී හමුදා එකින් එක මිලිටරි ව්‍යසනයන්ට ගොදුරු වෙද්දී, එක්සත් ජනපදය යුද්ධයට තම සෘජු මැදිහත්වීම තීව්‍ර කරමින් සිටින්නේ, මොස්කෝවට එරෙහි ව තමන් යුද්ධයක් කරන්නේ නැත යන මවා පෑම වඩ වඩාත් අත්හරිමිනි.
තිරය පිටුපස ඇත්ත වශයෙන්ම සාකච්ඡා කෙරෙන දේ පිලිබඳ ඇඟවුමක් කරමින්, ෆින්ලන්ත ජනාධිපති සවුලි නීනිස්ටෝ, නිව් යෝර්ක් ටයිම්ස් හි ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවක දී යුද්ධයේ න්‍යෂ්ටික උත්සන්න වීමේ තර්ජනය පිලිබඳව අනතුරු ඇඟවීය.
“අපි සිටින්නේ ඉතා සංවේදී තත්වයක ය. කුඩා දෙයකින් පවා කාරනා විශාල වශයෙන් වෙනස් විය හැකි අතර අවාසනාවන්ත ලෙස නරක අතට හැරිය හැකි ය. එවැනි මහා පරිමාන යුද්ධයක අවදානම එයයි.” යනුවෙන් නීනිස්ටෝ අනතුරු ඇඟවී ය. ඔහු අවසන් කලේ, “න්‍යෂ්ටික අවි භාවිතා කල හැකි බවට පවතින අවදානම අතිමහත් ය” යනුවෙනි.
ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය තමාට ම සහතික කර ගැනීමක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කරන දේ, යථාර්ථයේ දී බලාපොරොත්තු සුන්වීමකි. ගැඹුරු වන ආර්ථික හා සමාජ අර්බුදයකට මුහුන දෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිය ගෝලීය ආධිපත්‍යය සහ ගෝලීය ආර්ථික ජීවිතය තුල එක්සත් ජනපද ඩොලරයේ ආධිපත්‍යය රැක ගැනීමට උත්සාහ දරමින් සිටින අතර, එය චීනයේ නැගීම මගින් වඩ වඩාත් තර්ජනයට ලක් ව ඇති බව වටහා ගනී.
ගැඹුරු වන මිලිටරි අර්බුදය, තම ව්‍යසනය වලක්වා ගැනීම සඳහා සෘජු ව ම මැදිහත් වීමට එක්සත් ජනපදයට පීඩනයක් ඇති කරයි. දැන් රුසියාව තුල ප්‍රහාර සඳහා නැටෝ ආයුධ භාවිතා කරන බැවින්, එක්සත් ජනපදයට උත්සන්න කිරීමට තවත් කොපමන පියවර ඉතිරි ව තිබේ ද? මීලඟ පියවර වන්නේ, එක්සත් ජනපද හා නැටෝ හමුදා ගොඩබෑම සහ ගැටුමේ දී න්‍යෂ්ටික අවි යෙදවීම හෝ භාවිතය විය හැක.
මෙම ව්‍යසනය වලක්වා ගත හැකි අතර වලක්වා ගත යුතු ය. ඇමරිකානු සහ කැනේඩියානු මෝටර් රථ කර්මාන්තවල මහා වැඩ වර්ජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා වන මනෝගතිය, අධිරාජ්‍යවාදීන්ගේ යුද ධාවනය නැවැත්වීමට බලමුලු ගැන්විය යුතු සමාජ බලවේගය වෙත අවධානය යොමු කරවයි. යුද්ධය එක්සත් ජනපදය ආධිපත්‍යය දැරීමට සහ යටත් කිරීමට උත්සාහ කරන රටවලට එරෙහිව පමනක් නොව, ඇමරිකාව යුධ කාලීන නිෂ්පාදනයට මාරුවීමේ කොටසක් ලෙස හික්මවීමට සහ මර්දනය කිරීමට උත්සාහ කරන රට තුල සිටින කම්කරු පන්තියට ද එරෙහි ව මූලික වශයෙන්, “පෙරමුනු දෙකක යුද්ධයකි”.
යුද්ධයට එරෙහි සටනේ කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී විදේශ පිලිවෙතට එරෙහි අරගලය සමග කම්කරුවන්ගේ සමාජ ඉල්ලීම් ඒකාබද්ධ කිරීමයි.
