එක්සත් ජනපදය: සාමාන්‍ය කම්කරුවෝ මෝටර් රථ කර්මාන්තයේ මහා වැඩ වර්ජනයක් ඉල්ලා සිටිති!

[මෙය The rank and file demand an all-out strike in the auto industry! යන මැයෙන් 2023 සැප්තැම්බර් 20 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

(866) 847-1086 වෙත AUTO ලෙස සඳහන් කෙටි පනිවිඩයක් යැවීමෙන්, ඩිට්‍රොයිට් ත්‍රී ගිවිසුම් සටන පිලිබඳ කෙටි පනිවිඩ යාවත්කාලීන කරගැනීම සඳහා ලියාපදිංචි වන්න. ක්‍රියාකාරී කමිටුවකට සම්බන්ධ වීම ගැන සාකච්ඡා කිරීමට හෝ ඔබේ අදහස් බෙදාහදා ගැනීමට, පහත පෝරමය පුරවන්න.

මුද්‍රනය කිරීමට සහ බෙදා හැරීමට මෙම ප්‍රකාශයේ පීඩීඑෆ් පිටපතක් බාගත කරගන්න .

මෝටර් රථ කර්මාන්තය පුරා සමස්ත වැඩ වර්ජනයක් සඳහා කම්කරුවන් එක්සත් කිරීම ගැන සාකච්ඡා කිරීමට මෝටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු ජාලයේ මීලඟ ඔන්ලයින් රැස්වීමට සම්බන්ධ වන්න. ඊට සහභාගී වීමට මෙහි ලියාපදිංචි වන්න.

2023 සැප්තැම්බර් 18 වැනි සඳුදා, මිච් හි, ෆෝඩ් මිචිගන් එකලස් කිරීමේ කම්හලේ පිකට් වැටෙහි වැඩ වර්ජනය කරන මෝටර් රථ කම්කරුවන්. මේ වන විට—ජීඑම්, ෆෝර්ඩ් සහ ස්ටෙලන්ටිස් හි එක කම්හල බැගින්—කම්හල් තුනක, කම්කරුවන් 13,000 කට වර්ජනය සීමා වී ඇත. [ඒපී ඡායාරූප/පෝල් සැන්සියා] [AP Photo/Paul Sancya]

එක්සත් මොටර් රථ කම්කරුවන් විසින් බිග් ත්‍රී [ජීඑම්, ෆෝර්ඩ් සහ ස්ටෙලන්ටිස්] කම්හල් තුනක “තෝරාගත් පරිශ්‍රවල පමනක් සිදුවන වර්ජන” කැඳවා සතියකට ආසන්න කාලයක් ගත වී ඇත. මෙම උපාය මාර්ගයේ ප්‍රතිඵලය කුමක්ද?

ෆෝර්ඩ්, ජෙනරල් මෝටර්ස් සහ ස්ටෙලන්ටිස් හි සාමාජිකත්වයෙන් සියයට 90 කට වැඩි ප්‍රමානයක් සිටින සමාගම් වල දිගටම වැඩ කිරීමට සහ නිෂ්පාදනය කිරීමට යූඒඩබ්ලිව් විසින් නියෝග කර ඇත. වෝල් වීදිය වැඩවර්ජනය නොවැදගත් ලෙස සලකා නොසලකා හැර ඇත. සමාගම්වල කොටස් මිල වැඩවර්ජනය ආරම්භ වීමට පෙර තිබූ මට්ටමේම පවතී.

කාලය පවතින්නේ සමාගම් පැත්තේ ය. සෑම දිනකම සහ සෑම පැයකම අප දිගටම වැඩ කරන විට, වැඩි වාහන තොගයක් ගබඩා කර ගනිමින් වැඩි ලාභයක් නිපයා දෙනු ලබයි. මේ බංකොලොත් ප්‍රතිපත්තිය දිගටම පැවතුනහොත් කිසිවක් දිනාගත නොහැක. මෝටර් රථ කර්මාන්තයේ කම්කරුවන්ගේ සම්පූර්න ශක්තිය බලමුලු ගැන්විය යුතුය!

සමස්ත වැඩවර්ජනයක් සඳහා සටන් කිරීමට වහාම සංවිධානය වන ලෙස, මෝටර් රථ කම්කරු ක්‍රියාකාරී කමිටු එකතුව සෑම කර්මාන්ත ශාලාවකම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. සෑම යූඒඩබ්ලිව් ලෝකල් සභාවකදීම, සමස්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ග ඉල්ලා සිටින යෝජනා සාකච්ඡා කිරීමට සහ ඡන්දය දීමට ක්‍රියාකාරී කමිටුවල සෑම සාමාජිකයෙකුගේම සහභාගීත්වයෙන් රැස්වීම් පැවැත්විය යුතුය.

මෙම ඉල්ලීම්වලට විරුද්ධ වනු ඇති යූඒඩබ්ලිව් නිලධරය, හැකි තරම් කාලයක් කම්කරුවන් සන්සුන් කිරීමට සහ අපව අකර්මන්‍ය කර තැබීමට උත්සාහ කරනු ඇත.

එබැවින් කම්කරුවන්, තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී හඬක් නැගීම සඳහාත්, සටන සියතට ගැනීම සඳහාත්, සෑම කම්හලකම, සේවා මුරයකම සහ සෑම අංශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය.

පවත්නා තත්වය අනුව, කම්කරුවන්ට කොන්ත්‍රාත්තුවක් නොමැතිව වැඩ කිරීමට බල කෙරෙන අතර ම , සිදුවන්නේ , කලමනාකාරීත්වය විසින් ඔවුන් තාඩනපීඩන වලට ගොදුරු කිරීමයි. ස්ටෙලන්ටිස් වොරන් ට්‍රක්හි කම්කරුවන් වාර්තා කලේ, සුලු පැහැරහැරීමක් නිසා පසුගිය සතියේ ඔවුන්ගේ සගයන් 10 දෙනෙකුගේ වැඩ නැවැත්වූ බවයි.

වාහන අමතර කොටස් නිපදවන කම්කරුවන් දොට්ට දමන මුත් යූඒඩබ්ලිව් විසින් ඔවුන්ට කිසිදු ආධාරයක් ලබා නොදේ. වෙන්ට්ස්විල් හි ලියර්, ටොලෙඩෝ හි ඩේනා සහ තවත් බොහෝ සැපයුම්කරුවන්ගේ කම්කරුවන්ට නොසෑහෙන රාජ්‍ය විරැකියා දීමනා සමග ජීවත් වීමට බල කෙරෙනු ඇත.

ටොලෙඩෝ ජීප්, ෆෝර්ඩ් මිචිගන් එසෙම්බ්ලි සහ ජීඑම් වෙන්ට්ස්විල් යන ස්ථානවල පිකට් වැටවල සිටින කම්කරුවන්ට සතියකට ඩොලර් 500 ක වැඩ වර්ජන වැටුප් මත රැඳීමට සිදුවනු ඇත, එහෙත් එම දීමනාව ද ඔවුන්ට තවමත් ලැබී නොමැත. මෙම කම්කරුවන්ට, යූඒඩබ්ලිව් විසින් කැඳවුම් කරන වෙනත් කම්හල්වලට වඩා වැඩි කාලයක් ඉවසා සිටීමට බල කෙරෙනු ඇත.

යූඒඩබ්ලිව් කියා සිටින්නේ මෙම මූලෝපාය නිසා “සමාගම් කිසිවක් සිතාගැනීමට නොහැකි තාවයකට ” පත්වනු ඇති බවයි. එය බොරුවකි. එය අඳුරේ තබන්නේ කම්කරුවන් පමනි. මෙම හුදකලා වැඩ වර්ජන පැමිනෙන බව සමාගම් දැන සිටි අතර ඒ සඳහා ඇති තරම් සූදානම්ව සිටියේය. කොන්ත්‍රාත්තුව අවසන් වීමට පෙර දින රාත්‍රිය වනතුරුත් කම්කරුවන් දැනුවත් කලේ නැත. කම්කරුවන්ගෙන් සියයට අනූ හතක් වර්ජනයට ඡන්දය දුන්හ; අප කවුරුත් මේ උපාය මාර්ගයට ඡන්දය දුන්නේ නැත.

යූඒඩබ්ලිව් නිලධාරීන් කම්කරුවන්ට පවසන්නේ, “තෝරාගත් පරිශ්‍රවල කෙරෙන වර්ජන” මගින්, අප විසින් ගෙවූ මුදලින් ගොඩනගාගත් ඩොලර් මිලියන 825 වැඩ වර්ජන අරමුදල ආරක්ෂා කෙරෙන බව යි. එහෙත් කම්කරුවන් සඳහා වැඩවර්ජන අරමුදල සුරැකීම ගැන යූඒඩබ්ලිව් තැකීමක් නොකරයි. එය සැලකිලිමත් වන්නේ නිලධරය සඳහා ආදායම පුම්බාගැනීම සහ ඔවුන්ගේ වරප්‍රසාද සඳහා ගෙවීමට එය යොදා ගැනීම ගැන පමනි.

සමස්ත වැඩ වර්ජනයක් ආර්ථිකයට හානියක වී අවපාතයක් ඇති කරන බව ද කම්කරුවන්ට කියනු ලැබේ. නමුත් බයිඩන් පරිපාලනය සහ දේශපාලන සංස්ථාපිතය පොලී අනුපාත ඉහල දමමින්, විරැකියාව ඉහල දැමීමට සහ ඉහල වැටුප් සඳහා සටන් කිරීමේ අපගේ හැකියාව අඩු කිරීමට උත්සාහ කරයි. සංගත කතිපයාධිකාරය තම ඉහල ලාභය හඹා යාමේදී 'ආර්ථිකය' බිඳ හෙලීමට සූදානම් බව යලි යලිත් පෙන්නුම් කර තිබේ. බයිඩන් පරිපාලනයට සහ මෝටර් රථ සමාගම් වලට ඔවුන්ගේ හිතුමතේ ක්‍රියාකිරීමට ඉඩ හලහොත්, විදුලි මොටර් රථ නිෂ්පාදනය වෙත මාරුවීමේදී ඔවුන් කම්කරුවන් ලක්ෂ ගනනක නොවේ නම්, දහස් ගනනකගේ රැකියා විනාශ කරනු ඇත.

අවසාන වශයෙන්, යූඒඩබ්ලිව් නිලධාරීන් කම්කරුවන්ට පවසන්නේ: “අපව විශ්වාස කරන්න. උපාය මාර්ගයට ක්‍රියාත්මක වීමට කාලය දෙන්න. සමාගම් සමඟ සාකච්ඡා ප්‍රගතියක් නොලබන්නේ නම්, තවත් කම්හල් කැඳවනු ලැබේ.”

සත්‍යය මෙන්න: යූඒඩබ්ලිව් හි “තෝරාගත් පරිශ්‍රවල වර්ජන” වංචාවකි. මේවා තුල කම්කරුවන්ට අලුත් හෝ ඵලදායී කිසිවක් නැත. මේවා කම්කරුවන් හුදකලා කිරීමට සහ වෙහෙසට පත් කිරීමටත්, අපව ව්‍යාකූල කිරීමටත් සැලසුම් කර ඇති තෝරාගත් වර්ජන වේ. යූඒඩබ්ලිව් නිලධරය සහ බයිඩන් පරිපාලනය උත්සාහ කරන්නේ, කම්කරුවන් මත, පාවාදීමේ ගනුදෙනුවක් පැටවීමට හොඳම කාලය තීරනය කිරීමටයි. ඔවුන් එම ගිවිසුම් “ඓතිහාසික” ගනුදෙනුවක් ලෙස උත්කර්ෂයට නංවනු ඇති. එහෙත් ඒවා, සමාගම්වල අවශ්‍යතා මත පදනම් වන, විදුලි මෝටර් රථ නිෂ්පාදනය සම්බන්ධ රැකියාවලට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කෙරෙන, එමෙන් ම ඔවුන්ට වෙනත් සහන ලබාදෙන කොන්ත්‍රාත්තු වන අතර අපගේ අවශ්‍යතා සපුරාලීමට සම්පූර්නයෙන්ම අසමත් වනු ඇත.

කැනඩාවේ, යුනිෆෝර් වෘත්තීය සමිතිය ද තරමක් වෙනස් ආකාරයකට, ඒ හා සමාන ද්‍රෝහී භූමිකාවක් ඉටු කරයි. එය, සඳුදා රාත්‍රියේ ෆෝර්ඩ් සමාගම සමඟ ගිවිසුම් කාලසීමාව ඒකපාර්ශ්විකව දීර්ඝ කල අතර, කැනේඩියානු මෝටර් රථ කම්කරුවන්ගේ වර්ජනයට පක්ෂව සියයට 98 ක ඡන්දයක් තිබියදී, අඟහරුවාදා තාවකාලික ගිවිසුමක් නිවේදනය කලේය. එහි වෘත්තීය සමිති නිලධාරීන් සිය ගනුදෙනුවේ තොරතුරු, කම්කරුවන්ගෙන් සම්පූර්නයෙන්ම වසන් කරමින් ඒවා අනුමත කිරීමේ රැස්වීම් පැවැත්වෙන තුරු නිදහස් නොකරන බව පවසමින් දැවැන්ත පාවාදීමක් සඟවන බව පෙන්නුම් කරයි.

ඉතා පුංචි වැඩ වර්ජනයකින් සමාගම්වලට කම්කරුවන්ගේ ඉල්ලීම් වලට එකඟවීමට බලකල හැකි බවට ෆේන් සහ යූඒඩබ්ලිව් නායකත්වයේ වංක තර්ක පිලිගත්තේ වුවද, අපි සියල්ලෝම දැන් වැඩවර්ජනය කර සංගතවලට ඉක්මන් පහරක් එල්ල නොකරන්නේ මන්ද? අපගේ උපරිම ශක්තිය යොදවා අපට හැකි සියල්ල ජය ගනිමුද? සමස්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට එරෙහිව නීත්‍යානුකූල තර්කයක් නොමැත. එක්සත් ජනපදයේ කර්මාන්ත සිසාරා වැඩ නැවැත්වීම, ජාත්‍යන්තරව මෝටර් රථ කම්කරුවන්ගේ එක්සත් අරගලයක් සඳහා දැවැන්ත හැකියාවන් විවෘත කරමින්, වහාම කැනඩාවේ, මෙක්සිකෝවේ සහ ලොව පුරා සිටින අපගේ සහෝදර සහෝදරියන්ගේ බලවත් ප්‍රතිචාරයක් ලබා ගනු ඇත.

ව්‍යාජ “තෝරාගත් වැඩ වර්ජන” ප්‍රතික්ෂේප කර, අව්‍යාජ සමස්ත වැඩ වර්ජනයක් ආරම්භ කල යුතුය!

පිකට් වැටේ දී, ඔබේ විවේකයේදී, වාහන නැවැත්වීමේ ස්ථානවල සහ වැඩ කිරීමෙන් පසු ඔබේ සගයන් සමඟ කතා කරන්න. ඔබේ සගයන් සමඟ සන්නිවේදනය කරන්න, කන්ඩායම් සාකච්ඡා පවත්වන්න, සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කර සම්බන්ධතා ජාල පිහිටුවීම ආරම්භ කරන්න. සමස්ත වැඩවර්ජනයක් සිදු කරන ලෙස ඉල්ලා, සහයෝගය ගොඩනඟමින් සංවිධානය වන්න!

අත්සන් කලේ,

ජීඑම් ෆ්ලින්ට් කම්කරු ක්‍රියාකාරී කමිටුව

වොරන් ට්‍රක් කම්කරු ක්‍රියාකාරී කමිටුව

ඩේනා ටොලෙඩෝ කම්කරු ක්‍රියාකාරී කමිටුව

Loading