ඉදිරිදර්ශන

චිලියානු කුමන්ත්‍රනයේ 50 වන සංවත්සරය ගැන: පාවාදුන් විප්ලවයක පාඩම්

(මෙය On the 50th anniversary of the Chilean coup: Lessons of a revolution betrayed මැයෙන් 2023 සැප්තැම්බර් 10දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

අද දින, 20 වන ශතවර්ෂයේ දෙවන භාගය තුල වඩාත් ම ම්ලේච්ඡ පාලන තන්ත්‍රයක් ස්ථාපිත කල ජෙනරාල් ඔග්ස්ටෝ පිනෝචේගේ නායකත්වය යටතේ චිලී රටේ සිදු කල සීඅයිඒ-පිටුබලය ලත් මිලිටරි කුමන්ත්‍රනයේ 50 වන සංවත්සරය සලකුනු කරයි.

1973 සැප්තැම්බර් 11 දින හිමිදිරියේ, චිලී රටේ සන්නද්ධ හමුදා අංශ තුන සහ මිලිටරි පොලීසිය, තමන් රටේ පාලන බලය අත් කරගෙන ඇති බව නිවේදනය කරමින්, මහජන එකමුතුව (යූපී) සභාග ආන්ඩුවේ ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපති සැල්වදෝර් අයියන්දේට ඉල්ලා අස් වන ලෙස විධානය කලේ ය.

1973/9/11දා වාමාංශික සාහිත්‍යය පුලුස්සා දමන චිලී රටේ භටයෝ (ඡායාරූපය:සීඅයිඒ/තොරතුරු දැනගැනීමේ නිදහස පිලිබඳ පනත) [Photo: CIA/Freedom of Information Act]

සටන් යානා හා යුද ටැංකි සමගින් ලා මොනේදා ජනාධිපති මන්දිරයට බෝම්බ හෙලූ යුද හමුදාව හා ගුවන් හමුදාව එය වැටලූ හ. කොන් වූ හා තමන්ට ඉල්ලා අස්වන ලෙස කුමන්ත්‍රනයේ නායකයින් කල විධානය ප්‍රතික්ෂේප කල අයියන්දේ ලා මොනේදා මන්දිරයේ දී මිය ගිය අතර, විමර්ශනවලට අනුව ඔහු මිය ගොස් තිබුනේ ඔහු ම තබා ගත් වෙඩි පහරකිනි.

එදින ම දසදහස් ගනන් කම්කරුවන් හා තරුනයන් වැටලූ මිලිටරිය ඔවුන් වධක කඳවුරුවල ගාල් කලේ ය. එහිදී ඔවුන් ප්‍රශ්න කිරීම් වලට සහ වද බන්ධනයන්ට ලක් කෙරුනු අතර, බොහෝ අවස්ථාවල දී ඝාතනය කෙරුනි. චිලී ක්‍රීඩා මන්ඩපය (Estadio Chile) තුල අනෙකුත් අය සමග තමන් අත් දුටු ත්‍රස්තය සුප්‍රකට සංගීතඥ වික්ටර් හාරා විස්තර කල අතර ඔහු එහි දී පරපීඩාකාමී ලෙස වද බන්ධනයට බඳුන් කොට සැප්තැම්බර් 16දා මරා දමන ලදී:

කෙතරම් මිනිසුන් සංඛ්‍යාවක් කුසගින්නට, සීතලට, සන්ත්‍රාසයට, වේදනාවට, බලපෑම් වලට, ත්‍රස්තයට හා උන්මාදයට නිරාවරනය කරන ලද්දේ ද?

තෙරක් නොපෙනෙන අභ්‍යවකාශයේ මංමුලාවූ තත්වයකට අපි සයදෙනෙකු ඇදවැටුනෙමු.

ඉන් එකෙකු මිය යද්දී තවකෙකුට පහර දුන්නේ මිනිසෙකුට එසේ පහරදිය හැකිදැයි මට කිසිවිටෙක විශ්වාස කල නොහැකි පරිදිය..

අනෙක් සිවුදෙනාට ඔවුනගේ ත්‍රස්තය අවසන් කිරීමට අවශ්‍ය විය: එකෙකු ශූන්‍යත්වයට (හැඟීම් නොමැති තත්වයට) පත් වූ අතර, තවකෙකු ඔහුගේ හිස වැරෙන් බිත්තියක ගසා ගත්තේය; නමුත් අපි සියලු දෙනා සිටියේ මරනය අපේක්ෂාවෙනි.

ෆැසිස්ට්වාදයේ මුහුනුවර කෙතරම් ත්‍රාසයක් නිර්මානය කරයි ද!

ආයුධ, පුහුනුව හෝ ප්‍රතිරෝධය දැක්වීමට අවශ්‍ය දේශපාලන නායකත්වයෙන් තොර ව අයියන්දේ ආන්ඩුව විසින් අත්හැර දමන ලද සටන්කාමී සාමාන්‍ය කම්කරුවන් ද කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සංවිධානවල නායකයන් ද දඩයම් කිරීම, රඳවා ගැනීම, වද බන්ධන පැමිනවීම හා ඝාතනය කිරීමටත් එම සංවිධාන සියල්ල තලා දැමීමටත් සීඅයිඒ සංවිධානය හා එක්සත් ජනපද මිලිටරි ඔත්තුසේවාව විසින් යෝධ මෙහෙයුමක් ක්‍රියාවට දමන ලදී.

ඉන්පසු ව ගත වුනු මාස හා අවුරුදුවල දී, පිනෝචේ පාලන තන්ත්‍රය අයියන්දේ හා ඔහුගේ පූර්වගාමියා යටතේ ජනසතු කරන ලද චිලී රටේ මූලික තඹ කර්මාන්තයෙන් ආසන්න වසයෙන් තුනෙන් දෙකක් පමන විකුනා දමා, අයියන්දේ විසින් රාජ්‍ය පාලනය යටතේ තබන ලද බැංකු ක්ෂේත්‍රයේ කොටස්, දුරකථන සමාගම, ලෝහ වැඩ හා අනෙකුත් සමාගම් පුද්ගලීකරනය කොට, කම්කරුවන් විසින් අත්පත් කරගන්නා ලද කම්හල් හා ඉඩම් පුද්ගලික හිමිකරුවන්ට ආපසු ලබා දී, ජලය, විශ්‍රාම වැටුප්, සෞඛ්‍යාරක්ෂනය, අධ්‍යාපනය, ප්‍රවාහනය, උපයෝගීතාවන් හා අනෙකුත් අංශ පුද්ගලීකරනය කලේ ය. ඉස්මතු වෙමින් සිටි අන්තර්ජාතික සංගත සහ දේශීය කතිපයාධිකාරය සඳහා කෙලිබිමක් බවට රට පත් කිරීමට බදු හා රෙගුලාසි ඇට පොත්තට ම කපා දමන ලදී. ආර්ථික විද්‍යාඥ මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ “නිදහස් වෙලඳපොල” සහ පුද්ගලීකරන රැල්ල හා කම්කරු පන්තිය මතට එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාර අධීක්ෂනය කිරීම සඳහා චිලී වෙත යවන ලද ෆ්‍රීඩ්මාන් විසින් පුහුනු කරන ලද චිකාගෝ විශ්ව විද්‍යාලයේ ඇබිත්තයන් වූ ඊනියා “චිකාගෝ කොල්ලන්ගේ” උපදෙස් පාලන තන්ත්‍රය විසින් අනුගමනය කලේ ය.

චිලී රට තුල ෆැසිස්ට් භීෂනය දීර්ඝ දශක දෙකක් පුරා පැවතුනි. දේශපාලන විරුද්ධවාදීන් දහස් ගනනක් පිනෝචේ පාලන තන්ත්‍රය විසින් ඝාතනය කිරීම හෝ “අතුරුදන් කිරීම” කරන ලද අතර, නිල සංඛ්‍යා ලේඛනවලට අනුව 30,000කට පමන වද බන්ධන පැමිනවී ය. තව ද චිලීහි කුමන්ත්‍රනය සමස්ත ලතින් ඇමරිකාවට ම ප්‍රගාඪ ප්‍රතිවිපාක ගැබ් කර ගත්තේ ය.

1964 බ්‍රසීලයේ, 1971 බොලීවියාවේ හා 1973 මුල උරුගුවේහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අනුග්‍රහය යටතේ ක්‍රියාවට දමන ලද කුමන්ත්‍රන මාලාවකින් පසු චීලි මිලිටරිය බලයට පැමිනියේ ය. එක්සත් ජනපද මෙහෙයුම් සඳහා උපකරනයක් ලෙස නික්සන් පරිපාලනය විසින් හඳුනා ගන්නා ලද බ්‍රසීල මිලිටරි පාලන තන්ත්‍රය, අයියන්දේ පෙරලා දැමීම සඳහා චිලී මිලිටරිය සූදානම් කිරීමට ක්‍රමානුකූල ව වැඩ කලේ ය.

චිලී කුමන්ත්‍රනයෙන් පසු ව, සීඅයිඒ සංවිධානය විසින් ලතින් ඇමරිකාව තුල සම්බන්ධීකරනය කරන ලද මෙම ප්‍රති-විප්ලවවාදී ජාලය, ඔපරේෂන් කොන්ඩෝර් (කොන්ඩෝර් මෙහෙයුම) නමින් හඳුන්වන ලද දෙය යටතේ ඒකාබද්ධ කරන ලදී. එය ක්‍රමානුකූල ව කලාපය පුරා මර්දනය, වද බන්ධන පැමිනවීම හා දේශපාලන ඝාතන ව්‍යාප්ත කල අතර, විශේෂයෙන් ම 1976 දී ආජන්ටිනාව තුල ෆැසිස්ට්වාදී මිලිටරි පාලන තන්ත්‍රයේ නැගීම ඇතුලු නව කුමන්ත්‍රනවලට පහසුකම් සැපයී ය.

චිලීහි ගොරතර සැප්තැම්බර් 11 කුමන්ත්‍රනයෙන් වසර පනහකට පසු ව, එහි දේශපාලන අදාලත්වය වඩ වඩා හදිසි වෙමින් පවතී. ගෙවී ගිය වසර 30 තුල පැවති සිවිල් පාලන තන්ත්‍රවල කෙටි චක්‍රයකට පසු ව ලතින් ඇමරිකාවේ දේශපාලනය තුල ආඥාදායකත්වයේ හා මිලිටරි මැදිහත්වීමේ අවතාරය යලිත් සමස්ත කලාපය පුරා ම හොල්මන් කරයි.

වර්ධනය වන අරගල මාලාවක් තුල කම්කරු පන්තිය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සමාජ ප්‍රතිඝතිකතාවන්ගේ පුපුරනසුලු සමුච්ඡය වීමෙන් පොලඹවන ලද පිනෝචේගේ මිතුරෝ -මේ එක රටක් තුල හෝ ඔවුන් කිසිදා බලයෙන් විස්ථාපනය නොකෙරුනි- යලි වතාවක් ඔවුන්ගේ මුහුනු පෙන්වමින් සිටිති. මිලිටරි ආඥාදායකත්වයක් සඳහා කැඳවුම් කරමින් පසුගිය ජනවාරියේදී බ්‍රසීලියාවේ සිදු කෙරුනු ෆැසිස්ට් කුමන්ත්‍රනය තුල කූටප්‍රාප්තියට පත් වූ, හිටපු ජනාධිපති හායර් බොල්සොනාරෝ විසින් බ්‍රසීලයේ මැතිවරන පද්ධතියට කරන ලද අභියෝගයට සන්නද්ධ හමුදා අනුමැතිය ලබා දුන්නේ ය.

2019 හා 2020 ජාතික වර්ජන තුල කම්කරුවන් හා තරුනයන් මිලියන ගනනක් බලමුලුගැන්වුනු චිලී රට තුල ම, පාලක පන්තිය දැන් පිනෝචේගේ ආඥාදායකත්වයේ වඩාත් ම උන්මත්තක ආරක්ෂකයන් ක්‍රමානුකූල ව ඉදිරියට දමමින් සිටී. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන කවුන්සිලයක් සඳහා පසුගිය මැයි මාසයේ පැවති මැතිවරනයේ දී වැඩි ඡන්ද දිනාගත් ෆැසිස්ට්වාදී රිපබ්ලිකන් පක්ෂයේ ජෝස් ඇන්ටෝනියෝ කාස්ට් විසින් මෙම කොටස් වලට වර්තමානයේ දී නායකත්වය දෙයි.

ලතින් ඇමරිකානු ආඥාදායකත්වයන්ගේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සේවය කලේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යි. එය තව දුරටත් කලාපයේ කේන්ද්‍රීය ක්‍රීඩකයා ලෙස රැඳී සිටී. එක්සත් ජනපදයේ පාලක පන්තිය නව ලෝක යුද්ධයක් දෙසට ධාවනය වෙමින් සිටින කොන්දේසි යටතේ, කලාපයේ තේරී පත් වුනු ආන්ඩුවලින් ස්වාධීන ව එහි මිලිටරි අනදෙන්නන් සමග සබඳතා වගා දිගා කර ගනිමින්, “තමාගේ ම පිලිකන්න” තුල භූ-මූලෝපායික ආධිපත්‍යය සුරක්ෂිත කරගැනීමට එය විවෘත ව සටන් කරමින් සිටී.

චිලී රටේ 1973 කුමන්ත්‍රනයේ සංවත්සරයට කරන උපහාර දැක්වීම්වල දී, චිලී ජනාධිපති ගේබ්‍රියල් බෝරික් වැනි “රෝස රැල්ලේ” ධනේශ්වර ජාතිකවාදී නියෝජිතයෝ මෙන් ම සුලු-ධනේශ්වර ව්‍යාජ-වම නව “ජාතික ගිවිසුම්” සඳහා ද කලාපයේ බංකොලොත් ධනපති පාලන තන්ත්‍රයන්ට ජනප්‍රිය මුහුනත්තහඩුවක් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ද ආයාචනා නිකුත් කරමින් සිටිති. මෙම දේශපාලන මාවත තුඩු දිය හැක්කේ වඩා ගොරතර පරිමානයකින් පිනෝචේ වර්ගයේ කුමන්ත්‍රනයන් යලි සිදු කිරීමට පමනි.

ධනවාදයට එරෙහි ව විප්ලවවාදී අරගලයේ මාවතට එලඹෙමින් සිටින කම්කරුවන්ගේ හා තරුනයන්ගේ නව පරම්පරාව, ව්‍යාජ-වම සැඟවීමට ක්‍රියා කරන චිලී කුමන්ත්‍රනයේ පාඩම් ඉක්මනින් උකහාගත යුතු ය.

චිලී රටේ ෆැසිස්ට් ජුන්ටාව උපයෝගී කරගත් ප්‍රචන්ඩත්වය ප්‍රදර්ශනය කලේ, සිය බලය ආරක්ෂා කර ගැනීමේ දී පාලක පන්තිය යොදාගැනීමට සූදානම් වන අනුකම්පා විරහිත භාවය යි.

පාවාදුන් චිලියානු විප්ලවය

1973 දී චිලී තුල සිදු වූයේ ඡන්දයෙන් පත්වුනු ආන්ඩුවක් පෙරලා දැමූ එක්සත් ජනපදයේ පිටුබලය ලත් මිලිටරි කුමන්ත්‍රනයක් පමනක් නො වේ.

මිලිටරි සපත්තුව යටතේ පරාජය කිසිලෙසකින් හෝ අනිවාර්යය නො වුනු බලගතු නිර්ධන පන්තික විප්ලවවාදී නැගීමක් චිලී රට තුල පැවතුනි. ට්‍රොට්ස්කිවාදයේ පැබ්ලෝවාදී භ්‍රෂ්ටයන්ගේ නොතකා හැරිය නොහැකි ආධාරය සමගින්, කම්කරු පන්තියේ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයන්ගේ සාපරාධී පාවාදීම්වල ප්‍රතිඵලයක් ලෙස, දේශපාලන බලය අල්ලා ගැනීමට කම්කරු පන්තිය අසමත් වීමේ නිෂ්පාදිතය ලෙස ෆැසිස්ට්-මිලිටරි ජුන්ටාවක් බලයට පැමිනීම සිදු විය.

“වාම” ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන් හා රැඩිකලුන් සමග එක් ව සමාජවාදීන් හා ස්ටැලින්වාදීන් විසින් බිහි කරන ලද අයියන්දේ‌ගේ යූපී සභාගය, කම්කරු පන්තියේ හා ගොවීන්ගේ අරගලවල යෝධ පුනර්ජීවනයක් මධ්‍යයේ 1970 දී බලයට තේරී පත් කර ගැනුනි. සමාජ කාලකන්නිභාවයේ හා අධිරාජ්‍යවාදී පීඩනයේ ‌ඓතිහාසික කොන්දේසිවලට ද දිග්ගැස්සුනු උද්ධමන අර්බුදයකට ද ප්‍රතිචාර වසයෙන් මෙම අරගල කම්හල් අල්ලා ගැනීම් හා ඉඩම් අස්වාමික කිරීම් වැනි රැඩිකල් රූපාකාර අත් කර ගත්තේ ය.

බලයට පත් යූපී සභාගය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ නැගිටීම් ව්‍යාපාරය විනයගත කිරීමටත් එය ධනේශ්වර රාජ්‍යයට යටත් කිරීමටත් මුලු වැර යොදා උත්සාහ කලේ ය. එය “සමාජවාදය සඳහා චිලී මාවත” ලෙස හැඳින්වූ අයියන්දේ, ශතවර්ෂයක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් චිලී රට, මාක්ස් සහ එංගල්ස් විසින් ස්ථාපිත කරන ලද්දා වූ ද 1917 රුසියානු විප්ලවයේ ගමන් මාවත තුල ලේ සහ මස් වලින් සටහන් කෙරුනා වූ ද ඉතිහාසයේ නීතිවලට ව්‍යතිරේකයක් යයි අවධාරනය කලේ ය. පැරනි රාජ්‍යයේ ව්‍යුහයන් ඇතුලත වැඩෙන සුවි‌ශේෂී ගමන් මාවතක් චිලී රටේ විප්ලවීය ක්‍රියාදාමය අනුගමනය කරනු ඇතැයි ඔහු කියා සිටියේ ය. චිලීහි සන්නද්ධ හමුදා හා මිලිටරි පොලීසිය වනාහි “නිල ඇඳුමින් පෙනී සිටින මහජනයා” බවත්, “කම්කරුවන් හා ඔවුන්ගේ වෘත්තීය සමිති” “මෙන් ම” “විප්ලවීය ක්‍රියාදාමයේ ශෛලමය පදනමක්” බවත් ඔහු අවධාරනය කලේ ය.

සීමිත ජනසතු කිරීම් හා සමාජ ප්‍රතිසංස්කරන සිදු කරමින් යූපී ආන්ඩුව කම්කරු පන්තිය සැනසීමට ක්‍රියා කරද්දී, චිලී රටේ ධනේශ්වරය හා අධිරාජ්‍යවාදීහු ආන්ඩුව පෙරලා දමා කම්කරු පන්තිය තලා දැමීම සූදානම් කිරීමට කාලය ලබා ගත්තෝ ය. 1973 සැප්තැම්බර් 11 කරා මාවත සකස් කෙරුනේ, කම්කරු පන්තිය මතට එල්ල කෙරුනු අඛන්ඩ ප්‍රහාරයන්, මිලිටරි ආක්‍රමන හා ඍජු කුමන්ත්‍රන උත්සාහයන් කිහිපයක් මගිනි.

නික්සන් පරිපාලනය හා සීඅයිඒ සංවිධානය සමගින් ඍජු ඒකාබද්ධතාවෙන් ක්‍රියා කල පාලක පන්තිය, 1972 ඔක්තෝබරයේ දී හාම්පුතුන්ගේ සුවිශාල ලොකවුට් කිරීමක් (කම්කරුවන්ට කම්හල් බිමට ඇතුලුවීම තහනම් කිරීමක්) දිරිමත් කරමින් ආර්ථික ව රටේ ගෙල හිර කිරීමට උත්සාහ දැරුවේ ය. විශාල සම්බන්ධීකරන කමිටු, කම්හල් කමිටු සහ සාමාන්‍ය කාර්මික කම්කරුවන්ගේ අනෙකුත් ප්‍රාදේශීය, නිවහන් ප්‍රදේශ හා ස්වයං-ආරක්ෂක ජාල ප්‍රමානයක් ස්ථාපිත කරමින්, අත්‍යවශ්‍ය භාන්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම පවත්වාගෙන යාමටත් ෆැසිස්ට් ප්‍රකෝපකාරීන්ට විරුද්ධ වීමටත් ක්‍රියා කරමින් කම්කරුවෝ මෙයට ප්‍රතිචාර දැක්වූ හ. සමස්ත ආර්ථිකය සහ දේශපාලන බලය ඍජු ව කම්කරුවන් සන්තකයේ තැබීමට වන ඉල්ලීම් පලල් ව පැතිරුනි.

කම්කරු ව්‍යාපාරයේ ස්වාධීන වර්ධනයට මුහුන දුන් යූපී ආන්ඩුව, කම්කරු පන්තිය නිරායුධ කරමින් චිලීහි ධනේශ්වර පාලනය සුරක්ෂිත කර දීමට ක්‍රියා කලේ ය. ස්ටැලින්වාදීන් හා සමාජවාදීන් ආධිපත්‍යය දැරූ සීයූටී වෘත්තීය සමිති නායකයන් ද සම්බන්ධ වූ කැබිනට්ටුවට මිලිටරිය ගෙන ඒමට අයියන්දේ පියවර ගත්තේ ය. කම්කරුවන්ගෙන් හා ගොවීන්ගෙන් ආයුධ ආපසු ගැනීමට ආයුධ පාලන පනතක් බලාත්මක කල ආන්ඩුව, වාඩිලාගත් බොහෝ කම්හල් ඒවායේ කලින් සිටි අයිතිකරුවන්ට ආපසු ලබා දුන්නේ ය.

ටැන්කෙටාසෝ යනුවෙන් කුප්‍රකට වූ ජවනිකාවක් සිදු කරමින් ජනාධිපති මන්දිරයට එරෙහි ව යුද ටැංකි සේනාංකයක් යවමින්, 1973 ජුනි මාසයේ දී හමුදාවේ කැරලි අංශය අසාර්ථක කුමන්ත්‍රන උත්සාහයක් සිදු කලේ ය. මෙයට යූපී ආන්ඩුවේ ප්‍රතිචාර දැක්වූයේ හමුදාවට දෙන සහන ගැඹුරු කොට හමුදාවේ ප්‍රධාන ආඥාපති ලෙස පිනෝචේ නම් කරමින් ඔහු ව අයියන්දේගේ කැබිනට්ටුවට ගෙන එමිනි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් සංවිධානය කරනු ලබන මිලිටරි කුමන්ත්‍රනයක පැහැදිලි අනතුර මධ්‍යයේ කම්කරු පන්තිය නිරායුධ කිරීමේ දී අයියන්දේගේ ආන්ඩුව හා ඔහුගේ ක්ෂමාලාපකයින් විසින් ඉටු කරන භූමිකාව අඛන්ඩව හෙලිදරවු කිරීමට සටන් වැදුනේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) පමනි.

කුමන්ත්‍රනයෙන් ක්ෂනික ව ඉක්බිති දවස්වල එහි පාඩම් උකහා ගනිමින් නිකුත් කල ප්‍රකාශයක් තුල 1973 සැප්තැම්බර් 18දා හජාජාක මෙසේ ප්‍රකාශ කලේ ය:

මහජන පෙරමුනු හා පාර්ලිමේන්තුව හරහා නො ව ධනපති රාජ්‍යය පෙරලා දැමීම හා කම්කරු බලය ස්ථාපිත කිරීම හරහා ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගන්න. ස්ටැලින්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍යමිකවාදය, සංශෝධනවාදය හෝ ලිබරල් ධනේශ්වරය කෙරෙහි විශ්වාසය නො තබා, නො නවතින විප්ලවයේ ක්‍රියා මාර්ගය දරා සිටින හතරවන ජාත්‍යන්තරයේ විප්ලවවාදී පක්ෂයක් ගොඩනගන්න.

චිලී කම්කරු පන්තිය පරාජය කරා ඍජු ව මෙහෙයවූයේ ස්ටැලින්වාදීන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් වන අතර, මෙම අර්බුද-ග්‍රස්ත නිලධාරිවාදී නායකත්වයන්ට වැඩ කරන මහජනයා මත ආධිපත්‍යය පවත්වාගෙන යාමට හැකියාව ලබා දීමේ දී පැබ්ලෝවාදී සංශෝධනවාදීහු තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු කල හ.

හජාජාක වෙතින් බිඳී පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු වීමේ දී ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය සමග එකතු වෙමින්, ට්‍රොට්ස්කිවාදය පාවා දුන් සංවිධාන අතර, චිලී රටේ කම්කරු විප්ලවවාදී පක්ෂය (පීඕආර්) සිටියේ ය. “කියුබානු විප්ලවය විසින් විමුක්ත කරන ලද” මධ්‍යම-පන්තික බලවේග ලතින් ඇමරිකාවේ “සෑම රටක් තුල ම විප්ලවය මුදා හරිනු ඇත්තන්” ලෙස උත්කර්ෂයට නංවමින්, වහා ම තමන් ව ම විසුරුවා ගත් පීඕආර්, 1965 දී විප්ලවවාදී වාමාංශික ව්‍යාපාරය (එම්අයිආර්) තැනීම සඳහා කස්ත්‍රෝවාදීන් හා මාඕවාදීන් සමග එක් විය.

කම්කරු පන්තිය තුල අව්‍යාජ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමේ මාවතේ හරහට හිටගෙන සිටිමින් චිලී විප්ලවය කඩාකප්පල් කිරීමේ දී එම්අයිආර් මූලික ක්‍රියා කලාපයක් ඉෂ්ට කලේ ය. චිලී කම්කරු පන්තිය හා යූපී මහජන පෙරමුනු ආන්ඩුව අතර ගැටුම වර්ධනය වෙද්දී, බොහෝ කම්කරුවෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හා ස්ටැලින්වාදයෙන් බිඳෙමින් එම්අයිආර් වෙත පැමිනියේ ඔවුන්ගේ ඉල්ලීම් යථාවත් කරගනු වස් ආන්ඩුවට “පීඩනය යෙදීමට” දිශානත කරනු ලැබීමට පමනි.

චිලී පරාජයේ මූලික පාඩම වූයේ, කම්කරු පන්තියට දේශපාලන බලය ගැනීමේ උවමනාව හා හැකියාව තිබුන ද, ට්‍රොට්ස්කිවාදය සහ 20 වන ශතවර්ෂයේ කටුක පාඩම් ස්වීකරනය කරගැනීම මත පදනම් වූ පක්ෂයක් හෙවත් විප්ලවවාදී නායකත්වයක තීරනාත්මක මූලාවයවය එයට නො තිබූ බව යි.

ලෝක ධනවාදයේ ඉතිහාසය තුල විශාලතම අර්බුදයේ පුපුරා යාමට සාක්ෂි දරා ඇති 21 වන ශතවර්ෂයේ දෙවන දශකයෙහි ආරම්භක අවුරුදු තුල, කම්කරු පන්තිය යලි වතාවක් විප්ලවවාදී අරගලවල මාවතට පිවිසෙමින් සිටින බවට ප්‍රශ්නයක් නැත. නිෂ්පාදනයේ ගෝලීයකරනය, ලොව පුරා කම්කරු පන්තියේ යෝධ වර්ධනය සහ තාක්ෂනයේ හා සන්නිවේදනයේ බලගතු වර්ධනයන් ජාත්‍යන්තර සමාජවාදය ගොඩනැගීම සඳහා ඉතා හිතකර කොන්දේසි නිර්මානය කර තිබේ.

එහෙත් බලය සඳහා සාර්ථක අරගල දියත් කිරීමට, අර්ධ ශතවර්ෂයකට පෙර වීරෝදාර චිලී නිර්ධන පන්තිය විසින් ලේවලින් ලියන ලද පාඩම් සෑම රටක ම කම්කරුවන් විසින් උකහාගත යුතු ය. සියල්ලට ඉහලින් මෙහි අර්ථය වන්නේ, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා සෑම රටක් තුල ම ගොඩනැගීම යි.

Loading