රැකියා අහිමි කිරීමට එරෙහිව සතොස සේවකයන් සත්‍යග්‍රහයක

සමුපකාර තොග වෙලඳ සංස්ථාව (සතොස) ඈවර කොට අනිවාර්ය විශ්‍රාම ගැන්වීම මගින් එහි සියලු සේවකයින් ගේ රැකියා මෙම මස 30 වෙනිදා අහෝසි කිරීමට එරෙහිව සතොස සේවකයෝ සඳුදා සිට සත්‍යග්‍රහයක යෙදී සිටිති. අනිවාර්ය විශ්‍රාම ගැන්වීම යටතේ සාමාන්‍යාධිකාරි (වැඩ ආවරන) කලමනාකරු (තොග ආවරන), ගබඩා කලමනාකරු, ගනකාධිකාරි, සහකාර ගනකාධිකාරි, කලමනාකරන සහකාර, සුපරීක්ෂක, ප්‍රාදේශීය සුපරීක්ෂක, සුපරීක්ෂක (ඉන්ජිනේරු) ලිපිකරු, රියැදුරු, උපරියැදුරු සහ ආරක්ෂක නිලධාරීන් ඇතුලු 300කට රැකියා අහිමි වෙයි. එමෙන් ම, සතොස සතු ඉඩම්, ගොඩනැගිලි, නිවාඩු නිකේතන හා ලොරි ඇතුලු සියලු නිශ්චල සහ චංචල දේපොල පෞද්ගලික අංශයට විකුනා දැමීමට නියමිතය.

2023 සැප්තැම්බර් 27දා කොලඹ වොක්ෂෝල් වීදිය සතොස ශාඛාවේ සත්‍යග්‍රහ විරෝධතාවක නිරත වන සතොස කම්කරුවෝ

සතොස වසා දැමීම යෝජනා කරමින් වෙලඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලීන් ප්‍රනාන්දු අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කල පත්‍රිකාවක ට අනුමැතිය ලැබී ඇත.

වැඩ බලන සභාපති පසඳ යාපා අබේවර්ධන විසින් 2023.09. 20 දාතමින් සේවකයන් වෙත යොමුකර ඇති ලිපියකට අනුව අනිවාර්ය විශ්‍රාම ගන්වන සේවකයෙකුට ගෙවන 'සුදුසුකම් ලත්' උපරිම වන්දි මුදල රුපියල් 16,73,700 කි. එහෙත් වන්දි මුදල් ගෙවීමේ දී ඔවුන් ආයතනයෙන් ලබා ගෙන ඇති නය, අත්තිකාරම් සහ වෙනත් අයකර ගැනීම් ඇති නම් ඒවා අඩුකර ගැනීමෙන් පසුව සහ නෛතික ක්‍රියාමාර්ග පවතින්නේ නම් ඒවාට යටත් ව එම ගෙවීම් සිදුකරන බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව දොට්ට වැටෙන සේවකයන් ට ලැබෙනු ඇත්තේ එක්කෝ ඉතාමත් සොච්චම් වන්දියකි; නැතහොත් සතයක්වත් නො ලැබීමට ද ඉඩ තිබේ.

සැප්තැම්බර් 15 වෙනිදා වෙලඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් හමු වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට අනුබද්ධිත සතොස ශ්‍රී ලංකා පොදු ජන ප්‍රගතිශීලී වෘත්තීය සමිතියේ සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නායකයන් සතොස ඈවර කිරීමේ තීරනය ගැන 'නැවත සලාකා බලන' ලෙස ඔහුගෙන් ඉල්ලා තිබේ. එය කැබිනට් මන්ඩලයේ තීරනයක් හෙයින් තමන්ට එය වෙනස් කල නොහැකි බව ඔහු පවසා ඇත.

සතොස ඈවර කිරීම වලක්වාලමින් වාරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති විසින් පවරා තිබු නඩුව බදාදා විභාගයට ගැනුනු බවත් ඒ පිලිබඳ තීන්දුව අධිකරනය විසින් ඔක්තෝබර් දෙවෙනිදා ප්‍රකාශයට පත්කිරීම ට නියමිත බවත් සමිති නායකයින් සඳහන් කර ඇත.

සිල්ලර වෙලඳසැල් පවත්වාගෙන යන ලංකා සතොස ද ප්‍රතිව්‍යුහකරනය කිරීමට නියමිතය. ඒ අනුව ලංකා සතොසට 'වෙලඳ හා වානිජ නවීන තාක්ෂනය හඳුන්වා දීමටත්, අපද්‍රව්‍ය, කාර්ය මන්ඩලය සහ සැපයුම් වියදම් කපා හැරීමේ ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධතියක් වැනි පාලන ක්‍රම හඳුන්වා දීමට යෝජනා කර ඇත' යි වෙලඳ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසූ බව සැප්තැම්බර් 18 වෙනිදා සන්ඩේ ටයිම්ස් පත්‍රය සඳහන් කරයි. ලංකා සතොස වෙලඳසැල් 420 ක සේවයේ නියුතු 4000 පමන සේවකයන් ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසිවලට ද බරපතල පහරක් එල්ල කෙරෙනු ඇත.

රැකියා අහිමිවීමෙන් තමන්ට මුහුන දීමට සිදුවන දුෂ්කරතා ගැන සතොස සේවකයන් කිහිප දෙනෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලහ:

මැක්ලම් පාරේ සතොස තොග ගබඩාවේ ප්‍රවාහන අංශයේ රිය සහායකකු මෙසේ පැවසීය: “හැමෝම කියන්නෙ රස්සාව ඕන කියලා. ආන්ඩුව කියනවනම් මේක වහල දානවා කියලා අපිට ජීවත්වීම සඳහා වැඩි වන්දියක් දිය යුතුයි. අඩුම තරමේ ලක්ෂ 50ක් වත් දිය යුතුයි. ඒකත් මදි”. තමන්ට ලක්ෂ 17 ක් පමන නය ගෙවීමට ඇති බවත් වයස 60 දක්වා විශ්‍රාම යනතෙක් සේවය කල හැකියයි බලාපොරොත්තුවෙන් කම්කරුවන් නය ලබාගෙන ඇති බවත් ඔහු පැවසීය.

“මගේ මූලික වැටුප රුපියල් 32,000 ක් පමනයි. සියලුම දීමනා සමග රුපියල් 42,000 ක් විතර ලැබෙනවා. නමුත් දැන් අතිකාල නැහැ. උදේ ගෙදරින් එනවා බත් එක බැඳගෙන ඒක කාලා ආපහු ගෙදර යනවා. ආයතනයෙන් ලෝන් අරන් තියෙනවා, සුභසාධක සමිතිවලින් අරගෙන තියෙන ලෝන් ගෙව්වම අතට එන්නේ රුපියල් 30,000 ක් විතරයි.”

කම්කරුවන් නිහඬ කිරීම සඳහා ආන්ඩුව විසින් හඳුන්වා දෙමින් පවතින මර්දනකාරී නීති සම්බන්ධව එක් කම්කරුවෙකු පැවසුවේ “භාෂනයේ නිදහස නැහැ. ඒ ඔක්කොම අත් හිටුවන්නයි යන්නේ. දුම්‍රිය රියදුරන්ගේ වැඩ වර්ජනයට ආන්ඩුව අත්‍යාවශ්‍ය නියෝග දැම්ම. ආන්ඩුවට එහෙම කරන්න අයිතියක් නැහැ”.

ධනපති පාලන ක්‍රමය තුල කම්කරුවන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නැති බවත් ඒ සඳහා ධනපති කර්මාන්ත, බැංකු හා වතු ඇතුලු ධනපති දේපොල කම්කරු පාලනය යටතේ ජනසතු කරන කම්කරුවන් ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීමේ අවශ්‍යතාවය කම්කරු පන්තිය ඉදිරයේ මතු වී ඇති බව ලෝසවෙඅ වාර්තාකරුවන් ඔහු ට පැහැදිලි කල පසු එයට එකඟතාවය පලකල ඔහු “ඔව් අපේ ආන්ඩුවක් හදන්න ඕනා. අපි කැමති නැහැ මේව දාලා යන්න. මෙම ආයතන අනාගත පරම්පරාවට තියෙන්න ඕනා' යයි පැවසීය

ආරක්ෂක අංශයේ සේවය කරන විශ්‍රාම යාමට ආසන්න තවත් සේවකයකු ඔහුගේ මුලික වැටුප රුපියල් 43,000 ක් බව පැවසීය. 'අතිකාල කලොත් 85,000 ක් පමන ගන්න පුලුවන් නමුත් නය කැපුනට පස්සේ අතට ලැබෙන්නේ රුපියල් 50,000 ක් පමන. බිරිඳ බැංකුවක වැඩ කරන නිසා පන ගැටගසා ගන්න' බව ඔහු සඳහන් කලේ ය.

දැන් ආන්ඩුව ක්‍රියාවට දාන්නේ ජාමූඅ වැඩපිලිවෙල බවත් වන්දි අරන් හරි යන්න හිතන් ඉන්නේ අර්ථසාධකය බේරගන්න බවත් ඔහු ද පැවසීය.

අත්‍යවශ්‍ය සේවා කොන්දේසි පැනවීම හෙලා දුටු ඔහු “අත්‍යාවශ්‍ය සේවා කරල බලෙන් වැඩ ගන්න හදන්නේ. නමුත් ඒවාට විරුද්ධව වෘත්තිය සමිති අරගලයක් කරන්නේ නැති' බව සඳහන් කලේ ය.

පසුගිය වසරේ මහජන නැගිටීම ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ: “වැඩි දවස් නොගිහින් නැවතත් එහෙම නැගිටීමක් ඇතිවෙයි. මිනිස්සුන්ට ඔක්කොම පක්ෂ එපා වෙලයි තියෙන්නෙ. මම පොදු පෙරමුන ට ඡන්දේ දුන්නේ. දැන් මම ඒ ගැන කම්පා වෙනව'

සේවකයන් විශ්‍රාම යාමට අකමැති බව කාර්ය සහායක සේවිකාවක් පැවසුවාය. 'බහුතරයක් ඉන්නෙ තව අවුරුදු 15-20 ක් සේවය කරන්න පුලුවන් අය. ඒගොල්ලන්ට ගෙදර යන එක පාඩුයි, ඒගොල්ලන්ට දරුමල්ලො ඉන්නවා'

කම්කරුවන්ගේ ශ්‍රම සූරාකෑම ගැන පැහැදිලි කරමින් ඇය පැවසුවේ තමන් ඇතුලු බොහෝ දෙනෙකුව කාලයක් පුරා ලිපිකරු සේවයේ වැඩ ආවරනය කිරීම සඳහා යෙද වූ බවයි. “අවුරුදු 20කින් කිසිම උසස්වීමක් දුන්නේ නැහැ. හැමෝම ඉහල තනතුරක වැඩ ආවරනය කරන්නෙ. රියදුරු අංශයේත් එහෙම අය ඉන්නව'

සෙසු වෘත්තීය සමිති නිලධරයන් මෙන් ම, සතොස වෘත්තීය සමිති නායකයන් ගේ පිලිවෙත ද සේවක අයිතීන් රැක ගැනීමේ අව්‍යාජ අරගලයක් වෙනුවට සත්‍යග්‍රහ වැනි ආන්ඩුවට කන්නලව් කිරීම සහ බලපෑම් දැමීමේ හුදු විරෝධතාවලට සතොස කම්කරුවන් කොටුකර තැබීමයි. එවන් නිස්සාර විරෝධතා මගින් ආන්ඩුවේ ප්‍රතිව්‍යුහකරන සහ රැකියා විනාශ කිරීමේ වැඩපිලිවෙල පරාජය කල නොහැකිය.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරනය සහ රැකියා විනාශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් විධානය කර ඇති කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි. ජාමූඅ වික්‍රමසිංහ ආන්ඩුවට ඩොලර් බිලියන 3 ක ඇප නයක් ලබාදීමට එකඟ වී ඇති අතර ඒ සඳහා රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය, රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව සහ නව බදු ජාලයක් ක්‍රියාවට දැමීම ඇතුලු රුදුරු කොන්දේසි පනවා තිබේ.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරනය යටතේ ව්‍යවසායන් 430 ක් ප්‍රතිව්‍යුහකරනය, පුද්ගලීකරනය කිරීම හෝ වසා දැමීමට නියමිතය. මෙම වසර අවසන්වීමට පෙර එය මුලුමනින් ක්‍රියාවට දැමීමට ආන්ඩුව තීරනය කර ඇත. මුදල් රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ සැප්තැම්බර් 16 වෙනිදා මාධ්‍යට සඳහන් කල පරිදි: 'ඉදිරි අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතීවි. රජය හුදෙක් නියාමන අධිකාරියක් වශයෙන් පමනක් කටයුතු කරාවි'. ආන්ඩුවේ මෙම ප්‍රතිව්‍යුහකරන ක්‍රියාවලිය තුලින් අවම වශයෙන් රාජ්‍ය අංශයේ කම්කරුවන් ලක්ෂ පහකට රැකියා අහිමි කෙරෙමින් ඔවුන්ගේ පවුල වල මිලියන ගනනක් සාමාජිකයන් මහ මගට ඇද දැමෙයි.

ජාමූඅ නියෝජිත කන්ඩායමක් විසින් කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම සම්බන්ධව කරන ලද දෙසතියක සමාලෝචනයකින් පසුව බදාදා (27) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකිරීමේ ඉලක්කයන් සපුරා නැති බවට ආන්ඩුවට චෝදනා කරනු ලැබීය. දෙවන නය වාරිකය ලබා ගැනීමට නම් ආන්ඩුව ජාමූඅ කොන්දේසි කඩිනමින් ක්‍රියාවට දැමිය යුතු ය. එහෙයින් ආන්ඩුවට ආයාචනා කිරීම, බලපෑම් කිරීම හෝ ධනේශ්වර අධිකරනය තුලින් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහකරනය හා රැකියා විනාශය ඇතුලු ආන්ඩුවේ ප්‍රහාර පරාජය කල නොහැකිය.

වෘත්තීය සමිති නිලධරය පුද්ගලීකරනය හා රැකියා විනාශය ඇතුලු ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත. වෘත්තීය සමිති නායකයන්ගේ මෙම පිලිවෙත ගැන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරන ඒකකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් සැප්තැම්බර් 10 වෙනිදා මාධ්‍යට මෙසේ පැවසීය: 'පුද්ගලීකරනයට එරෙහිව වෘත්තීය සමිති වලින් එල්ල වූ විරෝධය බලාපොරොත්තු වූ තරම් නොවේ...ඉන් ඇඟවුම් කෙරුන පනිවිඩය වූයේ හොඳ ආයෝජකයින් ලබා ගැනීමයි'

කම්කරුවන් ට වෘත්තීය සමිති තුලින් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව සහ රැකියා ඇතුලු සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීමේ අව්‍යාජ අරගලයක් සංවිධානය කල නොහැකිය. අයිතීන් රැක ගැනීමේ අරගලය කම්කරුවන් තමන් අතට ගත යුතුය. ඒ සඳහා විකල්ප සංවිධාන ලෙස වැඩපලවල, කම්හල් සහ වතුවල වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල ට එරෙහිව හා තම අයිතීන් රැකගැනීම සඳහා සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම අවශ්‍ය වේ. එය වික්‍රමසිංහ-පොදු පෙරමුන ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකි.

Loading