සසප, ආර්.එම්.ගුනතිලක සහෝදරයාගේ 85 වැනි උපන්දිනය සමරයි

[මෙය Sri Lankan SEP celebrates comrade R.M. Gunathilake’s 85th birthday යන මැයෙන් 2023 සැප්තැම්බර් 29 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සමාජවාදී සමානතා පක්ෂය (සසප), පසුගිය සඳුදා (සැප්තැම්බර් 25) දින, පවුලේ සාමාජිකයින්, පක්ෂ සාමාජිකයින් සහ ආධාරකරුවන් 60 දෙනෙකුගේ පමන සහභාගීත්වයෙන් ආර්.එම්. ගුනතිලක සහෝදරයාගේ 85 වැනි උපන්දිනය සමරනු ලැබුවේ ය. ට්‍රොට්ස්කිවාදය සඳහා සටන් වැදීමේ අශමනීය ඉතිහාසයක් ඇති ඔහු, දැනට සසප හි සිටින වියපත්ම සාමාජිකයා වේ.

ආර්.එම්. ගුනතිලක

මෙය ඔන්ලයින් හමුවක් ලෙස සංවිධානය කර තිබුනි. ගුනතිලක සහෝදරයා, ඔහුගේ බිරිඳ හේමාවතී රත්නායක, දියනියන් දෙදෙනා සහ පුතා ද, මුනුබුරු මිනිබිරියන් හත්දෙනා ද බදුල්ලට නුදුරින් හාලි-ඇල පිහිටි ඔහුගේ නිවසේ සිට එක්විය. සසප බන්ඩාරවෙල ශාඛාවේ සාමාජිකයෝ සහ ආධාරකරුවෝ රැස්වීම සංවිධානය කිරීමට මූලිකත්වය ගත්හ.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා ශාඛාව ලෙස, 1968 ජූනි මාසයේදී, සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පිහිටුවා සති කිහිපයකට පසු ගුනතිලක එයට සම්බන්ධ විය. ඔහු රජයට අයත් ශ්‍රී ලංකා ගමනාගමන මන්ඩලයේ (සීටීබී) සේවකයෙකි.

රැස්වීමේ මුලසුන දැරූ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර පැවසුවේ, ගුනතිලක විකොසට බැඳුනු දා සිට වසර පනහකට වැඩි කාලයක් විකොස/සසප ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය හා වැඩපිලිවෙල වෙනුවෙන් නොසැලී සටන් වැදුනු බවයි.

'දශක පහකට වැඩි වන ඔහුගේ විප්ලවවාදී ජීවිතයේ මූලික හරය වන්නේ, ට්‍රොට්ස්කිවාදයේ මූලධර්ම සඳහා ඔහුගේ දැඩි කැපවීම සහ එහි ඉදිරිදර්ශනය සඳහා ඔහුගේ අඛන්ඩ අරගලයයි.'

රාජ්‍ය දඩයම්, මැර තර්ජන සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ ද්‍රෝහිකම් ඇතුලු අතිමහත් දුෂ්කරතාවලට මුහුන දීමට සිදු වුවද, ගුනතිලක කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව අතර විප්ලවවාදී මූලධර්ම සඳහා වූ අරගලයෙන් අංශු මාත්‍රයකට හෝ නොසැලුනු බව ජයසේකර පැවසීය. 'අපි ඔහුගේ ජීවිතයෙන් ගත යුතු ආදර්ශය එයයි,' ඔහු පැවසීය.

බන්ඩාරවෙල සහ බදුල්ල ප්‍රදේශවල පක්ෂයේ දේශපාලන කටයුතුවලදී ගුනතිලක සමඟ සමීපව කටයුතු කල අත්දැකීම් සිහිපත් කරමින් ජයසේකර පැවසුවේ: “පක්ෂ ශාඛාවේ රැස්වීම්වලදී, ඕනෑම සාමාජිකයෙකු පෙන්නුම් කල ඕනෑම අපගමනයකට එරෙහිව ගුනතිලක තියුනු, පැහැදිලි අදහස් ප්‍රකාශ කලා. එවැනි ප්‍රකාශ, කිසිදු ආත්මීය අභිප්‍රේරනයකින් මෙහෙය වූ ඒවා නෙවෙයි, දේශපාලනිකව පැහැදිලි කිරීම සහ අදාල සහෝදරවරුන්ට ඒත්තු ගැන්වීම අරමුනු කර ගත් ඒවා.”

ඔහු ජීවත් වන ඌව පලාතේ වතු කම්කරුවන් හා ගම්බද දුගීන් මුහුන දෙන සමාජ හා දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් පක්ෂයේ සිංහල හා දෙමල පුවත්පත් වලට සහ පසුව ලෝක සමාජවාදී වෙබ් අඩවියට ගුනතිලක විසින් කලකට පෙර කල දායකත්වය ජයසේකර පැසසුමට ලක් කලේය.

ලෝසවෙඅ හි ශ්‍රී ලංකා ජාතික කර්තෘ කේ. රත්නායක, ට්‍රොට්ස්කිවාදී පක්ෂ කේඩරයක ප්‍රමුඛ සාමාජිකයෙකු ලෙස ගුනතිලකගේ අරගලය පැහැදිලි කරමින් ඔහුගේ දේශපාලන ඉතිහාසය ගෙනහැර දැක්වීය.

ගුනතිලක හැදී වැඩුනේ, සටන්කාමී කම්කරුවන්ගේ අරගල පැවති, තේ වතු වලින් වට වූ ප්‍රදේශයක් වන හාලි-ඇල ප්‍රදේශයේ ය. ලංකා සමසමාජ පක්ෂයටත් (ලසසප), එය 1942 දී ඉන්දියාවේ ට්‍රොට්ස්කිවාදී බොල්ෂෙවික්-ලෙනින්වාදී පක්ෂය බවට පරිවර්තනය වීම සඳහාත්, වතුකරයේ ද ඇතුලුව ඉන්දියානු හා ශ්‍රී ලංකා කම්කරුවන් අතර ශක්තිමත් ආධාරක පදනමක් තිබුනි.

ගුනතිලකගේ උපන්දින උත්සවයට සහභාගී වූ සසප සාමාජිකයන්, ආධාරකරුවන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් කොටසක්.

ගුනතිලක සමසමාජ පක්ෂයට ආකර්ෂනය විය. 1964 දී අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ (ශ්‍රීලනිප) ආන්ඩුවට එක්වීමෙන් ලසසප කල ඓතිහාසික පාවාදීමෙන් වසරකට පසු, 1965 අගෝස්තු මාසයේදී, ඔහු ලංකා ගමනාගමන මන්ඩලයට සම්බන්ධ විය. ලසසප ධනපති ආන්ඩුවකට එක්වීම ගැන කම්කරුවන් අතර උනුසුම් වාද විවාද පැවතුනි.

ගුනතිලක ඊට විරුද්ධ වූවන්ගේ පැත්ත ගත් අතර සමසමාජ වෘත්තීය සමිති නිලධරයන්ගේ තර්ජනවලට මුහුන දුන්නේය. කෙසේ වෙතත්, ඔහුට ලසසප පාවාදීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට දේශපාලන මාධ්‍යයක් සොයා ගත හැකි වූයේ, මහරගම ලංගම ඩිපෝවෙන් පිටත කම්කරු පුවත් විකුනන විකොස සහෝදරයන් හමු වූ විට පමනක් බව රත්නායක පැවසීය.

“තියුනු සාකච්ඡාවකදී විකොස සහෝදරවරු, පාවාදීමේ මූලයන්—අවස්ථාවාදී පැබ්ලෝවාදී ප්‍රවනතාවය ට්‍රොට්ස්කිවාදය අතහැර දමා ලසසප පාවාදීම සඳහා අනුබල දුන් ආකාරය පැහැදිලි කලහ. මෙම සංශෝධනවාදී ප්‍රවනතාවයට එරෙහිව අරගල කිරීම සඳහා 1953 දී හජාජාක පිහිටුවන ලදී. විකොස ආරම්භක ප්‍රධාන ලේකම් අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය සහ ඔහුගෙන් පසුව පත් වූ විජේ ඩයස් මෙම කලාපය තුල මෙම අරගලයට නායකත්වය දුන්හ.

“සති කිහිපයකින් ගුනතිලක විකොසට බැඳීමට තීරනය කලේය. මෙම න්‍යායික පදනම පක්ෂයේ ඉදිරිදර්ශනය සඳහා ගුනතිලකගේ අනාගත අරගලය හැඩගැස්වීය.

“1970 ගනන්වල දෙවන සභාග ආන්ඩුවට එරෙහි අරගලය තුල දී, කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල මෙන්ම, ලංගම කම්කරුවන් අතර ශක්තිමත් පදනමක් දිනා ගැනීමට විකොස සමත් විය. ‘ලසසප සහ කොප (ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය) සභාග ආන්ඩුවෙන් බිඳී කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවිය යුතුය’ යන එහි ඉල්ලීම, මෙම අවස්ථාවාදී පක්ෂ හෙලිදරව් කරමින් කම්කරුවන් දැනුවත් කිරීමට බෙහෙවින් ඉවහල් වූ අතර එය පක්ෂයට හොඳම කොටස් දිනා ගැනීමට හැකියාව ලබා දුන්නේය.

“මෙම අරගලයේදී ගුනතිලක, වෘත්තීය සමිති නිලධරයන්ගේ තර්ජනවලට සහ වෘත්තීය සමිතියෙන් නෙරපා හැරීමටත්, පොලිස් අත්අඩංගුවට ගැනීම් ඇතුලු රාජ්‍ය තාඩන පීඩනවලටත් මුහුන පෑවේය. කෙසේ වෙතත් ඔහුගේ විප්ලවවාදී අධිෂ්ඨානය බිඳ දැමිය නොහැකි විය,” රත්නායක පැහැදිලි කලේය.

ජනාධිපතිජේ. ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව 1977 දී බලයට පත් වූයේ සමසමාජ පක්ෂයේ සහ කොපයේ පාවාදීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එය විවෘත වෙලෙඳපොල ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, සුබසාධන වැඩසටහන් සහ රාජ්‍ය ආයතන කඩා බිඳ දැමීම ආරම්භ කලේය.

ජයවර්ධන, ලසසප, කොප හා මධ්‍යමිකවාදී නව සමසමාජ පක්ෂයේ සහ වෘත්තීය සමිති නායකත්වයේ ද්‍රෝහීත්වයේ සහාය ඇතිව කම්කරුවන්ගේ ප්‍රතිරෝධය නිර්දය ලෙස යටපත් කලේය. 1980 ජූලි මාසයේදී රාජ්‍ය අංශයේ පැවති මහා වැඩ වර්ජනයක් තලා දමන ලද්දේ සේවකයන් 100,000 ක් පමන සේවයෙන් පහකරමිනි.

රැකියාව අහිමි වූ ගුනතිලකට නැවත උපන් ගමට යාමට සිදු විය. විශාල ආර්ථික දුෂ්කරතාවලට මුහුන දුන් ඔහු පක්ෂ වැඩ කටයුතු කරගෙන යන අතරම තම පවුලට උපකාර කිරීම සඳහා ගොවිතැන් කිරීමට පටන් ගත්තේය. ඔහු බන්ඩාරවෙල විකොස/සසප ශාඛාවට බැඳී, විශේෂයෙන්ම වතු කම්කරුවන් අතර පක්ෂයේ වැඩකටයුතු වර්ධනය කිරීමට උදව් කලේය. තරමක් හොඳින් දෙමල දැන සිටි ඔහු දෙමල කතා කරන කම්කරුවන් අතර විකොසේ වැඩ කිරීමට දායක විය.

කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීමට, එජාපයේ දෙමල විරෝධී ජාතිවාදී ව්‍යාපාර, 2009 මැයි මාසයේදී එල්ටීටීඊය පරාජය කරමින් අවසන් වූ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වාර්ගික යුද්ධය අවුලුවාලීය.

දෙමල සුලුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරමින් සහ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ ශ්‍රී ලංකා ඊලාම් සමාජවාදී ජනරජයක් සඳහා වන ඉල්ලීම මතු කරමින් යුද්ධයට නිරතුරුවම විරුද්ධ වූ එකම පක්ෂය විකොස/සසප විය.

රත්නායක පැවසුවේ, මෙම දේශපාලන අරගලය ග්‍රාමීය ප්‍රදේශවල විශේෂයෙන් දුෂ්කර වූ නමුත් ගුනතිලක තම ප්‍රදේශය තුල මූලිකත්වය ගත් බවයි.

“1985-1986 බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ ද්‍රෝහීන්ගෙන් හජාජාක භේද වීමට ඔහු දැක්වූ ප්‍රතිචාරය ගැන මම යමක් කිව යුතුයි. කවිප පිරිහුනු ආකාරය තේරුම් ගැනීමටත් පක්ෂයේ අරගලය වර්ධනය කිරීම සඳහා එහි දේශපාලන පාඩම් උකහා ගැනීමටත් ඔහු උනන්දු වුනා,” කථිකයා පැවසීය.

ගුනතිලක වයස හා සම්බන්ධ රෝග ගනනාවකට මුහුන දුන් නමුත් තවමත් පක්ෂයේ වැඩකටයුතුවලට දැඩි ලෙස සම්බන්ධ වන බව රත්නායක පැවසීය. 'ඔහුගේ ජීවිතය විප්ලවවාදී ට්‍රොට්ස්කිවාදියෙකුගේ ජීවිතය වන අතර එය තුල අපට බොහෝ පාඩම් අඩංගුයි,' ඔහු අවසන් කලේය.

රොහන්ත ද සිල්වා, එම්. දේවරාජා, විලානි පීරිස්, සකුන්ත හිරිමුතුගොඩ, පානිනි විජේසිරිවර්ධන, දයානන්ද සහ සමන් ගුනදාස, ආර්.එම්. ගුනතිලකගේ දේශපාලන ජීවිතයේ විවිධ පැතිකඩ පෙන්වා දෙමින් කෙටියෙන් දායක වූහ.

ගුනතිලක, සැමරුම සංවිධානය කල අයට ස්තුතිය පුද කරමින්, පක්‍ෂ කේඩරයක සාමාජිකයෙකු ලෙස තමාගේ කාර්යභාරය ආස්වාදජනක බව ප්‍රකාශ කලේය. “මට ඔබට කියන්නට අවශ්‍ය වන්නේ පක්ෂය තුල මගේ කුඩා කොටස ඉටු කිරීමට මට හැකි වූයේ එය දේශපාලනිකව සහ න්‍යායාත්මකව මාව දැනුවත් කල නිසා බවයි. අප දන්නා පරිදි, මාක්ස්වාදී න්‍යාය සහ විප්ලවවාදී පක්ෂය නොමැතිව කම්කරු පන්තියට බලය අතට ගත නොහැකියි,” ඔහු පැවසීය.

“කම්කරු පන්තියේ විඥානය වෙනස් කල හැක්කේ පක්ෂයේ මැදිහත් වීමෙන් විතරයි; එය සංවිධානය කල හැකි අතර බලය ලබා ගැනීමට සන්නද්ධ කල හැකියි. 1917 දී ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුත් බොල්ෂෙවික් පක්ෂය යටතේ රුසියාවේ සිදුවූයේ එයයි. රුසියානු විප්ලවය මෙහෙයවනු ලැබුවේ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින්.

“විකොස සහෝදරවරුන් හමුවීමට තරම් මා වාසනාවන්ත වුනා. ගොවි ජනතාවට විප්ලවයට නායකත්වය දිය හැකි බවට—මම හිතන්නේ ඒක මගේ ගොවි පසුබිමෙන් ගලා ආ දෙයක්—ඒ කාලයේ මට අදහසක් තිබුනා. රුසියානු විප්ලවයේ තීරනාත්මක පාඩම් පැහැදිලි කල කීර්ති බාලසූරිය සහෝදරයා මාව නිවැරදි කලා.

“කම්කරු පන්තියේ ප්‍රමුඛ විප්ලවවාදී භූමිකාව අවධාරනය කල ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය පිලිබඳව ඔහු මා දැනුවත් කලා. විජේ, රත්නායක, වික්ස් ඇතුලු අනෙකුත් සහෝදරවරු මගේ න්‍යායික සහ දේශපාලනික වර්ධනයට විශාල ලෙස උදව් කලා.

“සහෝදරවරු ඔවුන්ගේ කතා තුල අවධාරනය කල පරිදි, අපි සමාජවාදී විප්ලවයේ දශකය පසු කරමිනුයි ඉන්නේ,” ඔහු පැවසීය.

කම්කරුවන්, තරුනයින් දැනුවත් කිරීම සහ සමාජවාදී ඉදිරිදර්ශනය සැපයීම සම්බන්ධයෙන් ලෝසවෙඅ වැදගත්කම අවධාරනය කල ගුනතිලක, “මම තරුනයින්ට උපදෙස් දෙනවා: කරුනාකර මාක්ස්වාදී න්‍යාය; පක්ෂය ගෙන ගිය අතීත අරගල; සහ 20 වැනි සියවසේ විවේචනාත්මක පාඩම් අධ්‍යයනය කරන්න. මෙහිදී අධ්‍යයනය කල යුතු තීරනාත්මක කෘති දෙකක් තියෙනවා: ඩේවිඩ් නෝර්ත් විසින් රචිත නොනිමි විසිවෙනි සියවස යන ග්‍රන්ථය සහ රුසියානු විප්ලවය අධ්‍යයනය කල යුත්තේ මන්ද? නම් ග්‍රන්ථයේ වෙලුම් දෙක අධ්‍යයනය කිරීම ඉතා වැදගත්.”

Loading