කයිසර් පමනෙන්ට් කම්කරුවන් 75,000 ක් ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම සෞඛ්‍ය සේවා වර්ජනය ආරම්භ කරයි

[මෙය 75,000 Kaiser Permanente workers begin the largest healthcare strike in US history යන මැයෙන් 2023 ඔක්තෝබර් 05 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

කයිසර් පමනෙන්ට් හි සෞඛ්‍ය සේවකයින් 75,000 ක් පමන බදාදා වැඩවර්ජනයක් ආරම්බ කල අතර එය එක්සත් ජනපද ඉතිහාසයේ සෞඛ්‍ය සේවකයින් විසින් සිදු කරන ලද විශාලතම වැඩවර්ජනයයි. එය සෙනසුරාදා උදෑසන දක්වා පවතිනු ඇති අතර කැලිෆෝනියා, ඔරිගන්, වොෂින්ටන්, කොලරාඩෝ, වර්ජිනියා සහ කොලොම්බියා දිස්ත්‍රික්කය පුරා කම්කරුවන් ඊට සම්බන්ධ වේ.

පිකට් වැට වෙත ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ, සමස්ත මහා වැඩවර්ජනයක් දියත් කිරීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි ලෝසවෙඅ සෞඛ්‍ය කම්කරු පුවත් හසුනේ මෑත ප්‍රකාශය අඩංගු පත්‍රිකා සිය ගනනක් බෙදා හලහ. ලොස් ඇන්ජලීස් හි බලපත්‍රලාභී වෘත්තීය හෙදියක් වන රාජ්වින්දර් අපගේ වාර්තාකරුවන්ට පැවසුවේ, “අපි වඩා හොඳ වැටුපක්, වඩා ඉහල කාර්ය මන්ඩලයක් සහ වඩා හොඳ ප්‍රතිලාභ සඳහා වන වැඩ වර්ජනයකයි යෙදී සිටින්නේ. අපේ පවුලට අවශ්‍ය දේවල් සැපයීමට අපිට හැකියාව තිබිය යුතුයි. ඒවා දැරියහැකි මිල ගනන් වලට තිබිය යුතුයි. අපි කරන රැකියාවෙන් අපට ජීවත්වීමට හැකි විය යුතුයි.”

කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි වැඩ වර්ජන කරන කයිසර් කම්කරුවන්

මෙම ඓතිහාසික වැඩවර්ජනය එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව ප්‍රසාරනය වන පන්ති අරගලයේ තවත් ප්‍රධාන පෙරමුනක් විවෘත කරයි. ලොව පුරා සිටින සෞඛ්‍ය සේවකයින් හා සමානව, කයිසර් කම්කරුවන් වැටුප් තියුනු ලෙස වැඩි කිරීම, ආරක්ෂිත කාර්ය මන්ඩල මට්ටම්, අනිවාර්ය අතිකාල සේවා අවසන් කිරීම සහ සෞඛ්‍ය සේවා පහසුකම්වල ආසාදන පාලන පියවර පුලුල් කිරීම සඳහා සටන් කරයි. එය මහජන සෞඛ්‍යයට හා සමාජයේ යහපැවැත්ම සඳහා මූලික වශයෙන් නොගැලපෙන ධනේශ්වර සමාජ පර්යායකට එරෙහිව සමස්තයක් ලෙස කම්කරු පන්තියේ අයිතීන් හා අවශ්‍යතා සඳහා අරගලයකි. එය හෙදියන්, ගෘහ සෞඛ්‍ය සහායකයින්, කාර්මිකයන්, ඖෂධවේදීන් සහ හදිසි සේවා සේවකයින් විසින් ගෙන යන අරගලයකි.

ඔරිගන්හි සහ වොෂින්ටනයේ ෆාමසි සේවකයින්, නිව් ජර්සි හි නිව් බ්‍රන්ස්වික් හි රොබට් වුඩ් ජොන්සන් විශ්ව විද්‍යාල රෝහලේ හෙදියන්, අසෙන්ෂන් ප්‍රොවිඩන්ස් රොචෙස්ටර් රෝහලේ ලියාපදිංචි හෙදියන් සහ විකිරන තාක්‍ෂනවේදීන්, සහ නවසීලන්තයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් සහ ජාතික සෞඛ්‍ය සේවා විකිරන ශිල්පීන්, උපදේශකයින් සහ බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් ආදීන්ගේ වැඩවර්ජන ඇතුලුව සෞඛ්‍ය සේවයේ මෑත කාලීන සහ ක්‍රියාත්මක වන බොහෝ අරගලවලට කයිසර් වර්ජකයෝ එක් වෙති.

සෞඛ්‍ය සේවකයින් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් අත්‍යවශ්‍ය වන අතර සමස්ත කම්කරු පන්තියේම සහයෝගය ලැබිය යුතුය. කොවිඩ්-19 වසංගතය ආරම්භ වීමට පෙර පවා, එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවා පද්ධති ඒ වන විටත් විනාශ වී තිබුනි. 2000 සිට රෝහල් සිය ගනනක්, විශේෂයෙන් ග්‍රාමීය රෝහල් වසා දමා ඇත. වැටුප්, විශේෂයෙන් රෝගී සත්කාරක තනතුරු වල වැටුප්, බොහෝ දුරට එකතැන පල් වෙමින් පවතින අතර උද්ධමනය අඛන්ඩව ඉහල ගොස් ඇත. ඇමරිකානු වෛද්‍ය සංගමයේ වාර්තාවකට අනුව, සෞඛ්‍ය සේවකයින්ගෙන් විශාල බහුතරයක්, එනම් සියයට 86 ක්, සතියකට පැය 40 කට වඩා වැඩ කරන අතර, සියයට 23 ක් සතියකට පැය 60 කට වඩා වැඩ කරයි.

වසංගතය ආරම්භයේ සිට, ධනේශ්වර දේශපාලඥයින් සහ සංගත මාධ්‍ය විසින් වරක් “වීරයන්” ලෙස වර්නනා කරන ලද ලක්ෂ සංඛ්‍යාත සෞඛ්‍ය සේවකයින්, ඔවුන් විසින්ම ක්‍රියාත්මක කරන ලද සහ ප්‍රවර්ධනය කරන ලද මිනීමරු ප්‍රතිපත්ති හේතුවෙන් වෘත්තියෙන් ඉවත් වී ඇත. සෞඛ්‍ය සේවකයින්ට බොහෝ දුරට, ප්‍රමානවත් පුද්ගලික ආරක්ෂක උපකරන (PPE), උසස් තත්ත්වයේ වාතාශ්‍රය හෝ සෞඛ්‍ය සේවා පරිශ්‍ර තුල වෛරසය පැතිරීමට එරෙහිව සටන් කිරීම සඳහා වෙනත් ක්‍රියාමාර්ග නොමැතිව වැඩ කිරීමට සිදුවී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වී සෞඛ්‍ය සේවකයින්‍ට ය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇස්තමේන්තු කරන්නේ 2021 මැයි මාසය වන විට සෞඛ්‍ය සේවකයින් 180,000 දක්වා මිය ගිය බවයි. මෙම දත්ත, අතිරික්ත මරන මිලියන 9.4 සිට 27.5 දක්වා ඉහල ගොස් ඇති කාල පරිච්ඡේදයක් වූ එතැන් සිට මේ දක්වා බහිර්නිවේශනය කිරීමෙන් [පවතින ප්‍රවනතා දිගටම පවතිනු ඇතැයි හෝ ඒ හා සමාන ක්‍රම අදාල වේ යැයි උපකල්පනය කරමින් නොදන්නා තත්වයකට (ක්‍රමයක් හෝ නිගමනයක්) යෙදීම දීර්ඝ කිරීම], ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 500,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කර මියගොස් ඇත.

ඔවුන්ගේ ඉල්ලීම් සඳහා සටන් කිරීමේදී, කයිසර් කම්කරුවන් පෙරමුනු දෙකක යුද්ධයකට මුහුන දෙති. එක් පෙරමුනක, එක්සත් ජනපදයේ විශාලතම 'ලාභ නොලබන' සෞඛ්‍ය සේවා පද්ධතිය වන කයිසර් ම ඇත. කයිසර් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ග්‍රෙගරි ඇඩම්ස් වසරකට ඩොලර් මිලියන 16 ක් පමන වන්දි වශයෙන් උපයා ගන්නා බව වාර්තා වේ. මීලඟ ඉහල විධායක නිලධාරීන් 35 දෙනාටම ඩොලර් මිලියනයකට වඩා වැටුප් ලැබේ. සමස්තයක් ලෙස කයිසර් ජාලයට ඩොලර් බිලියන 44.5 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති මුදල් සංචිතයක් පවතින අතර 2023 පලමු භාගයේ වාර්තාගත ශුද්ධ ආදායම (එනම් ලාභය) ඩොලර් බිලියන 3.3 කි.

වඩා හොඳ වැටුපක් ලබා දීමට සහ වැඩි කාර්ය මන්ඩලයක් බඳවා ගැනීමට ප්‍රමානවත් මුදලක් නොමැති බවට කරන ඕනෑම ප්‍රකාශයක් විකාර සහගත ය. 2023 වසරේ මේ දක්වා කයිසර්ගේ ලාභය පමනක් වැඩවර්ජනයේ යෙදෙන සෑම සේවකයෙකුටම ආසන්න වශයෙන් ඩොලර් 44,000 කට එක් වරක් බෝනස් ලබා දීමට ප්‍රමානවත් වන අතර, යෝධ මුදල් සංචිතය අවශ්‍ය දස දහස් ගනනක් වැඩි වැටුප් අනුපාත පිරවීමට භාවිතා කල හැක.

අනෙක් පෙරමුනේ, කයිසර් කම්කරුවෝ, එස්ඊඅයියූ හි වෘත්තීය සමිති නිලධර සන්ධානය, එක්සත් බටහිර සෞඛ්‍ය සේවාව (එස්ඊඅයියූ) සහ තවත් කුඩා වෘත්තීය සමිති කිහිපයකින් සැදුනු, කයිසර් පමනෙන්ට් වෘත්තීය සමිති (සීකේපීයූ) සඳහා වූ ඒකාබද්ධ සන්ධානයට මුහුන දී සිටිති. සීකේපීයූ වැඩවර්ජනය කැඳවූයේ කම්කරුවන්ගේ දැවැන්ත පීඩනය යටතේ පමනක් වන අතර, හැකිතාක් දුරට එය පාලනය කිරීමට උත්සාහ කරමිනි. කම්කරුවන්ගේ කොන්ත්‍රාත්තු අවසන් වී දින තුනකට පසුව කයිසර් විසින් වර්ජනය කැඳවූයේ 'අසාධාරන ශ්‍රම පරිචයන්' යන සීමිත පදනම මත, දින තුනකට පමනි. මෙම ක්‍රියා පටිපාටිමය උපාමාරුව මඟින්, වැඩවර්ජනය තුල, සේවක මට්ටම් සහ වන්දි සඳහා සෘජු ඉල්ලීම් මතු කිරීමට සාමාන්‍ය කම්කරුවන්ට ඉඩ නොදෙන අතර, කයිසර් නැවත වරක් “හොඳ විශ්වාසයකින්” කේවල් කරන බව ප්‍රකාශ කලහොත් ඕනෑම වේලාවක වර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිතියට ඉඩ සලසයි.

එපමනක් නොව, කොන්ත්‍රාත්තුවේ එක සහ දෙක වසරවල සියයට 7 ක වැඩිවීමක් සහ කයිසර් තුල ඩොලර් 25 ක අවම වැටුපක් සහිත වසර තුන සහ හතරේ දී සියයට 6.25 ක වැඩිවීමක් ද ඇතුලත්ව සීකේපීයූ විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අවම වශයෙන් හෝ ප්‍රමානවත් නොවේ. එවැනි වැඩිවීම්, කයිසර් කම්කරුවන්ගෙන් අතිමහත් බහුතරයක් දරිද්‍රතාවයේ ජීවත් වීමට ඉඩ හරින අතර, අනාගත ඉහල යන ජීවන වියදම් සඳහා කිසිවක් සපයනු නොලබයි; එසේම දරාගත නොහැකි සහ අනාරක්ෂිත සේවා කොන්දේසි කිසි ලෙසකින් ආමන්ත්‍රනය නොකරයි.

රෝගීන් රැකබලා ගැනීම වඩ වඩාත් අනතුරුදායක වී ඇති තත්වය තුල, ජාලය පුරා ඇති කාර්ය මන්ඩල අර්බුදය විසඳීම සඳහා සැලකිය යුතු ඉල්ලීම් කිසිවක් සීකේපීයූ විසින් මතු කරනු ලැබ නැත. සැන් ඩියාගෝ හි සේවය කරන ජෙෆ් සඳහන් කලේ, “සමහර අවස්තාවල ඒකකයේ, අපට විශේෂිත වෛද්‍ය-ශල්‍ය ඒකකයක එක් සහතික කල හෙද සහයකයෙක් (සහෙස) සිටින අතර එය ප්‍රමානවත් නොවේ! මෙම හෙදියන්ට උදව් අවශ්‍යයි, අප සියල්ලන්ටම එය අවශ්‍යයි. රෝගීන් ආරක්ෂිතව රැකබලා ගැනීමට නම්, අපට කෝවිඩ් පැමිනීමට පෙර මෙන්, සෑම ඒකකයකම අවම වශයෙන් සහාය හෙද සේවකයන් දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් සිටිය යුතුයි. අප එකිනෙකාට උදව් කර ගැනීමට හැකි වූ කෝවිඩ් වසංගතයට පෙර තිබූ තත්වයට අපව ගෙන ඒමට ඔවුන් ක්‍රියා කිරීම අවශ්‍යයි.”

නිලධරයන් සහ සේවකයින් අතර සම්බන්ධය බිඳීයාම එස්ඊඅයියූ සභාපති මේරි කේ හෙන්රි විසින් බදාදා උදෑසන ට්විටර්/එක්ස් (Twitter/X) හි පල කරන ලද ප්‍රකාශයකින් නිදර්ශනය කර ඇත; ඇය කියා සිටියේ “එස්ඊඅයියූ සාමාජිකයින් මිලියන දෙකක් ඔබ සමග සිටින” බවයි. 2022 දී සේවක සංගම් ගාස්තුවෙන් ඩොලර් 271,713 ක් උපයාගත් හෙන්රි, මිලියන 2 ක එස්ඊඅයියූ සාමාජිකයින්ගෙන් අති බහුතරයක් වැඩ වර්ජනය අතරතුර දිගටම වැඩ කරන්නේ ඇයිද යන්න සහ ඒ සමගම වැඩ වර්ජන කරන කම්කරුවන්ට ඔවුන්ගේ “සහාය ලැබෙන' ආකාරය පැහැදිලි කලේ නැත.

කයිසර් කම්කරුවන්ගේ අරගලය තෙදින සීමිත වැඩවර්ජනයකට සීමා කිරීමෙන්, සීකේපියූ නිලධරය පැහැදිලි කරන්නේ තමන් කම්කරුවන්ගේ වඩාත් තීරනාත්මක ඉල්ලීම් කිසිවක් සාක්ෂාත් කර ගැනීම සඳහා අව්‍යාජ අරගලයක් නොකරන බවයි. කම්කරුවන් කයිසර් සන්ධානයේ කොටසක, එනම් මේරිලන්ඩ්, හවායි සහ වොෂින්ටනයේ සමහර ප්‍රදේශවල තවමත් රැකියාවේ යෙදී සිටිති. කයිසර් කම්කරුවන් රට පුරා ඇස්තමේන්තුගත මිලියන 13 ක ජනතාවකට සෞඛ්‍ය සේවා සපයන නමුත්, ප්‍රධාන ඉල්ලීම් සඳහා සහයෝගය දැක්වීමට රට පුරා සැලකිය යුතු අනුග්‍රහ වැඩවර්ජන කැඳවා නැත. තවද, වර්ජිත කයිසර් කම්කරුවන්ට වර්ජන වැටුප් පවා ලබා නොදේ.

ඇගේ වීඩියෝ ප්‍රකාශයේ, එස්ඊඅයියූ සභාපති හෙන්රි පසුගිය කාලයේ කෙවෙිඩ්-19 වසංගතය ගැන කතා කල නමුත් වසංගතය අවසන් වී නැති බව සෞඛ්‍ය සේවකයින් දනිති. ලෝසවෙඅ සමග පිකට් වැටවල කතා කල බොහෝ කම්කරුවන් මුඛ ආවරන පැලඳ සිටි අතර, වසංගතය පිලිබඳ ධනේශ්වර දේශපාලඥයින්ගේ බොරුවලට පිලිකුල පල කලහ.

වර්තමානයේදී, අපජල දත්ත පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදය කෝවිඩ් රැල්ලක් මධ්‍යයේ සිටින අතර එය දිනකට ඇස්තමේන්තුගත පුද්ගලයින් 500,000 කට ආසාදනය වන බවත් ගෝලීය වශයෙන් තවත් මිලියන ගනනක් ආසාදනය වී සිටින බවත් ය. මෙම සරත් සෘතුවේ සහ ශීත ඍතුවේ දී තවත් 'ත්‍රිත්ව වසංගතයක්' ඇති කිරීමට තර්ජනය කරන ඉන්ෆ්ලුවෙන්සා සහ ආර්එස්වී (ශ්වසන සමමුහුර්ත වෛරසය - පරිවර්තක) සමඟ හදිසි ප්‍රතිකාර කාමර නැවත වරක් පිරී යාමටත් රෝහල්ගතවීම් ඉහල යාමටත් පටන්ගෙන ඇත. ලොව පුරා, සෑම දිනකම වසංගතය නිසා අතිරික්ත මරන දහස් ගනනක් සිදුවේ.

කර්මාන්තයක් කර්මාන්තයක් පාසා සහ වැඩ වර්ජනයක් වැඩ වර්ජනයක් පාසා කලමනාකරනයට එරෙහිව සටන් කිරීමට උත්සාහ කරන කම්කරුවන් වරප්‍රසාද ලත් වෘත්තීය සමිති නිලධරයන් විසින් වලක්වයි. ධනේශ්වර ක්‍රමයට සහ සතුරු සමාජ පන්තිවල අවශ්‍යතාවලට එරෙහිව කම්කරුවන් නැගී සිටින අතරම, වෘත්තීය සමිති 'කම්කරු-කලමනාකරන හවුල්කාරිත්වය' ගැන දේශනා කරමින්, ඊනියා 'කම්කරු-කලමනාකරන සබඳතා' රාමුව තුල ඔවුන්ගේ ඉල්ලීම් සාක්ෂාත් කර ගත හැකි බවට කම්කරුවන් ඒත්තු ගැන්වීමට උත්සාහ කරති.

එස්ඊඅයියූ, යූඑච්ඩබ්ලිව් සහ සීකේපියූ යනු කම්කරුවන්ගේ සංවිධාන නොව, කලමනාකාරිත්වයේ සංගත ඒජන්තයින්ය; ඔවුන් සිටින්නේ කම්කරුවන් මර්දනය කර විසුරුවා හැරීමට පමනකි. මෙම සංවිධාන වැටුප්, කාර්ය මන්ඩලය වැඩිකර ගැනීම සහ කෝඩිඩ් ආරක්ෂාව සඳහා වන සැබෑ අරගලයක් අවහිර කරනු ඇති අතර, ඔවුන්ගේ සාක්කු කම්කරුවන්ගේ සාමාජික ගාස්තු මගින් දිගටම පුරවා ගැනීම සහතික කරයි.

වැඩ වර්ජන කරන කයිසර් කම්කරුවන්ට තම ඉල්ලීම් සඳහා සටන් කිරීමට ඇති එකම මාර්ගය වන්නේ තමන්ගේම අරගල සංවිධාන පිහිටුවීමයි. ඉහල සිට පහලට වෘත්තීය සමිති ප්‍රධානීන්ගේ බලහත්කාරී සන්ධානයට ප්‍රතිවිරුද්ධව, වෘත්තීය සමිති හෝ කලමනාකාරීත්වය 'යථාර්ථවාදී' යැයි පවසන දේ නොව තමන්ට අවශ්‍ය ඉල්ලීම් ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කිරීමට සහ එකඟ වීමට කම්කරුවන් සෑම සේවා ස්ථානයකදීම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගතයුතුය.

මෙම කමිටු, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ (කක්‍රික-ජාස) හි ජාලය යටතේ අනෙකුත් කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සමඟ සම්බන්ධ වනු ඇත; එනම්, මෝටර් රථ කම්කරුවන්, අධ්‍යාපනඥයින්, වරාය කම්කරුවන්, තැපැල් සේවකයින්, සැපයුම් සේවකයින් සහ තවත් අය ඇතුලත් එවැනි ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේදී කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමඟ ඔවුන් සම්බන්ධ කරනු ඇත.

අද මානව වර්ගයා මුහුන දෙන සියලුම සමාජගත ව්‍යසනයන් මෙන්ම සෞඛ්‍ය සේවා පද්ධතියේ ව්‍යාකූලත්වයට හේතු වන යටින් පවතින රෝගය ධනේශ්වර පෞද්ගලික අයිතියයි. සෞඛ්‍ය සේවාව සමාජගත වන තුරු එය නිවැරදි කල නොහැක. එය සාක්ෂාත් කරගත හැක්කේ ලොව පුරා කම්කරුවන් සමග එකමුතුවෙන් කම්කරු පන්තියේ අරගලයකින් පමනි. හැරීගත යුත්තේ ඒ හෝ මේ මහා ව්‍යාපාරික පක්ෂයකට—යුද වැදී සිටින ඩිමොක්‍රටිකයින්ට සහ ඔවුන්ගේ වෘත්තීය සමිති ගැත්තරයන්ට හෝ ෆැසිස්ට් රිපබ්ලිකානුවන්ට—නොව, ධනවාදයට එරෙහිව අරගලයට අවතීර්න වන ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත කම්කරුවන් දෙසය ය.

Loading