ආන්ඩුවේ බදු ප්‍රතිපත්තිය නිර්නය කරනුයේ තමා නොවන බව ජාමූඅ වෘත්තිකයන්ගේ සමිති සන්ධානයට පවසයි

වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති සන්ධානය (පීටීයූඒ), සැප්තැම්බර් 25 දා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) නියෝජිතයන් හමුවී, රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ නව බදු පිලිවෙත සංශෝධනය කිරීම ඇතුලු කරුනු ගනනාවක් සම්බන්ධයෙන් කල සාකච්ඡාවේදි, එකී බදුපිලිවෙත් නිර්නය කරනුයේ තම ආයතනය නොවන බව ජාමූඅ හි නියෝජිතයන් පවසා ඇත.

කුමන පාර්ශ්වයෙන් සහ කුමන ආකාරයෙන් බදු අයකර ගන්නේද යන්න ආන්ඩුවේ කර්තව්‍යයක් බවත්, ඔවුන් ආන්ඩුවට ලබා දී ඇත්තේ, ආදායම් සහ වියදම් අතර පරතරය අඩුකර ගැනීමේ ඉලක්කයන් පමනක් බවත් ජාමූඅ හි නියෝජිතයන් පැවසූ බව, එයට සහභාගි වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (ෆූටා) මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේය. ඉලංගසිංහ එසේ පැවසුවේ, සාකච්ඡාව සම්බන්ධයෙන් ලෝසවෙඅ ඔහුගෙන් කල විමසීමට ප්‍රතිචාර දක්වමිනි.

පීටීඕඒ ජාමුඅ නියෝජිතයින් හමුව කල සාකච්ඡාව සම්බන්ධයෙන් රවෛනිස සිය ෆේස්බුක් පිටුවේ පල කල වීඩියෝව [මුලාශ්‍රය - රවෛනිස ෆේස්බුක් පිටුව]

පීටීයූඒ හි ඉල්ලීම මත පැවැත්වුනු මෙම සාකච්ඡාවට ෆූටා ට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) ඇතුලු වෘත්තීය සමිති කීපයක නියෝජිතයන් සහභාගි වී තිබේ. පීටීඕඒ යනු වෘත්තීය සමිති 47 ක සන්ධානයකි.

වාරික වසයෙන් ලබා ගන්නා ඩොලර් බිලියන 3 ක ඇපනයක් සඳහා ජාමූඅ සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගතව සිටින අතර, 2023 මාර්තු මාසයේදී එහි පලමු වාරිකය නිකුත් කෙරින. තවත් කොන්දේසි දෙකක් සපුරාලනතෙක් දෙවන වාරිකය නිකුත් කිරීම ජාමූඅ විසින් ප්‍රතික්ෂේප කර ඇත. 2023 අවසන් වනවිට රාජ්‍ය අය-වැය පරතරය රුපියල් ට්‍රිලියන 2.4 ක් දක්වා පහත හෙලීම ඉන් එකකි. එය සපුරා ගැනීමේ ලා බදු ආදායම් සියයට 200 කින් ඉහල දමා ගැනීමට ආන්ඩුව බලාපොරොත්තු වේ. අනෙක ජාත්‍යන්තර නය ප්‍රතිව්‍යුහකරනය යි. විදේශ සංචිතයේ ප්‍රමානවත් තරම් මුදල් නොමැති බවට ජාමූඅ නියෝජිතයෝ උත්සුකතා පල කලහ.

ආන්ඩුවේ නව බදු ප්‍රතිපත්තියට අනුව, රුපියල් ලක්ෂයකට වැඩි මාසික ආදායමක් උපයන සෑම පුද්ගලයෙකුම 'උපයනවිට ගෙවීමේ බද්දකට' යටත්වේ. මාසික ආදායමේ අනුක්‍රමයට අනුව මෙම බදු මුදල සියයට 6 සිට සියයට 36 දක්වා වැඩිවේ. ඒ අනුව වෘත්තිකයන්ගෙන් බහුතරයකට දැවැන්ත බදුබරක් පැටවී ඇති අතර, එය ඔවුනගේ ජීවන කොන්දේසි වලට දැඩිලෙස බලපා ඇත. 'සාධාරන' බදු ක්‍රමයක් ස්ථාපිත කෙරෙන පරිදි රාජ්‍ය බදුපිලිවෙත වහා සංශෝධනය කරන ලෙස පීටීයූඒ ඉල්ලා සිටින්නේ මෙම පසුබිම තුලය.

ජාමූඅ පලමු නය වාරිකය නිකුත් කල මාර්තු මාසයේම පීටියූඒ නියෝජිතයන් ජාමූඅ සහ ජනාධිපති ලේකම් හමුවී නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් තම සාමාජිකයන් මුහුනදෙන දුෂ්කරතාවන් සහ පොදුවේ වර්ධනය වෙමින් පවත්නා සමාජ-ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කරුනු පැහැදිලිකොට එම තත්වයන් මග හරවා ගැනීමේ විකල්ප බදු පිලිවෙතක් යෝජනා කල බව ෆූටා මාධ්‍ය ප්‍රකාශක ඉලංගසිංහ තවදුරටත් පැවසීය. යෝජිත ප්‍රතිව්‍යූහකරනයන් ක්‍රියාත්මක කිරීම ආරම්භකොට මාස හයක් ගතවූ පසු, පීටීයූඒ යෝජනා පිලිබඳව සලකා බලන බව දෙපාර්ශ්වයම පැවසූ බවත්, ජනාධිපති ලේකම් ඒ සම්බන්ධයෙන් ලිඛිත පොරොන්දුවක් ලබාදුන් බවත් ඉලංගසිංහ කීවේය.

ෆූටා හි මාධ්‍ය ප්‍රකාශකට අනුව ඔවුන් මෙවර ජාමූඅ හි නියෝජිතයන් හමුව ඇත්තේ සිවුවන වතාවට වන අතර ඒ සෑම අවස්ථාවකදීම ජාමූඅ හි නියෝජිතයන් පවසා ඇත්තේ, මෙවර ද පැවසූ පරිදි, බදු අයකර ගන්නේ කාගෙන් ද, කෙසේද යන්න සම්බන්ධයෙන් තම ආයතනය මැදිහත් නොවූ බවයි.

නමුත්, ආන්ඩුව දිගින් දිගටම කියා සිටින්නේ, එම පිලිවෙත් නිර්නය කෙරුනේ ජාමූඅ හි විධානයන් මත බැවින්, එහි නියෝජිතයන් හමුවී ප්‍රශ්නය නිරාකරනය කර ගන්නා ලෙසයි. පීටීයූඒ අවසන් වරට ජාමූඅ නියෝජිතයන් හමුවූ සැප්තැම්බර් 25 දා ට පෙර දිනයේ මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය ද ඩෙිලි මෝර්නින්ග් පුවත්පතට පවසා තිබුනේ, 'මේ ප්‍රශ්නය (බදු ප්‍රතිපත්තිය) සම්බන්ධයෙන් තීරන ගැනීම ජාමූඅ සතු කාර්යයක්' බවත්, 'ප්‍රශ්නය විසඳීම සඳහා ආන්ඩුව සෑම උත්සාහයක්ම ගත්' බවත් ය.

පලමු නය වාරිකය ලබා දීමෙන් පසු ගතවූ මාස හය තුල, ලංකාවේ ආන්ඩුවට ලබාදුන් ඉලක්කයන් කෙතෙක් දුරට ජයගෙන ඇත්ද යන්න විමසමින් ජාමූඅ 2023 සැප්තැම්බර් අග නිකුත් කල 'තාක්ෂනික සහාය වාර්තාව' තුල බදුපිලිවෙත්වල පවත්නා දුර්වලතාවයන් සම්බන්ධයෙන් කෙරෙන සඳහන් තුල, වෘත්තිකයන් සහ රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදායමක් ලබන අනෙකුත් කම්කරුවන් මත පටවා ඇති උපයනවිට ගෙවීමේ බදුබර ලිහිල් කිරීම පිලිබඳ කවර හෝ උත්සුකයක් නොමැත.

මේ තත්වය තුල යලියලිත් ජාමූඅ හි නියෝජිතයන් හමුවීමේ අර්ථය කුමක්දැයි ලෝසවෙඅ ඉලංගසිංහගෙන් විමසූවිට, ඔහු කියා සිටියේ, 'ආන්ඩුවට අවශ්‍යනම් බදු ප්‍රතිපත්තිය සංශෝධනය කලහැකිබව තහවුරු කිරීම' එහි අරමුන බවයි.

ජාමූඅ වැඩපිලිවෙල පිලිගන්නා පීටීයූඒ එය එකම විසඳුම ලෙස දැක ගනී. සරලව පැවසුවහොත්, ඔවුනට අවශ්‍ය වන්නේ ආන්ඩුවට ආයාචනා කිරීමෙන් සහ පීඩනය යෙදීමෙන් එහි පිලිවෙත් වෙනස් කිරීමටයි. හුදෙක් ආන්ඩුව මත වරද පැටවීමේ පීටීයූඒ පිලිවෙත පිටුපස පවතින ප්‍රධාන හේතු දෙකක් පවතී; ගෝලීය ධනපති ක්‍රමය පද්ධතිගත අර්බුදයකට මුහුන දී ඇති බව සහ ලංකාවේ ආර්ථික අර්බුදය එහි තියුනුම ප්‍රකාශනයක් බව නොපිලිගැනීම ඉන් පලමුවැන්න යි. ජාමූඅ හි කප්පාදු විධානයන් සමස්තයක් ලෙස පිලිගැනීම දෙවැන්නයි.

පීටීයූඒ යෝජනා කරන විසඳුම් වලින් එය පැහැදිලිව ප්‍රකාශයට පත්වෙයි. 'ශ්‍රී ලංකාවට, සාධාරන, පාරදෘශ්‍ය සහ වගවන බදු ප්‍රතිපත්තියක් (A Fair, Transparent and Accountable Taxation system for Sri Lanka)' මැයෙන් ජාමූඅ ට සහ ආන්ඩුවට ඉදිරිපත් කල යෝජනා මාලාව තුල, ඇඩම් ස්මිත් සහ ඩේවිඩ් රිකාඩෝ වැනි සම්භාව්‍ය ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන් උපුටා දක්වමින් ඔවුන් කියා සිටින්නේ, ව්‍යාපාරිකයන්ගෙන් බදු අයකර ගැනීමේදී අනුගමනය කරන පිලිවෙත, එනම් සමස්ත ආදායමෙන් වියදම් අඩුකලවිට ලැබෙන ශුද්ධ ආදායමට සමානුපාතිකව බදු අය කිරීම, උපයනවිට ගෙවීමේ බද්දට යටත් සියලුදෙනා සඳහා ක්‍රියාත්මක කලයුතු බවයි.

වසර දෙසීයකටත් පෙරාතුව, එනම් ධනපති ක්‍රමය තුල මුල්‍ය ප්‍රාග්ධනය අදමෙන් දැවැන්ත ගෝලීය අධිකාරිත්වයක් නොදැරූ කාලයක් තුල, ඉදිරිපත් කෙරුනු ආර්ථික න්‍යායයන් අද දිනට වලංගු නොවන බව මෙම වෘත්තිකයන්ට නොපෙනෙනුයේ, ධනවාදය සදාකාලිකව පවතින ස්ථිතික සහ ඝනීභූත ප්‍රපංචයක් ලෙස ඔවුන් සලකන බැවිනි.

ලෝසවෙඅ හි මාක්ස්වාදී ආර්ථික විශ්ලේෂක නික් බීම්ස් මුල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යය පිලිබඳව මෙසේ පවසයි: 'මූල්‍ය ප්‍රාග්ධනය සංගත මත ආධිපත්‍යය දරනවා සහ ඒවාට විධානය කරනවා පමනක් නොවේ. ලෙනින් පැහැදිලි කල පරිදි, එය නාමිකව ස්වාධීන වූ රාජ්‍යයන්ගේ සිට වඩාත්ම බලගතු රාජ්‍යයන් දක්වා ප්‍රතිපත්ති ද තීරනය කරයි. අද එය අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය සමාජ සේවාවලට පහර දෙමින් ලාභ අවශ්‍යතා අනුව ශ්‍රම වෙලඳපොල ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා සිටින සියලුම රජයේ ප්‍රතිපත්ති නියම කරයි.'

මුල්‍ය ප්‍රාග්ධනයේ ගෝලීය පරිමාන සංවිධිත රූපය වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉටු කරමින් සිටින්නේ එම කේන්ද්‍රීය භූමිකාවයි.

මහජනතාවගේ ජීවිත වලට වින කටින රුදුරු බදු ප්‍රත්පත්ති සහ කම්කරුවන් ලක්ෂ ගනනක රැකියා සහ වැටුප් කප්පාදු කෙරෙන රාජ්‍ය ව්‍යවසායන් 430 ක් පුද්ගලීකරනය/ප්‍රතිව්‍යුහකරනය ඇතුලු ජාමූඅ හි ප්‍රහාර, එහි ජාතික නියෝජිතයා වන වික්‍රමසිංහ ආන්ඩුවට පීඩනය යෙදීමෙන් ආපසු හැරවිය නොහැක. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රාග්ධනයට එරෙහිව, කම්කරු පංතියේ දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කල යුතුය. ඒ වනාහි ගෝලීය ධනවාදයට සහ ධනපති ආන්ඩුවට එරෙහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනකි.

මේ සඳහා ඇති පරම බාධකය වනුයේ, ධනපති ක්‍රමයට නෛසර්ගිකවම බැඳුනු පීටීයූඒ ඇතුලු සමස්ත වෘත්තීය සමිති නිලධරය යි. කම්කරුවන් මෙම නිලධරය අතින් සටන තම අතට ගැනීම සඳහා සෑම වැඩපොලකම, කම්හලකම, විශ්වවිද්‍යාලයකම, රෝහලකම සහ නිවස්නා ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරි කමිටු ගොඩනගාගත යුතුය. එම කමිටු පහත ඉල්ලීම් මත සටන් කල යුතු වෙයි.

ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කරනු!

සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු!

රුදුරු බදු පිලිවෙත් ප්‍රතික්ෂේප කරනු!

සුපිරි ධනවතුන්ගේ වත්කම් පවරා ගනු!

ප්‍රධාන බැංකු හා මහා සංගත කම්කරු පාලනය යටතේ ජනසතු කරනු!

මහජන අධ්‍යාපනයට සහ මහජන සෞඛ්‍යයට අවශ්‍ය සියලු පහසුකම් සම්පාදනය කිරීම සඳහා බිලියන ගනනින් මුදල් වෙන් කරනු!

දුගී ගොවීන්ගේ නය අහෝසි කොට පොහොර සහනාධාර යලි හඳුන්වා දෙනු!

මෙම ඉල්ලීම් සාක්ෂාත් කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් මත පාදක වූ කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමනි.

Loading