ඉදිරිදර්ශන

නෙතන්‍යාහු ආන්ඩුව භංග වේවා! ගාසා තීරයට එරෙහි, අධිරාජ්‍යවාදී පිටුබලය ලබන සියොන්වාදී ප්‍රහාරය නවත්වනු!

[මෙය Down with Netanyahu’s government! Stop the imperialist-backed Zionist onslaught against Gaza! යන මැයෙන් 2023 ඔක්තෝබර් 09 පල කෙරුනු ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

2023 ඔක්තෝබර් 7 සෙනසුරාදා, ගාසා නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු පලස්තීන මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ පිපිරීමකින් ගින්න සහ දුමාරය නගියි. [ඒපී ඡායාරූප/ඇඩෙල් හනා] [AP Photo/Adel Hana]

1. ඊශ්‍රායල වාඩිලා ගැනීමට එරෙහිව ගාසා තීරයේ ඇති වූ මහජන නැගිටීමෙන් පසු පලස්තීන ජනතාවට එරෙහිව නෙතන්‍යාහු ආන්ඩුව යුද ප්‍රකාශ කිරීම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) තරයේම හෙලා දකී. නාසීන් සිහිගන්වන ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ උමතු අග්නිය, ගාසා තීරයේ ජනගහනයෙන් විශාල කොටසක් සමූලඝාතනය කිරීමේ ඉල්ලීමකට වඩා අඩු දෙයක් නොවේ. දැන් ඊශ්‍රායල සන්නද්ධ හමුදාවන් විසින් සැලසුම් කර ක්‍රියාවට නංවන ජන සංහාරක ව්‍යාපාරයට බයිඩන් පරිපාලනය සහ යුරෝපීය සංගමයේ ආන්ඩු විසින් දෙන සම්පූර්න සහයෝගය දීමේ ප්‍රකාශයන් හජාජාක දැඩි ලෙස හෙලා දකී. කලාපයට ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් යැවීම පලස්තීන ජනතාවට එරෙහි දැවැන්ත ප්‍රහාරය සමග අධිරාජ්‍යවාදී සහයෝගීතාවයේ තුච්ඡ ප්‍රදර්ශනයකි.

2. මර්දනයට එරෙහි අරගලයේදී පලස්තීන කම්කරුවන් හා තරුනයන් ආරක්ෂා කිරීම ජාත්‍යන්තරවත් ඊශ්‍රායලය තුලමත් කම්කරු පන්තියේ වගකීමකි. අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල සහ ලෝකය පුරා, ඊශ්‍රායල ආන්ඩුවට ආයුධ සහ මූල්‍ය ආධාර නැව්ගත කිරීමට එරෙහිව විරෝධතා සහ විරුද්ධත්වය ගොඩනැගිය යුතුය. ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ වාඩිලාගැනීම අවසන් කරන ලෙස ඉල්ලා සෑම රටකම මහජන පෙලපාලි පැවැත්විය යුතුය.

3. පාලනතන්ත්‍රයේ විසකුරු ස්වෝත්තමවාදය ප්‍රතික්ෂේප කරන ලෙස අපි විශේෂයෙන්ම ඊශ්‍රායල කම්කරු පන්තියට සහ යුදෙව් ජනතාව අතර සිටින සියලුම ප්‍රගතිශීලී කොටස්වලට ආයාචනා කරමු. ඊශ්‍රායල කම්කරුවන් හා තරුනයන් තම අවශ්‍යතා නියෝජනය නොකරන නෙතන්‍යාහු ආන්ඩුවේ සාපරාධී ක්‍රියාවන්ගෙන් වෙන් වී, ඒවා හෙලා දැකිය යුතුය.

4. ඉතිහාසය පුරා සෑම විටම සිදු වූ පරිදි, මහජනතාවගේ සෑම ප්‍රතිරෝධී ක්‍රියාවක්ම පාලක ප්‍රභූන්ගේ උමතු කෝපය අවුස්සයි. බයිඩන්, ෂොල්ස්, මැක්‍රෝන් සහ සෙසු අයට ඔවුන්ගේ මුහුනු නිල් පාට වන තුරු 'ත්‍රස්තවාදය' යැයි කෑ ගැසුවාවේ. එහෙත් කුරිරු සියොන්වාද-ගැති ප්‍රචාරයන් නොතකා, ලොව පුරා කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ පීඩිතයන්ගේ දයාව පලස්තීනුවන් වෙත පවතී. සිදුවෙමින් පවතින්නේ ම්ලේච්ඡ යටත් කරගැනීමකට එරෙහි මහජන නැගිටීමක් බවත්, තම අවශ්‍යතා සහ ප්‍රතිපත්තිවලට එරෙහිව නැගෙන විරුද්ධත්වයේ ඕනෑම ප්‍රකාශයක් “ත්‍රස්තවාදය” යනුවෙන් පාලක පන්තිය විසින් හඳුන්වන බවත් පැහැදිලිය.

5. යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් මෙන්ම, පලස්තීනයේ සිදුවීම් ද, ධනේශ්වර මාධ්‍ය තුල, ඒවායේ සමස්ත ඓතිහාසික සන්දර්භයෙන් උගුල්ලා දමා ඇත. අලුතින් පිහිටුවන ලද ඊශ්‍රායල රාජ්‍යය විසින් පලස්තීනය ආක්‍රමනය කර එහි ජීවත් වූවන් ඔවුන්ගේ නිජබිමෙන් නෙරපා හැර අදට වසර 75 කි. බටහිර ඉවුර ඊශ්‍රායල ආක්‍රමනය සහ ඈඳා ගැනීම ආරම්භ කල 1967 දී සිදුවූ සය දින යුද්ධයෙන් වසර 56 කි. හියුමන් රයිට්ස් වොච් හි වදන්වලින් කියතොත් ගාසා තීරය “එලිමහන් සිරගෙයක්” බවට පත් කල ගාසා තීරයට එරෙහි 2006 ඊශ්‍රායල යුද්ධය සහ ඉන් අනතුරුව සිදුකල වටලෑමෙන් වසර 17 කි. දශක ගනනාවක් පුරා, පලස්තීනුවන් සංකේන්ද්‍රනය වී ඇති ප්‍රදේශවලට මෙන්ම—1982 දී පලස්තීනුවන් සමූලඝාතනය කරන ලද සබ්‍රා සහ ලෙබනනයේ ෂටිලා සරනාගත කඳවුරුවලදී මෙන්—ඔවුන් පලා ගිය, වඩ වඩාත් කුඩාවන බිම් කැබලි මතට ගනන් කල නොහැකි නොගිනිය හැකි තරම් ඝාතන සහ බෝම්බ ප්‍රහාර එල්ල වී ඇත.

6. මේ සියල්ලේදී ම ඊශ්‍රායලයට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ලැබී ඇත, සියල්ලටත් වඩා එක්සත් ජනපදයේ මැද පෙරදිග ප්‍රධාන කුලී හේවායා ලෙස ඊශ්‍රායලය ක්‍රියා කර ඇත. අරාබි ධනේශ්වර පාලන තන්ත්‍රයන් අධිරාජ්‍යවාදය සහ ඊශ්‍රායලය සමග එකඟතාවන්ට එලැඹ පලස්තීන ජනතාව සමූල ඝාතනයට හා පහර කෑමට ඉඩ හැර ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඈඳාගැනීමට එරෙහිව තමන්ගේම යෝජනා ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත්, මේ සියල්ල තිබියදීත්, ඊශ්‍රායල රාජ්‍යයට හෝ එහි ආධාරකරුවන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් සඳහා පලස්තීනුවන්ගේ උත්සාහයන් යටපත් කිරීමට නොහැකි වී තිබේ.

7. මෙය තීරනාත්මක මොහොතකි. මාස ගනනාවක් තිස්සේ, නෙතන්‍යාහු සහ ඔහුගේ ෆැසිස්ට් සභාග හවුල්කරුවන් වන බසාලෙල් ස්මොට්‍රිච් විසින් නායකත්වය දෙන ආගමික සියොන්වාදය සහ ඉටමාර් බෙන් ග්විර් විසින් මෙහෙයවන ලද යුදෙව් බලය, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ (අයිඩීඑෆ්) ප්‍රහාරයන්ට නායකත්වය දී ඇත. පොලිසිය සහ [ඉස්‍රායෙල] පදිංචිකරුවන්ගේ කන්ඩායම්, බටහිර ඉවුරේ, ගාසා තීරයේ සහ ඊශ්‍රායලයේම නගර සහ ගම්වලට දිනපතා ප්‍රහාර එල්ල කර ඇති අතර, අල් අක්සා පල්ලියේ ප්‍රකෝප කිරීම්වලට සම්බන්ධව සිටිති.

8. පලස්තීන ජනතාවගේ ප්‍රතිරෝධය, ඊශ්‍රායල නීතියෙන් පවා අපරාධකරුවෙකු ව සිටින නෙතන්‍යාහුට දේශපාලන ව්‍යසනයකි. සිරගෙට නොයා සිටීම සඳහා මෙම දුෂ්ඨ මැරයා බලයේ එල්ලී සිටින බව ඊශ්‍රායලයේ දේශපාලන ජීවිතය තුල සත්‍ය කාරනාවකි. දේශීය විරෝධයේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා භාවිතා කල හැකි ප්‍රචන්ඩ ප්‍රතිචාරයක් ම අවුලුවාලීම සඳහා නෙතන්‍යාහු පලස්තීනුවන්ට එරෙහිව ප්‍රකෝප කිරීම් සිදු කරන බව, මිලියන සංඛ්‍යාත ඊශ්‍රායල ජාතිකයින් විසින් ද පිලිගෙන ඇත. කෙසේ වෙතත්,, නෙතන්‍යාහුගේ ගනන් බැලීම් ඉමහත් ලෙස ඉක්මවා යමින් ඔහුගේ සාපරාධී සැලසුම් වලට පලස්තීන ප්‍රතිචාර දක්වා ඇත.

9. සතුරු හමුදා විසින් වට කර තිබියදීත්, නිරන්තර සෝදිසි කිරීම්වලට සහ ඉලක්කගත ඝාතනවලට ලක්ව තිබියදීත්, හමාස් විසින්, නොබිඳිය හැකි යැයි කියනු ලබන යුදෙව් ජනාවාසයකදී දහස් ගනනකගේ මිලිටරි ප්‍රහාරයක් දියත් කර ඇත. මෙවන පරිමානයක මෙහෙයුමක් සැලසුම් කර රහසිගතව තබා ගත හැකිව තිබුනේ ගාසා තීරයේ මිලියන දෙකක වැසියන්ගේ අතිමහත් සහයෝගය නිසාය. එය වනාහි, 1943 දී වොර්සොව් යුදෙව් ජනාවාසයෙහි යුදෙව් රැඳවියන්ගේ නැගිටීම සහ 1944 දී ජර්මානු නාසි ආක්‍රමනයට එරෙහිව වෝර්සෝ කම්කරු පන්තියේ දැවැන්ත කැරැල්ලේ ආදර්ශය උද්දීපනය කරන, දැවැන්ත සන්නද්ධ පීඩකයෙකුට එරෙහිව සිදු කරන ලද සැබෑ මහජන නැගිටීමකි.

10. ඊශ්‍රායල පාලක පන්තිය දැන් සිටින්නේ, පලස්තීනුවන් බලහත්කාරයෙන් පලවා හැරීම හරහා සුවිශේෂී යුදෙව් රාජ්‍යයක් සුරක්ෂිත කර පවත්වා ගත හැක්කේ සමූහ ඝාතනයෙන් සහ වාර්ගික ශුද්ධ කිරීමකින් පමනක් බවට වන ප්‍රතිගාමී ඉදිරිදර්ශනයක ය. කිලෝමීටර් 43 ක් දිග සහ කිලෝමීටර් 10 ක් පලල ගාසා තීරය “සුන්බුන් ගොඩක්” බවට පත් කිරීමට නෙතන්‍යාහු ප්‍රතිඥා දී ඇති අතර එහි සිරගත ජනතාවට “ඉවත්ව යනු” යැයි කියා සිටින්නේ ඔවුන්ට එසේ ඉවත්ව යා නොහැකි බව දැන දැනම ය.

11. මුර්ග මිලිටරි ප්‍රතිචාරය දැනටමත් ආරම්භ වී ඇත. “අයෝමය අසිපත් මෙහෙයුමෙ හි [Operation Iron Swords]' දෙවන දිනයේ ඊශ්‍රායලය ගාසා තීරයේ ඉලක්ක 800 කට ප්‍රහාර එල්ල කිරීම, එහි විදුලි සැපයුම නවතා දැමීම, වටලනු ලැබූ භූමිය තුලට සහ ඉන් පිටතට භාන්ඩ ප්‍රවාහනය නැවැත්වීම සහ අනාරක්ෂිත සිවිල් වැසියන් සිය ගනනක් සිටින, සුන්බුන් වූ රෝහල් සහ නේවාසික මහල් නිවාස දැකගත හැකි විය. ගුවන් බෝම්බ ප්‍රහාරයෙන් ආරක්ෂාව පතා පලායන පලස්තීනුවෝ, යූඑන්ආර්ඩබ්ලිව්ඒ [ආසන්න පෙරදිග පලස්තීන සරනාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩකටයුතු පිලිබඳ ඒජන්සිය] විසින් පවත්වාගෙන යනු ලබන පාසල් වෙත රොක් වී සිටිති. (යූඑන්ආර්ඩබ්ලිව්ඒ-- එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයේ අනුබද්ධ ආයතනයකි)

12. එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය, ලෝකයේ සියලුම ප්‍රධාන බලවතුන්ගේ සහ ජන මාධ්‍යවල ප්‍රධානීන් විසින් නෙතන්‍යාහුගේ යුද ප්‍රකාශය සඳහා සපයන පොදු පිටුබලය පිටුපස ඇති සම්පූර්න යථාර්ථය මෙයයි. ලොව පුරා සමාජ නොසන්සුන්තාව සහ වැඩවර්ජන ක්‍රියාකාරකම් උග්‍රවන මොහොතක, මහජන විරෝධයේ ඕනෑම ප්‍රකාශනයක් ලබා දෙන ආදර්ශයන් ගැන සෑම තැනකම සිටින පාලක පන්තිය භීතියට පත්ව සිටිති.

13. අධිරාජ්‍යවාදී නායකයින් සහ ඔවුන්ගේ මාධ්‍ය හොරනෑ විරුද්ධ වන්නේ 'ත්‍රස්තවාදයට' නොව, වාඩිලාගැනීමට සහ ඊශ්‍රායලය විසින් දිනපතා ඇති කරන ත්‍රස්තවාදයට එරෙහි මහජන විරෝධයට ය. පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරයට සහය දැක්වීම සහ ඉරානය, සිරියාව සහ ලෙබනනයට එරෙහි කලාපීය යුද්ධයක් දක්වා මෙය දිගු කිරීම දක්වා ම ඔවුන් එසේ කරනු ඇත. වෝල් ස්ට්‍රීට් ජර්නලයේ කතුවැකිය මෙසේ ලියයි:

'කරුනාකර ඊශ්‍රායලයේ 'අවහිර කිරීම' හෝ 'ආක්‍රමනය' තවදුරටත් හෙලා දැකීමක් නොකරන්න... ධවල මන්දිරයේ පෙලඹවීම වනු ඇත්තේ ඊශ්‍රායලයට නිදහසේ ප්‍රතිචාර දැක්වීමට සතියක් හෝ ඊට වැඩි කාලයක් ලබා දීම සහ පසුව නෙතන්‍යාහු ආන්ඩුවට සන්සුන් වීමට බල කිරීමයි. එය සැමවිටම එක්සත් ජනපද රටාවයි, නමුත් මෙවර එය එසේ නොවිය යුතුය. තවද පුලුල් යුද්ධයක් ඇති වුවහොත්, හමාස් සහ හිස්බුල්ලා සංවිධානයේ යුද ශක්තිය විනාශ කිරීමට අවශ්‍ය ආයුධ සහ රාජ්‍ය තාන්ත්‍රික සහාය ඊශ්‍රායලයට සැපයීමට එක්සත් ජනපදයට සිදුවනු ඇත.'

14. බයිඩන් පරිපාලනයේ එවැනි පසුබැසීමක් සිදුවේ යයි මාධ්‍ය බිය විය යුතු නැත. ඊයේ, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් තහවුරු කලේ, එක්සත් ජනපදය ඩොලර් බිලියන 50 ක ෆෝඩ් ගුවන් යානා ගෙනයන නෞකාව ඇතුලුව ප්‍රහාරක නෞකා කන්ඩායමක් කලාපයට යවන බවත්, “ඉදිරි දිනවලදී” යුධෝපකරන සපයන බවත්‍ ය. මෙය හුදෙක් ඊශ්‍රායලය සමග “සහයෝගීතාව” නොව, යුද්ධයට සහභාගි වීමට සූදානම් වීමකි. ඊශ්‍රායලයේ මිලිටරි ප්‍රතිචාරයට පූර්න සහයෝගය දැක්වීමේදී පලස්තීනුවන් අසීමිත ලෙස ඝාතනය කිරීම ගැන වචනයක්වත් නොකියයි. සටන් විරාමයක් තබා සංයමයක් ඉල්ලා සිටීමක් හෝ නැත. අධිරාජ්‍යවාදී කවයන් තුල දැන් ප්‍රකාශ කෙරෙන එකම කනස්සල්ල, ඊශ්‍රායලයට යුධෝපකරන සැපයීම නිසා, යුක්‍රේනය තුලින් රුසියාවට එරෙහිව තීව්‍ර කෙරෙන එක්සත් ජනපද-නැටෝ යුද්ධයට අවශ්‍ය යුධෝපකරන සැපයීම අඩු විය හැකිය යන්න ගැනය.

15. පලස්තීන ජනතාවට සහය දැක්වීමේ සෑම සියලු ප්‍රකාශනයක්ම අපකීර්තියට පත් කිරීම සඳහා, අධිරාජ්‍යවාදී ආන්ඩු සහ මාධ්‍ය අනිවාර්යයෙන්ම 'යුදෙව්-විරෝධී' චෝදනාව එල්ල කරයි. මෙම කාලකන්නි අවලාද කුහකත්වයේ ගිලී ඇත. එය තම අවශ්‍යතා ඉටු වන්නේ නම්, පාලක ප්‍රභූන්ට හිට්ලර්ගේ වන්දිභට්ටයන් හා නව-නාසිවාදීන් සමග සන්ධානගත වීමේ ගැටලුවක් නැත. ජර්මානු ආන්ඩුව, නාසි තන්ත්‍රයේ අපරාධ යුක්තිසහගත කිරීමට සහ සුදු හුනු ගෑමට දක්ෂිනාංශික විද්වතුන්ගේ ප්‍රයත්න අනුමත කරයි. සති දෙකකටත් අඩු කාලයකට පෙර, අගමැති ටෲඩෝ සහ ජර්මානු තානාපතිවරයා සමග සමස්ත කැනේඩියානු පාර්ලිමේන්තුව, සමූල ඝාතන යුදෙව් සංහාරයට සහභාගී වූ නාසි වොෆන්-එස්එස් හි හිටපු සාමාජිකයෙකු වන යාරොස්ලාව් හුන්කාට නැගීසිට ඔල්වරසන් දුන්හ.

16. නෙතන්‍යාහු පාලනය ඕනෑම අපරාධයකට සමත් ය. නමුත් එය අනවභාවනීය එකක් නොවේ. එහි ලේවැගිරෙන රෞද්‍ර යුද හඬ තැලීම් වලින් ආන්ඩුවේ භීතිය සහ මංමුලා සහගත බව සැඟවිය නොහැක. එය පලස්තීන මහජනතාවගේ ප්‍රතිරෝධයට පමනක් නොව, ඊශ්‍රායල කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වයට ද මුහුන දෙයි. වසර පුරා නෙතන්‍යාහු ආන්ඩුවට සහ එහි අධිපතිවාදී පියවරයන්ට එරෙහිව ඊශ්‍රායල කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මහා පෙලපාලි පැවතුනි. පලස්තීනුවන්ගේ පිඩනයට පත්කිරීම පිලිබඳ ප්‍රශ්නය මතු කිරීම ප්‍රතික්ෂේප කල නිල නායකත්වය විසින් මෙම පෙලපාලි යටපත් කරන ලදී. නෙතන්‍යාහුගේ යුද ප්‍රකාශය ඊශ්‍රායල යුද සැලසුම් පිටුපස පුරෝකථනය කල හැකි ලෙස පෙල ගැසී සිටින ප්‍රධාන සියොන්වාදී විපක්ෂ නායකයන් වන යෙෂ් ඇටිඩ් හි යාර් ලැපිඩ් සහ ජාතික සමගි පක්ෂයෙහි බෙනී ගැන්ට්ස් ද තරයේම හෙලිදරව් කර ඇත. නෙතන්‍යාහු සමඟ ජාතික සමගි ආන්ඩුවක් පිහිටුවීම සඳහා දැඩි සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

17. ඊශ්‍රායලයේ කම්කරුවන් හා තරුනයන්ගෙන් සැදුම්ලත් මහජනතාවගේ සතුරා වන්නේ පලස්තීනුවන් නොව නෙතන්‍යාහු ආන්ඩුව සහ ඊශ්‍රායල පාලක පන්තියයි. ඊශ්‍රායලය තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පෙරලා දැමීමේ පියවර ගැනීම, සමාජ අසමානතාවයේ ආන්තික වර්ධනයට හා සමාජ වැඩසටහන් මත තීව්‍ර වන ප්‍රහාරයට සම්බන්ධ වේ.

18. වත්මන් තත්වයේ මහා ඓතිහාසික හා දේශපාලන විරෝධභාසය මෙයයි: සියොන්වාදී පීඩනයට එරෙහිව පලස්තීන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් නොකර ඊශ්‍රායල කම්කරු පන්තියට තමන්ගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගත නොහැක. එමෙන්ම ඊශ්‍රායල කම්කරු පන්තිය සමග සටන් සන්ධානයක් ඇති කර නොගෙන පලස්තීනුවන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ සමාජ සමානාත්මතාවය සඳහා ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කරගත නොහැක. එකම ශක්‍ය ඉදිරිදර්ශනය මිථ්‍යාමය “ද්විත්ව-රාජ්‍ය විසඳුම” නොව, යුදෙව් හා අරාබි කම්කරුවන්ගේ ඒකාබද්ධ සමාජවාදී රාජ්‍යයකි.

19. පලස්තීනුවන්ගේ අරගලය කෙතරම් වීරෝදාර වුවත්, ඔවුන් මුහුන දෙන නොඉවසිය හැකි කොන්දේසි සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් වර්ධනය කිරීමෙන් තොරව විසඳෙන්නේ නැත. මෙය ඊශ්‍රායලයේ යුදෙව් කම්කරුවන්ට හා තරුනයන්ට ද නොඅඩු ලෙස සත්‍ය වේ. යුදෙව්-විරෝධයේ නව වර්ධනයක් මගින් ඉතා තථ්‍ය අන්තරායක් මතු කෙරේ. එහෙත් එය පැන නගින්නේ ගාසා තීරයේ සහ වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රයත්නයන් නිසා නොව, ධනවාදය හා අධිරාජ්‍යවාදය විසින් උසිගන්වන ලද ප්‍රතිගාමී ජාතික ස්වෝත්තමවාදයෙනි.

20. පලස්තීනයේ නැගිටීම, ලෝකය පුරා මහජන වැඩ වර්ජන හා විරෝධතා ස්වරූපයෙන් වර්ධනය වෙමින් පවතින කෝපය හා විරුද්ධත්වය පුපුරා යාමේ කොටසකි. සවිඥානික සමාජවාදී හා විප්ලවවාදී වැඩපිලිවෙලකින් සහ ඉදිරිදර්ශනයකින් මෙහෙයවනු ලබන මෙම සමාජ ව්‍යාපාරය අධිරාජ්‍යවාදී යුද්ධය, අසමානතාවය සහ සියලු ආකාරයේ පීඩනයන් අවසන් කිරීමට බලමුලු ගැන්විය යුතුය. ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙන ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ඉදිරිදර්ශනය සහ වැඩපිලිවෙල මෙයයි.

ඔක්තෝබර් 9, 2023

Loading