ආන්ඩුවේ ආඥාදායක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය හා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත්වලට එරෙහි ව කම්කරු පන්තිය බලමුලුගන්වනු!

(මෙය Mobilise the working class against the Sri Lankan government’s dictatorial Online Safety and Anti-Terrorism bills මැයෙන් 2023 ඔක්තෝබර් 9දා පල කල සසප ප්‍රකාශයේ පරිවර්තනය යි.)

පසුගිය මාසයේ දී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය (ඕඑස්බී) හා ත්‍රස්ත විරෝධී (ඒටීබී) පනත්වල කෙටුම්පත් නිවේදනය කරමින් ලංකාවේ ආන්ඩුව අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කලේ ය. අඟහරුවාදා ඕඑස්බී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, සති දෙකකින් අනතුරු ව එය විවාදයට ගැනීමට සූදානම් වෙමිනි. ත්‍රස්ත විරෝධී කෙටුම්පත ද ඉක්මනින් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

2023 පෙබරවාරි 4දා කොලඹ පැවති 75 වන නිදහස් දින උත්සවයේ දී සන්නද්ධ හමුදා ප්‍රධානීන් පෙරටු කොටගෙන පැමිනෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ. (ඡායාරූපය: ජනාධිපති මාධ්‍ය අංශය) [Photo: Sri Lanka president’s media division]

මෙම පනත් කෙටුම්පත් සම්මත කල හොත් ආන්ඩුවට එරෙහි විරුද්ධත්වයන් මර්දනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පෙර නුවූ විරූ ආඥාදායක බලතල ලැබෙයි. ඒවායේ ඉලක්කය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පරිදි රැකියා, වැටුප් හා සමාජ කොන්දේසි මතට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව නැගෙන කම්කරු-පන්තියේ ප්‍රතිරෝධතා මැඩීමයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබඳ නීති ක්‍රියාත්මක කිරීමට කොමිසමක් (ඕඑස්සී) පත්කෙරෙන අතර එහි සාමාජිකයන් පස් දෙනා හා සභාපති පත්කිරීමට හා ඉවත් කිරීමට ජනාධිපතිට බලතල ලැබෙයි. කෙටියෙන් කියතොත්, කොමිසම වනාහි මුලුමනින් ම රාජ්‍ය නායකයා විසින් පාලනය කරනු ලබන්නකි. “අසත්‍ය” හා “වැරදි” ප්‍රකාශ සංසරනය කරන්නේ යයි සැලෙකෙන සමාජ මාධ්‍ය වේදිකා ඇතුලු සියලු ඔන්ලයින් සන්නිවේදන මර්දනය කිරීම ඕඑස්සීහි කටයුත්ත වනු ඇත.

ඕඑස්බී නීති උල්ලංඝනය කරන්නේ යයි චෝදනාවන්ට ලක්වන, රට තුල හෝ ඉන් පිටත සිටින, ලංකාවේ පුරවැසියන්, සිරගත කරන ලෙස ඕඑස්සී මගින් උසාවියට දැනුම් දිය හැක. චෝදනාවට ලක්වන සේවාවන් අක්‍රීය කරන ලෙස හා සියලු මූල්‍ය ආධාර නතර කරන ලෙස, අන්තර්ජාල සේවා සම්පාදකයන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට නියෝග කිරීමට ද එයට බලය තිබේ. “අසත්‍ය ප්‍රකාශ හෝ තර්ජනාත්මක, බියගන්වන සුළු හෝ පීඩාකාරී ප්‍රකාශ සන්නිවේදනය කිරීම මගින් ඇතිවන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම” ට මෙය අවශ්‍ය වන බව පනත් කෙටුම්පත සඳහන් කරයි.

එහෙත් කෙටුම්පතෙහි තුන්වන කොටස, එහි ප්‍රධාන ඉලක්කය පෙන්නුම් කරයි. එහි මෙසේ සඳහන් වේ: “අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම මගින් ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් වන හෝ විවිධ පන්තිවල තැනැත්තන් අතර එදිරිවාදී හා වෛරී හැඟීම් ප්‍රවර්ධනය කරන ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටින යම් තැනෙත්තෙකු වරදක් සිදු කරයි.”

ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජීය අයිතීන් මතට එල්ලකරන දරුනු ප්‍රහාරවලට එරෙහි උද්ඝෝෂන ද, අන් සියල්ලට, ඉහලින් ධනපති පන්තියට හා එහි පාලන තන්ත්‍රයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලුගැන්වීම ද ඇතුලු ආන්ඩුවට එරෙහි ඕනෑ ම විරුද්ධත්වයක් මර්දනය කිරීමට මෙම පලල් සූත්‍ර මගින් ඕඑස්සී වෙත බලය ලබා දෙයි.

ඕඑස්සීහි චෝදනාවන්ට වැරදිකරු වන ඕනෑ ම අයෙකු “අවුරුදු පහක් නො ඉක්මවන සිරගත කිරීමකට හෝ දඩයකට භාජනය” වන අතර, දෙවන වරටත් එම වරද කරන පුද්ගලයන්ට දෙන දඬුවම් දෙගුන වේ.

කෙටුම්පත තුල උපුටා දක්වනු ලබන තවත් වැරදි කිහිපයකට, ආගමික අසමගිය හා කැලඹීම් ඇති කරන ව්‍යාජ ප්‍රකාශ සන්නිවේදනය කිරීම ඇතුලත් වෙයි. ආගමික සමගිය ආරක්ෂා කිරීම සමග මොන ම සම්බන්ධයක් නොමැති මෙහි ඉලක්කය වන්නේ, කම්කරු පන්තිය බෙදීම සඳහා කොලඹ පාලක ප්‍රභූව දශක ගනනක් තිස්සේ භාවිතා කර ඇති සිංහල-බෞද්ධ ආධිපත්‍යය වැඩිදුර ශක්තිමත් කිරීම යි. රැවටීම, වංචාව හා ලමුන් අපයෝජනය කිරීම ද ඕඑස්බී පනත තුල වැරදි ලෙස ලැයිස්තුගත කරනු ලබයි.

ඒටීබී හා ඕඑස්බී කෙටුම්පත්වල ඉලක්කය වන්නේ, ජනාධිපතිගේ හා ඔහුගේ ආන්ඩුවේ මර්දනකාරී බලතල විශාල වසයෙන් ශක්තිමත් කිරීම යි. “ලංකාවේ ජාතික ආරක්ෂාව හා ශ්‍රී ලංකාවේ ජනතාව ත්‍රස්තවාදී ක්‍රියාවලින් ආරක්ෂා කිරීම සඳහා” ඒටීබී අවශ්‍ය බව එය ප්‍රකාශ කරයි. මෙය පට්ටපල් බොරුවකි. පාලන තන්ත්‍රයෙහි සැබෑ උත්සුකය වන්නේ ධනපති පන්තිය හා එහි රාජ්‍යය ආරක්ෂා කිරීම යි.

මෙම පනත් කෙටුම්පත යටතේ, ඕනෑ ම ආන්ඩු-විරෝධී ක්‍රියාකාරීත්වයක්, දේශපාලන නො එකඟතාවක් හෝ විරුද්ධත්වයක් ත්‍රස්තවාදයට ඇතුලත් වෙයි. “ත්‍රස්තවාදී වරදක්” යනු “මහජනයා හෝ ඔවුන්ගෙන් කොටසක් බියවැද්දීම” මෙන් ම “ලංකාවේ ආන්ඩුව හෝ වෙනත් ඕනෑ ම ආන්ඩුවක් හෝ ඕනෑ ම ජාත්‍යන්තර සංවිධානයක් ඕනෑ ම ක්‍රියාවක් කිරීමට හෝ කිරීමෙන් වැලැක්වීමට වැරදි ලෙස හෝ නීති-විරෝධී ලෙස බල කිරීම” යයි ද එය සඳහන් කරයි.

නිදහස් අදහස් ප්‍රකාශනය මත තවත් දරුනු ප්‍රහාරයක් එල්ල කරමින්, “ජනතාවගෙන් ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් හෝ ත්‍රස්‌තවාදය පිලිබඳ වරද සිදු කිරීමට, ඒ සඳහා සූදානම්වීමට හෝ පෙලඹවීමට ඔවුන් ඍජු ව හෝ වක්‍ර ව දිරිගන්වන්නක් හෝ පොලඹවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පල කරන්නා වූ හෝ පල කිරීමට කටයුතු සලස්වන්නා වූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘෂ්‍ය නිරුපනය සිදු කරන්න වූ” ඕනෑ ම කෙනෙක් මේ පනත අනුව වරදක් කරන්නෙකි.

කෙටුම්පතේ පලල් පරාසය ඇතුලත, ආන්ඩුවට එරෙහි ව කම්කරුවන්, තරුනයන් හා පීඩිත ජනයා කැඳවන හෝ බලමුලුගන්වන හා තම යුක්ති යුක්ත අයිතීන් ඉල්ලා සිටින ඕනෑ ම පුද්ගලයෙක් හෝ සංවිධානයක් “ත්‍රස්තවාදී” යයි හංවඩු ගසා “ත්‍රස්තවාදී ක්‍රියාවන්” සිදු කරන්නේ යයි චෝදනාවට බඳුන් කල හැකි ය.

ත්‍රස්තවාදය සඳහා චෝදනා ලබන්නන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිනවිය හැකි අතර, ත්‍රස්තවාදය “ඍජු ව හෝ වක්‍ර ව දිරිමත් කිරීමේ” නිරත වන්නන් අවුරුදු 10ක බන්ධනාගාරගත කිරීමට හා විශාල දඩවලට මුහුන දෙයි.

2023 සැප්තැම්බර් 27දා කොලඹ වොක්ෂෝල් වීදිය සතොස ශාඛාවේ සත්‍යග්‍රහ විරෝධතාවක නිරත වන සතොස කම්කරුවෝ

ඒටීබී කෙටුම්පතේ ත්‍රස්තවාදය පිලිබඳව දුරදිග යන අර්ථ දැක්වීම යටතේ, ඕනෑ ම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නඩුවක් ගොනු නොකර වසරක් දක්වා, අත්තනෝමතික ව රඳවා ගනු ලැබිය හැක. අධිකරනමය උපදෙස් හරහා මෙම රඳවා තැබීම අඛන්ඩ ව දීර්ඝ කරනු ලැබිය හැක.

ගෙවී ගිය අවුරුදු 44 පුරා දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය තුල දී දෙමල සුලුතරය, ගම්බද තරුනයන්, කම්කරුවන් සහ ආන්ඩුවේ අනෙකුත් විරුද්ධවාදීන් මර්දනය කිරීමට ද යොදාගනු ලැබ ඇති, දැනට පවතින 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ඒටීබී මගින් විස්ථාපනය කිරීමට නියමිත ය.

පීටීඒහි ඉතිහාසයෙන් පෙන්නුම් කෙරෙන පරිදි, නව පනත් කෙටුම්පත, “ත්‍රස්තවාදයට” එරෙහි ව සටන් කිරීමේ උවමනාවකින් ඉදිරිපත් කල එකක් නොව, කම්කරුවන්ට, දුගීන්ට හා තරුන ජනයාට එරෙහි ව රාජ්‍යය ශක්තිමත් කිරීම ඉලක්ක කරගත් එකකි. තමන් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස ජනාධිපති ධුරයට පැනගත් තැන් සිට, ශිෂ්‍ය විරෝධතාවල නායකයින් සහ ආන්ඩු-විරෝධී ක්‍රියාකාරීන් සිරගත කර තැබීමට වික්‍රමසිංහ විසින් පීටීඒ යොදාගෙන ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලාගොස් ඉල්ලා අස්වීමටත්, ඔහුගේ ආන්ඩුව බිඳ වැටීමටත් තුඩුදෙමින් පසුගිය වසරේ අප්‍රේල්-ජූලි සමයේ හටගත් මිලියන ගනන් සහභාගී වූ ශක්තිමත් ආන්ඩු-විරෝධී මහජනනැගිටීමෙන් පාලක පන්තිය අරටුවට ම කම්පනයට පත්ව සිටිති. මෙම අරගලයේ දී මහජනයා සන්නිවේදනය හා බලමුලුගැන්වීම සඳහා යොදාගත් ප්‍රධාන උපක්‍රමය වූයේ සමාජ මාධ්‍ය යි. මෙම සන්නිවේදන ක්‍රම මර්දනය කිරීමට වික්‍රමසිංහ අධිෂ්ඨානවත් ය.

ව්‍යාජ-වාම කන්ඩායම්වල පිටුබලය ලබන වෘත්තීය සමිති නිලධරය, මහජන ව්‍යාපාරය පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂවලටත් අන්තර්වාර ධනපති ආන්ඩුවක් සඳහා ඒවායේ උද්ඝෝෂනයටත් යටත් කොට පාවා දුන්හ. ලංකාවේ ධනවාදය තාවකාලික ව ස්ථාවර කරගැනීමට මෙමගින් කොන්දේසි නිර්මානය කල අතර ම, ජනාධිපති ආඥාදායකත්වයක් පිහිටුවීමට ගන්නා පියවරයන් අවධාරනය කරන්නේ, එයට තවත් සමාජ පිපිරීමක් ඇතිවේ යයි පාලක පන්තියට පවතින භීතිය යි.

ජාමූඅ නියෝග යටතේ ආන්ඩුව ක්‍රියාවට දමන රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුවටත්, පුද්ගලීකරනයට හා දැරිය නො හැකි මිල ඉහල යාම්වලටත් එරෙහි ව, කම්කරුවෝ මේ වසර පුරා නොයෙකුත් වැඩ වර්ජන හා විරෝධතා හරහා ඉදිරියට පැමිනියහ. ලෝක බැංකුව වාර්තා කරන පරිදි, 2022 දී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 25ක් වූ දරිද්‍රතාව, මේ වසරේ දී සියයට 28ට ලඟාවීමට නියමිත ය.

කම්කරුවන්ගේ කෝපය වාෂ්ප කිරීමටත් මහජන අරගල පුපුරා යාම වැලැක්වීමටත් වෘත්තීය සමිති නිලධර යෝ ඔවුන්ට හැකි සියල්ල කරමින් සිටිති. ආන්ඩුවේ ප්‍රහාර ගැඹුරු කිරීම සඳහා මෙම පාවාදීම් යොදා ගන්නා අතර ම, මුලුමනින් ම වෘත්තීය සමිති නිලධරය මත වාරු වීමට නො හැකි බව දන්නා වික්‍රමසිංහ, තම ඒකාධිපති බලතල ශක්තිමත් කරගැනීමට ලහිලහියේ ක්‍රියාකරමින් සිටී.

ප්‍රධාන ධනපති විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ), තමන් ඕඑස්බීට එරෙහි ව නීතිමය පියවර ගන්නා බව නිවේදනය කර ඇත. නව කෙටුම්පතට එරෙහි ව තම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරන ක්‍රියාමාර්ග ගන්නා බව, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද කියා තිබේ.

මෙම දේශපාලන සංවිධාන කුරිරු ලෙස මහජනයා රවටමින් සිටිති. ආන්ඩු පක්ෂයේ සිටිය ද විපක්ෂයේ සිටිය ද මෙම පක්ෂ දෙකේ ම නායකයෝ, දෙමල සුලුතරය, කම්කරු පන්තිය හා තරුනයන් මර්දනය කිරීමට කොලඹ පාලනයන් ගෙන ගිය එල්ටීටීඊයට එරෙහි යුද්ධය සමයේ පීටීඒ හා අනෙකුත් මර්දන නීතිවලට එකපැහැර පිටුබලය දුන් හ.

මෙම පක්ෂ දෙක ම ජාමූඅ කප්පාදු විධානයන්ට මුලුමනින් කැප වී සිටිති. ශ්‍රේෂ්ඨාධිකරනය නව කෙටුම්පත්වලට මතුපිට වෙනස්කම් යෝජනා කල හැකි බව ඔවුන් දන්නා අතර, මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුව හරහා තල්ලු කර ගැනීමට ආන්ඩුව එහි බහුතරය යොදා ගනු ඇත. කම්කරු පන්තියේ හා ගම්බද ජනයාගේ මහජන ව්‍යාපාරයකට එරෙහි ව මෙම නීති යොදා ගැනීමට බලයට ඒමට හැකි වුවහොත් මෙම පක්ෂ ද පසුබට නො වනු ඇත.

තම ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගනුවස්, කම්කරු පන්තියට මෙම විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයන් මත විශ්වාසය තැබිය නො හැක. කම්කරුවන්ටත්, ශිෂ්‍යයන් ඇතුලු තරුන ජනයාටත් අරගලය සඳහා මූලිකත්වය ගන්නා ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කැඳවුම් කරන්නේ මේ නිසා ය.

ධනේශ්වරයේ සියලු කන්ඩායම්වලින් ද වෘත්තීය සමිති නිලධරයෙන් ද ව්‍යාජ වමෙන් ද ස්වාධීන ව කම්කරු පන්තිය බලමුලුගැන්විය යුතු ය. කම්කරු පන්තිය වෙත හැරෙන ලෙස අපි තරුනයන්ගෙන් ඉල්ලමු. රැකියා, වැටුප්, විශ්‍රාම වැටුප් සහ සෞඛ්‍යය හා අධ්‍යාපනය ඇතුලු සමාජීය අයිතීන් සඳහා සටන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමේ අරගලයෙහි කොටසකි.

කම්කරුවන්, තරුනයන් හා සිසුන් තමන් කැමති පරිදි පන්ති ක්‍රියා සන්නිවේදනය කිරීම, සාකච්ඡා කිරීම හා සංවිධානය කිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකාවන් ලෙස යොදාගත්හ. එපරිදිම, තමන්ගේ අරගල හා තමන්ගේ අයිතීන් කෙරහි මෙම විෂඝෝර නීතිවල බලපෑම පලල් පරිමානව සාකච්ඡා කිරීම සඳහා මෙම මාධ්‍ය යොදාගෙන සාකච්චාව්ලට එලඹෙන ලෙස ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

සෑම කම්හලක, වත්තක, නිවහන් ප්‍රදේශයක හා අනෙකුත් සෑම ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස කම්කරුවන්ට කැඳවුම් කරන අපි, තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු තනා ගන්නා ලෙස ගම්බද ජනයාගෙන් ද ඉල්ලමු. ගෝලීය කම්කරු පන්තියෙහි ඒකාග්‍ර කොටසක් වන ලංකාවේ කම්කරු පන්තිය, මෙම අරගලය ඉදිරියට ගැනීම සඳහා තමන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරයින් සමග එකමුතු වීම අවශ්‍ය ය.

ලංකාවේ වික්‍රමසිංහ පාලන තන්ත්‍රය හා ධනපති පන්තිය ආඥාදායක පාලන රූප කරා හැරීම හුදකලා වර්ධනයක් නො වේ. ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ගේ සිට අර්ධ සංවර්ධිත රටවල් දක්වා සෑම තැනක ම අර්බුද ග්‍රස්ත පාලක ප්‍රභූන් ඒකාධිති පාලන ක්‍රම අනුයමින්, දිගහැරෙන කම්කරු-පන්තික අරගල මර්දනය කරනුවස් අන්ත-දක්ෂිනාංශික බලවේග ශක්තිමත් කරමින් සිටී. ධනවාදය අත්පත්කර දෙන්නේ යුද්ධය, ෆැසිස්ට්වාදය, ගැඹුරු වන සමාජ අසමානතාව හා දුප්පත් කම පමනි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලය ආරම්භ කරනුවස් අපි මෙසේ ඉල්ලා සිටිමු: විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු! මහජන ආරක්ෂක පනත හා අත්‍යවශ්‍ය මහජන සේවා පනත ඇතුලු සියලු මර්දන නීති අවලංගු කරනු! ඕඑස්බී හා ඒටීබී එපා!

සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමට, ජාමූඅ කප්පාදුව හා සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම; සුපිරි ධනවතුන්ගේ ධනය අල්ලා ගැනීම; සහ ප්‍රධාන බැංකු හා සංගත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම අවශ්‍ය කරයි.

වික්‍රමසිංහ ආන්ඩුව පෙරලා දමා, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කල යුතු ය. මිලියන ගනන් ජනයා මුහුන දෙන දරිද්‍රතාව අවසන් කිරීම, ජීවත් විය හැකි වැටුපක් මත සියල්ලන්ට රැකියා සහතික කිරීම, දුගී ගොවීන්ට සහතික කල පොහොර සහනාධාර සම්පාදනය කරමින් හා ඔවුන්ගේ නය අහෝසි කිරීම සහ සියල්ලන්ට නවීන පහසුකම් සහිත නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනය තහවුරු කිරීම කම්කරුවන්ගේ පාලනය යටතේ නිෂ්පාදනය හා බෙදා හැරීම ප්‍රති-සංවිධානය කිරීම මෙම වැඩපිලිවෙලට ඇතුලත් වේ.

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතාන්ත්‍රික ව තෝරාපත් කර ගන්නා නියෝජිතයන් මත පදනම් වන ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීමට සසප ක්‍රියා කරන්නේ මේ නිසා ය. මෙම සමාජවාදී ක්‍රියා මාර්ගය සඳහා පොදු අරගලයක් තුල කම්කරු පන්තිය එකමුතු කිරීමටත් ගම්බද දුගීන් රැලි කර ගැනීමටත් පදනම මෙම සම්මේලනය මගින් සම්පාදනය කරනු ඇත.

Loading