සසප සාමාජික දේහින් වසන්ත මොරටුව විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කම්කරුවන් අමතයි

ඉහල වැටුප් ඇතුලු ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින්, ඔක්තෝබර් 11 දා, ශ්‍රී-ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි අනධ්‍යන සහ අධ්‍යයන සේවකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනය සංවිධානය කිරීමේ කොටසක් ලෙස, මොරටුව විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති නායකත්වය, ඊට පෙරදින කෑමපැයේ තම සාමාජිකයන් රැස්වීමකට කැඳවා තිබුනි. එදින පෙරවරුවේ නිකුත්කල කෙටි නිවේදනයකින් පසුව විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසල පැවති මෙම රැස්වීමට 100 කට ආසන්න අනධ්‍යන සේවක පිරිසක් සහභාගි වී සිටියහ.

අනධ්‍යන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපතිත්වය දරන ගයාන් පීරිස් සහ එම කමිටුවේ තවත් නායකයෙකු වන අශෝක චන්දන රැස්වීම ඇමතුහ. ඔවුන් දෙදෙනා පිලිවෙලින්, එක්සත් ජාතික පක්ෂයට අයත් “ජාතික සේවක සංගමයේ” සහ සහ ජනතා විමුක්ති පෙරමුන විසින් මෙහෙයවෙන “අනධ්‍යන සේවා වෘත්තීය සමිතියේ” මොරටුව විශ්වවිද්‍යාලයීය ශාඛාවන්හි දිගුකාලීන නායකයෝ වෙති.

එම කතාවන්හි ප්‍රධාන උත්සුකයවූයේ කම්කරුවන්ගේ ඌන සහභාගිත්වය වන අතර, ඔවුහු ඒ පිලිබඳව තරුන කම්කරුවන්ට චෝදනා කලහ. තරුනයන් ඇතුලු අනධ්‍යන කම්කරුවන් සිය අයිතීන් දිනාගෙන ඇත්තේ වෘත්තීය සමිති ගෙනගිය අරගල වලින් බවත්, ඒබව නොදන්නා තරුන කම්කරුවන් එම වරප්‍රසාද භුක්ති විඳිමින් වෘත්තීය සමිති විසින් සංවිධානය කරන කාර්මික ක්‍රියා මගහැර සිටිනබව, පීරිස් පැවසීය.

එලැඹෙන අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් ලබාගැනීමට බලපෑම් දැමීම විරෝධතාවයේ අරමුන බවත්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (ෆූටා), අනධ්‍යන කම්කරුවන්ගේ වෘත්තීය සමිති එකතුවක් ලෙස පවතින 'වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව' සහ පරිපාලන නිලධාරී සංගමය එක්ව ගොඩනගා අති නව සන්ධානයෙන් ඒ සඳහා ප්‍රබල ශක්තියක් ලැබී ඇති බවත් කථිකයෝ පැවසූහ. කෙසේ නමුත්, ෆූටා හි සහ පරිපාලන නිලධාරි සංගමයේ සාමාජිකයෝ රැස්වීමට සහභාගි වී නොසිටියහ.

රැස්වීම අවසානයැයි පැවසූ පීරිස්, සමාජිකත්වයේ අදහස් ප්‍රකාශකිරීම වලකාලනුවස්, ඔවුන්ට විසිර යෑමට උපදෙස් දුන්නේ ය. සමිති නායකත්වයේ එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහි වූ එම විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයෙකු සහ සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයෙකු වන දේහින් වසන්ත තමාට කතා කිරීමට අවශ්‍ය බව පවසමින්, එම කතාවට සවන් දෙන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය. බොහෝ සේවකයන් නතර වී කතාවට සවන්දුන්නේ වෘත්තීය සමිති නායකත්වයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.

සසප සාමාජික දේහින් වසන්ත

කම්කරු පංතියට ආන්ඩුව එල්ලකරන ප්‍රහාරය අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයේ අවශ්‍යතාවය මත සිදුවන්නක් බවත් එහි සංවිධිත රුපය වන ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ක්‍රියාත්මක වන කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට වෘත්තීය සමිතිය එකඟ බවත් පිරිස්ගේ වචන වලින්ම උපුටා දක්වමින් වසන්ත ආරම්භයේදීම පැහැදිලි කලේය.

'ආන්ඩුවේ සංවර්ධන කටයුතු වලට 'අපි අබ මල් රේනුවකින්වත් කකුලින් අදින්නේ නැහැ' යනුවෙන් පීරිස් පවසන්නේ වෘත්තීය සමිතිය ජාමූඅ හි වැඩපිලිවෙලට විරුද්ධ නැති බව බව සපථ කිරීමටයි. කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට නම් ජාමූඅ වැඩපිලිවෙල ප්‍රතික්ෂේප කරමින් එයට එරෙහිව සටන් කල යුතුයි.'

'විශ්ව විද්‍යාල කම්කරුවන්ට එල්ල වන ප්‍රහාරය ලොව පුරා කම්කරු පන්තියට එල්ල වෙන ප්‍රහාරයක කොටසක්. එය පැමිනෙන්නේ ලෝක ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසයි. වෘත්තීය සමිති ප්‍රකාශ කරන ආකාරයට වික්‍රමසිංහ ආන්ඩුවට බලපෑමක් යොදා මේ ප්‍රශ්න විසඳන්න පුලුවන් බව සාවද්‍යයි. එය විසඳිය හැක්කේ, ගෝලීය ධනවාදයට සහ එහි නියෝජිතයන් වන ධනපති ආන්ඩු වලට එරෙහිව සටන් වදින කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයකින් පමනකින්” යැයි ඔහු ප්‍රකාශ කලේය.

ධනපති ක්‍රමයට දහසක් හුයපටින් බැඳී සිටින සමිති නිලධරය එවන් වැඩපිලිවෙලකට සපුරා එරෙහි ය. එබැවින්, කම්කරුවන් එම වැඩපිලිවෙලට සටන් වදින තමාගේම සංවිධාන රූපයන් ලෙස “ක්‍රියාකාරී කමිටු” ගොඩනගා ගැනීම සඳහා පෙරට පැමිනීම අවශ්‍ය බව වසන්ත පැහැදිලි කලේය. සමිති නිලධරය මෙන් නොව, ඒවා කම්කරුවන්ගේ ඓතිහාසික අත්දැකීම මත පාදක වූ සාකච්ඡා මගින් තීන්දු තීරන ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී බල සංස්ථාවන්‍ ය. “මෙම අරගලය ඉදිරියට ගෙනයාම සඳහා වහාම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගතයුතු” බවත්, “ජාත්‍යන්තරව පංති අරගලයට එලැඹෙන ලොවපුරා කම්කරුවන් සමග එකතුවිය යුතු බවත්” ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

'පීරිස් ගේ කථා අනුමත කරන අශෝක චන්දන පොදු අරගලය සමග එකට යාම ප්‍රශ්නයක් වනබව පවසන්නේ, ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ඒකාබද්ධකොට මෙහෙයවන සටනක් වලකාලීමේ අරමුනෙන්. චන්දනගේ ඉල්ලීමට විපරීතව සියලු කම්කරුවන්ට, එවන් ඒකාබද්ධව අරගලයක් සංවිධානය කිරීම අවශ්‍යයි. චන්දන ගේ අදහස කම්කරුවන් බෙදීමයි.'

ගැඹුරුවන ලෝක ආර්ථික සහ දේශපාලන අර්බූදය හේතුවෙන්, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් යුක්‍රේනය මැදිකරගෙන රුසියාවට එරෙහිව ලේවැකි යුද්ධයක් ගෙනයන අතරේම, පලස්තීනයට එරෙහිව ඊශ්‍රායල ආන්ඩුව දියත්කොට ඇති ජන සංහාරක යුද්ධයට ආධාර සහ පූර්න පිටුබලය සපයන බව වසන්ත පැවසීය. විශ්ව විද්‍යාල කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පංතිය පලස්තීනයට එල්ල කරන ප්‍රහාරයට මුලුමනින්ම විරුද්ධ විය යුතු බවත්, මෙම යුද්ධ නැවැත්වීම පෙරට පැමිනිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

'නයිෂ්ටික ලෝක යුද්ධයේ තර්ජනයය ඉහලයාමත් සමගම ලොව පුරා කම්කරුවන්ට එල්ලවන ප්‍රහාරයත් එයට සම්බන්ධිතව වර්ධනය වෙනවා. යුද්ධය නතර කිරීම මෙන්ම, සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ලවන ප්‍රහාර පරාජය කල හැක්කේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින් පමනයි. ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ඒවා ඒවා ජාත්‍යන්තරව ඒකාබද්ධ කිරීම අත්‍යවශ්‍යයි. මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කරමින් කම්කරුවන් අතර සටන් වදින්නේ සසප පමනයි. ඒ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට ඉදිරියට එන්න” යැයි වසන්ත පැවසීය.

ලෝක යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ එල්ලය සහිතව ජාත්‍යන්තරව පැවැත්වෙන රැස්වීම් මාලාවක කොටසක් ලෙස, සසප තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, ඔක්තෝබර් 19 දා සවස 3.00 ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ පවත්වන රුස්වීමට සහභගිවන ලෙස සියලු කම්කරුවන්ගෙන් ඉල්ලමින් වසන්ත තම කතාව අවසන් කලේය.

කම්කරුවෝ අත්පොලසන් දීමෙන් ප්‍රතිචාර දැක්වුහ. අනධ්‍යන කම්කරුවන් පමනක් නොව පුද්ගලික ආරක්ෂක අංශයේ සේවකයො ද සොච්චම් දෛනික වැටුපකට කොන්ත්‍රාත්කරුවන් යටතේ සූරාකෑමට ලක්වන කම්කරුවෝ ද එහි සිටියහ. ඔවුන් අතරින් කිහිප දෙනෙක් එම අවස්ථාවේදීම, කථාව ප්‍රසංශාවට ලක් කරමින් වසන්තට ස්තුති කලහ.

කතාව අසා සිටි කම්කරුවෙක් පැවසුවේ එහි වැදගත්ම කොටස පලස්තීන පීඩිතයන් ආරක්ෂා කිරීම පිලිබඳ කොටස බවයි. සෑම කම්කරුවකුගේ ම අයිතීන් ආරක්ෂා කරන ව්‍යාපාරයක් අවශ්‍ය බව ද, කම්කරුවන් එවැනි ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පෙරට නොපැමිනීම ගැන තමා කම්පා වන බව ද ඔහු කීවේය.

වීරන්ජිව නැමැති කම්කරුවා වසන්තගේ මැදිහත්වීම අගය කලේ මෙසේය: “අවුරුදු පහලොවකට පමන පෙර ඔබ කියා සිටි දේ දැන් සිදු වෙන්න පටන් අරගෙන තියෙනවා. ලෝක යුද්ධය, කම්කරුවන්ගේ රැකියා අහිමිවීම සහ දැරිය නොහැකි ආකාරයට වැඩ වේගවත්විම එවැනි දේවල්. කලකට පෙර ඔබ ඒ දේවල් පෙන්වා දුන් බව විශ්වවිද්‍යාලයේ අය කියනවා. මිනිස්සු ඔබේ කතාව අහගෙන සිටීම පෙන්වන්නේ අලුත් තත්වයක්. වෘත්තීය සමිති පිලිබද කලකිරීම සහ අලුත් විකල්පයක් සොයමින් සිටීම තමයි මෙම සිද්ධියෙන් එලියට පැමිනෙන්නේ.”

Loading