සසජාතශි ප්‍රසිද්ධ රැස්වීම: ඓතිහාසික භෞතිකවාදය ගැන හැඳින්වීමක්

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය මාක්ස්වාදය ගැන දේශන මාලාවක් පැවැත් වීමට සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයට ආරාධනා කර ඇත. එම දේශන මාලාවේ පලමු දේශනය “ඓතිහාසික භෞතිකවාදය ගැන හැඳින්වීමක්” යන මැයෙන් ඔක්තෝබර් 26 වැනි දා බ්‍රහස්පතින්දා සවස 4ට පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ දී පැවෙත් වෙනු ඇත.

ඓතිහාසික භෞතිකවාදය යනු සමාජ වර්ධනය පැහැදිලි කිරීමට කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්‍රික් එංගල්ස් විසින් ඔවුන්ගේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයේ (1848) සිට ප්‍රාග්ධනය වෙලුම් තුන දක්වා කෘති තුල සංවර්ධනය කෙරුනු විද්‍යාත්මක න්‍යායයකි. මෙම න්‍යායයේ මූලික ප්‍රස්තූතයන් කාල් මාක්ස් විසින් ඔහුගේ දේශපාලන ආර්ථික විද්‍යා විවේචනයට එකතු කිරීමක් (A Contribution to the Critique of Political Economy - 1859) යන කෘතියට ලියූ පෙරවදනේ දී සංක්ෂිප්ත ව ඉදිරිපත් කෙරුනි:

“මිනිසුන්, ඔවුනගේ ජීවිතය පවත්වා ගෙන යාමේ සමාජීය නිෂ්පාදන ක්‍රියාවලිය තුල දී, ඔවුනගේ රුචි-අරුචිකම් වලින් ස්වායත්ත වූ ද, ඔවුනගේ ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේගවල වර්ධනයේ දෙනලද මට්ටමට සරිලන්නාවූ ද, නිශ්චිත සම්බන්ධතාවන්ට අනිවාර්යයෙන් එලැඹේ... වර්ධනයේ එක්තරා අදියරක දී සමාජය සතු මෙම ද්‍රව්‍යමය නිෂ්පාදන බලවේග ඒ වන විට පවත්නා නිෂ්පාදන සම්බන්ධතා සමග හෝ - නෛතික පද වලින් දක්වන්නේ නම් - ඒවා මෙ තෙක් ක්‍රියාත්මක වූ රාමුව තුල පවත්නා දේපල සම්බන්ධතා සමග ගැටුමකට අවතීර්න වේ. එවිට මෙම සම්බන්ධතා, නිෂ්පාදන බලවේගවල වර්ධනයේ රූපාකාරයක සිට ඒවායේ වර්ධනය වලකාලන විලංගු බවට පත්වෙයි. අනතුරු ව ඇරඹෙන්නේ සමාජ විප්ලවයේ කාල පරිච්ඡේදයකි.”

අද දින ගැඹුරට වර්ධනය වී ඇති ධනවාදයේ සමාජ-දේශපාලන-ආර්ථික ගෝලීය අර්බුදය සර්වග්‍රාහී ව විශ්ලේෂනය කොට පැහැදිලි කිරීමට හැක්කේ මෙම න්‍යාය තුලින් පමනි. ධනවාදී සමාජය, එනම්, කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම් උපුටා ගැනීම හරහා ලාභ උපුටා ගැනීම මත පමනක් ම පාදක වන සමාජ පද්ධතිය, මානව වර්ගයාට පෙර නුවූ විරූ සමාජ කාලකන්නිභාවයක් උරුම කර දී ඇත්තේ ඔවුන් පෙර නුවූ විරූ තාක්ෂනික ජයග්‍රහනයන් සහ නිෂ්පාදන බලවේගවල වර්ධනයන් අත්පත් කර ගෙන තිබිය දී ම ය.

ඇමරිකාව සහ සෙසු අධිරාජ්‍යවාදී බලයන් ධනවාදයේ මෙම පෙර නුවූ විරූ ආර්ථික දේශපාලන සමාජ අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ ව්‍යසනකාරී ලෝක යුද්ධයක් දෙසට ගමන් කරමිනි. ඒ සමග ම, ලොව පුරා ආන්ඩු ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට පන්ති යුද්ධයක් දියත් කර ඇත. මේවා පන්ති අරගලයේ ක්ෂනික නැග්මකට තුඩු දී ඇත.

ඓතිහාසික භෞතිකවාදය පෙන්වා දෙන පරිදි මෙම දැවැන්ත අර්බුදයට ප්‍රගතිගාමී විසඳුමක් ඉදිරිපත් කල හැකි එක ම සමාජ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. එම විසඳුම නම් ජාතික රාජ්‍ය පද්ධතිය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික හිමිකාරීත්වය තුල මුල් බැස ඇති ධනේශ්වර පද්ධතිය විප්ලවවාදී ලෙස මුලිනුපුටා දමා නිෂ්පාදන මාධ්‍යයන් කම්කරු පන්තියේ පොදු හිමිකාරීත්වය යටතට ගෙන සමාජවාදය ජාත්‍යන්තර ව ගොඩ නැගීමයි.

සසජාතශි දේශනය ඓතිහාසික භෞතිකවාදයේ මෙම මූලික ඉසවු විස්තාරනය කරමින් පැහැදිලි කරනු ඇත. අපි කම්කරුවන්ගෙන්, ශිෂ්‍යන්ගෙන්, තරුනයන්ගෙන් සහ විද්‍යාර්ථීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපගේ දේශනයට සහභාගී වී මෙම විප්ලවවාදී න්‍යාය සහ එය ඉස්මතු කරන කම්කරු පන්තිය සතු දේශපාලන කර්තව්‍යයන් සම්බන්ධ සාකච්ඡාවට සහභාගි වන ලෙසයි.

දිනය සහ වේලාව: ඔක්තෝබර් 26 වැනි දා සවස 4

සසජාතශි කෝවිඩ්-19 ගෝලීය වසංගතය බරපතල ලෙස සලකයි. එනිසා රැස්වීමට සහභාගී වීමේ දී ඔබේත් සෙසු අයගේත් සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා කේඑන්-95 මුව ආවරනයක් පලඳින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading