ශ්‍රී ලංකාව: රාජ්‍ය අංශයේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ වැටුප් වැඩිවීම් ඉල්ලා සිටිති; කප්පාදු පියවරවලට විරුද්ධ වෙති

[මෙය Sri Lanka: Hundreds of thousands of public sector workers demand pay rises, oppose austerity measures යන මැයෙන් 2023 නොවැම්බර් 02 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

වැඩි වැටුප් ඉල්ලා සිටීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනවනු ලදුව වික්‍රමසිංහ ආන්ඩුව ක්‍රියාවට දමා ඇති සමාජ ප්‍රහාරවලට විරෝධය දැක්වීමට, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ලක්‍ෂ සංඛ්‍යාත කම්කරුවෝ, මේ සතියේ, විරෝධතා දැක්වූහ.

2023 ඔක්තෝබර් 30 වැනි දින කොලඹ දී, වැටුප් වැඩි කරන ලෙස බලකර සිටින රජයේ සේවකයන්.

සඳුදා, මධ්‍යම හා පලාත් රාජ්‍ය සේවා කම්කරුවෝ 100,000 ක් පමන රුපියල් 20,000 ක මාසික වැටුප් වැඩිවීමක් ඉල්ලමින් රටපුරා දිවා ආහාර පැය තුල විරෝධතාවක් පැවැත්වූහ. පසුගිය වසර හයක කාලය තුල බඳවාගත් සියලුම රාජ්‍ය අංශයේ සේවකයන් සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කර ඇති විශ්‍රාම වැටුප් ක්‍රමය යලි ස්ථාපිත කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව, 2016 දී සිදුකල නව බඳවා ගැනීම් සඳහා, එතෙක් සම්පූර්නයෙන්ම රජය විසින් ගෙවූ විශ්‍රාම වැටුප ඉවත් කර, එය වෙනුවට ඔවුන්ගේ වැටුපෙන් අඩු කරන ලද දායක විශ්‍රාම වැටුපක් ලබා දුන්නේය.

සංවර්ධන නිලධාරීහු, රාජ්‍ය පරිපාලන සේවා සේවකයෝ, ග්‍රාම නිලධාරීහු සහ තැපැල් සේවකයෝ සඳුදා විරෝධතාවයට එක්වූහ. ඔවුන්ගේ උද්ඝෝෂනයට තිබූ සෑම රාජ්‍ය මර්දනයක්ම මැඩගෙන ඔවුහු සටන් පාඨ කීහ.

සඳුදා විරෝධතාව කැඳවනු ලැබුවේ, විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය (ඩීඑස්ඕයූ) ඇතුලුව වෘත්තීය සමිති 40 කට අධික සංඛ්‍යාවක එකතුවක් වන රාජ්‍ය සහ පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව (සීඑස්පීඑස්එස්ටීයූ) විසිනි. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුනේ සහ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ ද එයට සහභාගී වූහ.

පෙට්‍රල් සහ යතුරුපැදි දීමනා වැඩි කරන ලෙස ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 15,000 ක් පමන, සඳුදා සිට ඇරඹුනු, දෙදින අසනීප නිවාඩු උද්ඝෝෂනයක නිරතවූහ.

සෞඛ්‍ය සේවකයින්, 2023 නොවැම්බර් 1 වන දින කොලඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය

බදාදා, 20,000කට වැඩි විදුලි සේවකයෝ ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) පෞද්ගලීකරනය කිරීමට සහ විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව එක්දින ලෙඩ නිවාඩු උද්ඝෝෂනයක් පැවැත්වූහ. වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ. සේවකයෝ 600 ක් පමන කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂන කලහ. මෙම ක්‍රියාමාර්ගය සංවිධානය කල ලංවිම වෘත්තීය සමිති සන්ධානය තම සාමාජිකයින් බොහෝ දෙනෙකුට නිවෙස් වල රැඳී සිටින ලෙසට උපදෙස් දී තිබුනි.

එදිනම, හෙදියන්, සාත්තු සේවකයින්, රසායනාගාර වෘත්තිකයන් සහ කාර්යාල සේවකයින් ඇතුලු දහස් ගනනක් සෞඛ්‍ය සේවකයෝ, වරුවක වැඩ වර්ජනයක් දියත් කල අතර රට පුරා තම රෝහල්වලින් පිටත විරෝධතා දැක්වූහ. සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම වර්ජනය, රුපියල් 20,000 ක මාසික වැටුප් වැඩිවීමක්, දින පහක වැඩ සතියක් සහ තවත් ඉල්ලීම් කිහිපයක් ඉල්ලා සිටියේය.

වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, බැංකු සේවකයන් ඇතුලු වෘත්තිකයන් 400 ක් පමන බදාදා කොලඹ ලේක්හවුස් වටරවුම අසලදී වෙනම විරෝධතාවක් පැවැත්වූහ. ඔවුන් ආන්ඩුවේ නව උපයන-විට-ගෙවන බදු වලට විරුද්ධ විය. එම ඉල්ලීම මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දිස්ත්‍රික්ක පුරා එක්දින වැඩවර්ජනයක් කැඳවා තිබුනි.

2023 නොවැම්බර් 01 වැනි දින කොලඹ ලෝටස් පාරේ වෘත්තීයවේදීන්ගේ විරෝධතාවයේ කොටසක්

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් 4,000 කට අධික සංඛ්‍යාවක් විසින් ඔක්තෝබර් 24 දා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයකින් පසුව, මෙම සතියේ නොයෙකුත් විරෝධතා පැවැත්විනි. ඔවුහු රුපියල් 20,000 වැටුප් වැඩිවීමක් සහ අධ්‍යාපනය සඳහා ආන්ඩුවේ වියදම් වැඩි කරන ලෙස ඉල්ලා සිටියහ. පොලිසිය විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහර දුන්නේය. ඔක්තෝබර් 27 දා, දස දහස් ගනනක් ගුරුවරු සිය සගයන්ට එල්ල කරන ලද පොලිස් ප්‍රහාරය හෙලා දකිමින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම විරෝධතා දැක්වූහ.

නැගී එන විරෝධතා රැල්ල, සමාජ කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව වික්‍රමසිංහ ආන්ඩුව විසින් එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව වැඩකරන ජනතාව අතර දැවෙන කෝපයේ තවත් බලගතු ප්‍රකාශනයකි. ඒවා, රැකියා විනාශයට හා ඉහල යන ජීවන වියදමට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ වඩ වඩාත් වර්ධනය වන සටන්කාමී ක්‍රියාවන්ගේ කොටසකි.

ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ සහ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ, වසර හතරක් සඳහා දීර්ඝ කරන ලද ඩොලර් බිලියන 3 ක ඇප නයක් මුදාහැරීමට කිරීමට ජාමූඅ මාර්තු මාසයේදී එකඟ විය. ඊට හිලවු වශයෙන්, ජාමූඅ ආන්ඩුවේ වියදම්වල තියුනු කප්පාදුවක් ඉල්ලා සිටියේය. එකතු කල අගය මත බද්ද (වැට්) සහ වෙනත් අයකිරීම් සමඟ ඉහල සහ පුලුල් ලෙස පදනම් වූ ආදායම් බද්දක් ද පනවන ලෙස එය බල කර ඇත. විදුලිය හා ජලය සඳහා ඉහල ගාස්තු සමග රාජ්‍ය ව්‍යවසායන් සිය ගනනක් පුද්ගලීකරනය හා ප්‍රතිව්‍යුහගත කරන ලෙසත් රාජ්‍ය ශ්‍රම බලකාය දැඩි ලෙස අඩු කරන ලෙසත් අරමුදල ඉල්ලා සිටී.

සැප්තැම්බරයේ දී, ජාමූඅ සිය කප්පාදු ඉලක්ක දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එහි ඇපදීමේ නයෙහි දෙවන වාරිකය අත්හිටුවන ලදී. ජාමූඅ ආන්ඩුවෙන් නව වියදම් කපා හැරීමේ පොරොන්දු ලබා ගැනීමෙන් පසු දෙවන වාරිකය ඔක්තෝබර් 20 දින නිකුත් කලේය.

ගිය සතියේ ආන්ඩුව විදුලි බිල සියයට 18 කින් වැඩි කලේය. ඒ 2022 අගෝස්තු මාසයේදී සියයට 75 කින් සහ මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 66 ක වැඩිවීමකින් පසුවය. ආන්ඩුව මේ සතියේ වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා ඉහල දැමීය. පසුගිය මාස දෙක තුල ගෑස් සහ තෙල් මිල දෙවතාවක් ඉහල දැමුනි.

උද්ධමන අනුපාත ඉහල යාම විසින් සැබෑ වැටුප් මට්ටම් ඛාදනය කර ඇත. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2013 පාදක වසර 100 ලෙස ගත් විට, 2023 මැද භාගය වන විට රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සැබෑ වැටුප් පිලිවෙලින් ඒකක 58 කින් සහ 82 කින් පහත වැටී ඇත.

2023 ඔක්තෝබර් 24 වන දින කොලඹ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වුනු ගුරුවරුන්ගේ විරෝධතාවය.

ඉහල යන ජීවන වියදමට සහ ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදුවලට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් තම අධිෂ්ඨානය පෙන්නුම් කර සිටින අතර, වෘත්තීය සමිති ආන්ඩුව සමග දේශපාලන ගැටුමක් වැලැක්වීමට මංමුලා සහගත ලෙස වැඩ කරමින් සිටිති.

2024 අයවැයෙන් වැටුප් වැඩිවීමක් ලබා දීමටත් පුද්ගලීකරනය සහ අනෙකුත් සමාජ ප්‍රහාර නැවැත්වීමටත් සීමිත විරෝධතා මගින් ආන්ඩුව තල්ලු කෙරෙනු ඇති බවට වෘත්තීය සමිති නිලධරයන් දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ ප්‍රවර්ධනය කරයි. අයවැය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙම සතියේ සිඑස්පීඑස්එස්යූ හි සභාපති උදේනි දිසානායක මෙසේ පැවසුවේය: 'නොවැම්බරයේ අයවැයෙන් අපගේ ඉල්ලීම් සඳහා ආන්ඩුව විසඳුම් ලබා නොදුනහොත්, එයට දැවැන්ත අරගලයකට මුහුන දීමට සිදුවනු ඇති බවට අපි අනතුරු අඟවනවා.'

ඒ සමගම ජවිපෙ ප්‍රමුඛ සාමාජිකයෙකු වන ලංකා විදුලි සේවක සංගමයේ (ලංවිසේස) ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මෙසේ ප්‍රකාශ කලේය: “ආන්ඩුවට අපගේ ඉල්ලීම්වලට විසඳුම් දීමට නොහැකි නම්, ලබන වසර අරගලයේ වසරක් වනු ඇති. අපි මේ ප්‍රශ්න ජාත්‍යන්තරයටත් ගෙනියනවා.”

මෙවා හිස් ප්‍රලාපයන් ය. ආන්ඩුවේ රැකියා කප්පාදුව, ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුද්ගලීකරනය කිරීමේ පියවරයන්ට ලංවිසේස පිටුබලය දෙයි. සමිතිය, එහි ජුනි සමුලුවේදී, රාජ්‍ය ව්‍යවසාය ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කිරීම අරමුනු කරගත් “සැබෑ ප්‍රතිව්‍යුහගතකරනයට” සහාය දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

ජයලාල් “අරගලයේ වසරක්” ගැන වාචාල ලෙස කතා කරද්දී, මේ සතියේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරන පනත් කෙටුම්පත අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කලේය. මෙම සැලැස්ම යටතේ ලංවිම කොටස් 14 කට කඩන අතර ඉන් කොටසක් පුද්ගලික සමාගම් වලට පවරා දෙනු ඇත.

මේ සතියේ විරෝධතාවයේ නිරත වූ කම්කරුවන් තම ජීවන තත්වයන් මත උද්ධමනයේ වැඩිවන බලපෑම ගැන ලෝසවෙඅ වාර්තාකරුවන්ට කතා කරමින් වෘත්තීය සමිති නිලධරයට හා වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව ඔවුන්ගේ කෝපය ප්‍රකාශ කලහ.

හලාවත ප්‍රදේශයේ තැපැල් සේවකයෙකු පැවසුවේ 2016 වසරේ සිට තම වැටුප් වැඩි වී නොමැති නමුත් එම කාලය තුල ජීවන වියදම තුන් ගුනයකින් වැඩි වී ඇති බවයි. 'ඇත්තම කියනවා නම්, ජීවන වියදමේ දැවැන්ත වැඩිවීම් සඳහා හිලවු වීමට රුපියල් 20,000 ප්‍රමානවත් වෙන්නෙ නෑ,' යැයි ඔහු පැවසීය.

“මම වසර 23 ක් ස්ථිර සේවකයෙක් හැටියට වැඩ කල නමුත් මගේ සම්පූර්න වැටුප, සියලු දීමනා සමඟ රුපියල් 54,000 යි; එයින් අඩක් නය වාරික සඳහා ගෙවීමට යනවා. මට මගේ දරුවෝ දෙන්නගේ වියදම් කලමනාකරනය කරගන්න බැහැ,” ඔහු වැඩිදුරටත් පැවසීය. ජාමූඅ කප්පාදුවට එරෙහිව සටන් කිරීම අවශ්‍ය බවත්, එනමුත් වෘත්තීය සමිති නිලධරය එවන් අරගලයකට සතුරු බවත් ඔහු සඳහන් කලේය.

සඳුදා පැවති විරෝධතාවයට සහභාගී වූ සංවර්ධන නිලධාරියෙකු පැවසුවේ ආන්ඩුව වැටුප් වැඩිවීමක් ලබා දෙනු ඇතැයි තමන් නොසිතන බවයි. “අනෙක් බොහෝ කම්කරුවන් ද හිතන්නේ එහෙමයි. අපගේ බොහෝ සගයන්ගේ මෙන්, මගේ මාසික වැටුප සති කිහිපයක් ඇතුලත අවසන් වෙනවා. එම ප්‍රශ්න රජයේ සේවකයන්ට පමනක් සීමා වූවක් නොවෙයි. අනෙක් මහජනතාව ගැන කවර කතා ද? අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන් බලමුලු ගැන්වීමට වෘත්තීය සමිති නායකයින් අසමත්.”

නැඟී එන මහජන විරෝධය අපසරනය කිරීමට උත්සාහ කරමින්, ජනාධිපති වික්‍රමසිංහ, එලඹෙන අයවැයෙන් “වැටුප් වැඩි කිරීමට” තමාට සැලසුමක් ඇති බව පසුගිය සතියේ ප්‍රකාශ කලේය. මෙය සිදු වුව ද, ඕනෑම වැඩිවීමක් වර්තමාන උද්ධමන අනුපාතයට වඩා බෙහෙවින් අඩු වනු ඇති අතර පෙර සමාජ ප්‍රහාර වලින් සිදුව ඇති හානිය පූරනය නොවනු ඇත. පසුගියදා වැඩි කල විදුලි බිල සහ වැට් බද්දට සමගාමීව ආන්ඩුව ඊයේ සීනි සඳහා පනවා ඇති විශේෂ වෙලෙඳ භාන්ඩ බද්ද සියයට 25 කින් පමන වැඩි කලේය.

උත්සන්න කෙරෙන දුෂ්ට හා සමාජ ප්‍රහාරවලට එරෙහි කිසිදු විරෝධයක් නොඉවසන බව පැහැදිලි කර ඇති වික්‍රමසිංහ ආන්ඩුව කම්කරු පන්තිය සමග සෘජු ගැටුමක නිරතව සිටී. ඔක්තෝම්බර් 24 දින ගුරුවරුන්ට සහ විශ්ව විද්‍යාල පෞද්ගලීකරනයට එරෙහිව කොලඹට පා ගමනින් ගිය සරසවි සිසුන්ට එල්ල කෙරුනු ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයෙන් මෙය පැහැදිලි වේ.

වෘත්තීය සමිති නිලධරයන්, සමගි ජන බලවේගය (සජබ) සහ ජවිපෙ ඇතුලු සහ විරුද්ධ පක්ෂ, ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධ නැත. මෙම වෘත්තීය සමිති බොහොමයක් පාලනය කරනු ලබන්නේ විපක්ෂයේ සජබ, ජවිපෙ සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසිනි.

යහපත් වැටුප් සඳහාත්, කප්පාදු පියවරවලට සහ ඒ සමග ඇති වන රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කිරීම සඳහාත් ධනේශ්වර පන්තියේ සෑම කන්ඩායමකින්ම ස්වාධීන කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් අවශ්‍ය වේ.

එවන් අරගලයක් කිරීමට නම් කම්කරුවන් ධනේශ්වර පක්ෂවලට සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට යටත් කිරීමට වෘත්තීය සමිති නිලධරයන් දරන බෙදුම්වාදී ප්‍රයත්නයන් ප්‍රතික්ෂේප කරමින්, කාරනා තමන්ගේ අතට ගත යුතුය. මේ සඳහා සෑම වැඩබිමකම, කර්මාන්ත ශාලාවකම සහ වතුකරයකම තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

කම්කරුවන්ගේ සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කල හැක්කේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කෙරෙන සටන තුල දී වික‍්‍රමසිංහ ආන්ඩුවට සහ සමස්ත ධනපති පන්තියට එරෙහිව කරන දේශපාලන අරගලයක දී පමනි. එය කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු, ප්‍රධාන කර්මාන්ත සහ වතු ජනසතු කිරීම ඇතුලු සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇත.

Loading