හෙලන් හෙල්යාර්ඩ් වෙත පිදෙන උපහාරයකි (1950 නොවැම්බර් 24 - 2023 නොවැම්බර් 28)

[මෙය A Tribute to Helen Halyard (November 24, 1950-November 28, 2023) යන මැයෙන් 2023 නොවැම්බර් 29 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

73 හැවිරිදි වියේ පසුවූ හෙලන් හෙල්යාර්ඩ්ගේ අනපේක්ෂිත හදිසි මරනය එක්සත් ජනපදයේ සහ ලොව පුරා කම්කරු පන්තියට සමාජවාදය සඳහා සටනේ නිර්භීත හා කැපවූ සටන්කාරිනියක් අහිමි කලේය. එසේම ඇයගේ වියෝව සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදයේ) සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවල ඇගේ සහෝදරයින්ට ඉමහත් පුද්ගලික පාඩුවකි; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හෙලන් සමඟ දශක ගනනාවක් සහ ඇතැම් විට සමස්ත අඩ සියවසක් පවා සමීපව වැඩ කර ඇත.

හෙලන් හෙල්‍යාර්ඩ

1971 දී, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියාවූ වර්කර්ස් ලීගයට පලමු වරට සම්බන්ධ වූ දා සිට, හෙලන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වැඩ කටයුතුවල තීරනාත්මක භූමිකාවක් ඉටු කලාය. මහජන සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සහ වියට්නාම් යුද්ධයට එරෙහි අරගලය විසින් දේශපාලනිකව රැඩිකලීකරනය වූ ඇය, අප්‍රිකානු-ඇමරිකානු කම්කරු පන්තියේ වඩාත්ම දියුනු කොටස්වල උරුමයන් සහ සටන් සම්ප්‍රදායන් තුල බුද්ධිමයව, සංස්කෘතිකව හා සංවේදීව ගැඹුරින් මුල් බැස ගත්තාය.

වර්කර්ස් ලීගයට බැඳීමට පෙර පවා, හෙලන් එක්සත් ජනපදය තුල වාර්ගික පීඩනයට එරෙහි අරගලය අනන්‍ය කරගත්තේ ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි පුලුල් ජාත්‍යන්තර පන්ති අරගලය සමගයි. හෙලන් සියලු ආකාරයේ ජාතිකවාදී දේශපාලනයෙන් බිඳී වර්කර්ස් ලීගයට බැඳීමට හේතු වූයේ එම නෛසර්ගික ප්‍රවනතාවය යි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වෙත ඇයගේ හැරීම වඩාත් සවිඥානික ස්වභාවයක් ගති. ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සහ පැබ්ලෝවාදී සමාජවාදී කම්කරු පක්ෂය විසින් වැලඳගත් කලු ජාතිකවාදයට අවස්ථාවාදී ලෙස අනුගත වීම, හෙලන් තරයේ ප්‍රතික්ෂේප කලාය.

වසර 52 ක් පුරා විහිදුනු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල හෙලන්ගේ ඓතිහාසික භූමිකාව පිලිබඳ සවිස්තරාත්මක සමාලෝචනයක් සහ සාරාංශගත කිරීමක්, මෙම ආරම්භක උපහාරය එහි විෂය පථයෙන් ඔබ්බට ගෙන යයි. ඇගේ පක්ෂ සහෝදරවරු අද සිදුවූ දරුනු වියෝවේ කම්පනය දරාගැනීමට තැත්කරමින් සිටිති. එහෙත් ප්‍රකාශ කල යුතු දෙය නම්, එක්සත් ජනපදයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය, හෙලන් හෙල්යාර්ඩ්ගේ ජීවිතය සමග අවියෝජනීය ලෙස බැඳී පවතින බවයි.

විප්ලවවාදී පක්ෂයක් එහි සාමාජිකයන් අධ්‍යාපනගත කරයි. එහෙත් අනෙක් අතට, එහි කේඩර සාමාජිකත්වයේ චරිත ස්වභාවය පක්ෂයේ දේශපාලන, සමාජීය, සංස්කෘතික සහ සදාචාරාත්මක ස්වභාවයට ප්‍රඝාඩ ලෙස බලපායි. විශේෂයෙන්ම හෙලන් සම්බන්ධයෙන් මෙය එසේ ය. ඇයගේ පෞරුෂය තුල දැවැන්ත ශක්තිය, සුවිශේෂී බුද්ධිය, සමාජවාදී අරමුන සඳහා දැඩි ආත්ම පරිත්‍යාගය, ප්‍රතිපත්තිවලට කැපවීම, බුද්ධිමය ඒකාග්‍රතාවය, පුද්ගලික ත්‍යාගශීලීභාවය, සෝපාහාසිබව සහ දයාව කැපී පෙනේ. හෙලන්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සහ පසුගිය වසර 50 තුල පන්ති අරගලයේ ප්‍රධාන සිද්ධීන්හි සියලු තීරනාත්මක අත්දැකීම්වල කේන්ද්‍රයෙහි සිටියාය.

වසර ගනනාවක් හෙලන් සමඟ වැඩ කිරීමේ භාග්‍යය ලැබූ සසප වැඩිහිටි සාමාජිකයින්ට විශ්වාසවන්ත සහෝදරියක සහ ආදරනීය සහ අසහාය මිතුරියක අහිමි වී ඇත. තරුන සාමාජිකයින්ට දිරිගන්වන ගුරුවරියක අහිමි වී ඇත.

එහෙත් හෙලන් හෙල්යාර්ඩ්ගේ ජීවිතකාලීන වැඩ කටයුතු, සමාජවාදී සමානතා පක්ෂයේ හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩ කටයුතු සහ කම්කරු පන්තියේ අරගල තුල ජීවත් වනු ඇත.

Loading