"සසප සාමාජිකයින්ට එරෙහි ප්‍රහාරය, ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයකි": විල් ලෙහ්මන් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියි

[මෙය “The attack on the SEP members is an attack on the international working class”: Will Lehman defends Socialist Equality Party in Sri Lanka යන මැයෙන් 2023 දෙසැම්බර් 06 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පෙන්සිල්වේනියා මැක් ට්‍රක්‍ රථ කම්කරුවෙක් හා පසුගිය වසරේ එක්සත් මෝටර්‍රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ධුරය සඳහා පැවැත්වුනු මැතිවරනයේදී අපේක්ෂකයෙක් වූ විල් ලෙහ්මන්, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිමින් පහත ප්‍රකාශය නිකුත් කලේය. නොවැම්බර් 30 දා, කොලඹ දකුන ප්‍රදේශයේ පිහිටී මොරටුව විශ්ව විද්‍යාලයේ මහජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ශාඛාවේ මැරයින්, එම විශ්ව විද්‍යාලයේදීම දෙහින් වසන්ත සහ ලක්ෂ්මන් ප්‍රනාන්දු යන සසප සාමාජිකයින් දෙදෙනාට පහර දුන් අතර ඉන් ඔවුහු බරපතල තුවාල ලැබූහ.

යූඒඩබ්ලිව් සභාපති ධුර අපේක්ෂක විල් ලෙහ්මන් 2022 දෙසැම්බරයේ නිව් යෝර්ක් නගරයේ 'ද නිව් ස්කූල්' හිදී වැඩවර්ජනය කරන අනුබද්ධ මහාචාර්යවරුන් සමඟ කතා කරයි. (ලෝසවෙඅ මාධ්‍ය)

සසප (එක්සත් ජනපද) ජාතික ලේකම් ජෝ කිෂෝර් විසින් “ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය” වෙනුවෙන් පැවැත්වීමට යන මහජන රැස්වීම් සඳහා උද්ඝෝෂනය කරමින් සිටි සසප සාමාජිකයන් දෙදෙනාට, පීපීඑස්එස් සභාපති ඉන්දික පෙරේරා සහ ලේකම් සුරංග පියවර්ධන යන දෙදෙනා සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කලහ. විශ්වවිද්‍යාල කම්කරුවෙක් වන වසන්ත, යලි යලිත් පීපීඑස්එස් නිලධාරීන්ගේ තර්ජනයට ලක්ව ඇති කම්කරු අයිතීන් සහ සමාජවාදය සඳහා ප්‍රසිද්ධ සටන්කාමියෙකි.

සසප, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව කම්කරුවන්ට, තරුනයින්ට හා ශිෂ්‍යයින්ට සිය දේශපාලන ක්‍රියාකාරකම්වල නිදහසේ යෙදීමට ඇති අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන ලෙසත්, වැරදිකරුවන්ට නීතියේ සම්පූර්න බලය යොදා නඩු පවරන ලෙසත් ඉල්ලා සිටියි.

විරෝධතා ලිපි පහත ලිපිනයන්ට (සහ සසප ඊමේල් ලිපිනයට එහි පිටපතක් එවන්න: wswscmb@sltnet.lk.) එවන ලෙස සසප ඉල්ලා සිටියි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්.ඩී. ගුනවර්ධන, උපකුලපති, මොරටුව විශ්වවිද්‍යාලය

ඊමේල්: vc@uom.lk or ndg@uom.lk

නීතිපති, සංජය රාජරත්නම්

ඊමේල්: agdurgentmotions@gmail.com

* * *

නීතිපති සංජය රාජරත්නම්,

මගේ නම විල් ලෙහ්මන්; මා වැඩ කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ මැකුංගී හි 'මැක් ට්‍රක්' හිය. මම යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සමිතියේ සාමාජිකයෙක් වන අතර, පසුගිය වසරේ එක්සත් ජනපදයේ සිටින මගේ සියලු කම්කරු සගයින්ට කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුවේ අවශ්‍යතාවය අවධාරනය කරමින්, සමාජවාදී පදනම මත යූඒඩබ්ලිව් හි ජාත්‍යන්තර සභාපති තනතුරට තරඟ කලෙමි.

මම අද ඔබට ලියන්නේ, සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයින් වන දේහින් වසන්තට සහ ලක්ෂ්මන් ප්‍රනාන්දුට එරෙහිව වෘත්තීය සමිති මැරයන් වන ඉන්දික පෙරේරා සහ සුරංග පියවර්ධන විසින් කරන ලද දුෂ්ට, සැලසුම් සහගත ප්‍රහාරය ගැන මා කියැවූ බැවිනි.

අපරාධකරුවන් වන පෙරේරා සහ පියවර්ධන ඔවුන්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් සම්පූර්න වගකීම දැරිය යුතුය. ඔවුන් ත්‍රීරෝද රථය කුලියට ගත්තා පමනක් නොව, සසප සාමාජිකයන් වන වසන්තට සහ ප්‍රනාන්දුට එරෙහිව පාවිච්චි කිරීම සඳහා පොලුවලින් සන්නද්ධව සිටි බැවින්, තමන් කල අපරාධය කලින් සැලසුම් කල බව පැහැදිලිය.

තවද, මෙම මැරයන් දෙදෙනා ක්‍රියා කලේ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය මත ජාමූඅ කප්පාදු පටවන පාලක පක්ෂය වෙනුවෙනි. එක්සත් ජනපදයේ, කම්කරුවන්ට එරෙහිව පාලක පන්තියේ අනපනත් පැටවීමට වෘත්තීය සමිතිවල නිලධාරීන් භාවිතා කරන මැර කල්ලි-ආකාරයේ ක්‍රම අපට ද හුරුපුරුදු ය. ශ්‍රී ලංකාවේ සසප සාමාජිකයින්ට එරෙහි ප්‍රහාරය පිලිබඳව ඇමරිකානු කම්කරුවන් දැනුවත් කිරීමට මම සටන් කරමි; එවිට ඔවුන්ට ද සසප සහ ජාත්‍යන්තරව අසමානතාවයට හා පීඩනයට එරෙහිව සටන් කරන සියලුම කම්කරුවන් ආරක්ෂා කිරීමට පැමිනිය හැකිය.

පෙරේරා සහ පියවර්ධන නොතකා හැරීමෙන් මෙම අපරාධකරුවන්ට ඔවුන් දැනටමත් සිදු කර ඇති ප්‍රචන්ඩකාරී අපරාධ සඳහා නිදහස ලබා දෙනවා පමනක් නොව, අනාගතයේ දී අන් අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කල හැකි තවත් බියගුලු ප්‍රහාර දිරිමත් කරනු ඇත. මෙම සසප සාමාජිකයන් දෙදෙනාට එරෙහි ප්‍රහාරයක් යනු දේශපාලන පක්ෂයකට පමනක් නොව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ද එරෙහි ප්‍රහාරයකි.

විශ්වාසී,

විල් ලෙහ්මන්

Loading