සසප (එජ) ජාතික ලේකම් ජෝ කිෂෝර්, "ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය" සැමරීම සඳහා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පැවති ප්‍රසිද්ධ රැස්වීම අමතයි

[මෙය SEP (US) National Secretary Joe Kishore addresses “Centenary of Trotskyism” public meeting at Sri Lanka’s Peradeniya University යන මැයෙන් 2023 දෙසැම්බර් 08 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

බ්‍රහස්පතින්දා (7) පස්වරුවේ, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජාතික ලේකම් ජෝ කිෂෝර්, ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී මනා සහභාගීත්වයක් පැවති මහජන රැස්වීමක් ඇමතීය.

සසප (එක්සත් ජනපදය) ජාතික ලේකම් ජෝ කිෂෝර් 2023 දෙසැම්බර් 7 වන දින ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දී රැස්වීම අමතමින්.

විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය විසින් අනුග්‍රහය දක්වන ලද රැස්වීමට, සිසුන්, කම්කරුවන් සහ ශාස්ත්‍රාලිකයන් 70 කට අධික පිරිසක් සහභාගී වූහ. දමිල කතා කරන වතු කම්කරුවන්ගේ නියෝජිත පිරිසක් දිවයිනේ ප්‍රධාන වතුකරයේ හැටන් ප්‍රදේශයේ සිට රැස්වීමට සහභාගි වීමට පැමිනියහ. ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කල කිෂෝර්ගේ කතාව, වේදිකාවේ සිට සිංහලට පරිවර්තනය කරන ලද අතර, දෙමල භාෂාවට පරිවර්තනය කරන ලද පෙල තිරයක දර්ශනය විය.

'ලියොන් ට්‍රොට්ස්කි සහ 21 වැනි සියවසේ සමාජවාදය සඳහා අරගලය' යන මැයෙන් පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීම් ඇමතීම සඳහා කිෂෝර් දැන් ශ්‍රී ලංකාවට පැමින සිටී. සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින්, කොලඹ නව නගර ශාලාවේදී, දෙසැම්බර් 10 ඉරිදා, සවස 3 ට පැවැත්වීමට සංවිධානය කර ඇති තවත් රැස්වීමක කිෂෝර් එම තේමාව යටතේම කතා කරනු ඇත.

වත්මන් ජාත්‍යන්තර තත්වය පිලිබඳව අදහස් දක්වමින් බ්‍රහස්පතින්දා සිය දේශනය ආරම්භ කල කිෂෝර්, කම්කරුවන්ට හා තරුනයන්ට තම අරගල ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක් මත පදනම් කර ගැනීමේ තීරනාත්මක වැදගත්කම අවධාරනය කලේය.

“කිසියම් රටක ජාතික සුවිශේෂතා මත පදනම්ව එරට සම්බන්ධයෙන් දිශානතියක් වර්ධනය කල නොහැකි,” බව ඔහු රැස්වීමට පැවසීය. ජාතික දිශානතියක්, 'අවස්ථාවාදී සහ බංකොලොත් නිගමනවලට' තුඩු දෙනු ඇතැයි පැහැදිලි කල ඔහු, එසේ වනු ඇත්තේ 'අපි ජීවත් වන්නේ සහ සටන් වදින්නේ ගෝලීය ධනේශ්වර පද්ධතියක රාමුව තුල නිසාත්, කම්කරුවන් හා තරුනයන් සෑම අවස්ථාවකදීම ගෝලීය ප්‍රශ්නවලට මුහුන දෙන නිසාත්,' බව පැවසීය.

කිෂෝර්, එක්සත් ජනපදයේ සහ එහි නැටෝ සහචරයින්ගේ සක්‍රීය සහයෝගය ඇතිව, ඊශ්‍රායලයේ දක්ෂිනාංශික නෙතන්‍යාහු පාලනය විසින් ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව එල්ල කරමින් පවත්නා ජන සංහාරක ප්‍රහාර විස්තර කලේය. ගාසා යුද්ධය සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය, ඔහු අවධාරනය කල ආකාරයට, 'ශීඝ්‍රයෙන් උත්සන්න වන ලෝක යුද්ධයක පෙරමුනු දෙකකි.'

ලොව පුරා පාලක පන්තීන්, ඒකාධිපති පාලන ආකාර කරා වැඩි වැඩියෙන් මාරුවීම සහ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය අන්තයටම කුනුවීම ගැන කථිකයා විස්තර කලේය.

'වර්තමාන තත්වයන්ගේ වඩාත්ම වැදගත් සාධකය වන්නේ සියලු සමාජ බලවේගවල මූලික හා බලවත්ම බලවේගය වන කම්කරු පන්තියේ පුනර්ජීවනයයි' යනුවෙන් පැවසූ ඔහු, ජාත්‍යන්තරව, විශේෂයෙන් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ කම්කරු පන්ති අරගල සහ වැඩ වර්ජන පැන නැගීම පැහැදිලි කලේය.

'සෑම තැනකම කම්කරුවන් හා තරුනයන් මුහුන දී සිටින්නේ ගෝලීය පරිමානයෙන් විප්ලවවාදී විසඳුම් සඳහා අවශ්‍යතාවය මතු කරන තත්වයකට' බව කිෂෝර් පැවසීය. “මෙය අවශ්‍යයෙන්ම මූලික දේශපාලන හා ඓතිහාසික ප්‍රශ්න මතු කරයි. සමාජවාදය යනු කුමක්ද? 20 වන සියවසේදී සිදු වූයේ කුමක්ද? ස්ටාලින්වාදයට විකල්පයක් තිබුනිද?'

1923 ඔක්තෝබර් මාසයේදී ලියොන් ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ වාම විපාර්ශ්වය පිහිටුවීමත්, 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවීම සහ ගොඩනැගීමත් සමඟින් ආරම්භ වූ ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය සහ වැඩපිලිවෙල සඳහා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ගෙන ගිය වසර 100 ක අරගලයත්, හතරවන ජාත්‍යන්තරය තුල මතුව තිබූ දියකර හැරීමේ පැබ්ලෝවාදී ප්‍රවනතාවයට එරෙහිව සටන් කිරීමට 1953 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමත්, කිෂෝර් විස්තාරනය කලේය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ලබන සතියේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ රැස්වීම පිලිබඳ සවිස්තර වාර්තාවක් පල කරනු ඇත.

2023 දෙසැම්බර් 7 වැනි දින ශ්‍රී ලංකාවේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වුනු රැස්වීමේ කොටසක්.

සසප/සසජාතශි කන්ඩායම් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ, මොරටුව සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල සහ සේවා ස්ථාන කිහිපයක ද ඇතුලුව, රැස්වීම් සඳහා පුලුල් ලෙස උද්ඝෝෂනය කලේය. “ට්‍රොට්ස්කිවාදයේ ශත සංවත්සරය ගැන කථා කිරීමට සසප (එක්සත් ජනපද) ජාතික ලේකම් ලංකාවට පැමිනේ” සහ “වාම විපාර්ශ්වයේ ආරම්භය ගැන” යන මැයෙන් වූ ලෝසවෙඅ ලිපිවල සිංහල හා දෙමල භාෂා පිටපත්, කන්ඩායම් විසින් බෙදා හරින ලදී.

කොලඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ශිෂ්‍යයෙක් උද්ඝෝෂකයන්ට පැවසුවේ ඔහු ලෙනින්, ට්‍රොට්ස්කි සහ ස්ටැලින් ගැන දන්නා බවත්, 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම ස්ටැලින්ගේ තනි රටේ සමාජවාදය පිලිබඳ න්‍යායේ ප්‍රතිඵලයක් බවත් ය. කෙසේ වෙතත්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සහ ස්ටැලින්වාදී නිලධරයට එරෙහි එහි අරගලය ගැන තමා වැඩිදුර නොදන්නා බව ඔහු පිලිගත්තේය.

ට්‍රොට්ස්කි වැනි වැදගත් චරිතයක් බොහෝ අය විසින් හඳුනා නොගැනීමට හේතුව, 'ඔහුව හඳුනාගැනීමට ඉඩ නොදීම' බව ඔහු පැවසීය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය ගැන අපි නොදනිමු, මන්ද “විශ්ව විද්‍යාලයේදී පවා අපට මේ දේවල් ගැන උගන්වන්නේ නැහැ,” ඔහු තවදුරටත් පැවසීය.

කොලඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා හදාරන සුදිල පැවසුවේ “සමාජවාදය අවශ්‍යයි, නමුත් ආර්ථිකය හසුරුවන අය එයට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙනි.

එක්සත් ජනපද ආර්ථිකය සහ ජාත්‍යන්තර යුද ධාවනය ගැන අදහස් දක්වමින් ඔහු පැවසුවේ, “එක්සත් ජනපදය [යුද්ධ උසිගැන්වීමට] ආයුධ විකුනනවා. එක්සත් ජනපද ආර්ථිකය නගා සිටුවීම සඳහා [මහා විනාශකාරී ආයුධ ඇති බවට] ව්‍යාජ ප්‍රකාශයන් කරමින් ඉරාකය විනාශ කලා.

උද්ඝෝෂකයින් විසින්, එක්සත් ජනපදයේ සහ ලෝක ආර්ථිකයේ ගැඹුරු වන අර්බුදයට යටින් පවතින හේතු පැහැදිලි කිරීමෙන් පසු සුදිල මෙසේ පැවසීය: “ධනවාදය යටතේ පිලියමක් නොමැති බව මට වැටහෙනවා. එක්සත් ජනපද ආර්ථිකය කඩා වැටිලා; ආර්ථික අර්බුද නැවත නැවතත් සිදුවෙමින් පවතිනවා. ධනවාදය යටතේ ආර්ථිකය සුරකින්න බැහැ.'

ගාසා ජන සංහාරය ගැන සඳහන් කරමින් ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “ලමයින් ඇතුලු බොහෝ ජීවිත විනාශ වෙමින් පවතිනවා; මෑතකදී විශ්ව විද්‍යාලයක් මුලුමනින්ම විනාශ වුනා. මෙය ප්‍රධාන වශයෙන් ඇමරිකාව භාවිතා කරන සටන් සැලැස්මක්; එය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

'මේ සියල්ල නැවැත්වීමට නම් ඔබ පැහැදිලි කරන පරිදි සමාජවාදය ස්ථාපිත කල යුතුයි; නමුත් රුසියානු විප්ලවය වැනි දේවල් ගැන අපට පාසල්වල උගන්වන්නේ නැහැ. අපි වැරදි මාවතකට ඇදගෙන යන බව අපට වැටහෙනවා, නමුත් රුසියානු කම්කරු පන්තිය බලය ලබා ගැනීම ගැන මම අසා නැහැ,' යැයි ඔහු පැවසීය.

සසප/සසජාතශි උද්ඝෝෂකයෝ බ්ලූමැන්ඩල් වරායේ නිල නිවාස වලදී කොලඹ වරාය කම්කරුවන් සමග කතා කලහ. කොලඹ වරායේ මර්දනකාරී තත්වය හේතුවෙන් නිර්නාමිකව සිටීමට කැමත්ත පලකල කම්කරු කාන්තාවක් පැවසුවේ, සෝවියට් සංගමය විසුරුවා හැරීම ගැන තමා පුදුම වන බවයි.

“ඒ කාලේ මම හිතුවේ එතන සමාජවාදයක් තියෙනවා කියලා; ඒත් පස්සේ ඒක කැඩිලා ගියා. මෙතරම් විශාල රාජ්‍යයකට මෙය සිදුවිය හැකි බව ගැන මම පුදුමයට පත් වුනා. මගේ තාත්තා සෝවියට් සඟරා ගෙදර ගෙනාවා; මම ඒවා කියවන්න පුරුදු වුනා; ඉතින් මම කල්පනා කලා ඇයි මෙහෙම [බිඳ විසිරවීම] වුනේ කියලා.”

1923 දී ස්ටැලින්වාදයේ නැඟීමට එරෙහිව ආරම්භ වූ ට්‍රොට්ස්කිගේ දේශපාලන අරගලය පිලිබඳ පැහැදිලි කිරීමක් ඇසූ වරාය කම්කරු කාන්තාව පැවසුවේ, ට්‍රොට්ස්කි ස්ටාලින්ට එරෙහිව ජයග්‍රහනය කලේ නම්, සෝවියට් සංගමය '1991 දී විසුරුවා හරින්නට සිදුවන එකක් නැහැ. හිට්ලර් බලයට පත් නොවනු ඇති; දෙවන ලෝක යුද්ධය සිදු නොවනු ඇති.

'ට්‍රොට්ස්කිවාදය ජයග්‍රහනය කලේ නම්, අද අප දකින ගාසා ප්‍රශ්නය මතු නොවනු ඇති; ඇමරිකාව පවා මේ තරම් බලවත් නොවනු ඇති,'යැයි ඇය පැවසුවාය.

කොලඹ සිට කිලෝමීටර් 200 ක් දුරින් පිහිටි බන්ඩාරවෙල ලංකා විදුලිබල මන්ඩලයේ තරුන සේවකයෙක් මෙසේ පැවසීය: “මම ලෙනින් ගැන අසා තිබුනත් ඔහුගේ කෘති කියවා නැහැ; ට්‍රොට්ස්කි සහ ස්ටැලින්වාදය ගැන මා කිසිදා අසා නැහැ. මේ ඉතිහාසය ගැන අපට නොකියන්නේ ඇයි? සියලුම ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ඇති එකම විසඳුම සමාජවාදය නම්, අපි මෙය තේරුම් ගත යුතුයි.'

බන්ඩාරවෙල එස්ලැබි වත්තේ, මල්වත්ත කොටසේ වතු කම්කරුවෙකු වන ආර්. සුන්දරම් පැවසුවේ “සමාජවාදය ගැන කතා කරන එකම පක්ෂය සසප යි. යහපත් අනාගතයක් ගොඩනඟා ගැනීමට නම්, ඔබ ඉතිහාසය ඉගෙන ගත යුතුයි. මම තොලිලාලර් පාතෙයි [සසපයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ දෙමල පුවත්පත] කියවීමට පුරුදුව සිටියා. මම සමහර වෙලාවට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දෙමල කොටස කියෙව්වා; ගාසාවේ යුද්ධය ගැන මට දැනගන්න ලැබුනේ ඒ විදියට.

“වෘත්තීය සමිති නායකයෝ අපිට මේ ගැන කිසිම දෙයක් පැහැදිලි කරන්නේ නැහැ. වෘත්තීය සමිති අපේ වැඩ බර වැඩි කරමින් සමාගම්වලට උදව් කරනවා; එමඟින් සමාගම් ලාභ වැඩි කිරීමට කටයුතු කරනවා. මම යුද්ධවලට විරුද්ධයි; මිනිසුන් උගත් නම්, සමාජවාදය ගොඩනැගීමට සහ සාමය ඇති කිරීමට මිනිසුන් ඉදිරිපත් වනු ඇති,” ඔහු පැවසීය.

බන්ඩාරවෙල ප්‍රදේශයේ වෙසෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක වන එම්.ඒ. සූරියආරච්චි පැවසුවේ, “මම මගේ ජීවිතයේ පලමු වතාවට ට්‍රොට්ස්කිවාදය ගැන ඔබගෙන් අසා දැනගත්තා. කාටද පුලුවන් මේ ඉතිහාසය ඔබලා වගේ පැහැදිලි කරන්න? ඉතිහාසය නොදන්නා නිසා ජනතාව රැවටෙනවා, ලංකාවේ ප්‍රවෘත්ති පමනක් බැලුවොත් ඔවුන්ට දේශපාලනය එපා වෙනවා,” ඇය පැවසුවාය.

ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලයේ කුරිරු මිලිටරි ප්‍රහාර ගැන සඳහන් කරමින් ඇය තවදුරටත් කියා සිටියේ, “ඊශ්‍රායලයේ ජන සංහාරයට කිසිවකු එකඟ වන්නේ නැහැ. අපි ජීවත් වන්නේ මිනිසුන් සතුන් ලෙස සලකන ලෝකයක. එය වෙනස් කල යුතුයි.”

Loading