මහජන ආරක්ෂක ඇමති මත්ද්‍රව්‍ය මැඩීමේ කඩතුරාව යටතේ පොලීසියට අනීතික ක්‍රියා සඳහා වරපත්‍රයක් ලබා දෙයි

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යටතේ කම්කරු පන්තියට එරෙහි යුද්ධය තියුනු කිරීමේ එල්ලය සහිතව අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩීමේ මුවාවෙන් දැවැන්ත මෙහෙයුමක් දියත් කොට ඇත. පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මෙන්ම ඩ්‍රෝන වැනි නව තාක්ෂනික උපකරන ද යොදාගනිමින් පසුගිය ඉරිදා පටන් මෙම වැටලීමේ මෙහෙයුම් ආරම්භ කොට ඇත.

මහජන ආරක්ෂාව පිලිබඳ ඇමති ටිරාන් අලස් කොලඹදී මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් (පින්තූරය: ෆේස්බුක්) [Photo: Tiran Alles/Facebook]

එහිදී පොලීසියට ඕනෑම අනීතික පියවරක් පවා ගැනීමට තමන් උපදෙස් දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පසුගිය ඉරිදා මාතරදී පැවැත්වුනු ප්‍රජා පොලිස් වැඩසටහනක් අමතමින් සඳහන් කලේය. ඔහු වැඩි දුරටත් කීවේ එවන් පියවර ගන්නා නිලධාරීන්ට “ප්‍රශ්නයක් වුනොත් මං ඒ ගොල්ලො වෙනුවෙන් පෙනී ඉන්නා” බවයි. “නිකන් මැරුම් කන්න එපා ඊට පස්සෙ ලොකුවට කියනවා පොලීසිය වෙඩි තියලා මැරුවා කියලා” යනුවෙන් පාතාල නායකයින්ට ඔහු තර්ජනය කලේ අනීතික වෙඩි තැබීම් සම්බන්ධයෙන් කනිපින්දම් නොකියන ලෙසය.

අමාත්‍යවරයාගේ මෙම වරපත්‍රය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව අරගලයට ඇදෙමින් සිටින කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමකි.

“යුක්තිය” ලෙස නම් කොට ඇති මෙම මෙහෙයුම දින හතක් මුලුල්ලේ පොලිස් කොට්ඨාස 45 පුරා දියත් කෙරේ. ධනපති මාධ්‍ය ද කැටුව යන හමුදා භට කන්ඩායම් නිවෙස් තුලට කඩා පනින අතර මහජනතාව ත්‍රස්ත්‍ර කිරීමේ අටියෙන් ඒවායේ රූප රාමු රූපවාහිනී හරහා විකාශය කරනු ලබයි.

කොලොන්නාව, කිලිනොච්චිය, ගල්කිස්ස, කලුතර, මාවනැල්ල, පොලොන්නරුව ආදී ප්‍රදේශ වල මෙසේ පොලිස් සහ හමුදා භට කන්ඩායම්, කිසිදු වග විභාගයකින් තොරව නිවෙස් වලට කඩා පැන මෙහෙයුම් සිදු කිරීම දැනටමත් ආරම්භ කර ඇත. ඊයේ උදෑසන වන විට පොලිස් නිල සංඛ්‍යා ලේඛන වලට අනුව දින තුනක් තුල සැකකරුවන් 6583 අත් අඩංගුවට ගෙන ඇත. ඉන් 188 කට රඳවා ගැනීමේ නියෝග නිකුත්කර ඇති අතර, 33 ක් වත්කම් විමර්ශන සඳහා යොමු කොට තිබේ. ඊයේ රාත්‍රී 12.30 න් අවසන් වූ පැය 24 තුල පමනක් 2008 දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.

අලස් ගේ ප්‍රකාශයන් මගින් මෙම මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීමේ මෙහෙයුම් සැබෑ එල්ලය පිලිබඳව යම් ඉඟි ඉස්මතු වෙයි. ඕනෑම පියවරක් ගන්නා ලෙසට සහ තමන් ඒ වෙනුවෙන් පෙනී ඉන්නා බවට ඇමති පොලීසියට ලබා දුන් වරපත්‍රය කම්කරු පන්තියේ අරගල වලදී පවා එවන් පියවර වෙනුවෙන් තමා පෙනී ඉන්නා බවට සහතිකයකි. ලංකාවේ පාලක පන්තියට සහ එහි මර්දනකාරී උපකරනයන්ට වසර තිහක යුද්ධය තුලදීත් පාස්කු ප්‍රහාරයෙන් පසු කාල පරිච්ඡේදය තුලදීත් එවන් රුදුරු ක්‍රියාමාර්ග යොදා ගැනීමේ ඉතිහාසයක් පවතී.

ඩ්‍රෝන වැනි නව තාක්ෂනික උපකරන සහ හමුදා භට කන්ඩායම් උපයෝගී කරගනිමින් සිදු කරන මෙම වැටලීම් හරහා ආන්ඩුව සැරසෙන්නේ පැන නැගෙමින් පවතින කම්කරු පන්ති අරගල වලට කඩා පැනීමට අවශ්‍ය පන්නරය ලබා ගැනීමයි. පසුගිය කාලය පුරා බලයට පැමිනි ආන්ඩු මේ ආකාරයේ “මත්ද්‍රව්‍ය සහ අපරාධ” මැඩලීමේ ක්‍රියාන්චිත සිදු කොට ඇති නමුත් අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලයන් අඛන්ඩවම පැවතී ඇත.

මත් ද්‍රව්‍ය ජාවාරම ගෙන යන්නේ දේශපාලන බලාධිකාරීයේ කොටස්වල ද පිටුබලය ලබන මහා පරිමාන ව්‍යාපාරිකයන් බව නොරහසකි. මෙම සමාජ ඛේදවාචකයට අනුප්‍රාප්තික ධනපති ආන්ඩු සහ ගෝලීය ධනේශ්වර ක්‍රමය වගකිව යුතුය. මෙම ඊනියා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කඩතුරාව යටතේ ආන්ඩු සිදු කලේ පොලීසිය, හමුදා වෙතට ඉමහත් බලතල ලබා දෙමින් මහජනතාවට එරෙහි මර්දනකාරී ආයුධ මුවහත් කරමින් ආඥාදායක පාලනයක් ඇටවීමට අවශ්‍ය පියවර ගැනීමයි.

ගතවූ වසරකට ආසන්න කාලය තුල මත්ද්‍රව්‍ය මැඬීමේ කඩතුරාව යටතේම පාසල් සහ විශ්ව විද්‍යාල වෙතට පොලීසිය යෙදවීමට ආන්ඩුව කටයුතු කලේය.

ගාසා තීරයේ සහ යුක්‍රේනය තුල ගෙනයන යුද්ධ වලින් මෙන්ම කෝවිඩ් වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරෙන ගෝලීය ධනපති අර්බුදය හේතුවෙන් වික්‍රමසිංහ ආන්ඩුව මුහුන දී ඇති අර්බුදය වඩ වඩාත් තියුනු කෙරී ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා ගන්නා නය වෙනුවෙන් එම ආයතනය පනවා ඇති කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට එරෙහිව වැඩෙන කම්කරු පන්තික අරගල වෘත්තිය සමිති පාලනයෙන් පිට පැන, පසුගිය වසරේ මෙන් මහජන නැගිටීමක් පුපුරායනු ඇතැයි පාලක පන්තිය ඇතුළු සමස්ත දේශපාලන සංස්ථාපිතයම භීතියට පත්ව සිටී. එවන් නැගිටීමක් වැලැක්වීම සඳහා මෙවන් අනීතික බලතල පොලීසිය සහ හමුදා වෙත ලබා දීම ඔවුන්ට අවශ්‍යය.

ආඥාදායක පාලනයක් කරා මේ ආකාරයෙන් පියවර ගනිමින් සිටින ආන්ඩුව ඒ සම්බන්ධයෙන් මතුවන මොනම හෝ විවේචනයක් නොඉවසයි. මෙම මහා පරිමානයේ අත් අඩංගුවට ගැනීම් වලට සහ පොලිස්පතිට එරෙහිව මහජන විරුද්ධත්වය වැඩෙන කොන්දේසි යටතේ ආන්ඩුව ඒවාට එරෙහිව අපවාද එල්ල කරමින් ඒවා යටපත් කිරීමට උත්සාහ දරමින් සිටී.

මාතර දී පැවැත්වුනු රැස්වීමේදීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එසේ විවේචන එල්ල කරන්නන්ට මෙසේ චෝදනා කලේය. 'මට ගහනවා, පොලිස්පතිතුමාට ගහනවා. සමාජ මාධ්‍යයෙන් හැමදාම ගහනවා. මේ ඔක්කොම කුඩු සල්ලි. පාතාලයේ සහ කුඩු සල්ලි වලින් තමයි මේවා වෙන්නේ.” ඔහු වැඩි දුරටත් කීවේ පොලිස්පති පත් කිරීමට එරෙහිව හඬ නගන නීතීඥයන් “කුඩුකාරයින් වෙනුවෙන් රුපියල් මිලියන බිලියන ගනන් වලට උසාවි වලදී පෙනී ඉන්නා” අය බවයි.

මෙම චෝදනා වලට පිලිතුරු දෙමින් (20) ඊයේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කලේය. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ “නීතිය මගින් ඕනෑම අයෙක් වෙනුවෙන් පෙනී සිටීමට” නීතීඥයන්ට ඇති අයිතිය සුරක්ෂිත කොට ඇති අතර ඊට එරෙහිව සිදු කරන ප්‍රකාශ සමස්ත වෘත්තියටම එල්ල කරන පලල් ප්‍රහාරයක් බවයි. ආරක්ෂක ඇමති මෙවන් ප්‍රකාශ හරහා උත්සාහ දරන්නේ එක් අතකින් අනීතික ක්‍රියා සඳහා පිටු බලය ලබා දෙන අතරම අනෙක් පසින් ඒවාට එරෙහිව පෙනී සිටින්නන් යටපත් කිරීමටය.

එමෙන්ම 'දුටු තැන වෙඩි තබා මරා දැමීම' සඳහා පොලීසියට බලය ලබාදීම පොලිස් රාජ්‍යයක ලක්ෂනයක් බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න ඩේලිමිරර් පුවත්පතට මෙසේ පවසා ඇත: “රටේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරනය විසින් පාලනය කරන පාලන ක්‍රමයක් තිබියදී ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශයක් කරන්නේ කෙසේද? නීති පද්ධතියක් ක්‍රියාත්මක වන විට දුටු තැන වෙඩි තබා මරා දැමීමට මෙය පොලිස් රාජ්‍යයක් නොවේ.'

වැඩ බලන පොලිස්පති තෙන්නකෝන් මර්දනකාරී වැඩකටයුතු සම්බන්ධයෙන් කුප්‍රකට වාර්තාවක් සහිත අයෙකි. 2011 දී මිරිහාන පොලිසිය තුල රඳවා සිටියදී, තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තමාට ශාරිරික වධහිංසා කල බවට හිටපු හමුදා සොල්දාදුවෙකු විසින් ගොනු කල පෙත්සමක් විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය, පසුගිය දෙසැම්බර් 14 වනදා එහි තීන්දුව ලබා දෙමින් තෙන්නකෝන් ඇතුලු පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු එකී චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් බව ප්‍රකාශ කලේය. පෙත්සම්කරුට රුපියල් මිලියන දෙකක වන්දියක් ලබාදෙන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරනය වරදකරුවන්ට නියෝග කලේය. එමෙන්ම පසුගිය වසරේ මහජන නැගිටීම මධ්‍යයේදී එහි ක්‍රියාධරයින්ට එරෙහිව සිදු කල අත් අඩංගුවට ගැනීම්, අනීතික රඳවා ගැනීම් සම්බන්ධයෙන් ඔහු මූලික කාර්‍යයක් ඉටු කලේය.

දැන් ඔහු වැඩ බලන පොලිස්පති තනතුරට පත් කර ඇත්තේ කම්කරු පන්තියට එරෙහි යුද්ධය වඩාත් තියුනු කිරීමේ අවශ්‍යතාවය සහිතවය. ඔහුට ඒ සම්බන්ධයෙන් ඇති වාර්තාව පාලක පන්තිය සලකනු ලබන්නේ නව තනතුරට ඇති සුදුසුකමක් ලෙසය.

ආන්ඩුවේ මෙම පියවර ලෝක පරිමානවම ආන්ඩුවල ආඥාදායක සහ ෆැසිස්ට්වාදී පාලන රූප කරා හැරීමේ කොටසකි. එහි තියුනුම ප්‍රකාශනය බවට පත්ව ඇත්තේ අධිරාජ්‍යවාදයේ පිටුබලය ලබමින් ඊශ්‍රායලයේ නේතන්යාහු ආන්ඩුව ගාසාව තුල ගෙන සංහාරයට එරෙහිව ලෝකය පුරා මතුවෙමින් පවතින විරෝධතා තහනම් කිරීමට සහ ඒවාට අවලාද එල්ල කරමින් යටපත් කිරීමට ගෙන යන පියවරයන් ය.

කම්කරු පන්තිය වික්‍රමසිංහ ආන්ඩුව තියුනු කරමින් සිටින පන්ති යුධ පියවරයන්ට එරෙහිව පංති අරගලය වර්ධනය කරමින් ප්‍රතිචාර දැක්විය යුතුය. ඒ සඳහා තමන්ගේ වැඩපල තුල, නිවහන් ප්‍රදේශවල සහ වතු වල ධනපති පක්ෂ සහ වෘත්තිය සමිති වලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවීම අත්‍යවශ්‍යය.

Loading