සසප කීර්ති බාලසූරිය සහෝදරයාගේ අභාවයෙන් 36 වන වසර අනුස්මරනය කරයි

කීර්ති බාලසූරිය

පසුගිය දෙසැම්බර් 18දා සවස ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් සහ ආධාරකරුවෝ, කීර්ති බාලසූරිය සහෝදරයාගේ අභාවයෙන් 36 වන වසර සැමරීම පිනිස බොරැල්ල පොදු සුසානභූමියේ ඔහුගේ ස්මාරකය අසල දී අනුස්මරන රැස්වීමක් පැවැත්වූහ.

දෙසැම්බර් 18දා සවස ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් සහ ආධාරකරුවෝ, කීර්ති බාලසූරිය සහෝදරයාගේ අභාවයෙන් 36 වන වසර සැමරීම පිනිස බොරැල්ල පොදු සුසානභූමියේ ඔහුගේ ස්මාරකය අසල දී පැවැත්වූ අනුස්මරන රැස්වීම

1987දෙසැම්බර් 18දා අකාලයේ මිය යන විට 39 විය සපුරා තිබූ කීර්ති සහෝදරයා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි (හජජාක) ශ්‍රී ලංකා ශාඛාව වන සසපයේ පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ආරම්භයේ පටන් ඒ දක්වාම එහි ප්‍රධාන ලේකම් විය. සමස්ථ ජාත්‍යන්තර ව්‍යාපාරයටම විශාල පාඩුවක්වූ ඔහුගේ මරනයෙන් පසු විකොස ප්‍රධාන ලේකම්ධුරයට පත්වූ විජේ ඩයස් සහෝදරයා පසුගිය වසරේ ජූලි 27දා හදිසියේ අභාවප්‍රාප්ත විය.

ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයකු ලෙස සිය නාමය සනිටුහන් කර තිබූ කීර්ති සහෝදරයාගේ අවමංගල්‍යයේ දී හජජාකයේ නායක ඩේවිඩ් නෝත් සහෝදරයා පහත කරුන අවධාරනය කලේ ය: “ස්ටැලින්වාදී, ජාතිකවාදී හා ව්‍යාජ සමාජවාදී කයිවාරුවේ ද්‍රෝහී අච්චාරුවක් තුලින් මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්මයන්ට විකල්පයක් සොයාගෙන ඇතයි පැවසූවන්ට වඩා, විප්ලවවාදී මාක්ස්වාදියෙකු ලෙස ඔහුගේ කටයුතු චිරාාත්කාලීනව පවතිනු ඇත.” ට්‍රොට්ස්කිවාදී නායකයාගේ මරනයෙන් වසර 36ක් ගතවෙන විට එම අනාවැකියේ නිවරද්‍යභාවය බලගතු ලෙස සනාථ කෙරී ඇත.

පසුගිය දෙසැම්බර 18 දා අනුස්මරන රැස්වීම ආරම්භයේ දී, සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහ කීර්ති සහෝදරයාගේ දීර්ඝ කාලීන සහකාරිය වූ සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස් කීර්ති ස්මාරකය අසල මල් තැන්පත් කලහ.

රැස්වීමේ මුලසුන දැරූ, විකොස ආරම්භක සාමාජික සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ ජාතික සංස්කාරක කේ. රත්නායක, කීර්ති සහෝදරයා නික්මයාමේ අනපේක්ෂිතභාවය සහ එයින් ඇතිවූ ඉමහත් පාඩුව ද විජේ ඩයස් සහෝදරයාගේ මරනයෙන් ඇතිවූ පාඩුව ද මධ්‍යයේ “අපට ඉදිරියට යාමට හැකිව ඇත්තේ අපේ ව්‍යාපාරය පදනම්වූ ජාත්‍යන්තර කමිටුවේ බලගතු පදනම් මත පිහිටා ජාත්‍යන්තර කමිටුවේ කොටසක් ලෙස 1968 එය පිහිටවූ තැන් පටන් අප සටන් වදිමින් සිටින නිසා” බව පැහැදිලි කලේ ය.

කීර්ති සහෝදරයාගේ අභාවයෙන් 36 වන වසර මෙලෙස සමරන අවස්ථාවේ දී, ජාත්‍යන්තර කමිටුව, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වැදගත් සංවත්සර කිහිපයක් සැමරීම පිනිස ගෙනයන දේශපාලන හා න්‍යායික වැඩකටයුතු පිලිබඳව රත්නායක අවධානය යොමු කලේ ය. ඒවා නම්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ශත සංවත්සරය, ජේම්ස්.පී. කැනන් විසින් පැබ්ලෝවාදී සංශෝධනවාදයට විරුද්ධව ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීම පිනිස විවෘත ලිපිය නිකුත් කිරීමේ හා ඒ පදනම මත ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමේ සිට 70 වසර සහ ජාත්‍යන්තර කමිටුවේ මාක්ස්වාදී හඬ වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය පිහිටුවීමේ සිට 25 වන සංවත්සරය යි. මේ පිලිබඳව මෑතකදී එක්සත් ජනපදයේ සසප ජාතික ලේකම් ජෝශෆ් කිශෝර්ගේ සහභාගිත්වයෙන් ලංකාවේ පැවත්වූ රැස්වීම් ඇතුලු ලෝකය පුරා ජාත්‍යන්තර කමිටුව පවත්වන රැස්වීම්, දේශන සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරෙන ට්‍රොටස්කිවාදී ව්‍යාපාරයේ ආරම්භක ලිපි ලේඛන, ඒ සියල්ල අපේ උරුමය හැටියට පවතින බවත්, කීර්ති බාලසූරිය ප්‍රමුඛව අභාවයට පත්වූ සහෝදරවරුන්ගේ අරගලය පාදක වූයේ මේ ඓතිහාසික පාඩම් උඩ බවත් රත්නායක සඳහන් කලේ ය.

පසුගියදා අභාවප්‍රාත්තවූ ජාත්‍යන්තර කමිටුවේ සහ එක්සත් ජනපද සසපයේ ප්‍රමුඛ නායිකාවක වූ හෙලන් හෙල්යාර්ඩ්ගේ අභාවනුකථනයේදී ඩේවිඩ් නෝත් සහෝදරයා පැවසූ කාරනයක් රත්නායක සිහිපත් කලේ ය. දීර්ඝ කාලීන ඉතිහාසයක් සහිත ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කලින් කාල පරිච්ඡේදවල නායකයින් මිය ගියද ඔවුන් ඉතිරිකල දැවැන්ත ප්‍රතිපදානයන් අපේ උරුමය වසයෙන් පවතින බවත් අප ඒවා මත පදනම්වන බවත් නෝත් සහෝදරයා එහිදී සඳහන් කර තිබිනි. “ඒ අර්ථයෙන් ගත්තාම, අපි පදනම්ව ඉන්නේ, කීර්ති බාලසූරිය සහෝදරයා විකොස මෙන්ම ජාත්‍යන්තර කමිටුවේ නායකයකු හැටියට විප්ලවවාදී ව්‍යාපාරය ගොඩනැගීම සඳහා සිදුකල දැවැන්ත ප්‍රතිපදානයන් මත යි” යැයි රත්නායක අවධාරනය කලේ ය.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර තමන්ගේ අදහස් දැක්වීම ආරම්භ කලේ, කීර්ති සහෝදරයා පිලිබඳව 1993දී (ඔහුගේ මරනයෙන් පස්වැනි අනුස්මරනයේදී) ඩේවිඩ් නෝත් සහෝදරයා සඳහන් කල, “කීර්ති, ලෙනින්, ට්‍රොට්ස්කි සහ ලක්ෂෙම්බර්ගේ වැනි මාක්ස්වාදීන්ගේ ශික්ෂනය ලැබූ ඒ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී ගුරුකුලයේ හොදම නියෝජිතයෙක්” ය යන කාරනය අවධාරනය කරමිනි.

ලෝක ධනේශ්වර ක්‍රමය මුහුනදී සිටින දේශපාලන හා ආර්ථික අර්බුදය මධ්‍යයේ ඒ අර්බුදයේ බර තමන් මත හෙලීමට එරෙහිව මෙන් ම, ඒ අර්බුදයට ප්‍රතිචාර වසයෙන් අධිරාජ්‍යවාදීන් විසින් තීව්‍ර කරමින් සිටින ලෝක යුද සූදානමට එරෙහිව, විශේෂයෙන්ම ඊස්‍රායලයේ දක්ෂිනාංශික නෙතන්යා හු පාලන තන්ත්‍රය විසින් ගාසා තීරයේ පලස්තීන ජනයා සමූලඝාතනය කිරීම සඳහා ගෙනියන යුද්ධයට විරුද්ධව එරෙහිව ලෝකය පුරා කම්කරුවන්, තරුනයින් අරගලයට ඇදෙමින් පවතින අවස්ථාවක ඔවුන්ට අවශ්‍ය ජාත්‍යන්තරවාදී, විප්ලවවාදී ඉදිරි දර්ශනය හා ක්‍රියාමාර්ගය සම්පාදනය කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුව සටන් වදින අවස්ථාවක කීර්ති බාලසූරිය සහෝදරයාගේ “දශක දෙකක විප්ලවවාදී ජීවිතය තුල පවතින ඒ අරගලයේ අත්දැකීම්වල පාඩම් අතිශයින් තීරනාත්මක” බව ජයසේකර පැහැදිලි කලේ ය.

1964 ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධනපති සභාගයට රිංගා සිදුකල මහා පාවාදීමට ප්‍රතිචාර ලෙස, එයින් මතුකෙරුනු දේශපාලන හා න්‍යායික ප්‍රශ්න වටහා ගැනීම සඳහා, කීර්ති බාලසූරිය, අභාවප්‍රාප්ත විජේ ඩයස්, රත්නායක, නන්ද වික්‍රමසිංහ යන සහෝදරවරු ප්‍රමුඛ තරුනයන් කන්ඩායමක් උත්සහා කල බව ජයසේකර පැහැදිලි කලේ ය. එම පාවාදීමේ මූලයන් 1950 ගනන් මුල හතරවන ජාත්‍යන්තරය තුල මතුවූ පැබ්ලෝවාදී සංශෝධනවාදය තුල පවතින බව පැහැදිලි කරමින් එයට විරුද්ධව ජාත්‍යන්තර කමිටුව පිහිටුවීම හරහා ගෙනගිය අරගලයේ න්‍යායික දේශපාලනික පාඩම් සහිතව ජාත්‍යන්තර කමිටුව මැදිහත් වූ විට එම සහෝදරවරුන් එයට අතිශය උද්‍යෝගයෙන් ප්‍රතිචාර දැක්වූ බව ඔහු සිහිපත් කලේ ය.

1968 මැදභාගයේදී විකොස පිහිටුවීමේදී මෙම කන්ඩායම මුලුමනින්ම ජාත්‍යන්තර කමිටුවේ උක්ත අරගලය මත සිටගත් බව පැහැදිලි කලේ ය. ජූනි මාසයේ ආරම්භ සම්මේලනය තුලදී මතු වුනු අදහසක් වූ, ලංකාව තුල පැවැති, ලංකා සමසමාජ පක්ෂය, බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය, ලසසප (විප්ලවකාරී) පක්ෂය හා ශක්ති කන්ඩායම හරහ ආ දේශීය විප්ලවවාදී ධාරාවක සහ ජාත්‍යන්තර කමිටුවේ එකතුවක් ලෙස විකොස ආරම්භක සම්මේලනය දැකගැනීමට එරෙහිව කීර්ති සහෝදරයා බලගතු ලෙස මැදිහත්වූ බව ජයසේකර සිහිපත් කලේ ය. “ට්‍රොට්ස්කිවාදයේ අඛන්ඩතාව නියෝජනය වන්නේ පැබ්ලෝවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය අරගලය හරහා” ය යන කාරනය කීර්ති අවධාරනය කල බව ඔහු සඳහන් කලේය.

පසු කලෙක බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදී නායකයින්වූ ජෙරී හීලි, ක්ලිෆ් ස්ලෝටර් හා මයික් බන්ඩා (ඔවුන් කලින් කාලපරිච්ඡේදයේ පැබ්ලෝවාදයට එරෙහිව සිදු කල සටන අත්හැර දමමින්) 1970 ගනන්වලින් අරඹා ක්‍රමානුකූලව ජාතිකවාදී මාවතක පිරිහීම මගින් එල්ල වුනු ඉමහත් දේශපාලන පීඩනය කපාගෙන ට්‍රොට්ස්කිවාදී පිලිවෙත් උඩ විකොස දේශපාලන වැඩකටයුතු වර්ධනය කිරීමට කීර්ති සහෝදරයා සමත්වූයේ, විකොස පිහිටුවීමේදී පදනම්වූ බලගතු ජාත්‍යන්තර මූලධර්ම හේතුවෙන් යැ ‍යි ජයසේකර පැහැදිලි කලේ ය. 1985-86 භේදය නමින් ප්‍රකට, කවිපයේ ට්‍රොට්ස්කිවාදයට එරෙහි භ්‍රෂ්ටයන්ගෙන් භේදවීමේ මූලයන් පැහැදිලි කරමින්, කවිපය ට්‍රොට්ස්කිවාදී මූලධර්මය අත්හැර දැමීම එය පිටුපස පවතිනවා යන කරුන පැහැදිලි කරමින්, ඒ දේශපාලන කාරනයක් වගවිභාග කිරීම සඳහා සප්‍රතිපත්තික අරගලයක් ඇමෙරිකාවේ වර්කස් ලීගයේ ජාතික ලේකම්ව සිටි නෝත් සහෝදරයාගේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර කමිටුවේ බහුතරය දියත් කල අවස්ථාවේදී ඒ සමග කිසිදු පැකිලීමක් නැතිව ඒකාබද්ධවීමට කීර්ති සහෝදරයා සමත් විය.

දැන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය එහි 5 වන අදිරයට සම්ප්‍රාප්තව තිබෙන බවත්, එහි මූලික ලක්ෂනය වන්නේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දශක ගනනාවක් තිස්සේ සිදු කල සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සිදු කල දේශපාලන හා න්‍යායික අරගලයත් කම්කරු පන්තියේ ජාත්‍යන්තරව වැඩෙන ව්‍යාපාරයත් එකිනෙක අන්තර්ඡේදනය වීම බවත් ජයසේකර පැහැදිලි කලේ ය. මෙම කාලපරිච්ඡේදයේදී කීර්ති සහෝදරයා සටන්වැද තහවුරු සහ වර්ධන කල ඒ ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම හා ඒ අරගලයේම පාඩම් අද දවසේ අපට මෙන්ම ඉදිරියේ විප්ලවයන්ට එන කම්කරුවන්ට සහ තරුනයින්ට අතිශයින් තීරනාත්මක බව සඳහන් කරමින් ජයසේකර ඔහුගේ අදහස් දැක්වීම අවසන් කලේ ය.

ඉන් පසුව රැස්ව සිටි පිරිස ඇමතූ සසප දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස්, කීර්ති සහෝදරයාගේ අභාවය සිදුවූයේ, ඔහුගේ ජීවිතයේ දේශපාලනිකව වඩාත් සතුටුදායක කාලපරිච්ඡේදයක දී බව සිහිපත් කලා ය. ඉකුත් සහෝදරවරුන් විසින්ද අවධානය යොමුකල, 1985-86 භේදයේදී කීර්ති සහෝදරයා, නෝත් සහෝදරයාගේ නායකත්වය යටතේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයයේ මූලධර්ම සහ ක්‍රියාමාර්ග ආරක්ෂා කිරීමට ඉදිරියට ආ ආකාරය පෙන්වා දුන් විලානි, එය නොනවතින විප්ලවවාදී න්‍යාය, ජාත්‍යන්තර වාදය හා ඓතිහාසික භෞතිකවාදය යන මූලධර්ම 85 භේදයේදී දැඩිව ආරක්ෂා කරමින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඉදිරියට යාම පිනිස පදනම දැමූ බව බව ද පැහැදිලි කලාය.

වැඩෙන අධිරාජ්‍යවාදී ලෝක යුද තත්වය මැද ඒකාධිපතිවාදය හා ෆැසිස්ට්වාදය ඉදිරියට එමින් පවතින අවස්ථාවක කම්කරු පන්තිය ස්වාධීන බලමුලු ගැන්වීමේ කාර්යභාරය විප්ලවවාදී පක්ෂයට පැවැරී ඇති බවත් එහි දී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසික පාඩම් මත පාදක වීම අතිශය තීරනාත්මක බවත් විලානි අවධාරනය කලා ය. ලසසප 1964 පාවාදීම, දකුනේ දී ජනතා විමුක්ති පෙරමුන ද උතුරේදී දෙමල බෙදුම්වාදී ව්‍යාපාරය ද ඉස්මත්තට ඒම සදහා දොර විවිර කල බවත්, විකොස පිහිටුවීමේදී පදනම් වූ ජාත්‍යන්තරවාදී පදනම් මත දැඩිව පිහිටා සිටි කීර්ති සහෝදරයාට මෙම වර්ධනයන් මාක්ස්වාදී විශ්ලේෂනයට බඳුන් කොට ඉදිරිපත් කිරීමට හැකිවූ බවත් ඇය අවධාරනය කලා ය. දැන් ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය නමින් පොතක් ලෙස පලකෙරී ඇති මහගු ප්‍රතිපදානය එහි ප්‍රමුඛ ප්‍රතිපලයක් බව විලානි පෙන්වා දුන්නා ය.

1971දී කීර්ති සහෝදරයාගේ මූලිකත්වයෙන් විකොස නැගෙනහිර පාකිස්ථානයේ ඉන්දියන් හමුදාව ආක්‍රමනය කිරීමට එරෙහිව වැදගත් ප්‍රකාශයක් පිලියෙල කර තිබූ නමුත්, එවක ජාත්‍යන්තර කමිටුවේ බ්‍රිතාන්‍ය ශාඛාව වූ සෝෂලිස්ට් ලේබර් ලීගයේ නායකයෙකු වන බන්ඩා එහි නිව්ස්ලෙටර් පුවත්පතේ ඉන්දියන් ආක්‍රමනය ආරක්ෂා කරමින් ප්‍රකාශයක් පලකර තිබූ ආකාරය ඇය සිහිපත් කලා ය. එහිදී කීර්ති, බන්ඩාගේ ආස්ථානයට එරෙහිව අප ගත යුතු ඉන්දියානු හා පකිස්ථාන යන දෙරටේ ම ධනපති ආන්ඩුවලට විරුද්ධ කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී පිලිවෙත පැහැදිලි කරමින් සෝෂලිස්ට් ලේබර් ලීගයේ නායකයන්ට ලිපි යැවූවත් හිලී-බන්ඩා-ස්ලෝටර් නායකත්වය විකොස ආස්ථානය “සංශෝධනවාදයට යටත්වීමක් ලෙස හෙලාදකිමින්” ඒවා ගසා බසා දැමූහ. “අපි ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන පැහැදිලිකම උදෙසා සටන් වදිමින් සිටින තත්වයක් තුල (ඉන්දියන් ආක්‍රමනය ගැන) විකොස ආස්ථානය ප්‍රසිද්ධ කරන්නේ නැත” යන තීන්දුව, බලගතු මූලධර්ම හා ආස්ථාන මත ගනු ලැබු බව විලානි කීවා ය. අවසානයේ දී 1971 ඉන්දු--පකිස්ථාන යුද්ධය පිලිබඳ විකොස සහ සෝෂලිස්ට් ලේබර් ලීගය අතර හුවමාරු වූ ලිපිලේඛන ප්‍රසිද්ධියට පත් වූයේ 85 භේදයෙන් පසුව පමනි. මේ ‌ඓතිහාසික පාඩම් මත අප දැඩිව පිහිටුවා ගත යුතු බව සඳහන් කරමින් ඇය සිය කතාව අවසන් කලා ය.

Loading