ආන්ඩුව විරෝධතාවයේ නිරත වූ ලංවිම සේවකයින්ට දඬුවම්දීම අරඹයි

ලංකා විදුලිබල මංඩලය (ලංවිම) පෞද්ගලීකරනයට එරෙහිව ජනවාරි 3 වැනිදා සිට දින තුනක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ උද්ඝෝෂන ව්‍යාපාරයක් දියත් කල එම ආයතනයේ සේවකයන්ට එරෙහිව වික්‍රමසිංහ ආන්ඩුව ම්ලේච්ඡ දඩයමක් සූදානම් කරමින් සිටී.

ආන්ඩුව උද්ඝෝෂනය මර්දනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා මහජන පනතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කර, ලංවිම සේවකයන්ගේ නිවාඩු අවලංගු කල අතර අධිකරනයෙන් වාරන නියෝගයක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, මෙම පියවරයන් නොතකා 26,000 වන ලංවිම ශ්‍රම බලකායෙන් 21,000 කට අධික පිරිසක් උද්ඝෝෂනයට සම්බන්ධ වූහ. දින තුන තුල රටේ සෑම පලාතකින් ම පැමිනි 10,000 කට වැඩි සේවකයෝ කොලඹ ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ.

දැන් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකරගේ නියෝගයකට අනුව ලංවිම සේවකයින් දඩයම් කිරීමට ලංවිම බලධාරීන් පියවර ගෙන ඇත. ලංවිම සභාපති එන්. එස්.ඉලංගකෝන් විසින් ජනවාරි 8 වෙනිදා යවන ලද ලිපියකින්, ජනවාරි 3, 4, සහ 5 යන දිනවල සේවයට වාර්තා නොකල අනියම්, කොන්ත්‍රාත්, පරිවාස සහ ස්ථිර ඇතුලු සියලුම සේවකයන්ට ඒ සම්බන්ධයෙන් “නිදහසට කරුනු” ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් ලිපි නිකුත් කරන ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. “නියමිත කාල සීමාව තුල එවැනි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය” බවට එමගින් අනතුරු අඟවා ඇත.

එදිනම ඔහු විසින් ලංවිම සාමාන්‍යාධිකාරීවරයා වෙත යොමුකරන ලද තවත් ලිපියකින් ඉහත සඳහන් දිනවලදී නිසි අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකල ලංවිම මුදල් කවුලු වල “සියලු නිලධාරීන් සහ සේවකයින්ගේ සේවය අත්හිටුවන” ලෙස දැනුම් දී ඇත.

ලංවිම වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුනට (වෘසඒපෙ) අනුව ඉහත සඳහන් ලිපි සෑම සේවකයෙකුටම පොදුවේ යවා ඇති නමුත් තනි තනිව නිශ්චිත ලිපි කිසිවක් එවා නැත.

එහෙත්, “විදුලිබල සැපයුම් සහ ඊට අදාල අනෙකුත් සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කර තිබිය දී” හා “නිවාඩු අවලංගු කර තිබිය දී සේවයට වාර්තා නොකිරීම අනුමත කල නොහැකි හා නීතිවිරෝධී ක්‍රියාවක් බවත්”…..ඒ අනුව “1979 අත්‍යවශ්‍ය සේවා මහජන පනතේ (අසේමප) විධිවිධාන ප්‍රකාරව උක්ත මුදල් කවුලු වසා දැමීමට වගකිව යුතු සියලු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ සේවය වහා අත්හිටුවා සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා” ලෙසත් සභාපතිවරයා එම ලිපිය මගින් සාමාන්‍යාධිකාරිට වැඩි දුරටත් දැනුම් දී ඇත. එසේ වුවහොත් අසේම පනතේ රෙගුලාසි වලට අනුව ලංවිම සේවකයින්ටදැඩි දඬුවම් වලට මුහුන දීමට සිදුවනු ඇත.

ඒ අනුව, රැකියාවට නොපැමිනි සහ විරෝධතාවයට සම්බන්ධ වූ ඕනෑම සේවකයෙකු “මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කෙරෙන ලඝු නඩු විභාගයකින් පසුව” වරදකරු කල හැකි අතර, වසර දෙකේ සිට පහ දක්වා සිරගත කිරීම ට ද, රුපියල් 2,000 ත් 5,000 ත් අතර දඩයක ට හෝ ඒ දෙකට ම යටත් කල හැකිය. ඔවුන්ගේ “චංචල සහ නිශ්චල දේපල” රජය විසින් අත්පත් කර ගත හැකි අතර ඔවුන්ගේ නම් “වෘත්තිය හෝ වෘත්තිය සඳහා පවත්වාගෙන යන ඕනෑම ලේඛනයකින් ඉවත් කල හැකිය.”

ලංවිම වෘසඒපෙ මෙම දඩයමට එරෙහිව ලංවිම හා අනෙකුත් කම්කරුවන් බලමුලු ගැන්වීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට ඊට එරෙහිව “අධිකරන ක්‍රියාමාර්ග ගැනීමට නීතිඥවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින” බව විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරන ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සහ වෘසඒපෙ හි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මාධ්‍යයට පැවසීය. “එවැනි ලිපි එක් එක් සේවකයාට තනි තනිව යවන තුරු එම දැනුම්දීමට ප්‍රතිචාර නො දැක්වීමට අප තීරනය කලා. මේක නීති විරෝධී ක්‍රියාවක් නිසා අප ඒ ගැන බලාගෙන ඉන්නව. ඒ සම්බන්ධයෙන් අධිකරනයේ සහය ලබාගැනීමට අප කටයුතු කරනවා” යැයි ජයලාල් සඳහන් කලේ ය.

ආන්ඩුවේ ක්‍රියාමාර්ග සැහැල්ලුවෙන් ගැනීමට කරන මෙම වාචාල කතා කම්කරුවන් නිරායුධ කිරීමකි.

පසුගිය වසරේ ජුනි මාසයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයින් ඇතුලු සේවකයින් 20 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ආන්ඩුව පියවර ගත්තේ ය. ඛනිජ තෙල් වෘත්තීය සමිති හෝ අනෙකුත් වෘත්තීය සමිති මෙම දඩයමට විරුද්ධව කිසිවක් කලේ නැත. ඔවුන් තවමත් වැඩ තහනමට ලක්ව සිටිති.

පසුගිය සතියේ අලුතින් පිහිටුවන ලද ගුවන්තොටුපල ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුලු වෘත්තීය සමිති නායකයින් 28 දෙනෙකු ජනවාරි 11 වෙනිදා සිට අනිවාර්ය නිවාඩු යවා ඇති අතර ඔවුන් ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා පවත්වන සියලුම ගුවන් සේවා අවහිර කිරීමේ සහ කඩාකප්පල් කිරීමේ අරමුනින් වෘත්තීය සමිතියේ ලේකම්වරයා විසින් ලිපි යවා ඇති බව සීමාසහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ලංවිම පුද්ගලීකරනයට එරෙහිව අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම ද ලංවිම වෘසඒපෙ නායකයන් ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට ඔවුන් හැකිතරම් උත්සාහ කරන්නේ එවැනි අරගලයක් අවහිර කිරීමට සහ ආන්ඩුවට බලපෑම් දැමීමේ සීමිත විරෝධතා හරහා කම්කරුවන්ගේ කෝපය විසුරුවා හැරීමට යි .

රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කරන ලද කප්පාදු වැඩපිලිවෙලෙහි කොටසකි. සිය ‘ආර්ථික ප්‍රතිසංස්කරන’ ක්‍රියාවට දැමීමට ආන්ඩුව අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් බිලියන 3 ක නය මුදලේ ඊලඟ වාරික අත්හිටුවන බවට ජාමූඅ අනතුරු අඟවා තිබේ. රාජ්‍ය ව්‍යවසායන් සිය ගනනක් ප්‍රතිව්‍යුහගත කිරීම සහ පෞද්ගලීකරනය කිරීම ආන්ඩුව විසින් තීව්‍ර කරනු ලැබ ඇත.

කම්කරුවන්ගේ අරගල මර්දනය කිරීම පිනිස ආන්ඩුව නිරන්තරව අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවයි. අධිකරන වාරන නියෝග ලබා ගනී. වරාය වෘත්තීය සමිති විසින් දෙසැම්බර් 28 දාට කැඳවා තිබූ “අකුරට වැඩ කිරීමේ” විරෝධතා උද්ඝෝෂනයට එරෙහිව ආන්ඩුව ලබාගත් අධිකරන වාරන නියෝගය යලි දීර්ඝ කර ඇත. විරෝධතාවයේ නිරත කම්කරුවන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීමට පොලිසිය සහ ආරක්ෂක අංශ යොදවයි. සෞඛ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනය බිඳ දැමීම සඳහා ආන්ඩුව ඊයේ හමුදා සෙබලුන් 500ක් පමන යොදවා තිබුනි.

ලංවිම කම්කරුවන් දඩයම් කිරීමේ උත්සාහය රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා කාර්මික ක්‍රියාවන් හි යෙදීමට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කරන ප්‍රහාරයකි. එය තම සමාජ හා ජීවන කොන්දේසි ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරන අනෙකුත් කම්කරුවන්ට වික්‍රමසිංහ ආන්ඩුව කරන අනතුරු ඇඟවීමකි. ජාමූඅ ආර්ථික ප්‍රතිසංස්කරනවලට කම්කරු පන්තියෙන් එල්ල වන කවර හෝ විරෝධයක් එය නො ඉවසන අතර මැඩපැවැත්වීමට පසුබට නොවනු ඇත.

ලංවිම කම්කරුවන්ට එරෙහි ඕනෑම දඩයමකට කම්කරුවන් විරුද්ධ විය යුතු අතර ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ කාර්මික හා දේශපාලන අරගලයක් ඉල්ලා සිටිය යුතුය.

Loading