විදුලිබල කම්කරුවන්ට එරෙහි ආන්ඩුවේ දඩයමට විරුද්ධ වෙනු! ප්‍රති ප්‍රහාරයක් සූදානම් කරමු!

ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) පුද්ගලීකරනයට එරෙහිව ජනවාරි 3 සිට 5 දක්වා දින තුනක විරෝධතාවල නිරත වූ එම මන්ඩලයේ සේවකයින්ට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගෙනයන මර්දනයට විරුද්ධ වන ලෙස, ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු වන අපි කම්කරු පන්තියේ සෑම කොටසකින්ම ඉල්ලා සිටිමු.

පාරිභෝගිකයින්ට සේවා සැපයීමේ රාජකාරිය පැහැරහැරියේය යන විකාර සහගත චෝදනාව ඉදිරිපත් කරමින් පසුගිය සතිය තුල ලංවිම කලමනාකාරීත්වය සේවකයින් 66 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. අපට ලැබී ඇති තොරතුරුවලට අනුව විරෝධතාවයේ නිරත වූ සේවකයන්ට තවත් ලිපි යැවීමට විදුලිබල මන්ඩලය සූදානම් වෙමින් සිටී. වෘත්තීය සමිති නායකයකු වන කෝසල අබේසිංහ කොලඹින් පිට ශාඛාවකට මාරුකර යවා ඇත.

ආන්ඩුව, ලංවිම සේවකයින් සමූහ වශයෙන් දොට්ට දැමීම සූදානම් කරමින් සිටින බව පෙනේ. විදුලිය, ඛනිජ තෙල් සහ ප්‍රවාහන සේවාවල වර්ජන ඇතුලු සියලු කාර්මික ක්‍රියාවන් තහනම් කරමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද අත්‍යවශ්‍ය මහජන සේවා පනත (ඊපීඑස්ඒ) සහ සේවකයන්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් ලංවිම විරෝධතාවයට පෙර දින නිකුත් කරන ලද රෙගුලාසි, බලධාරීන් විසින් භාවිතා කරනු ලබයි. සේවයෙන් නෙරපීම සහ අසාදු ලේඛනගත කිරීම මගින් කම්කරුවන්ට දඬුවම් කිරීමටත්, ඔවුන්ට දඩ සහ සිර දඬුවම් නියම කිරීම සඳහා උසාවියට ගෙනයාමටත් ඊපීඑස්ඒ භාවිතා කල හැකිය.

ඔවුන් 'බරපතල විෂමාචාරයක්' සිදු කර ඇති බවත්, වැඩ තහනමට ලක් වූ කාලය තුල ඔවුන්ගේ වැටුපෙන් අඩක් පමනක් ගෙවන බවත්, සේවකයින්ගේ වැඩ තහනම් කිරීමේ ලිපිවල සඳහන් කර ඇත.

ආන්ඩුවට අනුව ලංවිම සේවකයින් කල 'අපරාධය' වන්නේ, ලංවිම කොටස් 14 කට කැඩීම, ඉන් පසුව සමහරක් පුද්ගලික අංශයට විකුනා දැමීම සහ අනෙක් ඒවා වානිජකරනය කෙරෙන ඊනියා ප්‍රතිව්‍යුහගත කිරීම් වලට තම විරුද්ධත්වය ප්‍රකාශ කිරීම ය. “ප්‍රතිව්‍යුහගත කිරීම” මගින් තම රැකියා විනාශ කෙරෙන බවත්, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කෙරෙන බවත් සේවකයෝ නිසියාකාරව තේරුම් ගෙන සිටිති.

ඔවුන් පාරිභෝගිකයන් සඳහා වන සේවාවන් පැහැර ඇති බවට ආන්ඩුව කරන ප්‍රකාශය මුලුමනින්ම නරුම ය. ආන්ඩුව දැනටමත් විදුලිය ගාස්තුව තුන් ගුනයකින් වැඩි කර ඇති අතර, පසුගිය වසරේ දරාගත නොහැකි බිල්පත් ගෙවීමට නොහැකිවූ මිලියන භාගයක් ජනයාගේ විදුලිය විසන්ධි කර තිබුනි.

ලංවිම සහෝදර සහෝදරියන්ට එල්ල වූ ප්‍රහාරය අප සැමට එල්ල කල ප්‍රහාරයකි! ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද ආන්ඩුවේ කුරිරු කප්පාදු වැඩපිලිවෙලට අපි සියල්ලෝම මුහුන දී සිටිමු. එවැනිම රැකියා විනාශයන්, වැටුප් කප්පාදු සහ අතීත අරගලවලදී දිනාගත් සේවා කොන්දේසි මත පුලුල් ප්‍රහාර ගෙනඑනු ලබන ප්‍රතිව්‍යුහකරනය—පෞද්ගලීකරනය හෝ වානිජකරනය—සඳහා සිය ගනනක් රජය සතු ව්‍යවසායන් (එස්ඕඊ) ඉලක්ක කෙරී පවතී.

පෙර නොවූ විරූ ධනේශ්වර ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පටවමින්, ජාමූඅ හි එම කප්පාදු පියවරයන් මගින් අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන් හි මිල ගනන් සහ තීරුබදු අහස උසට නංවනු ලබයි. පෙරනොවුවිරූ සමාජ අර්බුදයන් නිර්මානය කරමින්, කුසගින්නෙන්, මන්දපෝෂනයෙන් සහ මහජන සෞඛ්‍යයේ හා අධ්‍යාපනයේ බිඳවැටීමෙන් මිලියන ගනනක් පීඩා විඳිති.

ජාමූඅ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හැර “රටට විකල්පයක් නැතැ” යි වික්‍රමසිංහ ආන්ඩුව පවසයි. ජාමූඅ නිලධාරීන් පසුගිය සතියේ පැවසුවේ “ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් පවතින” බවත්, මහජනතාව එහි මරනය ගෙනඑන බෙහෙත් දිගටම ගිල දැමිය යුතු බවත් ය. 'යථා තත්වය' යන්නෙන් අදහස් කරන්නේ, ධනේශ්වර අර්බුදය සමනය කරගනුවස් දශක ගනනාවක් තිස්සේ ගෙන ඇති දැවැන්ත නය ගෙවීමට මහජනතාව මිරිකා ගනිමින්, ආයෝජකයින්ගේ ලාභ ඉහල නැංවීම සඳහා කොන්දේසි නිර්මානය කර දීමයි.

ඒ අතරම, ආන්ඩුව අත්‍යවශ්‍ය සේවා සහ හදිසි නීති වැනි මර්දනකාරී නීති යොදාගනිමින් සිටින අතර, කම්කරු අරගල තලා දැමීම සඳහා මාර්ගගත සුරක්ෂිතතා පනත සහ ප්‍රති-ත්‍රස්ත පනත වැනි නව නීති ගෙන එමින් සිටී.

සියලු ධනේශ්වර විරුද්ධ පක්ෂ—සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි ජාතික ජන බලවේගය (ජාජබ), මෙන්ම දෙමල සහ මුස්ලිම් කන්ඩායම් ද ඇතුලුව—ජාමූඅ ප්‍රතිපත්ති වලට මුලුමනින්ම කැපවී සිටිති. බලයට ඒම සඳහා වලිකන සජබ සහ ජාජබ/ජවිපෙ තේරී පත් වුවහොත් එම කප්පාදු පියවර නිර්දය ලෙස ක්‍රියාත්මක කරනු ඇත.

වෘත්තීය සමිති කරමින් සිටින්නේ කුමක්ද?

ඇත්ත වශයෙන්ම, මෙම කප්පාදු ප්‍රහාර පරාජය කිරීමට කම්කරු පන්තියේ සෑම කොටසක්ම එක්සත් ක්‍රියාමාර්ගයකට සම්බන්ධ විය යුතුය. එනමුදු, වෘත්තීය සමිති නායකයින් කඩින්කඩ, සීමිත විරෝධතා සහ වැඩවර්ජන කැඳවමින් එවැනි ඒකාබද්ධ පන්ති ක්‍රියාමාර්ග වලක්වා ඇත. ඔවුන් මෙම ක්‍රියාමාර්ග මෙහෙයවා ඇත්තේ, නිර්දය ලෙස දැඩි ක්‍රියාමාර්ග පනවන, සේවකයන්ට තර්ජනය කරන සහ ඔවුන් මර්දනය කරන ආන්ඩුවට ම ආයාචනා කිරීමට ය.

ලංවිම සමිති කුමක් කරන්නේ ද? වෘත්තීය සමිති නායකයින් එහි සාමාජිකයින්ගේ ක්‍රියාවන් ආන්ඩුවට ආයාචනා කිරීමට සීමා කර ඇත. ඉන්පසු ආන්ඩුව සිය දඩයම ආරම්භ කලේය. කලමනාකාරිත්වය කම්කරුවන්ට 'හේතු දක්වන' ලෙස ලිපි යවන විට, වෘත්තීය සමිති නායකයින් ඔවුන්ට උපදෙස් දුන්නේ, අසනීප නිසා සේවයට පැමිනීමට නොහැකි වූ බව පවසමින් ලිපි ලියන ලෙසයි. මෙය ආන්ඩුවේ තර්ජනයට හිස නැමීමක් මිස අන් කිසිවක් නොවේ.

මර්දනය හමුවේ කුමක් කල යුතු දැයි සාකච්ඡා කිරීමට ඊයේ ලංවිම සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් කොලඹදී රැස්විය. ඒවාට ලංකා විදුලි සේවක සංගමය, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය, රාජ්‍ය සංවර්ධන සේවා නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් ඇතුලත් විය. ඔවුන් තීරනය කර ඇත්තේ මෙයයි:

1. සේවකයන්ට එරෙහි ක්‍රියාමාර්ගවලට විරුද්ධව රටේ සියලුම වෘත්තීය සමිති විසින් අත්සන් කරන ලද සංදේශයක් ජනවාරි 29 වැනිදා බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර වෙත ඉදිරිපත් කිරීම. කාර්මික ක්‍රියාමාර්ග තහනම් කරන ලෙස උසාවියට කරන ආයාචනය නතර කරන ලෙසද එම සංදේශය ලංවිමට බලකර සිටී. කොලඹ දිසා අධිකරනය මෙම වාරනය පෙබරවාරි 1 වැනිදා දක්වා දීර්ඝ කලේය. එදිනට, එය තව දුරටත් දීර්ඝ නොකල යුත්තේ මන්දැයි වෘත්තීය සමිති නායකයින්ට පැහැදිලි කිරීමට සිදුවේ.

2. පෞද්ගලීකරනය සඳහා නම්කර ඇති රජය සතු ව්‍යවසායන්හි සේවකයින්ගේ සංකේත විරෝධතා පිකට් උද්ඝෝෂනයක් පෙබරවාරි 5 වැනිදා පැවැත්වීම.

එවැනි ආයාචනා වලින් පලක් නොවනු ඇත. ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ මර්දනයේ මුලසුන දරන විජේසේකර ඇමතිවරයා ආන්ඩුවේ ප්‍රතිපත්ති වලට එරෙහිව විරෝධතා දක්වන කම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස නියෝග කර ඇත. ඔහු පසුගිය මාර්තුවේ ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ වර්ජනය තලා දැමීමට මිලිටරිය හා පොලිසිය යෙදවූ අතර වෘත්තීය සමිති නායකයින් සහ අනෙකුත් ක්‍රියාකාරීන් 20 දෙනෙකු සේවයෙන් පහ කලේය.

ඊයේ සවස, එම වෘත්තීය සමිතිවල නායකයෝ මාධ්‍ය හමුවක් පවත්වා ආන්ඩුවේ මර්දනයට එරෙහිව ගර්ජනා කලහ. මෙම සමිති වලින් බොහොමයක් ජවිපෙ විසින් මෙහෙයවනු ලබයි.

කෙසේ වෙතත්, මෙම වෘත්තීය සමිති නායකයන්, මර්දනයට හා ජාමූඅ කප්පාදුවට එරෙහිව කම්කරුවන්ගේ එක්සත් ක්‍රියාමාර්ගයක් කැඳවීමට විරුද්ධ ය. එවැනි පන්ති ක්‍රියා ආන්ඩුව හා ධනේශ්වර පාලනය සමග ගැටුමක් දක්වා වර්ධනය විය හැකි බැවින් ඔවුහු බියෙන් සලිත වෙති. මෙම වෘත්තීය සමිති නායකයෝ, හිස සිට දෙපතුල දක්වා පාලක හා විරුද්ධ පක්ෂවලට බැඳී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට හා ධනේශ්වර පාලනයට සහාය දක්වති.

කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?

තම ජීවන කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා මහ වැඩවර්ජනයක් ඇතුලු ස්වාධීන පන්ති ක්‍රියා සූදානම් කර සංවිධානය කරන ලෙස අපි කම්කරු පන්තියට කැඳවුම්කර සිටිමු. ලංවිම සේවකයින්ට එරෙහි දඩයමට විරුද්ධ වීම, සියලු පන්ති සහෝදර සහෝදරියන් රැලි කර ගැනීමේ කේන්ද්‍රයක් විය යුතුය.

කම්කරුවන්ට තම අයිතීන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මෙම වෘත්තීය සමිති හෝ ධනපති පක්ෂ මත විශ්වාසය තැබිය නොහැක.

* ඔබගේ සේවා ස්ථානවල, කම්කරු පන්තික අසල්වැසිවල සහ වතුකරයේ, ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. වෘත්තීය සමිති නිලධරයන්ට සහ ධනපති පක්ෂවලට ඒවා තුල කිසිදු නියෝජනයක් ලබා නොදිය යුතුය.

අපි පහත ඉල්ලීම් යෝජනා කරමු:

* සේවය අත්හිටවූ සියලුම ලංවිම සේවකයින් වහාම සහ කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවනු! කාර්මික ක්‍රියා තහනම ඉවත් කරනු!

* සේවයෙන් පහ කරන ලද ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සහ අනෙකුත් ක්‍රියාකාරීන් යලි සේවයේ පිහිටුවනු!

* ලංවිම සේවකයින්ට සහයෝගය දැක්වීම සඳහා ඔබගේ සේවා ස්ථානයේ සහයෝගීතා ක්‍රියා සංවිධානය කරන්න!

ආන්ඩුවේ කුරිරු ජාමූඅ වැඩසටහනට එරෙහිව සටන් කිරීම සඳහා:

* පෞද්ගලීකරනය හෝ කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමක් එපා. සියලුම රජය සතු ව්‍යවසායන්, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු.

* විදේශ නය ආපසු නොගෙවනු!

මෙම අරගලයේ දී අපගේ මිතුරන් වන්නේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන්‍ ය. රටවල් කිහිපයක් ගැන සඳහන් කරන්නේ නම්, එක්සත් ජනපදයේ, එක්සත් රාජධානියේ, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ කම්කරුවන්, සංගත හා ආන්ඩුවල ප්‍රහාරයෙන් තම අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා අරගලයට එලැඹ ඇත.

කෝවිඩ්-19 වසංගතය, එක්සත් ජනපද හා නැටෝ පිටුබලය ලත් යුක්‍රේනයේ සහ ගාසාවේ යුද්ධ සහ ඔවුන්ගේ ගෝලීය මිලිටරි ධාවනය මගින් ගැඹුරු වී ඇති ගෝලීය ආර්ථික අර්බුදයේ බරට සියලුම කම්කරුවන් සහ දුගීන් මුහුන දී සිටිති.

* ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසට හැරෙනු!

* අප ගොඩනඟන ක්‍රියාකාරී කමිටු, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) හරහා ජාත්‍යන්තර අරගල සමඟ සම්බන්ධීකරනය කල යුතුය.

මෙම ඉල්ලීම් මත වහා සටන් වදින ලෙස අපි ඔබ උනන්දු කර සිටිමු. පැහැර හැරීමට වේලාවක් නැත. ප්‍රතිගාමී වික්‍රමසිංහ තන්ත්‍රය එහි ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිපත්ති සමග ඉදිරියට යාමට අධිෂ්ඨාන කර ඇත. මෙම ප්‍රතිපත්ති සියල්ල බෙදාහදා ගන්නා විරුද්ධ පක්ෂවල දෙපිටකාට්ටු විවේචන මහජනයා මුලා කිරීම සඳහා ය.

අපගේ ක්‍රියාකාරී කමිටුවලට ඇතුලත් වන්නේ:

වරාය කම්කරු ක්‍රියාකාරී කමිටුව

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව

ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුව

ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව

වතු කම්කරු ක්‍රියාකාරී කමිටුව

සතොසෙන් නෙරපා හරින ලද කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව

දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුව

සංක්‍රමනික කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුව

ඔබගේ සේවා ස්ථානයේ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සෑම සහයෝගයක්ම ලබා දීමට සහ ඉහත වැඩපිලිවෙල පැහැදිලි කර ඔබ සමඟ සාකච්ඡා කිරීමට අපි සූදානමෙන් සිටින්නෙමු. ඔබගේ යෝජනා අප වෙත එවන්න.

අප අමතන්න: action.committees.sl@gmail.com

Loading