ඉදිරිදර්ශන

ව්ලැදිමීර් ලෙනින්ගේ අභාවයෙන් වසර 100ක්

(මෙය 100 years since the death of Vladimir Lenin මැයෙන් 2024 ජනවාරි 22දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

ව්ලැඩිමීර් ලෙනින්

ලෙනින් නමින් ප්‍රකට ව්ලැදිමීර් ඉල්යීච් උල්යානොව් ගේ මරනයේ 100 වැනි සංවත්සරය ඊයේ (ජනවාරි 21) ට යෙදී තිබුනි. ලෝක ඉතිහාසයේ වඩාත් ම විශිෂ්ට චරිත අතරට ලෙනින් අයත් වේ. බොල්ශෙවික් පක්ෂය ආරම්භ කල න්‍යායික හා දේශපාලනික සුධීමතා වූ ඔහු, රුසියාව පරිවර්තනය කිරීම සහ සෝවියට් සංගමය නිර්මානය කිරීම පමනක් නො ව, 20 වැනි ශතවර්ෂයේ සියලු විප්ලවවාදී දේශපාලන අරගලයන්ට යෝධ ආවේගයක් ලබා දුන් විප්ලවයකට නායකත්වය දුන්නේ ය.

1923 මාර්තුවේ දී විනාශකාරී ආඝාතයකට ලක්වීමෙන් මාස 10කට පසුව, වයස අවුරුදු 53 පසු වෙද්දී 1924 ජනවාරි 21දා ලෙනින්ගේ අකල් මරනය සිදු විය. යන්තම් අවුරුද්දක් ඇතුලත ඔහු මුහුන දුන් තුන්වැනි ආඝාතය වූ එය, ඔහු ව දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් ඉවත් කලේ ය. ඔහුට දේශපාලනික ක්‍රියාකාරීත්වයේ යම් මට්ටමක් යලි ආරම්භ කල හැකි වීමේ අපේක්ෂාවන් දල්වමින්, 1923 ගිම්හානය හා ශරත් සමයේ මුල දී සුව වීමේ සමහර ලකුනු තිබුන ද ඒවා හතරවැනි හා මාරක ආඝාතය විසින් භංග කර දැමී ය.

ලෙනින්ගේ මරනය, සෝවියට් සංගමයේ හා ලෝක විප්ලවයේ ඉරනමට ව්‍යසනකාරී විපාක ගෙන දුන් දේශපාලන ඛේදවාචකයක් විය. එය සිදු වූයේ තීරනාත්මක අවස්ථාවක දී ය. මාර්තු ආඝාතයෙන් පසුව, බොල්ශෙවික් පක්ෂයේ දේශපාලන නායකත්වය තුල ට්‍රොට්ස්කි තීව්‍ර වන ප්‍රහාරයකට මුහුන දුන්නේ ය. ස්ටැලින්, සිනොවීව් හා කමනෙව් දේශපාලන මන්ඩලය ඇතුලත (“තුන් කට්ටුව” නමැති) අප්‍රතිපත්තික කන්ඩායමක් බිහිකල හ. 1923 ඔක්තෝබරයේ දී වාමාංශික විරුද්ධ පාර්ශවය ස්ථාපිත කිරීමෙන් පසුව, ට්‍රොට්ස්කිට එරෙහි ව එන්ට එන්ට ම කඨෝර වූ උද්ඝෝෂනයකට ස්ටැලින් නායකත්වය දුන් අතර, එම උද්ඝෝෂනයට 1917ට පෙර ලෙනින් හා ට්‍රොට්ස්කි අතර පැවතී තිබුනු මතභේද වරදවා ඉදිරිපත් කරන හා මුසාකරනය කරන ප්‍රයත්නයන් ඇතුලත් විය. විප්ලවයේ ගමන් මාවතේ දී මෙම මතභේද විසඳනු ලැබ පැවතුනි.

1924 දී ලෙනින් මිය ගොස් නො තිබුනේ නම් සිදු විය හැකි ව පවතින්නේ කවරක් ද යන්න යමෙකුට නිශ්චිත ව පැවසිය නො හැක. එහෙත්, ලෙනින්ගේ මරනය ට්‍රොට්ස්කි හුදකලා කලේ, ඔක්තෝබර් විප්ලවයේ විප්ලවවාදී ජාත්‍යන්තරවාදයට එරෙහි ව ස්ටැලින් විසින් පුද්ගලාරෝපනය කල නිලධාරී-තාන්ත්‍රික ප්‍රතිගාමීත්වයට එරෙහි අරගලය තුල ට්‍රොට්ස්කිට සිටි බලගතු ම සගයා අහිමි කරමිනි.

ලෙනින්ගේ ජීවිතයේ අවසන් අවුරුදු තුල, ඔහුගේ සෞඛ්‍යය පිරිහෙද්දී පවා, සෝවියට් රාජ්‍ය යාන්ත්‍රනය සහ බොල්ශෙවික් පක්ෂය ඇතුලත වර්ධනය වෙමින් පැවති, ජාතිකවාදී හා නිලධාරී-තාන්ත්‍රික පිරිහීමට එරෙහි ව, ඔහු අරගලයක් ආරම්භ කර තිබුනි. 1922 දෙසැම්බර් අග දී, ඉතිහාසය තුල ලෙනින්ගේ “අවසන් තෙස්තමේන්තුව” ලෙස හැඳින්වීමට නියමිත වූ රචනාව ලිවීම ඔහු ආරම්භ කලේ ය. මෙම තෙස්තමේන්තුවට, 1923 ජනවාරි 4දා ලියන ලද පරිශිෂ්ටයක් ඇතුලත් වූ අතර, එය තුල ප්‍රධාන ලේකම් ධුරයෙන් ස්ටැලින් ඉවත් කරන ලෙස බොල්ශෙවික් පක්ෂයේ නායකත්වයට කැඳවුම් කෙරුනි.

සෝවියට් පිලිවෙතට සම්බන්ධ තීරනාත්මක ප්‍රශ්න පිලිබඳ ව ට්‍රොට්ස්කි සමග සන්ධානයක් ස්ථාපිත කිරීමේ පියවරයන් සමග ලෙනින්ගේ තෙස්තමේන්තුව සමපාත විය: එනම්, විදේශ වෙලඳාමේ රාජ්‍ය ඒකාධිකාරය ආරක්ෂා කිරීම, පක්ෂය ඇතුලත මහා රුසියානු ස්වෝත්තමවාදයේ වර්ධනයට විරෝධය දැක්වීම හා නිලධාරිවාදයට එරෙහි සටන යි. 1923 මාර්තුවේ ලෙනින් ගොදුරු වූ ආඝාතය පමනක්, ඊට මාසයකට පසුව පැවති බොල්ශෙවික් පක්ෂයේ 12 වැනි සම්මේලනයේ දී, ට්‍රොට්ස්කි සමග එකතු ව විවෘත අරගලයක් දියත් කිරීමෙන් ලෙනින් ව වැලැක්වී ය.

තව ද එම තීරනාත්මක අවුරුදුවල කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුල ලෙනින්ගේ ආනුභාවය සහ දේශපාලන නායකත්වය, ජාත්‍යන්තර තත්ත්වය ලෝක විප්ලවයට හිතකර ලෙස මාරු කරමින්, සෝවියට් සංගමය තුල මත් ජාතිකවාදී ප්‍රතිගාමීත්වයට ප්‍රගාඪ ලෙස වල කපනු හැකිව තිබුනි. ලෙනින් සජීවී ව සිටිමින් දේශපාලනික ව ක්‍රියාකාරී වී තිබුනේ නම්, 1924 දී ස්ටැලින් හා බුකාරින් විසින් ඉදිරියට දමන ලද ජාතිකවාදී හා ප්‍රති-මාක්ස්වාදී “තනි රටේ සමාජවාදය” න්‍යායයට එරෙහි ව, ඔහු සටනක් දියත් කර තිබෙනු ඇත.

ලෙනින්ගේ මරනයෙන් ඉක්බිති ව, වර්ධනය වෙමින් පැවති ස්ටැලින්වාදී යාන්ත්‍රනය ඔහුගේ මෘතදේහය පමනක් නො ව ඔහුගේ අදහස් ද මමීකරනයට (මලසිරුරක් බෙහෙත් ගල්වා සංරක්ෂනය කිරීම - පරිවර්තක) නියමිත ව තිබුනි. ට්‍රොට්ස්කිට එරෙහි ඔවුන්ගේ උද්ඝෝෂනයේ දී, ස්ටැලින් හා ඔහුගේ සගයන් වඩාත් ම රූපික ආකාරයෙන් ලෙනින්ගේ චින්තනයට සැලකුවේ, ලෙනින්ගේ ම විධික්‍රමය මුලුමනින් මුසාකරනය කරමින් සන්දර්භයෙන් උගුල්ලා උපුටා දක්වමිනි.

1940 අගෝස්තුවේ, ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් ට්‍රොට්ස්කි ඝාතනය කරන සමයේ, ඔහු ලියමින් සිටි රචනාවක් තුල, වෛෂයික වර්ධනයන්, විප්ලවවාදී නායකත්වය හා තනි පුද්ගලයන් අතර සංකීර්න සබඳතාවට ට්‍රොට්ස්කි ආමන්ත්‍රනය කලේ, රුසියානු විප්ලවය තුල ලෙනින්ගේ ම භූමිකාව ඉදිරියට ගෙන එමිනි. ලෙනින්ගෙන් තොර ව වුවත්, ඔක්තෝබර් විප්ලවය “ඒ ආකාරයෙන් ම” සිදු වී තිබෙනු ඇතැයි තර්ක කල අයට ට්‍රොට්ස්කි මෙසේ පිලිතුරු දුන්නේ ය:

එහෙත් එය එසේ නො වේ. ලෙනින්, ‌ඓතිහාසික ක්‍රියාදාමයේ එක් සජීවී අංශයක් නියෝජනය කලේ ය. නිර්ධන පන්තියේ අතිශයින් ම ක්‍රියාකාරී කොටසේ අත්දැකීම ද තියුනු බව ද ලෙනින්ගෙන් මූර්තිමත් විය. ඔහු යථා කාලයේ දී විප්ලවයේ ක්ෂේත්‍රයට අවතීර්න වීම පෙරමුනු ‌බල ඇනිය මෙහෙයවා ගැනීම සඳහා ද කම්කරු පන්තිය හා ගොවි ජනතාව බලමුලු ගන්වා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දීම සඳහා ද අවශ්‍ය විය. යුද්ධයක තීරනාත්මක අවස්ථාවේ දී ප්‍රධාන අන දෙන නිලධාරියාගේ ක්‍රියා කලාපය මෙන් ම තීරනාත්මක ‌ඓතිහාසික පරිවර්තන මධ්‍යයේ දී දේශපාලන නායකත්වයේ ක්‍රියා කලාපය ද තීරනාත්මක සාධකයක් වන්නේ ය. (“පන්තිය, පක්ෂය හා නායකත්වය”)

බලය අල්ලා ගනු වස් බොල්ශෙවික් පක්ෂය යලි දිශාගත කිරීමේ දී 1917 වසන්තයේ ලෙනින්ගේ භූමිකාව තීරනාත්මක විය. ඔහුගේ “අප්‍රේල් ප්‍රවාද” මගින් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායය පිලිගත් ලෙනින්, ඔක්තෝබර් විප්ලවය කරා යොමු කෙරුනු නව දේශපාලන ගමන් මාවතකට පක්ෂය ගෙන ආවේ ය.

ලෙනින්ගේ මරනයෙන් ඉක්බිති ව, ස්ටැලින්වාදී කන්ඩායම රුසියානු විප්ලවය පදනම් කරන ලද ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියා මාර්ගයට එරෙහි ව දිග හැරෙමින් පැවති ප්‍රතිගාමිත්වය නියෝජනය කල අතර, ට්‍රොට්ස්කි හා වාමාංශික විරුද්ධ පාර්ශවය ලෙනින්ගේ දේශපාලන අදහස් හා සංකල්පයන් වර්ධනය කල හ. අව්‍යාජ විප්ලවවාදී ජාත්‍යන්තරවාදය හා මාක්ස්වාදය වන බොල්ශෙවික්වාදයේ‌ ඓතිහාසික අඛන්ඩතාව ඉදිරියට ගෙන යාම සඳහා ට්‍රොට්ස්කි කල සටන කූටප්‍රාප්ත වූයේ 1938 දී හතරවැනි ජාත්‍යන්තරය ආරම්භ කිරීම සමගිනි.

ජනසංහාරය හා ලෝක යුද්ධය සාමාන්‍යකරනය කරනු ලබන්නා වූ ද ලෝකය පුරා පන්ති ගැටුම පුනර්ජීවනය වන්නා වූ ද ධනපති පර්යායෙහි පැහැදිලි බිඳ විසිර යාමේ නව කාල පරිච්ඡේදයක් තුල, දැන් මෙම උරුමය යෝධ වැදගත් කමක් අයත් කරගනී. මෙම නව විප්ලවවාදී කාල පරිච්ඡේදය තුල, දැවැන්ත ‌ඓතිහාසික චරිතයක් ලෙස යලි වතාවක් ලෙනින් දැකගනු ලැබෙනු ඇත.

ව්ලැදිමීර් ලෙනින්ගේ ජීවිතය සහ අදහස් පිලිබඳ පූර්න විභාග කිරීමක් සඳහා, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති විසින් ලියන ලද පහත රචනා අපි නිර්දේශ කරමු:

සමාජවාදී විඥානය පිලිබඳ ලෙනින්ගේ න්‍යායය: බොල්ශෙවික්වාදයේ සම්භවය සහ කල යුත්තේ කුමක් ද?

ඉතිහාසය තුල ලෙනින්ට හිමි තැන

ලෙනින්ගේ අවසන් අරගලය

Loading