ගාසා ජන සංහාරය මධ්‍යයේ ශ්‍රී ලංකාව රතු මුහුදේ එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයට එක් වෙයි

[මෙය Sri Lanka joins US-led coalition in Red Sea amid Gaza genocide යන මැයෙන් 2024 ජනවාරි 18 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ඉරානය සමග පෙලගැසුනු හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් වානිජ නෞකා ආරක්ෂා කිරීම සඳහා තම ආන්ඩුව නාවික හමුදා නැව් රතු මුහුදට යවන බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනවාරි 3 දා ප්‍රකාශ කලේය.

2023 පෙබරවාරි, කොලඹදී, ශ්‍රී ලංකා හමුදා සහ පොලිස් ප්‍රධානීන් සමඟ සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ (දකුනේ සිට දෙවැන්නා). [AP Photo/Eranga Jayawardena]

මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ, දෙසැම්බර් 31 සිට නැව්වලට ප්‍රහාර 25 ක් දියත් කල බව කියන හූති කැරලිකරුවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඔපරේෂන් ප්‍රොස්පෙරිටි ගාර්ඩියන් යන සංකේත නාමයෙන් හඳුන්වන එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය සමග එක්වන ලෙස බයිඩන් පරිපාලනය විසින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙනි.

රතු මුහුද දිගේ යේමනයේ බටහිර දෙසින් වැඩි කොටසක් පාලනය කරන හූතිවරු, ජන සංහාර වැලැක්වීම සඳහා නිර්මානය කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් යටතේ ඔවුන්ගේ ප්‍රහාර සාධාරනීකරනය කරති. ගාසා තීරයේ පලස්තීනුවන් ඝාතනය කිරීම නතර කරන ලෙස ඔවුන් ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබේ.

භාන්ඩ නැව්වලට රතු මුහුද හරහා ගමන් කල සුපුරුදු මාර්ග වෙනස් කිරීමට බලකෙරී තිබීම වැනි, කැරලිකාර ප්‍රහාරවල ආර්ථික ප්‍රතිවිපාක උපුටා දක්වමින් වික්‍රමසිංහ නරුම ලෙස සිය තීරනය සාධාරනීකරනය කලේය.

25,000 කට අධික මිනිසුන් සංඛ්‍යාවක් - ඉන් බොහෝ දෙනෙක් ලමුන් සහ කාන්තාවන් වෙයි- දැනටමත් මරා දමා ඇති, පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට සහාය දැක්වීම සඳහා රතු මුහුදට නාවික යාත්‍රා යවමින්, වික්‍රමසිංහ ආන්ඩුව, එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී සභාගයට ඵලදායී ලෙස සම්බන්ධ වෙමින් සිටියි.

ඔක්තෝබර් මුල සිට ඊශ්‍රායලයේ ජන සංහාරයට සහාය දුන් වික්‍රමසිංහ ආන්ඩුව, මෙම කුරිරු යුද්ධයට සහ ටෙහෙරානයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ගයක පූර්ව නිමිත්ත ලෙස ඉරානය සමග ආතතීන් උත්සන්න කිරීමේ වොෂින්ටනයේ උත්සාහයන්ට ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් සිටී. කොලඹ ප්‍රකාශය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට යටත් වීමේ අතිශය නින්දිත ක්‍රියාවකි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් රතු මුහුදේ යෙදවීම වෙනුවෙන් දෙසතියකට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 250 කි. ශ්‍රී ලංකා ආන්ඩුව නිර්දය ලෙස කප්පාදු පියවර පැනවීම සම්බන්ධයෙන් කම්කරු පන්තික ජනතාවගේ විරෝධයට මුහුන දෙන අතරේ, රතු මුහුදේ මෙහෙයුමට සහ අනෙකුත් මිලිටරි වියදම් වලට ඉදිරිපත් වීම, එක්සත් ජනපදයට සහ එහි ගෝලීය භූ මූලෝපායික අරමුනු කෙරෙහි තම ආන්ඩුවේ කැපවීම පිලිබඳ අත්‍යවශ්‍ය ප්‍රකාශනයක් ලෙස වික්‍රමසිංහ සලකයි.

දෙසැම්බරයේ දී වික්‍රමසිංහ ආන්ඩුව ඊශ්‍රායලයේ කෘෂිකාර්මික හා ඉදිකිරීම් කර්මාන්ත සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීමට පටන් ගත්තේ, ශ්‍රී ලංකාවට ප්‍රේෂන ඉහල නංවාගැනීමට මෙය අවශ්‍ය බව අවධාරනය කරමිනි. මෙම සේවකයින්ගේ සංඛ්‍යාව 20,000 දක්වා වැඩි වනු ඇතැයි ආන්ඩුව පැවසීය. ගාසා තීරයේ පවතින ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස උග්‍ර ශ්‍රම හිඟයකට මුහුන දී සිටින ඊශ්‍රායල ආර්ථිකයට කොලඹ තීරනය අතිශය වැදගත් ආධාරයකි.

රතු මුහුද තුල යෙදවීම පිලිබඳ වික්‍රමසිංහගේ නිවේදනයට ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රවේශමෙන් ප්‍රතිචාර දැක්වූ අතර, තමන් ශක්‍යතා අධ්‍යයනයක් කරන බවත් අවසන් තීරනයක් ගෙන නොමැති බවත් ප්‍රකාශ කලේය.

“යෙදවීමට පෙර, අපි සම්පත් සැපයුම් සකස් කල යුතුයි. මේ ආකාරයේ යෙදවීමක් සඳහා අපට සවිමත් ආයුධ සැපයුමක් ද අවශ්‍ය වේ,” නාවික හමුදා ප්‍රකාශකයෙක් ජනවාරි 5 දා ඩේලි මිරර් වෙත පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ, 'රතු මුහුදු ප්‍රදේශයේ තර්ජන විශ්ලේෂනය කිරීම ඉතා වැදගත්' බවත්, 'අපගේ යාත්‍රාවේ ආරක්ෂාව වැඩි දියුනු කිරීම සඳහා ගුවන් ආරක්ෂක පද්ධතියක් අත්‍යවශ්‍ය වන' බවත් ය. 'නිශ්චිත මුර සංචාර කලාප හඳුනා ගැනීම, ඉන්ධන සැපයීම සුරක්ෂිත කිරීම සහ විදේශීය නාවිකයන් සමඟ සහයෝගීතාවය ස්ථාපිත කිරීම නෞකාවක් යෙදවීමට පෙර අත්‍යවශ්‍ය අංගයන් වේ.'

මෙම උත්සුකයන් නොතකා වික්‍රමසිංහ ආන්ඩුව ඉදිරියට යාමට අධිෂ්ඨාන කරගෙන සිටී. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රෙමිත බන්ඩාර තෙන්නකෝන් සන්ඩේ ටයිම්ස් වෙත පැවසුවේ “රතු මුහුදේ සිදුවන ඕනෑම දෙයක් අපගේ ආර්ථිකයට සහ ජීවනෝපායන්ට සෘජු බලපෑමක් ඇති කරයි... අපි නාවික නිදහස වෙනුවෙන් සිටින අතර අපට ගෝලීය වගකීමක් ඇත.”

නාවික හමුදාව විසින් මතු කරන ලද උත්සුකයන් පිලිබඳව පැහැදිලි සඳහනක් කරමින් තෙන්නකෝන් තවදුරටත් මෙසේ පැවසීය: “අවදානම් තිබේ, නමුත් එයින් අදහස් කරන්නේ අපට වගකීමෙන් මිදිය හැකි බව නොවේ. සන්නද්ධ හමුදාවන් එය දැනගෙන, අවදානම් ගනනය කරයි.”

ශ්‍රී ලංකාවේ වරායන්හි නැව්ගත කරන ඕනෑම රටක පර්යේෂන යාත්‍රා සම්බන්ධයෙන් මේ මාසයේ සිට මාස 12 ක් පවතින තහනමක් පිලිබඳ නිවේදනයෙන්, වොෂින්ටනයේ භූ-මූලෝපායික අරමුනු සමග වික්‍රමසිංහ ආන්ඩුව වඩාත් සමීපව ඒකාබද්ධවීම තවදුරටත් පෙන්නුම් කෙරේ. චීනය විසින් සිය පර්යේෂන නෞකාවක් වන ක්සියැං යෑං හොං 3 ශ්‍රී ලංකාවේ වරායක නැව්ගත කිරීම සඳහා මෑතකදී කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරනය ගෙන ඇත.

තහනම සියලු ජාතීන්ට අදාල වන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කල අතර, එය, කොලඹ සිට බීජිං දක්වා එහි පර්යේෂන නැව් තවදුරටත් පිලි නොගන්නා බවට පැහැදිලි සංඥාවකි.

නව තහනම, 2022 සහ 2023 දී චීනයේ පර්යේෂන නැව් විසින් සිදු කරන ලද සංචාරයන් සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන් එල්ල වූ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් අනුව ගත් තීරනයකි. බීජිනයට එරෙහිව එක්සත් ජනපද-ඉන්දියා මිලිටරි වර්ධනයත්, චීනය සමග ව්‍යසනකාරී න්‍යෂ්ටික ගැටුමක අන්තරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආන්ඩුව දක්වන සහයෝගයත් මෙම තීරනය අවධාරනය කරයි.

ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ගාසාවට එල්ල කරන ඊශ්‍රායලයේ ම්ලේච්ඡ ප්‍රහාර මුලුමනින්ම අනුමත කර ඇති මුත්, මෙම රටවල් වොෂින්ටනයේ අන යටතේ රතු මුහුදට යුද නැව් යැවීම මෙතෙක් ප්‍රතික්ෂේප කර ඇත.

තම භූ-දේශපාලනික අවශ්‍යතා එක්සත් ජනපදයට යටත් කිරීමට අකමැති ඔවුන්මත් තර්ක කරන්නේ, රතු මුහුදේ නාවික මෙහෙයුම් භාරව සිටිය යුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, නැටෝව හෝ යුරෝපා සංගමය බවයි.

ශ්‍රී ලංකාව මීට පෙර එක්සත් ජනපදය සමඟ සැලකිය යුතු මිලිටරි ගිවිසුම් දෙකක් අත්සන් කලේය—අත්පත් කර ගැනීමේ සහ හරස් සේවා ගිවිසුම (ඇක්සා) සහ බලකා තත්ව ගිවිසුම (සෝෆා).

2017 දී දීර්ඝ කරන ලද 2007 ඇක්සා ගිවිසුම, මානුෂීය මෙහෙයුම්, ඒකාබද්ධ අභ්‍යාස සහ සාම සාධක මෙහෙයුම් වලදී දෙරටට සම්පත්, සැපයුම් සහ සේවා හුවමාරු කර ගැනීමට ඉඩ සලසයි.

1995 දී ප්‍රථම වරට අත්සන් කරන ලද සෝෆා ගිවිසුමේ නව සංස්කරනයක් දැනට සාකච්ඡා වෙමින් පවතී. එය, නිල කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ස්ථානගත කර ඇති ඇමරිකානු කොන්ත්‍රාත්කරුවන්ට සහ හමුදා නිලධාරීන්ට සුවිශේෂී අයිතිවාසිකම් සහ නිදහස් කිරීම් ලබා දෙයි.

අර්ථභාරීව, සැලසුම් කර ඇති රතු මුහුදේ නාවික යෙදවීම සම්බන්ධයෙන් විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මුලුමනින්ම නිහඬ ය. මීලඟ මහ මැතිවරනයේදී බලය දිනාගැනීමේ අපේක්ෂාවෙන්, ජවිපෙ එහි පෙර පැවති අධිරාජ්‍ය විරෝධී වාචාල කතා අත්හැර දමා වොෂින්ටනය සමග සමීප සබඳතා ගොඩනගා ගෙන ඇත. ජවිපෙ නායකයින් පසුගිය දෙවසර තුල ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චං තුන් වතාවක් ප්‍රසිද්ධියේ හමුවී ඇත; අන්තිම වතාව, ඊශ්‍රායලය ගාසාවේ පලස්තීනුවන්ට එරෙහිව මිනීමරු ප්‍රහාර මුදාහරිනවත් සමග ය.

පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ (සජබ) ප්‍රධානී සජිත් ප්‍රේමදාස, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන රතු මුහුදේ මෙහෙයුමට ශ්‍රී ලංකා නාවික හමුදාව එක්වන බවට වික්‍රමසිංහ කල ප්‍රකාශය පිලිබඳව අදහස් දැක්වීය.

“අපගේම පුරවැසියන්ගේ මූලික අවශ්‍යතා පවා සපුරාලීමට නොහැකි මොහොතක ශ්‍රී ලංකාව මෙතරම් වියදම් අධික යුද මෙහෙයුමක් සිදු කරන්නේ ඇයි ද” යැයි ඔහු විමසීය. ප්‍රේමදාස රතු මුහුදේ ප්‍රකෝපකාරී මෙහෙයුම හෝ එක්සත් ජනපදයට වික්‍රමසිංහගේ නොසැලෙන සහයෝගය පිලිබඳ කිසිදු විවේචනයක් කිරීම ප්‍රවේශමෙන් මග හැරියේය.

මීලඟ මැතිවරනයේදී බලය ලබාගැනීමේ අරමුනින් සිටින සජබට, එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයට එක්වීම ගැන විරුද්ධත්වයක් නැත. වොෂින්ටනය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහභාගීත්වයේ පිරිවැය ගෙවන්නේ නම්, එය උද්‍යෝගයෙන් සහාය දෙනු ඇත.

රතු මුහුදේ ප්‍රකෝපකරනයේ දී වික්‍රමසිංහ ආන්ඩුවේ සහභාගීත්වයට සහ ගාසා ජන සංහාරය සහ කලාපය තුල වොෂින්ටනයේ මිලිටරි මූලෝපායික ප්‍රහාරය අනුමත කිරීමට, ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා තරුනයින් විරුද්ධ විය යුතුය. එය මෙම ප්‍රතිගාමී උත්සාහයන් වැලඳ ගැනීම, ශ්‍රී ලංකාවේ පමනක් නොව මැද පෙරදිග හා දකුනු ආසියානු හා ආසියා පැසිෆික් කලාපය පුරා කම්කරුවන්ට, තරුනයින්ට සහ පීඩිත ජනතාවට බරපතල අන්තරායන් මතු කරයි.

මිලිටරිවාදයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සටන් කිරීමේ එකම මාර්ගය වන්නේ ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය මත ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් නායකත්වය දෙන ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

Loading