ආන්ඩුව සජබ විරෝධතාවයට පොලිස් ප්‍රහාර එල්ලකොට විසුරුවා හරී

ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ), බදුවලට සහ ජීවන වියදමට එරෙහි ව ඊයේ කොලඹ දී විරෝධතා පාගමනක් සහ රැලියක් සංවිධානය කර තිබුනි. කොලඹ විහාරමහාදේවි උද්‍යානය අසල දී රැස්වුනු දස දහසකට ආසන්න විරෝධතාකරුවන් ග්‍රීන්පාත් ඔස්සේ වැඩි දුරක් යාමට මත්තෙන් ම අවහිර කල පොලීසිය රුදුරු ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කලේය.

සජබ විරෝධතා පාගමනක් ජනවාරි 30 කොලඹ - Facebook

පාගමන නිසා මහජන පීඩාවක් ඇති විය හැකිය යන කරුන මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු සජබ නායකයන්ට එරෙහි ව නිකුත් කර තිබූ අධිකරන වාරන නියෝග මෙම ප්‍රහාරය සඳහා පාදක කර ගැනුනි. දරුනු කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් විරෝධතාකරුවන්ට එල්ල කෙරුනි. කඳුලු ගෑස් ප්‍රහාරවලින් ඇති වූ සංකූලතාවන් හේතුවෙන් සජබ නායකයෙකු වන මුජිබර් රහුමාන් ඇතුලු තවත් විරෝධතාකරුවෝ කොලඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබූහ.

“අපිට ඕන ඡන්දයක්. ජනතා අනුමැතිය තුලින් ආන්ඩුවක් ගොඩනගනවා” යැයි පැවසූ ප්‍රේමදාස, ජනාධිපතිවරනයෙන් වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුව පෙරලා දමන බවට වහසි බස් දෙඩීය. ඒ හැරුනු කොට ඔහු තම පාක්ෂිකයන් හඬ නැඟූ සටන් පාඨවලට හේතු වන සමාජ කාලක්නි බව කෙසේ විසඳන්නේ ද යන්න ගැන කිසිවක් සඳහන් කලේ නැත.

සජබ ආර්ථික ගුරෙකු වන හර්ෂ ද සිල්වා ඊයේ විරෝධතාවය අතර අල් ජසීරා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ “අපි මහජනතාවට කියන්නේ මේකයි: බලන්න, අපි සැවොම විඳ දරා ගත යුතු වේදනාවක් බරක් තියෙනවා. නමුත් ඒක මෙ තරම් විය යුතු නෑ” යනුවෙනි. එහි අදහස සජබ පාලනයක් යටතේ අනිවාර්යෙන් ම ජාමූඅ නියෝග ක්‍රියාවට දැමෙන බවත් එම වේදනාවන් විඳ දරා ගැනීමට මහජනයා සූදානම් විය යුතු බවත් ය.

ප්‍රේමදාස ඇතුලු සජබ නායකයෝ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වශයෙන් 2015 බලයට පැමිනි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව නියෝජනය කලහ. එම ආන්ඩුව පෞද්ගලීකරනය ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ක්‍රියාවට දමද්දී කොලඹ දුගීන්ගේ පැල්පත් නිවාස ඩෝසර් කරද්දී, මහජනයා සාගින්නේ පෙලෙද්දී, පැන නැගි ශිෂ්‍ය දුගී කම්කරු සටන්වලට කඳුලු ගෑස් බැටන් පොලු ප්‍රහාර එල්ල කරද්දී ප්‍රේමදාස ඇතුලු නඩයට දැන් තිබෙන සානුකම්පාව පහල වූයේ නැත.

සජබ කම්කරු පීඩිත මහජනයා ඇද දමා ඇති සාගින්න දරිද්‍රතාවය ගැන කිඹුල් කඳුලු හෙලන්නේ ජනාධිපතිවරනයෙන් ප්‍රේමදාස එම ධූරයට ඔසවා තබා ආන්ඩු බලයක් තහවුරු කර ගැනීමටයි. මෙම පාගමන සංවිධානය කෙරුනේ සජබ නායක ප්‍රේමදාසගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයේ ආරම්භක පියවරක් වශයෙනි. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී ජනාධිපතිවරනයත් එලඹෙන වසරේ දී පාර්ලිමේන්තු මැතිවරනයත් පැවැත් වීමට තමන් අපේක්ෂා කරන බව ජනාධිපති වික්‍රමසිංහ පවසයි.

කෙසේ නමුත්, පාර්ලිමේන්තුව තුල එකම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාව සිට - එය ද ජාතික ලයිස්තුවෙනි - මහජනතාවට එරෙහි කුමන්ත්‍රනයකින් ජනාධිපති ධූරයට ඔසවනු ලැබූ වික්‍රමසිංහ එහි රැඳී සිටින්නේ, කුජීත ව ගොස් ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ පාර්ලිමේන්තු බහුතරය මතයි. ඔහු ජාමූඅ විධානයන් ක්‍රියාවට දැමීමට අවශ්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට යන්නේ ආඥාදායකත්වයක් නිර්මානය කරමිනි.

ජනවාරි 30 කොලඹ පැවති සජබ විරෝධතාවයට පොලීසිය ජල ප්‍රහාර එල්ල කරයි - Facebook

යුක්‍රේනය සහ මැදපෙරදිග තුල එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් ගෙනයන යුද්ධ මගින් වඩාත් ගැඹුරුවන ලෝක ධනේශ්වර අර්බුදයේ බර, ලොවපුරා ධනපති ආන්ඩු විසින් දැවැන්ත කප්පාදු හරහා කම්කරු පංතිය මත පටවති. එයට එරෙහිව වැඩෙන පංති අරගල රුදුරුම ආකාරයෙන් තලා දමනුවස් එම ආන්ඩු ආඥාදායක පාලන රූපයන් වෙත වේගයෙන් මාරු වෙමින් සිටින අතර, වික්‍රමසිංහ ආන්ඩුව හරහා ලංකාව තුල ප්‍රකාශයට පත්වන්නේ එම ජාත්‍යන්තර ප්‍රපංචය යි.

වික්‍රමසිංහ, පසුගිය වසරේ මාර්තුවේ දී පැවැත්වීමට නියමිත ව තිබූ පලාත් පාලන මැතිවරන වැලැක්වූයේ “ආර්ථිකය යථා තත්ත්වයට පත් වන තුරු මැතිවරන පවත්වන්නේ නෑ” යැයි ප්‍රකාශ කරමිනි. ඊනියා “යුක්තිය” මෙහෙයුම, අන්තර්ජාල ආරක්ෂන පනත සහ නව ප්‍රති-ත්‍රස්ත පනත සහ අත්‍යවශ්‍ය සේවා නියෝග මත පාදක වෙමින් පන්ති අරගලය තලා දැමීමට අවි ආයුද මුවහත් කරන ඔහු ධනපති පන්තියේ ම ප්‍රධාන විපක්ෂයට එල්ල කල ප්‍රහාරයේ බලගතු ඇඟවුම් පවතී.

විදුලිබල මන්ඩලය පෞද්ගලීකරනයට එරෙහි ව මේ වසර ආරම්භයේ දී වැඩවර්ජනයේ නිරත වූ විදුලිබල කම්කරුවන් 66 දෙනෙකුගේ සේවය අත්හිටවූ ආන්ඩුව, අධිකරනයෙන් ලබාගත් නියෝගයක් හරහා, පෙබරවාරි පලමු වැනිි දා සිට එම ආයතනයේ කම්කරුවන්ට පන්ති ක්‍රියාමාර්ගවලට එලඹීම වාරනය කලේය.

වැඩි වර්ධනය වන පන්ති අරගල රැල්ලක් මැද වෘත්තීය සමිති වැඩ කටයුතු කරමින් සිටින්නේ වික්‍රමසිංහ පවත්වනවා යැයි කියන මෙම මැතිවරන කැරට් අල වෙත කම්කරුවන් දක්කන ක්‍රියාමාර්ගයක් මතයි. පලමු කොට ම, රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරයා ලෙස තහවුරු වීමට අවකාශ සලසා දුන්නේ, රාජපක්ෂ ආන්ඩුව පලවා හැරි 2022 මහජන ව්‍යාපාරයෙන් කම්කරු පන්තිය දුරස් කොට තැබීමට මාන බලමින් අන්තර්වාර ආන්ඩුවක් තොරොම්බල් කල වෘත්තීය සමිති සහ ව්‍යාජ වමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධි විධානයන් ක්‍රියාවට දැමීමට ඉත සිතින් පැහැදී සිටින ධනේශ්වර විපක්ෂයට ශ්‍රිලපොපෙ-වික්‍රමසිංහ ආන්ඩුව සලකන්නේ මෙසේ නම් කම්කරු පන්තිය සම්බන්ධයෙන් කවර හෝ සහනශීලි පිලිවෙතක් එයින් අපේක්ෂා කල නොහැක.

Loading