ට්‍රොට්ස්කිගේ පාවාදුන් විප්ලවය කෘතියේ දෙමල පරිවර්තනය එලිදැක්වීම සඳහා සසප ප්‍රසිද්ධ රැස්වීම් පවත්වයි

[මෙය SEP (Sri Lanka) public meetings to launch Tamil translation of Trotsky’s The Revolution Betrayed යන මැයෙන් 2024 පෙබරවාරි 06 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ලියොන් ට්‍රොට්ස්කිගේ මූලික කෘතියක් වන පාවාදුන් විප්ලවය ග්‍රන්ථය දෙමල භාෂාවට පරිවර්තනය කර ඇති අතර, දැන් එය මිලදී ගැනීමට හැකි බව සමාජවාදී සමානතා පක්ෂය (සසප), කම්කරුවන්ට, තරුනයින්ට, බුද්ධිමතුන්ට සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ට සතුටින් දැනුම් දෙයි. ඓතිහාසික දෙමල භාෂා සංස්කරනය, ප්‍රන්සයේ සසප සහෝදරවරුන් විසින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් යුරෝපීය ශාඛාවල සාමාජිකයින්ගේ සහයෝගය ද ඇතිව නිමවා ඇත.

නව ග්‍රන්ථය එලිදැක්වීම සඳහා සසප මහජන රැස්වීම් මාලාවක් පවත්වනු ඇත. පලමු රැස්වීම පෙබරවාරි 11 වැනිදා හැටන්හිදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව පෙබරවාරි 26 වැනිදා යාපනයේදී ද, මාර්තු මස මුලදී කොලඹදී ද රැස්වීම් පැවැත්වීමට නියමිතය.

ට්‍රොට්ස්කිගේ දීප්තිමත්ම මාක්ස්වාදී කෘතිවලින් එකක් වන පාවාදුන් විප්ලවය 1936 දී ලියනු ලැබුවේ, සෝවියට් ස්ටැලින්වාදී නිලධරයේ බලහත්කාරී දේශපාලන පිටුවහල් කිරීමක් තුල නෝර්වේ හි සිටියදී ය. ට්‍රොට්ස්කි, අපගේ ග්‍රහලෝකය මත පලමු සමාජවාදී රාජ්‍යය බිහිකල රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයට ව්ලැදිමීර් ලෙනින් සමඟ සම-නායකත්වය දුන්නේය.

සමාජවාදී රුසියාව අනුගමනය කිරීමේ අපේක්ෂාවෙන් එය වටා පිහිටි බොහෝ රටවල පැනනැගි කම්කරු පන්තික නැගිටීමක් මධ්‍යයේ, 1922 දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය පිහිටුවන ලදී. කෙසේ වෙතත් ජර්මනිය වැනි ප්‍රධාන ධනේශ්වර රටවල විප්ලවයන්ගේ අසාර්ථකත්වය, සෝවියට් සංගමය හුදකලා කරමින්, කම්කරු පන්තියෙන් දේශපාලන බලය ක්‍රමානුකූලව උදුරා ගත් නිලධාරිවාදී යාන්ත්‍රනයක් මතුවීමට මග පෑදීය. මෙම නිලධරය පුද්ගලාරෝපනය වූයේ, 1924 අවසානය වන විට “තනි රටේ සමාජවාදය” පිලිබඳ තම ප්‍රතිගාමී ජාතිකවාදී න්‍යාය ප්‍රකාශයට පත්කල ජෝසෆ් ස්ටැලින්ගෙනි.

ට්‍රොට්ස්කි සහ බොල්ෂෙවික් පක්ෂයේ ඔහුගේ සම-චින්තකයන් 1923 දී වාම විපාර්ශවය පිහිටුවාගනු ලැබුවේ, ස්ටැලින්වාදී නිලධරය සහ එය විසින් ඔක්තෝබර් විප්ලවය පාදක වූ සමාජවාදී ජාත්‍යන්තරවාදය ප්‍රතික්ෂේප කිරීම පිලිබඳ ඔවුන්ගේ දේශපාලන හෙලිදරව් කිරීම් ගැඹුරු කිරීමට ය. ස්ටැලින් ඊට ප්‍රතිචාර දැක්වූයේ, අල්මා-අටා වෙත ට්‍රොට්ස්කි පිටුවහල් කර, පසුව ඔහු සෝවියට් සංගමයෙන් ද පිටුවහල් කරමින් රටින් රටට හඹා යාමෙනි.

මෙම සුවිශිෂ්ට කෘතිය තුල ට්‍රොට්ස්කි, සෝවියට් නිලධරයේ මතුවීම, වර්ධනය සහ නොවැලැක්විය හැකි විනාශය පාලනය කෙරුනු නීති නියාමයන් හෙලිදරව් කරයි. මෙම නිලධරයට කිසිදු ප්‍රගතිශීලී භූමිකාවක් ආරෝපනය කිරීම ඔහු ප්‍රතික්ෂේප කලේය.

කම්කරු පන්තිය දේශපාලන විප්ලවයක් තුලින් පලමු කම්කරු රාජ්‍යයේ මතු වූ පරපෝෂිත ස්ථරය පෙරලා නොදැමුවහොත්, නිලධාරි තන්ත්‍රය සෝවියට් සංගමය තුල ධනවාදය ප්‍රතිස්ථාපනය කිරීමට පසුබිම සකසනු ඇති බවට, මෙම ශ්‍රේෂ්ඨ විප්ලවවාදී නායකයා අනතුරු ඇඟවූවේය.

1991 දෙසැම්බරයේ දී සෝවියට් සංගමය විසුරුවා හැරීමට තුඩු දුන්, ස්ටැලින්වාදී නිලධරය විසින් 1985 දී පෙරස්ත්‍රොයිකාවෙන් ආරම්භ කල ධනේශ්වර පුනස්ථාපනවාදී පියවරයන් තුල මෙම අනතුරු ඇඟවීම් සනාථ විය. මෙම වර්ධනයන් ට්‍රොට්ස්කිගේ අනතුරු ඇඟවීම් බලගතු ලෙස සනාථ කලේය.

පාලක පන්තීන්ගේ ප්‍රතිවිප්ලවවාදී සූදානම්කිරීම් ජාත්‍යන්තරව පරාජය කරනුවස් සමාජවාදී විප්ලවය වෙනුවෙන් සටන් කිරීම සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය වර්ධනය කිරීමේදී මෙම ශ්‍රේෂ්ඨ කෘතිය අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ.

අපි කම්කරුවන්ට, තරුනයින්ට සහ සමාජවාදී අදහස් දරන බුද්ධිමතුන්ට මෙම ඉදිරි ඓතිහාසික ප්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගී වන ලෙස ආරාධනා කර සිටිමු.

දින සහ ස්ථාන:

* පෙබරවාරි 11, පෙරවරු 10 ට
හැටන්-දික්ඔය නගර ශාලාව, හැටන්
* පෙබරවාරි 26, සවස 3.30 ට.
වයි.එම්.සී.ඒ. ශාලාව,
යාපනය කච්චේරිය අසල
චුන්ඩිකුලි, යාපනය
* මාර්තු 7, සවස 4.00ට
කොලඹ තමිල් සංගම් ශාලාව, වැල්ලවත්ත
Loading