ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල නිම නොවන නය බරින් වතුකර සහ ගම්බද කාන්තාවෝ මිරිකෙති

වේගයෙන් ඉහල යන ජීවන වියදම, ආදායම් මාර්ග බිඳවැටීම සහ විරැකියාව ආදී විවිධ හේතූන් මත දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුන දී සිටින ශ්‍රී ලංකාවේ ගම්බද කාන්තාවෝ තම දරු පවුල් රැකගනුවස් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් (Micro Finance Companies) වලින් නය ලබා ගැනීමට වඩවඩාත් පෙලැඹී සිටිති. ග්‍රාමීය ආර්ථිකය පිලිබඳ පර්යේෂිකාවක් වන අමාලි වෙදගෙදර පසුගිය දා මාධ්‍යයට කියා සිටියේ, රටෙහි ගම්බද කාන්තාවන් ලක්ෂ 28කට අධික පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය නය ජාලයට හසුව පීඩාවට පත් ව ඇති බවයි.

"ක්ෂුද්‍ර මූල්‍ය නයවලින් පීඩාවට පත් කාන්තාවන්ගේ එකමුතුව” කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවක් (ෆේස්බුක්)

'ඇපකර ඉදිරිපත් කල නොහැකි සහ බැංකුවලින් තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගත නොහැකි දුගී ජනයාට නය ලබාදීම, ඉතිරි කිරීමේ පහසුකම් හා වෙනත් මූල්‍ය පහසුකම් සැලසීම” සඳහා මේ සමාගම් ක්‍රියාත්මක වන බව ද, ඒවායින් අපේක්ෂා කරන්නේ එම “දුගී ජනයාගේ ජීවන තත්වය නගා සිටුවීම හා ර‌ටේ ආර්ථික සංවර්ධනයට ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීම” බව ද ශ්‍රී ලංකා මහබැංකුව කියා සිටී.

2018 දෙසැම්බර් 3 ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල නියෝගයකට අනුව ක්ෂුද්‍ර මූල්‍ය නය සඳහා වාර්ෂික පොලී අනුපාතය සියයට 35කි. “දුප්පතුන්ගේ ජිවන තත්වය නගා සිටුවීම” කෙසේ වෙතත් මේ නය ක්‍රමය මගින් ඔවුන් තව තවත් දරිද්‍රතාවට ඇද දමා ඇති අතර, ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් අධික ලාභ ලබන ව්‍යවසායන් බවට පත්ව තිබේ.

වතුකම්කරු කාන්තාවන් මෙම නය ක්‍රමයෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටින කොටසකි. බන්ඩාරවෙල අයිස්ලැබි වත්තේ උඩමල්වත්ත කොටසේ රානි තමා මුහුන දී සිටින තත්වය ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ විස්තර කලාය.

'වත්තෙ වැඩ කරන අපි, ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි නිසා, හැම දා ම කඩවලට නය වෙවී බඩු අරගෙන කාල බීල හිටියෙ. පඩියට කඩේ නය ගෙවනවා. ආයිත් නය පටන් ගන්නවා. එහෙම ජීවත් වෙන අතරෙ තමයි එක එක ආයතනවලින් මහත්තුරු වත්තට ඇවිත් නය දෙන්න පටන් ගත්තෙ.”

සමහර ආයතන රුපියල් 5000න් අරඹා ගෙවීම් කෙරෙහි විශ්වාසය තහවුරු වූ පසු රුපියල් 100000 දක්වා නය දෙනබව පැවසූ ඇය, තම නූගත්කම ඔවුන් විසින් ගසාකන අයුරු මෙසේ පැහැදිලි කලාය:

'නය මහත්තයා (නය ලබාදුන් නිලධාරියා) කිව්වෙ රුපියල් 20000ක් දෙනවා. සතියට 1300යි මාස 21කින් ගෙවන්න කියල. අපිට පොලිය ගැන කිව්වෙ නැහැ. අපි ඇහුවෙත් නැහැ. නය ගත්තට පස්සෙ තමයි තෙරුනේ මාසෙට රු5200ක් වෙනව නේ ද කියල.”

ඇකයේ සිටි දරුවා පෙන්වමින් වතුකරයේ මවුවරුන් මුහුනදෙන පොදු තත්වය පැහැදිලි කලාය: “කෑමවල ගාන වැඩි වුනා. කිරි දෙන අම්මගේ කෑම අඩු වුනා. දරුවෙක් වැඩෙන්න තරම් අම්මට කිරි එරෙන්‌නෙ නැහැ. කිරි පිටි ගනන් ගියා. දරුවන්ට මව්කිරිත් නැහැ. පිටි කිරිත් දෙන්න විධියක් නැහැ. කහටයි මොනව හරි එක්ක බතුයි විතරයි මේ ලමයට දෙන්නෙ. දරුවන්ට පෝෂනයක් නැහැ.”

වසංගත සමයේ බැංකුවලට නයවූවන්ට ගෙවීමේ කාලය දීර්ඝ කල ද ඔවුනට එවන් සහනයත් නොලැබුනු බවත් නය එකතු කරන්නන් නිසි කලට නොපැමිනීමෙන් නය එකතු වී, අමතර බරක් පැටවුනු අයුරු එම වත්තේම එම්.එම්. ආරියලතා විස්තර කලාය:

'නය එකතු කරන්න එන දවසට පපුව ගැහෙනවා. ගෙවන්න අතේ සල්ලි නැත්නම් මැරෙන්නත් හිතෙනවා. මං නිවුස්වලින් අහල තියනවා නය ගෙවා ගන්න බැරුව මැරුනු අය ගැන. මේ ආර්ථික ප්‍රශ්න එක්ක වාරික ගෙවන්න බැරි වුනා. නයට ගත්‌තෙ රුපියල් 30000යි. දැන් පොලිය එක්ක 45000ක් වෙලා. මේ පැත්තෙ හුඟක් දෙනෙක් මේ ප්‍රශ්නෙට මුහුන දෙනවා. කොලඹ කඩේක වැඩ කල මගෙ මහත්තයට කොරෝනා කාලෙ රස්සාව නැති වුනා.”

ස්වයං රැකියාවලට සහ ගොවිතැන්වලට නය ලබා දීමේදී, පස් දෙනෙකු එකතුව එකිනෙකාට ඇපකරුවන් ලෙස අත්සන් කර නය ලබා ගැනීමේ ක්‍රමයක් මෙම සමාගම් විසින් හඳුන්වාදුන් බවත්, රු 50,000 බැගින් එලෙස නය ලබාගත් තම ප්‍රදේශයේ කන්ඩායමක් බරපතල ප්‍රශ්න වලට මුහුන දී සිටින බවත් ගාමිනී සම්පත් පැවසුවේය. එක් අයෙකු හෝ නය පැහැර හැරියහොත් අනෙක් සියලුදෙනා එහි වගකීම දැරියයුතු බව ඔහු පැවසුවේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රසායනික පොහොර තහනම් කර, කාබනික පොහොර යෙදීමට බලකල තතු යටතේ, අස්වැන්න අඩු වීමත්, කොරෝනා වසංගතය නිසා එයට නිසි මිලක් ලබා ගැනීමට නොහැකිවීමත් හේතුවෙන් ගෙවා ගෙන ආ වාරික ගෙවා ගැනීමට ඔහුට නොහැකි වී ඇත. ඔහු දැනට නයත් එයට අදාල වැල් පොලියත් ගෙවමින් සිටිී.

'සමහරු නය එකතු කරන්න එනකොට හැංගෙන්නට හෝ වාරිකයෙන් හැකි ප්‍රමානයක් ගෙවා දමන්නට උත්සාහ කරනවා. ආයතන කීපයකට නයත් පොලියත් ගෙවනවා හැරෙන්න මිනිස්සුන්ට වෙන මොකුත් කරන්න බැහැ.”

ඩබ්ලිව්.කුසුමා මෙසේ පැවසුවාය:

'මං නය ගන්න පෙලඹුනේ ඇඳුම් මහන්න රෙදි ගන්න. මුල දි ලාබයක් ලැබුනා. නයත් ගෙව්වා. ඒ නිසා නය වැඩි කරල ගත්තා. රටේ බඩු මිල ඉහල යන කොට මිනිස්සු ඇඳුම් ගන්න එක නවත්තල කෙහොම හරි කෑම ටික හොයා ගන්න දැඟලුවා. ගිය වියදම වත් හොයා ගන්න බැරි වුනා. නයකාරය එනකොට ලැජ්ජයි. මොනව කරන්න ද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ.”

නිශ්චිත ආදායමක් නොමැති තතු යටතේ බැංකු වලින් නය ලබා නොදෙන බැවින්, පහසුවෙන් නය ලබාදෙන මෙම සමාගම් වලට තමා වැනි දුගීන් නිතැතින්ම යොමුවන බව ඇය පැවසුවාය.

බහුතරයක් දෙනා නය මුදල ගෙවා අවසන් නොකර යලි නය ලබා ගන්නා බවත්, එහිදී ඊලඟ නය ලබා දෙනුයේ කලින් නයෙහි හිඟ මුදල් අයකර ගැනීමෙන් පසු ඉතිරි වන මුදල පමනක් බවත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක සේවකයෙක් පැවසී ය.

ඔහු එම තත්වය මෙසේ පැහැදිලි කලේය:

'අවසන් වාරික කිහිපයක් තිබිය දී යලි නය ඉල්ලනවා. අලුත් නය පෝරම කට්ටලයටයි, හිඟ වාරිකයි, අලුත් නයේ මුල් වාරිකයයි කපා ගෙන ඊලඟ නය දෙන්නෙ. නය මුදල රු 30000 ඉල්ලුවොත් රු 25000ක් වත් ලැබෙන්නෙ නැහැ. නියමිත දිනට මුලු වාරිකය ම ගෙවන අයට වඩා නොගෙවන අය වැඩියි.'

යුද්ධයෙන් තම ස්වාමිපුරුෂයන් සහ ජිවනෝපායන් අහිමි වූ උතුරු, නැගෙනහිර පලාත්වල කාන්තාවන් බොහොමයක් මෙම නය ජාලයට හසු වී ඇත. ඔවුන් අතරින් සමහරෙකු නයබර හේතුවෙන් දිවිනසා ගැනීමට පවා පෙලැඹී ඇතිබව, 2017 වසරේ උතුරු හා උතුරු මැද පලාත්වල සිය දිවි නසා ගැනීමේ වාර්තා මගින් එලිමහනට පැමිනියේය.

දේපල අහිමිවීම්, පවුල් ආරවුල්, මානසික පීඩා, ලිංගික හිංසන, නඩුවලට මුහුනදීම ආදී හේතූන් මත 2017-2021 කාල සීමාව තුල පුද්ගලයන් 200 ක් සිය දිවි නසා ගත් බව “ක්ෂුද්‍ර මූල්‍ය නයවලින් පීඩාවට පත් කාන්තාවන්ගේ එකමුතුව” වාර්තා කලේ ය.

වැඩෙන දරිද්‍රතාව හේතුවෙන්, මෙම නය ජාලයට හසුවන දුගීන් සංඛ්‍යාව වේගයෙන් වැඩිවෙමින් පවතී. 2021 ලක්ෂ 30ක් වූ දුප්පතුන්ගේ සංඛ්‍යාව 2023 දී ලක්ෂ 70ක් විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු යටතේ මෙම සංඛ්‍යාව තවත් ඉහලගොස් ඇති බවට කිසිදු සැකයක් නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ “2024 අපේක්ෂාවන්” පිලිබඳව මෙම වසර මුලදී කල කතාවේ දී මෙසේ පැවසීය: “පසුගිය වස‌ෙර් ඔබ කල කැප කිරීම්, විඳි දුෂ්කරතා රට බංකොලොත්භාවයෙන් මුදා ගත් නමුත් ආර්ථිකය ස්ථාවර කර ගැනීමට මේ මගෙහි ම තවත් ඉදිරියට යා යුතු වෙයි. එය මල් ඇතිරූ සුමුදු මගක් නොවේ. අභියෝගාත්මක දුෂ්කර ගමනකි.” මින් ඇඟවුම් කෙරෙන්නේ රටෙහි දරිදුතාව වඩාත් ගැඹුරුවන බව සහ ක්ෂුද්‍ර මූල්‍ය නය උගුලට මහජනතාව වඩවඩාත් ගොදුරු වීමට නියමිත බවයි.

2019 දී එක්සත් ජාතීන්‌ගේ සංවිධානය කල සමීක්ෂනයක් මත පාදක වෙමින් එහි නියෝජිත පැබ්ලෝ බොහොස්ලැවිස්කි පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සූරාකෑමේ උගුලක් බවයි. රජය ශක්තිමත් නියාමන රාමුවක් සකසන තුරු, නය නැවත ගෙවීම තාවකාලිකව අත් හරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැ යි ඔහු ඉල්ලී ය.

කෙසේ නමුත්, “ක්ෂුද්‍ර මූල්‍ය නය නියාමනය කිරීමේ” කඩතුරාව යටතේ වික්‍රමසිංහ ආන්ඩුව ඉදිරිපත්කොට ඇති “ක්ෂුද්‍ර මූල්‍ය නය නියාමන පනත් කෙටුම්පත” ට අනුව, දුගීන් අන්තයටම සූරාකන මුල්‍ය සමාගම් නියාමනයෙන් බැහැරකොට ඇති බවත්, ඒ වෙනුවට ප්‍රජාමූල මුල්‍ය සේවා සංවිධාන පූර්න නියාමනයට යටත්කොට ඇති බවත් ආචාර්ය අමාලි වෙදගෙදර, ජනවාරි 19 දා ඩේලි මිරර් පුවත්පත සමග කල සාකච්ඡාවකදී පෙන්වා දෙයි.

උක්ත ප්‍රජාමූල මුල්‍ය සේවා සංවිධානයන්හි මුදල් ආයෝජනය කරනුයේ සහ ඉන් නය ලබා ගනුයේ එකී ප්‍රජාව විසින්ම බැවින් දුගීන් වැඩි කැමැත්තක් දක්වන්නේ ප්‍රජාමූල මුල්‍ය සේවාවන්ගෙන් නය ලබා ගැනීමට බව වෙදගෙදර පෙන්වා දෙයි. කෙසේ නමුත්, මෙම සංවිධානයන්හි ස්වෛරීත්වය, උක්ත පනත මගින් ස්ථාපිත කෙරෙන නව රාජ්‍ය ආයතනයකට යටත් කෙරෙන අතර, එමගින් ඒවායේ තැන්පතු සීමා කෙරේ. අනෙක් අතට, ක්ෂුද්‍ර මුල්‍ය සමාගම් විවෘතව ඇත්තේ ගෝලීය ප්‍රාග්ධනයට බවත්, එහි පරම අරමුන ලාභය බවත් ඇය කියා සිටී.

මෙම පනතට විරුද්ධව දිවයිනේ විවිධ ස්ථානයන්හි පැනනැගි උද්ඝෝෂනයන්හි ප්‍රධාන ඉල්ලීමවූයේ, “ප්‍රජාමූල මුල්‍ය සේවා සංවිධාන නොව මුල්‍ය සේවා සමාගම් නියාමනය කරනු!” යන්නයි. උක්ත පනතේ අරමුන, දුගී ජනයා සූරාකෑම නියාමනය කිරීම නොව, ජාත්‍යන්තර ප්‍රාග්ධනයට එකී සූරාකෑම තීව්‍ර කිරීම සඳහා අවශ්‍ය කොන්දේසි නිර්මානය කරදීම බව ඉතා පැහැදිලි ය.

කෙසේ නමුත්, ධනේශ්වර අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස වර්ධනය වී ඇති ක්ෂුද්‍ර නය ගැටලුව නියාමනයෙන් විසඳිය නොහැක. ඒ වෙනුවට “සියලු ක්ෂුද්‍ර මූලය නය ආපසු අයකර ගැනීම නතර කරනු!', “ශීලාචාර ජීවිතයකට සරිලන ජීවනෝපායන් සහතික කරනු!” යන ඉල්ලීම් මත කම්කරු-පීඩිත මහජනතාව සටන් වැදිය යුතුය.

එය සාක්ෂාත් කල හැක්කේ, මහා පරිමාන බැංකු, දැවැන්ත මූල්‍ය සමාගම්, මහා කම්හල් සහ සුවිසල් වතු ඇතුලු නිෂ්පාදන මාධ්‍යයන් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරමින්, ධනපති ලාභය වෙනුවට, මානව අවශ්‍යතා සපුරාලන පරිදි ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරිමෙන් පමනි. මෙය කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමෙනි.

Loading