ඖෂධ සෝලියක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුවේ කැබිනට් ඇමති ධූරයක් දරමින් සිටි කෙහෙලිය රඹුක්වැල්ල, පෙබරවාරි 03 දා, මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි. අත්අඩංගුවට ගනිද්දී පරිසර ඇමති ලෙස කටයුතු කල රඹුක්වැල්ල, ඊට පෙර සෞඛ්‍ය ඇමති ධූරය දැරූ කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මිල දී ගන්නා ලද ඖෂධ තොගයක් ආශ්‍රිත සෝලියක් පිලිබඳ පොලිස් විමර්ශනයකට අදාලව මෙම නියෝගය නිකුත්කර ඇත.

කෙහෙලිය රඹුක්වැල්ල (ෆේස්බුක්)

ප්‍රතිශක්තියෙන් හීන රෝගීන් සඳහා ලබාදෙන ප්‍රතිශක්ති ජනක මිනිස් ප්‍රෝටීන් විශේෂයක් (human immunoglobulin) වෙනුවට, ව්‍යාජ-මිනිස් ප්‍රෝටීන් (fake human immunoglobulin) අඩංගු එන්නත් තොගයක් මෙලෙස මිල දී ගෙන ඇති බව විමර්ශනයේදී අනාවරනය වී ඇත. දිවි-බේරාදෙන ඖෂධ (life-saving drugs) ගනයට වැටෙන මෙය එන්නතක් ලෙස රෝගියාට ලබාදෙයි.

පසුගිය වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම ඖෂධය රෝහල් වෙත නිකුත් කර තිබේ. එය ලබා ගැනීමෙන් පසු “අහිතකර ප්‍රතික්‍රියාවන්ට” මුහුන දීමට සිදුවූ බව බොහෝ රෝගීන් වාර්තා කල බවත්, ඒ හේතුවෙන් ඖෂධය පිලිබඳ “ප්‍රමිති පරීක්ෂන අවුලුවා ලූ” බවත් විමර්ශකයෙකු ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත.

එන්නත් තොගය වෙනුවෙන් අදාල සැපයුම් සමාගමට රුපියල් මිලියන 960 ක් ගෙවීමට නියමිතව තිබූ නමුත්, එන්නත්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්, සිවිල් සංවිධාන සහ මහජනතාව අතරින් මතු වූ බලගතු උත්සුකයන් හේතුවෙන්, රුපියල් මිලියන 140 ක මුල් ගෙවීම් වලින් පසුව ඉතිරි ගෙවීම් නතර කිරීමට සහ එකී එන්නත් තොගය භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුවිය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව, සෞඛ්‍ය අමාත්‍යංශය “හිතාමතාම” මෙම මිලදී ගැනීම සිදුකර ඇතිබව විමර්ශනයෙන් හෙලි වී ඇතැ යි පොලීසිය අධිකරනයට පවසා ඇත.

රඹුක්වැල්ල බන්ධනාගාර ගත කිරීමට පෙරාතුව, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඇතුලු ඉහල නිලධාරීන් කීප දෙනෙකු සහ අදාල ඖෂධ සැපයුම් සමාගමේ හිමිකරු රහස් පොලිස් මූලස්ථානයට කැඳවා ප්‍රකාශ ලබාගත් පොලීසිය, ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබුනි.

රහස් පොලීසිය විසින් තමාට කරන ලද කැඳවුම දිගින් දිගටම මගහැර සිටි රඹුක්වැල්ල අවසානයේදී පෙබරවාරි 02 දා එහි පැමිනියේ, වහාම එම ප්‍රකාශය ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් එදින ඔහුට නිකුත් කල නියෝගයකින් අනතුරුවය. ප්‍රකාශය ලබාගැනීමෙන් ඉක්බිති රඹුක්වැල්ල අත්අඩංගුවට ගත් පොලීසිය පසුවදා අධිකරනයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාර ගත කලේය.

රට මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය කඩතුරාවක් ලෙස යොදා ගනිමින් සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් තොරව විවිධ ඖෂධ මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට බලපෑම් කල බවටත්, ඉහත සෝලියට සම්බන්ධ සැපයුම්කරුට විශේෂ අනුග්‍රහයක් දැක්වූ බවටත් රඹුක්වැල්ලට චෝදනා එල්ල වී පවතී.

සෝලිය අනාවරනය වීමට පෙරාතුව සිටම, ප්‍රමිතියෙන් බාල වෙනත් ඖෂධ ගනනාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රජයේ රෝහල් වලට සැපයීම හේතුවෙන් ඒවා භාවිතා කල රෝගීන් ගනනාවක් මියගිය බවත් සමහරෙකුගේ දෙනෙත් අන්ධ වූ බවත් වාර්තා විය. තවත් සමහරු වෙනත් සංකූලතාවන්ගෙන් පීඩා විඳින බව ද එම වාර්තාවල සඳහන් විය.

මීට අමතරව, අනුප්‍රාප්තික ආන්ඩු විසින් අඛන්ඩව ගෙනගිය කප්පාදු හේතුවෙන්, වෛද්‍ය උපකරන සහ ඖෂධ ඇතුලු භෞතික සම්පත්වල ද, වෛද්‍යවරුන් හා හෙදියන් ඇතුලු මානව සම්පත්වල ද වැඩුනු ඌනතාව, ආන්ඩුව මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හේතුවෙන් වඩාත් ගැඹුරු වී සමස්ත මහජන සෞඛ්‍ය පද්ධතියම බිඳ වැටීමේ අද්දරට පැමින තිබේ.

මෙම තතු, ආන්ඩුවට සහ සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි දැවැන්ත මහජන කෝපයක් ජනිත කලේය. එය ගසාකෑමේ අරමුනෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ), සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුව තුල විශ්වාස භංග යෝජනාවක් ගෙන ආව ද, පාර්ලිමේන්තු බහුතරය ආන්ඩු පක්ෂය සතු වූ බැවින් එය පරාජයට පත්විය.

කෙසේ නමුත්, ආන්ඩුව සහ පොදුවේ සමස්ත ධනපති පංතිය මහජනතාවගේ ජීවිත සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් දක්වන නරුම නොතැකීම ප්‍රකාශයට පත් කරමින්, ප්‍රමිතියෙන් බාල ඖෂධ හේතුවෙන් සිදුවන මරන සම්බන්ධ චෝදනාවන්ට රඹුක්වැල්ල පිලිතුරු දුන්නේ, රෝහල් වලට ඇතුලු වන සියලු රෝගීන් සුවපත්ව ඉන් පිටව නොයන බවත්, “රෝහල් අසල මල්ශාලා පිහිටුවා තිබෙන්නේ ඉන් සමහරු මියයන නිසා” බවත් පවසමිනි.

මෙම නොතැකීම, 2020 දී කෝවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිර යන තත්වයේ දී වඩාත් ප්‍රකට විය. එවකට පැවති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, ලොවපුරා පවතින අනෙකුත් ධනපති ආන්ඩු අනුයමින්, මහධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය අඛන්ඩව පවත්වාගෙන යනුවස්, කම්හල් සහ අනෙකුත් වැඩපොලවල් විවෘතකොට පවත්වාගෙන ගියේ වසංගතය පාලනය කිරීමේ සියලු මහජන සෞඛ්‍ය පියවර අත්හැර දමමිනි. එහි ප්‍රතිඵලය වූයේ 17,000 කට ආසන්න ජීවිත අහිමිවීම සහ තවත් ලක්ෂ ගනනක් පශ්චාත්-කෝවිඩ් හෙවත් දීර්ඝ-කෝවිඩ් සංකූලතාවයන්ට පත් කරමිනි.

කෝවිඩ්-19 වසංගතයත් සමග, මහජන සෞඛ්‍යය කෙරෙහි ලොවපුරා පාලක පන්තියේ ආකල්පය, වෙන කවරදාටත් වඩා වැඩි සතුරුකමක් සහ නොතැකීමක් දක්වා වහාම හැරී ගියේය. බ්‍රිතාන්‍යයේ එවක අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙම මිනීමරු දෘෂ්ටිය සාරාංශගත කලේ, කෝවිඩ්-19 යනු, “සොබාදහම මහලු අය සමඟ ගනුදෙනු කිරීමේ ක්‍රමයක්” ලෙසිනි.

වසංගතය නිදහසේ ව්‍යාප්ත වීමට ඉඩහැර ප්‍රතිශක්තිය වර්ධනය කර ගන්නා අයට ජීවත් වීමටත්, එසේ නොවන අයට මිය යාමටත් ඉඩ සලසන මිනීමරු රංචු ප්‍රතිශක්තිකරන පිලිවෙත ප්‍රවර්ධනය කරනුවස්, නිව් යෝර්ක් ටයිම්ස් තීරු ලිපි රචක තෝමස් ෆ්‍රීඩ්මන් “රෝගයට වඩා ප්‍රතිකාරය නරක විය නොහැක” යන වාක්‍ය ඛන්ඩය නිර්මානය කලේය.

'මල්ශාලා” පිලිබඳ රඹුක්වැල්ලගේ ප්‍රකාශය, ජොන්සන් සහ ෆ්‍රීඩ්මාන්ගේ වැකිවල අමානුෂීය අන්තර්ගතයම දරා සිටී.

මිනිස් ජීවිත සම්බන්ධයෙන් ලොවපුරා පාලක පංතීන්ගේ මෙම නරුම නොතැකීම, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය ජනවාරි 08 දා පලකල ඉදිරි දර්ශනයෙන් මෙසේ පෙන්වා දෙයි:

'ජාත්‍යන්තර පාලක ප්‍රභූන් ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනයේ යෙදෙන ආකාරයටම, හිතාමතාම, කෝවිඩ්-19 බාධාවකින් තොරව පැතිරීමට ඉඩ හරිමින්, සිදුවෙමින් පවතින සමූහ මරන සහ මිනිස් දුක් වේදනා සාමාන්‍යකරනයේ යෙදෙති. 21 වැනි සියවසේ දී ධනපති ම්ලේච්ඡත්වය කරා පල්ලම් බැසීමට මූලිකත්වය ගෙන සිටින දේශපාලන බල මන්ඩල වල, සියල්ලටත් වඩා, අධිරාජ්‍යවාදයේ මධ්‍යස්ථානවල, දැන් මිනිස් ජීවිතය කෙරෙහි එම නොතැකීම ම පැතිර ඇත.'

කෙසේ නමුත්, තම වරප්‍රසාද සහ ලාභ අවශ්‍යතා වෙනුවෙන් බාල ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබා දී ඔවුන් මරනයට සහ විවිධ සංකූලතාවන්ට ඇද දැමීම ඇතුලු මහජන සෞඛ්‍යයේ මෙම දැවැන්ත බිඳවැටීම, හුදෙක් පුද්ගලික නරුමත්වයකට ඌනනය කල නොහැක. එය ධනවාදයේ ඓතිහාසික පරිහානියේ ප්‍රකාශනයකි.

මෙම ඖෂධ සෝලිය ධනපති පාලක පංතියේ නිමක් නැති වංචාවන් අතරින් එක් දුගඳ හමන ගනුදෙනුවක් පමනි. තම පාලනය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ බර, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතුලු සියලු ක්ෂේත්‍රයන්හි සිදු කෙරෙන කප්පාදු හරහා, කම්කරු-පීඩිත මහජනතාව මත පටවමින් ඔවුනගේ ජීවන කොන්දේසි මුලුමනින්ම තලා දමමින් සිටියදි, ව්‍යාජ-ඖෂධ ලබා දෙමින් ඔවුන් මරා දමා හෝ තම මඩිය තරකර ගැනීමේ මෙවන් ව්‍යායාමයන් මගින් යලිත් වරක් ප්‍රකාශයට පත් කෙරෙන්නේ පරිහානිගත ධනපති ක්‍රමයේ ආන්තික තිරස්චීන ස්වභාවය යි.

වැඩී ඇති මහජන විරෝධය මැඩපවත්වනුවස්, සමහරවිට, රඹුක්වැල්ල සහ සෝලියට සම්බන්ධිත අනෙක් සැකකරුවන් වරදකරුවන් කල හැකි නමුත්, එවැනි සෝලීන් උත්පාදනය කෙරෙන වෛෂයික මූලය වන ලාභය අරමුනු කරගත් ධනපති ක්‍රමය තුල, විශේෂයෙන්ම අර්බුද-ග්‍රස්ථ ගෝලීය ධනවාදය තුල එවන් සෝලීන් නතරවනු වෙනුවට, එය පරයා යන සෝලීන් අසංඛ්‍යව සිදුවනු ඇත.

Loading