ජවිපෙ නායකයා ඉන්දියාවේ සංචාරයක නිරත වෙයි

[මෙය Leader of Sri Lanka’s opposition JVP party visits India යන මැයෙන් 2024 පෙබරවාරි 09 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහ එහි පාර්ලිමේන්තු පෙරමුන වන ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර කුමාර දිසානායක, සඳුදා (පෙබරවාරි 5), දින පහක නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, ජාජබ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ මහාචාර්ය අනිල් ජයන්ත යන අය ද ඔහු සමඟ සංචාරයට එක්වූහ.

අනුර කුමාර දිසානායක (වම් පස), 2024 පෙබරවාරි 5 වැනි දින දිල්ලි නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සමඟ සාකච්ඡා පවත්වමින් [Photo: Facebook/Sunil Handunneththi]

කලාපය පුරා සහ ජාත්‍යන්තරව ප්‍රතිගාමී පාලන තන්ත්‍රයන් සමග සබඳතා වර්ධනය කර ගැනීමට ජාජබ/ජවිපෙ දරන ප්‍රයත්නයේ කොටසක් වන මෙම සංචාරයෙන් සනිටුහන් වන්නේ, අධිරාජ්‍ය ගැති මෙම සංවිධාන තව දුරටත් දකුනට මාරු වීමකි.

නවදිල්ලිය දිසානායකට ආරාධනා කලේ, ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ ආයතනය විසින් කරන ලද මත විමසුමක් මගින්, ජනාධිපතිවරනයකදී ඔහුට සියයට 50 ක ඡන්ද ලැබෙතැයි පෙන්නුම් කිරීමත් සමග ය. මත විමසුමට අනුව, දිසානායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු අනෙකුත් අපේක්ෂකයින්ට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටී. සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල ලංකාවේ ජනාධිපතිවරනය පැවැත්වීමට නියමිතය.

ඉන්දියානු සංචාරය ගැන සඳහන් කරමින්, ඇතැම් මාධ්‍ය කන්ඩායම් කියා සිටින්නේ, ජවිපෙ “දැඩි මාක්ස්වාදී පිලිවෙතක” සිට “නම්‍යශීලී මාක්ස්වාදයකට” වෙනස් වී ඇති බව හෝ ඒ හා සමාන අදහස් ය. තවත් සමහරු ජවිපෙහි ඉන්දියානු-විරෝධී ස්වෝත්තමවාදය ගැන සඳහන් කලහ; එම සංවිධානය කලින්, ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන් 'ඉන්දියානු ව්‍යාප්තවාදයේ පස්වන කොලම' ලෙස හෙලා දැක තිබුනි.

කිසි විටෙක මාක්ස්වාදී පක්ෂයක් නොවූ ජවිපෙ 1960 ගනන්වල දී මතු වූයේ සිංහල ජනතාවාදයේ සහ මාඕවාදී හා කැස්ත්‍රෝවාදී ගොවි ගරිල්ලාවාදයේ විසකුරු මිශ්‍රනයක් මත පදනම් වූ රැඩිකල් ජාතිකවාදී ව්‍යාපාරයක් ලෙස ය. දිවයිනේ දකුනේ අසහනයට පත් සිංහල තරුනයින් බඳවා ගනිමින් එය සිදු කල 'සන්නද්ධ අරගල', එකකට පසු තවෙකක් අයුරින් ලේ වැකි ව්‍යසනයන් ඇති කලේය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය නිරායුධ කිරීම සඳහා ඉන්දියාව දිවයිනේ උතුරට “සාම සාධක භටයන්” එවූ 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, 1980 ගනන්වල දී ජවිපෙහි දකුනට ඇදී යාම වේගවත් විය.

ඉන්දියාව රට බෙදීමට සැලසුම් කරන බව පවසමින් ජවිපෙ ස්වෝත්තමවාදී පදනමක් මත ගිවිසුම හෙලා දුටු අතර, ඊට එරෙහිව ප්‍රචන්ඩ මැර සහ ඝාතන ව්‍යාපාරයක් දියත් කලේය. 60,000 ක් ඝාතනය කරමින්, රැකියා විරහිත ග්‍රාමීය තරුනයින් අතර වැඩුනු සමාජ නොසන්සුන්තාවට එරෙහිව කුරිරු ව්‍යාපාරයක් දියත් කිරීමට ආන්ඩුව, ජවිපෙ ප්‍රචන්ඩත්වය ඩැහැගත්තේය.

ජවිපෙ නායකත්වය 1994 දී යලි එක්‍ රැස් වෙමින්, පාලක පන්තියේ කොටසක පිටුබලය ඇතිව, සිය පුහු සමාජවාදී වාගාලාප මුලුමනින්ම පාහේ අත්හැර දමා, එල්ටීටීඊයට එරෙහි කුරිරු වාර්ගික යුද්ධයට සහාය දෙන සහ කම්කරුවන්, දුගීන් සහ සහ තරුනයන් අතර නැගෙන විරෝධය මැඩපැවැත්වීමට සහාය වන පාර්ලිමේන්තු පක්ෂයක් බවට පරිවර්තනය විය.

යුද්ධයට සහය දැක්වීම සහ විවිධ ධනේශ්වර ආන්ඩුවලට සහභාගිවී ලබාදුන් දේශපාලනික සහයෝගය හේතුවෙන් අපකීර්තියට පත් ජවිපෙ, 2015 දී පාර්ලිමේන්තු පෙරමුනක් ලෙස ජාජබ පිහිටුවන ලදී. ජාජබ බොහෝ දුරට විද්වතුන්, වෘත්තිකයන්, සමහර කලාකරුවන්, කුඩා ව්‍යාපාරිකයන්, විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ ජවිපෙ අනුබද්ධ සංවිධාන වලින් සමන්විත වේ. ජවිපෙ/ජාජබ, එක්සත් ජනපදය ඇතුලු සියලුම අධිරාජ්‍යවාදී රටවල මෙන්ම ප්‍රධාන කලාපීය බලවතා වන ඉන්දියාවේ ද කොලඹ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සමීප සබඳතා වර්ධනය කර ගත්තේය.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, මීලඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත් වුවද, 'පලමුව ඉන්දියාව'—එනම්, නව දිල්ලියේ භූ-මූලෝපායික සහ ආර්ථික අවශ්‍යතා සමඟ පෙලගැසුනු—ප්‍රතිපත්තියක් අනුගමනය කල යුතු බව පැහැදිලි කිරීම සඳහා දිසානායකට දින පහක සංචාරයක් සඳහා ආරාධනා කිරීමට තීරනය කලේය.

පසුගියදා පැවති මාලදිවයින් මැතිවරනයේදී, ඉන්දියානු හිතවාදී ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝල්හි බලයෙන් පහකරමින් චීන හිතවාදී මොහොමඩ් මුයිසු ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මෙම සන්දර්භය තුල, දිවයිනේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාව තුල සැලකිය යුතු බලපෑමක් වර්ධනය කරගෙන සිටින ඉන්දියාව, සිය සබඳතා පවත්වා ගැනීමට සහ ශක්තිමත් කර ගැනීමට උනන්දු වෙයි.

දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා ඇතුලු ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයින් සහ මහා ව්‍යාපාරිකයන් කොටසක් සමග රැස්වීම් මාලාවක් මෝදි ආන්ඩුව සැලසුම් කලේය.

දිසානායක සමඟ සිය හමුවීමෙන් පසු, ජයිශංකර් සිය X/Twitter ගිනුමේ මෙසේ සඳහන් කලේය: “අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සහ එය තවදුරටත් ගැඹුරු වීමෙන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිලිබඳ හොඳ සාකච්ඡාවක් පැවැත්විනි.” නව දිල්ලිය එහි, 'පලමුව අසල්වැසියා' සහ සාගර් [කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය] ප්‍රතිපත්ති සමඟින්, ඉන්දියාව “ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත සහ අවංක හවුල්කරුවෙකු” ලෙස දිගටම පවතිනු ඇති බව අමාත්‍යවරයා අවධාරනය කල බව මාධ්‍ය වාර්තා කලේය.

දිසානායක, ජයිශංකර් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරීන් සමග සාකච්ඡා කල දේ ගැන පලල්ව දැනගන්නට නැතිමුත්, ජවිපෙ නායකයා දෙසැම්බර් 9 දා ද හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ ප්‍රකාශ කලේය: “අපගේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව ප්‍රධාන දේශපාලන හා ආර්ථික කේන්ද්‍රයක් බවට පත්ව ඇති බව අපි දනිමු. එබැවින්, අපි ආර්ථික හා දේශපාලන තීරන ගන්නා විට, එය ඉන්දියාවට බලපාන්නේ කෙසේද යන්න පිලිබඳව සැමවිටම සැලකිලිමත් වෙමු.”

වෙනත් වචන වලින් කිවහොත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රධාන සගයෙකු වන සහ චීනයට එරෙහි යුද්ධය සඳහා වොෂින්ටනයේ මිලිටරි තරකිරීම් වලට ක්‍රියාශීලීව සහභාගිවන නව දිල්ලියට පක්ෂපාත වීමට ඔහුගේ කැමැත්ත දිසානායක දැනටමත් පැහැදිලි කර ඇත. ඉන්දියානු ආයෝජන ඉහල දමමින්, මූල්‍ය ආධාර සපයමින් සහ ඔවුන්ගේ සමීප ආරක්ෂක සබඳතා පෙන්නුම් කරමින්, පසුගිය වසරේ, ශ්‍රී ලංකා ජනාධිපති වික්‍රමසිංහ, මෝදි ආන්ඩුව සමග 'ඒකාබද්ධ දැක්ම' ප්‍රකාශයකට අත්සන් තැබීය.

බදාදා, දිසානායකට ගුජරාට් අගනුවර වන අහමදාබාද් වෙත ගොස්, ප්‍රාන්ත මහ ඇමති සහ ප්‍රාදේශීය මහා ව්‍යාපාරිකයින් හමුවීමටත්, 'ගුජරාට් මොඩලය' පිලිබඳ ඉදිරිපත් කල ප්‍රදර්ශනයක් නැරඹීමටත් ඉන්දීය නිලධාරියෝ කටයුතු සූදානම් කලහ.

ජවිපෙ වෙබ් අඩවියක් වන ලංකාටෲත්, 'වෙලඳපොල මූලික කරගත්' ආර්ථික ප්‍රතිසංස්කරන වැඩසටහනක් ලෙස ගුජරාට් ආකෘතිය විස්තර කරමින් ලිපියක් පල කලේය. ඇත්ත වශයෙන්ම, ගුජරාට් මොඩලය යනු, රජය සතු ව්‍යාපාර කුනු කොල්ලයට පුද්ගලීකරනය කිරීම හරහා සුපිරි ධනවතුන්ගේ මහා ව්‍යාපාරික ලාභ ඉහල නැංවීමේ ම්ලේච්ඡ සංවර්ධන ප්‍රතිපත්තියකි. දැන් ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානි, මෙම 'වෙලඳපොල මූලික' ආකෘතියෙන් ප්‍රතිලාභ ලැබූ අයගෙන් කෙනෙකි.

2002 දී, මෝදි ගුජරාට් මහ ඇමති ලෙස තේරී පත්වී වසරකට පසුව, ඔහු සහ ඔහුගේ හින්දු මූලධර්මවාදී දේශපාලනඥයන්ගේ කල්ලිය ප්‍රාන්තය පුරා මුස්ලිම් විරෝධී කෝලාහල ඇවිලවූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම්වරුන් 2,000 ක් පමන සමූල ඝාතනය විය. විවිධ අාඥාදායක බලතල භාවිතා කරමින් මෝදි ගුජරාට් ආකෘතිය ක්‍රියාවට නැංවීමට පටන් ගත් අතර, කම්කරුවන්ගේ වැඩ වර්ජන සහ මෙම ප්‍රහාරවලට එරෙහි අනෙකුත් ප්‍රතිරෝධයන් දරුනු ලෙස මර්දනය කලේය. 2014 දී ඔහු ඉන්දීය අගමැති ලෙස තේරී පත්වීමෙන් පසුව, මෝදි රට පුරා එකම “වෙලඳපොල මූලික” ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නිර්දය ලෙස පියවර ගත්තේය.

ජවිපෙ සහ එහි ජාජබ පාර්ලිමේන්තු පෙරමුන මීට පෙර සිංගප්පූරුව සහ වියට්නාමය විසින් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාව 'සංවර්ධනය කිරීමේ' ආදර්ශයන් ලෙස ප්‍රශංසාවට ලක් කර ඇත. සාරය වශයෙන් ගත්කල, මෙම සියලු ආකෘතීන් මෙහෙයවනු ලබන්නේ සියලු වැඩ කරන ජනතාව සූරාකෑම තීව්‍ර කිරීම මගින් මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ තර කිරීම සඳහා ය. එහි අවසන් ස්වරූපය කුමක් වුවත්, දිසානායක ශ්‍රී ලංකාව තුල පැනවීමට සූදානම් වන වැඩපිලිවෙලේ පදනම් මේවාය.

දිසානායකගේ ඉන්දීය සංචාරය සහ ඔහුගේ ඉහල පෙලේ සාකච්ඡා, ඔහුගේ පක්ෂය සතුව ඇති ජාත්‍යන්තර පිලිගැනීම සහ ජනාධිපතිවරනය ජයගැනීමේ නියතභාවය පිලිබඳ සාක්ෂි ලෙස ඔජවඩවන වාර්තා සහ සමාජ මාධ්‍ය සටහන් ජාජබ/ජවිපෙ විසින් පල කර ඇත.

වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ඒ හා බැඳුනු දරිද්‍රතාවය, කුසගින්න, මන්දපෝෂනය සහ මහජන සෞඛ්‍ය හා අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා බිඳවැටීම පිලිබඳව ශ්‍රී ලංකාවේ කම්කරුවන් හා දුගීන් අතර කෝපය උතුරා යමින් පවතී.

ජනාධිපතිවරනය ජයගෙන තමන්ගේම පාලන තන්ත්‍රයක් පිහිටුවීම සඳහා මෙම නැඟී එන මහජන විරෝධය ගසාකෑමට ජාජබ/ජවිපෙ නරුම ලෙස උත්සාහ කරන නමුත්, එය, වික්‍රමසිංහ ආන්ඩුවේ ම්ලේච්ඡ පිලිවෙත්ම නොඅඩු කුරිරුභාවයකින් ක්‍රියාත්මක කරනු ඇත. අනෙකුත් සියලුම විරුද්ධ පක්ෂ මෙන්ම ජවිපෙ ද ජාමූඅ ඉල්ලීම් සඳහා කැපවී සිටී.

පසුගිය මාසයේ ජාමූඅ හි ශ්‍රී ලංකා දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲරේ ප්‍රමුඛ නිලධාරීහු ජවිපෙ ප්‍රධාන කාර්යාලයට ගොස් එහි නායකයින් හමුවූහ. ජාමූඅ දූත මන්ඩලය හෝ ජවිපෙ නායකයින් ඔවුන්ගේ සාකච්ඡා ගැන කිසිවක් හෙලි කර නැත.

ජනවාරි 8 දා දිසානායක සියත රූපවාහිනියේ පෙනී සිටිමින් ජාජබ හි ධනේශ්වර ගැති ආර්ථික වැඩපිලිවෙල ඉදිරිපත් කලේය. සාකච්ඡාවෙන් පසුව, ජාජබ ආන්ඩුවක් ධනවතුන්ගේ ධනය අල්ලා ගනීවිද යන්න ඔහුගෙන් විමසූ විට දිසානායක එම ප්‍රශ්නය කෝපයෙන් ප්‍රතික්ෂේප කලේ, ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරවලින් එකක් වන එල්ඕඑල්සී සමූහ ව්‍යාපාරය සහ දකුනු අප්‍රිකාවේ එහි ආයෝජනය අගය කරමිනි.

ඉන්දියාවේ සහ බංගලාදේශයේ ආයෝජනය කර ඇති ශ්‍රී ලාංකීය සමාගම්වලට ද ප්‍රශංසා කල දිසානායක “මේ ව්‍යවසායකයින් අපට ආඩම්බරයක්' යැයි පැවසුවේය. අනාගත ජාජබ ආන්ඩුවක කර්තව්‍යය වනුයේ එවැනි සමාගම් දිරිමත් කිරීම, ඒවාට නවීන තාක්ෂනික දැනුම ලබා දීම සහ ඒවාට වෙලඳපල සොයා ගැනීම බව ඔහු පැවසීය.

දිසානායක විසින් වැඩකරන ජනතාවට යලියලිත් දෙන පනිවුඩය වනුයේ ශ්‍රී ලංකාව යලි ගොඩනැගිය යුතු බවයි: “අපි කෙටි කාලයකට අපේ ජීවන රටාව වෙනස් කල යුතුයි. මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපි එය කල යුතුමයි. වේදනාකාරී ක්‍රියාමාර්ග ගැනීමට අපට බල කෙරෙනු ඇත.” මෙම, ලාභය මත පදනම් වූ, “වෙලඳපොල විසින් මෙහෙයවන” න්‍යාය පත්‍රයට අනුකූලව, ජවිපෙ අවශ්‍ය කප්පාදු පියවර පැනවීමට සහ කම්කරු පන්තිය මෙල්ල කිරීමට සිය වෘත්තීය සමිති සූදානම් කරමින් සිටී.

නොවැම්බර් මස මුලදී සමස්ත ලංකා වරාය සේවක පොදු සංගමය අමතමින් ජවිපෙ ජ්‍යෙෂ්ඨ නායක වසන්ත සමරසිංහ තම ආන්ඩුවක් යටතේ ක්‍රියා කරන ආකාරය මෙසේ විස්තර කලේය: “වරාය අමාත්‍යවරයා සහ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ කෙරෙන මෙහෙයුම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වනු ඇති... රටට හොඳ ඵලදායිතාවයක් වර්ධනය කිරීමේ වගකීමක් කම්කරුවන්ට තිබෙනවා.” සරල භාෂාවෙන් පවසන්නේ නම් මින් අදහස් කරන්නේ මෙම ප්‍රතිපත්තිවලට විරුද්ධ වන සියලුම කම්කරුවන් දඩයම් කිරීම සහ නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා වෘත්තීය සමිති රාජ්‍යය සමඟ එක්ව කටයුතු කරනු ඇති බවයි.

වමේ සිට, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි මැතිව් හින්සන්, තානාපතිනී ජූලි චන්ග්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, 2023 ඔක්තෝබර් 19 වන දින ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති රැස්වීමකදී. [ඡායාරූපය: X/Twitter @anuradisanayake] [Photo: X/Twitter @anuradisanayake]

ජවිපෙ, පසුගිය වසරේ මුල සිට විශ්‍රාමික හමුදා නිලධාරීන් සහ පහල ශ්‍රේනිවල සොල්දාදුවන් 'ත්‍රිවිධ හමුදා සාමූහිකයක්' තුලට බලමුලු ගන්වමින් සිටින අතර, එය දෙමල ජනයා බහුතරයක් වෙසෙන උතුරු සහ නැගෙනහිර හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල සම්මන්ත්‍රන පවත්වා ඇත. විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ නැගෙනහිර පලාතේ හිටපු අනදෙන නිලධාරියෙකු වන අරුන ජයසේකර අනාගත ජාජබ ආන්ඩුවක ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වනු ඇතිබව දිසානායක නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ධනපති පක්ෂය සම්බන්ධයෙන් ගත්කල, ජවිපෙ මෙවැනි පැරාමිලිටරි බලකායක් පිහිටුවීම, පෙර නොවූ විරූ පියවරකි. ඉන් පෙන්නුම් කෙරෙන්නේ, ජනාධිපති වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ සියලුම කොටස් මෙන්ම, දිසානායක ද ඒකාධිපති පාලන ක්‍රමයක් සඳහා සූදානම් වෙමින් සිටින බවයි, මෙම සුදානම, කම්කරු පන්තියට හා දුගීන්ට තියුනු අනතුරු ඇඟවීමකි.

මෙම සියලු වර්ධනයන් විසින් අවධාරනය කරනු ලබන්නේ, කම්කරුවන් හා තරුනයින් සමාජවාදී සමානතා පක්ෂයට (සසප) බැඳී සසප විසින් ඉදිරිපත් කරන වැඩපිලිවෙල සඳහා සටන් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි.

ජවිපෙ සහ එහි පාර්ලිමේන්තු පෙරමුන වන ජාජබ ඇතුලු සියලු ධනේශ්වර පක්ෂවලට ප්‍රතිකූලව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප කම්කරුවන් හා තරුනයින් සඳහා විප්ලවවාදී මාක්ස්වාදී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කර ඇත. එහි වැඩපිලිවෙල රුසියාවේ 1917 ඔක්තෝබර් විප්ලවයට මග පෙන්වූ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වේ.

කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගයක් ලෙස බලමුලු ගැන්වීමට සහ ධනේශ්වර ප්‍රහාරයට එරෙහිව ඒකාබද්ධ අරගලයක් තුල පීඩිත ගම්බද ජනයා තමන්ගේ පැත්තට දිනා ගැනීම සඳහා සෑම සේවා ස්ථානයකම සහ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයකම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස අපි ඉල්ලා සිටිමු.

වික්‍රමසිංහ තන්ත්‍රය පෙරලා දැමීම සඳහා කම්කරුවන් හා දුගීන් බලමුලු ගැන්වීමේ මාධ්‍යයක් ලෙස, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා මෙම ක්‍රියාකාරී කමිටු සටන් කල යුතුය. මෙය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමටත් සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමටත් මග විවර කරනු ඇත.

Loading