පකිස්තානය, හමුදාව විසින් සැලසුම් කෙරුනු මැතිවරනයකට යාමට සූදානම් වේ

[මෙය Pakistan to go to polls in elections stage managed by military යන මැයෙන් 2024 පෙබරවාරි 07 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි. පරිවර්තනයේදී ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එය පකිස්තානු මැතිවරනයට පෙර පල කිරීමට නොහැකි වූ බව කනගාටුවෙන් දන්වන අතර, මැතිවරනයෙන් පසු 2024 පෙබරවාරි 12 දා Infighting in Pakistan’s ruling elite intensifies following shock election result මැයෙන් පල කෙරුනු ලිපියේ පරිවර්තනය හැකි ඉක්මනින් පල කෙරෙනු ඇත.]

මාස කිහිපයක ප්‍රමාදයෙන් සහ අවිනිශ්චිතතාවයෙන් පසු, ලෝකයේ පස්වන වැඩිම ජනගහනය සහිත රට වන පකිස්තානයේ ඡන්දදායකයින්, මෙම පෙබරවාරි මස 8 වෙනි බ්‍රහස්පතින්දා ජාතික සහ පලාත් සභා මැතිවරන සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

පකිස්තාන රාජ්‍යයට, සියල්ලටත් වඩා එහි එක්සත් ජනපදයේ පිටුබලය ලබන මිලිටරියට, ප්‍රචන්ඩත්වය, බිය ගැන්වීම් සහ මුලුමනින්ම හොර-ඡන්ද දැමීම හරහා මැතිවරන හැසිරවීමේ දිගු ඉතිහාසයක් ඇත. කෙසේ වෙතත්, මැතිවරන ප්‍රතිඵලයක් සිය අභිමතය පරිදි හැසිරවීම සඳහා හමුදාව මීට පෙර කිසි දිනෙක මෙතරම් ප්‍රකට ලෙස මැදිහත් වී නැත.

මිලිටරියේ ක්ෂනික ඉලක්ක වන්නේ, බලයෙන් පහකල අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පකිස්තාන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් (පීටීඅයි) හෙවක් පකිස්තානයේ යුක්තිය සඳහා ව්‍යාපාරය යි. ඔවුන්ට මැතිවරනයට පෙනී සිටීමට ඉඩ දුන්නේ නම්, ඡන්ද විමසීම් වලින් ඉහලින්ම සිටිනු ඇතැයි පුලුල්ව විශ්වාස කෙරේ.

දක්ෂිනාංශික ඉස්ලාමීය ජනතාවාදියෙකු වන ඛාන්, රාජ්‍ය රහස් පාවා දීම සහ දේශපාලනිකව හසුරුවන ලද දූෂන සම්බන්ධයෙන් බොරු චෝදනා මත පසුගිය මාස අට තුල සිරගතව සිටියේය. ඡන්ද ලංවත්ම දඬු අඬුව තවතවත් තද විය. ඔහුගේ නිල බලයෙන් ඔහුට ලැබුනු දේ වලින් නීතිවිරෝධී ලෙස ප්‍රතිලාභ ලැබීම, රාජ්‍ය රහස් හෙලිදරව් කිරීම සහ තම බිරිඳ පෙර විවාහයෙන් දික්කසාද වී දින 40 ක් ගතවීමට පෙර ඇය සමඟ විවාහ වීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ඔහු වරදකරු වී වසර 14, 10 සහ 7 බැගින් සිර දඬුවම් නියම විය.

මේ අතර පීටීඅයි පක්ෂයට තමන්ගේම ධජයක් යටතේ මැතිවරනයට තරග කිරීම තහනම් කර ඇත. ස්වාධීන අපේක්ෂකයින් ලෙස තේරී පත්වීමට අපේක්ෂා කරන එහි නායකයින්, පොලිස් වැටලීම්, ප්‍රචන්ඩත්වය සහ වෙනත් ආකාරවල බිය ගැන්වීම්වලට ඉලක්කය වී ඇත.

අන්තර්ඡේදනය වන ආර්ථික, භූ-දේශපාලනික හා දේශපාලන අර්බුදවලින් පකිස්තානය කැලඹෙමින් පවතින තතු යටතේ, මිලිටරිය සහ ධනේශ්වරයේ ප්‍රමුඛ කන්ඩායම් තීරනය කර ඇත්තේ—පකිස්තාන සංස්ථාපිත දේශපාලනයේ දක්ෂිනාංශික ස්වභාවය විසින් එය කෙතරම් සීමිත හා විකෘති කර ඇතත්—මහජන කැමැත්තේ කිසිදු ප්‍රකාශනයකට මැතිවරනය තුල ඉඩ දිය නොහැකි බවයි.

මෑත මාසවලදී, ඉහල යන ආහාර මිල ගනන් (නොවැම්බරයේ උද්ධමනය සියයට 40 දක්වා ලඟා විය) සහ රැකියා කප්පාදුවලට එරෙහිව මෙන්ම, 'අතුරුදහන් කිරීම්' සහ මිලිටරිය විසින් අධිකරන ක්‍රියාදාමයකින් තොරව සිදුකරන ඝාතනවලට එරෙහිව දියත්වුනු මහජන අරගල රැල්ලක් අත්දැක තිබේ.

ව්‍යවස්ථාව අනුව කටයුතු කලේ නම්, මැතිවරන පැවැත්වීමට නියමිතව තිබුනේ නොවැම්බර් මස මුලදී ය. කෙසේ වෙතත්, හමුදාවේ විශ්වාසය දිනාගත් සහ මහජනතාවගේ දුක්ඛිත තත්වය සහ ඔවුන්ගේ මූලික අයිතීන් කෙරෙහි ඔහු දක්වන අවඥාව සම්බන්ධයෙන් කුප්‍රකට පුද්ගලයෙකු වූ අන්තර්වාර අගමැති අන්වර් උල් හක් කකාර්ගේ නායකත්වයෙන් යුත් භාරකාර පරිපාලනය විසින් ඒවා කල් දැමීමට විවිධ කඩතුරාවන් සොයා ගන්නා ලදී. ඛාන්ට සහ ඔහුගේ පීටීඅයි ව්‍යාපාරයට එරෙහි මර්දනය තීව්‍ර කිරීමටත්, මිලිටරිය කැමති අගමැති අපේක්ෂකයා සඳහා දේශපාලන පිටිය වඩාත් හොඳින් සූදානම් කිරීමටත්, සහ අවසාන වශයෙන්, අතිශයින් අපකීර්තිමත් ජාමූඅ නියෝග රොත්තක් ක්‍රියාවට නැංවීම සඳහාත් අමතර මාස තුන යොදා ගෙන ඇත. බලශක්ති මිල සහන සඳහා දැවැන්ත කප්පාදු, බදු වැඩිකිරීම් සහ දැවැන්ත පුද්ගලීකරන වැඩසටහන් මේවාට ඇතුලත් වේ.

පකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් (මැද) 2024 ජනවාරි 18 බ්‍රහස්පතින්දා, පකිස්තානයේ හෆිසාබාද්හි මැතිවරන ප්‍රචාරක රැලියක් අමතයි. [ඒපී ඡායාරූප/කේ.එම්. චෞද්‍රි] [AP Photo/K.M. Chaudary]

ඇත්ත වශයෙන්ම පකිස්තානු මිලිටරියේ ඉහල නිලධාරීන්, තුන්වරක් අගමැතිවරයෙකු වූ සහ ජීවිත කාලය පුරා පකිස්තාන මුස්ලිම් ලීගයේ නායකයා වූ නවාස් ෂරීෆ්, නැවත බලයට පත්කර ගැනීම සඳහා මග පාදා ගැනීමට උත්සාහ කර ඇත. පකිස්තානයේ ධනවත්ම පවුලක වංශවතෙකු වන නවාස් ෂරීෆ් සිය දේශපාලන ජීවිතය ආරම්භ කලේ, 1980 ගනන්වල පකිස්තාන දේශපාලනයේ සහ සමාජයේ 'ඉස්ලාමීකරනයට' නායකත්වය දුන්, එක්සත් ජනපදයේ පිටුබලය ලත් මිලිටරි ආඥාදායකයෙකු සහ උග්‍ර-ප්‍රතිගාමියෙකු වූ ජෙනරාල් සියා උල්-හක්ගේ ආරක්ෂකයා ලෙස ය.

අවසන් වරට 2013-17 දක්වා අගමැති ධූරය දැරූ ෂරීෆ්ට, රටේ මිලිටරි, විදේශ සහ ජාතික-ආරක්ෂක ප්‍රතිපත්ති කෙරෙහි සිය උද්‍යෝගී පාලනය තහවුරු කරගෙන සිටි මිලිටරිය සමඟ ආරවුල් තිබී ඇත. කෙසේ වෙතත්, පෙනෙන ආකාරයට ඔවුන්, මූර්ත වැටුප් කප්පාදු කිරීම, මහජන දේපොල විකුනා දැමීම සහ ප්‍රාග්ධනය පිලිබඳ සියලු නියාමන සීමාවන් ඉවත් කිරීම මගින් ආයෝජන ඉහල නැංවීමෙන් පකිස්තානයේ ආර්ථිකය “යලි පනගැන්වීම” සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ආන්ඩුවකට නායකත්වය දීමට අපේක්ෂිත පීඑම්එල් (එන්) නායකයා සමඟ ඔවුන්ගේ මතභේදයන් සමනය කර ගෙන තිබේ.

ෂරීෆ්, දූෂන චෝදනාවකට සිරගත වීම වැලැක්වීම සඳහා 2019 සිට ජීවත් වූ එක්සත් රාජධානියේ සිට ඔක්තෝබර් මාසයේදී ආපසු පැමිනියේ ය. සති කිහිපයක් ඇතුලත උසාවිය එම දඬුවම අහෝසි කර, ඔහුට එරෙහි අනෙකුත් චෝදනා ද ඉවත දැමූ අතර, ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරනය දූෂනයට වරදකරුවන් වූ දේශපාලනඥයන්ට ජීවිත කාලයටම රජයේ නිලතලවලට පත්වීම තහනම් කලේය.

ෂරීෆ්, මිලිටරියට තම සහයෝගය අවධාරනය කරන අතරේ, 'ආර්ථික සංවර්ධනයේ' අපේක්ෂකයා ලෙස උද්ඝෝෂනය කරයි. උසාවියේදී පැරා මිලිටරි භටයින් විසින් ඛාන් අල්ලා ගැනීම නිසා කෝපයට පත් පීටීඅයි ආධාරකරුවන් රට පුරා ආරක්ෂක හමුදා සමඟ ගැටුම් ඇති කර ගත්, 2023 මැයි 9 සිදුවීම්වල දී ඔහුගේ (ඛාන්ගේ) “ව්‍යසනකාරී” භූමිකාව ද ඇතුලුව, හමුදාවට එරෙහිව විරුද්ධත්වය උසිගැන්වීම ගැන ඔහු ඉම්රාන් ඛාන් යලි යලිත් හෙලා දැක ඇත.

“ඉම්රාන් ඛාන් කල දේ සහ ඔහුට සිදුවුනු දේ ඔහුම කරගත් දෙයක්,” ෂරීෆ් මේ සතියේ ජියෝ නිව්ස් (Geo News) වෙත පැවසීය. 'අපි පකිස්තානය පරමානුක බලයක් බවට පත් කලා,' ඔහු 1998 රටේ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම් ගැන සඳහන් කරමින් පවසා සිටියේය. “අපි මැයි 9 වෙනිදා අපේම හමුදාවට පහර දුන්නේ නැහැ. අපි පෙනී සිටින්නේ සාමය සහ දියුනුව සඳහා යි.”

පීටීඅයි මැතිවරනවලින් ඉවත් කිරීමත් සමඟ, පීඑම්එල් (එන්) හි ප්‍රධාන විරුද්ධවාදියා වන්නේ ධනපතියන්ගේ සහ ඉඩම් හිමියන්ගේ රාජවංශික පක්ෂයක් වන පකිස්තාන මහජන පක්ෂය (පීපීපී) යි. එහි දැන් නායකත්වය දරන්නේ, දෙවරක් අගමැති ව ඝාතනයට ලක්වූ බෙනාසීර් භූතෝගේ පුත්‍රයා වන සහ අගමැති ධුරයෙන් නෙරපා හරින ලද සහ පසුව ජෙනරාල් සියා විසින් එල්ලා මැරීමට නියෝග කල සුල්ෆිකිර් අලි භූතෝගේ මුනුපුරා වන බිලාවල් භූතෝ සර්දාරි ය. පීපීපී වරක් තමන්ව “ඉස්ලාම් සමාජවාදී” පක්ෂයක් ලෙස ප්‍රවර්ධනය කරගත් නමුත්, එය පසුගිය දශක හතර පුරා නිලතල දැරූ සෑම අවස්ථාවකම ජාමූඅ කප්පාදු ක්‍රියාවට නංවා ඇති අතර වොෂින්ටනය සමඟ සමීප සබඳතා ලුහුබැඳ ගියේය.

2022 අප්‍රේල් මාසයේදී මිලිටරිය විසින් සංවිධානය කරන ලද සහ වොෂින්ටනය විසින් මෙහෙයවන ලද පාර්ලිමේන්තු විශ්වාසභංග ඡන්දයකින් ඛාන්ගේ ආන්ඩුව පෙරලා දැමීමෙන් පසුව, පීඑම්එල් (එන්) සහ පීපීපී, ෂරීෆ්ගේ සහෝදරයා වන ෂහබාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවකට එකතු විය. 2022 ගංවතුර නිසා ඇති වූ විනාශය මධ්‍යයේ ම්ලේච්ඡ ලෙස සහනාධාර සහ අනෙකුත් අයවැය කප්පාදු පැනවීමෙන් සභාග ආන්ඩුව ජාමූඅ අනුමැතිය දිනාගත් අතර, වොෂින්ටනය සමඟ ඉස්ලාමාබාද්හි බිඳී ගිය සබඳතා නැවත ගොඩනඟා ගැනීමට සමත් විය. කෙසේ වෙතත්, පකිස්තාන ජනතාව අතර එහි සහයෝගය පහත වැටුනි.

රටෙහි දැවැන්ත විදේශ නය සැලකිල්ලට ගනිමින් පකිස්තාන ආන්ඩුවට ජාමූඅ සමග තවදුරටත් නය ගැන සාකච්ඡා කිරීමට නිසැකවම සිදුවනු ඇති අතර, 'පුලුල් පදනම් සහිත' ආන්ඩුවක් සඳහා එහි [ජාමූඅ හි] මනාපය පෙන්වා දී ඇත. එමගින්, පකිස්තාන සහ ගෝලීය ප්‍රාග්ධනය වෙනුවෙන් ම්ලේච්ඡ ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමේ මහජන අපකීර්තිය දේශපාලන ප්‍රභූවට බෙදා ගත හැක. එසේම, ප්‍රධාන පක්ෂ කිසිවකට එම ක්‍රියාමාර්ගයන්ට විරුද්ධ ලෙස පෙනී සිට දේශපාලන වාසි ලබා ගැනීමට ද පෙලඹිය නොහැක.

කෙසේ වෙතත්, ඔවුන් අතර ඇති ඓතිහාසික වෛරය අනුව, පීපීපී නැවත පීඑම්එල් (එන්) ආන්ඩුවේ කනිෂ්ඨ හවුල්කරු ලෙස කටයුතු කිරීමට එකඟ වනු ඇතැයි සිතිය නොහැක.

පීටීඅයි යනු විවිධ ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඩායම් සමග සහයෝගීව සිටින දක්ෂිනාංශික, කම්කරු පන්ති විරෝධී පක්ෂයකි. ඛාන් 2018 දී ඔහුගේ තේරී පත්වීම සඳහා හමුදාවෙන් ලැබුනු තිරය පිටුපස සහයෝගයට නය ගැති විය. බලයට පත් වූ පසු, ඔහු පකිස්තානයේ මෙතෙක් ක්‍රියාවට නැංවූ වඩාත්ම ම්ලේච්ඡ ජාමූඅ කප්පාදු සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් පැනවීම සඳහා “ඉස්ලාම් සුබසාධන රාජ්‍යයක්” පිහිටුවීම පිලිබඳ ඔහුගේ ජනප්‍රිය පූච්චානම් කතා ඉක්මනින්ම අත්හැරියේය. ඔහුගේ පක්ෂය, මිලිටරිය සහ සම්ප්‍රදායික දේශපාලන සංස්ථාපිතය අතර සැබෑ සබඳතා අවධාරනය කරමින්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී' සගයා වූ ඒකාධිපති ජෙනරාල් පර්වේස් මුෂාරෆ් යටතේ සේවය කල ඇමතිවරුන් සහ නිලධාරීන් ඔහු සිය කැබිනට් මන්ඩලයට පත් කලේය.

මිලිටරිය අවසානයේ ඛාන් කෙරෙහි කලකිරී ඔහුව නෙරපා හැරීමට කොල එලිය දැල්වූයේ, ඒ 2022 පෙබරවාරියේ මොස්කව් වෙත ඔහුගේ සංචාරයත්, රුසියාව සමඟ එක්සත් ජනපදය-නැටෝව උසිගන්වන ලද යුද්ධයේ දී පකිස්ථානයේ “මධ්‍යස්ථභාවය” නොපමාව නිවේදනය කිරීම, වොෂින්ටනය සමඟ ඉස්ලාමාබාද්හි දැනටමත් නරක ලෙස බිඳ වැටී ඇති සබඳතා අනවශ්‍ය ලෙස අනතුරේ හෙලීමත් නිසා ය. ඛාන්, ජාමූඅ හි බලකිරීම මත 2022 ආරම්භයේ දී බලශක්ති සහනාධාරවල දැවැන්ත කප්පාදුවක් ප්‍රකාශයට පත් කල අතර, පසුව මහජන විරෝධය හමුවේ ඒවා ආපසු හැරවූ මුත්, එය ඔහුගේ ආන්ඩුව කෙරෙහි පාලක පන්තියේ විශ්වාසය දරුනු ලෙස පලුදු කලේය.

ඔහුගේ නෙරපා හැරීමේ සිට, විශේෂයෙන් නාගරික මධ්‍යම පන්තියේ කොටස්වල පීටීඅයි හි සම්ප්‍රදායික ඡන්ද පදනම මත තරමක මහජන සහයෝගයක් රඳවා ගැනීමට, සහ නැවත ලබා ගැනීමට පවා ඛාන් සමත් වී ඇත. ජනගහනයෙන් විශාල පිරිසක් මෙන්ම, කුඩා වෙලඳසැල් හිමියන්ගේ සිට මෑත කාලීන විශ්ව විද්‍යාල උපාධිධාරීන් දක්වා මෙම ස්ථර, පසුගිය දෙවසර තුල ඉහල යන මිල ගනන්, කඩා වැටෙන රුපියල සහ මහා විරැකියාව සහ ඌන සේවා නියුක්තිය ද ඇතුලුව වැඩෙන ආර්ථික අර්බුදයෙන් බැට කෑවේ ය.

ඔහු දේශපාලනිකව නොවැදගත් පුද්ගලයෙකුව සිටි වසර ගනනාව පුරා, ඛාන් 'පිටස්තරයෙකු' ලෙස ප්‍රතිරූපයක් නිර්මානය කර ගත් අතර, ඔහුගේ ආන්ඩුව බිඳ වැටීමට හේතු වූ කුමන්ත්‍රනකාරී යාන්ත්‍රනයන් දෙසට ඇඟිල්ල දිගු කරමින් එම ප්‍රතිරූපය ගසාකෑමට සහ ඔපදැමීමට ඔහු දිගටම උත්සාහ කලේය. ත්‍රස්තවාදී චෝදනා ඇතුලුව ඔහු සහ පීටීඅයි පක්ෂය මුහුන දුන් නෛතික පලිගැනීම් සම්බන්ධයෙන් වූ මහජන කෝපයෙන් සහ අනුකම්පාවෙන් ද ඔහු ප්‍රයෝජන ගත් බවට සැකයක් නැත; එසේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පාගා දමන, ඉන්දියාව සමඟ පකිස්තානයේ ප්‍රතිගාමී මිලිටරි-මූලෝපායික එදිරිවාදිකම් මත ජාතික අයවැයෙන් විශාල කොටසක් නාස්ති කරන, එය විසින් පාලනය වන සමාගම් මාලාවක් හරහා විශාල ධනය හා බලය රැස්කරගන්නා මිලිටරියට එරෙහි මහජන මනෝගතිය වර්ධනය වීමෙන් ද ඔහු ප්‍රයෝජන ගන්නට ඇත.

දැන් බොහෝ විට පාලනය කල නොහැකි බිහිසුනු පුද්ගලයෙකු ලෙස පාලක ප්‍රභූව විසින් හෙලා දකින ඛාන්, විටෙක මිලිටරිය සහ එක්සත් ජනපද හිරිහැර කිරීම් තියුනු ලෙස විවේචනය කර ඇත. එහෙත් ඔහු යලි යලිත් එවැනි ප්‍රකාශයන් ආපසු හරවාගැනීම පැහැදිලි කරන්නේ, ඒ දෙකම සමග වැඩ කිරීමට ඔහුගේ සූදානම සහ එක්සත් ජනපද-පකිස්තාන මූලෝපායික සන්ධානයට ඔහුගේ සහාය යි. 1950 ගනන්වල මුල් භාගයේදී කූට ලෙස සකස් කරන ලද එම සන්ධානයේ කේන්ද්‍රය, සෑම විටම පෙන්ටගනය සහ රාවල්පින්ඩි හි පිහිටි පාකිස්තාන හමුදා මූලස්ථානය අතර හවුල්කාරිත්වය විය.

පකිස්ථානයේ මීලඟ ආන්ඩුවේ දේශපාලන සංයුතිය කුමක් වුවත්, එය තම වැදගත්ම මූලෝපායික මිතුරන් දෙදෙනා වන එක්සත් ජනපදය හා චීනය අතර තීව්‍ර වන පූර්න පරිමානයේ මූලෝපායික ගැටුම තුල මුල් බැසගත්, විසඳිය නොහැකි භූ දේශපාලන අර්බුදය ජය ගැනීමට උත්සාහ කරන අතරම, කම්කරු පන්තිය හා ගම්බද ජනතාව සමග කටුක ගැටුමකට එලඹෙනු ඇත.

නිල වශයෙන් ප්‍රතික්ෂේප කලද, පකිස්තාන හමුදාව යුක්‍රේනයට වොෂින්ටනයේ නියමය පරිදි හොර පාරෙන් ආයුධ සපයන බව පුලුල්ව වාර්තා වේ.

පකිස්තානයේ බටහිර අසල්වැසියා වන ඉරානයට එරෙහිව සම්පූර්න යුද්ධයක් දියත් කිරීමේ අද්දරට වොෂින්ටනය එන්න එන්නම සමීප වීමත් සමඟ ඉස්ලාමාබාදය අශුභදායක මූලෝපායික උභතෝකෝටිකයකට තවත් සමීප වෙමින් තිබේ. මුල සිටම එවන් ගැටුමකට ඇදී යාමේ අවදානමක් ඇති එක්සත් ජනපදය සහ අනෙකුත් පකිස්තාන සහචරයින්, විශේෂයෙන්ම ගල්ෆ් රාජ්‍යයන්, සහයෝගය සඳහා ඉස්ලාමාබාද් වෙත හැරෙනු ඇත. අනෙක් අතට, චීනය සමග ගැටුමක් සඳහා සූදානම් වෙමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය බලශක්තියෙන් පොහොසත් මැදපෙරදිග යලි පිලියෙල කිරීම වැලැක්වීමට, අවසානයේ දී මිලිටරි මාධ්‍යයන් යොදා ගැනීමට බීජිනය උත්සාහ කරනු ඇත.

පකිස්තානය දැනටමත් වැඩ වර්ජන සහ ප්‍රති-වැඩ වර්ජනවල සුලි කුනාටුවකට ඇද දමා ඇත. ඉස්ලාමාබාද්, පසුගිය මාසයේ දී, සිය භූමියේ සිට ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන බලුකි බෙදුම්වාදීන්ට ඉරානය එල්ල කල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස, පකිස්තානයේ බලුකිස්තාන් පලාත වෙන් කිරීම සඳහා සටන් කරන කන්ඩායම් සමඟ සම්බන්ධ යැයි කියනු ලබන නැගෙනහිර ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කලේය.

දෙසැම්බරයේ, පකිස්තාන හමුදා මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර්, වොෂින්ටනයට කල සතියක සංචාරය අතරතුර, රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඇතුලු බයිඩන් පරිපාලනයේ සහ පෙන්ටගනයේ ඉහල තලයේ නිලධාරීන් හමුවූ අතර, ඒ ගැන ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ කර නැත.

Loading