ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් 'ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය' යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. 1960 ගනන් වල ආරම්භ කෙරුනු ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පදනම් වූ න්‍යායික හා දේශපාලන පදනම් පිලිබඳ මෙම විශ්ලේෂනය එදා මෙදා තුර ජවිපෙ ආරම්භය හා දිසාවනතිය පිලිබඳව ලියා පල කරන ලද එකම මාක්ස්වාදී විශ්ලේෂනයයි. 1970 අග, මෙම ලිපි මාලාව ග්‍රන්ථයක් ලෙස එලිදැක්වුනි

කීර්ති බාලසූරිය

ප්‍රථමයෙන්ම පලවන්නේ, එම ග්‍රන්ථයේ පලමුවන මුද්‍රනය සඳහා කතුවරයා විසින්ම ලියන ලද ප්‍රස්තාවනාවයි.

බාලසූරිය විසින් රචිත මෙම විශ්ලේෂනයේ දීප්තිමත් භාවය ජවිපෙ පසුගිය දශක කිහිපය තුල ක්‍රියාත්මක කල දේශපාලනයෙන් ඉතාම පැහැදිලිව සනාථ වී ඇති සැටි මෙම ලිපි හදාරන ඔබට තේරුම් යනු ඇත.

මුල් අවධියේ මාඕවාදී සහ කැස්ත්‍රෝවාදී ගොවි ගරිල්ලා මතවාදයන් වල ඒල්බීගත් සංවිධානයක් වූ ජවිපෙ සිංහල ස්වෝත්තමවාදය සමඟ තදින් බැඳී පැවති අතර කම්කරු පන්තියට පැවති විරුද්ධතවය ප්‍රකාශයට පත්වූයේ සුලු ධනේශ්වර වතු කම්කරු විරෝධයෙනි. පසුව ජවිපෙ කොලඹ ආන්ඩු දෙමල ජනයා ව්‍යසනයට ලක් කල වර්ගවාදී යුද්ධයේ ප්‍රධාන සහායකයෙක් වූ අතර 1988-90 කාලයේ කම්කරුවන්ගේ හා දේශපාලන විරුද්ධවාදීන්ගේ හිසට තුවක්කු තබා ඝාතනය කරමින් සිය ඉන්දියානු විරෝධී ෆැසිස්ට් පන්නයේ ක්‍රියාකලාපය ප්‍රදර්ශනය කලේය.

මේ වන විට ඒ් සියලු ප්‍රතිගාමීත්වයන් පසු කරමින්, ලෝක අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට සේවය කරන, ධනපති දේශපාලන සංස්ථාපිතයේ බවට පත්ව සිටින ජවිපෙ සිය දක්ෂිනාශික දේශපාලන ගමනේ ඉදිරියට ගොස් තිබේ.

මෙම පොත සිව්වන මුද්‍රනය නිකුත් කිරීමට ද කම්කරු මාවත ප්‍රකාශන අංශය පියවරගනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

2024 පෙබරවාරි

***

1970 දෙසැම්බර් 11 දින ප්‍රකාශයට පත් කෙරුනු පොතේ පිටකවරය

ප‍්‍රථම මුද්‍රනයේ ප‍්‍රස්තාවනාව

මේ පොතෙහි පල වන්නේ 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කාලය තුල විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සතිපතා සිංහල පත්‍රය වන කම්කරු පුවත්හි පල කරන ලද ලිපි මාලාවකි.

ජනතා විමුක්ති පෙරමුන පිලිබඳ මෙම විග්‍රහය, විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ සටනේ කේන්ද්‍රීය කටයුත්ත ලෙස පවතින, මාක්ස්වාදී න්‍යාය එහි සතුරන්ගෙන් ආරක්ෂා කර වැඩි දියුනු කිරීම සඳහා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගෙන යන අරගලයේ කොටසකි.

ප්‍රතිපත්ති විරහිත අවස්ථාවාදී දේශපාලනයක් ගෙන යන ජනතා විමුක්ති පෙරමුන මේ ලිපි මාලාව කෙරෙහි දැක්වූයේ යුක්ති සහගත භීතියකි. ඔවුන්ගේ දේශපාලනය මාක්ස්වාදයට සතුරු අවස්ථාවාදී දේශපාලනයක් බව අප එලිදරව් කරන විට ඔවුන් අපට පිලිතුරු දීමට යත්න දැරුවේ ඔවුන්ට ම ආවේනික සුලු ධනේශ්වර ආකාරයන්ගෙනි. කම්කරු පුවත් විකුනන සහෝදරසහෝදරියන්ට කීප අවස්ථාවක දී ම මැරවර බලයෙන් තර්ජනය කිරීමෙන් ඔවුහු ඔවුන්ගේ දේශපාලනයේ බංකොලොත් බවත් ඔවුන්ගේ න්‍යාය විරෝධී සුලු ධනේශ්වර වියරුවත් පෙන්නුම් කලහ.

කම්කරු පුවත් පත්‍රයට ඔවුන්ගේ මැරවර ප්‍රහාරය එල්ල වූයේ වර්තමාන ධනේශ්වර හවුල් ආන්ඩුව සියලු වාමාංශික සංවිධානයන්ගේ සෑම ප්‍රජාතාන්ත්‍රීය අයිතියකට ම තර්ජනය කර තිබූ තත්වයක දී ය. ආන්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරවලින් සෑම වාමාංශික හා කම්කරු සංවිධානයක් ම ආරක්ෂා කිරීමට කම්කරු පුවත් හා තොලොලර් සෙයිදි පත්‍ර මගින් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගෙන යමින් සිටි සටන කඩාකප්පල් කර ලීම හා ආන්ඩුව වෙනුවෙන් ආන්ඩුවේ අරමුනු ක්‍රියාවට දැමීම ජනතා විමුක්ති පෙරමුනේ එම ක්‍රියාවන්ගේ දේශපාලන තේරුම විය. මෙමගින් ඔවුන් ඉස්මතු වූයේ කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට කතා කිරීමට ඇති නිදහස ධනේශ්වර පන්තිය වෙනුවෙන් මර්දනය කරන නග්න ධනේශ්වර ඒජන්තයන් කොටසක් ලෙසිනි.

මේ ක්‍රියාවන් ඔවුන්ගේ සුලු ධනේශ්වර දේශපාලනය තුලින් ම ගලා එන බව මේ පොත කියවන පාඨකයන් වටහා ගනු නොඅනුමාන ය.

එමෙන් ම මෙහි ලා සඳහන් කල යුතු තවත් දෙයක් ඇත. එනම්, ජනතා විමුක්ති පෙරමුනට විරුද්ධ අපගේ දේශපාලන සටන ඔවුන්ට කතා කිරීමට ඇති අයිතියට විරුද්ධ සටනක ස්වරූපයෙන් අප මොන ම අවස්ථාවක දී වත් ගෙන ගියේ හෝ ගෙන යන්නේ හෝ නැති බව යි. ජනතා ව්‍යාපාරය තුල සිටින තම විරුද්ධවාදීන්ට එරෙහිව ඒ අයුරින් ක්‍රියා කිරීමේ සම්ප්‍රදායන් මාක්ස්වාදී ව්‍යාපාරයට උරුම නැත.

ඊට විපරීත ලෙස, ධනේශ්වර රාජ්‍යයෙන් ජනතා විමුක්ති පෙරමුනට තර්ජනයක් එල්ල වන විට ඔවුන්ට කතා කිරීමට, ලිවීමට හා පෝස්ටර් ඇලවීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා කිසි ම පැකිලීමකින් තොරව පෙරමුන ගත්තේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය හා විප්ලවවාදී කොමියුනිස්ට් තරුනයන් ය. දේශපාලනිකව ඔවුන්ට කිසි ම සහනයක් නො දී ම අපි ඔවුන් ධනපති රාජ්‍යයෙන් ආරක්ෂා කලෙමු.

පසු ගිය යූඇන්පී ආන්ඩු සමයේ ජනතා විමුක්ති පෙරමුන කලඑලි නොබැස සිටි කාලයේ දී ආන්ඩුවේ මර්දනයෙන් හා ස්ටැලින්වාදීන්ගේත් සමසමාජවාදීගේත් නිවට මඩ ගැසීම්වලින් ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අප ක්‍රියාත්මක වීම නිසා ලංකාවේ මාඕවාදී ස්ටැලින්වාදීන්ගේ (ෂන්මුගදාසන්ගේ පක්ෂයේ) කම්කරුවා පත්‍රය අපට පහර දුන් බවත් සඳහන් කල යුතු ය.

යූඇන්පී ආන්ඩු සමයේ දී හා තුන් හවුල් ආන්ඩුව බලයට පත් වූ පසුව ජනතා විමුක්ති පෙරමුනට කතා කිරීමට හා සංවිධානය වීමට ඇති මූලික අයිතිය වෙනුවෙන් කම්කරු පුවත් පත්‍රය උද්ඝෝෂනය කල ආකාරය අපේ පාඨකයන්ට බලා ගැනීම සඳහා ඒ උද්ඝෝෂනය සම්බන්ධව කම්කරු පුවත්හි පල වූ ලිපි කීපයක් උපග්‍රන්ථය [I] වශයෙන් මේ පොතේ අග උපුටා දක්වා ඇත.

කම්කරු හා ජනතා ව්‍යාපාරය තුල සිටින තම දේශපාලන විරුද්ධවාදීන්ට විරුද්ධව සටන් කරන අතරම ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමට හා සංවිධානය වීමට ඇති අයිතිය වෙනුවෙන් පන්ති සටනේ ක්‍රමයෙන් සටන් කිරීම කම්කරු පන්ති ව්‍යාපාරයේ ඉතිහාසයේ පොහොසත් ම සම්ප්‍රදායන්ට අනුකූල වේ. මේ පොහොසත් පන්ති සම්ප්‍රදායන් අද අන්තර්ගතව ඇත්තේ ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල පමනි. ජනතා විමුක්ති පෙරමුන වැනි සංවිධානයක් තුල ඒවා සොයන්ට යාම අතිශයින් ම නිෂ්ඵල ය. කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කරන සංවිධානයක් කම්කරු පන්ති සම්ප්‍රදායන් කෙරෙහි පිලිකුල් සහගත ආකල්පයක් ගැනීම ගැන පුදුම විය යුතු නැත.

අපේ සංවිධානයට කතා කිරීමට ඇති අයිතියට ධනේශ්වර රජයත් සමග එක්ව පහර දෙමින් තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුන උත්සාහ කලේ ධනේශ්වරයේ ප්‍රචන්ඩ බලය ඉදිරියේ නගුට හකුලා ගෙන අඳෝ නා නැගීමෙන් හා ධනේශ්වර පන්තියට ඔවුන්ගෙන් සිදු වන යහපත පෙන්වා දීමෙනි.

සභාග ආන්ඩුව ඔවුන්ට එල්ල කරන පහර වඩා ඉහල මට්ටම්වලට සේන්දු වත් ම, තමන්ගෙන් “සමගි රජයට” හානියක් නැති බවත් රජයේ ආරක්ෂාව පැතිය යුත්තේ සන්නද්ධ හමුදාවන්ගෙන් නො ව තමන්ගෙන් බවත් කිසි ම විලිලජ්ජාවක් නැතිව ඔවුහු ප්‍රකාශ කලහ. ඔවුන්ගේ ජනතා විමුක්ති පත්‍රයෙන් ම අපි මෙම බඩ දඟලන නින්දනීය ප්‍රකාශයන් උපුටා දක්වමු:

... ජනතා විමුක්ති පෙරමුන විනාශ කරන තුරු සමගි පෙරමුනු රජයට සතුරුකම් කිරීමේ භයානක අන්තරායදායක බව පිලිගෙන සිටින එම ප්‍රතිගාමී නිලධාරීහු අප පිලිබඳව අපේ වැඩ කටයුතු පිලිබඳව රජය බිය ගන්වන බොරු වාර්තා ඉදිරිපත් කොට අපට ගැසීමට ආන්ඩුව උසි ගන්වති. අපට ගසා අප විනාශ කල පසුව ඔවුන්ගේ ඊලඟ කාර්යය, එනම් සමගි පෙරමුනු රජය බලයෙන් පහ කිරීමේ කාර්යයට ඔවුන් මාවත පාදා ගන්නවා නොඅනුමාන ය. රජය දිවා රෑ වෙහෙසෙන්නේ මේ ප්‍රතිගාමීන් ලවා විනාශය ලඟා කරවා ගැනීමට ද?

... සමගි රජය ආරක්ෂා කර ගැනීමට පිහිට පැතිය යුත්තේ අධිරාජ්‍යවාදීන්ට සේවය කරන පිනිස ගොඩ නගා ඇති සන්නද්ධ හමුදාවලින් හා පොලීසියෙන් නො වේ. නිර්ධන පංති ජනතාවගෙනි. අපි ඒ බව ආන්ඩුවට අවධාරනයෙන් මතක් කර සිටිමු! (1970 සැප්තැම්බර් 5 වන දා ජනතා විමුක්ති, අවධාරනය මුල් ලිපියේ).

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා සටනේ දී ඔවුන් සතුව ඇති අද්විතීය වාර්තාව එය යි. ධනේශ්වර ආන්ඩුවක් කම්කරු පන්තියට හා ජනතා ව්‍යාපාරයට පහර දෙන විට එම ධනේශ්වර ආන්ඩුවට ආරක්ෂාව සැලසෙන්නේ තමන්ගෙන් බව ප්‍රකාශ කර ඇති වෙනත් “විප්ලවවාදී” යැයි කියා ගන්නා සංවිධානයක් ලෝකයේ මොන ම රටක වත් තිබුනේ ද යන්න සැක සහිත ය.

ඔවුන්ගේ නිවටකම් පිලිබඳ වාර්තාව එතැනින් අවසාන නැත. යූඇන්පී ආන්ඩු සමයේ දී ඔවුන්ට විරුද්ධව යූඇන්පියට ඔත්තු සැපයූ ටී.බී. ඉලංගරත්නගේ කුමන්ත්‍රනකාරී ක්‍රියා කලාපය ආවරනය කර රහස් පොලීසිය විශ්වාස නො කරන ලෙස ටී.බී. ඉලංගරන්නගෙන් ඉල්ලා සිටීමට පවා ඔවුහු ඉදිරිපත් වූහ:

... ප්‍රතිගාමී හත් හවුල් ආන්ඩුව වෙනස් වී වඩා ප්‍රගතිශීලි ආන්ඩුවක් ඇති වුවත් ප්‍රතිගාමී සන්නද්ධ හමුදාව වෙනස් වී ප්‍රගතිශීලී සන්නද්ධ හමුදාවක් ඇති නොවූ බව ජනතාවත් ආන්ඩුවත් තරයේ සිහියට ගත යුතු ය.

මෙයට හොඳ ම උදාහරනයක් නම් රජයේ වගකිව යුතු ඇමතිවරයෙකු වන ගරු ටී.බී. ඉලංගරත්න මහතා තමන්ගේ සුවච ආරක්ෂකයින් යැයි සිතු රහස් පොලීසියට කිවූ වැදගත් රහසක් එදා ම හිටපු රාජ්‍ය ඇමති ජේ.ආර්. ජයවර්ධන මහතාට දැන ගැනීමට ලැබී පාර්ලිමේන්තුවේ දී රහස එලි කිරීම යි. රහස් පොලීසියේ රහස් මෙසේ ජේ.ආර්. ජයවර්ධන මහතාට දැන ගැනීමට ලැබෙන්නේ කෙසේ දැයි ජනතාව තුල කුතුහලයක් ඇති වී තිබේ. (1970 සැප්තැම්බර් 5 වන දා ජනතා විමුක්ති කතුවැකිය, අවධාරනය මුල් ලිපියේ).

ජේ.ආර්. ජයවර්ධන හා ඉලංගරත්නලාත් රහස් පොලීසිය හා හමුදාවත් සිටින්නේ එක ම ප්‍රතිවිප්ලවයේ කඳවුරේ බව ජනතාවට වසං කර ඉලංගරත්න හා ජේ.ආර්. ජයවර්ධන “ප්‍රගතිශීලී”හා “ප්‍රතිගාමී” කඳවුරු දෙකකට ඇද ලීමට ඔවුන් මෙසේ නින්දිත ලෙස යන්න දරන විට ඉලංගරත්නලා ඇතුලු ධනපති කැබිනෙට්ටුවත් රහස් පොලීසියත් කෙලින් ම පෙරට ගෙන ගියේ යූඇන්පිය ජනතා විමුක්ති පෙරමුන සම්බන්ධයෙන් අනුගමනය කල මෘග ප්‍රචන්ඩ ප්‍රතිපත්තිය ම ය. එමෙන් ම, තුන් හවුල බලයට ඒමට පෙර දීත් ඉලංගරත්න සිටියේ ජනතා විමුක්ති පෙරමුනට විරුද්ධව යූඇන්පිය සමග ය. මේ තත්වය තුල ඉලංගරත්නගේ “රහස්” ජේ.ආර්. ජයවර්ධන දැන ගැනීම ගැන මවිතයක් ඇති විය හැක්කේ ජනතා විමුක්ති පෙරමුන බඳු සුලු ධනේශ්වර මුග්ධයන් පිරිසකට විනා පන්ති හැඟීමෙන් යුත් කම්කරුවන්ට නම් නො වේ.

ධනේශ්වර රාජ්‍යයට විරුද්ධව ජනතාව බලමුලු ගැන්වීම සඳහා කරන සටනක් ලෙස නො ව ජනතාව ධනේශ්වර රාජ්‍යයට පාවා දී තමන් බේරී සිටීමේ “සටනක්” හැටියට ඔවුහු ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් සඳහා “සටන” ගෙන ගියහ.

වර්තමාන හවුල් ආන්ඩුව ධනේශ්වර ආන්ඩුවක් ලෙස සංලක්ෂනය කරනු වෙනුවට මේ ආන්ඩුවේ පන්ති ස්වභාවය සම්බන්ධ ප්‍රශ්නය යට ගැසීමට ජනතා විමුක්ති පෙරමුන දරන උත්සාහය ඉහත කී සිදුවීම්වලින් වඩා නග්න ලෙස එලිදරව් වුනි. සභාග ආන්ඩුව “ප්‍රගතිශීලී” ආන්ඩුවක් බව කීමෙන් මේ ආන්ඩුවේ පන්ති ස්වභාවය ගැන ඇති කර ගත හැක්කේ කුමන වැටහීමක් ද?

වර්තමාන ආන්ඩුව ධනපති ආන්ඩුවක් ද නැත් නම් කම්කරු ගොවි ආන්ඩුවක් ද යන ප්‍රශ්නයට විවෘත පිලිතුරක් සැපයීමට ජනතා විමුක්ති පෙරමුනට ඇත්තේ පුදුම භීතියකි. එම භීතිය අන් කිසිවක් නො ව ධනේශ්වරයෙන් හුදෙකලා වීමට ඔවුන්ට ඇති භීතිය ම යි.

“ප්‍රගතිශීලී ආන්ඩුවක් ඇති වුවත් ප්‍රගතිශීලී සන්නද්ධ හමුදාවක් ඇති නොවුන” බව ගැන ජනතා විමුක්ති පෙරමුන කියන කතාව මේ ආන්ඩුව ගැන හා එහි පන්ති කටයුත්ත ගැන ජනතා විමුක්ති පෙරමුනට ඇති මිථ්‍යා විශ්වාසයත්, නිර්ධන පන්ති විප්ලවයකින් තොරව “පුලුවන් නම් මේ ආන්ඩුව ම සමාජවාදය දෙසට තල්ලු කිරිමට” මධ්‍යම පන්තියට ඇති මායාවන් ඔවුන් තුල කිඳා බැස ඇති මට්ටමත් පෙන්නුම් කරයි.

ජනතා විමුක්ති පෙරමුනටත් විප්ලවයක් අවශ්‍ය ය; ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය සුලු ධනේශ්වරයන්ගේ අවශ්‍යතාවන්ට අනුව වෙනස් කර ගැනීමත් අවශ්‍ය ය; එමෙන් ම වර්තමාන ධනේශ්වර ආන්ඩුව ලවා ම එය කරවා ගැනීමත් අවශ්‍ය ය. ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය ජනසතු කරන ලෙස මේ ධනේශ්වර ආන්ඩුවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ එබැවින් ය.

ධනේශ්වර රාජ්‍යය යනු ධනපති පන්තියේ පන්ති ඒකාධිපතිත්වය විසින් පීඩිත ජනතාවට විරුද්ධව ප්‍රචන්ඩ බලය යෙදීමට පාවිච්චි කරනු ලබන උපකරනය යි. මේ උපකරනය කම්කරු පන්තිය විසින් කුඩු පට්ටම් කර, විනාශ කර දමා ඒ වෙනුවට නව නිර්ධන පන්තික රාජ්‍ය යන්ත්‍රයක් ගොඩ නගන තුරු ධනපති පන්තියේ පන්ති ඒකාධිපතිත්වය පවතී.

ධනේශ්වර ආන්ඩු විසින් ඉටු කරනු ලබන්නේ විවිධ ප්‍රතිපත්ති මත එම රාජ්‍ය යන්ත්‍රය ක්‍රියාත්මක කරවීමේ හා හැසිරවීමේ කටයුත්ත පමනි. ඕනෑ ම ධනපති ආන්ඩුවක වුව ප්‍රතිපත්ති ධනපති පන්තියේ පොදු අවශ්‍යතාවට පටහැනිව යන විට එය ඉවත් කර දමා තමන්ට අවශ්‍ය ආන්ඩුව යොදා ගැනීමට ධනපති පන්තියට ඇති හැකියාව ඔවුන් පාලක පන්තිය වශයෙන් සිටින තාක් දුරට ඔහුගෙන් උදුරා ගත නොහැකි ය. ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය විනාශ කර දැමිය හැකි වන්නේ කම්කරු පන්තිය පාලක පන්තිය බවට පත් වීමෙන් පමනි. රාජ්‍යය හා විප්ලවය කෘතියෙහි ලෙනින් පැහැදිලි කල පරිදි:

ධනේශ්වර පාලනය පෙරලා දැමීම පරිපූර්න කිරීමට හැකියාව ඇත්තේ, තම පැවැත්මේ ආර්ථික තත්වයන් විසින් එම කටයුන්ත සඳහා සූදානම් කර ඇති හා එය ඉටු කිරීමේ බලයෙන් හා හැකියාවෙන් යුතු විශේෂ පන්තිය වන නිර්ධන පන්තියට පමනි. ධනේශ්වර පන්තිය, ගොවීන් හා සියලු ම සුලු ධනේශ්වර කොටස් කඩා බිඳ විසුරුවා හරින අතර ම එය (ධනේශ්වරය) නිර්ධනීන් එකට ගොනු කර සංවිධානය කරයි.

ධනේශ්වර පන්තිය විසින් නිර්ධනීන්ටත් වඩා දරුනු ලෙස සූරා කනු ලබන, මර්දනය කරනු ලබන හා පොඩි පට්ටම් කරනු ලබන, එනමුත් තම විමුක්තිය සඳහා ස්වාධීනව සටනක් ගෙන යාමට හැකියාවක් නැති සියලු ම වැඩ කරන හා සූරා කැවෙන ජනතාවන්ගේ නායකයා වීමට හැකියාව ඇත්තේ මහා පරිමාන නිෂ්පාදනයේ දී තමන් ඉටු කරන ආර්ථික කටයුත්තෙන් ම සුදුසුකම් ලබා ඇති නිර්ධන පන්තියට පමනි.

රජය හා සමාජවාදී විප්ලවය පිලිබඳ ප්‍රශ්නයට මාක්ස් විසින් යොදනු ලැබූ පන්ති සටන් න්‍යාය අවශ්‍යයෙන් ම මෙහෙයවෙන්නේ නිර්ධන පන්තියේ දේශපාලන පාලනය, එහි ඒකාධිපතිත්වය පිලිගැනීමට ය. එම ඒකාධිපතිත්වය යනු ආයුධ සන්නන්ධ වූ ජනතාවගෙන් කෙලින් ම පිටුබලය ලබන නො බෙදිය හැකි බලය යි. ධනේශ්වරය පෙරලා දැමිය හැකි වන්නේ නිර්ධන පන්තිය පාලක පන්තිය වීමෙන් පමනි (ලෙනින්, එකතු කල කෘති, 25 වන වෙලුම, 411-12 පිටු, අවධාරනය ලෙනින්ගේ).

(මෙහි එන ලෙනින්ගේ සියලු උධෘතයන් ගන්නා ලද්දේ මොස්කව්හි ප්‍රගති ප්‍රකාශකයන් විසින් පල කරන ලද ලෙනින්ගේ එකතු කල කෘතිවල සිව් වන රුසියානු සංස්කරනයේ ඉංග්‍රීසි පරිවර්තනයෙනි).

රාජ්‍යය පිලිබඳ ලෙනින්ගේ එම න්‍යාය හා “රාජ්‍ය යන්ත්‍රය ජනසතු කිරිම” පිලිබඳ ජනතා විමුක්ති පෙරමුනේ සුලු ධනේශ්වර න්‍යාය අතර කිසි ම සම්බන්ධයක් නොමැති අතර ජනතා විමුක්ති පෙරමුනේ තකතිරු මනෝරාජික අදහස කෙලින් ම ගලා එන්නේ ධනපති පන්තියත් සමග ඇති බැඳීම්වලින් වෙන් වී ක්‍රියා කිරීමටත් සිතීමටත් ඔවුන්ට ඇති සම්පූර්න නොහැකියාවෙන් ය. ධනවාදයේ අර්බුදය සුලු ධනේශ්වරයන් ධනපති ක්‍රමය සමග ගැටීමකට තල්ලු කර දමා ඇතත් ධනපති පන්තියෙන් වෙන් වීමට ඔවුන්ට කිසි ම පුලුවන්කමක් නැති බව මීටත් වඩා හොඳින් ප්‍රදර්ශනය වූ අවස්ථාවන් ඇත් නම් ඒ ස්වල්පයකි.

රාජ්‍යය පිලිබඳ සිය සුලු ධනේශ්වර “න්‍යාය” තුලින් ජනතා විමුක්ති පෙරමුන මග හරින්නේ කම්කරු පන්තිය පාලක පන්තිය බවට පත් නො වී ධනපති රාජ්‍ය යන්ත්‍රය නැතිභංග කල නොහැකි ය යන සත්‍යය යි.

ධනේශ්වර පන්තිය පාලක පන්තිය වශයෙන් පවතිද්දී ම ඔවුන්ගේ රාජ්‍ය යන්ත්‍රය ජනතාවට ලබා දෙන ලෙස මේ ආන්ඩුවෙන් අයැදීම මොට මනෝරාජික අදහසක් පමනක් නො වේ. එය අන්ත ප්‍රතිවිප්ලවවාදී අදහසකි.

ජනතා විමුක්ති පෙරමුනේ සටන් පාඨයෙන් සැබවින් ම ඉටු කරනු ලබන්නේ ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කිරීමට මේ ආන්ඩුව ගන්නා සෑම පියවරක් ම ආවරනය කර, මේ රටේ ජනතාව මේ ආන්ඩුවට ගැට ගැසීම යි.

ධනේශ්වර පන්තිය පාගා දමා උන්ගේ දේපල අස්වාමික කිරීමට, උන්ට ප්‍රතික්‍රියා කිරීමට ඇති සෑම ඉඩක් ම අහුරා දැමීමට පමනක් නිර්ධන පන්තියට අවශ්‍ය රාජ්‍ය යන්ත්‍රය ධනපති ආන්ඩුවකින් “ඉල්ලා ගත” හැකි දෙයක් නො වේ. මාක්ස් මේ සම්බන්ධයෙන් දැරූ අදහස නැවත ලියමින් ලෙනින් කියූ පරිදි:

පැරනි රාජ්‍ය යන්ත්‍රය නව අත්වලට මාරු වී යන අයුරින් කම්කරු පන්තියට රාජ්‍ය බලය දිනා ගත නොහැකි අතර, කම්කරු පන්තිය මේ යන්ත්‍රය කඩා විනාශ කර දමා ඒ වෙනුවට අලුත් රාජ්‍ය යන්ත්‍රයක් ගොඩ නැගිය යුතු ය (ලෙනින්, එකතු කල කෘති, 25 වන වෙලුම, 484 පි.).

මෙම නිර්ධන පන්තික රාජ්‍ය යන්ත්‍රය ගොඩ නැගීම කම්කරු පන්තිය පාලක පන්තිය හැටියට සංවිධානය වීමත් සමග කෙලින් ම බැඳී ඇත. කම්කරු පන්තිය පාලක පන්තිය බවට පත් වීමේ අවශ්‍යතාව යට ගසා රාජ්‍ය යන්ත්‍රය “ජනතාව සතු කර ගැනීම” සම්බන්ධව ඉදිරිපත් වන සෑම පිස්සු විකාර අදහසක් ම නිර්ධන පන්තියේ පන්ති ඒකාධිපතිත්වය ප්‍රතික්ෂේප කරන අදහසක් වන්නේ ය.

කම්කරු පන්තිය පාලක පන්තිය වීම සම්බන්ධ අදහස යට ගැසීම මුලු මාක්ස්වාදයේ ම හරයට විරුද්ධව යාමක් බව පෙන්වූ ලෙනින් තම රාජ්‍යය හා විප්ලවය කෘතියේ දී මේ කරුන විශේෂයෙන් ම අවධාරනය කලේ ය. රාජ්‍යය සම්බන්ධ මාක්ස්වාදී අදහස පැහැදිලි කිරීමේ දී ලෙනින් රාජ්‍යය හා විප්ලවයේ සටහන් කල ඇතැම් දෑ යලි උපුටා දැක්වීම වැදගත් ය.

කම්කරු රාජ්‍යය යනු කුමක් ද යන්න විස්තර කිරීමට මාක්ස්ගේ හා එංගල්ස්ගේ කොමියුනිස්ට් ප්‍රකාශනයෙන් පාඨයක් උපුටා දක්වන ලෙනින් ඉන් පසුව එහි හරය අවස්ථාවාදීන් විසින් විකෘත කර ඇති ආකාරය පෙන්වයි:

...ධනේශ්වරයන්ගේ සියලු ම ප්‍රාග්ධනය ඉවත් කිරීම සඳහා, සියලු ම නිෂ්පාදන උපකරනයන් රාජ්‍යයේ, එනම් පාලක පන්තිය හැටියට සංවිධානය වූ නිර්ධන පන්තියේ ආධිපත්‍යය යටතේ මධ්‍යගත කර ගැනීම සඳහා හා හැකි වේගවත් ම අයුරෙන් සම්පූර්න නිෂ්පාදන බලවේගයන් ඉහල දැමීම සඳහා තම දේශපාලන ආධිපත්‍යය නිර්ධනීන් විසින් යොදා ගැනෙනු ඇත.

අනතුරුව ලෙනින් මෙම පාඨය විස්තර කරයි.

මෙහි දී අපට දකින්නට ඇත්තේ රාජ්‍යය, එනම් 'කම්කරු පන්තියේ ඒකාධිපතිත්වය” පිලිබඳ මාක්ස්වාදයේ ඉතා මත් ම වැදගත් ම සහ විශිෂ්ට ම අදහසක් ක්‍රමවත්ව දැක්වීමක් හා එමෙන් ම මාක්ස්වාදයේ “අමතක කරන ලද තවත් අදහසක්' වන රාජ්‍යය ගැන ඉතා මත් වැදගත් අර්ථදැක්වීමක් ද වේ: රාජ්‍යය, එනම් කම්කරු පන්තිය පාලක පන්තිය හැටියට සංවිධානය වීම.

රාජ්‍යය පිලිබඳ මෙම අර්ථදැක්වීම නිල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල, උද්ඝෝෂන හා ප්‍රචාරක සාහිත්‍යයෙහි කිසි ම දිනක විග්‍රහ කර නොමැත; එපමනක් නො වේ. එය හිතාමතා ම අත හැර දමා ඇත. මක් නිසා ද යත් එය ප්‍රතිසංස්කරනවාදයත් සමග කිසි සේත් ම නො පෑහිය හැකි බැවිනි....

නිර්ධනීන්ට රාජ්‍යය අවශ්‍ය ය. මෙය පුනරුච්චාරනය කරන සියලු ම අවස්ථාවාදීහු, සමාජ දේශව්‍යාප්තවාදීහු සහ කෞට්ස්කිවාදීහු මාක්ස් ඉගැන්වූයේ මෙය බව අපට සහතික කරති. එනමුත් ප්‍රථමයෙන් ම මාක්ස්ට අනුව නිර්ධනීන්ට අවශ්‍ය වන්නේ අතුරුදන් වන රාජ්‍යයක් පමනක් බවත් දෙවනුව 'නිර්ධන පන්තිය පාලක පන්තිය හැටියට සංවිධානය වූ රාජ්‍යයක්” බවත් එයට එක් කිරීමට ඔවුහු අමතක කරති (ලෙනින්, එකතු කල කෘති, 25 වන වෙලුම, 402 පි., අවධාරනය ලෙනින්ගේ).

ජනතා විමුක්ති පෙරමුන නිර්ධන පන්තියේ පන්ති ඒකාධිපතිත්වය ප්‍රතික්ෂේප කිරීම කම්කරු පන්තියේ විප්ලවවාදී ක්‍රියා කලාපය ප්‍රතික්ෂේප කිරීමත් සමග එකට බැඳී ඇත. කම්කරු පන්තිය පාලක පන්තිය බවට පත් වීම පිලිබඳ අදහස ඉවත වීසි කර දමා අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයට විරුද්ධව සටන් කිරීමට යැයි ඉදිරිපත් කරන සෑම අදහසක් ම පුහු පූච්චානම් ඇද බෑමක් හා ක්‍රියාවේ දී ධනපති පන්තියේ පන්ති ඒකාධිපතිත්වය පිලිගැනීමකි.

තම සංවිධානයට කතා කිරීමට හා පැවතීමට ඇති අයිතියට ධනපති පන්තියෙන් පහර වදින විට වර්තමාන ධනපති ආන්ඩුව තුලින් තම නිදහස “දිනා ගැනීමට” ජනතා විමුක්ති පෙරමුන මෙහෙයවී ඇත්තේ එබැවින් ය.

මේ ප්‍රතිපත්තියට සහමුලින් ම වෙනස් ලෙස නිර්ධන පන්තිය පාලක පන්තිය බවට පත් වී පීඩිත ජනතාවගේ සහයෝගය ඇතිව නිර්ධන පන්තියේ ආඥාදායකත්වය ස්ථාපනය කිරීම සම්බන්ධ ප්‍රශ්නය ලංකාවේ කම්කරු පන්ති ව්‍යාපාරය තුල ඉස්මතු කර ඇත්තේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පමනි.

සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂයන්ට වර්තමාන ධනේශ්වර ආන්ඩුවෙන් වෙන් වීමට බල කිරීමටත් සියලු ම වාමාංශික හා කම්කරු සංවිධානයන්ගේ ආන්ඩුවක් සඳහාත් අප ගෙන යන උද්ඝෝෂනය කෙලින් ම එල්ල වී ඇත්තේ පාරම්පරික “වාමාංශික” ව්‍යාපාරය ධනේශ්වරයේ පන්ති පාලනයට අභියෝග නොකරන බව කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට ඒත්තු ගැන්වීමට ය.

කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩ නැගිය හැකි වන්නේ ධනේශ්වර පන්තියට, එහි පක්ෂයන්ට හා එහි රාජ්‍ය යන්ත්‍රයට විරුද්ධව සංවිධානය වුන කම්කරු පන්තියේ නායකත්වය යටතේ ගොනු කරන ලද සියලු ම පීඩිත ජන කොටස් ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය කුඩු පට්ටම් කර විනාශ කර දමා කම්කරු පන්තියේ පන්ති ඒකාධිපතිත්වය තහවුරු කිරීමෙන් පමනි.

ධනපති රාජ්‍යයට, ධනපති පන්තියට හා එහි පක්ෂයන්ට විරුද්ධව කම්කරුවන් සංවිධානය කිරීමට මේ රට තුල ඇති ප්‍රධානතම බාධකය නම් සමසමාජවාදී-ස්ටැලින්වාදී දේශපාලනය යි. කම්කරු පන්තිය ධනපති දේශපාලන පක්ෂවලටත් එමගින් ධනපති ආන්ඩුවටත් ගැට ගසා ඇත්තේ මේ දේශපාලනය විසිනි. මේ දේශපාලනයට විරුද්ධව කරන සටනකින් තොරව සිය රාජ්‍යය පිහිටුවීම සඳහා කම්කරු පන්තිය ස්වාධීනව මෙහෙයවීමක් සිදු වන්නේ නැත.

පොත මුලුමනින් ම කැප කර ඇත්තේ කම්කරු පන්තිය ධනපති පන්තියෙන් ස්වාධීන කර ගැනීම සම්බන්ධ එම ප්‍රශ්නයට ය; හතර වන ජාත්‍යන්තරයේ සංක්‍රමන ක්‍රියා මාර්ගයෙහි ට්‍රොට්ස්කි සඳහන් කල වචනවලින් කිව හොත්, “නිර්ධන පන්තියේ නායකත්වය පිලිබඳ ඓතිහාසික අර්බුදය විසඳීම” සම්බන්ධ ප්‍රශ්නයට ය.

විජිත හා අර්ධ විජිත රටවල නිර්ධන පන්ති නායකත්වයේ අර්බුදය සම්බන්ධ ප්‍රශ්නය විශේෂයෙන් ම ඉස්මතු කරන මෙම ලිපි මාලාව මෙම නායකත්වයේ අර්බුදය “විසඳීම” සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුන බඳු සුලු ධනේශ්වර ප්‍රතිසංස්කරනවාදීන් ඉදිරිපත් කර ඇති අදහස්උදහස් විග්‍රහ කිරීමට මුලුමනින් ම වාගේ යොමුව ඇත.

මේ රටවල් තුල විප්ලවයේ නායකත්වය සම්බන්ධ ප්‍රශ්නය “සන්නද්ධ අරගලයේ මාවත ද? නැත් නම් සාමකාමී මාවත ද?” යන අතිසරල ආකාරයෙන් මතු කිරීම විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමේ ඇත්ත ප්‍රශ්නයන් යට ගැසීමට සුලු ධනේශ්වර සංශෝධනවාදීන් දරන උත්සාහයක් පමනක් පෙන්නුම් කරයි.

මාඕ සේතුංගෙන් හා චීන විප්ලවයෙන් අත්දැකීම් ලැබුයේ යැයි කියන බොහෝ කොටස් විප්ලවය සම්බන්ධ ප්‍රශ්නය කෙසේ හෝ ගෙන යා යුතු දීර්ඝ “මහජන යුද්ධයක්” නැත් නම් වෙන වර්ගයක සන්නද්ධ සටනක් පමනක් බවට පත් කිරීමට මහන්සි ගනිති. එම උත්සාහයන් හා විප්ලවය පිලිබඳ මාක්ස්වාදී අදහස් අතර කිසි ම සම්බන්ධයක් ඇත්තේ නැත.

පන්තීන් අතර පවතින අන්තර් සම්බන්ධතාවන් හා ඒවායේ කටයුතු පිලිබඳව කෙරෙන අතිශයින් ම වෛෂයික තක්සේරුවකින් තොරව විප්ලවය සම්බන්ධ ප්‍රශ්නය ඉස්මතු කිරීම වත් කල නොහැකි ය.

මේ රටවල විප්ලවය නිකම් ම සන්නද්ධ සටනක් බවට පත් කිරීමට උත්සාහ දරන්නවුන් යට ගසන්නේ විප්ලවයේ දී නායකත්වය දිය හැකි පන්තිය කුමක් ද, එම පන්තිය අනෙකුත් පීඩිත පන්තීන් සමග ඇති කර ගත යුතු සන්ධානය කුමක් ද, මේ සන්ධානය කුමන ප්‍රතිපත්ති මත ගොඩ නැගිය යුතු ද යන බැරෑරුම් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයන් ය.

එමෙන් ම 1871 පැරිස් කොමියුනයේ සිට අද දක්වා කාලය තුල කම්කරු පන්තිය ගෙන ගොස් ඇති අරගලයන් සියල්ලේ අත්දැකීම් වටහා ගැනීමට හෝ ඒවා විස්තර කිරීමට හෝ “නිකම් ම සන්නද්ධ අරගලයේ න්‍යායන්ට” හෝ “ගමේ සිට නගරයට විප්ලවය පැතිරවීමේ න්‍යායන්ට” කිසි ම පුලුවන්කමක් නැත.

සාමකාමී විදිවලින් කම්කරු පන්තියට බලය පැහැර ගත නොහැකි බව ගැන මාක්ස්වාදීන් අවධාරනය කරන අදහසට ආයුධ සන්නද්ධ වූ පමනින් ජයග්‍රහනය සිකුරු ය යන මොට්ට සූත්‍රයත් සමග මෙලොව සම්බන්ධයක් ඇත්තේ නැත.

තම අත්වල ආයුධ තිබිය දීත් කම්කරු පන්තිය ධනේශ්වරය අතින් තැලුම් කා පොඩි පට්ටම් වූ විප්ලවයන්ගේ අත්දැකීම් ගැන කිසි යම් ම හෝ ගරුත්වයක් ඇති අයෙකුට එබඳු අදහස් ඉදිරිපත් කල නොහැකි ය.

1936-39 දක්වා කාලය තුල ප්‍රැන්කෝගේ ෆැසිස්ට් හමුදාවන්ට විරුද්ධව දීර්ඝ හා කටුක සිවිල් යුද්ධයක් ගෙන ගිය ස්පාඤ්ඤ කම්කරු පන්තිය පරාජයට පත් වූයේ ඔවුන් “සන්නද්ධ අරගලයේ මාවතට” නොපිවිසි නිසා ද? 1927 චීනයේ සිදු වූ පරාජය “සන්නද්ධ නොවීම නිසා” ඇති වූවක් ලෙස විස්තර කල හැකි ද? එමෙන් ම දෙවන ලෝක යුද්ධාවසානයත් සමග කුලු ගැන්වුන විප්ලවීය අර්බුදය තුල යුරෝපයේ හා ආසියාවේ බොහෝ රටවල කම්කරු පන්තිය ධනේශ්වර සතුරාට මුහුන දුන්නේ නිරායුධව ද? අද මැද පෙරදිග මුලු ගරිල්ලා ව්‍යාපාරය ම විනාශයට පත් වීමට තුඩු දී ඇත්තේ “ආයුධ නැති වීමේ” ප්‍රශ්නය ද? මේ සන්නද්ධ කම්කරු පන්තිය ඉදිරියේ දී ධනපති පන්තියට තම බලය රඳවා තබා ගත හැකි වූයේ කම්කරු පන්තියේ පෙරමුනු බලඇනිය ධනේශ්වරය සමග තිබූ සෑම බැඳීමකින් ම වෙන් නො වී සිටීම නිසා මිස වෙන කිසි ම දෙයක් නිසා නො වේ.

ග්‍රීසියේ දී මෙන්, අද මැද පෙරදිග දී මෙන්, ආයුධ සන්නද්ධ අරගලවල මුදුනට පැන ගෙන ආයුධ අතැතිව සිටිය දී ම, කම්කරු පන්තිය ධනපති පන්තියට ගැට ගැසූ ද්‍රෝහී ස්ටැලින්වාදී, පන්ති සහයෝගිතාවාදී හා ප්‍රතිසංස්කරනවාදී දේශපාලනයන්ගෙන් මුලුමනින් ම වෙන් වීමට කම්කරු පන්තියේ එක් පරම්පරාවකට ම පැවති දුෂ්කරතාවන් නො තකා හරින අය විප්ලවය ගැන කොතෙක් කතා කලත්, කම්කරු පන්තිය දැවැන්ත පරිත්‍යාගයන් තුලින් විප්ලවවාදී ව්‍යාපාරයට එක් කල අත්දැකීම් ගැන අමු ම අමු පිලිකුල් සහගත ආකල්පයක් දක්වන්නෝ වෙති.

ස්පාඤ්ඤ කම්කරුවන් 1930 ගනන්වල ගෙන ගිය වීරෝදාර අරගලය මධ්‍යයේ දී විප්ලවවාදීන් ඉදිරියේ මතු වී තිබූ ප්‍රශ්නය හකුලුවා දක්වමින් ට්‍රොට්ස්කි ප්‍රකාශ කල පරිදි පැහැදිලි ක්‍රියා මාර්ගයක් හා නායකත්වයක් නොමැතිව තම ඉරනමට නිකම් ම අත හැර දමන ලද කම්කරු ව්‍යාපාරයක් අනිවාර්යයෙන් ම බලාපොරොත්තු රහිත ඉදිරි දර්ශනයකින් නිමා වන්නේ ය.

මේ ක්‍රියා මාර්ගය කුමක් විය යුතු ද? එය කෙසේ සකස් විය යුතු ද?

ස්පාඤ්ඤ විප්ලවයේ අවසාන අවධියේ දී යලිත් වරක් ට්‍රොට්ස්කි පෙන්වූ පරිදි:

දේශපාලනය විප්ලවයේ මූලික නීතිවලට අනුකූල විය යුතු ය. එය අනුකූල විය යුත්තේ අරගලයේ යෙදී සිටින පන්තීන්ගේ චලනයට මිස, තමන් මහජන පෙරමුනු හා තව නොයෙකුත් දේවලින් හඳුන්වා ගන්නා සුලු ධනේශ්වර කන්ඩායම්වල බයාදුකම්වලට සහ මතුපිටින් පෙනෙන අගතීන්ට නො වේ.

විප්ලවවාදී ක්‍රියා මාර්ගය සම්බන්ධ ප්‍රශ්නයට දිය හැකි එක ම මාක්ස්වාදී පිලිතුර එය යි.

විප්ලවයේ නායකත්වය හා ක්‍රියා මාර්ගය පිලිබඳ ප්‍රශ්නය මේ ලිපි මාලාව තුල මතු කර ඇත්තේ “සන්නද්ධ අරගලය ද? සාමකාමී මාවත ද?” නැති නම් “ගමේ සිට නගරයට ද? නගරයේ සිට ගමට ද?” යන අයුරින් එම ප්‍රශ්නය මතු කරන්නවුන්ගේ විධික්‍රමයට මුලුමනින් ම පටහැනි විධික්‍රමයක් පාදක කොට ගෙන ය.

අරගලයේ යෙදී සිටින පන්තීන්ගේ වෙෂයික ක්‍රියා කලාපයන් හා ඒවා අතර ඇති අන්තර් සම්බන්ධතාවන් ගැන කරන විග්‍රහයකින් මේ ලිපි මාලාව එම ප්‍රශ්නය කරා එයි.

මෙහි දී නොදියුනු විජිත හා අර්ධ විජිත රටවල කම්කරු පන්තිය ඉදිරියේ ඉස්මතුව ඇති ප්‍රශ්නය ධනේශ්වර පන්තියේ ඊනියා “ප්‍රගතිශීලී” කොටස සමග සන්ධානයකට ඒම නො ව ගොවි ජනතාව සමග විප්ලවවාදී සන්ධානයක් ගොඩ නගා ගැනීම බව මෙහි අවධාරනය වී තිබේ. එමෙන් ම වැරදි අර්ථදැක්වීම්වලට නිරතුරුව ම ගොදුරු කර ඇති කම්කරු-ගොවි සන්ධානය සම්බන්ධ මාක්ස්වාදී අදහස් වඩාත් පැහැදිලි කර කම්කරු-ගොවි සන්ධානය යනුවෙන් හැඳින්වෙන්නේ කම්කරු පන්තිය ගොවි ජනතාව සමග බද්ධ කිරීම නොවන බව මෙහි පෙන්වා දී ඇත.

විජිත හා අර්ධ විජිත රටවල අධිරාජ්‍යවාදයෙන් විමුක්තිය ලබා ගැනීමේ සටන කම්කරු පන්තිය ගොවි ජනතාවගේ සහාය ලබා ගෙන ජාතික ධනේශ්වරයට විරුද්ධව කරන සටනක් තුලින් සිය පන්ති ඒකාධිපතිත්වය ස්ථාපනය කර ගැනීමත් සමග බැඳී ඇතැයි පෙන්වූ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පිහිටා ඇති මේ විග්‍රහය මුලුමනින් ම එම න්‍යාය ආරක්ෂා කරයි. නොනවතින විප්ලවය ගැන ට්‍රොට්ස්කි ඉදිරිපත් කල ප්‍රවාදය මේ පොතේ අග උපග්‍රන්ථය [I] වශයෙන් යොදා ඇත.

1917 ජය ගත් ඔක්තෝබර් විප්ලවයෙන් මෙන් ම එතැන් සිට පරාජයට පත් වූ සෑම විප්ලවයකින් ද විශේෂයෙන් ම 1927 දෙවන චීන විප්ලවයෙන් හා 1936-39 ස්පාඤ්ඤ විප්ලවයෙන් ද සනාථ වූයේ ජාතික හෝ ලිබරල් ධනේශ්වර පන්තිය සමග “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා” කම්කරු පන්තිය ඇති කර ගන්නා සන්ධානය විනාශයේ හා පරාජයේ සන්ධානයක් බව යි.

ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පරිපූර්න වී නැති රටවල නිර්ධන පන්තිය අතට දේශපාලන බලය දිනා ගැනීමේ සමාජවාදී විප්ලවයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කටයුතු ඉටු කිරීමට ජාතික හෝ ලිබරල් ධනේශ්වර පන්තීන් සමග කම්කරු පන්තිය එකට ගැට ගැසීමේ ක්‍රියා මාර්ගය උපත ලද්දේ මෙන්ශෙවික් ව්‍යාපාරය තුල ය. 1917 රුසියානු විප්ලවය විසින් කුඩු කර දමන ලද මේ න්‍යාය යලි “ඉදිරි දර්ශනයක මට්ටමට” නංවන ලද්දේ බොල්ෂෙවික්වාදය නිෂේධනය කරමින් පැන නැගි ස්ටැලින්වාදී ව්‍යාපාරය තුල යි.

රුසියානු විප්ලවයේ අත්දැකීම හකුලුවා දක්වමින් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පරිපූර්න වී නැති රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කරතව්‍යයන් ඉටු කිරීමේ සටන සමාජවාදී විප්ලවයත් සමග බැඳී ඇති ආකාරය ගැන ලෙනින් කල මෙම විග්‍රහය ස්ටැලින්වාදීන්ගේ “අවධි දෙකේ විප්ලව” න්‍යාය හා ලෙනින්වාදය අතර කිසි ම සම්බන්ධයක් නොමැති බව මනාව පෙන්වයි:

අපගේ මූලික හා අව්‍යාජ නිර්ධන පන්ති විප්ලවයේ සමාජවාදී කටයුතුවල “අතුරු ඵලයක්' හැටියට අපි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ප්‍රශ්නය විසඳුයෙමු. ප්‍රතිසංස්කරනයන් විප්ලවවාදී පන්ති අරගලයේ අතුරු ඵලයක් බව අපි හැම විට ම කියා ඇත්තෙමු. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනයන් නිර්ධන පන්ති විප්ලවයේ, එනම් සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් බව අපි කීවෙමු; එමෙන් ම ක්‍රියාවෙන් ඔප්පු කලෙමු. විය යුතු පරිදි ම කෞට්ස්කි ලා, හිල්ෆර්ඩින්ලා, මර්ටෝව්ලා, චෙර්නොව්ලා, හිල්ක්විට්ලා, ලොන්ජේලා, මැක්ඩොනල්ඩ්ලා, ටුරාටිලා, සහ “දෙක හමාරේ මාක්ස්වාදයේ” අනෙකුත් වීරයෝ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී හා නිර්ධන පන්තික සමාජවාදී විලවයන් අතර වන මෙම සම්බන්ධය වටහා ගැනීමට නොහැකිව සිටිති. පලමු වැන්න දෙවැන්න බවට වර්ධනය වෙයි. දෙවැන්න එහි ගමන් මගෙහි දී පලමු වැන්නේ ප්‍රශ්න විසඳයි. දෙවැන්න පලමු වැන්නේ කටයුතු තහවුරු කරයි. දෙවැන්න විසින් පලමු වැන්න ඉක්මවා යාම සිදු වන්නේ කොතෙක් දුරට ද යන්න තීන්දු කරනවා ඇත්තේ අරගලය හා අරගලය ම විසින් පමනි (ලෙනින්, එකතු කල කෘති, 33 වන වෙලුම, 54 පි., අවධාරනය ලෙනින්ගේ ).

මේ අනුව, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සැපිරී නැති රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් නිර්ධන පන්තික සමාජවාදී විප්ලවයේ කටයුතුවලට පටහැනිව ජඉදිරිපත් කිරීමට දරන සෑම උත්සාහයක් ම සමාවාදී විප්ලවයට විරුද්ධව ප්‍රතිසංස්කරනය ඉස්මතු කිරීමේ උත්සාහයක් වේ.

අධිරාජ්‍යවාදයේ ග්‍රහනය යටතේ පවතින අර්ධ විජිත හා විජිත රටවල ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කටයුතු සැපිරීමේ අමුතු මාවතක් කොහෙත් ම නොමැති අතර, පසු ගිය සමයේ සෑම පන්ති සටනකින් ම සනාථව ඇති පරිදි මේ රටවල ජාතික ධනේශ්වරය අධිරාජ්‍යවාදය මත කෙලින් ම තමා රැඳී සිටීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කටයුතු සැපිරීම නිර්ධන පන්තික සමාජවාදී විප්ලවය මත පටවා ඇත.

මෙය පිලිගැනීමට කැමති නැති සෑම නායකත්වයක් ම කම්කරු පන්තිය ධනේශ්වරයට ගැට ගසා විනාශයට ගොදුරු කරන දුර්නායකත්වයන් පමනි. එහෙයින්, මේ න්‍යාය ප්‍රතික්ෂේප කරන ජනතා විමුක්ති පෙරමුන ද අනිවාර්යයෙන් මෙහෙයවෙන්නේ ධනේශ්වර පන්තියේ වලිගයක් බවට පත් වීම කරා ය.

ජනතා විමුක්ති පෙරමුන කිසි ම විද්‍යාත්මක න්‍යායක් මත පදනම්ව ක්‍රියා කරන සංවිධානයක් නොවන නිසා ම ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය හැඩ ගැසී ඇත්තේ යථාර්ථයේ මතුපිට තලයේ දිස් වන දේවලට අනුව ය. මේ මතුපිට තලය පන්ති අරගලය විසින් නිරතුරුව ම කලඹනු ලබන නිසා ඒකාබද්ධ, ඒකාකාර සංවිධානයක් පවත්වා ගෙන යාමට ඔවුන්ට කිසි ම පුලුවන්කමක් නැත.

එක්තරා අවධියක දී පැවති එක්තරා පන්ති තත්ත්වයකට කල ප්‍රතික්‍රියාවක් වශයෙන් ඔවුන් ඇති කර ගෙන ඇති එකමුතුව දේශපාලන තත්ත්ව යේ ඇති වන සෑම වෙනස් වීමක් විසින් ම අවුල් කර දමනු ලබයි. මධ්‍යම පන්තික සංවිධානයන් තුල නිරන්තර අර්බුදයක් පවතින්නේ එබැවිනි.

එක්තරා පන්ති තත්ත්වයක දී සිංහල ජාතිවාදය ගැන කල අවධාරනය වෙනත් පන්ති තත්වයක දී ඔවුන්ට කිරිම අපහසුවක් මෙන් ම, සන්නද්ධ නැගිටීමක් ගැන වරෙක කල අවධාරනය ටික කලක් ඇතුලත වෙනස් කිරීමට ඔවුන්ට සිදු වේ. මේ වෙනස් කිරීම් නිසා ඒ ඒ තත්ත්වයන්ට වෙන වෙන ම ප්‍රතික්‍රියා කරන කොටස් නිරතුරුව කැඩී යාම වැලැක්විය නොහැකි වී තිබේ.

එමෙන් ම එම කැඩී ගිය කන්ඩායම් කැඩී ගියේ කුමන පන්ති බලපෑමකට යටත්ව, මොන දිශාවකට ද යන්න ගැන කිසි ම විග්‍රහයක් ඉදිරිපත් කිරීමට ද ඔවුන්ට පුලුවන්කමක් නොමැත. ඔවුන්ට කල හැකි එක ම දෙය නම් “සීඅයිඒ ඒජන්තයන්” යැයි උනුන්ට පහර ගසා ගැනීම ය.

විජේවීර හා ධර්මසේකර නමැත්තා අතර ඇති වුන භේදය පෙන්වා ඇත්තේ මෙය යි.

අනාගත කාලය තුල පන්ති සටන් ඇති වන ප්‍රචන්ඩ වෙනස් වීම් මේ අර්බුද තවත් උග්‍ර කරන අතර එම අර්බුදයන් ම ඔවුන්ගේ දේශපාලනයේ ඇත්ත ස්වභාවය වඩ වඩාත් ඉස්මත්තට ගෙනෙනු ඇත.

දේශපාලන වශයෙන් ඒකාකාර හා ඒකාබද්ධ විප්ලවවාදී සංවිධානයක් ගොඩ නැගිය හැකි වන්නේ එක් එක් තාවකාලික පන්ති තත්ත්වයන්ට කරන ප්‍රතික්‍රියාවල පදනම මතින් නො ව මේ යුගයේ ධනවාදයේ අර්බුදය ගැනත් පන්ති සටන් වර්ධනය ගැනත් ඇති කර ගන්නා විප්ලවවාදී වැටහීමේ පදනම මතිනි. මේ වැටහීම අත් කර ගත හැකි වන්නේ මාක්ස්වාදී විධික්‍රමය වන අපෝහක භෞතිකවාදය සඳහා නිරතුරුව සටන් කරන්නන්ට පමනි.

යථාර්ථයේ මතුපිට තලයේ දිස් වන දේවලට අනුකූලව හැඩ ගැසීම සඳහා සහ යථාර්ථයේ ම සැබෑ වර්ධනය වටහා ගැනීමේ අවශ්‍යතාව ප්‍රතික්ෂේප කර ඇත්තවුන්ට විප්ලවවාදී පක්ෂය ගොඩ නැගිය නොහැකි ය.

මාක්ස්වාදී න්‍යාය හා විධික්‍රමය මුලුමනින් ම ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය “විප්ලවවාදී දිශාවට ගමන් කරන ” දේශපාලනයක් ලෙස පිලි ගෙන සිටින, ට්‍රොට්ස්කිවාදයෙන් පලා ගොස් ඇති පැබ්ලෝවාදී සංශෝධනවාදී ව්‍යාපාරයේ ලංකාවේ ඒජන්තයන් වන ලසසප(වි)ය, (බාලා තම්පෝ කල්ලිය), සුලු ධනේශ්වර රැඩිකල්වාදය ඉදිරියේ මුලුමනින් ම දන ගැසීමේ ප්‍රශ්නය මෙහි ලා සාකච්ඡා කිරීම වැදගත් ය. ඔවුන් තම දේශපාලන යටත් වීම තුලින් ම ට්‍රොට්ස්කිවාදයට ගසන පහර විප්ලවවාදී ව්‍යාපාරය සුලු ධනේශ්වර ව්‍යාපාරයන් තුල දිය කර විනාශ කර දැමීමේ සියුම් ම උත්සාහයක් වන බැවිනි.

කම්කරු පන්තිය බලය කරා මෙහෙයවීමට සමත් ස්වාධීන නිර්ධන පන්තික විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම අත හැර දමා “සමාජවාදය දිශාවට විෂයබද්ධව තල්ලු වන” බලවේගයන් යැයි තමන් ම නම් කල “බලවේගයන්” සමග මාට්ටු වී ඒවා තුල දිය වී යාම පසු ගිය කාලය තුල ම ඔවුන් කර ඇති “කටයුත්ත” යි.

ඔවුන්ට අනුව නම් අද කල යුතුව ඇත්තේ මතුපිටින් විප්ලවවාදී ලෙස පෙනෙන සෑම බලවේගයක් ම කුමනාකාර හෝ ප්‍රවේගවාදී එකමුතුවකට ගෙන ඒම යි. ලංකාව තුල මේ “විප්ලවවාදී එකමුතුව” ඇති කිරීම සඳහා ධනපති ආන්ඩුවට කෙලින් ම විරුද්ධ වීමේ ප්‍රතිපත්තිය පවා අත හැර දැමීමට ඔවුන් මෙහෙයවුනු ආකාරය කීනකැලේ වෙඩි තැබීම්වලට විරුද්ධව ඩීඑම්කේ සංවිධානය, ජනතා විමුක්ති පෙරමුන හා ලසසප(වි)ය එකට එක්ව නෝවුඩ්හි පැවැත්වූ රැස්වීමෙන් පැහැදිලි වුනි. මේ රැස්වීම පවත්වන ලද්දේ “ස්ට්‍රයික් සටන්වලට විරුද්ධව හමුදාව යෙදීම වලක්වන නීති පනවන ලෙස” ආන්ඩුවට බල කිරීමට ය!

මේ අතර “විප්ලවවාදී අධිරාජ්‍ය විරෝධී” එකමුතුකම් ඇති කිරීම යනුවෙන් ඔවුන් ඇත්තට ම කරන්නේ ජනතා ව්‍යාපාරය තුල දැන් පවතින ධනේශ්වර විඤ්ඤානයට ගැලපෙන ලෙස ක්‍රියා කිරීමක් මිස එම විඤ්ඤානය වෙනස් කිරීමට සටන් කිරීමක් නො වේ.

කම්කරු හා ජනතා ව්‍යාපාරයේ පවතින තත්වයන්ට අනුකූලව හැඩ ගැසීමට ඇති කර ගන්නා සෑම එකමුතුවක් ම එම ව්‍යාපාරය යට කර ගෙන සිටින නිලධාරි තාන්ත්‍රීය උපකරනයන් සමග එක් වීමක් බවට පත් වේ.

ධනවාදය විසින් කම්කරු පන්තියට හා පීඩිත ජනතාවට වඩාත් ම්ලේච්ඡ පහර වැලක් එල්ල කරනු ලබන මේ කාලයේ “පොදු සතුරාට විරුද්ධව සටන් කිරීමට පලල් ම සමගියක්” ගොඩ නැගීම සඳහා “සියලු න්‍යායික මතභේදයන්” ඉවත ලන ලෙස ඔවුන් ට්‍රොට්ස්කිවාදීන්ට කියන විට, ඔවුන් එමගින් ඇත්තට ම කියා සිටින්නේ නිලධාරි තාන්ත්‍රීය නායකත්වයන් විසින් යට කර ගෙන සිටින කම්කරු හා ජනතා ව්‍යාපාරයේ දැන් පවතින විඤ්ඤාන මට්ටම්වලට යටත්ව ඇති කර ගන්නා එකමුතුවක් සඳහා මාක්ස්වාදී ව්‍යාපාරය අතීතයේ දී ලබා ඇති සියලු ම න්‍යායික හා ප්‍රායෝගික ජයග්‍රහනයන් ඉවත දමනු කියා ය.

එනමුදු, ධනවාදයේ පරාජය සනිටුහන් කරනු ඇත්තේ කම්කරු පන්තිය පන්තියක් හැටියට අනෙක් සියලු ම පන්තීන්ගෙන් වෙන් කර දේශපාලන වශයෙන් දැනුවත් බලවේගයක් බවට පත් කිරීමට මාක්ස්වාදීන් ගෙන යන සටන මිස මතුපිටින් බැලූ කල ශක්තිමත් ලෙස පෙනෙන පලල් වර්ගවල එකමුතුකම් නො වේ.

1917 දී රුසියාවේ ජය ගත් විප්ලවයේ හා එයින් පසුව පරාජයට පත් වූ සෑම විප්ලවයක ම ප්‍රධාන පාඩම එය යි.

ඒ නිසා ම ධනවාදයේ මේ ඓතිහාසික අර්බුදය තුල කම්කරු පන්තිය ලොව පුරා ම නැගී සිටිද්දී න්‍යාය, ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ගය සම්බන්ධ ප්‍රශ්නයන් පෙරටත් වඩා සිය ගුනයකින් අවධාරනය කිරීමට මාක්ස්වාදීන්ට සිදු වේ. කම්කරු පන්ති ව්‍යාපාරය මේ දක්වා ලබා ගෙන ඇති න්‍යායික හා ප්‍රායෝගික ජයග්‍රහනයන්, පලල් වර්ගවල එකමුතුකම් හා සන්ධානයන් වෙනුවෙන් කැප කිරීමට ක්‍රියාත්මක වන සෑම බලවේගයකට ම විරුද්ධව මාක්ස්වාදයේ ප්‍රහාරය වඩාත් දැඩි ලෙස එල්ල වන්නේ අද වැනි කාලයන්හි දී ය.

ධනපති පන්තියට විරුද්ධව සටන් කරන්නේ යැයි කියන ජනතා විමුක්ති පෙරමුන බඳු සංවිධානයන් සමග ප්‍රතිපත්ති විරහිත සම්මුතිවලට එලඹෙමින් ඔවුන්ගේ කම්කරු විරෝධී දේශපාලනයට කම්කරු පන්තිය තුලට නිදහසේ කාන්දු වීමට ඉඩ හැර සිටින ලංකාවේ පැබ්ලෝවාදී සංශෝධනවාදීන් (බාලා තම්පෝ කල්ලිය) මාක්ස්වාදී ක්‍රියා මාර්ගයට හා ප්‍රතිපත්තිවලට අපේ ඇති බැඳීම නිසා ම අපට “කට්ටිවාදීන්” යැයි පහර දීමට පෙරට විත් ඇත්තේ න්‍යාය හා ප්‍රතිපත්ති පිලිබඳ ප්‍රශ්නයන් ඔවුන්ට අගයෙන් අඩු ම ප්‍රශ්නයන් වී ඇති බැවිනි. 'ජනතා විමුක්ති පෙරමුන” හෝ වෙනත් ඕනෑ ම කම්කරු පන්තික හෝ ජනතා ව්‍යාපාරය මත පදනම් වුන සංවිධානයක් සමග යම් ප්‍රායෝගික ප්‍රශ්නයන් සම්බන්ධයෙන් කිසි යම් ඒකාබද්ධ වැඩ කොටසක් ඉටු කිරීමට මාක්ස්වාදීන් සූදානම් නමුත්, එම සන්ධානයන් වෙනුවෙන් මාක්ස්වාදය පාවා දීම මේ යුගයේ දී විප්ලවවාදී සංවිධානයකට කල හැකි බිහිසුනු ම අපරාධය යි.

තම සියලු ම බලවේගයන්, ෆැක්ටරි කම්කරුවන් අතර වැඩ සඳහා යොදවන අතර ම කම්කරු පන්තියේ පන්ති සටන මත භාවිතයේ දී පදනම් වන රුසියානු විප්ලවවාදීන්ට සහයෝගය දීමට රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සූදානම් ය. එනමුත් වෙනත් විප්ලවවාදීන් කන්ඩායමක් සමග ඇති කර ගන්නා කිසි ම ප්‍රායෝගික සන්ධානයක්, න්‍යාය, ක්‍රියා මාර්ගය හා ධජය සම්බන්ධ ප්‍රශ්නයන්හි දී කිසි ම සම්මුතියක් ගැසීම හෝ සහනයක් දීම කරා මෙහෙයවීමට කිසි ම හැකියාවක් නොමැති බව එය කිසි සේත් ම නො සඟවයි. විප්ලවවාදී ව්‍යාපාරයේ ධජය හැටියට පවතින එක ම න්‍යාය, විද්‍යාත්මක සමාජවාදයේ හා පන්ති සටනේ න්‍යාය පමනක් බව ඒත්තු ගැනීමෙන් යුතුව රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු මේ න්‍යාය පතුරුවා හැරීමට, මේ න්‍යාය වැරදි අර්ථදැක්වීම්වලින් ආරක්ෂා කිරීමට හා තව මත් ලදරු රුසියානු කම්කරු ව්‍යාපාරයට නොපැහැදිලි න්‍යායන් ඇතුලු කිරීමට දරන සෑම උත්සාහයකට ම විරුද්ධව සටන් කිරීමට සෑම පරිශ්‍රමයක් ම දරති. න්‍යායික කරුනු සොයා බැලීම් ඔප්පු කරන්නේත්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ප්‍රායෝගික වැඩ කටයුතු පෙන්වන්නේත් රුසියාවේ සිටින සියලු ම සමාජවාදීන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් (එනම් මාක්ස්වාදීන්) විය යුතු බව යි (ලෙනින්, එකතු කල කෘති, 2 වන වෙලුම, 331 පි.).

1897 දී ලෙනින් ලියූ ලිපියකින් උපුටා ගත්, න්‍යාය, ක්‍රියා මාර්ගය හා ධජය සම්බන්ධ ප්‍රශ්නය ගැන මාක්ස්වාදී ආකල්පය පිලිබිඹු කරන මේ අදහස්වලට අනුකූල කිසි ම දෙයක් පැබ්ලෝවාදීන් තුල නොමැත.

ලෙනින්ට පටහැනි ලෙස, සෑම සුලු අවස්ථාවාදී සම්මුතියක් සඳහා ම න්‍යාය, ක්‍රියා මාර්ගය හා ධජය සම්මුති ගැස්වීමටත්, මේ ප්‍රශ්න නො තකා ඕනෑ ම දේශපාලන ප්‍රවනතාවකට දේශපාලන සහනයන් සැලසීමටත් ඔවුහු කැප වී සිටිති.

මේ නිසා ම ඔවුන්ට ඉසිලිය නොහැකි ම දෙය නම් න්‍යාය සඳහා මාක්ස්වාදීන් කරන සටන යි. ඔවුන් හැම විට ම මේ න්‍යාය දකින්නේ ප්‍රවේගවාදී සම්මුති ඇති කර ගැනීමට පවත්නා බාධකයක් හැටියට යි.

ජනතා විමුක්ති පෙරමුන විප්ලවයක් ගැන කතා කරයි නම්, ඔවුන් විප්ලවවාදීන් ලෙස නොපිලිගැනීමට හේතුවක් නැතැයි සිතන පැබ්ලෝවාදීහු හැකි සෑම ආකාරයකින් ම ජනතා විමුක්ති පෙරමුන සමග පෑහෙනු මිස න්‍යායික ප්‍රශ්න උඩ එය සමග ගැටීම විනාශකාරි දෙයක් ලෙස දකිති.

ජනතා ව්‍යාපාරය තුල අවස්ථාවාදය හැම විට ම වාගේ ඉස්මතු වන්නේ වෙස් වලා ගෙන බව මතුපිටින් එපිටට කිසි ම දෙයක් නොදකින මේ ආවේගවාදියෝ තේරුම් නො ගනිති. අවස්ථාවාදයේ වෙස් මුහුන ගලවා දැමීමේ සටන කම්කරු ව්‍යාපාරය තුල වඩාත් ඉහල විඤ්ඤාන මට්ටමක් ඇති කිරීමේ සටනක් හැටියට නො ව කම්කරු ව්‍යාපාරය තුල 'අලුත් භේදයන්” ඇති කිරීමේ කට්ටිවාදී උත්සාහයක් හැටියට ඔවුහු දකිති. න්‍යායික අරගලයේ වැදගත්කම මෙසේ යට ගැසීමෙන් ඔවුහු කම්කරු ව්‍යාපාරයට සැබෑ ශක්තිය අත් කර ගැනීමට ඇති මාවත අහුරා දැමීමට යත්න දරති. එමගින් කම්කරු පන්තිය රාජ්‍ය බලය කරා මෙහෙයවීමේ සටනේ ප්‍රධාන බාධකය වන කම්කරු ව්‍යාපාරය තුල සිටින ස්ටැලින්වාදී හා ප්‍රතිසංස්කරණවාදී නිලධාරි තන්ත්‍රයන් පෙරලා දැමීමේ කටයුත්ත අත හැර දමා ඔවුන්ගේ දේශපාලනයට අනුව සකස් වෙමින් ඔවුහු නිර්ධන පන්ති විප්ලවය පාවා දෙති.

එනමුදු පසු ගිය දශක කීපය ඇතුලත දී ස්ටැලින්වාදය හා ප්‍රතිසංස්කරනවාදය සිදු කල ද්‍රෝහිකම්වල කටුක ප්‍රතිඵලයන් අමතක නොකල අයට නම්, 'ජනතාවගෙන් හුදෙකලා නොවීමේ” කඩතුරාවට මුවා වී මේ නිලධාරි තන්ත්‍රයන්ට අනුකූලව හැඩ ගැසිය නොහැකි ය. කම්කරු පන්තියේ වෙෂයික අවශ්‍යතාවන් මේ නිලධාරි තන්ත්‍රයන්ගේ අවශ්‍යතාවන්ට පටහැනිව ගොස් ඇති බව වටහා ගෙන සිටින අය, එමෙන් ම “දේශපාලනය විප්ලවයේ මූලික නීතිවලට අනුකූල විය යුතු බවත්, එය අනුකූල විය යුත්තේ අරගලයේ යෙදී සිටින පන්තීන්ගේ චලනයන්ට මිස, තමන් නොයෙකුත් දේවලින් හඳුන්වා ගන්නා සුලු ධනේශ්වර කණ්ඩායම්වල බයාදුකම්වලට නොවන බවත්” වටහා ගෙන ඇති අය කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාවන්ගෙන් එම පන්තිය දැනුවත් කිරීමට කරන සටනේ දී ඇති වන දුෂ්කරතාවන්ට හා තාවකාලික ප්‍රතිඵලයන්ට බිය නො වනු ඇත. කම්කරු පන්තිය පන්ති විඤ්ඤානයෙන් යුතු බලවේගයක් හැටියට සටනට ගෙන යාමේ මාවත හැර ධනවාදයේ බලය පෙරලීමේ වෙනත් මාවතක් නැති බව වටහා ගත් විප්ලවවාදී මාක්ස්වාදීන් මේ නිසා තමන්ගේ සියලු ම කටයුතු සංකේන්ද්‍රනය කරනු ඇත්තේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම වෙත ය.

විප්ලවවාදීන් “ජනයාගෙන් හුදෙකලා නොවීමේ” හා “කට්ටිවාදී නොවීමේ” කඩතුරාව යටතේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ අරගලය අත හැර දැමුව හොත්, ප්‍රචන්ඩ විප්ලවීය අර්බුදයන් මධ්‍යයේ දී ඇත්තට ම ජනතාවගෙන් හුදෙකලා වී මනුෂ්‍යත්වය වනචාරිත්වය කරා මෙහෙයවන ධනවාදයේ මෘගකම්වලට විරුද්ධව කම්කරු පන්තිය හා එහි පෙරටු බලඇනිය කල්වේලා ඇතිව සංවිධානය නොකිරීමේ බිහිසුනු අපරාධයට ඉතිහාසය විසින් නියම කෙරෙන දඬුවමට ගොදුරු වනු ඇත.

කීර්ති බාලසූරිය

1970 දෙසැම්බර් 11

27, අර්තුසා ලේන්,

වැල්ලවත්ත,

කොලඹ 6

Loading