මෝදි ආන්ඩුවේ දැවැන්ත ආරක්ෂක බලකායන් දිගේලි කිරීම් මධ්‍යයේ ඉන්දීය ගොවි විරෝධතාව දිගටම

[මෙය Indian farmer protest continues in face of Modi government’s massive deployment of security forces යන මැයෙන් 2024 පෙබරවාරි 15 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

අන්ත දක්ෂිනාංශික, හින්දු අධිපතිවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව විසින් මෙහෙයවනු ලබන දැවැන්ත රාජ්‍ය ආරක්ෂක මර්දනයක් හමුවේ, දහස් ගනනක් ඉන්දියානු ගොවීහු තම දිල්ලි චලෝ (දිල්ලියට යමු) විරෝධතාවේ අඛන්ඩව නියැලී සිටිති.

2024 පෙබරවාරි 14 වෙනි බදාදා, ඉන්දියාවේ නවදිල්ලියේ සිට කිලෝමීටර් 200 ක් (සැතපුම් 125 ක්) පමන දුරින්, උතුරු පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්ත වෙන් වන ෂම්බු දේශසීමාව අසල ගොවීහු රැස්වූහ. සිය නිෂ්පාදන සඳහා සහතික මිලක් ඉල්ලා නවදිල්ලි අගනුවරට පාගමනින් යාමට උත්සාහ කල, විරෝධතාවයේ නිරත දහස් ගනනක් ඉන්දීය ගොවීන් පිටපිට දෙවන දිනටත් බදාදා පොලිසිය සමග ගැටුනෝ ය. [ඒපී ඡායාරූපය/රාජේෂ් සචාර්] [AP Photo/Rajesh Sachar]

ගොවීන්ගේ විරෝධතාව ඉන්දියාවේ ජාතික අගනුවරට ගෙන යාම වැලැක්වීම සඳහා, අඟහරුවාදා සිට, එම උද්ඝෝෂනය කේන්ද්‍රගත වී ඇති ප්‍රාන්තය වන හර්යානා සහ පන්ජාබ් අතර ප්‍රධාන මාර්ග පොලිසිය සහ අතුරු සන්නද්ධ හමුදා විසින් අවහිර කර ඇත. හර්යානා සහ දිල්ලි ජාතික අගනුවර භූමි ප්‍රදේශය අතර දේශසීමා හරස් මාර්ග දෙකක් ද වසා දමා තිබේ.

ආරක්ෂක අංශ සමඟ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් ගොවීන් සියයක්වත් තුවාල ලබා ඇති අතර, ඔවුන් විරෝධතාකරුවන්ට පහර දීම සඳහා ලැති (බැටන්) ප්‍රහාර, රබර් උන්ඩ, ජල ප්‍රහාර සහ කඳුලු ගෑස් විශාල ප්‍රමානයක් භාවිතා කර ඇත.

බ්‍රහස්පතින්දා, හර්යානා හි බීජේපී ප්‍රාන්ත ආන්ඩුවේ දිස්ත්‍රික්ක 22 න් හතක, සියලුම ජංගම දුරකථන සහ ජංගම අන්තර්ජාල සේවාවන්ට පැනවූ තහංචිය සෙනසුරාදා දක්වා දීර්ඝ කරන ලෙස නියෝග කලේය.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් බීජේපී හි මධ්‍යම ආන්ඩුව ගොවීන්ගේ ප්‍රධාන ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කර ඇතුවා පමනක් නොවේ. එය, ඔවුන් අගනුවර ආසන්නයට පැමිනීම වැලැක්වීම සඳහා රාජ්‍යයේ පූර්න බලය භාවිතා කිරීමට තීරනය කර ඇත.

මෝදි සහ ඔහුගේ ප්‍රධාන හෙංචයියා වන අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂා බිය වන්නේ, 2020-2021 ගොවි උද්ඝෝෂනයේ පුනර්කරනයක් විය හැකි ඕනෑම සිදුවීමක්—එම කාලය තුල දහස් ගනනක් ගොවීහු සහ ඔවුන්ගේ පවුල්වල උදවිය වසරකට වැඩි කාලයක් තිස්සේ දිල්ලි නගරය අවට ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන සිටියහ—මෙම වසන්තයේ දී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරනයේදී තෙවන පස් අවුරුදු ධූර කාලයක ආන්ඩුව දිනා ගැනීම සඳහා භාරතීය ජනතා පක්ෂය දියත්කර ඇති මෙහෙයුම කඩාකප්පල් කල හැකි බවට ය.

පෙර පැවති දිල්ලි චලෝ අවසන් වූයේ, මෝදි ආන්ඩුවට උපායශීලී පසුබැසීමකට සහ මෑතකදී සම්මත කරන ලද කෘෂි ව්‍යාපාර ගැති 'ප්‍රතිසංස්කරන' පනත් තුනක් අවලංගු කිරීමට බල කිරීමත් සමඟය. එය එසේ කලේ, විරෝධතාකරුවන් බඩගින්නේ තැබීමට උත්සාහ කර වසරකටත් පසුව සහ ඉන්දියාව පුරා කම්කරුවන් සහ ගම්බද දුගීන් අතර දැවැන්ත විරෝධතා ඇවිලවීමකින් තොරව ඔවුන් ප්‍රචන්ඩ ගැටුමකට ඇද දැමිය හැකිද යන්න විමර්ශනය කිරීමකින් පසුව ය.

2020-21 විරෝධතාව අවසන් කිරීමේ එකඟතාවේ කොටසක් ලෙස, මූලික අස්වැන්න සඳහා රජය විසින් සහතික කරන ලද අවම සහාහක මිලක් (එම්එස්පී) සඳහා ගොවීන්ගේ ඉල්ලීම සොයා බැලීමට කමිටුවක් පිහිටුවීමට ආන්ඩුව එකඟ විය. එම කමිටුව වාර දුසිම් තුනක්වත් රැස්වී ඇත. කෙසේ වෙතත්, ආන්ඩුව, එය 'දැරිය නොහැකි”යැයි කියමින් ගසාබසා දමන තත්වයක් තුල එම්එස්පී ක්‍රියාවට නැංවීම පේන මානෙක නැත.

මේ අතර, වැඩිවන යෙදවුම් පිරිවැය (ඉන්ධන සහ පොහොර ඇතුලුව), කෘෂිකාර්මික බිම් කොටස් ඊලඟ පරම්පරාවන් අතර බෙදී යාම සහ ගෝලීය කෘෂිකාර්මික වෙලඳපොලවල විචලනයන් සහ ධනේශ්වරය විසින් මෙහෙයවනු ලබන දේශගුනික විපර්යාස හේතුවෙන් ගොවිපලවල ආදායම අඛන්ඩව හැකිලී ඇත.

බ්‍රහස්පතින්දා (15) සවස් වන විට, දිල්ලියේ සිට කිලෝමීටර් 200 ක් (සැතපුම් 125 ක්) පමන දුරින් පිහිටි පන්ජාබ්-හර්යානා ෂම්බු දේශසීමා හරස් මාර්ගයේ පන්ජාබය පැත්තේ දහස් ගනනක් ගොවීන් සහ ගොවි කම්කරුවන් කඳවුරු බැඳගෙන සිටියහ. ඉඳුරාම ඔවුන් මුහුනලා සිටියේ සැබෑ යුද-කලාපයකට ය: දැඩි ලෙස සන්නද්ධ දහස් ගනනක ආරක්ෂක හමුදා සහ විශාල කලුගල් කුට්ටි, බර යන්ත්‍රෝපකරන සහ ප්‍රවාහන බහාලුම් සහ විශාල කටු කම්බි දඟර වලින් සමන්විත ස්ථර 12කින් යුත් බාධක මගින් ගොවීන්ගේ මග අවුරා තිබිනි. මේවා කඩාගෙන යාමට වෑයම් කරනු ඇති ඕනෑම ට්‍රැක්ටරයක ටයර් සිදුරු කිරීම සඳහා විශාල උල් සහ ඇන ද මහා මාර්ගයේ සවිකර තිබුනි.

ආන්ඩුව සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලය ලැබෙන තෙක් සිටින ලෙස ගොවි සංගම් නායකයින් ගොවීන්ට උපදෙස් දී තිබේ. ප්‍රවෘත්ති වාර්තාවන්ට අනුව, සිකුරාදා අලුයම එම සාකච්ඡා නවත්වන විට, සැලකිය යුතු ප්‍රගතියක් ගැන ආන්ඩුවේ සහ ගොවි සංගම්වල නියෝජිතයෝ කියාපෑහ; එහෙත්, මෙය, ඔවුන්ගේ ප්‍රකාශ අනුව පෙනෙන්ට තිබුනේ, ආන්ඩුව එම්එස්පී අනුමත කරනවාට වඩා ගොවි නය නිදහස් කිරීමක් ලබා දීමට ඇති හැකියාව මත රඳා පවතින බවයි. මධ්‍යම ආන්ඩුවේ කෘෂිකර්ම අමාත්‍ය අර්ජුන් මුන්ඩා, සාකච්ඡා “ඉතා ධනාත්මක” බව සඳහන් කල අතර දෙපාර්ශවය ඉරිදා නැවත හමුවීමට එකඟ වූ බව පැවසීය. කිසාන් මස්දූර් මෝර්චා (වැඩ කරන ගොවියන්ගේ පෙරමුන) සම්බන්ධීකාරක සර්වාන් සිං පැන්දර් පැවසුවේ, “රැස්වීමේදී දෙන ලද පොරොන්දු ක්‍රියාවට පරිවර්තනය වන්නේ නම්, එය ගොවියාට ඉතා ප්‍රයෝජනවත් වනු ඇති,” බව යි.

බොහෝ විට වඩාත් සමෘද්ධිමත් සහ දේශපාලනික සම්බන්ධතා ඇති ගොවීන්ගෙන් සැදුම්ලබන ගොවි සංගම්වල ප්‍රධානීන්, මෝදි ආන්ඩුව සමග ගනුදෙනුවක් සඳහා මාන බලමින් සිටින අතර, ඔවුහු තම උද්ඝෝෂනයේ 'දේශපාලනික නොවන ස්වභාවය' අවධාරනය කරති.

ඉන්දියානු මහා ව්‍යාපාර, ඔවුන්ගේ පැත්තෙන්, ගොවීන්ගේ එම්එස්පී ඉල්ලීමට විරුද්ධ වෙමින්, මෝදි ආන්ඩුවට සම්පූර්න සහයෝගය පලකර ඇත. එම ඉල්ලීම ඔවුන් දකින්නේ, සුලුපරිමාන ගොවීන්ගේ වියදමින් විශාල කෘෂිකාර්මික ව්‍යාපාර දියුනු කිරීම මගින්, කෘෂිකාර්මික අංශයෙන් ලාභ උකහා ගැනීම වැඩි කිරීම සඳහාවන එහි ධාවනයට බාධකයක් ලෙස යි; තවද, ගොවි විරෝධතා හමුවේ ආන්ඩුවේ මොනයම්ම හෝ තවදුර පසුබැසීමක්, කම්කරු පන්තිය තුල විරුද්ධත්වය ශක්තිමත් කිරීමට සේවය කරනු ඇතැයි එය බිය වේ.

පෙබරවාරි 13 දා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා කතුවැකිය තුල, “එම්එස්පී නීත්‍යානුකූලව සහතික කිරීම නරක අදහසක් වන අතර, යහපත සඳහා එය වල දැමියයුතු” බව පැහැදිලිව ප්‍රකාශ කලේය. ඒ වෙනුවට එය නිර්දේශ කලේ, ආන්ඩුව සහ ගොවි සමිති නායකයින්ගේ ඕනෑම රැස්වීමක්, අන්ඩුව කලින් 'පොරොන්දු වූ' දේවල් වන, 'පෙර විරෝධතාවල පොලිස් නඩු ඉල්ලා අස්කර ගැනීම සහ අත් අඩංගුවට ගත් ට්‍රැක්ටර් නිදහස් කිරීම වැනි' ගැටලු විසඳීම කෙරෙහි අවධානය යොමු කල යුතු බවයි.

බ්‍රහස්පතින්දා සාකච්ඡා වලට පෙර, බීජේපී ඇමතිවරුන් සහ ආධාරකරුවන් විරෝධතාවලට දිගින් දිගටම මඩ ගැසුවේ, ඔවුන් විරුද්ධ පක්ෂවල මෙවලමක් බවත්, ප්‍රචන්ඩත්වයේ චේතනාවෙන් යුත් පුද්ගලයින් ඒවා තුලට විනිවිද ඇති බවත් පවසමිනි.

ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා අත්හිටුවීමත්, පන්ජාබය සමඟ දේශසීමා අවහිර කිරීමත් ආරක්ෂා කරමින් බීජේපී හර්යානා ප්‍රාන්ත ආන්ඩුව පන්ජාබ් සහ හර්යානා මහාධිකරනයට කරුනු දැක්වූයේ ය: ගොවි සංගම් උතුරු ඉන්දියාව අවුල් ජාලාවක් කිරීමට “මුලුමනින්ම යොමුවී ඇති “ අතර ගොවීන්ගේ උද්ඝෝෂනය, ප්‍රාන්තයේ ජනතාව අතර 'භීතියේ හැඟීමක්' වපුරමින් සිටින බව එය මහාධිකරනයට කීවේ ය.

'මෙම විරෝධතාව දේශපාලනික බව පෙනේ' යැයි ආන්ඩුවේ එම්එස්පී කමිටුවේ සාමාජිකයෙකු සහ බීජේපීයට අනුබද්ධ භාරතීය කිසාන් සංග්හි නායකයෙකු වන ප්‍රමෝද් චෞද්‍රි පැවසීය. 'පසුගිය වතාවේ අප රතු කොටුවේදී (Red Fort) දුටුවාක් මෙන්, ප්‍රචන්ඩත්වය පැතිරීම ගැන කනස්සල්ලක් ඇත,' ඔහු තවදුරටත් පැවසීය. මෙම අවසානයට සඳහන් කල කරුන, 2021 ජනවාරි මාසයේ දී දිල්ලියේ දී බීජේපී ආන්ඩුව විසින් උසිගන්වන ලද ගොවීන් සමඟ ඇතිවූ ගැටුමක් පිලිබඳ ප්‍රකෝපකාරී සඳහනකි; එය පසුව ඛලිස්තානි ගැත්තන් (එනම් වෙනම සික් රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින්නන්) විසින් උද්ඝෝෂනය මෙහෙයවනු ලබන බවට වූ බොරුව පතුරුවා හැරීමට යොදා ගත්හ.

1960 ගනන්වල සිට, ඉන්දියාවේ මධ්‍යම ආන්ඩුව සෑම කන්නයකදීම බෝග 20 කට වඩා වැඩි ප්‍රමානයක් සඳහා “අවම” ආධාරක මිලක් නියම කර ඇත. කෙසේ වෙතත්, ඕනෑම අවස්ථාවක ආන්ඩුවේ මිලදී ගැනීම් සඳහා පමනක් අදාල වන එම්එස්පී, බොහෝ භෝග සඳහා අදාල වන්නේ නාමිකව පමනි. අම්රිත්සාර්හි ගුරු නානක් දේව් විශ්වවිද්‍යාලයේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු සහ මහාචාර්යවරයකු වන ආචාර්ය රංජිත් ගුමාන් ද හින්දු පුවත්පතට පැවසුවේ, “අතීත වාර්තාවලට අනුව ප්‍රධාන වශයෙන් තිරිඟු, වී සහ කපු සහ ඇතැම් විට ධාන්‍ය වර්ග තුන හතරක් පමනක් එම්එස්පී යටතේ මිලදී ගන්නා අතර ඉතිරි භෝග වර්ග මිලදී ගන්නේ, එම්එස්පී අගයට ද වඩා බෙහෙවින් අඩු මිලකට ය.”

සැබෑ අවම මිල සහතිකයක් සඳහා ආන්ඩුව විසින් පත් කරන ලද 2004-2006 ජාතික ගොවීන් පිලිබඳ කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙස ගොවීහු ඉල්ලා සිටිති. ඉන්දියාවේ 'හරිත විප්ලවයේ' නායකයෙකු ලෙස සැලකෙන කීර්තිමත් කෘෂිකාර්මිකයෙකු වන මාන්කොම්බු සම්බසිවන් ස්වාමිනාදන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම පැවසුවේ එම්එස්පීය, බරට අදාල සාමාන්‍ය නිෂ්පාදන පිරිවැයට වඩා අවම වශයෙන් සියයට 50 ක් වැඩි විය යුතු බවයි. “නිෂ්පාදන පිරිවැය” සඳහා සියලුම යෙදවුම්වල පිරිවැය සහ ඉඩම ගොවියාට අයත් වූ විට පවා, ඉඩම් කුලියට ගැනීමේ “පිරිවැය” ඇතුලත් විය යුතුය;එය හැඳින්වෙන්නේ, C2+ සියයට50 (C2+50) සූත්‍රය ලෙස ය.

2004 මැයි මැතිවරනයේදී බීජේපී නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නොසිතූ විරූ පරාජයෙන් ටික කලකට පසු කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ, ස්ටැලින්වාදී පිටුබලය ලත් එක්සත් ප්‍රගතිශීලී සන්ධාන (යූපීඒ) ආන්ඩුව විසින් ස්වාමිනාදන් කොමිසම පිහිටුවන ලදී. එහෙත් පුද්ගලීකරනය, නියාමන ඉවත් කිරීම සහ අනෙකුත් 'ආයෝජක-ගැති' ප්‍රතිසංස්කරන සමඟ ඉදිරියට ගිය යූපීඒ, එම්එස්පී යෝජනාව නොතකා හලේය. එය 'වෙලඳපොල අවුල්ජාලාවක් කල හැකි' බවත්, 'එම්එස්පී සහ නිෂ්පාදන පිරිවැය අතර යාන්ත්‍රික සම්බන්ධයක් සමහර අවස්ථාවල ඵලදායිත්වය හීන කරන්නක් විය හැකි' බවටත් යූපීඒ කෘෂිකර්ම අමාත්‍ය සහ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක කේ.වී. තෝමස් පැවසුවේ ය.

හදිසියේම, මේ සතියේ ගොවීන්ගේ උද්ඝෝෂන මධ්‍යයේ, කොංග්‍රස් පක්ෂය—ඔවුන්ගේ පහත වැටෙමින් පවතින මැතිවරන කලදසාව ඉහලනංවා ගැනීමේ පැහැදිලි ප්‍රයත්නයක් ලෙස—තමන් ඉන්දියාවේ මීලඟ ආන්ඩුව පිහිටුවුවහොත්, සියලුම ගොවීන් සඳහා ස්වාමිනාදන් කොමිෂන් සභා සූත්‍රය මත පදනම් වූ එම්එස්පී සහතික කරන නීති ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර ඇත.

මෙය පැහැදිලිවම වංචාවකි. කොංග්‍රස් පක්ෂය අද දක්ෂිනාංශික මැතිවරන කන්ඩායමක් වන, මෝදි සහ ඔහුගේ බීජේපීයට වඩා නොඅඩු ලෙස 'ආයෝජක ගැති ප්‍රතිසංස්කරන' සහ චීන-විරෝධී ඉන්දු-එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික හවුල්කාරිත්වය සඳහා කැපවී සිටින, ඉන්දියානු ජාතික සංවර්ධනය ඇතුලත් සන්ධානය හෙවත් ඉන්ඩියා (INDIA) ට නායකත්වය දරයි. කොංග්‍රසය සහ එහි සහචරයින් ද හින්දු දක්ෂිනාංශය සමග සහයෝගීව කටයුතු කරන අතර, එය ඔවුන්ගේ හින්දුත්වා ගැති සහ ෆැසිස්ට්වාදී ශිවසේනා කන්ඩායමේ ප්‍රමුඛ සහභාගීත්වය මගින් නිදර්ශනය කෙරේ. මේ කිසිවක්, කම්කරු පන්තිය සහ ග්‍රාමීය කම්කරුවන් ඉන්ඩියා (INDIA) කන්ඩායම සහ ධනේශ්වරයට විකල්ප දක්ෂිනාංශික ආන්ඩුවක් ලබා දීමේ එහි ප්‍රයත්නයන් පිටුපසට හරවා යැවීම සඳහා ස්ටැලින්වාදී පාර්ලිමේන්තු පක්ෂ තුනේ—ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) හෙවත් සීපීඑම්, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) සහ මාඕවාදී සීපීඅයි (මාක්ස්වාදී-ලෙනින්වාදී) විමුක්ති පක්ෂය—උද්‍යෝගිමත් වැඩ කටයුතු වලක්වන්නේ නැත.

පෙබරවාරි 16 සිකුරාදා ග්‍රාමීන් බන්ද් නොහොත් ග්‍රාමීය (කඩ,ව්‍යාපාර, ආයතන) වසා දැමීමක් පැවැත්වීමට තමන් ගොවි සංගම් සමඟ එක්වන බව සීපීඑම් නායකත්වයෙන් යුත් ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානය (සීඅයිටීයූ) ජනවාරි මාසයේදී නිවේදනය කලේය. මෙම විරෝධතාව, ගම්බද ජනයා මුහුන දෙන දැවැන්ත සමාජ අර්බුදයට යම් ආකාරයකින් ආමන්ත්‍රනය කරන ඉල්ලීම් මාලාවක් ජනප්‍රිය කිරීමට නියමිත ය. මේවාට, එම්එස්පී බලාත්මක කිරීම සහ සෑම ගැමි පවුලකම එක් සාමාජිකයෙකුට වසරකට දින 100 ක් දක්වා නුපුහුනු ශ්‍රමය සඳහා ගෙවන අවම වැටුප් සහතික කිරීමට නියමිත එම්ජීඑන්ආර්ඊජීඒ වැඩසටහනේ ව්‍යාප්තිය ඇතුලත් නමුත්, මෝදි ආන්ඩුවේ කප්පාදු ධාවනයේ කොටසක් ලෙස මෙය දැවැන්ත ලෙස කපා හැර ඇත.

ඔවුන් 2020-21 ගොවීන්ගේ ව්‍යාපාරයේ දී කලාක් මෙන්, ස්ටැලින්වාදීන් උත්සාහ කරන්නේ ඉන්ඩියා (INDIA) සන්ධානයට ඡන්දය ලබා ගැනීම සඳහා උද්ඝෝෂන කරන අතරතුර, ගොවීන්ට “සහාය දැක්වීමට” කම්කරුවන් සීමා කිරීමට ය. ස්ටැලින්වාදීන් රතු කොඩි ලෙලවමින්, ලෙනින් සහ මාක්ස්ගේ පින්තූර ඔසවාගෙන සිටින අතරේ, පන්ති අරගලය මර්දනය කිරීම සඳහා ඉන්දියානු ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ අනිවාර්ය අංගයක් ලෙස ක්‍රියා කරති. එනිසා, පසුගිය දශක තුන පුරා දැවැන්ත ලෙස පුලුල් වී ඇති කම්කරු පන්තිය, ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස, ගොවීන් සහ ඊටත් වඩා ම්ලේච්ඡ ලෙස සූරාකෑමට ලක් වූ කෘෂිකාර්මික කම්කරුවන් මෝදි ආන්ඩුවට සහ ඉන්දියාවේ ධනවාදයට එරෙහි ප්‍රහාරයක් පිටුපස ඒකරාශී කර ගැනීමට ඔවුහු දැඩි ලෙස විරුද්ධ වෙති.

Loading