ඉදිරිදර්ශන

එක්සත් ජනපද සසප, යුද්ධයේ සහ ආඥාදායකත්වයේ මහා ව්‍යාපාරික අපේක්ෂකයන් වන බයිඩ්න්ට සහ ට්‍රම්ප්ට එරෙහි සමාජවාදී විකල්පයක් ලෙස තම 2024 ජනාධිපතිවරන උද්ඝෝෂන ව්‍යාපාරය දියත් කරයි!

එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් 2024 ජනාධිපතිවරන ව්‍යාපාරය සඳහා සසප අපේක්ෂකයන් ලෙස ජෝ කිෂෝර් සහ ජෙරී වයිට් තෝරා ගනු ලැබීම අද නිවේදනය කලේ ය. ජනාධිපතිවරන උද්ඝෝෂන ව්‍යාපාරය සඳහා වන වෙබ් අඩවියට socialism2024.org තුලින් පිවිසිය හැකියි. 2024 ජනාධිපතිවරනය ආවරනය කිරීමේ තම පියවරක් වශයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය නෝර්ත්ගේ නිවේදනයේ පෙල ඊයේ ඉදිරිදර්ශනය වශයෙන් ඉංග්‍රීසි බසින් පල කලේ ය. අද දින අපි එහි සිංහල පරිවර්තනය පල කරමු.

***

සසප (ඇඑජ) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් ගේ නිවේදනය. (වීඩියෝවේ පහල දකුනු පස ඇති දැති රෝදයේ සලකුන ඔබා සිංහල උපසිරැසි තෝරා ගත හැකියි.)

සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන්, 2024 ජනාධිපතිවරනයට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම නිවේදනය කරන්නට ලැබීම ගෞරවයකි.

සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝ කිෂෝර්, අපගේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කම්කරු පුවත් කර්තෘ ජෙරී වයිට් සසප උප ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගනු ලැබ ඇත.

ජෝ කිෂෝර් සහ ජෙරී වයිට් යන දෙදෙනා ම සමාජවාදය සහ කම්කරු පන්තියේ අවශ්‍යතා උදෙසා සටන් කරන්නන් ලෙස දීර්ඝ හා කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියති.

44 වැනි වියේ පසුවන ජෝ, සියවස් කාර්තුවක කාලයක් පුරා සමාජවාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරීව සිටින්නෙකි. ඔහු 2008 සිට සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ලෙස කටයුතු කරයි. ඔහු සසප දේශපාලන වැඩපිලිවෙල වර්ධනය කිරීමේ දී සහ සසප ගොඩනැගීමේ දී කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කර ඇත. තව ද, ඔහු 2020 දී සසප ජනාධිපති අපේක්ෂකයා ලෙස සමාජවාදී සමානතා පක්ෂය නියෝජනය කලේ ය.

64 හැවිරිදි ජෙරී, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමි සංවිධානය වූ වර්කර්ස් ලීගයට බැදුනේ වසර හතලිස් පහකට පෙර දී ය. 1981 ඓතිහාසික පැට්කෝ වැඩවර්ජනය දක්වා දිවෙන මෙම වසර ගනනාව තුල ජෙරී විප්ලවවාදී මාධ්‍යවේදියෙකු ලෙස කම්කරු පන්තියේ අසංඛ්‍යාත අරගල ආවරනය කරමින් ඒවාට මැදිහත් වී ඇත. ඔහු මීට පෙර ජාතික මැතිවරනවලදී ද සමාජවාදී සමානතා පක්ෂය නියෝජනය කර ඇත‍. මෑතම වතාවට ඔහු මැතිවරනයක දී සසප නියෝජනය කලේ 2016 ජනාධිපතිවරනයේ දී එහි අපේක්ෂකයා වශයෙනි.

සමාජවාදී සමානතා පක්ෂය මෙම මැතිවරනයට මැදිහත් වන්නේ කම්කරු පන්තියේ දේශපාලන විඥානය ඉහල නැංවීමටයි. එනම් කම්කරු පන්තිය මුහුන දෙන කිසිදු ප්‍රශ්නයක් ධනවාදී සමාජ ක්‍රමය අවසන් කර එය සමාජවාදයෙන් විස්ථාපනය කිරීමකින් තොර ව විසඳා ගත නොහැකි ය යන අවබෝධයත් මෙම ශ්‍රේෂ්ඨ ඓතිහාසික කර්තව්‍යය සාක්ෂාත් කරගත හැක්කේ ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ බලය ලෝක ධනේශ්වර පද්ධතියට එරෙහි ඒකාබද්ධ අරගලයකට බලමුලු ගැන්වීම ඉලක්ක කරගත් ගෝලීය මූලෝපායක් අනුගමනය කිරීමෙන් පමනි යන අවබෝධයත් ඔවුන් තුල වැඩි වර්ධනය කිරීමටයි.

සමාජවාදී සමානතා පක්ෂයේ වැඩපිලිවෙල මනෝරාජික සැලැස්මක් නොවේ. එය අවශ්‍යතාවකි. මානව වර්ගයා පැවැත්මේ අර්බුදයකට මුහුන දී සිටියි. ධනේශ්වර ක්‍රමය ඓතිහාසික ව යල්පැන ගොස් ඇත. ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීමට එයට නොහැකිවා පමනක් නොවෙයි, එය මනුෂ්‍ය වර්ගයා ව්‍යසනයකට ගෙන යමින් සිටියි. මානව වර්ගයා මුහුන දෙන විකල්ප වන්නේ සමාජවාදය හෝ ධනේශ්වර ම්ලේච්ඡත්වයයි.

2024 දී ධනවාදයේ යථාර්ථය කුමක්ද?

දෙවන ලෝක යුද්ධය අවසන් වූ 1945 සිට, මහා විනාශකාරී තුන්වන ලෝක යුද්ධයක අනතුර අද පෙර නුවූ විරූ අයුරින් සමීපස්ථයට පැමින ඇත. ඇත්ත වශයෙන්ම, දැන් යුරෝපයේ සහ මැද පෙරදිග සිදුවෙමින් පවතින ගැටුම් සහ අප්‍රිකාවේ සහෙල් ප්‍රදේශය පුරා සහ මධ්‍යම ආසියාවේ ට්‍රාන්ස්කොකේසස් ප්‍රදේශය පුරා පැතිරෙමින් පවතින ගැටුම් වේගයෙන් වර්ධනය වන ගෝලීය යුද්ධයක ආරම්භක වටයන් ය.

චීනයට එරෙහි එලඹෙන අවසන් ගැටුමට සූදානම් වෙමින්, රුසියාව දුබල කිරීමේ සහ යුරේසියාව මත්තෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ හා එහි නේටෝ සහචරයින්ගේ ග්‍රහනය දැඩි කරගැනීමේ අරමුනින් වසර දෙකකට පෙර බිඩෙන් පරිපාලනය හිතාමතාම ප්‍රකෝප කොට අවුලුවා ගත් යුක්රේනයේ යුද්ධය න්‍යෂ්ටික ගැටුමක් දක්වා උත්සන්න වීමේ තර්ජනය පවතී. ජර්මනිය නැවත වරක් යුද මාවතට පිවිස සිටියි. නේටෝ බලයන් දිගින් දිගට ම පවසන්නේ න්‍යෂ්ටික ගැටුමක් කරා උත්සන්න වීමේ තර්ජනය නිසා තම යුද අරමුනු හකුලා ගැනීමට සූදානම් නැති බවයි. උපායික සහ මූලෝපායික න්‍යෂ්ටික අවි හිතාමතා යොදා ගැනීම දශක ගනනාවක් තිස්සේ උමතු සහගත ක්‍රියාවක් ලෙස බැහැර කෙරුනත්, දැන් එය අධිරාජ්‍යවාදී භූ දේශපාලනික මූලෝපායේ යුක්තියුක්ත අංගයක් බවට “සාමාන්‍යකරනය” කෙරෙමින් පවතියි.

යුක්රේනයේ යුද්ධය ඇවිලී යද්දී, ධවල මන්දිරයේ සහ යුරෝපයේ මිත්‍ර ආන්ඩුවල පූර්න සහයෝගය ඇතිව ෆැසිස්ට් ඊශ්‍රායල පාලන තන්ත්‍රය ගාසා තීරයේ ජනතාවට එරෙහි ව තම මිනීමරු සංහාරය අඛන්ඩව කරගෙන යයි. මරන සංඛ්‍යාව 30,000ට ආසන්න වෙමින් පවතියි. බයිඩ්න් පාලනාධිකාරය විසින් සපයන ලද රාත්තල් දෙදහසේ බෝම්බ, අනාරක්ෂිත ජනතාවක් මත ඉවක් බවක් නොමැතිව හෙලනු ලැබේ. සෑම දිනකම කාන්තාවන් සහ ලමුන් සිය ගනනක් මරා දමනු ලැබුව ද, බයිඩ්න් පාලනාධිකාරය සටන් විරාමයක් ඉල්ලා සිටීම ප්‍රතික්ෂේප කරයි. ජන සංහාරය “සාමාන්‍යකරනය” කෙරෙමින් පවතියි.

කෝවිඩ්-19 වසංගතය දැන් එහි පස්වන වසරට පිවිස ඇත. මිලියනයකට අධික ඇමරිකානුවෝ වෛරසය ආසාදිත ව මිය ගොස් ඇත. ගෝලීය පරිමානයෙන් තක්සේරු කර ඇත්තේ, වසංගතයෙන් සිදු වූ අතිරික්ත මරන සංඛ්‍යාව දැන් මිලියන 28 ඉක්මවන බවයි. ගනන් කල නොහැකි මිලියන ගනනක් කිහිප වතාවක් නැවත නැවතත් ආසාදනයට ගොදුරු වෙමින් සිටිති. මරනයෙන් දිවි ගලවා ගත්තත්, දිගු කාලීන කෝවිඩ් හි දුක්ඛිතභාවය සහ ඇති වන කායික දුර්වලතාවයන් විඳ දරාගන්නට ඔවුනට සිදු වෙයි. සෑම ධනපති ආන්ඩුවක් ම රෝගය පැතිරීම වැලැක්වීම සඳහා අවශ්‍ය ඉතාමත් ම අවම පියවර පවා අතහැර දමා ඇත.

මුව ආවරන පැලඳීමට පවා එරෙහි වෙමින් සිටින ඔවුහු, සමහර අවස්ථාවල දී එයට එරෙහිව සාපරාධී සම්බාධක පනවන බවට ද තර්ජනය කරති. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් විසින් මුලින් ප්‍රකාශ කරන ලද පාලක ප්‍රභූන්ගේ ආදර්ශ පාඨය වන්නේ, “මල සිරුරු ගොඩ ගැසුනාවේ!” යන්නයි. වෛරසය සම්ප්‍රේෂනය වීම නැවැත්වීම සඳහා සුප්‍රසිද්ධ සහ ඵලදායී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීමට විරුද්ධ වන අතර වෛරසය අඛන්ඩව ව්‍යාප්ත වෙමින් හා විකරනයන්ට භාජන වෙමින්, සෑම දිනක ම මිලියන සංඛ්‍යාත ජනතාවක් ආසාදනය කරයි. සමූහ මරන සහ කායික ව දුර්වල වීම සාමාන්‍යකරනය කෙරෙයි.

ධනේශ්වර ආන්ඩු ලෝක ජනගහනයේ ජීවිත කෙරෙහි දක්වන සාපරාධී නොතැකීම, පෘථිවියේ පැවැත්ම පිලිබඳ ඔවුන්ගේ ආකල්පය තුල ද පිලිබිඹු වෙයි. ගෝලීය උෂ්නත්වය ඉහල යාමේ විනාශකාරී ප්‍රතිවිපාක සනාථ කරන කිසිදු තොරතුරක්, පෘථිවියේ ස්වයං නාශනය වලක්වා ගැනීම සඳහා අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග යැයි විද්‍යාඥයන් අවධාරනය කරන ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පාලක පන්තිය පොලඹවන්නේ නැත.

ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිගාමී සමාජ සාරය නම් දැවැන්ත ලාභ ඉපැයීමට සහ සමාජය පාලනය කරන මූල්‍ය සංගත කතිපයාධිකාරීන්ගේ බැංකු ගිණුම්වල ධනය කඳු ගැසීමට මානව සමාජයේ අවශ්‍යතා මුලිමනින්ම යටත් කිරීමයි.

දහනව වන සියවසේ මුල් භාගයේ ධනේශ්වර පන්තියේ නැගීම විවේචනාත්මක ඇසකින් නිරීක්ෂනය කල ප්‍රංශ නවකතාකරු බල්සාක් “සෑම මහා ධනයක් පිටු පස ම මහා අපරාධයක් පවතී” යනුවෙන් සඳහන් කලේ ය. නමුත්, අද දවසේ කතිපයාධිකාරින් ගොඩ ගසා ගෙන ඇති අති දැවැන්ත ධනස්කන්ධය මගින් තම ආප්තය සනාථ කෙරෙනු ඇති පරිමාව මේ දීප්තිමත් ලේඛකයාටත් සිතා ගැනීමට අපහසු වේවි! බල්සාක් සඳහන් කල “මහා ධනස්කන්ධයන්” මිලියන කිහිපයකට සමාන විය. අද්‍යතන සංගත-මූල්‍ය කතිපයාධිකාරීන් තම ධනය ගනින්නේ දස බිලියන සහ සිය බිලියන ගනනිනි.

සමාජයක ප්‍රගතිශීලී හෝ ප්‍රතිගාමී ස්වභාවයේ මූලික ම ඇඟවුම වන්නේ එය වඩාත් සමාන වෙමින් හෝ අසමාන වෙමින් පවතිනවා ද යන්නයි. මෙම ප්‍රමිතියට අනුව, ඇමරිකානු සහ ගෝලීය ධනේශ්වර සමාජයේ ප්‍රතිගාමී ස්වභාවය අවිවාදිත ය. සමාජ අසමානතාව අවම වශයෙන් ශතවර්ෂයක් තුල පෙර නුවූ විරූ මට්ටම් කරා ලඟා වී ඇත.

ලෝක ජනගහනයෙන් ධනවත් ම සියයට 1 දැන් ලෝක ධනයෙන් අඩකට ආසන්න ප්‍රමානයකට උරුමකම් කියයි. දුප්පත්ම සියයට 50 සතු වන්නේ ධනවත් ම සියයට 1 සතු ධනයෙන් හතරෙන් තුනක් වැනි ප්‍රමානයක් පමනි. ගෝලීය ජනගහනයෙන් අඩකට වඩා වැඩි ධනයක් බිලියනපතියන් 81 දෙනෙකු සතු වෙයි. 1990 ගනන් මැද සිට එකතු වූ සියලු ම අමතර ධනයෙන් සියයට 38ක් ධනවත්ම සියයට 1 උදුරා ගද්දී, පහල ම සියයට 50ට ලැබුනේ ඉන් සියයට 2ක් පමනයි.

ලෝකයේ ඉහලම ප්‍රකෝටිපතියන් සංකේන්ද්‍රනය එක්සත් ජනපදය සතු වෙයි. 2023 දී ඔවුන්ගේ සාමූහික ධනය ඩොලර් ට්‍රිලියන 5.2 දක්වා වර්ධනය විය. මෙම අතිවිශාල ධන සංකේන්ද්‍රනය සහ ඊට අනුරූපී සමාජ අසමානතාව ප්‍රජාතන්ත්‍රවාදය සමග කිසි සේත් ම පෑහෙන්නේ නැත.

ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති තර්ජනය පිලිබඳ ව මාධ්‍ය තුල විශාල කතාබහක් පවතී. ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් ඒකාධිපති පාලනයක් වලකමින් මග අහුරා සිට ගත හැක්කේ (සිට ගැනීම කෙසේ වෙතත් ඔහු පන නැති ව වැනෙමින් සිටින බව මා සඳහන් කල යුතුයි) තමන්ට බව ජනාධිපති බිඩෙන් ප්‍රකාශ කරයි. මෙය සත්‍ය නම්, ප්‍රජාතන්ත්‍රවාදය නියත වශයෙන්ම විනාශයට නියමිතය.

එහෙත් ඒකාධිපතිත්වයට හා ෆැසිස්ට්වාදයට එරෙහි සටන සාර්ථක විය හැක්කේ ඒවා පැන නැගීමට හේතු වූ කරුනු තේරුම් ගන්නා තරමට පමනි.

නිව් යෝර්ක් සහ නිව් ජර්සි දේපල වෙලඳාම් සහ කැසිනෝ කර්මාන්තවල දුගඳ හමන අපද්‍රව්‍ය වලින් මතු වූ ට්‍රම්ප් ඇමරිකානු ධනවාදයේ සාපරාධීත්වය පුද්ගලිකව නියෝජනය කරනවා පමනයි.

දැවැන්ත සමාජ අසමානතාවක් සමඟ ප්‍රජාතන්ත්‍රවාදයට පැවතිය නොහැකියි. සමාජ අසන්තෘප්තියේ හා පන්ති අරගලයේ නැගී එන රැල්ලට එරෙහිව තම ධනය ආරක්ෂා කර ගැනීමට ධනේශ්වර කතිපයාධිකාරීහු, ඔවුන් 1930 ගනන්වල ජර්මනියේ දී කලාක් මෙන්, අද ද ඒකාධිපතිවාදය හා ෆැසිස්ට්වාදය දෙසට හැරෙමින් සිටිති. මෙය ඇමරිකානු සංසිද්ධියක් පමනක් නොවේ. එය ලොව පුරා සිදුවෙමින් පවතින්නකි. 2023 දී එක්සත් ජනපදය පුරා පැතිර ගිය වැඩ වර්ජන රැල්ල ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසකි.

මෙම ගෝලීය නැගිටීම 2024 වසර තුල දී අඛන්ඩව හා ශක්තිමත්ව වර්ධනය වනු ඇත.

දරිද්‍රතාවට ඇද හෙලීම, දේශපාලන මර්දනය සහ යුද්ධය හැර කම්කරු පන්තියට පිරිනැමීමට වෙනත් දෙයක් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙකට ම ඇත්තේ නැත. 2021 ජනවාරි 6 කුමන්ත්‍රන ප්‍රයත්නය හුදකලා සිදුවීමක් නොවේ. ඇත්ත වශයෙන්ම, එයට තිබුනේ පෙරහුරුවක ලක්ෂනයි. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය එහි අවසානය කරා ලගා වී ඇත. ධනවාදයේ පදනම මත එයට තවදුරටත් පැවතිය නොහැකියි.

එබැවින්, සමාජවාදී සමානතා පක්ෂය, සංගත-මූල්‍ය ආඥාදායකත්වය අවසන් කිරීම, මූල්‍ය-සංස්ථාපිත සමූහ ව්‍යාපාර මත ප්‍රජාතන්ත්‍රවාදී ව පාලිත මහජන අයිතිය පිහිටුවීම සහ දැවැන්ත මිලිටරි-කාර්මික සංකීර්නය බිද විසුරුවීම ඉල්ලා සිටින වැඩපිලිවෙලක් ඉදිරිපත් කරනු ඇත.

සසප, සුපිරි ධනවතුන්ගේ සිට ජනගහනයේ පුලුල් මහජනතාව දක්වා විස්තීර්න හා දුරදිග යන ධනය යලි බෙදා හැරීමක් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

ධනපති පක්ෂවල දුෂ්ට ස්වෝත්තමවාදයට එරෙහිව ද සසප සටන් කරනු ඇත. අපි ලතින් ඇමරිකාවේ සිට පැමිනෙන සංක්‍රමනිකයන්ට ම්ලේච්ඡ ලෙස සැලකීම හෙලා දකිමු; එය හෙලිදරව් කරන්නෙමු. අපි සියලු වැඩ කරන ජනතාවට තමන් කැමති ඕනෑ ම තැනක අභිමානයෙන් ජීවත් වීමට ඇති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරමු.

මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන බලය කම්කරු පන්තියට පවරා ගැනීම අවශ්‍ය වන බව සමාජවාදී සමානතා පක්ෂය පැහැදිලි කරනු ඇත.

එක්සත් ජනපද මැතිවරනය ලෝක සිදුවීමකි. එක්සත් ජනපදයේ සිදුවන දේ ලෝකයේ සෑම රටකට ම බලපායි. එක්සත් ජනපද මැතිවරනයේ ගෝලීය බලපෑම සැලකිල්ලට ගත් කල, නොවැම්බර් මාසයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලෝකයේ සෑම පුද්ගලයෙකුට ම තිබිය යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය 2024 ජනාධිපතිවරනයට මැදිහත් වන්නේ කම්කරු පන්තියේ පන්ති සවිඥානික සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වන වත්මන් අර්බුදයේ තීරනාත්මක ස්වභාවය නිසාය.

ධනේශ්වර ක්‍රමයේ ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුදය 2024 පුරා තීව්‍ර වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, කම්කරු පන්තියේ ගෝලීය ප්‍රතිරෝධය වඩාත් අධිෂ්ඨානශීලී ව සහ දේශපාලනික ව සවිඥානිකව වර්ධනය වනු ඇත. මෙම ක්‍රියාවලියේ දී සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අනුබද්ධ පක්ෂවල එහි සම-චින්තකයන් වැඩි වැඩියෙන් තීරනාත්මක භූමිකාවක් ඉටු කරනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය පුහු වාචාල සටන් පාඨ හඩ තලමින්, නිස්සාර ප්‍රකාශ සිදු කරමින් සහ තම ක්‍රියාමාර්ගය පහලම මට්ටම්වලට ගලප්පාලමින් හුදෙක් ඡන්ද ඩැහැ ගැනීමේ යෙදී සිටින සංවිධානයක් නොවේ. අපි එම කටයුත්ත ඩිමොක්‍රටික් පක්ෂයේ අවසරය ඇතිව ඔවුන් සමග සන්ධානගත ව සුලු සහ වැදගැම්මකට නැති ප්‍රතිසංස්කරන සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වන ව්‍යාජ වාම සංවිධානවල දේශපාලන බක පන්ඩිතයන්ට ඉතිරි කරමු‍. තවද සමාජවාදී සමානතා පක්ෂය, ධනවාදී රාමුව තුල තමන්ට වාසිදායක අයුරින් ධනය යලි බෙදාගැනීම පිනිස සටන් වදින -- ජනවර්ගය, වර්ගය, ලිංග භේදය සහ ලිංගික නැඹුරුව ආදී – විවිධ පරස්පර පුද්ගලික අනන්‍යතාවන්ට ජනගහනය කපා කොටා වෙන් කරන්නේ නැත.

සමාජවාදී සමානතා පක්ෂයේ වැඩපිලිවෙල පදනම් වී ඇත්තේ සමාජයේ මූලික ගැටුම සමාජ පන්ති අතරය යන පිලිගැනීම මතයි.

සසප ඉතිහාසයේ පක්ෂයකි. එහි න්‍යායික, දේශපාලනික සහ ප්‍රායෝගික වැඩකටයුතු පදනම් වී ඇත්තේ සියවසකට වැඩි කාලයක් පුරා විහිදුනු විප්ලවවාදී අරගලයේ අතිමහත් අත්දැකීම් මතයි‍. 1923 දී ආරම්භ කරන ලද ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ස්ටැලින්වාදයට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට, ප්‍රතිගාමී ජාතිකවාදයට සහ මධ්‍යම පන්තික දේශපාලනයේ අනේක විධ ප්‍රවනතාවන්ට එරෙහි ව ආරක්ෂා කර වර්ධනය කර ඇති මාක්ස්වාදී සමාජවාදයේ ජාත්‍යන්තර මූලධර්ම හා ක්‍රියාමාර්ගය තුල අපගේ සම්ප්‍රදායයන් මුල් බැස ඇත.

සමාජවාදී සමානතා පක්ෂය ධනේශ්වර අර්බුදයේ ද ලෝකය වෙනස් කිරීමට උත්සාහ කරන ව්‍යාපාරයකට මුහුන දීමට සිදු වන ඉමහත් දැවැන්ත කර්තව්‍යයන්ගේ ද ගෝලීය පරිමාව ගැන දැනුවත් ය. නමුත් අපි විශ්වාසය හා ශුභවාදී බව උකහා ගන්නේ, විද්‍යාවේ සහ තාක්‍ෂණයේ අත්‍යසමාන දියුනුව මානව වර්ගයාගේ අවශ්‍යතා වෙනුවෙන් ලෝක ආර්ථිකය තාර්කික ව හා ප්‍රගතිශීලී ව ප්‍රතිසංවිධානය මුලුමනින්ම කල හැකි දෙයක් බවට පත් කර ඇත යන කරුන වෙතින් පමනක් නොවේ; ‍ලෝකයේ විප්ලවවාදී පරිවර්තනය සිදුකිරීමට තරම් බලගතු සමාජ බලවේගයක් එනම්, ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය මිහිමත සිටින්නේ ය යන කරුනෙනි.

ධනවාදය ම්ලේච්ඡත්වයට පල්ලම් බැසීමට එරෙහි ව එක්සත් ලෝක ව්‍යාප්ත අරගලයක අවශ්‍යතාව කම්කරුවන්ට පැහැදිලි කරනු පිනිස සසප තම මැතිවරන ව්‍යාපාරය ජාත්‍යන්තර පරිමාවක ගෙන යනු ඇත.

නමුත් එහි සාර්ථකත්වය, අපගේ උද්ඝෝෂන ව්‍යාපාරයේ සාර්ථකත්වය සසප මැතිවරන ව්‍යාපාරයට ඔබගේ සහයෝගය සහ සහභාගීත්වය මත රඳා පවතින්නකි. ජෝෂප් කිෂෝර් සහ ජෙරී වයිට් හැකි තරම් ප්‍රාන්ත ගනනක ඡන්ද පත්‍රිකාවලට ඇතුලු කර ගැනීමට අපට උදවු කරන්න. අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් - ඇත්ත වශයෙන්ම, ධනවාදය තම අවසානයට පැමින ඇති බව පිලිගන්නා සියල්ලන්ගෙන් - ඉල්ලා සිටින්නේ මෙම සටනට සම්බන්ධ වන ලෙසයි. කම්කරු පන්තිය වෙනුවෙන් පෙරට එන්න. මුදල් ආධාර ලබා දෙන්න, අපගේ මැතිවරන ව්‍යාපාරයට ක්‍රියාකාරීව සහභාගී වන්න. ඔබේ කම්හල්, සේවා ස්ථාන, පාසල් සහ අසල්වැසි ප්‍රදේශවල සසප ප්‍රචාරක කමිටු ගොඩනඟන්න.

දරිද්‍රතාවට, මර්දනයට හා තුන්වන ලෝක යුද්ධයට එරෙහි සටන ලෝක සමාජවාදය සඳහා වන සටනයි!

Loading