ඉදිරිදර්ශන

යුක්‍රේනය තුල යුදභටයන් දිගේලි කිරීමේ නැටෝ සැලසුමට විරුද්ධ ව කම්කරු පන්තිය බලමුලුගන්වනු!

(මෙය Mobilize the working class against NATO’s plan to deploy troops in Ukraine! මැයෙන් 2024 පෙබරවාරි 29දා පල කල ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනය යි.)

ලිතුවේනියාව තුල සිටින විස්තීර්න නැටෝ ඉදිරි බලකායේ ජර්මානු ආරක්ෂක සොල්දාදුවන් (ඒපී ඡායාරූප/මින්ඩෝගාස් කුල්බිස්)

යුරෝපීය යුදභටයන් යුක්‍රේනයට යැවීම “නොතකා හැර නැතැ” යි ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සඳුදා රාත්‍රීයේ කල ප්‍රකාශය, නැටෝ අධිරාජ්‍යවාදී බලයන්ගේ යුද සැලසුමෙහි පරිමාව ප්‍රසිද්ධියේ හෙලිදරවු කර තිබේ. මහජනතාවට පිටුපසින්, නැටෝ සන්ධානය රුසියාව සමග පූර්න පරිමාන යුද්ධයකට පාර කපමින්, න්‍යෂ්ටික ව්‍යසනයක අන්තරාය ඉහල දමයි.

යුක්‍රේනය තුල යුදභටයන් දිගේලි කිරීමේ සැලසුම් නොමැති බවට විවිධ නැටෝ නායකයන් කරන ප්‍රකාශ කෙරෙහි විශ්වාසය තැබිය යුතු නැත. මැක්‍රෝන් කතා කලේ ඔහු වෙනුවෙන් පමනක් නො වේ. පරෙස්සමෙන් වචන තෝරාගත් ඔහුගේ ප්‍රකාශය සංඥා කරන්නේ, දැනට මත් මූලෝපායික හා උපායික සැලසුම් සැලකිල්ලට භාජනය වෙමින් පවතින බව සහ යුක්‍රේනයට සොල්දාදුවන් යැවීම කරා නැටෝව වෙහෙස නොතකා ක්‍රියාත්මක වෙමින් සිටින බව යි. ප්‍රධාන නැටෝ අධිරාජ්‍යවාදී බලයන්ට ප්‍රශ්නයක් වන්නේ රුසියාව සමග විවෘත යුද්ධයක් ඇති වේ ද නැද්ද යන්න නො ව, එය කවර මොහොතේ ඇතිවේද යන්න යි.

ඊයේ නිව් යෝක් ටයිම්ස් පත්‍රයෙහි පලමු පිටුවේ පල කල වාර්තාවකට අනුව “ඕනෑ ම නැටෝ රටක් විසින් ගොඩබිමින් කරන මැදිහත් වීමක්, බටහිර මිලිටරි සන්ධානය සහ රුසියානු හමුදා අතර ඍජු ගැටුමකට තුඩු දෙමින්, භව්‍ය අන්තරායන් දරා සිටිනු ඇති අතර, එවන් පියවරක් පිලිබඳ විවෘත සාකච්ඡාව ‘ඉතා වැදගත් නව මූලිකාංගයක්’ වනු ඇතැයි ක්‍රෙම්ලිනය අඟහරුවාදා අනතුරු ඇඟවී ය.”

2024 ජනාධිපතිවරනයට සමාජවාදී සමානතා පක්ෂයෙහි මැදිහත් වීම නිවේදනය කරමින්, පක්ෂයේ සභාපති ඩේවිඩ් නෝර්ත් කල ප්‍රකාශය තුල ඔහු කල අනතුරු ඇඟවීම, මැක්‍රෝන්ගේ ප්‍රකාශය විසින් සනාථ කරයි:

එලැඹෙමින් පවත්නා චීනය සමග ගැටුමට සූදානම් වෙමින්, රුසියාව දුබල කිරීමේ සහ යුරේසියාව මත්තෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ හා එහි නැටෝ සහචරයින්ගේ ග්‍රහනය දැඩි කරගැනීමේ අරමුනින් වසර දෙකකට පෙර බයිඩන් පරිපාලනය හිතාමතාම ප්‍රකෝප කොට අවුලුවා ගත් යුක්‍රේනයේ යුද්ධය න්‍යෂ්ටික ගැටුමක් දක්වා උත්සන්න වීමේ තර්ජනය පවතී. ජර්මනිය නැවත වරක් යුද මාවතට පිවිස සිටියි. නැටෝ බලයන් දිගින් දිගට ම පවසන්නේ න්‍යෂ්ටික ගැටුමක් කරා උත්සන්න වීමේ තර්ජනය නිසා තම යුද අරමුනු හකුලා ගැනීමට සූදානම් නැති බවයි. උපායික සහ මූලෝපායික න්‍යෂ්ටික අවි හිතාමතා යොදා ගැනීම දශක ගනනාවක් තිස්සේ උමතු සහගත ක්‍රියාවක් ලෙස බැහැර කෙරුනත්, දැන් එය අධිරාජ්‍යවාදී භූ දේශපාලනික මූලෝපායේ යුක්තියුක්ත අංගයක් බවට “සාමාන්‍යකරනය” කෙරෙමින් පවතියි.

යුද්ධය නැවැත්විය හැකි එක ම මාවත වන්නේ, යුද්ධය සඳහා සැලසුම් කරමින් සිටින නැටෝ ආන්ඩුවලට එරෙහි ඍජු අරගලයක් තුලින්, කම්කරු මහජනතාවගේ මැදිහත් වීම යි.

ප්‍රන්ස ජනාධිපතිවරයාගේ වාර්තාව අවධාරනය කරන්නේ, මහජන මතය කෙරෙහි යුරෝපීය ආන්ඩුවල අත්‍යන්ත හතුරුකම හා එය ගනනකට නොගැනීම යි. වසරකට පෙර, ඊලඟ වසරේ මිලිටරි පිරිවැය සඳහා යුරෝ බිලියන 100කට අධික මුදලක් වෙන්කරගනු වස්, පාර්ලිමේන්තු ඡන්දයකින් තොර ව ඔහු විශ්‍රාම වැටුප් කප්පාදු තල්ලු කරගත්තේ, බහුතර මහජන විරුද්ධත්වය හා වැඩ වර්ජන නොතකා හරිමිනි. මැක්‍රෝන්ට එරෙහි වැඩ වර්ජන නවතා දැමූ වෘත්තීය සමිති නිලධරයන් ඔහුගේ හෘද සාක්ෂියට කල ආයාචනා නොතකා හැරුනි. මහජනයාට එරෙහි ව පාලනය ගෙන යාම සම්බන්ධයෙන් දැන් ඔහු ප්‍රන්සයේ කම්කරුවන් අතර පලල් ව අපකීර්තියට පත්ව සිටී.

දැන් මැක්‍රෝන්ගේ ප්‍රකාශයෙන් ඈත් වීමට නරුම ලෙස උත්සාහ කරමින් සිටින අනෙකුත් යුරෝපීය නැටෝ ආන්ඩුවල භූමිකාව ඊට නො වෙනස් ය. “අපි ඍජු ව හෝ වක්‍ර ව යුද්ධයේ පාර්ශවයක් වන්නේ නැහැ” යි කියා සිටිමින්, ජර්මානු චාන්සලර් ඔලැෆ් ශෝල්ස් ඊයේ ප්‍රකාශ කලේ, බර්ලිනය මැක්‍රෝන්ගේ ප්‍රකාශයට සහයෝගය නො දෙන බව යි.

අනෙකුත් සියලු නැටෝ බලයන් මෙන්, බර්ලිනය ද දැනට මත් යුක්‍රේනය තුල රුසියාව සමග යුද්ධයේ පාර්ශවයක් වන තතු තුල, මෙය අමූලික බොරුවකි. නිල “මිලිටරි ආධාර සේවා ලැයිස්තුවට” අනුව, බර්ලිනය යුක්‍රේනයට ලියෝපාඩ් 1 ප්‍රධාන සටන් ටැංකි 30ක්, ලියෝපාඩ් 2 ප්‍රධාන සටන් ටැංකි 18ක්, මාඩර් කාලතුවක්කු සටන් වාහන 90ක්, ගුවන් යානා නාශක ගෙපාඩ් ටැංකි 52ක් සහ අනෙකුත් සන්නද්ධ සටන් වාහන 250ක් පමන යවා ඇත. තවත් මාඩර් වාහන 30ක්, ලියෝපාඩ් 1 ටැංකි 105ක් සහ ගෙපාඩ් ටැංකි 15ක් යැවීමට “සූදානම් කරමින්” පවතී.

“යුරෝපීය හෝ නැටෝ රටවල ගොඩබිම් භටයන් (යුක්‍රේනයේ) නොසිටිනු ඇතැ”යි ශෝල්ස් ප්‍රකාශ කල එම එක්ස් පනිවුඩය තුල ම, ඔහු මෙසේ ලීවේ ය: “ඊයේ පැරීසියේ දී යුක්‍රේනය වෙනුවෙන් සෑම කෙනෙක් ම මීට වැඩි දෙයක් කල යුතු යයි අපි එකඟ වුනා. යුක්‍රේනයට ආයුධ, වෙඩි උන්ඩ හා ගුවන් ආරක්ෂාව අවශ්‍ය යි. අපි ඒ ගැන කටයුතු කරමින් සිටිනවා.”

ඊලඟ වසර 5-8 කාලය ඇතුලත රුසියාව සමග යුද්ධයක් සඳහා වන සැලසුම්, ජර්මානු යුද හමුදාව විසින් පසුගිය මාසයේ නිකුත් කෙරුනි. ජර්මානු යුද සැලසුම් නිකුත් කරද්දී, ආරක්ෂක ඇමති බෝරිස් පිස්ටෝරියස් ප්‍රකාශ කලේ, අවුරුදු පහක් ඇතුලත “රුසියානු ආක්‍රමනයක්” සිදු විය හැකි බව යි. එලඹෙන අවුරුදු තුනේ සිට පහක කාලය, “අපි ම තීව්‍ර ලෙස සන්නද්ධ වීමට” යොදාගත යුතු ව ඇතැයි ඔහු තව දුරටත් කීවේ ය.

යුරෝපයේ අනෙකුත් ප්‍රධාන ආන්ඩු, තමා ද රුසියාව සමග යුද්ධය සඳහා සූදානම් වෙමින් සිටින්නේය යන ප්‍රතික්ෂේප කල නො හැකි ප්‍රසිද්ධ සංඥා යවා ඇත. පසුගිය මාසයේ දී, බ්‍රිතාන්‍ය ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් ශ්‍රීමත් පැට්‍රික් සෑන්ඩර්ස් යුද්ධය සඳහා “ජාතිය බලමුලුගැන්වීමට” කැඳවුම් කලේ, බ්‍රිතාන්‍යය තුල “පුරවැසි හමුදාවක්” හා මිලිටරි සැලැස්මක් සඳහා වන අවශ්‍යතාව, යුක්‍රේනය තුල යුද්ධය විසින් පෙන්නුම් කලේ යයි සඳහන් කරමිනි.

ශෝල්ස්, මැක්‍රෝන්ගේ යුද සැලසුම ප්‍රතික්ෂේප කිරීම අර්ථ විරහිත ය. යුක්‍රේනය තුල නැටෝ යුද්ධයේ සෑම පියවරක දී ම, එවන් ප්‍රතික්ෂේප කිරීම් කලින් කලට කරනු ලැබ ඇත. යුක්‍රේනයට ආයුධ ද, ඉන්පසු බර කාලතුවක්කු ද, ඉන්පසු යුද ටැංකි ද, ඉන්පසු දිගු දුර මිසයිල ද යැවීමේ නැටෝ බලයන්ගේ සැලසුම් සියල්ල ප්‍රථමයෙන් ප්‍රතික්ෂේප කරන ලදු ව, අවසානයේ ක්‍රියාවට දැමුනි.

යුක්‍රේනයට නැටෝ භටකායන් දිගේලි කිරීම හේතුවෙන්, ලෝකයේ විශාලතම න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් දෙක වන, නැටෝ සන්ධානය සහ රුසියාව අතර න්‍යෂ්ටික ගැටුමක් නිශ්චිත වසයෙන් ම පාහේ පුපුරා යනු ඇත්තේ, කෝටි හෝ දස කෝටි ගනනකට, එසේ නොවේනම් ඊටත් වැඩි ගනනකට මරන හා තුවාල සිදු කරමිනි.

තුන්වන ලෝක යුද්ධයක් කරා ධනපති ක්‍රමයේ ගමන නැවැත්වීමට පවතින එක ම මාවත වන්නේ , ධනපති ආන්ඩුවලට එරෙහි අරගලයක් තුල කම්කරු පන්තිය ජාත්‍යන්තර ව බලමුලුගැන්වීම යි. යුරෝපයේ පාලක පන්තීන්ට යොදන සදාචාරී පීඩනය හා ආයචනා කිරීම අසාර්ථක වනු ඇත. රුසියාව අල්ලාගෙන, එහි යෝධ ස්වාභාවික සම්පත් පැහැර ගැනීමට ඔවුන් කරන යුද්ධය, ඔවුන් ව ව්‍යසනයක මාවතට ඇද දමනු ඇති බවත්, සෑම රටක් තුල ම කම්කරු පන්තියේ ගැඹුරු විරුද්ධත්වය සමග ඝට්ටනයකට ගෙන යනු ඇති බවත්, ඔවුහු හොඳින් ම දනිති. කෙසේ වෙතත්, ඔවුහු අඛන්ඩ ව ඉදිරියට යති.

“යුද ටැංකි වැඩි වැඩියෙන් මිල දී ගැනීම සඳහා තමන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමට ඡන්ද දායකයෝ විරුද්ධ විය හැකි” යි බ්‍රිතාන්‍ය මූල්‍ය-ප්‍රාග්ධනයේ සුප්‍රකට දි ඉකොනොමිස්ට් සඟරාව මුදු මොලොක් ලෙස ලීවේ, වැඩි දුරටත් මෙසේ සඳහන් කරමිනි: “අනෙකුත් සේවාවන් කප්පාදුව, බදු හා නය ගැනීම් හරහා අරමුදල් තර කිරීමට යුරෝපීය නායකයන් සූදානම් වන්නේ නම්, එම කැපකිරීම් කිරීමට තරම් වටිනා බව ඔවුන් ඡන්ද දායකයන්ට ඒත්තු ගැන්විය යුතු ය.”

න්‍යෂ්ටික යුද්ධය කරා වන ගමනකට සහයෝගය ලබා ගනු වස්, යුරෝපීය කම්කරුවන් ඒත්තු ගැන්විය නො හැකි අතර, එසේ නො වනු ද ඇත. සලකා බලනු ලැබෙමින් පවතින මිලිටරි වියදම -පිස්ටෝරියස් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5ක් යෝජනා කල අතර, එය යුරෝ කලාපයේ වාර්ෂික මිලිටරි වියදම් දෙගුනයකටත් වඩා ඉහල දමමින්, යුරෝ බිලියන 500 බොහෝ සෙයින් ඉක්මවයි- සමාජ වියදම් හා ජීවන තත්ත්වයන් මත රුදුරු ප්‍රහාර කැටුව එයි. පසුගිය වසරේ මැක්‍රෝන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම්වලට එරෙහි අරගලය සමයේ ප්‍රන්සය තුල යොදාගත් ආම්පන්න, එනම් පොලිස් බැටන් පොලු, රබර් උන්ඩ හා මහා පරිමාන අත්අඩංගුවට ගැනීම්, යොදා ගනිමින් කම්කරුවන් “ඒත්තු ගැන්වීමට” ධනේශ්වරය ඉලක්ක කරයි.

යුරෝපීය නිල දේශපාලනය තුල ආන්තික ව දකුන කරා මාරුවක් පාලක කවයන් විසින් සැලසුම් කරමින් සිටී. දි ඉකොනොමිස්ට් මෙසේ ලීවේ ය:

යුරෝපීය නායකයන් ඔවුන්ගේ පශ්චාත්-සෝවියට් උදාසීනත්වය වහා ම අත්හැර දැමීම අවශ්‍ය ය. එහි අර්ථය වන්නේ, දශක ගනනක් තුල දැක නො ගත් මට්ටමකට මිලිටරි වියදම් නංවමින්, නො සලකා හරින ලද යුරෝපීය මිලිටරි සම්ප්‍රදායයන් පුනස්ථාපනය කරමින්, එහි ආයුධ කර්මාන්ත ප්‍රතිව්‍යුහගත කරමින්, භව්‍ය යුද්ධයකට සූදානම් වීම යි. ඒ සඳහා වැඩ ආරම්භ කර ඇත්තේ මඳ වසයෙනි.

“නො සලකා හරින ලද යුරෝපයේ මිලිටරි සම්ප්‍රදායයන්” ප්‍රකෘතිමත් කිරීමෙහි අර්ථය වන්නේ, මහා පරිමාන මර්දනය හා ෆැසිස්ට්වාදය කරා ආපසු යාම යි.

යුද්ධය ද, ඒ හා බැඳී සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මතට එල්ල කරන ප්‍රහාර ද, දැනටමත් පන්ති අරගලයෙහි තීව්‍ර වීමක් අවුලුවාලමින් තිබේ. නව වසර ආරම්භ වී ඇත්තේ, බොහෝ යුරෝපීය රටවල් තුල ගොවි විරෝධතා, ජර්මනියේ දුම්රිය රියදුරන්ගේ, ගුවන් තොටුපොල කම්කරුවන්ගේ හා රාජ්‍ය අංශ සේවකයන්ගේ වැඩ වර්ජන සහ ප්‍රන්සය තුල ජාතික ගුරු වැඩ වර්ජනයක් සමගිනි. ජර්මනියේ අන්ත-දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (ඒඑෆ්ඩී) පක්ෂයට එරෙහි මහජන පෙලපාලිවලින් පසුව, ගාසා තීරයේ ඊස්රායල ජනසංහාරයට එරෙහි ව විරෝධතා පැවැත්වෙමින් තිබේ.

තීරනාත්මක කර්තව්‍යය වන්නේ, යුරෝපයේ හා ලෝක පරිමාන ව වර්ධනය වන කම්කරු-පන්තික ප්‍රතිරෝධය, අධිරාජ්‍යවාදය යුද්ධය කරා ඇදී යාමෙන් ගලා එන කර්තව්‍යයන් පිලිබඳ අවබෝධයක් සමග සන්නද්ධ කිරීම යි. ධනවාදයට එරෙහි ව සමාජවාදී ක්‍රියාමාර්ගයකින් කම්කරු පන්තිය සන්නද්ධ කරමින්, දේශපාලනික ව සවිඥානික, ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය. එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපතිවරන උද්ඝෝෂනයේ ද ජුනි මාසයේ පැවැත්වෙන යුරෝපීය මැතිවරනයේ දී යුරෝපීය සහෝදර පක්ෂ සමගින් ජර්මනියේ සසප කරන මැදිහත් වීමේ ද අර්ථභාරය මෙය යි.

ජර්මනියේ සසප මැතිවරන ප්‍රකාශය මෙසේ කියයි:

බැංකු හා සංගතවල ද මහා පරිමාන මරනයේ හා යුද්ධයේ ද යුරෝපා සංගමයට එරෙහි ව, කම්කරුවෝ එක්සත් යුරෝපා සමාජවාදී රාජ්‍යයක ඉදිරි දර්ශනය පිහිටුවිය යුත්තා හ. බැංකු හා සංගතවල බලය නො බිඳ, ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් නො කර, යුද්ධය අවසන් කිරීම, මානව ජීවිත රැකගැනීම හා වැටුප් ආරක්ෂා කරගැනීම කල නො හැක. එකිනෙකාට වෙඩි තබා ගැනීම වෙනුවට, රුසියාවේ හා යුක්‍රේනයේ කම්කරුවන් ද සමස්ත යුරෝපය පුරා කම්කරුවන් ද තම රටවල් තුල සිටින යුදවැද්දන්ට එරෙහි ව මෙම ඉදිරි දර්ශනය මත සටන් කල යුතු ය.

Loading