ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -හයවැනි කොටස

6. කියුබානු විප්ලවයේ මායාව හා යථාර්ථය

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් 'ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය' යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්රනය කෙරුනි. ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ හය වැනි කොටස “කියුබානු විප්ලවයේ මායාව හා යථාර්ථය ” යි. පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

***

1970 දෙසැම්බර් 11 දින ප්‍රකාශයට පත් කෙරුනු පොතේ පිටකවරය


6- කියුබානු විප්ලවයේ මායාව හා යථාර්ථය

“ලංකාවේ සුවිශේෂ තත්වය තුල” විප්ලවය අත් කර ගන්නා ස්වභාවය ගැන ජනතා විමුක්ති පෙරමුනට ඇති අදහස්, මේ රටේ පමනක් මධ්‍යම පන්තික රැඩිකලුන්ට සුවිශේෂ වූ ඒවා නො වේ. කම්කරු පන්තියත්, එයට නායකත්වය දිය යුතු විප්ලවවාදී පක්ෂයත් නොමැතිව කෙටි මාවතකින් විප්ලවය කරා යාම පිලිබඳ අදහස සෑම රටක් තුල ම මධ්‍යම පන්තික රැඩිකලුන් තුල පොදුවේ දක්නට ලැබෙන මායාවකි.

මේ සෑම මධ්‍යම පන්තික ව්‍යාපාරයක් ම තම තමන්ගේ රටේ 25දින, “සුවිශේෂත්වය” දුටුවේ ලෙනින්වාදී විප්ලවවාදී පක්ෂයන් ගොඩ නැගීමට ඉඩ ඇති සුවිශේෂ තත්වයක් ලෙස යි.

ඒ ඒ රටවල පෑගෙන ජනතාව පාලක පන්තියට විරුද්ධව මෙහෙයවීමට අවශ්‍ය ක්‍රියා මාර්ගය හා නායකත්වය සම්බන්ධ ප්‍රශ්නයන් මග හැර, කෙසේ හෝ ජනතාව නැගිටුවීමේ “උපක්‍රමයන්” සෙවීමට හා ඒවා ක්‍රියාවට දැමීමට මේ මධ්‍යම පන්තික ව්‍යාපාරයන් යොමු වුන අතර මේ උපක්‍රම ඒ ඒ රටවල බැලූ බැල්මට වෙනස් විය.

උදාහරන ලෙස, ප්‍රන්ස පාලක පන්තියට විරුද්ධව සටනට ජනතාව ඇද ගැනීමට ශිෂ්‍ය කැරලිවලට හැකියාවක් ඇතැයි ප්‍රන්සයේ දී සැලකුන අතර හමුදාව සමග හුදෙකලාවේ ගැටෙන ගරිල්ලා භටයන්ට බොලිවියානු ජනතාව ඒ පාලක පන්තියට විරුද්ධව සටනට ඇද ගත හැකි වෙතැයි බොලිවියාවේ දී සැලකුනි.

එහෙත් ප්‍රන්සයේ දී මෙන් ම බොලිවියාවේ දී ද විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයක නායකත්වය ලබන කම්කරුවන්ට ධනවාදය පෙරලා දැමීමට ඇති හැකියාව පරෙස්සමින් පැත්තකට තල්ලු කර දමන ලදි.

කම්කරු පන්තිය පාලක පන්තියත් සමග ගැටෙන්නේ නැත! නැත් නම් ගැටුනත් ගැටෙන්නේ වැඩකට නැති ආර්ථික ඉල්ලීම් මත පමනි. මේ නිසා කම්කරු පන්තිය විප්ලවවාදී පත්තියක් නො වේ යන තැනෙන් පටන් ගෙන, පන්ති සටනට පිටින් පාලක හා පීඩිත පන්තීන් අතර ගැටුමක් “නිර්මානය කරන්ට” ක්‍රියා කිරීම මේ දේශපාලනයේ හරය විය.

කම්කරු පන්තිය තුල ම ගැඹුරට මුල් බැස ඇති ධනේශ්වර දෘෂ්ටීන් සහ කම්කරු ව්‍යාපාරය තුල අවස්ථාවාදී නායකත්වයන්ගේ ප්‍රතිවිප්ලවවාදී දේශපාලනය අඩුවෙන් තක්සේරු කරමින්, නැත් නම් නො තකා හරිමින් පාලක පන්තියත් සමග ඉබාගාතේ ගැටුම්වලට යාමේ ඔවුන්ගේ “ක්‍රියාව” සමාජවාදී විඤ්ඤානය කම්කරු පන්තිය හා පීඩිත ජනතාව තුල ඇති කරවීම සඳහාත්, ධනවාදයට එරෙහිව සටන දැනුවත්ව ගෙන යාම සඳහාත් සැලසුම් කරන ලද්දක් නො වී ය. එය පීඩිතයන් පාලකයන් සමග ගැටීමකට “කෙසේ හෝ” තල්ලු කිරීම අරමුනු කර ගත් හුදු අනුභූතික අතිධාවන “ක්‍රියාවක්” විය.

ඒ ඒ රටවල “සුවිශේෂ තත්වයන් තුල දී' ජනතාව නැගිටුවීමේ මේ අනුභූතික “උපක්‍රමයන්” වෙනස් වෙනස් ස්වරූප ගත්ත ද, කම්කරු පන්තිය හා මාක්ස්වාදී න්‍යායත්, පන්ති සටනත් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව ඒ “උපක්‍රමයන්ට” යටින් වූ දේශපාලන විධික්‍රමය රටින් රටට නොවෙනස්ව, ස්ථිරසාරව පැවැත්තේ ය.

ජනතා විමුක්ති පෙරමුන ලංකාවේ සුවිශේෂ තත්වය ගැන කරන අවධාරනය වනාහි මාක්ස්වාදී න්‍යාය හා විධික්‍රමයත්, ජාත්‍යන්තර පන්ති සටනේ සෑම අත්දැකීමක් මත් සහමුලින් ම ඉවත වීසි කර දැමීම සඳහා යොදා ගෙන ඇති කඩතුරාවක් පමනි. සැලසුම් නො කර, දේශපාලන වශයෙන් සූදානම් නො වී, ඉදිරි දර්ශනයකින් තොරව පාලක පන්තියත් සමග අන්ධව ගැටීම තුලින් පමනක් මේ ක්‍රමයේ විනාශය ඇති කරවිය හැකි වෙතැයි යන මායාව ඔවුහු වැලඳ ගෙන සිටිති.

“න්‍යාය, ක්‍රියාවට මග පෙන්වන්නක් විය යුතු” බව මේ සියවසේ මුල් භාගයේ දී ලෙනින් අවධාරනය කරන විට, ඔහු එයින් අදහස් කලේ සමාජයේ වර්ධනය සම්බන්ධ නියාම ගැන ඇති වැටහීමෙන් සමාජය වෙනස් කිරීමේ ක්‍රියාව හැසිරවිය යුතු බව යි.

වර්තමාන යුගයේ මේ නියාම ගැන විද්‍යාත්මක න්‍යාය මාක්ස්වාදය පමනක් වන අතර මාක්ස්වාදී න්‍යායෙන් ක්‍රියාව නොමෙහෙයවෙන තාක් දුරට එම “ක්‍රියාව” අන්ධකාරයේ සිදු කෙරෙන දෙයක් පමනක් බවට පත් වේ. සමාජය වෙනස් වන සංකීර්න ක්‍රියා දාමයක් නිසා, මේ සමාජය වෙනස් කිරීමට කරන සටනේ දී සමාජය වටහා ගැනීමට මාක්ස්වාදී න්‍යාය වැඩි දියුනු කල යුතු අතර, ධනවාදය පෙරලා දැමීමේ දැනුවත් ක්‍රියාවට කම්කරු පන්තිය මෙහෙයවිය හැකි වන්නේ පන්ති සටනට මැදිහත් වීම තුලින් දැනුවත්ව න්‍යාය සංවර්ධනය කිරීම කේන්ද්‍ර කොට ගත් විප්ලවවාදී පක්ෂයකට පමනි. එබඳු විප්ලවවාදී පක්ෂයක් නොමැතිව, පාලකයන් සමග ඉබාගාතේ ගැටුම් ඇති කර ගැනීම තුලින් පලල් ජනතාව විප්ලවවාදී සටන්වලට ඇද ගැනීමට ඇති හැකියාව ගැන මිථ්‍යා විශ්වාසයන් මාලාවක් ම පසු ගිය සමයේ වූ ඇතැම් දේශපාලන සිදුවීම්වලින් ශක්තිමත් කරන ලදි.

විශේෂයෙන් ම 1950 ගනන්වල අග භාගයේ දී කියුබාවේ කැස්ට්‍රෝ බලයට ආ ආකාරයත් ඔහු බලයට විත් ගත් රැඩිකල් වාම පියවරයනුත් ඉහත කී මිථ්‍යාව වර්ධනය වීමට සරු පසක් සකස් කලේ ය.

1950 ගනන්වල සිට 1960 ගනන්වල මුල භාගය දක්වා ම, උතුරු ඇමරිකාවේ හා බටහිර යුරෝපයේ ඇති වූ තාවකාලික ආර්ථික උත්පාතය තුල ධනවාදය සම්බන්ධ මාක්ස්වාදී විග්‍රහය බිඳ වැටී ඇතැයි ද, කම්කරු පන්තිය විප්ලවවාදී පන්තියක් වශයෙන් අවසානයකට ගොස් ඇතැයි ද යනාදි “න්‍යායන්” නිර්මානය කරමින් සිටි මධ්‍යම පන්තික සංශෝධනවාදීහු මේ “වෙනස් වූ” ධනවාදී සමාජ ක්‍රමය තුල මනුෂ්‍යත්වයට පෙරට යාමට විවෘතව ඇති මාවත ලෙස ඉහත කී මායාකාරී මාවත පෙන්වන්ට වූහ.

1968 මැයි-ජූනි ප්‍රන්ස අරගලයන් සෝබෝන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කැරැල්ලට පසුපසින් ඇදී ආ අයුරක් මතුපිටින් බැලූ කල දිස් වූ නිසා, අධිෂ්ඨාන සහගතව පාලකයන්ගේ බලය සමග ගැටෙන කුඩා කොටසකට බහුජනතාව විප්ලවීය අරගලයන්ට ඇද දැමීමෙහි ලා ක්‍රියාකාරකයක් බවට පත් වීමට ඇති හැකියාව ගැන තවත් මායාවන් මාලාවකින් ම කියුබානු මාවතේ නිවැරදිකම සනාථ විනැයි අසන්ට ලැබින.

කම්කරු පන්තිය විප්ලවවාදී පක්ෂයෙහි නායකත්වය යටතේ රාජ්‍ය බලය අල්ලා ගැනීමේ එල්ලය කරා මෙහෙයවනු වෙනුවට විකල්පයක් වශයෙන් “කියුබානු මාවත” හා වෙනත් එබඳු මාවත් ගනනාවක් ම ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදි.

සමාජවාදය කරා යාමේ මේ “කෙටි මාවත” ගැන විමසීමේ දී කියුබාවේ කැස්ට්‍රෝ බලයට පත් කල ඇත්ත ක්‍රියා දාමය කුමක් දැයි විද්‍යාත්මකව විග්‍රහ කිරීම වෙනුවට මෙබඳු විපර්යාසයක් ඇති වීම සඳහා කියුබාව, ලතින් ඇමරිකාව තුල පමනක් නො ව ලෝකය පුරා ම පැවති පන්ති සම්බන්ධතාවන් විග්‍රහ කරනු වෙනුවට, කැස්ට්‍රෝ බලය ගත් උපායාත්මක ආකාරයන් ටික එම පන්ති තත්වයෙන් උගුල්ලා ගෙන “ඒ ආකාරයන් ටික” සෑම තැනක ම යෙදීමට මධ්‍යම පන්තික සංශෝධනවාදියෝ වහා යුහුසුලු වූහ.

මෙලෙස දැරූ සෑම උත්සාහයක් ම පාහේ අසාර්ථකත්වයට හා පරාජයේ ප්‍රපාතයට එම ව්‍යාපාරයන් ඇද ලූ අතර, බොලිවියාවේ නකහුආසු වනාන්තරයේ දී මරුට බිලි වූ චේ ගුවේරාගේ අතිශයින් ම අධිෂ්ඨාන සහගත හා වීරෝදාර ව්‍යාපාරයේ අවසානය “මාවතක්” හැටියට මේ කියුබානු මාවතේ බංකොලොත්කම ඉස්මතු කලේ ය.

කියුබාවේ කැස්ට්‍රෝ බලයට ඒමෙන් ඔප්පු වූයේ අධිෂ්ඨාන සහගත සුලු පිරිසකගේ වීරෝදාර “ක්‍රියාවන්” ටිකකින් විප්ලවය සම්පූර්න කල හැකි අමුතු තත්වයක් ලෝකය පුරා ම ඇති වී තිබෙන බව නො වේ. එබඳු මායාවක් කියුබානු විප්ලවය විසින් පතුරුවන ලද්දේ නම්, ගුවේරාගේ ඛේදජනක අවසානය ම පමනක් වුව ද එම මායාව කුඩු පට්ටම් කිරීමට හේතුකාරක වෙයි.

කියුබාවේ කැස්ට්‍රෝගේ සුලු ධනේශ්වර නායකත්වය අනුගමනය කල විධික්‍රමය ඉහත විස්තර කල අතිධාවනකාරී සුලු ධනේශ්වර විධික්‍රමය බවට සැකයක් නැත. එනමුත් කැස්ට්‍රෝ බලයට ආවේ ඔහුගේ විධික්‍රමයේ තිබූ නිරවද්‍යතාවක් නිසා නො වේ; වෙනත් කරුනු නිසා ය.

කැස්ට්‍රෝගේ ජුලි 26 වන දා ව්‍යාපාරය දියාරු ප්‍රතිසංස්කරනවාදී ක්‍රියා මාර්ගයකින් යුක්ත වූ, කියුබාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කිරිමට එල්ල වූ එකක් වූ අතර, මෙම ව්‍යාපාරයට කම්කරු පන්තිය තුල කිසි ම පදනමක් තිබුනේ නැත. බැටිස්ටාගේ ත්‍රස්තවාදී පාලන තන්ත්‍රයෙන් සිදු වූ “අසාධාරන”, “අයුක්ති සහගත” දෑ ගැන දැඩි වෛරයකින් යුතු වෙමින් මේ අසාධාරනත්වයට එරෙහිව නැගිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමට පිටින් ඒ අසාධාරනත්වය පසුපසින් වූ පන්ති පාලන ක්‍රමය බිඳ ලීමේ අවශ්‍යතාව හෝ ඒ අවශ්‍යතාව සපුරා ගැනීමේ ක්‍රියා මාර්ගයක් හෝ කැස්ට්‍රෝ ඉදිරිපත් කලේ නැත.

මේ නිසා ම, බැටිස්ටාට විරුද්ධ කැස්ට්‍රෝගේ සටන විප්ලවවාදී ක්‍රියා මාර්ගයක් මත කම්කරු පන්තිය රාජ්‍ය බලය කරා මෙහෙයවීමේ සටනක් නො වී ය. බැටිස්ටාගේ ත්‍රස්තවාදී ම්ලේච්ඡ පාලන තන්ත්‍රය පෙරලීම සඳහා ඉබාගාතේ මිලිටරි සටන් සූදානම් කිරීමෙන් හා අතිධාවන ක්‍රියාවන් සිදු කිරීමෙන් ඔබ්බට කැස්ට්‍රෝගේ සූදානම් වීමේ කටයුතු ගමන් කලේ නැත.

1952 දී මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ගොරහැඩි අතිධාවන ප්‍රහාරය ඔහුගේ විධික්‍රමය හකුලුවා දැක්වී ය. වසරක් පමන කාලයක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රහාරයට, කැස්ට්‍රෝ විසින් සංවිධානය කරන ලද 200ක් පමන බුද්ධිමතුන් හා ශිෂ්‍යයන් යෙදවුන අතර බැරැක්කයෙන් පැහැර ගන්නා ආයුධ හා රේඩියෝ උපකරන පාවිච්චි කර බැටිස්ටාට විරුද්ධව නැගිටින ලෙස ජනතාවගෙන් ඉල්ලීමටත් ජනතාව සන්නද්ධ කිරීමටත් හැකි වෙතැයි කැස්ට්‍රෝ විශ්වාස කලේ ය! එනමුත් සැලසුම සම්පූර්නයෙන් ම කඩා වැටුනි. අසු වූ අයගෙන් වැඩි කොටස මරා දමන ලද අතර කැස්ට්‍රෝ හැර ඉතිරි අයට බිහිසුනු වධහිංසා පමුනුවන ලදි.

මේ විනාශයෙන් කිසිවක් ඉගෙන නොගත් කැස්ට්‍රෝ වසර ගනනක් සිරයේ සිට එලියට පැමින 1956 දෙසැම්බරයේ දී, මෙවර අසූ දෙනෙකුගෙන් සමන්විත ගරිල්ලා භට පිරිසක් සමග තවත් එබඳු ප්‍රහාරයකට අරඇද්දේ ය. නැවතත් වරක් ප්‍රහාරය අසාර්ථක වුනි. ගරිල්ලා පිරිසෙන් දොලොස් දෙනෙක් පමනක් 1959 විප්ලවයේ තොටිල්ල ලෙස සැලකෙන සියරා මෙස්ට්‍රාවට පලා ආ අතර, මේ දොලොස් දෙනාට මුහුන දෙන්න තිබුන්නේ බැටිස්ටාගේ ඉතා ම හොඳින් සන්නද්ධ කර තිබූ 50,000ක් හමුදා භටයන්ට ය!

කැස්ට්‍රෝගේ සටන් ක්‍රමය එය යි!

1959 ඇරඹෙන විට කියුබාවේ පාලකයන් බවට පත් වූයේ 1956 දී සියරා මේස්ත්‍රාවට පලා ගිය දොලොස් දෙනා වූ නමුදු ඔවුන් බලයට ආවේ පනස් දෙකේ හා පනස් හයේ “සටන් ක්‍රමයට” පින් සිදු වන්ට නො වේ.

1956 දී ඔවුන් සියරා මෙස්ට්‍රාවට එන විට එහි ගොවි කැරැල්ලක් වර්ධනය වෙමින් තිබුන අතර, මේ ව්‍යාපාරයේ පිහිටෙන් තම හුදෙකලාව මකා ගැනීමට කැස්ට්‍රෝට හැකි විය.

මේ වන තුරු ම කිසි ම පීඩිත පන්තියක කිසි ම සටනක් ගැන මොන ම වර්ගයක වත් වැටහීමකින් තොරව සිටි කැස්ට්‍රෝ පිරිස, දැන් ගොවි කැරැල්ල මත දෙපය රඳවා ගෙන පෙරට තල්ලු වන්ට පටන් ගති. අතරමං වූ ගරිල්ලා භටයන් 12 දෙනා මේ කාලයේ දී වෙනස් වූ හැටි ගැන ලියන වේ ගුවේරා, “ගොවි ජනතාව ගැන ඔවුන්ට තිබූ අවිශ්වාසය ලැදිකමක් හා ගෞරවයක් බවට පෙරලුනි. ගැමි ජීවිතය ගැන ඔවුන්ට වූ සම්පූර්න නොදැනුවත්කම දුගි ගොවීන් සම්බන්ධයෙන් වූ වැටහීමක් බවට පත් වුනි” යැයි සඳහන් කරයි. කැස්ට්‍රෝගේ අඳුරේ අතපත ගෑමේ “විධික්‍රමයට” මීට වඩා හොඳ නිදසුනක් තවත් අවශ්‍ය නැත.

කියුබාවේ, සියරා මෙස්ට්‍රාවේ ගොවි කැරැල්ලට අමතරව, නගරබද පන්ති සටන වඩා ඉහල මට්ටමකට සේන්දු වෙමින් තිබුන අතර, පන්ති තත්වයේ පැවති අතිශයින් ම අඩමාන ස්වභාවය කැස්ට්‍රෝගේ ව්‍යාපාරයේ වාසියට සිටියේය.

ඉඩම් ප්‍රශ්නය උඩ ආන්ඩුව හා හමුදාව සමග ගැටුන කැස්ට්‍රෝගේ “කැරලි හමුදාව” නාගරික කම්කරු පන්තිය බැටිස්ටාට එරෙහිව කල සටන මත රැඳී සිටිමින්, එයින් සහයෝගය ගනිමින් බැටිස්ටාගේ පාලන තන්ත්‍රය අතිශය අර්බුදයකට ඇද දැම්මේ ය.

ජනතාවගෙන් සහමුලින් ම හුදෙකලා වූ, අපකීර්තියට පත් බැටිස්ටාගේ පාලන තන්ත්‍රය වෙත සපයන ලද මිලිටරි ආධාර ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් නවතා දමන ලද අතර, කියුබාවේ පිපිරී එන විප්ලවය වැනසීමේ මාවත හැටියට කැස්ට්‍රෝ නායකත්වයට නිදහසේ බලයට ඒමට එය ඉඩ සැලසී ය.

ජනතාවගෙන් පමනක් නො ව ශක්තිමත් ප්‍රතිවිප්ලවවාදී බලවේගයන්ගෙන් ද හුදෙකලා වූ බැටිස්ටාගේ පාලන තන්ත්‍රය කඩා වැටෙන විට, කම්කරු පන්තිය බලය අතට ගැනීමට සූදානම්ව සිටියේ නැත. කැස්ට්‍රෝගේ සුලු ධනේශ්වර නායකත්වයට බලයට රිංගා ගැනීමට එලෙස තත්වය සැකසුනි.

ඉඩම් ප්‍රශ්නය උඩ පාලක පන්තියත් සමග ගැටුන නිසා කැස්ට්‍රෝගේ ක්‍රියා මාර්ගයට ගොවි ජනතාවගේ සහයෝගය ලැබුනි. කැස්ට්‍රෝ බලයට ඒම බැටිස්ටා ඉවතට තල්ලු කර දැමීමේ ක්ෂනික පියවර ලෙස දුටු නගරබද පන්ති ද ඒ එල්ලය ඇතිව කැස්ට්‍රෝට සහයෝගය දුන්නේ ය.

මේ සියලු ම සමාජ පන්තීන්ගේ කර උඩින් බලයට ආ කැස්ට්‍රෝ නායකත්වය තව මත් සුලු ධනේශ්වර නායකත්වයක් වූ අතර, මේ නායකත්වය කියුබානු කම්කරු පන්තියට බලයට ඒමට කිසි ම ඉඩක් තැබූයේ නැත.

කැස්ට්‍රෝ නායකත්වය බලය ගත් විගස ම එයත් සමග සම්මුතියකට ඒමට ඇමරිකානු අධිරාජ්‍යවාදය යත්න දැරුව ද, විශාල ලෙස ඇමරිකානු ග්‍රහනය යටතේ පැවති සීනි කර්මාන්තයේ ඇමරිකානු ආධිපත්‍යය බිඳ නො දමා, ඔහුගේ නායකත්වයට ජනතා සහයෝගයක් ලබා ගත නොහැකි විය.

දැන් ඔහු ඉදිරියේ මාවත් තුනක් විවෘතව තිබුනි. එක්කෝ ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග විවෘත සම්මුතියකට ඒම, නැත් නම් ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව කියුබාවේ, ලතින් ඇමරිකාවේ හා මුලු ලෝකයේ ම කම්කරු පන්තිය වෙත හැරීම, ඒත් නැත් නම් සිය රටේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය දෙසටත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය දෙසටත් නො හැරී සෝවියට් නිලධරය සමග සම්මුතියකට එමින් බොනපාවාදී තන්ත්‍රයක් ගොඩ නැගීම ඒ මාවත් තුන විය. මෙයින් කැස්ට්‍රෝ තෝරා ගත්තේ තුන් වන මාවත යි. වඩාත් නිවැරදිව කිව හොත් කැස්ට්‍රෝ තල්ලු වුනේ මේ තුන් වන මාවත දිගේ යි.

ලතින් ඇමරිකාව පුරා පිපිරි එන විප්ලවයට විරුද්ධව එක් අතකිනුත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව බලපෑම් දැමීමට තව අතකිනුත් මාවතක් සොයමින් සිටි සෝවියට් නිලධාරි තන්ත්‍රය කැස්ට්‍රෝ නායකත්වයත් සමග අවස්ථාවාදී සන්ධානයකට එලඹුන අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව සෝවියට් නිලධාරි තන්ත්‍රයේ සහයෝගය මත පදනම් වෙමින් කියුබාවේ තැන්පත් වීමට කැස්ට්‍රෝ නායකත්වයට තත්වය සැලසුනි.

කියුබාවේ මූලික කර්මාන්තය වන සීනි කර්මාන්තය මත වූ ඇමරිකානු ආධිපත්‍යය කැඩීමට කැස්ට්‍රෝ ගත් පියවර, බෙන් බෙලා, නසාර්, හා නේ වින් වැනි ජාතික ධනේශ්වර නායකයන් ඇල්ජීරියාව, ඊජිප්තුව හා බුරුමය තුල ගත් “රාජ්‍යය සතු කර ගැනීමේ” පියවරයන්ට සමාන වූ අතර මේ පියවර හා ඉහත කී රටවල නායකයන් ගත් පියවරයන් අතර වූ එක ම වෙනස නම් කැස්ට්‍රෝට මුලුමනින් ම සෝවියට් සංගමය මත රැඳෙන්ට සිදු වීම යි.

කැස්ට්‍රෝ සෝවියට් සංගමය මත කොතෙක් රැඳී සිටිය ද, කියුබානු පාලන තන්ත්‍රය 1940 ගනන්වල අග භාගයේ දී නැගෙනහිර යුරෝපයේ රටවල සිදු වූ අභ්‍යන්තර විපර්යාසයට වත් බඳුන් වූයේ නැත: නැගෙනහිර යුරෝපා රටවල ධනේශ්වර නිෂ්පාදන බලවේගයන් ධනේශ්වරයට‍ නො හිමි කිරීමේ ක්‍රියා දාමය, කොමියුනිස්ට් පක්ෂයන් බලයට දැමීම මගින් කම්කරු නිලධාරි තන්ත්‍රයන් බලයට ගෙනැවිත් ආන්ඩුව තුල සිටි අවිශ්වාසදායක ධනේශ්වර කොටස් දොට්ට දැමීමේ ක්‍රියා දාමයක් සමග අත්වැල් බැඳ ගත්තේ ය.

මීට වඩා වෙනස් ලෙස, කියුබාවේ ආන්ඩු බලය, කිසි සේත් ම කම්කරු නිලධාරි තන්ත්‍රයක් නොවූ කැස්ට්‍රෝගේ සුලු ධනේශ්වර කල්ලිය අතෙහි ම පැවති අතර, කියුබානු ස්ටැලින්වාදී පක්ෂයේ නායක ඇනිබල් එස්කලන්තේ වැනි කොටස් ආන්ඩුවෙන් දොට්ට දැමීම මගින් කම්කරු පන්තියේ අවශ්‍යතාවන් ඉතා මත් විකෘත ආකාරයකින් වුව ද ඉස්මතු වීම වැලැක්වීමට කැස්ට්‍රෝ නායකත්වය පියවර ගත්තේ ය.

කැස්ට්‍රෝ නායකත්වය බලයට ඒමෙන් කියුබානු විප්ලවයේ ප්‍රාතිහාර්යය අවසන් වූයේ නැත. නියම නාඩගම ඇරඹුනේ ඉන් පසුව යි.

කැස්ට්‍රෝ තම සුලු ධනේශ්වර පාලන තන්ත්‍රයේ බලයට එල්ල වන මාරක තර්ජන දෙකක් නිවැරදිව දුටුවේ ය. එකක් නම් ලතින් ඇමරිකාව තුල ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තිය ඉස්මතු වීම යි. ලතින් ඇමරිකානු කම්කරු පන්තිය පන්ති ස්වාධීනත්වයෙන් යුතු බලයක් ලෙස ඉස්මතු වීම කියුබානු කම්කරු පන්තියට බලයට ඒමට දොර විවෘත කරන බැවින් එය කැස්ට්‍රෝගේ තන්ත්‍රයේ මලගම සලකූනු කරනු ඇත. අනෙක අධිරාජ්‍යවාදයෙන් එල්ල වුන තර්ජනය යි.

මේ දෙයාකාර තර්ජනයෙන් බේරී සිටීමට එක් අතකින් සෝවියට් නිලධරය මත රැඳුන කැස්ට්‍රෝ අනෙක් අතින් ලතින් ඇමරිකාවේ පන්ති අරගලය තුලින් කම්කරු පන්තිය බලයට ඒම වැලැක්වීමට ලතින් ඇමරිකානු ගරිල්ලා ව්‍යාපාරයන් මත තම සුලු ධනේශ්වර ආධිපත්‍යය ගොඩ නගා ගැනීමට වැර දැරි ය. ස්ටැලින්වාදීන්ගේ සහයෝගය ඇතිව ලතින් ඇමරිකානු ගරිල්ලා ව්‍යාපාරයන් මත මිනීමරු අවධි දෙකේ විප්ලව ක්‍රියා මාර්ගය පටවන්ට යත්න දැරූ කැස්ට්‍රෝ ගරිල්ලා ව්‍යාපාරයන් ධනේශ්වරයෙන් ස්වාධීනව කම්කරු පන්තිය දෙසට හැරෙත් ම ඒවාට නිර්දයව පහර දුන්නේ ය.

ගුවාතමාලාවේ යොන් සෝසා සම්බන්ධයෙන් සිදු වූයේ එය යි. ගුවාතමාලාවේ යොන් සෝසා නායකත්වය දුන් එම්. ආර්.-13 නමැති ගරිල්ලා ව්‍යාපාරය, කොතෙකුත් දුර්වලකම් ඇතිව වුවත්, ගුවාතමාලාවේ ජාතික ධනේශ්වරයෙන් වෙන් වී නාගරික කම්කරු පන්තියත් සමග සම්බන්ධයක් ඇති කර ගනිමින් තිබුනි. එපමනක් නො ව, එම්. ආර්.-13 ව්‍යාපාරය, ගුවාතමාලාවේ අරගලය, ලතින් ඇමරිකාවේ වෙනත් රටවල අරගලයන් සමග හා දියුනු ධනේශ්වර රටවල පන්ති අරගලය සමග සම්බන්ධ කිරීමේ අවශ්‍යතාව වටහා ගෙන තිබුනි. මේ අන්දමින් යොන් සෝසාගේ එම්. ආර්.-13 ව්‍යාපාරය, නිර්ධන පන්ති ක්‍රියා මාර්ගයක් මත ලතින් ඇමරිකාවේ විප්ලවවාදී බලවේගයන් ඒකාග්‍ර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් පැවැත්තේ ය.

නිර්ධන පන්තියේ ස්වාධීනත්වය ඉස්මතු කෙරෙන ක්‍රියා මාර්ගයක් ගුවාතමාලාවේ මතු වත් ම, මොස්කව් ස්ටැලින්වාදීහු එම්. ආර්.-13 ව්‍යාපාරයේ භේදයක් ඇති කරමින් ලුයී ටුර්කියුස් නමැත්තෙකුගේ නායකත්වයෙන් ජාතික ධනේශ්වරයත් සමග එක්ව කල යුතු ගරිල්ලා සටනක 'ඉදිරි දර්ශනය” මත අඩු කන්ඩායමක් සංවිධානය කර, එය එම්. ආර්.-13 න් වෙන් කලහ.

1966 කැස්ට්‍රෝගේ ත්‍රෛමහාද්වීපික සම්මේලනයට එක් වූ අධිරාජ්‍යවාදයේ පා ලෙවකන සකල බලවේගයන් ඉදිරියේ, කැස්ට්‍රෝ යොන් සෝසාට අධිරාජ්‍යවාදීන්ගේ ඔත්තුකරුවෙකු ලෙස පහර දෙමින් ගුවාතමාලාවේ ලුයී ටුර්කියුස්ගේ ස්ටැලින්වාදී ව්‍යාපාරය විප්ලවවාදී වචනවලින් ආවරනය කලේ ය.

යොන් සෝසාට ගැසූ පහරත් සමග, කැස්ට්‍රෝ ට්‍රොට්ස්කිවාදයට හා හතර වන ජාත්‍යන්තරයට ඉතා මත් ම නින්දනීය ප්‍රලාපයන්ගෙන් පහර දෙමින් ස්ටැලින්වාදයේ හා අධිරාජ්‍යවාදයේ ලතින් ඇමරිකානු ඒජන්තකම සිය කැමැත්තෙන් ම තමන් වෙත පවරා ගත්තේ ය.

ඔහු හතර වන ජාත්‍යන්තරයේ සංක්‍රමන ක්‍රියා මාර්ගයට දුන් පහර, කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය ඉස්මතු කරන එක ම ක්‍රියා මාර්ගය එය වීම නිසා එල්ල කරන ලද්දකි. යොන් සෝසාගේ ව්‍යාපාරයේ ක්‍රියා මාර්ගය මේ ක්‍රියා මාර්ගයට ඉතා මත් ම සමානව පැවති අතර, හතර වන ජාත්‍යන්තරය ලතින් ඇමරිකාව තුල මුල් බැසීම තම අවසානය සනිටුහන් කරන බව කැස්ට්‍රෝ දැන සිටියේ ය.

කැස්ට්‍රෝ වියරු වැටී හතර වන ජාත්‍යන්තරයට දුන් පහර නිර්ධන පන්ති විප්ලවයට ඔහුගේ භීතිය පමනක් ප්‍රදර්ශනය කල අතර, මේ විප්ලවයට එරෙහිව ඕනෑ ම ප්‍රතිගාමී බලවේගයක් සමග වුවත් අත්වැල් බැඳ ගැනීමට ඔහුගේ වූ සූදානම එම ප්‍රහාරයන්ගෙන් එලිදරව් විය.

මේ බව වඩාත් හොඳින් සිත් කා වදින ලෙස ප්‍රදර්ශනය වීමට වැඩි කලක් ගියේ නැත.

1968 අග භාගයේ දී, ඔලිම්පික් තරගයන් මෙක්සිකෝවේ පැවැත්වීමට එරෙහිව සාමකාමී විරුද්ධත්වයක් පල කිරීමට ආ මෙක්සිකෝවේ ශිෂ්‍යයෝ එහි පාලක පන්තියේ ම්ලේච්ඡ ඝාතනයකට ලක් වූහ. මේ මිනිස් ඝාතනය 1910 මෙක්සිකෝවේ සිදු කරන ලද මහා මිනිස් ඝාතනය හා සම තත්වයක් ඉසිලූ අතර, හතර වන ජාත්‍යන්තරයට පහර දීම සඳහා පලල් වූ කැස්ට්‍රෝගේ හැකර කට මේ මිනිස් ඝාතනය ඉදිරියේ දී අගුලු වැටී තිබුනි.

1968 මැයි-ජූනි මාසවල ධනවාදයේ ඉතිහාසය තුල දී ඇති වූ විශාලතම ස්ට්‍රයිකයට එක් කෝටියක් ප්‍රන්ස කම්කරුවන් අවතීර්න වෙද්දී නිකමට වත් ඊට සහාය දීමට, පොඩි පෙලපාලි කටුවක් වත් සංවිධානය කිරීමට කැස්ට්‍රෝ ඉදිරිපත් වුනේ නැත. ප්‍රන්ස කොමියුනිස්ට් පක්ෂයේ ද්‍රෝහිකම ආරක්ෂා කරමින් සෝවියට් නිලධාරි තන්ත්‍රයේත්, අධිරාජ්‍යවාදයේත් අවශ්‍යතාවන්ට කීකරු වෙමින් කැස්ට්‍රෝ ඒ දිනවල තමන් මෙලොව ජීවත් වන බවක් වත් නොඇඟෙන තරම් වූ නිහඬතාවක නිද්‍රෝපගතව සිටියේ ය.

නැවතත් වරක්, 1968 අගෝස්තුවේ දී චෙකොස්ලෝවැකියාවේ දේශපාලන විප්ලවය සුන් කිරීමට තම ටැංකි පිටත් කර යැවූ වෝර්සෝ හවුලේ සහකරුවන්ට සහාය දුන් කැස්ට්‍රෝ තමන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ සතුරෙකු බව ඉතා ම හොඳින් පෙන්වී ය.

අද පේරුවල බලයට විත් සිටින ඊනියා ප්‍රගතිශීලී මිලිටරි ජුන්ටාවට කැස්ට්‍රෝ දෙන සහාය කොන්දේසි රහිත එකකි. මේ මිලිටරි ජුන්ටාව පේරුවල සියලු ම සටන්කාමීන් මර්දනය කිරීමට හා වැනසීමට පියවර ගනිද්දී කැස්ට්‍රෝ ඒ ජුන්ටාවට සහාය දෙමින් පෙන්වා ඇත්තේ “කියුබානු මාවතේ” ඇති අන්ත බංකොලොත්කම පමනක් නො වේ. නග්න ප්‍රතිවිප්ලවීය බව ද වේ.

කැස්ට්‍රෝ නායකත්වය කම්කරු පන්ති විප්ලවයට විරුද්ධ වෙමින්, අධිරාජ්‍යවාදයට බලපෑම් දැමීමට පන්ති සටන යොදා ගැනීමට දරන උත්සාහය දැන් අවසාන අඩියට වැටී ඇති අතර, ලෝකය පුරා හමා යන ධනේශ්වර ආර්ථික අර්බුදය කැස්ට්‍රෝ නායකත්වය මග හැර ගොස් නැත.

කියුබානු ආර්ථිකයේ අරටුව වන සීනි කර්මාන්තය අද අතිමහත් දරුනු අර්බුදයකට මුහුන පා ඇත. වසර ගනනාවකින් පසු දැන් නිෂ්පාදිතය ඉතා ම අඩු මට්ටමකට සේන්දු වී ඇති අතර, කියුබාව තුල “ස්වයං පෝෂනය” ඇති කිරීමේ සියලු ම සැලසුම් ගැස්සී හමාර ය.

කියුබානු විප්ලවයේ උදව්වට ජාත්‍යන්තර කම්කරු පන්තිය කැඳවීමට කැස්ට්‍රෝට නොහැකි නිසා ම ඔහු තම රටේ කම්කරු පන්තිය මත විශාල බර පටවමින් සිටින අතර, කම්කරු පන්තිය හා කැස්ට්‍රෝ තන්ත්‍රය අතර ගැටුම් දැන් සැකසෙමින් එයි.

කියුබානු කම්කරු පන්තියට පෙරට යාමට ඇති එක ම මාවත ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ මාවත පමනි. ඔවුන් තම රට තුල බලය අල්ලා ගෙන, එමගින් ලතින් ඇමරිකානු විප්ලවය පෙරට ගෙන යා යුතු ය; නැත් නම්, කැස්ට්‍රෝගේ තන්ත්‍රයත් පෙරලා ගෙන එන වඩා ම්ලේච්ඡ ඒකාධිපතිත්වයක ගොදුරු බවට පත් විය යුතු ය.

මේ අර්ථයෙන් කැස්ට්‍රෝගේ නායකත්වය විප්ලවය මත දමන ලද තිරිංගයක් වූවා මිස, එය පෙරට ගෙන යාමේ නායකත්වයක් නො වී ය. කැස්ට්‍රෝ බලයට පත් වූ උපායාත්මක “ආකාරයන් ටික” ලෝකයේ සෑම තැන ම යොදා තව තවත් කියුබාවන් ගොඩ නගන්ට යන්න දරන මධ්‍යම පන්තික සංශෝධනවාදීන්ගේ මායාව කියුබානු විප්ලවයේ යථාර්ථයෙන් ම කුඩු පට්ටම් වී ඇත්තේ මෙසේ ය.

කැස්ට්‍රෝ නායකත්වයත්, කෙසේ හෝ බලය ගත් නායකත්වයක් බව ඇත්ත ය! එහෙත් වැදගත් කරුන මේ බලය ගැනීම නො වේ. එම නායකත්වය තල්ලු වී ගියේ විප්ලවයට එරෙහිව, ලෝකයේ පවතින සකල ප්‍රතිගාමී බලවේගයන්ගේ තුරුල්ලට ය. අද එය ලතින් ඇමරිකාව තුල ම ඉටු කරන නින්දනීය කටයුත්ත, ලතින් ඇමරිකාවේ පමනක් නො ව මුලු ලෝකයේ ම විප්ලවවාදීන් වෙත ගෙන එන්නේ එක් පනිවුඩයකි.

මාක්ස්වාදී න්‍යාය මත පදනම්ව ගොඩ නගන ලද කම්කරු පන්ති නායකත්වයක් නොමැතිව විප්ලවයේ ජයග්‍රහනය සිදු වන්නේ නැත යනු ඒ පනිවුඩය යි.

Loading