ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -හත් වැනි කොටස

7. ජනතා විමුක්ති පෙරමුන හා මහජන පෙරමුනු දේශපාලනය

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් 'ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය' යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ හත් වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන හා මහජන පෙරමුනු දේශපාලනය ” යි. හය වැනි කොටස මාර්තු 04දින, පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

***

1970 දෙසැම්බර් 11 දින ප්‍රකාශයට පත් කෙරුනු පොතේ පිටකවරය

7. ජනතා විමුක්ති පෙරමුන හා මහජන පෙරමුනු දේශපාලනය

විජිත හා අර්ධ විජිත රටවල පෑගෙන ජනතාව අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීමේ හා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කටයුතු සපුරා ගැනීමේ සටන කම්කරු පන්තිය රාජ්‍ය බලය කරා මෙහෙයවන සමාජවාදී විප්ලවයත් සමග බැඳී ඇත. මේ රටවල් ජාතික නිදහස අත් කර ගැනීමේ හා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය අත් කර ගැනීමේ සටන කෙලින් ම එල්ල වන්නේ අධිරාජ්‍යවාදයට විරුද්ධව නිසා අධිරාජ්‍යවාදය මත රැඳී සිටින ජාතික ය යි නම් කරන ධනේශ්වර පන්තියට එරෙහිව පටන් ගැන්මේ සිට ම ඒ සටන ගමන් කරයි.

මේ රටවල් තුල අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගැනීමත් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ කටයුතු පරිපූර්න කර ගැනීමත් කෙලින් ම රැඳී ඇත්තේ කම්කරු පන්තිය රාජ්‍ය බලය අල්ලා ගැනීම මත ය. කම්කරු පන්තියට රාජ්‍ය බලය අල්ලා ගත හැක්කේ එම පන්තිය දේශපාලන වශයෙන් ස්වාධීන බලවේගයක් බවට පත් වී අනෙකුත් පීඩිත ජනයාගේ නායකයා බවට පත් වීමෙනි.

පෑගෙන ජනතාව අධිරාජ්‍යවාදයට එරෙහිව සටනට ගෙන යාම සඳහා කම්කරු පන්තිය සමාජයේ ඇති අන් සියලු ම පන්තීන්ගෙන් ස්වාධීන වීම අත්‍යවශ්‍ය වේ. මේ ස්වාධීනත්වය අත් කර නො ගෙන, මේ රටවල වෙසෙන විශාල වූත් තීරනාත්මකව වැදගත් වන්නා වූත් ගොවි ජනතාවට හා පීඩිත ජනතාවට නායකත්වය දීමට කම්කරු පන්තියට නොහැකි ය. මේ නිසා මාක්ස්වාදීන් සටන් කරන්නේ කම්කරු පන්තිය දෘෂ්ටිමයව, දේශපාලනිකව හා සංවිධානාත්මකව අන් සියලු ම පන්තීන්ගෙන් වෙන් කර ගැනීමට සමත් මධ්‍යගත විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම සඳහා ය.

ජනතා විමුක්ති පෙරමුන කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සඳහා සටන් කරන සංවිධානයක් නොවන නිසා ම, එය කම්කරු පන්තියත් ගොවි ජනතාවත් ධනේශ්වරයට යට කර තැබීමට උදව් කරන දේශපාලනයක් ගෙන යයි. ඔවුන්ගේ බොරු පෙරලිකාරිත්වයට යටින් ඇත්තට ම පවතින දේශපාලනය නම්, කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් බවට පත් වීම කෙසේ හෝ නවත්වා දැමීම යි.

මේ සඳහා ඔවුහු, මධ්‍යම පන්තික “අධිරාජ්‍ය විරෝධී” දේශප්‍රේමී පෙරමුනක ඉදිරි දර්ශනය මේ රට තුල ඉදිරිපත් කරති.

අධිරාජ්‍ය විරෝධී සටනේ දී, කම්කරු පන්තිය වෙනත් පන්තීනුත් සමග බද්ධ වෙමින් අධිරාජ්‍ය විරෝධී “පලල් පෙරමුනු” ඇති කිරීමේ දේශපාලනයට මාක්ස්වාදයත් සමග කිසි ම සම්බන්ධකමක් නොමැති අතර, ස්ටැලින්වාදයත් සමග නම් ඉතා සමීප සම්බන්ධකමක් ඇත. එහෙත්, තමන් මාක්ස්-ලෙනින්වාදීන් බව කියා ගන්නා ජනතා විමුක්ති පෙරමුන, ලංකාවේ සමසමාජවාදීන්ගේ හා ස්ටැලින්වාදීන්ගේ දේශපාලනයට තමන් විරුද්ධ බව පෙන්වමින් ඇත්තට ම සටන් කරන්නේ තවත් මිනීමරු “පලල් පෙරමුනක්” සඳහා ම ය.

1970 අගෝස්තු 8 වන දා දේශප්‍රේමී පත්‍රයේ පල වූ විජේවීරගේ “උද්ධෘත පාඨයකින්” මේ පලල් පෙරමුනු දේශපාලනය ඉතා ම නග්න ලෙස සූත්‍රගත කර දක්වා තිබුනි:

අධිරාජ්‍යවාදයෙන් - පැරනි හා නව යටත් විජිතවාදයෙන් බැට කන සියලු ම සමාජ පංතීන්ගේ අධිරාජ්‍යවාදී සතුරන්ට එරෙහිව පවතින, වැඩෙන පංති වෛරය එකට එකතු කර ගත් කල දේශ ප්‍රේමය යි. දේශ ප්‍රේමය - ඒ තමයි අධිරාජ්‍ය විරෝධී අරගලයේ දී පංති වෛරය. අධිරාජ්‍ය විරෝධී අරගල යුගයේ දී මාක්ස්-ලෙනින්වාදියා සැබෑ දේශප්‍රේමියෙකි.” (අවධාරනය අපේ).

මේ පාඨය තුල මාක්ස්වාදය බිඳක් වත් නැති නමුත් ජාතිවාදයත් සමග මිශ්‍ර වූ ස්ටැලින්වාදය නම් එහි අන්තිම නග්න ස්වරූපයෙන් ම වෙයි. අධිරාජ්‍යවාදයෙන් බැට කන “සියලු ම සමාජ පන්තීන්” ඒකාබද්ධ කිරීම සඳහා පොදු සූත්‍රයක් සොයන මේ දේශපාලනය කම්කරු පන්තිය තුල විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ කටයුත්ත එම පෙරමුන වෙනුවෙන් අත හැර දමා ඇත.

එක් එක් මට්ටම්වලින් අධිරාජ්‍යවාදයට විරුද්ධ වන පන්තීන් කීපයකට පොදු වූ ක්‍රියා මාර්ගයක් මත ජනතාව සටනට කැඳවීම ඒ සූත්‍රය තුල ගැබ් වන දේශපාලනය වේ. මේ පොදු ක්‍රියා මාර්ගය කිසි සේත් ම කම්කරු පන්තිය බලයට ගෙන යාමේ ක්‍රියා මාර්ගයක්

නොවන අතර, මධ්‍යම පන්තිකයන්ගේ ඊනියා “අධිරාජ්‍ය විරෝධී” ක්‍රියා මාර්ගයන්ට කම්කරු පන්තිය ගැට ගැසීමේ වැඩ පිලිවෙලක් පමනක් බවට පත් වේ.

අධිරාජ්‍යවාදයෙන් බැට කන “සියලු ම පන්තීන්ගේ” පෙරමුනට කම්කරු පන්තිය ගැට ගැසූ විට කම්කරු පන්තිය ක්‍රියාත්මක වන්නේ නායකත්වයක් ලෙස නො වේ. පෙරමුනේ සිටින අනෙකුත් පන්තීන්ගේ අවශ්‍යතාවන්ට යටත් වූ පන්තියක් ලෙස යි.

වෙනත් පන්තීන්ගේ අධිරාජ්‍ය විරෝධයට කම්කරු පන්තිය යටත් කිරීමේ සූත්‍රයන් ඉදිරිපත් කරමින්, ඒ මත තම දේශපාලනය පදනම් කර ගෙන ඇති මේ මිනිසුන් ම, “කම්කරු ජනතාවගේ නායකත්වය යටතේ ගොවි ජනතාව සංවිධානය කිරීම ගැන” නගන ගෝට්ටිය (ජනතා විමුක්ති, 4 වන පත්‍රය, මැද පිටු) පුහු දෙඩවිල්ලකට වැඩි දෙයක් නො වේ.

කම්කරු පන්තියට, එක විට ම, තවත් පන්තීන් ගනනාවකට යටත්ව, ඒවාට නායකත්වය දීම ද කල නොහැකි ය. එක්කෝ නායකත්වය දිය යුතු ය. නැත් නම් යටත්ව සිටිය යුතු ය. දෙක ම එකට කල නොහැකි ය. මෙය බූරුවෙකුට වුව ද තේරුම් ගත හැකි සරල කාරනාවකි.

අධිරාජ්‍යවාදයෙන් බැට කන සියලු ම සමාජ පන්තීන් එකට එක් කර ගැනීම සඳහා කම්කරු පන්තියේ අවශ්‍යතාවන් ඒ පන්තීන් අතර පෙරමුන වෙනුවෙන් කැප කල යුතු ය යන්න විජේවීරගේ පාඨයේ ගැබ්ව ඇති දේශපාලනය යි. ලංකාවේ “සුවිශේෂ තත්වය තුල දී” මේ පන්තීන් අතර පෙරමුන ඇති කර ගැනීමේ සිමෙන්තිය බවට පත්ව ඇත්තේ “දේශප්‍රේමිත්වය” නිසා කම්කරු පන්තිය පමනක් නො ව මාක්ස්වාදීන් ද තමන්ගේ සියලු ම අත්දැකීම් හා සම්ප්‍රදායන් “දේශප්‍රේමිත්වය” වෙනුවෙන් කැප කල යුතු ය. විජේවීර කියන පරිදි ම “මාක්ස්-ලෙනින්වාදියා සැබෑ දේශප්‍රේමියෙකු වන්නේ” එවිට ය. මේ අනුව ධනේශ්වර දෘෂ්ටීන්ට එරෙහිව සමාජවාදී දෘෂ්ටිය සඳහා සටන් කරන්නා මාක්ස්-ලෙනින්වාදියෙකු නොවන අතර, සමාජවාදී දෘෂ්ටියට විරුද්ධව ධනේශ්වර දෘෂ්ටීන් සඳහා සටන් කරන්නා මාක්ස්-ලෙනින්වාදියෙක් වේ. එනම්, අධිරාජ්‍ය විරෝධී අරගල යුගයේ දී මාක්ස්-ලෙනින්වාදියා, වෙනත් පන්තියක සැබෑ ඒජන්තයෙකු බවට පත් වේ! මෙය නම් සැබෑ ම මාක්ස්-ලෙනින්වාදයකි.

කම්කරු පන්තිය, සුලු ධනේශ්වර අධිරාජ්‍ය විරෝධයත් සමග මාට්ටු කිරීමට යාම, මාක්ස්වාදය ජාතිකවාදයත් සමග මාට්ටු කිරීමක් කරා තල්ලු වී ගොස් ඇත්තේ එසේ ය. ජනතා විමුක්ති පෙරමුනේ පලල් “පෙරමුනු ගැසීමේ” දේශපාලනය කම්කරු පන්තිය අධිරාජ්‍ය විරෝධී සටනේ නායකත්වයට ගෙන යාමේ දේශපාලනයක් නො ව කම්කරු පන්තිය ධනපති පන්තියට යට කිරීමේත්, මාක්ස්වාදයෙන් ඉවතට දැනුවන්ව ම හැරවීමේත්, ඒ නිසා ම ධනේශ්වර දෘෂ්ටීන් යටතේ දැනුවත්ව ම රඳවා තැබීමේත් දේශපාලනයක් වී ඇත්තේ එසේ ය.

මේ දේශපාලනයට මාක්ස්වාදයත් සමග මෙලොව සම්බන්ධයක් නැති අතර, ස්ටැලින්වාදයත් සමග නම් ලොකු සම්බන්ධයක් ඇත. 1897 දී ලෙනින් සඳහන් කල පරිදි:

කම්කරු පන්තියේ ප්‍රජාතාන්ත්‍රීය කටයුතු වෙනත් පන්තීන්ගේ හා කන්ඩායම්වල ප්‍රජාතන්ත්‍රවාදී උවමනාකම් සමග පෑස්සීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය දුර්වල කර දමයි; දේශපාලන අරගලය දුර්වල කර දමයි; එහි අධිෂ්ඨානය අඩු කරයි, එහි ස්ථිරත්වය නැති කරයි; සම්මුති ගැසීමකට ගෙන යයි. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථාවන් සඳහා සටනේ දී පෙරමුනු සටන්කරුවා හැටියට කම්කරු පන්තිය වෙන්ව සිටිය හොත් එය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය ශක්තිමත් කරයි; දේශපාලන නිදහස සඳහා සටන ශක්තිමත් කරයි. මක් නිසා ද යත් කම්කරු පන්තිය අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී හා දේශපාලන විරුද්ධවාදී කොටස්වලට බලපෑමක් වන බැවිනි (ලෙනින්, එකතු කල කෘති, 2 වන වෙලුම, 336 පි., අවධාරනය ලෙනින්ගේ ).

ජාත්‍යන්තර වශයෙන් ම, ධනේශ්වර පන්තිය තම ප්‍රගතිශීලී කටයුත්ත ඉටු කර අවසාන වී ඇති යුගයක දී ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීමේ සටනේ දී පවා නායකත්වය ගත යුතු වන්නේ කම්කරු පන්තිය වන අතර, කම්කරු පන්තිය ඊට නායකත්වය නො දුන හොත් ඒ සටන පවතින්නේ ධනේශ්වර පන්තියේ ග්‍රහනය යටතේ ය. ලංකාව වැනි රටවල ජාතික ය යි නම් කරන ධනේශ්වර පන්තිය ගරා වැටෙන අධිරාජ්‍යවාදය මත මුලුමනින් ම රැඳී ඇති පන්තියක් නිසා ම, අධිරාජ්‍යවාදයට විරුද්ධ සටනේ දී මේ පන්තිය ඉටු කරන්නේ අධිරාජ්‍යවාදයේ ඒජන්ත කටයුත්ත බැවින් කම්කරු පන්තිය ඔවුන්ට විරුද්ධව සටන් වැද ඔවුන් සමග තරග කර පීඩිත ජනතාවන්ගේ නායකත්වය තමන් වෙත දිනා ගත යුතු ය. ලෝකයේ මොන ම රටක වත් වෙසෙන කම්කරු හා ධනේශ්වර නොවන වෙනත් පන්තීන්ට ස්වාධීන ක්‍රියා කලාපයක් ඇත්තේ නැත.

විජේවීරගේ “මාක්ස්-ලෙනින්වාදය” හරහට හිටින්නේ හා විරුද්ධව යන්නේ කම්කරු පන්තිය කල යුතුව ඇති ඒ සටනට යි.

ජනතා විමුක්ති පෙරමුන, අධිරාජ්‍ය විරෝධී සටන මත පැටවී ඇති ජාතික ධනේශ්වරයේ දේශපාලන ආධිපත්‍යය බිඳ ලීමට කිසි ම සටනක් නො කරන අතර, පසු ගිය කාලය තුල ම එය කර ඇත්තේ ජාතික ධනේශ්වර නායකත්වයත් සමග සම්මුතියකට ඒමට අසාර්ථක හා කනගාටුදායක උත්සාහයක් දැරීම යි.

සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂයන් “ජාතික ධනපති සන්ධානය මගින් කම්කරු ජනතාවත්, ගොවි ජනතාවත් මුලු මහත් නිර්ධන පන්තියත් එහි අවශ්‍යතාව වූ සමාජවාදයත් ජාතික ධනේශ්වර පන්තිය හමුවේ පාවා දීම සඳහා කැප වී තිබෙන” බව පිලිගෙන ඇති ජනතා විමුක්ති පෙරමුන (1970 සැප්තැම්බර් 30 වන දා ජනතා විමුක්ති, මැද පිටුවල ලිපිය, “ලාංකික විප්ලවයේ ගාමක බලවේගය වන ගොවි ජනතාව”) කම්කරු පන්තිය ජාතික ධනේශ්වරයෙන් වෙන් කර ගොවි ජනතාවත් සමග විප්ලවවාදී සන්ධානයකට ගෙන යාමට කිසි ම දෙයක් නො කර, ජාතික ධනේශ්වරයේ පන්ති කටයුත්ත අධිරාජ්‍ය විරෝධී වචනවලින් ආවරනය කිරීමට තැත් කරයි.

එම ලිපියේ ම පලමු වන ඡේදයේ “අධිරාජ්‍ය ගැති ධනපති පංතිය හා දේශීය ධනපති පංතිය” යනුවෙන් කර ඇති සඳහන තුල, දේශීය ධනේශ්වර පන්තිය අධිරාජ්‍ය ගැති නැති ධනපති පන්තියක් බව, එනම්, එක්කෝ අධිරාජ්‍ය විරෝධී, නැත් නම් අධිරාජ්‍යවාදයට විරුද්ධ හෝ පක්ෂ හෝ නැති ධනපති පන්තියක් බව පවසා ඇත. ඔවුන්ගේ මුල් පත්‍රවල “අධිරාජ්‍ය විරෝධී අරගලයේ දී වැනෙනසුලු පංතියක්” හැටියට ජාතික ධනේශ්වර පන්තිය හඳුන්වා තිබුන අතර මේ සෑම අර්ථදැක්වීමක් මගින් ම අධිරාජ්‍ය විරෝධී සටනේ දී ජාතික ධනේශ්වරයත් සමග සන්ධානයකට ඒමට න්‍යායික පසුතලය සකස් කර ගෙන තිබුනි. අධිරාජ්‍ය විරෝධී අරගල යුගයේ දී මාක්ස්-ලෙනින්වාදියා “සැබෑ දේශප්‍රේමියෙකු” බව කියන මිනිසුන් අධිරාජ්‍ය විරෝධී සටන තුල විවිධාකාර පන්තීන් ඉටු කරන වෛෂයික කටයුතු ගැන නො සොයා සිටීම ඉතා මත් ම තර්කානුකූල දෙයක් පමනි.

අධිරාජ්‍යවාදයෙන් බැට කන “සියලු ම සමාජ පන්තීන්” එක පෙරමුනකට ගැනීමට ඒ හැම පන්තියක් තුල ම එක එක මට්ටම්වලින් දෘශ්‍යමාන වන අධිරාජ්‍ය විරෝධී බවට හැකියාවක් ඇතැයි සිතන ජනතා විමුක්ති පෙරමුන, ජාතික ධනේශ්වර පන්තියේ ඇති ඔවුන් දකින “වැනෙනසුලු බව” තුරන් කර දැමීමට තමන්ගේ තල්ලු බලයට හැකියාවක් ඇතැයි ද සිතා ගෙන සිටී.

එනමුදු, ජාතික ධනේශ්වර පන්තිය අධිරාජ්‍ය විරෝධී සටනේ දී “වැනෙනසුලු” පන්තියක් නොවන අතර, එය ඉතා ම නිශ්චිත ලෙස අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන් මත පදනම්ව කම්කරු ව්‍යාපාරයට හා ජනතා ව්‍යාපාරයට එරෙහිව සටන් කරන පන්තියකි.

යම් යම් අවස්ථාවන්හි දී තම පන්ති උවමනාකම් උඩ පදනම්ව ඔවුන් අධිරාජ්‍යවාදය සමග ගැටුනත්, අධිරාජ්‍යවාදයට බලපෑම් දැමීම සඳහා කම්කරු ව්‍යාපාරය මත පවා එලබී සිටින්ට උත්සාහ දැරුවත් මේ කිසිවක් ඔවුන් ඉටු කරන ඇත්ත පන්ති කටයුත්තේ සීමාවන්ගෙන් පිටතට නො යයි. ජනතා ව්‍යාපාරය අධිරාජ්‍යවාදයේ සීමාවන් බිඳ ගෙන පෙරට ඇදෙන සෑම විටක දී ම අධිරාජ්‍යවාදය වෙනුවෙන් ජනතා ව්‍යාපාරය මර්දනය කිරීම ඔවුන්ගේ මූලික පන්ති කටයුත්ත යි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලය තුල විජිත රටවල පිපිරි ආ විප්ලවවාදී ප්‍රවාහයෙන් ජාත්‍යන්තර අධිරාජ්‍යවාදය බේරා දීම සඳහා මෙම ජාතික ධනේශ්වර නායකත්වයෝ ඉතා ම නිශ්චිත කටයුත්තක් ඉටු කලෝ ය. අධිරාජ්‍යවාදයේ සීමාවන් බිඳ ගෙන යාමට තැත් දැරූ පන්ති සටන යටපත් කිරීමට හා සම්මුති ගැස්සවීමට, ඒ අධිරාජ්‍ය විරෝධී සටන්වල මුදුනට පැන ගත් මේ නායකත්වයන් අධිරාජ්‍යවාදයත් සමග සම්මුතිවලට එලඹුනු අතර, මේ ජාතික නායකත්වයන් අතට බලය පැවරීම තම ලෝක සූරා කෑමේ ක්‍රමය රැක ගැනීමේ එක ම ආකාරය හැටියට අධිරාජ්‍යවාදියෝ දුටහ. නේරු, නසාර්, සුකර්නෝ, එන්කෲමා බඳු නායකත්වයන් අතට බලය යාම අධිරාජ්‍යවාදීන් අනුමත කල අතර, ඔවුන් බලයට පත් වූ පසු මේ නායකත්වයන් මාධ්‍යයක් කර ගෙන තම ග්‍රහනය ඒ ඒ රටවල තබා ගැනීමට අධිරාජ්‍යවාදයට හැකි විය.

ඒ රටවල් තුල අධිරාජ්‍ය විරෝධී අරගලය බලය කම්කරු පන්තිය අතට පත් වීමේ මට්ටම කරා ගමන් කිරීම ඉහත කී නායකත්වයන් විසින් නවතා දැමුනු අතර, ඔවුන් ලවා ඒ ඒ රටවල කම්කරු ව්‍යාපාරය අඩපන කරවා ගැනීමෙන් පසුව තම බලය යොදා තමන්ගේ අවශ්‍යතාවන් වඩාත් නග්නව නියෝජනය කරන ආන්ඩු ඇති කර ගැනීමට අධිරාජ්‍යවාදයට හැකි විය. උදාහරන ලෙස, එන්කෲමා හා සුකර්නෝ බඳු නායකත්වයන්ගේ ආන්ඩුවල රැකවරනය යටතේ, එනම් ඔවුන් කම්කරු පන්තිය දුර්වල කරමින් ලෝක අධිරාජ්‍යවාදයට සැපයූ රැකවරනය යටතේ එම ආන්ඩු පෙරලා දැමීමේ බලවේගයන් ඒකරාශි කර ගැනීමට අධිරාජ්‍යවාදයට හැකි වූ ආකාරය පෙන්විය හැකි ය. මේ කටයුත්ත ජාතික ධනේශ්වර නායකත්වයන් ඉටු කරන පන්ති කටයුත්ත මිස ඔවුන්ගේ අධිෂ්ඨානය අඩුකමක් හෝ වැනෙනසුලු බවක් නිසා ඇති වන දුර්වලකමක් නො වේ.

මේ ජාතික ධනේශ්වර ආන්ඩු මත තම බලය යොදා ඒවා තමන්ගේ අවශ්‍යතාවන්ට වඩ වඩාත් නතු කර ගැනීමට අධිරාජ්‍යවාදීන් දැරූ උත්සාහයේ දී අධිරාජ්‍යවාදයත් සමග පොර බැදීමට එක්තරා ඉඩක් පසු ගිය කාලයේ දී මේ නායකයන්ට තිබුනි. ඒ ඉඩ සැලසුවේ, 1950 ගනන්වල මුල සිට 1960 ගනන්වල මුල දක්වා උතුරු ඇමරිකාවේ හා බටහිර යුරෝපයේ පැවති තාවකාලික ආර්ථික උත්පාතය යි.

මේ ජාතික නායකත්වයන්ගෙන් ඇතැමෙක් අධිරාජ්‍යවාදී දේපල රජය සතු කිරීමේ පියවරයන් ගනිමින් ජනතා ව්‍යාපාරය හා අධිරාජ්‍යවාදය අතර උපාමාරු යෙදුව ද ඒ පියවරයන් එකක් වත් ඒ රටවල ආර්ථිකයන් අධිරාජ්‍යවාදී ලෝක ආර්ථිකයෙන් පිටතට ගෙන යාම තබා, ඒ ආන්ඩු අධිරාජ්‍යවාදය මත දේශපාලන වශයෙන් රැඳී සිටීම වත් අවසන් කලේ නැත.

මෙසේ ජනසතු කිරීමේ පියවර ගනිමින් “ඉදිරියට ගිය” නායකත්වයක් ලෙස මධ්‍යම පන්තිකයන් අතර ප්‍රසාදයට ලක්ව සිටි මිසරයේ හිටපු ජනාධිපති නසාර්, ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ රොජර්ස් “සාම සැලැස්ම” මැද පෙරදිග ජනතාව මත පැටවීමේ ප්‍රධාන නියෝජිතයා බවට පත් වීම මේ ආන්ඩු අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් ඉටු කරන ඇත්ත ඒජන්ත කටයුත්ත කිසිවෙකුට නිෂ්ප්‍රභ කල නොහැකි අයුරින් ඉස්මතු කර පෙන්වී ය.

ඇල්ජිරියාවේ බෙන් බලා ඊවියන් ගිවිසුම තුලින් ප්‍රන්ස අධිරාජ්‍යවාදය සමග අත්වැල් බැඳ ගැනීමත්, මිසරයේ නසාර් රොජර්ස් සැලැස්ම තුලින් ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග අත්වැල් බැඳ ගැනීමත් ජනතා ව්‍යාපාරය අධිරාජ්‍යවාදයේ සීමා බිඳ ගෙන යාමට තැත් දරන විට ජාතික ධනේශ්වර නායකත්වයෙන් සිටින්නේ ජනතා ව්‍යාපාරයට එරෙහිව අධිරාජ්‍යවාදයත් සමග අත්වැල් බැඳ ගෙන බව සනාථ කලේ ය.

ලංකාවේ වර්තමාන හවුල් ආන්ඩුව ඉටු කරන්නේත් ඒ කටයුත්ත ම වන අතර, මේ ආන්ඩුවට විරුද්ධව සටන් කරමින් කම්කරු පන්තිය ශ්‍රීලනිපයේ නායකත්වය යටතේ ඇති ඊනියා ප්‍රගතිශීලී බලවේගයන්ගේ පලල් පෙරමුනෙන් වෙන් කර ගෙන ගොවි ජනතාවත් සමග විප්ලවවාදී සන්ධානයකට ගෙන යාම වෙනුවට ජනතා විමුක්ති පෙරමුන කියන්නේ, තමන් පැවතීම මේ ප්‍රගතිශීලී පෙරමුනේ ආරක්ෂාවට හේතු වන බව යි!

එහෙයින් අපි මේ රජයටත් අගමැතිනියටත් පැහැදිලිව කියා සිටින්නේ රටටත් ජනතාවටත් තර්ජනය එල්ල වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුනෙන් නො ව ප්‍රතිගාමී දක්ෂිනාංශික බලවේගවලින් බව යි. නැතිව මේ රජය ගෙන යන කිසිදු සමාජවාදී වැඩ පිලිවෙලක් කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුන බලාපොරොත්තු වන්නේ නැත (1970 අගෝස්තු 1 වන දා ජනතා විමුක්ති, මැද පිටු).

මේ රටේ කම්කරු-ජනතා ව්‍යාපාරය අධිරාජ්‍යවාදයට ගැට ගැසීමට සමසමාජ-කොමියුනිස්ට් නායකයන් ඇටවූ ඊනියා ප්‍රගතිශීලී බලවේගයන්ගේ එක්සත් පෙරමුන ශක්තිමත් කරමින්, ජනතා ව්‍යාපාරය මේ හවුල කඩා ගෙන පෙරට ඒම නැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුනේ “මහජන පෙරමුනු” දේශපාලනය ක්‍රියාත්මක වන්නේ එසේ ය.

මේ පෙරමුන ශක්තිමත් කිරීමට දුන් සහයෝගය නො තකාත්, ධනේශ්වර තුන් හවුල් ආන්ඩුව ජනතා විමුක්ති පෙරමුන මර්දනය කරන විට පවා ඔවුන් කරන්නේ තමන් අධිරාජ්‍ය විරෝධීන් බව කියා ආන්ඩුවේ සහයෝගය ඉල්ලීම යි.

සභාග ආන්ඩුව ඔවුන්ටත් කම්කරු ව්‍යාපාරයටත් පහර දෙන විට, සභාග ආන්ඩුවේ හා ඔවුන්ගේ සතුරා යූඇන්පිය බව අවධාරනය කරමින් ආන්ඩුවත් සමග අන්‍යෝන්‍ය වැටහීමකට ඒමට ජනතා විමුක්ති පෙරමුන යත්න දරා ඇත්තේ එක වතාවක දී දෙකක දී පමනක් නො වේ. මෙමගින් මේ ආන්ඩුවට විරුද්ධව සටන් කිරීමේ දැවෙන අවශ්‍යතාව යටපත් කොට, ඊනියා “යූඇන්පී විරෝධී” අරගලයක් ගෙන යාමේ පෙරමුනක් තුල කම්කරු පන්ති සටන දිය කිරීමට ඔවුහු යන්න දරති.

තුන් හවුලේ මර්දනය වඩා දැඩි වත් ම, ආන්ඩුවත් සමග සම්මුතියකට ඒමට ඔවුන්ට නොහැකි තත්වයක් සැකසී ඇතත්, ජාතික ධනේශ්වර පන්තිය ගැන ඔවුන් කර ගෙන ඇති මාරක විග්‍රහය නිවැරදි කර ගැනීමටත්, ජාතික ධනපති පන්තිය ජනතා ව්‍යාපාරය මත රඳවා ඇති ග්‍රහනය බිඳ ලීමට සටන් කිරීමට වත් ඔවුන් සූදානම් නැත.

නැවතත් වරක් ඔවුන් කරන්නේ පලල් “අධිරාජ්‍ය විරෝධී හා යූඇන්පී විරෝධී පෙරමුනක” අවශ්‍යතාව පෙන්වා මේ ආන්ඩුවට එරෙහි සටන ඒ පෙරමුන ගැසීමට ඇති බාධකයක් බව පෙන්වීම පමනි. හවුල් ආන්ඩුවේ ප්‍රතිවිප්ලවවාදී වැඩ කටයුතු යූඇන්පිය ශක්තිමත් කරන බවට සැකයක් නැත. හවුල් ආන්ඩුවේ ප්‍රතිවිප්ලවවාදී රැකවරනය යටතේ සකල ප්‍රතිගාමී බලවේගයන් කම්කරු පන්තියට එරෙහිව ගොනු වීම ද නියත ය. එනමුත් මේ බලවේගයන් හිස ඔසවා කම්කරු පන්තිය සමග ගැටෙන තත්වයක් සැකසෙන විට, ඒ බලවේගයන්ට නිදහසේ වැඩීමට ඉඩ දුන් ශ්‍රී ලංකාවේ ධනපති පෙරමුනත් සමග පෙරමුනකට යාමට, එමගින් කම්කරු පන්තිය ඒ පෙරමුනේ අවශ්‍යතාවන්ට යටත් කිරීමට, ජනතා විමුක්ති පෙරමුන දැන් තියා ම තත්වය සකස් කර ගනිමින් යයි.

හවුල් ආන්ඩුවට හා ජාතික ධනේශ්වරයට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුන මේ දිනවල ගෙන යන ගෝට්ටිය යූඇන්පී විරෝධී පලල් පෙරමුනක් සෑදීමට ගෙන යන ගෝට්ටියක් මිස කම්කරු පන්තිය මේ ආන්ඩුවට හා යූඇන්පියට විරුද්ධව ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා එල්ල වූවක් නො වේ.

එහෙත් දැනට බලයේ සිටින “ප්‍රගතිශීලී බලවේගයන්ගේ” සහාය ඒ පෙරමුනට ලබා ගත නොහැකි නිසා, ඊට පිටින් පවතින වෙනත් “අධිරාජ්‍ය විරෝධී පන්තීන්” දැන් තියා ම “පලල් මහජන පෙරමුනකට” එකතු කර ගෙන කම්කරු පන්තියට ස්වාධීනව ඉස්මතු වීමට ඉඩ නො දී, මොන අන්දමකින් හෝ කම්කරු පන්තිය වෙනත් පන්තියකට යටත් කර තබා ගෙන සිටීමට ජනතා විමුක්ති පෙරමුන ක්‍රියා කරයි.

කම්කරු පන්තිය ගොවි ජනතාව සමග බද්ධ කිරීම සම්බන්ධව ඔවුන් ඉදිරිපත් කර ඇති සූත්‍රයන් ඉටු කරන්නේ ධනේශ්වර පන්තියට විරුද්ධව කම්කරු පන්තියේ නායකත්වය යටතේ කම්කරු-ගොවි සන්ධානය ගොඩ නැගීමේ කටයුත්ත නො වේ. එය ගොවි ජනතාව තුල කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය දිය කර දමා, ගොවි ජනතාවගේ නායකයා බවට කම්කරු පන්තිය පත් නොකිරීමට දැනුවත්ව ම එල්ල කර ඇත.

කම්කරු පන්තියේ ස්වාධීන පන්ති නායකත්වය ලැබෙන තුරු ගොවි ජනතාව ගමන් කරන්නේ ධනේශ්වර පන්තියේ නායකත්වය යටතේ නිසා ගොවි ජනතාව සමග සන්ධානයකට ඒමට කම්කරු පන්තියට හැකියාව ඇත්තේ ධනේශ්වර පන්තියත් සමග, ධනේශ්වර පන්තියේ ඊනියා “ප්‍රගතිශීලී හා ප්‍රතිගාමී” කොටස් සියල්ලක් මත් සමග සටන් කිරීම මගින් පමනි. ධනේශ්වර පන්තියේ සියලු ම පක්ෂයන්ගේ ක්‍රියා මාර්ගයන්ට හා දේශපාලනයන්ට විරුද්ධව ස්වාධීන ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කිරීමට කම්කරු පන්තියට හැකියාව නැති තාක් දුරට ගොවියෝ කම්කරු පන්තිය පසුපසින් නො එති.

ජාතික ධනේශ්වරයේ දේශපාලන ආධිපත්‍යයට විරුද්ධ සටන අත හැර දමා ඇති ජනතා විමුක්ති පෙරමුන මේ ආධිපත්‍යය බිඳ නො දමා කම්කරු-ගොවි සන්ධානය ගොඩ නැගීම ගැන කරන කතාව විප්ලවවාදී හඬ පැතිරවූව ද හරයෙන් හිස් ය.

කම්කරු-ගොවි සන්ධානය ගොඩ නැගීමට ඇති ප්‍රධාන බාධකය හැටියට පවතින, කම්කරු පන්තිය තුල ප්‍රධාන පක්ෂයන් ධනේශ්වරයත් සමග ඇති කර ගෙන ඇති සන්ධානය කැඩීමට සටන් කිරීම පසෙක තබා, ගොවි ජනතාව නිර්ධන පන්තියක් බවට පත්ව ඇතැයි ද මේ පන්තීන් නිකම් ම එක පෙරමුනකට ගෙන ආ යුතු යැයි ද ඔවුහු කියා සිටිති.

ගොවියන් නිර්ධන පන්තිය බවට පත්ව ඇතැයි ඔවුන් කියන කතාව, කම්කරු පන්තියේ නායකත්වය ගොවියන්ට අවශ්‍ය නැතැයි තමන්ට ම ඔප්පු කර ගැනීම සඳහා ගොතා ගෙන ඇති මිථ්‍යාවක් පමනි. පන්ති සමාජය තුල පන්තීන් හා සමාජ කන්ඩායම් ඉටු කරන කටයුතු මැනෙන්නේ නිෂ්පාදන බලවේගයන්ට ඔවුන්ගේ ඇති සම්බන්ධතාව මගින් මිස ඔවුන්ගේ පීඩාව ආදිය මගින් නො වේ. ලංකාවේ හේන් ගොවියන් ආදින් කොතෙක් පීඩා වින්දත් ඔවුන් තමන් සඳහා ම නිෂ්පාදනය කර ගන්නා සුලු නිෂ්පාදකයන්ගේ තත්වයේ සිටින තාක් දුරට, ඔවුහු කම්කරු පන්තිය නො වෙති. කම්කරුවා තම ශ්‍රම ශක්තිය භාන්ඩයක් හැටියට ධනපතියාට විකුනන්නා ය.

“ලංකාවේ සුවිශේෂ තත්වයන් තුල” පමනක් නො ව ලෝකය පුරා ම දුගී ගොවීන්ගේ තත්වය ඉතා මත් ම විනාශකාරී මට්ටම් කරා සේන්දු වී ඇත්තේ, ඒකාධිකාරී ධනවාදය සියලු ම සුලු නිෂ්පාදකයන් විනාශ කර බංකොලොත් කර දමා ඇති බැවිනි. තමන් විඳින පීඩාවෙන් ගොඩ ඒමට ගොවියා සටන් කල යුත්තේ අධිරාජ්‍යවාදී සතුරෙකුට විරුද්ධව වන අතර, මේ සටන තුල ඔහුට විශාල කටයුත්තක් ඉටු කිරීමට ඇතත්, ඒ සටනේ නායකත්වය නගරබද පන්තියක් ඔහුට සැපයිය යුතු වේ.

ගොවියන් ඒකාකාර පන්තියක් නොවන නිසා ම, ඔවුන් සුලු පෞද්ගලික නිෂ්පාදකයන් වන නිසා ම, ඔවුන්ට තනියම යා හැකි උපරිම දුර නම් විරෝධතා බලපෑම් ඇති කිරීමේ හා එමගින් යම් ප්‍රතිසංස්කරන උදුරා ගැනීමේ දුරකට පමනි. මේ ගමන්නේ දී ඔවුනුත් සමග ඇති කර ගන්නා සන්ධානය තුලින්, කම්කරු පන්තියේ බලය තහවුරු කර ගැනීමේ සටනට ගොවීන් සම්බන්ධ කර ගත හැකි අතර, කම්කරු පන්තිය ගොවීන් සමග සන්ධානයකට ඒමට සටන් නො කරන තාක් දුරට කම්කරු පන්තියට විරුද්ධව ගොවීන් මත රැඳී සිටීමට ධනපති පන්තියට හැකි වේ.

ගොවීන් වෙන ම ම පන්තියක් බව අවධාරනය කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ, ගොවීන්ගේ අවශ්‍යතාවන් අධිරාජ්‍යවාදයට පමනක් නො ව කම්කරු පන්තියටත් විරුද්ධව යන බැවිනි. එහෙත් අධිරාජ්‍යවාදයට හා පැරනි වැඩවසම් සම්බන්ධකම්වලට විරුද්ධව සටනේ දී ගොවීන් තමන් වටා ගොනු කර ගැනීමට කම්කරු පන්තියට හැකියාවක් ඇත. මාක්ස්වාදීන් කම්කරු-ගොවි සන්ධානය යනුවෙන් හඳුන්වන්නේ තමන්ගේ බලය පිහිටුවා ගැනීමේ සටනේ දී ධනපති පන්තියට හා ලොකු ඉඩම් හිමියන්ට එරෙහිව කම්කරු පන්තිය දුගී ගොවි ජනතාවත් සමග ඇති කර ගන්නා නිශ්චිත සම්බන්ධතාව වේ.

මේ සන්ධානය ධනේශ්වර පන්තිය දිය කර විනාශ කර දැමීමට යෙදවිය හැකි අතර, 1917 ඔක්තෝබර් විප්ලවය එය එසේ කල හැකි බව පෙන්වී ය. එහෙත් තමන් අතට රාජ්‍ය බලය ගැනීමෙන් පසුව පවා ගොවි කැරලිවලට හා විරුද්ධත්වයන්ට මුහුන දීමට සෝවියට් ආන්ඩුවට සිදු වුනේ ගොවියන් වෙන ම ම පන්තියක් බැවින් ය. ගොවීන් කවර දාක වත් ඒකාකාර පන්තියක් නොවන අතර දුගී ගොවියන් මත රැඳී හිඳිමින් ඔවුන්ගේ සහයෝගය ලබා ගනිමින් ලොකු ගොවියන්ගේ ව්‍යාපාරයන් මර්දනය කර දැමීමට කම්කරු රාජ්‍යයට හැකි විය.

1918 දී හංගේරියාවේ බලයට ආ බේලා කුන්ගේ සෝවියට් ආන්ඩුව, කම්කරු-ගොවි සන්ධානය පසෙක තබා සුලු ගොවීන්ගේ ඉඩම් පවා රාජ්‍යය සතු කර ගැනීමට යාම ගොවීන් සම්පූර්නයෙන් ම කම්කරු පන්තියෙන් ඔබ්බට තල්ලු කර දැමූ අතර බේලා කුන්ගේ සෝවියට් ආන්ඩුව පෙරලා දැමුනේ මේ ගොවි කැරැල්ල මත රැඳී සිටිමින් හිස එසවූ ප්‍රතිගාමී බලවේගයන් විසිනි.

ධනපතියන්ට හා ලොකු ඉඩම් හිමියන්ට එරෙහිව දුගී ගොවීන් සමග සන්ධානයකට ඒමට කම්කරු පන්තියට හැකියාවක් ඇතත් එම සන්ධානය ධනේශ්වරයන් හා ඉඩම් හිමියන් පෙරලා දැමීමෙහි ලා තීරනාත්මක කටයුත්තක් ඉටු කලත් ගොවීන් හා කම්කරුවන් අතර ඇති පන්ති පරතරය නො තකා හැරීම ගොවියන්ගේ ඇති සුලු ධනේශ්වර අවශ්‍යතාවන්ට කම්කරු පන්තියට විරුද්ධව ඒමට සලසා දෙන ඉඩක් වනු ඇත. ගොවීන් ඉඩම් හිමියන්ට හා ධනේශ්වර නිලධාරි තන්ත්‍රයට විරුද්ධව කරන සටනට කම්කරු පන්තිය සහාය දිය යුතු වුවත්, එයින් ඔබ්බට ගමන් කරන ගොවියගේ සුලු ධනේශ්වර අවශ්‍යතාවන්ට කම්කරු පන්තිය සහාය දෙන්නේ නැත.

ගොවි ජනතාව සමාජවාදය සඳහා සටන් කරන පන්තියක් නො වේ. කම්කරු පන්තිය මෙය පැහැදිලිව ම වටහා ගත යුතු ය. එනමුදු ලොකු ඉඩම් හිමියන්ට හා ධනේශ්වර රජයේ නිලධාරි තන්ත්‍රයට විරුද්ධව ගොවීන් කරන සටනේ දී ඔවුනුත් සමග සන්ධානයකට ඒම, ඔවුන්ට නායකත්වය දීම, කම්කරු පන්තිය තමන්ගේ බලය පිහිටුවා ගැනීම සඳහා සටනේ අත්‍යවශ්‍ය කටයුත්තක් වශයෙන් පවතී.

මේ කම්කරු-ගොවි සන්ධානය සඳහා කරන සටනේ දී ගොවි ජනතාවගේ අවශ්‍යතාවන් කම්කරු පන්තියේ සමාජවාදී අවශ්‍යතාවන් සමග පෑස්සීමට මධ්‍යම පන්තික නායකත්වයන් දරන සෑම උත්සාහයකට ම විරුද්ධව මාක්ස්වාදීන් සටන් කල යුතු ය. කම්කරු පන්තියට පිටින් ස්වධීන “ගොවි පක්ෂ” හැදීම විප්ලවවාදී නොවන සුලු ධනේශ්වර පක්ෂයන් හැදීමකි. “කම්කරු-ගොවි” පක්ෂ හැදීම නැත් නම් “කම්කරු පන්තිය ගොවි ජනතාවට බද්ධ කිරිමට” උත්සාහ කිරීම ආදිය කම්කරු-ගොවි සන්ධානය ගොඩ නැගීම නො ව කම්කරු පන්තිය සුලු ධනේශ්වර පන්තිවලට යට කිරීමකි.

රුසියාවේ ජය ගත් විප්ලවයේ පදනම හැටියට වූ කම්කරු-ගොවි සන්ධානය බොල්ෂෙවික්වරුන් විසින් ඇති කර ගන්නා ලද්දේ රුසියාවේ ලිබරල් ධනේශ්වර නායකත්වයට කම්කරු පන්තිය කෙලින් ම ගැට ගැසීමට යත්න දැරූ නායකත්වයන්ට විරුද්ධව ගෙන යන ලද සටනක් තුලින් පමනක් නො වේ. කම්කරු පන්තිය හා ගොවි ජනතාව අතර වෙනසක් නො දකිමින් කම්කරු පන්තිය හා ගොවි ජනතාව බද්ධ කරන්න උත්සාහ කල නායකත්වයන්ට ද විරුද්ධව කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සඳහා කල සටන තුලිනි.

රුසියානු නරෝද්නිකයන්ට හා සමාජ විප්ලවවාදී පක්ෂයට එරෙහිව බොල්ෂෙවික් පක්ෂය ගෙන ගිය සටනේ ප්‍රධාන අංගයක් වූයේ කම්කරු පන්තිය ගොවි ජනතාවට “බද්ධ කිරිමේ” ඔවුන්ගේ උත්සාහයට විරුද්ධ අරගලය යි.

මේ අරගලයේ දී ලෙනින් සටහන් කල පහත සඳහන් දෑ කම්කරු-ගොවි සන්ධානය ගොඩ නැගීමෙහි දී මාක්ස්වාදීන් සැලකිල්ලට ගත යුතු මූලික කරුනු වශයෙන් පවතී.

කම්කරු පන්තිය හා ගොවි ජනතාව බද්ධ කිරීමට හැදු සමාජ විප්ලවවාදී පක්ෂයට විරුද්ධව ලෙනින් 1909 දී ලීවේ මෙය යි:

ඔවුන්ගේ ක්‍රියා මාර්ගයේ මූලික අදහස හැටියට පවතින්නේ නිර්ධනීන්ගේ හා ගොවීන්ගේ “බලවේගයන් අතර සංවිධානයක්” ඇති කිරිම ය යන්න පමනක් නො ව මේ පන්ති දෙක අතර විශාල පන්ති පරතරයක් නැතැයි යන්න ද, මේ පන්ති දෙක අතර ඇති පන්ති වෙනස සටහන් කර ගැනීම අවශ්‍ය නැතැයි යන්න ද, නිර්ධනීන්ගෙන් ගොවි ජනතාව වෙන් වන්නේ ගොවීන්ගේ ඇති සුලු ධනේශ්වර භාවය නිසා ය යන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස මූලික වශයෙන් වැරදි සහගත එකකැයි යන්න ද වේ (ලෙනින්, එකතු කල කෘති, 15 වන වෙලුම, 351 පි.).

මීට පෙර 1905 දී ලෙනින් මෙසේ ලිවී ය:

ගොවීන් ගැන අපේ ආකල්පය අවිශ්වාසදායක එකක් විය යුතු ය. අප ගොවි ජනතාවගෙන් ස්වාධීනව සංවිධානය විය යුතු ය, ගොවි ජනතාව කම්කරු විරෝධී ප්‍රතිගාමී බලවේගයක් හැටියට පෙරට එන තාක් දුරට අප ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට සූදානම්ව සිටිය යුතු ය (ලෙනින්, එකතු කල කෘති, 8 වන වෙලුම, 234 පි.).

නැවතත් වරක් 1906 දී

අපේ අවසාන අවවාදය මෙය යි. නගරවල හා ගම්වල වෙසෙන නිර්ධනයනි, අර්ධ නිර්ධනයනි, වෙන්ව සංවිධානය වව්! සුලු දේපල හිමියන් ගැන, ඔවුන් අතුරෙනුත් ඉතා ම සුලු එවුන් ගැන වත්, ඔවුන් අතුරෙන් වැඩ කරන අය ගැන වත් විශ්වාසය නො තබව්.... අපි අවසානය දක්වා ම ගොවි ව්‍යාපාරයට සහාය දෙමු. එනමුත් මේ ව්‍යාපාරය වෙන ම පන්තියක ව්‍යාපාරයක් බව, සමාජවාදී විප්ලවය ඉටු කල හැකි හෝ ඉටු කිරීමට අරමුනක් ඇති හෝ පන්තියක ව්‍යාපාරයක් නොවන බව අප සිහියේ තබා ගත යුතු ය (ලෙනින්, එකතු කල කෘති, 10 වන වෙලුම, 191 පි.)

යනුවෙන් ලෙනින් සටහන් කලේ ය.

කම්කරු-ගොවි සන්ධානය යනු කම්කරු පන්තිය ගොවීන් සමග බද්ධ කිරීම නොවන බව කෙලින් ම සඳහන් කරමින් 1908 දී ලෙනින් මෙසේ කී ය:

කම්කරු-ගොවි සන්ධානය, කම්කරුවන්ගේ හා ගොවියන්ගේ පන්තීන් හෝ පක්ෂයන් එකට බද්ධ කිරිමක් ලෙස ඇඟවෙන පරිදි කිසි ම අවස්ථාවක දී තේරුම් නො ගත යුතු ය. බද්ධ කිරීම පමනක් නො ව, කාලාන්තරයක් මුලුල්ලේ පවතින කිසි යම් ආකාර එකමුතුකමකට හෝ ඒම කම්කරු පන්තියේ සමාජවාදී පක්ෂය සම්බන්ධයෙන් මාරක වන අතර විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී සටන දුර්වල කර දමයි (ලෙනින්, එකතු කල කෘති, 15 වන වෙලුම, 51 පි.).

ජනතා විමුක්ති පෙරමුනේ “කම්කරු-ගොවි සන්ධානය” කම්කරු පන්තිය සුලු ධනේශ්වර පෙරමුනකට යටත් කිරීමේ සූත්‍රයක් පමනක් වන අතර, මාක්ස්වාදීන් කම්කරු-ගොවි සන්ධානය සඳහා සටන් කරන්නේ කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වය සඳහා සටන් වදිමින්, ගොවි ජනතාව ඉඩම් හිමියන්ට හා ධනපතියන්ට විරුද්ධව කරන සටනේ නායකත්වයට කම්කරු පන්තිය ගෙන යාමෙනි.

Loading