අවිශිබම විරුද්ධ පක්ෂ සමග තවත් ප්‍රතිගාමී සන්ධානයකට සූදානම් වේ

[මෙය Sri Lankan university student union prepares another reactionary alliance with opposition parties යන මැයෙන් 2024 පෙබරවාරි 28 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

වික්‍රමසිංහ ආන්ඩුවේ මර්දනකාරී පිලිවෙත් සහ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි එහි ප්‍රහාරවලට විරුද්ධව ඒකාබද්ධව සටන් කිරීමේ කඩතුරාව යටතේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) නායකත්වය ශ්‍රී ලංකාවේ ධනේශ්වර විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයන් සමග ඉහල මට්ටමේ සාකච්ඡා පවත්වමින් සිටී.

2024 පෙබරවාරි 5 වන දින අවිශිබම නිලධාරීන් සජබ නායක සජිත් ප්‍රේමදාස (ඉහල මැද) හමුවෙයි [ඡායාරූපය: ෆේස්බුක්/අවිශිබම] [Photo: Facebook/IUSF]

පෙබරවාරි මුල සිට අවිශිබම නායකයන් සමගි ජන බලවේගය (සජබ) සහ ජාතික ජන බලවේගය (ජාජබ)—ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) මැතිවරන පෙරමුන—මෙන්ම පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් (ශ්‍රීලංපොපෙ) කැඩී ගිය කන්ඩායම් කිහිපයක් සහ ව්‍යාජ වාම එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හමුවී ඇත. අවිශිබම කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසුවේ, මාඕවාදී කන්ඩායමක් වන නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය සහ වෘත්තීය සමිති කිහිපයක් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට සංවිධානය සැලසුම් කර ඇති බවයි.

අවිශිබම පාලනය කරනු ලබන්නේ ජවිපෙ අංකුරයක් වන ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසිනි. අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩුවලට සහ ඔවුන්ගේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි 26 වසරක ලේවැකි දෙමල විරෝධී වාර්ගික යුද්ධයට සහයෝගය දැක්වීම නිසා, කම්කරුවන් හා තරුනයින් විසින් බරපතල ලෙස ජවිපෙ ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟ පෙසප පිහිටුවන ලද්දේ යන්තම් දශකයකට ඉහතදී ය.

එවකට ජවිපෙ සාමාජිකයන් වූ වත්මන් පෙසප නායකයෝ, කොලඹ ආන්ඩුවල කම්කරු පන්ති විරෝධී හා වර්ගවාදී පිලිවෙත්වලට මුලුමනින්ම පිටුබලය දුන්හ. පෙසප පිහිටුවූයේ ජවිපෙ ප්‍රතිපත්තිවලින් දේශපාලනික බිඳීමකින් නොව, ව්‍යාජ වාම ජාතිකවාදී වාචාල කතාවලින් සැරසුනු එම වැඩපිලිවෙලෙහිම දිගුවක් ලෙසිනි.

ජවිපෙ ශිෂ්‍ය පෙරමුනක්ව පැවති අවිශිබම, අලුතින් පිහිටුවන ලද පෙසප වෙත සිය පක්ෂපාතීත්වය මාරු කලේ ය. ජවිපෙ මෙන්ම අවිශිබම නායකත්වය ද, තම සංවිධානයේ පාලනය රඳවා ගැනීමට එම නිලධාරිවාදී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේද ම භාවිතා කරයි.

පෙබරවාරි 5 දා සජබ සහ එහි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමෙන් අනතුරුව අවිශිබම කැඳවුම්කරු චන්ද්‍රජිත් මාධ්‍ය වෙත මෙසේ පැවසීය: “අපි [විපක්ෂ නායකයා සමඟ] මෑතකදී සම්මත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත, නුදුරේම සම්මත කර ගැනීමට යන ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත, [පොලිසියේ] යුක්තිය මෙහෙයුම සහ විශ්ව විද්‍යාල වල තවත් ගැටලු ගැන සාකච්ඡා කලා.”

අවිශිබම, විරුද්ධ පක්ෂවලට සහ ඒවායේ වෘත්තීය සමිතිවලට යෝජනා කලේ, “ආන්ඩුවේ මර්දනයට සහ සමාජයක් ලෙස අප මුහුන දෙන අර්බුදයට එරෙහිව එක්සත් වී සටන් කරන” ලෙසයි.

මෙම දූෂිත සහ මුලුමනින්ම අපකීර්තියට පත් සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමේ කප්පිත්තන් ලෙස ඉදිරිපත් කරමින්, චන්ද්‍රජිත් ප්‍රකාශ කලේ, ඔවුන් සියල්ලන්ටම “ආන්ඩුවේ ප්‍රහාර පරාජය කිරීමේ නිශ්චිත කර්තව්‍යයක් ඇත... ආන්ඩුව මෙම නව පනත් පාර්ලිමේන්තුවේදී අනුමත කර තිබුනද, අපි මහජනයා සමඟ මහ පාරේ අරගලයෙන් ඒවා පරාජය කරනවා යනුවෙනි.

චන්ද්‍රජිත් පෙබරවාරි 15 වැනි දින, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් කැඩී ගිය කන්ඩායමක් වන නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ද මාධ්‍ය වෙත එවැනිම ප්‍රකාශයක් කලේය. අවිශිබමය, මෙම ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති සමග වැසුනු කාමර තුල පැවැත්වූ සාකච්ජාවල දී ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිලිබඳ කිසිදු විස්තරයක් සපයා නැත. 

තම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවරයන්ට එරෙහිව නැගෙන විරෝධය හමුවේ, වික්‍රමසිංහ ආන්ඩුව පුලුල් පරිමාන මර්දන පියවර මාලාවක් ක්‍රියාත්මක කරමින් සිටී. 

මෑතකදී පනවන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත මඟින් සමාජ මාධ්‍ය වේදිකා වසා දැමීමට, භාෂනයේ නිදහස යටපත් කිරීමට සහ ආන්ඩුව විවේචනය කරන ඕනෑම කෙනෙකුට නඩු පැවරීමට හැකියාව ලබා දී තිබේ. ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එමගින් කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඊටත් වඩා දරුනු පියවරයන් සහිතව ප්‍රතිස්ථාපනය කරනු ඇත. 

ඒ අතරම, මත්ද්‍රව්‍ය හා අපරාධවලට එරෙහි යුද්ධයක් යැයි කියාපාමින් ආන්ඩුව මුදා හැර ඇති යුක්තිය මෙහෙයුම කම්කරු පන්තියට හා දුප්පතුන්ට එරෙහිව රටපුරා ක්‍රියාත්මක පොලිස් ත්‍රස්ත ව්‍යාපාරයකි. 

අපකීර්තියට පත් විරුද්ධ පක්ෂ සහ ධනේශ්වර ගැති වෘත්තීය සමිති, ආන්ඩුවට එරෙහිව සටන් කරනු ඇතැයි කම්කරුවන්ට හා සිසුන්ට ඒත්තු ගැන්වීමට අවිශිබම දරන උත්සාහය ප්‍රතිගාමී මෙන්ම භයානක ප්‍රලාපයකි. ඒවායේ දේශපාලන ඉතිහාසය පෙන්නුම් කර ඇති පරිදි, මෙම සංවිධාන ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්තියේ අත්හදා බැලීමට හා පරීක්ෂාවට ලක්ව ඇති ඒවා ය. 

සජබ යනු වික්‍රමසිංහගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) අංකුරයකි. පෙර පැවති එජාප ප්‍රමුඛ ආන්ඩුවල මැති ඇමතිවරුන් වූ එහි නායකයින්, ලේ වැකි දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට, කලින් පැවති කුරිරු නීති තවත් බලගැන්වීමට හා ක්‍රියාත්මක කිරීමට සෘජුව වගකිව යුතු ය.  

පසුගිය දශක තුන පුරා ජවිපෙ, ආන්ඩුවලට සම්බන්ධ වෙමින් හෝ විපක්‍ෂ සමග සන්ධානගත වී  සෑම කොලඹ ආන්ඩුවක්ම  එල්ටීටීඊයට එරෙහිව ගෙන ගිය වර්ගවාදී යුද්ධයට හා මර්දනකාරී පියවරයන්ට සහාය දෙමින් ධනේශ්වර සංස්ථාපිතයේ දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත. 

වික්‍රමසිංහ ආන්ඩුව පිලිබඳ ඔවුන්ගේ වාචාල හෙලාදැකීම් නොතකා, ජවිපෙ, සජබ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් බිඳීගිය කන්ඩායම් සියල්ලම ජාමූඅ කප්පාදුවට කැපවී සිටින අතර ඒවා බලයට පමිනියහොත් ආන්ඩුවේ ම්ලේච්ඡ වැඩපිලිවෙල සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති, මීටත් වඩා නොඅඩු රුදුරුභාවයකින් ක්‍රියාවට නංවනු ඇත. 

එසේම, ව්‍යාජ-වාම එක්සත් සමාජවාදී පක්ෂය, මීට පෙර ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාර පිලිබඳ ඔහුගේ දීර්ඝ වාර්තාව නිසා කම්කරු පන්තියේ දැඩි වෛරයට පාත්‍ර ව සිටින චරිතයක් වන වික්‍රමසිංහ සමග ප්‍රතිගාමී දේශපාලන සන්ධාන පිහිටුවා ගෙන ඇත. ඒ හා සමානව, වෘත්තීය සමිති නිලධරයන් පසුගිය සහ වර්තමාන කොලඹ පාලන තන්ත්‍රයන්ට එරෙහිව ඒකාබද්ධ කම්කරු පන්ති ව්‍යාපාරයක් වර්ධනය  කිරීමට එරෙහිව ප්‍රධාන භූමිකාවක් ඉටු කර තිබේ.

හිටපු ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීමේදී කලාක් මෙන්, පෙසප සහ අවිශිබම තවත් දේශපාලන ව්‍යසනයක් සූදානම් කරමින් සිටින බවට අපි සිසුන්ට සහ කම්කරුවන්ට අනතුරු අඟවමු.

2023 මාර්තු 7 වැනිදා සමාජ කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව වික්‍රමසිංහ ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට විරෝධය දක්වන අවිශිබම ආධාරකරුවන්. [ඡායාරූපය: ලෝක සමාජවාදී වෙබ් අඩවිය]

2022 දී, පෙසප සහ අවිශිබම ඇතුලු එහි විවිධ ඉදිරිපෙල කන්ඩායම්වල නායකත්වය, ආන්ඩුවට එරෙහි මහජන නැගිටීමේ කොටසක් ලෙස  ඇරඹුනු ගාලුමුවදොර පිටියේ වාඩිලා ගැනීමට සම්බන්ධ විය. විප්ලවවාදී සමාජවාදී දේශපාලනය පිලිබඳ කවර හෝ සාකච්ඡාවක් වැලැක්වීමේ උත්සාහයක් ලෙස ගාලුමුවදොර වාඩිලා ගැනීමේ ව්‍යාපාරයේ නායකත්වය විසින් පනවන ලද දේශපාලනය එපා' යයි' පැනවූ වාරනයට ඔවුන් සහාය දුන්නේය. 

ඉනික්බිති සති කිහිපය තුල ආන්ඩුවේ අර්බුදය ගැඹුරු වෙද්දී, සජබ සහ ජවිපෙ විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පාලනය ස්ථාවර කිරීම සඳහා පාර්ලිමේන්තු පක්ෂවල අන්තර්වාර ආන්ඩුවක් ඉල්ලා සිටින විට පෙසප සහ අවිශිබම එයට අනුබල දුන්නේ ය. 

පෙසප මගින් පාලනය වන වෘත්තීය සමිති ජවිපෙ, සජබ සහ අනෙකුත් වෘත්තීය සමිතිවලට අනුබද්ධිත ඔවුන්ගේ සගයන් සමග එක්වී, අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල මිලියන ගනනක් සහභාගී වූ මහා වැඩවර්ජන එක්දින ක්‍රියාමාර්ගවලට සීමා කල අතර, අන්තර්වාර ආන්ඩුවක් සඳහා වූ උද්ඝෝෂනයට ඔවුන් බැඳ තබමින් කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කලහ. 

ජනාධිපති රාජපක්ෂට රටින් පලා යාමට බල කෙරුනු පසු, අපකීර්තිමත් පාර්ලිමේන්තුව, පෙසප ඇතුලු විවිධ ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ලැබූ වෘත්තීය සමිති නායකත්වයේ ද්‍රෝහිකම මත විශ්වාසය තබමින්,  වික්‍රමසිංහ ජනාධිපති පුටුවට ඔසවා තැබූ අතර, එය මහජන ව්‍යාපාරය බිඳ වැටීමට හා මර්දනයට මග පෑදීය. 

පෙසප හා එහි අවිශිබමයේ ධනේශ්වර ගැති සහ අධිරාජ්‍ය ගැති දිශානතිය ඉන් පසු ගෙවුනු මාසවල දී තව දුරටත් ප්‍රදර්ශනය විය. අවිශිබම හිටපු කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි අවස්ථාවේ, පෙසප සහ අවිශිබම 2022 සැප්තැම්බර් 16 වන දින රැඳවියන් නිදහස් කිරීමට ආන්ඩුවට බල කරමින් හයිඩ් පිටියේදී මහජන රැලියක් පැවැත්වීය. 

ඉහත සඳහන් කල පාර්ලිමේන්තු පක්ෂ සහ ආන්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා මෙම විරෝධතාවයට එක්ව සිටියහ. එල්ටීටීඊයට එරෙහි කොලඹ වාර්ගික යුද්ධයේ අවසන් ලේවැකි මෙහෙයුම්වලට නායකත්වය දුන් හිටපු ශ්‍රී ලංකා හමුදාපති සහ සජබ සභාපති සරත් ෆොන්සේකා මෙම විරෝධතාව ඇමතූ අයගෙන් එක් අයෙකි. 

අවිශිබම සහ පෙසප නායකයෝ, රැඳවියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලෙස එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුලු ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල කොලඹ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ද ආයාචනා කලහ. නීතීඥවරයෙක් සහ පෙසප නායකයෙක් වන නුවන් බෝපගේ, මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීය. 

මෑත මාසවලදී, දහස් ගනන් ශ්‍රී ලාංකික කම්කරුවෝ ජාමූඅ විසින් නියම කරන ලද ආන්ඩුවේ පෞද්ගලීකරන වැඩසටහනට සහ අනෙකුත් ප්‍රතිගාමී පියවරයන්ට එරෙහිව කාර්මික ක්‍රියාමාර්ග ගත්හ. එකතු කල අගය මත බදු, විදුලිය සහ ජල ගාස්තු දැවැන්ත ලෙස ඉහල දැමීම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල පිරිවැය තව දුරටත් ඉහල නංවා ඇති අතර, ප්‍රතිපාදන කප්පාදුව කම්කරුවන්ට, සිසුන්ට සහ දුප්පතුන්ට දරාගත නොහැකි තත්වයක් නිර්මානය කරමින් මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනයේ අර්බුදය ගැඹුරු කර ඇත.

2024 ජනවාරි 16 වන දින, මාතර රෝහල ඉදිරිපිට, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයක නිරත වෙමින්.

මෙය සෞඛ්‍ය, අධ්‍යාපනය, දුම්රිය, විදුලිය, ටෙලිකොම් සහ වරාය යන ක්ෂේත්‍රවල ලක්ෂ සංඛ්‍යාත සේවකයින්ගේ වැඩ වර්ජන හා විරෝධතාවලට තුඩු දී ඇති අතර දරිද්‍රතාවයෙන් පෙලෙන විශ්ව විද්‍යාල සිසුන් අතර කෝපය වර්ධනය වීමක් දැකගත හැකිය. 

ධනේශ්වර පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයන් “එක්සත්” කිරීමේ පෙසප සහ අවිශිබම නවතම ව්‍යාපාරය, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු රාමුව සහ එහි ධනේශ්වර පක්ෂ වෙත කම්කරුවන් හා තරුනයින් යලිත් යටත් කිරීමට උත්සාහ කිරීමේ දුෂ්ට ව්‍යායාමයකි. 

මෙම ලිපියේ ලේඛකයා චන්ද්‍රජිත්ගෙන් මෙම පක්ෂ කෙරෙහි අවිශිබම නැඹුරුව පිලිබඳ විස්තර විමසූ විට ඔහු මෙසේ පිලිතුරු දුන්නේය: 'අපි මෙම පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිති, ප්‍රගතිශීලීන් සහ කලාකරුවන් සමග එකාබද්ධව උද්ඝෝෂන කරනවා.' 

පාර්ලිමේන්තු පක්ෂ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට සහ අනෙකුත් මර්දන නීතිවලට සහය දී ඇති බව පෙන්වා දීමෙන් පසු ඔහු මෙසේ පිලිතුරු දුන්නේය: “එසේ නම් ඔබ, ශිෂ්‍යයන් පෙල ගැසිය යුතු යැයි යෝජනා කරන්නේ කා සමඟද? මොනා කරන්නත් කලින් අපි මර්දනය පරාජය කල යුතුයි. ඒ සඳහා අපි කටයුතු කරනවා.” 

චන්ද්‍රජිත්ගේ ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ, අවිශිබම සහ පෙසප ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට විරුද්ධ බවත් කම්කරුවන් හා තරුනයන් පවතින ධනේශ්වර පර්යායට ගැට ගැසීමට උත්සාහ කරන බවත් ය. 

'මහ පාරේ සටනකින්' ආන්ඩුව සමග දේවල් සමථයකට පත් කිරීම පිලිබඳ ඔහුගේ ප්‍රකාශ, කම්කරු පන්තිය විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත බලමුලු ගැන්වීම සඳහා සටන් වැදීමෙන් ශිෂ්‍යයන් අවමංගත කිරීමට කියන හුදු ප්‍රලාප පමනි. 

ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට අවංකවම අධිෂ්ඨාන කර ගත් ශිෂ්‍යයෝ දහස් ගනනින් විරෝධතා පාගමනට එක් වී, ම්ලේච්ඡ පොලිස් ප්‍රහාර හා අත්අඩංගුවට ගැනීම්වලට මුහුන දී ඇති නමුත් අවිශිබම ප්‍රකාශයන්ට පටහැනිව, එම විරෝධතාවලට ආන්ඩුවේ කුරිරු සමාජ න්‍යාය පත්‍රය වෙනස් කිරීමට හැකිව නැත. 

ලාභ පද්ධතියේ රාමුව තුල ශිෂ්‍යයන් කොටු කර තැබීමට සැලසුම්කොට තිබෙන අවෘත අන්තයක්  වන සහ එකී ලාභ පද්ධතිය විසින් වැඩකරන ජනයා සඳහා නිර්මිත සමාජ ව්‍යසනයන්ට එරෙහිව ඔවුන් සාමූහික අරගලයට ඒම වැලක්වීම අරමුනු කොට තිබෙන අවිශිබම/පෙසප ඉදිරිදර්ශනය ප්‍රතික්ෂේප කරන ලෙස සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ඉල්ලා සිටී. 

සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලයේ දී පීඩිත මහජනතාවට නායකත්වය සැපයිය හැකි එකම අව්‍යාජ විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය වෙත හැරෙන ලෙස සසජාතශි සිසුන්ගෙන් ඉල්ලා සිටී. මෙම සටනට, සෑම රටකම ධනවාදයට එරෙහි අරගලයක් ඇතුලත් වේ. 

එහෙත් ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිති නිලධරයන් සමග තවත් සන්ධානයක් විසින් සිදු කරනු ඇත්තේ ලාභ පද්ධතිය සහ වැඩකරන ජනතාවගේ වියදමින් ධනවත් ස්වල්ප දෙනා නිර්දය ලෙස ආරක්ෂා කරන ආන්ඩු චිරස්ථායී කරනු ලැබීමයි. 

සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයට, ධනේශ්වර පන්තියේ, වෘත්තීය සමිතිවල සහ ධනේශ්වර ගැති ව්‍යාජ වාම කන්ඩායම්වල සෑම කොටසකින් ම ස්වාධීනව කම්කරුවන් බලමුලු ගැන්වීමේ අරගලයට සම්බන්ධ වන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලා සිටිමු. 

ඔබගේ විශ්වවිද්‍යාල තුල සසජාතශි ව්‍යාපාරයේ ශාඛා ගොඩනගමින් සමාජවාදය සඳහා අරගලයට එක්වන ලෙස අපි විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading