සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ ගැන පොත් දෙකක් එලිදැක්වීමේ සසප ප්‍රසිද්ධ රැස්වීමක්

‍ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) පිලිබඳ කෘති දෙකක් එලිදැක්වීමට අප්‍රේල් 4 සවස 4ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.

සසප පූර්වගාමියාවූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ ආරම්භක ප්‍රධාන ලේකම්වූ කීර්ති බාලසූරිය විසින් රචිත ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය සහ පන්ති ස්වභාවය කෘතියේ සිව්වන සංස්කරනය (සිංහල), මින් එකකි.

අනෙක, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ඉංග්‍රීසි සහ සිංහල භාෂා සංස්කරන සඳහා කේ. රත්නායක විසින් මෑතකදී ලියන ලද ලිපි එකතුවක් ලෙස පලකෙරෙන ජනතා විමුක්ති පෙරමුනේ දක්ෂිනාංශික ගමන්මග කෘතිය යි.

1960 ගනන්වලදී ජවිපෙ ආරම්භවූයේ, සිංහල ජනතාවාදය මාඕවාදය සහ කැස්ත්‍රෝවාදී ගොවිජන ගරිල්ලාවාදයේ විෂකුරු මිශ්‍රනයක් මත පදනම්ව, අතෘප්තියට පත් ගම්බද තරුනයින් බඳවාගත් සුලුධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක් වසයෙනි.

1980 ගනන්වලදී, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ දක්ශිනාංෂික එක්සත් ජාතික පක්ෂ (යූඇන්පී) ආන්ඩුව විසින් ප්‍රකෝපකරනු ලැබූ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව වර්ගවාදී යුද්ධයේ කැපවූ ආධාරකරුවන් වෙමින් ජවිපෙ දකුනට පැද්දේ ය.

පසුගිය දශක තුන තුලදී, එහි හිස් සමාජවාදී වාංමාලා දෙඩවිලි බැහැර කරමින් ද කොලඹ දේශපාලන සංස්ථාපිතයයේ පාර්ලිමේන්තු පක්ෂයක් බවට රූපාන්තරනය වෙමින් ද වේගයෙන් දකුනට ගමන් කිරීම අඛන්ඩව කරගෙන ගියේ ය. එය, 2004 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ධනපති ආන්ඩුවට සම්බන්ධවූ අතර ජවිපෙ නායකයන් 4 දෙනෙකු එහි කැබිනට් අමාත්‍යධුර දැරුවෝ ය.

කම්කරුවන් හා තරුනයින් අතර පුලුල්ව අපකීර්තියට පත්වූ එය, 2015දී ජාතික ජන බලවේගය (ජාජබ) පිහිටුවා, දැන් පලල් මැතිවරන පෙරමුනක් වසයෙන් “රට බේරාගැනීමට”, එනම් ධනපති ක්‍රමය පිම්බීම සඳහා දේශපාලන බලය ලබාගැනීමට කේවල්කරයි.

මෑතවසරවලදී, මහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කිරීමට පොරොන්දු වන අතරේ ජවිපෙ/ජාජබ නායකයින් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපීය සංගමය සහ අනෙකුත් ප්‍රමුඛ බලවතුන් ඇතුලු අධිරාජ්‍යවාදී රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග සමීප සබඳතා ප්‍රවර්ධනය කරගෙන තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් දැන් ක්‍රියාවට දමමින් තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විනාශකාරී කප්පාදු වැඩපිලිවෙල, තමන් බලයට පැමිනියහොත් අඛන්ඩව ඉදිරියට ගෙනියන බවට ජවිපෙ අයිඑම්එෆ් වෙත සථපකලේ ය.

ජවිපෙ දක්ෂිනාංශික විකාශනය හුදකලා, ජාතික ප්‍රපංචයක් නොවේ. එයටත් වඩා, ජාත්‍යන්තරව මේ වර්ගයේ සංවිධාන -- (කීපයක් සඳහන් කරන්නේ නම්) දකුනු අප්‍රිකාවේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ඒඑන්සී), නිකරගුවාවේ සැන්ඩිනිස්ටා ව්‍යාපාරය සහ නේපාල කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී මධ්‍යස්ථානය) ඇතුලු මාඕවාදී සංවිධාන හැත්තබුරුත්තක්ම- අධිරාජ්‍යගැති සංවිධාන බවට මාරුවීමේ ප්‍රකාශයකි. මෙම විශ්වීය මාරුව පිටුපස ඇත්තේ, සියලුම ජාතිකවාදී වැඩසටහන් හා ඒවා මත පදනම්වූ මෙම සංවිධානවලට මලබෙරය හැඬවූ නිෂ්පාදනයේ භූගෝලීයකරනය යි.

සසප/සසජාතශි රැස්වීම, ජනතා විමුක්ති පෙරමුනේ දක්ෂිනාංශික පරාවක්‍රය සහ ශ්‍රී ලංකාව තුල සුවිශේෂි ප්‍රකාශයක් අත්කරගෙන තිබෙන ගෝලීය ධනවාදයේ දිග්ගැස්සුනු අර්බුදය පිලිබඳව සාකච්ඡා කරනු ඇත. තවද, තමන්ගේ ප්‍රජාතන්ත්‍රීය සහ සමාජීය අයිතීන් ආරක්ෂා කරගැනීමට කම්කරු පන්තිය සහ පීඩිත ජනයා අනුගමනය කල යුතු ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය ද මෙම රැස්වීම තුලදී සාකච්ඡා කරනු ඇත.

මෙම රැස්වීමට සම්බන්ධ වන ලෙසත් ඉන් අනතුරුව සිදුකෙරන සාකච්ඡාව තුල සම්බන්ධ වන ලෙසත් සියලුම කම්කරුවන්, තරුනයින්,පාසැල් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අපි ඇරැයුම් කරමු.

ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය
දිනය: අප්‍රේල් 4
වේලාව සවස 4ට.
Loading