ලියොන් ට්‍රොට්ස්කිගේ පාවා දුන් විප්ලවය කෘතියේ දෙමල පරිවර්තනය හඳුන්වාදීමේ සසප සහ සසජාතශි උද්ඝෝෂනයන්ට උනන්දු සහගත ප්‍රතිචාරයක්

අපේ වාර්තාකරුවන්

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශන අංශය වන තොලිලාලර් පාදෛ/කම්කරු මාවත, ලියොන් ට්‍රොට්ස්කිගේ ඉමහත් බලපෑමක් ඇති කල කෘතියක් වන පාවා දුන් විප්ලවයේ දෙමල පරිවර්තනය දැන් ප්‍රකාශයට පත් කර ඇත.

1936 දී පලමු වරට පල කෙරුනු මෙම කෘතියේ දී, 1920 දශකයේ දී පැන නැගුනු ස්ටැලින්වාදී නිලධරය ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය පාවා දුන්නේ කෙසේ ද, සෝවියට් සංගමය තුල නිලධාරිවාදී පරිහානිය ප්‍රකාශයට පත් වූයේ කෙසේ ද යන්න ට්‍රොට්ස්කි විසින් විශ්ලේෂනයට ලක් කෙරේ.

ට්‍රොට්ස්කි, සෝවියට් සංගමය සංක්‍රමනීය සමාජ-දේශපාලන ප්‍රපංචයක් වශයෙන් ගුනාංගීකරනය කලේ ය. එනයින් ඔහු, ලෝක සමාජවාදී විප්ලවය දෙසට තබන නව පියවරක් වශයෙන් නිලධාරිවාදය පෙරලා දැමීමට සහ සෝවියට් සංගමය තුල සමාජවාදය සාක්ෂාත් කර ගැනීමට, දේශපාලන විප්ලවයේ ඉදිරිදර්ශනය ඉදිරිපත් කලේ ය. ඒ සමගම ඔහු අනතුරු අඟවා සිටියේ දේශපාලන විප්ලවය සාක්ෂාත් නොවන්නේ නම් ප්‍රතිවිප්ලවවාදී නිලධරය සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනයට පාර කපනු ඇති බවයි.

මෙම දෙමල පරිවර්තනය හඳුන්වා දීමට සහ ජනගත කිරීමට සසප සහ සසජාතශි හැටන්, යාපනය සහ වැල්ලවත්තේ දී ප්‍රසිද්ධ රැස්වීම් පැවැත් වී ය. විශ්වවිද්‍යාල, පාසල් සහ වැඩපලවල සසප සහ සසජාතශි සාමාජිකයෝ උද්ඝෝෂන ගෙන ගියහ. වැල්ලවත්ත රැස්වීමේ වාර්තාව මාර්තු 15 වැනි දින ලෝසවෙඅ ඉංගිරිසි අඩවියේ පල කෙරිනි.

2024 පෙබරවාරි 11 වන දින හැටන් හි පැවති විප්ලවය පාවාදීම පොත හඳුන්වාදීමේ රැස්වීමට සහභාගී වූවන්ගෙන් කොටසක්

මෙම උද්ඝෝෂනවල දී උද්ඝෝෂකයන්ට කම්කරුවන්, ශිෂ්‍යයන් සහ කම්කරුවන් සමග ඉතා වැදගත් සාකච්ඡා සිදු කිරීමට හැකි විය.

මෙම උද්ඝෝෂනවල දී ශිෂ්‍යයන් පල කල අදහස් කීපයක් පහත පල කරන්නෙමු. සෝවියට් සංගමයේ නැගෙමින් පැවති ස්ටැලින්වාදී නිලධරයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලය ගැන බොහෝ ශිෂ්‍යයෝ දැන සිටියේ නැත.

2024 පෙබරවාරි මාසයේ යාපනයේ පැවති විප්ලවය පාවාදීම පොත හඳුන්වාදීමේ රැස්වීමේ උද්ඝෝෂනය අතරතුර විශ්වවිද්‍යාල සිසුන් සසප සාමාජිකයාට සවන් දෙමින්

කොලඹ විශ්ව විද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යයෙකු වන උදයංග උද්ඝෝෂකයන් හා පවසා සිටියේ තමන් ලෙනින්, ස්ටැලින් සහ රතු හමුදාව ගැන අසා තිබුනත් ට්‍රොට්ස්කි ගැන අසා නොතිබුනු බවයි.

ට්‍රොට්ස්කි සහ ට්‍රොට්ස්කිවාදය පිලිබඳ කෙටි හැඳින්වීමකට සවන් දීමෙන් පසු ඔහු, “රුසියානු විප්ලවයෙන් පසු නායකත්වයේ සහ ධූරාවලියේ පරිහානියක් සිදු වූයේ ඇයි” යන්න ගැන දැන ගැනීමට උත්සුක විය. මෙය ට්‍රොට්ස්කිගේ කෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවකට මං විවවර කලේ ය.

“සමාජය සහ ආර්ථිකය ගැන විද්‍යාවක් වන නිසා මාක්ස්වාදය සිත් ගන්නා සුලුයි. එය හැදෑරීමට මට අවශ්‍යයි. මේවා ගැන අපේ පරම්පරාවට දැනුමක් නෑ. මේක අපේ පරම්පරාව මුහුන දෙන ගැටලුවක්. අපි ඉතිහාසය සහ දේශපාලන පක්ෂ ගැන වැඩි යමක් දන්නේ නෑ.” යැයි ඔහු පැවසී ය.

දිනෙන් දින වැඩිවන රැකියා විනාසයට තවත් හේතුවක් විය හැකි ය යන කරුන මත ඔහු කෘතීම බුද්ධිය භාවිතය සම්බන්ධයෙන් විවේචනාත්මක විය. ඔහු එය සමාජ අසහනය වැඩි කරන තවත් සාධකයක් ලෙස දුටුවේ ය.

කෙසේ නමුත්, අපගේ ජීවිත වඩාත් පහසු සහ සතුටුදායක කෙරෙතැයි කියනු ලබන තාක්ෂනයේ වර්ධනය විසින්ම සමාජ කාලකන්නිභාවය වැඩිදියුනු කිරීම තුල යම් පරස්පර විරෝධයක් පවතී. එයට හේතුව වන්නේ, වැටුප් ශ්‍රමය සහ පෞද්ගලික දේපොල ක්‍රමය යටතේ ලාභය උපුටා ගැනීම මත පදනම් වූ වර්තමාන සමාජ සම්බන්ධතාවන් ය.

තාක්ෂනික දියුනුව ලාභය මත පදනම් වූ සමාජ ක්‍රමයේ යල් පිනූ ස්වභාවය තව තවත් නිිරාවරනය කරද්දී එය වඩාත් දියුනු සහ උසස් සමාජ ක්‍රමයකට එනම් සමාජවාදයට ද්‍රව්‍යමය පදනම ද සපයයි. නමුත් මේ සඳහා ධනේශ්වර ක්‍රමය පෙරලා දමමින් කම්කරු පන්තිය තමන් අතට දේශපාලන බලය ලබා ගත යුතු ව ඇත. රුසියානු විප්ලවය එබඳු ගෝලීය පරිමාන විප්ලවීය වෙනසක පලමු පියවර පමනක් විය. මෙම දේශපාලන ප්‍රශ්න පාවා දුන් විප්ලවය කෘතිය තුල සර්වග්‍රාහී ව සාකච්ඡා කෙරෙයි.

මෙම ප්‍රශ්න ගැන සාකච්ඡාවලින් අනතුරු ව උදයංග මෙසේ නිගමනය කලේ ය: “ගාසාවේ දැන් සිදු වන ජන ඝාතනයේ සිට රැකියා ඝාතනය දක්වා සියලු ම ව්‍යසනයන් නතර කිරීමට කම්කරු පන්තික නායකත්වය යටතේ විප්ලවයක් අවශ්‍යයි. අද දිනයේ දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් පාවා දුන් විප්ලවය ඉදිරිදර්ශනයක් සම්පාදනය කරනවා.”

යාපනයේ දී, යාපනය විශ්ව විද්‍යාලය, යාපනය ගුරු අභ්‍යාස විද්‍යාලය, පාසල්වල, පෞද්ගලික උපකාරක පන්තිවල සහ යාපනය නරගයේ උද්ඝෝෂන සිදු කෙරුනි. එහි දී, දහස් ගනනින් අත්පත්‍රිකා බෙදා හැරුනු අතර කම්කරු මාවත ප්‍රකාශනයට පත් කල ට්‍රොට්ස්කිවාදී පොතපත ද විකිනුනි.

යාපනයේ ප්‍රධාන පෙලේ පාසලක විදුහල්පති සහ ගුරුවරුන්ගේ අනුග්‍රහයෙන් පොත හඳුන්වා දීමට දේශපාලන විද්‍යා ශිෂ්‍යන් 30 දෙනෙකුගෙන් යුත් රැස්වීමක් සංවිධානය කෙරුනි. මේ සම්බන්ධයෙන් කම්කරු මාවත මෙම ගුරුවරුන්ට තම ස්තූතිය පුද කරයි.

2024 පෙබරවාරි මාසයේ යාපනයේ පැවති විප්ලවය පාවාදීම පොත හඳුන්වාදීමේ රැස්වීමේ උද්ඝෝෂනය අතරතුර විශ්වවිද්‍යාල සිසුන් සසප සාමාජිකයාට සවන් දෙමින්

මෙම රැස්වීමේ දී සමකාලීන දේශපාලන ගැටලු විද්‍යාත්මක ආකාරයකින් වටහා ගැනීමට සිසුන් සහ ගුරුවරුන්ට ඇති උනන්දුව පිලිබිඹු විය.

මෙහි දී එක් ශිෂ්‍යයෙක් ලෝක යුද්ධයක් සිදුවීමේ හැකියාව සහ විප්ලවවාදී අවස්ථාවන් වර්ධනය වන්නේ කෙසේ ද යන්න පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටියේ ය.

යුක්‍රේනයේ සහ මැද පෙරදිග පවතින යුද තත්ත්වයන් චීනයට එරෙහි වඩාත් පුලුල් මිලිටරි මූලෝපායක ආරම්භක පියවර බව උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. ඇමරිකා එක්සත් ජනපදය තම ගෝලීය ආර්ථික ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය වශයෙන් හඳුනා ගන්නේ චීනයයි. මේ සමග ම යුරෝපය සහ එක්සත් ජනපදය අතරත් යුරෝපීය බලයන් අතරේත් ඇති පසමිතුරුකම් තියුනු වෙමින් පවතී. මෙම තත්ත්වය න්‍යෂ්ටික ලෝක යුද්ධයක අන්තරාය ඉස්මතු කර ඇත.

සමාජ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාරයන්ට එරෙහි ව කම්කරු පන්ති අරගලවල වැඩි වර්ධනයක් මේ සමග ම අපි අත්දකිමින් සිටිමු. මෙම විරුද්ධත්වය යුද්ධයේ සහ සමාජ කාලකන්නිභාවයේ මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමයට එරෙහි ව එල්ල කරමින් සංවිධානය කල යුතුයි. යුද්ධය නතර කිරීමටත් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කිරීමටත් සමාජවාදී ක්‍රියාමාර්ගය මත ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යාපාරයක් වර්ධනය කල යුතුයි.

ශ්‍රී ලංකාවේ සිදු වන විප්ලවයකින් ඇති විය හැකි ගෝලීය බලපෑම කවරාකාරී වනු ඇතිදැයි දැන ගැනීමට තව ශිෂ්‍යයෙකුට අවශ්‍ය විය.

ශ්‍රී ලංකාවේ විප්ලවයක් සාක්ෂාත් කර ගත හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහය ලබමින් ජාත්‍යන්තර සිද්ධියක් වශයෙන් පමනි. 1917 රුසියානු විප්ලවය ජාත්‍යන්තර කම්කරු පන්තියෙන් දිනා ගත් සහයෝගය ජර්මනිය ඇතුලු යුරෝපීය රටවල පැන නැගි විප්ලවවාදී නැගිටීම්වලින් පිලිබිඹු විය.

රුසියානු විප්ලවය පෙන්වා දුන් පරිදි විප්ලවය ජයග්‍රහනය කිරීමට නම් විප්ලවවාදී පක්ෂයක් පැවතිය යුතුයි. බොල්ෂෙවික් පක්ෂය පන්නර ගැන්නුනේ මාක්ස්වාදය උදෙසා ජාත්‍යන්තර ව ගෙන ගිය අරගලයක ප්‍රතිඵලය වශයෙනි. ඕනෑ ම රටක විප්ලවයේ සාර්ථකත්වය ලෝක විප්ලවයේ සාර්ථකත්වය මත රඳා පවතින්නකි.

ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය මහජන පක්ෂයක් වශයෙන් ගොඩනැගීම හා බද්ධ ව පවතී. අපගේ ඉදිරිදර්ශනය වන්නේ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් ව දකුනු ආසියාවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් වශයෙන් ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් බලයට ගෙන ඒමයි.

සසප සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) අතර දේශපාලන වෙනස්කම් මොනවා දැයි දැන ගැනීමට ගුරුවරයෙකුට වුවමනා විය.

ලංකා සම සමාජ පක්ෂය (ලසසප) කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය 1964 දී ධනපති පන්ති පාලනයට පාවා දීමෙන් අනතුරු ව නිර්මානය වුනු දේශපාලන රික්තකය තුල ගම්බද තරුනයන් ඉලක්ක කර ගත් සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාරයක් ලෙස ජවිපෙ වර්ධනය විය. කස්ත්‍රෝවාදය, මාවෝවාදය සහ සිංහල ජනතාවාදය මත පදනම් වූ ජවිපෙට මාක්ස්වාදය සමග කවර හෝ සම්බන්ධයක් නැත. ධනේශ්වර පද්ධතිය තුල නියත විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය ධනපති ක්‍රමයට එරෙහි ව ස්වාධීන ව බලමුලු ගැන්වීමට ජවිපෙ තම ආරම්භයේ පටන් අද දක්වා ම සතුරු බව ප්‍රදර්ශනය කර ඇත.

පසුගිය දශක තුන තුල දී ජවිපෙ කොලඹ දේශපාලන සංස්ථාපිතයේ ධනේශ්වර පාර්ලිමේන්තු පක්ෂයක් බවට පරිනාමය වී ඇත. ජවිපෙ නායකයන් අධිරාජ්‍යවාදී බලයන් සහ ඉන්දියාව ඇතුලත් සෙසු ප්‍රධාන බලයන් සමග සමීප සම්බන්ධතා වර්ධනය කර ගෙන කිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට ජවිපෙ තම කැපවීම ජවිපෙ ප්‍රදර්ශනය කර ඇත. ජාමූඅ සමාජ ප්‍රහාරක විධානයන් රට ගොඩ නැගීමේ නාමයෙන් ඉවසිය යුතු බවට ජවිපෙ තම ජනාධිපතිවරන උද්ඝෝෂනයෙන් මහජනතාවට දෙසා වදාරයි.

මෙයට ප්‍රතිකූල ව, ජාමූඅ කප්පාදු පියවරවලට සහ ලාභ පද්ධතිය යටතේ නිෂ්පාදය සහ බෙදාහැරීමට එරෙහි ව සසප සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරයි. මහා ව්‍යාපාර, කර්මාන්ත, වතුයායන් සහ බැංකු කම්කරු පන්තියේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම සැකෙවින් එම ක්‍රියාමාර්ගයයි. කම්කරු පන්තිය විදේශ නය ප්‍රතික්ෂේප කල යුතුයි. මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව පෙරලා දමා කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ආ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද ආරක්ෂා කර ගත හැක්කේ මෙම අරගලය තුලයි.

මෙම අරගලය දියත් කිරීමට සෑම වැඩපලකම සහ ග්‍රාමීය පෙදෙසක ම ක්‍රියාකාරී කමිටු ගොඩනගන්නැයි සසප ඉල්ලා සිටී. පාර්ලිමේන්තුව සහ ජනාධිපති ධූරය වැනි ධනේශ්වර පාලන රූපයන්ට එරෙහි ව මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගෙන් නිර්මානය වන කම්කරුවන්ගේ සහ ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සම්මේලනයකට සසප කැඳවුම් කරයි.

Loading