ඉදිරිදර්ශන

ජර්මනියේ දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනයේ ගෝලීය අර්ථභාරය

[මෙය The global significance of Germanys train driversstrike යන මැයෙන් 2024 මාර්තු 12 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

2021 දී බර්ලිනයේ වැඩ වර්ජනය කරන ජීඩීඑල් දුම්රිය රියදුරු සංගමයේ සාමාජිකයින්

අඟහරුවාදා (12), ජර්මනියේ දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් දිගු දුර සහ ප්රාදේශීය ප්රවාහනයේ විශාල කොටසක් ඇනහිටියේ ය වාර්තාවලට අනුව සියලුම දුම්රියවලින් සියයට 80 ක් අවලංගු කර තිබේ. එදිනම, ලුෆ්තාන්සා හි කැබින් කාර්ය මන්ඩලයේ වැඩ නැවැත්වීමක් සිදු විය. වර්ජනය බදාදා ද අඛන්ඩව ක්රියාත්මක වනු ඇත.

ජර්මනියේ වැඩවර්ජන පන්ති අරගලයේ ජාත්යන්තර නැගිටීමක කොටසකි. ටියුනීසියාවේ, දුගී ජීවන තත්වයන් සහ ඉහල විරැකියාව පිලිබඳව, නිල වශයෙන් සියයට 50 ට වඩා වැඩි ආන්ඩු විරෝධී විරෝධතාවලට දහස් ගනනක් සහභාගී වූහ. උද්ධමනය සියයට 30 කට වඩා වැඩි නයිජීරියාවේ කම්කරුවන් ජාතික වැඩ වර්ජනයක් දියත් කලහ.

මේ වසර මුලදී ගොවීන්ගේ මහජන විරෝධතා අත්දුටු ප්රංශයේ, පැරිස් ඔලිම්පික් උලෙලට සමගාමීව රාජ්ය සේවා වර්ජනයක් සඳහා කම්කරුවන් තල්ලු වෙමින් සිටිති. එක්සත් ජනපදයේ, පසුගිය වසරේ වැඩ වර්ජන සංඛ්යාව සියයට 238 කින් විශාල ලෙස ඉහල ගිය අතර, වැඩ වර්ජනවලට සම්බන්ධ කම්කරුවන් සංඛ්යාව හතර ගුනයකින් වැඩි විය. මේ සතියේ, එක්සත් ජනපදයේ ඩේම්ලර් ට්රක්රථ කම්කරුවන් 7,000 කින් සියයට 96 ක් වැඩවර්ජන ක්රියාමාර්ගය අනුමත කිරීමට ඡන්දය දුන්හ.

පන්ති අරගලය තුල කුනාටුවක් කැකෑරෙමින් තිබේ. මූර්ත වැටුප් පහත වැටීම හෝ වැඩ බර වැඩිවීම පිලිගැනීමට කම්කරුවන් තවදුරටත් සූදානම් නැත. ජර්මනියේ දුම්රිය රියදුරන්, ගුවන් තොටුපල සේවකයින් සහ පොදු ප්රවාහන සේවකයින් සති ගනනාවක් තිස්සේ වැඩ වර්ජනයක නිරතව සිටිති. එදින අවස්ථා කිහිපයකදීම දුම්රිය, බස් රථ සහ ගුවන් ගමනාගමනය ඇනහිටියේ ය.

පොදු ප්රවාහන සේවයේ, ගුවන් තොටුපලවල සහ ලුෆ්තාන්සා කුටිවල මෙන්ම සාර්ලුයිස් හි ෆෝඩ් සැපයුම් උද්යානයේ ද ඇතුලුව රටපුරා වැඩ වර්ජන සිදු විය. සිල්ලර අංශයේ විකුනුම් කාර්ය මන්ඩලය ද මාස ගනනාවක් තිස්සේ නැවත නැවතත් වැඩ වර්ජන කර තිබේ. මෝටර් රථ, වානේ සහ රසායනික කර්මාන්තවල දොට්ට දැමීම් රැල්ල, දස දහස් ගනනක් කාර්මික ක්රියාවන්ට තල්ලු කරනු ඇත. ජර්මනියේ ෆෙඩරල් සභාග ආන්ඩුවට එරෙහිව ගොවීන්ගේ සටන්කාමී විරෝධතා සහ ජර්මනිය සඳහා අන්ත දක්ෂිනාංශික විකල්පය (ඒඑෆ්ඩී) පක්ෂයට එරෙහි මහජන පෙලපාලි මෙයට එකතු කල යුතුය.

රෝහල් සහ පාසල් ද කැලඹී ඇත. කර්මාන්ත, පරිපාලන කටයුතු සහ වෙලෙඳ කටයුතුවල විශාල රැකියා සංහාරයක් සිදුවෙමින් පවතී. විශේෂයෙන් මෝටර් රථ සහ සැපයුම් කර්මාන්තයේ රැකියා ලක්ෂ ගනනක් කපා හැරෙමින් පවතී; ඔවුන්ගෙන් සමහරක් ඉහල නිපුනතා ඇතියවුන් ය. එසේම රසායනික, වානේ, ඉදිකිරීම්, ගෘහ උපකරන සහ මෘදුකාංග කර්මාන්ත මෙන්ම සිල්ලර වෙලඳාමට ද බලපා තිබේ.

ජර්මනියේ වැඩ වර්ජන සියලු කම්කරුවන්ට වැදගත් ප්රශ්න මතු කරයි. උද්ධමනය, මුර්ත වැටුප් කප්පාදුව සහ වැඩ බර වැඩි කිරීමට එරෙහි සටන වෘත්තීය සමිති නිලධරයේ නායකත්වය යටතේ ගෙන යා නොහැකි බවත්, එය යුද්ධයට හා යලි මිලිටරි සන්නද්ධ කිරීමට එරෙහි සටන සමග අවියෝජනීය ලෙස බැඳී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

සංගත සහ ආන්ඩුව සටනකින් තොරව යටත් වීමට සූදානම් නැත. කොටස් මිල ඉහල යාම—ජර්මානු කොටස් වෙලඳපොල ඊයේ ඉහලම අගයකට ලඟා විය—කම්කරු පන්තියෙන් වෙන කවරදාටත් වඩා වැඩි සූරාකෑමක් ඉල්ලා සිටී.

ඉහල යන කොටස් අගයන් පමනක් නොව, ලෝක යුද්ධය පැන නැගීමේ පිරිවැය ද කම්කරුවන් මත පැටවීමට පාලක පන්තිය අධිෂ්ඨාන කරගෙන ඇත. අධිරාජ්යවාදී බලවතුන් යලිත් වරක් මිලිටරි මාධ්යයන් මගින් ඔවුන්ගේ ආර්ථික හා භූ දේශපාලනික අවශ්යතා ඉටුකර ගනිමින් සිටිති.

විශාල ප්රමානවලින් ආයුධ සහ පතොරම් යැවීමෙන් පසු, නැටෝවට දැන් යුක්රේනයට ගොඩබිම් භටයන් යැවීමට අවශ්ය වී ඇත; එයින් අදහස් කරන්නේ න්යෂ්ටික සන්නද්ධ රුසියාව සමඟ සෘජු ගැටුමකි. ජර්මනියේ සහාය ලබන මැද පෙරදිග පලස්තීන ජන සංහාරය, කලාපීය වහ්නි ජාලාවක් දක්වා වර්ධනය වෙමින් පවතී. තුන්වන ලෝක යුද්ධයක අන්තරාය දැන් තරම් කිසි දිනෙක බරපතල වී නැත.

බුන්ඩෙස්වේර් (සන්නද්ධ හමුදාව) සඳහා වසර දෙකකට පෙර එකඟ වූ යුරෝ බිලියන 100 'විශේෂ අරමුදලට' අමතරව, ජර්මනිය “යුද්ධයට සුදුසු” බවට පත් කිරීම සඳහා ආරක්ෂක ඇමති පිස්ටෝරියස් (සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය-එස්පීඩී) යුරෝ බිලියන සිය ගනනක් ඉල්ලා සිටී. ආර්ථිකය හා සමාජය යුද්ධෝපකරන නිෂ්පාදනය සඳහා ප්රතිසංවිධානය කෙරේ.

ජාතික දුම්රිය ක්රියාකාරකය වන ඩොයිෂ් බාන් මන්ඩලයේ සහ ෆෙඩරල් ආන්ඩුවේ නොසැලෙන ආකල්පයට හේතුව මෙයයි. ඔවුන්ට අවශ්ය වන්නේ, පටි තද කර ගත යුතු බව සියලුම කම්කරුවන් ට ඒත්තු ගැන්වීම සඳහා දුම්රිය රියදුරන් උදාහරනයක් බවට පත්කිරීමටයි.

හැමතැනම ක්රියාත්මක වන්නේ එකම මූලික ප්රතිපත්තියකි. ඇමරිකාවේදී බයිඩන්, ඔහුගේ මැතිවරන ප්රචාරක කථා තුලින් අඛන්ඩව ඉල්ලා සිටින්නේ, රුසියාවට සහ චීනයට එරෙහිව යුද්ධ කිරීමට දෙවන ලෝක සංග්රාමයේදී ඇමරිකානු කර්මාන්ත බලමුලු ගැන්වීම හා සමාන ක්රියාමාර්ග අවශ්ය බවට තර්ක කරමිනි. මෙයට වෘත්තීය සමිති නිලධරයේ පූර්න සහයෝගය ලැබේ; යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සභාපති තම සංගමය ජනාධිපති සමග 'යුද්ධයට යාමට' සූදානම් බව ප්රකාශ කරයි.

එවැනි ප්රතිපත්ති කිසිම රටක ප්රජාතන්ත්රවාදීව ක්රියාත්මක කල නොහැක. මෙම අවස්ථාවෙහිදී, වොෂින්ටනය වඩාත් කැමති මූලෝපාය වන්නේ, දූෂිත වෘත්තීය සමිති යාන්ත්රනය විසින් පනවා ඇති පාවාදීමේ කොන්ත්රාත්තු හරහා වැඩ වර්ජන අවහිර කිරීම සහ දොට්ට දැමීම් ක්රියාවට දැමීමයි. කෙසේ වෙතත්, එවැනි පාවාදීම්වලට එරෙහිව කම්කරුවන් බලමුලු ගැන්වෙන බැවින්, ආන්ඩුව වඩාත් සෘජු මාර්ග භාවිතා කිරීමට සූදානම් වේ. වසර දෙකකට පෙර, ඇමරිකානු දුම්රිය සේවකයින්ගේ ජාතික වැඩ වර්ජනයකදී, වෘත්තීය සමිති නිලධරයන් ආන්ඩුවට කාලය ලබා දීම සඳහා වැඩ වර්ජනය පමා කරන අතර එය තහනම් කිරීමට බයිඩන් පරිපාලනය මැදිහත් විය.

ජර්මානු දුම්රිය සේවකයන් පසුබැස්සවිමේ දී ආංශික ජර්මානු දුම්රිය රියදුරු සංගමයේ (ජීඩීඑල්), කර්මාන්තය පුරා විහිදුනු දුම්රිය සහ මාර්ගස්ථ සංගමයේ (ඊවීජී), රාජ්ය සේවා සංගමය වන වර්ඩි හි සහ අනෙකුත් වෘත්තීය සමිතිවල නිලධාරීහු ඇමරිකාවේ සහ ලොව වටා ඔවුන්ගේ සගයන් හා සමාන භූමිකාවක් ඉටු කරති. ජර්මානු දුම්රිය රියදුරු සංගමය දැන් සිය හත්වන සංකේත වැඩවර්ජනය කැඳවා ඇතත්, අනෙකුත් සියලුම වෘත්තීය සමිති මෙන්, එහි නායකත්වය ආන්ඩුවේ යුද ගැති පිලිවෙත පිටුපස සිටී.

ක්රිස්තියානි ප්රජාතන්ත්රවාදී සංගමයේ (සීඩීයූ) සාමාජිකයෙකු වන ජර්මානු දුම්රිය රියදුරු සංගමයේ නායක ක්ලවුස් වෙසල්ස්කි, අනෙකුත් සියලුම වෘත්තීය සමිති නායකයන් මෙන්, මිලිටරි ගොඩනැගීමේ පිරිවැය වැටුප් හා සමාජ වියදම් කප්පාදුවත්, සූරාකෑමේ මට්ටම් වැඩි කිරීමත් හරහා ගෙවිය යුතු බවට ආන්ඩුව සමග එකඟ ය. සටන් කිරීමට දුම්රිය රියදුරන් තුල පවතින අධිෂ්ඨානය හමුවේ ඔහු උත්සාහ කරන්නේ, ඵල රහිත සීමිත “සංකේත වැඩවර්ජන” හරහා ඔවුන්ගේ ප්රතිරෝධය බිඳ දැමීමටයි.

දැන් මාස පහකට ආසන්න කාලයක් තිස්සේ දුම්රිය රියදුරන්ගේ වැටුප් ආරවුල පවතී. දෙසැම්බර් මැද භාගයේදී, බලපෑමට ලක් වූ ජර්මානු දුම්රිය රියදුරු සංගමයේ සාමාජිකයින්ගෙන් සියයට 97 ක් සමස්ත මහා වැඩවර්ජනයකට පක්ෂව ඡන්දය දුන්හ. බොහෝ මගීන් ට ඇතිවූ අවහිරතා නොතකා මහජන සහයෝගය ලැබුනු සංකේත වැඩ වර්ජන හතක් එතැන් සිට සිදුවී ඇත.

කෙසේ වෙතත්, ජර්මානු දුම්රිය රියදුරු සංගමයේ නායකත්වය සාමාජිකයින් විසින් ඉල්ලා සිටින අඛන්ඩ සමස්ත මහා වර්ජනය සංවිධානයක් කිරීම ප්රතික්ෂේප කරයි. එය බොහෝ දුරට එහි මුල් ඉල්ලීම් අතහැර දමමින්, කොන්ත්රාත් කාලය මාස 12 සිට 24 දක්වා දීර්ඝ කිරීමටත්, සතියේ වැඩ පැය ගනන අඩු කිරීම 2028 දක්වා කල් දැමීමටත් ඉදිරිපත් වී ඇත.

ඩොයිෂ් බාන් (ඩීබී) කලමනාකරන මන්ඩලය, ෆෙඩරල් ආන්ඩුව සහ වෘත්තීය සමිති, රාජ්ය හිමිකාරීත්වය යටතේ ඇති පොදු ව්යවසායයක් වන ඩොයිෂ් බාන් සමූහය තුල සමීපව බැඳී ඇත. ආන්ඩුවේ හිටපු සාමාජිකයන් සහ රාජ්ය ලේකම්වරු විවිධ කලමනාකරන ආයතනවල වාඩි වෙති. ඩොයිෂ් බාන් කලමනාකාරිත්වයේ මුරන්ඩු ස්වභාවය ආන්ඩුව සමඟ සම්බන්ධීකරනය වී තිබේ.

විදේශයන්හි යුද්ධය නොවැලැක්විය හැකි ලෙසම කම්කරු පන්තියට එරෙහිව සිය රට තුල පන්ති යුද්ධය යි. එස්පීඩී, ලිබරල් ඩිමොක්රටික් (එෆ්ඩීපී) සහ හරිතයන් අතර සභාගයක් වන ආන්ඩුව ට , දුම්රිය කම්කරුවන් ට පමනක් නොව, සියලුම කම්කරුවන් ට පැහැදිලි කිරීමට අවශ්යවන්නේ: “මෙය යුදවාදයේ උග්ර තීව්රවීම සඳහා ඔබ භාරගත යුතු කැපකිරීමයි.” ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් විසින් ප්රකාශ කරන ලද “සමාජ-දේශපාලන නව යුගයේ” අර්ථභාරය මෙයයි!

දුම්රිය රියදුරන් සහ සමස්ත කම්කරු පන්තියම විසින් පාලක පන්තියේ යුද්ධයේ හා කප්පාදුවේ 'නව යුගයට' පන්ති අරගලයේ ඔවුන්ගේම 'නව යුගය කින්” විරුද්ධ විය යුතු ය. . 'සම්මුති' ලෙස නිරන්තරයෙන් විකුනනු ලබන කොන්දේසිවල පවතින කප්පාදුව හා පරිහානිය අවසන් විය යුතුය. කම්කරුවන් ධනේශ්වර විරෝධී, සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් කල යුතුය. ධනවාදය යටතේ ඔවුන් වෙත පැමිනෙනු ඇත්තේ දුක්ඛිතභාවය, යුද්ධය සහ මරනය පමනි.

ජර්මානු දුම්රිය රියදුරු සංගමයේ නිලධරය තුල ඉදිරි ගමනක් නැත. වෘත්තීය සමිති කාර්යාලවල හොඳ වැටුප් ලබන නිලධාරීන් ආර්ථික සිද්ධීන් දෙස බලන්නේ, සමාගම් මන්ඩලවල කලමනාකරුවන් සහ කොටස් වෙලෙඳපොල සමපේක්ෂකයන්ගේ දෘෂ්ටිකෝනයෙනි. ඔව්හූ කම්කරුවන්ගේ හා සමාජයේ අවශ්යතා, සංගතවල ලාභ පිපාසයට යටත් කරති.

සමාජයේ මූලික ප්රතිසංස්ථාපනයක් සහ ප්රතිසංවිධානයක් අත්යවශ්ය වේ. රැකියා ආරක්ෂා කිරීම සහ යුද්ධයට එරෙහි අරගලය සඳහා ඩොයිෂ් බාන් මන්ඩලයේ මුරන්ඩුභාවයට සහ ෆෙඩරල් ආන්ඩුවේ නියෝගවලට එරෙහි සටනේදී, සමාජවාදී ඉදිරිදර්ශනයක් සහ ජාත්යන්තර මූලෝපායක් අවශ්ය වේ. සංගතවල සහ බැංකුවල ලාභ අවශ්යතාවලට වඩා වැඩකරන ජනතාවගේ සහ සමාජයේ අවශ්යතාවලට ප්රමුඛත්වය හිමිවිය යුතුය.

ආන්ඩුව සමග සමීපව කටයුතු කරන සහ එහි යුද ගැති පිලිවෙත්වලට සහාය දක්වන වෘත්තීය සමිතිවල ජාතිකවාදී පිලිවෙතට, ජාතිකත්වය, සම්භවය සහ සමේ වර්නය නොසලකා කම්කරු පන්තියේ ජාත්යන්තර සහයෝගීතාවයෙන් ප්රතිවිරෝධය දැක්විය යුතුය.

ස්වාධීන ක්රියාකාරී කමිටු පිහිටුවීම ඉතා වැදගත් හා හදිසි වන්නේ එබැවිනි. ලෝකය පුරා, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සිට ආසියාව සහ ඕස්ට්රේලියාව දක්වා කම්කරුවෝ කලමනාකාරීත්වයේ, ආන්ඩුවේ සහ දූෂිත වෘත්තීය සමිති යාන්ත්රනයේ ප්රහාරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු ක්රියාකාරී කමිටු වල ජාත්යන්තර සන්ධානයක් ගොඩනගමින් සිටිති.

වෘත්තීය සමිති සාමාජිකයින් වුවත් නැතත් සියලූම කම්කරුවන්ට ලාබ උත්පාදක ආර්ථිකයේ ධනේශ්වර තර්කනයට සහ වෘත්තීය සමිති යාන්ත්රනයේ ආඥාදායකත්වයට විරුද්ධ වීමට හැකි වන්නේත්, කාර්මික ක්රියාකාරකම් සංවිධානය කිරීම කම්කරුවන්ට තම අතට ගත හැක්කේත් මේ ආකාරයෙන් පමනි.

දුම්රිය රියදුරන්ගේ අඛන්ඩ වැඩවර්ජනයක්, මූර්ත වැටුප් අඩු කිරීමට, මහා පරිමාන දොට්ට දැමීම්වලට සහ ආන්ඩුවේ යුද පිලිවෙතට හා සමාජ කප්පාදුවට එරෙහිව පුලුල් බලමුලු ගැන්වීමේ පූර්විකාවක් බවට පත්විය යුතුය. කම්කරු අරගල යුක්රේනයේ යුද්ධයට හා ගාසාවේ ජන සංහාරයට එරෙහි ප්රතිරෝධය සමග ඒකාබද්ධ විය යුතු අතර යුද්ධයේ හේතුව වන ධනවාදයට, ජන සංහාරයට, රැකියා කප්පාදුවට හා වැටුප් අඩු කිරීම් වලට එරෙහිව යොමු කල යුතුය. මෙම වැඩෙන ව්යාපාරය සමාජවාදී වැඩපිලිවෙලක පදනම මත වර්ධනය විය යුතුය.

ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය (එස්ජීපී), සහ හතරවන ජාත්යන්තරයේ එහි සහෝදර සංවිධාන මෙම වැඩපිලිවෙල සඳහා සටන් වදිති.

Loading