විදුලිබල කම්කරුවන්ට එරෙහි ආන්ඩුවේ මර්දනයට ජ’පුර විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාව පල කරයි

පුද්ගලීකරනයට එරෙහිව විරෝධතා උද්ඝෝෂනයේ නිරත වූ ලංකා විදුලිබල මන්ඩලයේ කම්කරුවන් 66 දෙනා යලි සේවයේ පිහිටුවීමට බලකිරීම සඳහා ක්‍රියාකාරී කමිටු එකමුතුව ගෙනියන උද්ඝෝෂනයේ කොටසක් ලෙස සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයෝ 21දා ජයවර්ධනපුර (ජ’පුර) විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිසුන් දැනුවත් කිරීමක් සිදු කලහ.

“පුද්ගලීකරනයට විරුද්ධ වූ විදුලිබල සේවකයන්ට දඬුවම් කිරීම නැවැත්වීමට කම්කරු පන්තිය බලමුලු ගන්වමු!” මැයෙන් මාර්තු 5දා ක්‍රියාකාරී කමිටුව එකතුව පලකල ප්‍රකාශයේ පිටපත් දුසිම් ගනනක් සිසුන් අතට පත් කරමින් සසජාතශි සාමාජිකයෝ සිසුන් සමග සාකච්ඡාවක් වර්ධනය කලහ.

ප්‍රකාශය සඳහන් කල පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් ගෙනයන කප්පාදු වැඩපිලිවෙලේ කොටසක් ලෙස පෞද්ගලීකරනය කිරීම සඳහා නම් කර තිබෙන 400කට අධික ආයතන අතර විදුලිබල මන්ඩලය ද වේ.

සැලකිය යුතු ශිෂ්‍යයින් පිරිසක් මෙම දඩයම පිලිබඳව විවිධ මාධ්‍ය හරහා දැන සිටි නමුත් ඒ පිලිබඳව වෘත්තිය සමිති සහ මාධ්‍ය ගෙන යන නිහැඬියාව හේතුවෙන් එහි ඇඟවුම් පිලිබඳව අවබෝධයක් තිබුනේ නැත. කෙසේවෙතත්, ඔවුහු සියලු දෙනාම පාහේ විදුලි බල කම්කරුවන්ට එරෙහිව දියත්ව ඇති ආන්ඩුවේ දඩයම හෙලා දුටුවෝ ය. ඒ අතරම, පුද්ගලීකරනය පිලිබඳව ධනපති පක්ෂ සහ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි පෙරටු සංවිධානය වන ජාතික ජනබලවේගය (ජාජබ) ඇතුලු ධනපති පක්ෂ විසින් වගාදිගා කර තිබෙන ව්‍යාකූලතාවන්ද ඇතම් සිසුන්ගෙන් ප්‍රකාශයට පත් විය.

මහේන්, වෛද්‍ය පීඨ සිසුවෙක්.

“විදුලි බල කම්කරුවන්ට එරෙහි ප්‍රහාරය මම තරයේම හෙලා දකිනවා, ඔබ පැහැදිලි කලා වගේම ඉතා පැහැදිලියි ඔවුන් දඩයමට ලක්වෙලා තියෙන්නේ, පෞද්ගලීකරනයට විරුද්ධවීම නිසා බව. ඒ නිසා විදුලි බල මන්ඩලයේ අවශේෂ කම්කරුවන් වගේම අනෙක් ක්ෂේත්‍රවල කම්කරුවන්, ශිෂ්‍යයින් මෙම ප්‍රහාරයට විරුද්ධ විය යුතු බව මම තරයේම විස්වාස කරනවා. ඒ වගේ ම විදුලි බල කම්කරුවන් සේවයේ පිහිටුවන ලෙස බලකරන ඔබේ උද්ඝෝෂනයට මම මුලුමනින්ම සහය දෙනවා.”

ආන්ඩුවේ පෞද්ගලීකරන වැඩපිලිවෙල කෙරෙහි විරුද්ධත්වය පල කරමින් මහේන් සඳහන් කලේ, විදුලි බලමන්ඩලය පමනක් නොව, තවත් රජයේ ආයතන ගනනාවක්ම පෞද්ගලීකරනය කිරීමට හෝ අර්ධ වසයෙන් විකුනා දැමීමට ආන්ඩුව සැලසුම් කර තිබෙන බවයි. රජයේ ආයතනවල සහ ඒවායේ සේවකයන්ගේ සේවාවන්හි ගුනාත්මකභාවය ගැන ආන්ඩුව ගෙනියන විවිධාකාර පච ප්‍රචාරවල අරමුන වන්නේ ඔවුන්ගේ රැකියා උදුරා ගැනීම සහ පෞද්ගලීකරන වැඩපිලිවෙල සාධාරනීකරනය කිරීම යැයි මහෙන් සඳහන් කලේ ය.

මෙම ප්‍රතිගාමී උද්ඝෝෂනය ගැන උදාහරනයක් ගෙනහැර පාමින් වෛද්‍ය සිසුවා මෙසේ කීවේ ය: “බලන්න, ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ආන්ඩුව එය විකිනීම සඳහා එලිපිටම වැඩකරමින් ඉන්නේ. මෑතකදී ගුවන් යානයක මීයෙක් හිටියා කියලා විශාල හාහෝවක් ගෙනිච්චා, ඒක මිනිස්සුන්ට එපා කරවලා, ඒක විකිනීමේ සැලසුම් සාධාරනීකරනය කරන්න.”

වෛද්‍ය සිසුවෙක් ලෙස තමන් ලැබූ අත්දැකීම් පිලිබඳව ද සඳහන් කරමින් සෞඛ්‍ය අංශයේ ප්‍රතිපාදන කපා දැමීම මගින් ආන්ඩුව සෞඛ්‍ය සේවාවද පෞද්ගලික අංශය සඳහා විවෘත කර ඇති ආකාරය මහේන් පෙන්වා දුන්නේ ය. විශේෂයෙන්ම ගෙවන වාට්ටු ඇති කිරීම මෙන්ම රෝගීන්ට අවශ්‍ය බොහෝමයක් පෞද්ගලික ඔසුසැල්වලින් ගැනීමට බලකර තිබීම ගැන ඔහු විශේෂයෙන්ම අවාධාරනය කලේ ය. ඇතැම් අය නරුම ලෙස පුද්ගලීකරනයට පක්ෂව අදහස් පලකලත් ඒ එහි අනිසි ප්‍රතිවිපාක නොදන්නා නිසා සිදුවන්නක් බව මහේන් කීවේ ය.

“ඒත් සෞඛ්‍ය අංශය සැලකුවම මිනිස්සුන්ට හොඳටම තේරෙනවා රාජ්‍ය සේවාවක් වසයෙන් ඒකෙ තියෙන වැදගත්කම. ඇතම් බෙහෙත් වර්ග පුද්ගලික ඔසුසැලුවලින් ගන්න සිදුවුනාම, පුද්ගලික රෝහල්වලට අධික බිල් සහ ගාස්තු ගෙවන්න සිදුවුනාම මිනිස්සුන්ට රජයේ රෝහල්වල වැදගත්කම ඒත්තු යනවා. මෙවන් තීරනාත්මක සේවාවන් කප්පාදු කිරීමෙන් මිනිස්සු පීඩාවට පත්වීම ගැන පාලකයන්ට වගේ වගක් නෑ.”

රෝහල්වලට යන සෑම රෝගීයෙක්ම පන පිටින් එලියට එන්නේ නැති බවත් රෝහල් ඉදිරිපිට මල්ශාලා පිහිටුවා ඇත්තේ ඒ නිසා බවත් කී, හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගේ නරුම ප්‍රකාශය සිහිපත් කල වෛද්‍ය සිසුවා, “එවැනි ප්‍රකාශයක් අඩුම ගානේ හංගලා කියන්න තරම්වත් බැරිතරමටම පාලකයක් සාමාන්‍ය ජනතාව ගැන පිලිකුල් කොට සලකන” බව කීවේය.

“ඒ වගේම ඒවා අතීත අරගලවලින් මිනිස්සු දිනාගත්ත අයිතීන්. ලංකාවේ වගේම අනෙක් රටවලත් වෙනසක් නැති බව මම අන්තර්ජාලයෙන් දැකලා තියෙනවා. ඇමෙරිකාවේ ශිෂ්‍ය නය ඩොලර් ට්‍රිලියනකට අධිකයි. ඒක හිතාගන්න බැරි තත්වයක්” යැයි මහේන් කීවේ ය.

දඩයමට ලක් වූ විදුලිබල කම්කරුවන් සම්බන්ධයෙන් වෘත්තීය සමිති කිසිවක් නොකිරීම ගැනත්, ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමිති තම ආන්ඩුවකින් ඔවුනගේ ප්‍රශ්න වලට විසඳුම් ලබාගතහැකි බවට කියන කතා ගැනත් ඇසූවිට, “ඒ ගොල්ලො විස්වාස කරන්න පුලවන් පක්ෂයක් නෙවෙයි, අපි දන්න ඉතිහාසය අනුව ගත්තත් ජවිපෙ විවිධ ආන්ඩු බලයට ගෙන ඒමට වැඩකරලා තියෙනවා. අනික ඒක අයිඑම්එෆ් වැඩපිලිවෙලට පක්ෂයි කියලා එලිපිටම කියලා තියෙනවා. එවන් පක්ෂයක් බලයට ඒමෙන් මේ ප්‍රශ්නය විසඳනවා කියන එක හිතලුවක්” යැයි ඔහු කීවේ ය.

ඉෂාන්, කලමනාකරන පීඨ සිසුවෙක්

“මම මාධ්‍යයෙන් දැක්කා විදුලි බල සේවකයන් මෙහෙම දොට්ට දාලා තියෙනවා කියලා. ඇත්තටම ආන්ඩුව හදන්නේ කම්කරුවො මර්දනය කරලා කප්පාදු වැඩපිලිවෙල ඉස්සරහට දාන්න. ඔවුන් ආරක්ෂා කරගැනීමට වෘත්තීය සමිති පැත්තෙන් සූදානමක් නැතිකම බරපතල ප්‍රශ්නයක්. එහෙම වුනාම ඒ අය හුදකලා වෙනවා විතරක් නෙවෙයි, සටනට එන අනෙක් කම්කරුවන් මර්දනය කරන්නත් ඒක උදාහරනයක් කරගන්නවා” යැයි ඉෂාන් සඳහන් කලේ ය.

විශ්වවිද්‍යාල සිසුන් මුහුන දී ඇති ප්‍රශ්න, මෙම විදුලිබල කම්කරුවන් මුහුනදී තිබෙන ප්‍රශ්නවලින් වෙන් කල නොහැකි බව පැවසූ ඉෂාන්, ශිෂ්‍ය සංගම්වල නායකයින් ඒවා වෙන්කොට සැලකීම ගැන චෝදනා කලේ ය. “ප්‍රශ්නය ඒ විදියට අරන් ගෙනියන සටනක් ඔවුන්ට ඇත්තෙ නෑ”. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය වැනි සංවිධාන විසින් ශිෂ්‍යයින් කම්කරුවන්ගෙන් හුදකලා කොට, ශිෂ්‍යයන්ට ඊනියා “ශිෂ්‍ය බලය” වැනි සටන්පාඨ ප්‍රවර්ධනය කරමින් සිසුන් වෙනම සටනට දැක්කීම ගැනත්, සිසුන් තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා මූලිකවම සංවිධානය විය යුත්තේ කම්කරුවන්ගේ නායකත්වය යටතේ බවත් සසප උද්ඝෝෂකයන් පැහැදිලි කල විට ඔහු කීවේ එය “සිතාබැලිය යුතු කාරනයක්” බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය නිසා අපේ අධ්‍යයන කටයුතුවලට විශාල බාධාවක් එල්ල වී තිබුනත් ඔවුන්ගේ එකී පඩි ඉල්ලීම් සාධාරන බවත්, ආන්ඩුව ඔවුන්ගේ ඉල්ලීම් නොසලකා හැර ඇති බවත් ඔහු කීවේ ය. “ඔවුන්ගේ වැටුප් ඉල්ලීම් සාධාරනයි, මේ දරාගන්න බැරි උද්ධමනය මැද ජීවත් වෙන්න පහසු නෑ. ආන්ඩුව ඔවුන්ගේ ඉල්ලීම් දෙන්න සූදානම් නෑ.”

අපරාධ විද්‍යාව හදාරන ශිෂ්‍යාවක් වන චතුරිකා, විදුලිබල කම්කරුවන්ට එරෙහි ප්‍රහාරයට දැඩි විරුද්ධත්වය පල කලාය. සියලුම කම්කරුවන් හා ශිෂ්‍යයන් විසින් එය හෙලා දැකිය යුතු ප්‍රහාරයක් බව ඇය සඳහන් කලා ය.

ශිෂ්‍යයන් මුහුන දී සිටින, නේවාසිකාගාර හිඟය, ආර්ථික ප්‍රශ්න හේතුවෙන් අර්ධ-කාලීන රැකියාවන්හි නිරත වීමට සිදුව තිබීම සහ මහපොල ශිෂ්‍යාධාර කපා දැමීම ඇතුලු ප්‍රශ්න, කම්කරුවන් මුහුනදී තිබෙන ප්‍රශ්නවලින් වෙන්කරගෙන හා ඒවා වසන් කරමින්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය වැනි සිසු සංගම් සිසුන් පාරට කැඳවීම ගැන ඇය විරුද්ධත්වය පලකලා ය. “ශිෂ්‍යයන් නිසැකවම කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕන වගේම මෙයාකාරයෙන් ඔවුන් ආන්ඩුවේ දඩයමට ලක්වුනාම ඒ වෙනුවෙන් අරගලයට ආයුතුව තියෙනවා” යැයි චතුරිකා කීවා ය.

ජවිපෙ බලයට ආවොත් මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා ඇතැයි යන්න මිත්‍යාවක් බවත් ජාත්‍යන්තර අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට මුලුමනින්ම ජවිපෙ එකඟවීම මගින් ඒ කාරනය පැහැදිලි වන බවත් ඇය සඳහන් කලා ය.

ව්‍යවහාරික විද්‍යා පීඨයේ දොන් සහබන්ධු සාකච්ඡාවට එක් වෙමින්, ජාජබ/ජවිපෙ හෝ අන් කිසිදු දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් තමන්ට කිසිදු විස්වාසයක් නැති බවත් එබැවින් මැතිවරනයේදී කිසිම දේශපාලන පක්ෂයට තම සහය නොදෙන බවත් සඳහන් කලේ ය. සමාජවාදය පිලිබඳව මෙන්ම සමකාලීන දේශපාලන සංසිද්ධීන්වල මූලයන් පිලිබඳව ඇතැම් සිසුන් අතර පවතින පවතින නොදැනුවත්භාවය පිලිබඳව ද ඔහුගේ අදහස් දැක්වීම් ඉදිරියට ගියේය. කෙසේ වෙතත් පවත්නා ක්‍රමයට එරෙහිව විකල්ප වැඩපිලිවෙලක් ගැන පැහැදිලි අදහසක් ඇති කරගැනීම සඳහා සසප වැඩපිලිවෙල හැදෑරීමේ වැදගත්කම ඔහු ප්‍රකාශයට පත් කලේ ය.

සසජාතශි පොත් මේසය වෙත පැමින සාකච්ඡාවට එක්වූ කලමනාකරන පීඨයේ සිසුවෙකු, බලය ලබා ගැනීම සඳහා ජවිපෙ/ජාජබ විසින් දැන් ගෙනියන ඇස් නිලංකාර කරවන ප්‍රතිගාමී උද්ඝෝෂනයේ අදහස්වලින් ප්‍රේරනයවී ඇති ආකාරය පෙන්නුම් කලේ ය. ඉදිරියේදී තමා ජවිපෙට සම්බන්ධ සමාජවාදී ශිෂ්‍ය සංවිධානයට බැඳීමට සිතා සිටින බව ඔහු කී විට, සසජාතශි උද්ඝෝෂකයන් ඔහුට කීවේ, ජවිපෙ ධනපති පක්ෂයක් බවත් මෙම පක්ෂය ජාත්‍යන්තර අරමුදලේ කප්පාදු පිලිවෙත්වලට එලිපිටම සහාය දෙන බවත් ය.

ඒ කාරනය ගැන තැකීමක් නැති බව අඟවමින් ඔහු පුද්ගලීකරනයේ අවශ්‍යතාව ගැන තහවුරු කිරීමට තර්ක කලේය. “ලංකාවේ ගෙවන බදු ප්‍රමානයට ඵලදායී ප්‍රතිඵලයක් නොලැබෙන” බවත් විශ්වවිද්‍යාලවල තිබෙන. “කලා (මානව ශාස්ත්‍ර හා සාමජීය විද්‍යා) පීඨය වගේ දේවල් වලින් ඵලදායීත්වයක් නැති” බවත් “ඒ තත්වය තුල මධ්‍යම පන්තියේ කොටස් වලට ඔවුන්ට මුදල් ගෙවා ඉගෙන ගන්න අවස්ථා හිමිවන පරිදි නියාමනයට යටත්ව පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කල යුතුයි” යනාදී වඳ තර්ක ඔහු ගෙන ආවේය.

සසප උද්ඝෝෂකයන් ඔහුට පෙන්වා දුන්නේ පෞද්ගලීක විශ්වවිද්‍යාල වේවා අනෙකුත් ආයතන රාජ්‍ය “නියාමනයට” යටත්ව පවත්වාගෙන යා හැකිය යන අදහස මිථ්‍යාවක් බවයි. මූල්‍ය ප්‍රාග්ධනය ආධිපත්‍ය දරන යුගයක එය අයිඑම්එෆ් වැනි ඔවුන්ගේ ආයතන ආන්ඩුවලට නියෝග දෙමින් කියා සිටින්නේ පුද්ගලීකරනය තියුනු කරමින් කප්පාදුව ඉහල නැංවීමට බව සසජාතශි උද්ඝෝෂකයෝ ඔහුට පෙන්වා දුන්හ.

මෙයට සමාන අදහස් පලකල තවත් ශිෂ්‍යයෙක් සඳහන් කලේ, විදුලි බල මන්ඩලය වැනි රාජ්‍ය ආයතන වල සේවකයින් “කොමිස් ගැනීම් සහ අලස ආකාරයෙන් වැඩ කිරීම මග හරවා ගැනීමට පුද්ගලීකරනයෙන් හැකි” බවයි. ඒ හරහා එම ආයතන “ලාභ ලබා ගන්නා තැන් බවට පත් කල හැකි බව” ඔහු සඳහන් කලේය.

සසජාතශි උද්ඝෝෂකයන් ඔහුට පෙන්වා දුන්නේ, රාජ්‍ය ආයතන සහ සේවකයන් අලලා ගෙන මාධ්‍ය හරහා අතිශයෝක්තියෙන් යුතුව ප්‍රචාරනය කරන කොමිස් ගැනීම්, සේවකයින්ගේ අලස බව වැනි චෝදනා වල මූලික අරමුන වන්නේ, පුද්ගලීකරනයට අවශ්‍ය වට පිටාව සකසා ගැනීමට බවයි. පුද්ගලීකරනයෙ හේතුවෙන් අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි ක්ෂේත්‍රවල සිදුව ඇති ඛාදනය පිලිබඳව ද සසජාතශි උද්ඝෝෂකයෝ ඔහුගේ අවධානයට යොමු කලහ.

සිසුන්ට අමතරව එම ස්ථානය පසුකර යන කම්කරුවන් සමගද සසජාතශි උද්ඝෝෂකයෝ සාකච්ඡා කලහ.

ඇඟලුම් සේවකයෙකු වන යසංග සඳහන් කලේ මෙම මර්දනය ගැන ඔහු කලින් නොදැන සිටි බවයි. “මට තේරෙන විදිහට මේක ආන්ඩුවේ ප්‍රහාරයේ මුල් පුරුක. මේ පුරුක උන්ට සාර්ථකව කරගන්න ඉඩ දුන්නොත් අනිවාර්යෙන්ම ඒක දම්වැලක් වගේ ඉස්සරහට අනිත් කම්කරුවන්ටත් විරුද්ධව එල්ල කරනවා ඇති” යැයි ඔහු සඳහන් කලේය. තමන් ඇතුලු අවශේෂ කම්කරුවන් මේ ගැන නොදැන සිටීම සම්බන්ධයෙන් මූලිකව වගකිවයුත්තේ විදුලි බලමන්ඩලයේ වෘත්තීය සමිති මේ ගැන කම්කරුවන් දැනුවත් නොකිරීම නිසායැයි ඔහු පිලිගත්තේ ය. විදුලිබල මන්ඩලයේ පමනක් නොව ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුලු සියලුම ක්ෂේත්‍රවල කම්කරුවන් මත ආධිපත්‍ය දරන වෘත්තීය සමිතිවල සැබෑ ස්වරූපය මෙය බව සසජාතශි උද්ඝෝෂකයෝ ඔහුට පැහැදිලි කලහ. “අපි රාජ්‍ය අංශයේ කම්කරුවො නොවුනට අපිටත් මේ ප්‍රශ්න මේ විදිහටම තියෙනවා. ගෙවන වැටුප් මදි ජීවත් වෙන්න කොහෙත්තම” ඔහු වැඩි දුරටත් සඳහන් කලේය.

සුලු පරිමාන ඇඟලුම් කර්මාන්තයක් පවත්වාගෙන යන වික්‍රමාරච්චි සඳහන් කලේ, විදුලිබල සේවකයන්ට එරෙහි දඩයම “සම්පූර්නයෙන්ම අසාධාරන” බවයි. “මේ අසාධාරන ක්‍රමයට විරුද්ධව නැගී සිටින්නේ පොඩි කොටසක්. ඒ කොටසට විරුද්ධව මේ ආකාරයෙන් මර්දනය දියත් කරනවා කියන්නේ, ඒ ව්‍යුහයට විරුද්ධ සියලු දෙනාම මර්දනය කිරීමක්” ඇය සඳහන් කලා ය. “ඒ කම්කරුවෝ රැකියාවලින් දොට්ට දානවා කියන්නේ ඒ අයගෙ පවුල් මුලුමනින්ම ප්‍රපාතයට දැමීමක්. මේකට විරුද්ධ වුනේ නැතිනම් අනෙක් කම්කරුවන්ටත් සිද්ධ වෙන්නෙත් මේකමයි.

“මම නම් කියන්නේ මේ අසාධාරන ක්‍රමය සම්පූර්නයෙන්ම වෙනස් වෙලා මිනිස්සුන්ට සහනය දෙන ක්‍රමයක් ඇති කල යුතුයි කියලා. ඇත්තම කියනවා නම්, පේනවාට වැඩිය මිනිස්සු හරිම ආමාරුවෙන් ජීවිතය ගැට ගහන්නේ. විශේෂයෙන්ම ගම්බද පැතිවලට යනකොට ලිප්වල අලු විතරයි තියෙන්නේ. කන්න නෑ මිනිස්සුන්ට. ඒක හරි දුකයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල අනුව ආන්ඩුව මිනිස්සු මිරිකලා විතරක් නෙවෙයි, ඔවුන්ගේ සාරයක් උරාබීලා හමාරයි” වික්‍රමාරච්චි සඳහන් කලාය.

තමන් කලින් යූඇන්පී එකට ඡන්දය දුන්නත් මෙවර ජවිපෙ/ජාජබට ඡන්දය දීමට හිතා සිටින බව ඇය සඳහන් කලාය. මෙම පක්ෂය ඉතිහාසය පුරාම 1990 ගනන්වල ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ද 2005දී මහින්ද රාජපක්ෂ ඇතුලු ධනපති දේශපාලන නායකයින් හා පක්ෂ බලයට ගෙනඒමට වැඩකල හැටිත් දැන් එය අයිඑම්එෆ් වැඩපිලිවෙලට මුලුමනින්ම සහාය දෙන බවත් සසජාතශි ඇයට පැහැදිලි කලා ය.

එවිට ඇය කීවේ, විකල්පයක් පෙනීමට නැති තත්වයක් තුල පවත්නා පක්ෂවලට තිබෙන විරුද්ධත්වය නිසා මහජනයාගෙන් කොටසක් ජවිපෙ/ජාජබයට සහය දීමක් ගැන එලෙස කතා කරන බවයි. මෙම ධනපති පක්ෂවලට විකල්පව කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ ගොවියන්ගේ ආන්ඩුවක් සැදීම එකම විකල්පය බව සසජතාශි උද්ඝෝෂකයෝ ඇයට පැහැදිලි කලහ.

Loading