ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂය තම පක්ෂ ලියාපදිංචිය යලි දිනා ගැනීමේ ව්‍යාපාරයක් අරඹයි

ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය මාර්තු 6 වැනි දා “ඡන්ද පත්‍රිකාවට සසප ගෙන එනු! සසප මැතිවරන සාමාජිකත්වය ලබා ගන්න! ජන සංහාරයට, යුද්ධයට සහ සමාජ අසමානතාවට එරෙහි සටන අතට ගන්න!” යන මැයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් තම පක්ෂ ලියාපදිංචිය යලි දිනා ගැනීම සඳහා ව්‍යාපාරයක් දියත් කලේ ය.

පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා පක්ෂ සාමාජිකයන්ගේ තොරතුරු ඉදිරිපත් කලයුතු බවට වන ප්‍රජාතන්ත්‍ර විරෝධී නීතිය යටතේ, අවම වශයෙන් සාමාජිකයන් 500 ක තොරතුරු ලබාදියයුතු බවට වූ සීමාව 1500ක් දක්වා පුලුල් කිරීමට, 2021 අගෝස්තු 26 වැනි දා, පාර්ලිමේන්තුව විසින් නව නීති සම්මත කර ගනු ලැබීමත් සමග, 2022 පෙබරවාරියේ දී සසප පක්ෂ ලියාපදිංචිය අහෝසි කෙරුනි.

පැතිරී යමින් පැවති කෝවිඩ්-19 වංසගතය සහ අගලු දැමීම් මැද අවශ්‍ය මැතිවරන සාමාජිකයන් ඉහල නංවා ගැනීමේ උද්ඝෝෂනය ගෙන යාම සසපට දුෂ්කර සහ ජීවිත අවදානමක් ඇති කටයුත්තක් බවට පත් විය. ඊලඟ ඕස්ට්‍රේලියානු ජාතික මැතිවරනය ලබන වසරේ මැයි මාසයට මත්තෙන් පැවැත් වීමට නියමිත ව ඇත. මෙම අවශ්‍යතාව තෘප්ත කර ගැනීමට සසප මැතිවරන පක්ෂ සාමාජිකත්වය ඉහල නැංවීම මෙම ව්‍යාපාරයේ අරමුනයි.

සසප සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි ගේ වීඩියෝ නිවේදනය

(සසප සහකාර ජාතික ලේකම් මැක්ස් බොඩි ගේ වීඩියෝ නිවේදනය )

කෝවිඩ්-19 වසංගතය හමුවේ ධනේශ්වර පන්ති පාලනය මුහුන දුන් තියුනු අර්බුදය මැද ඕස්ට්‍රේලියානු ධනේශ්වර සංස්ථාපිතය මෙම තීරනය ගනු ලැබුවේ ලිබරල් සහ ලේබර් පක්ෂ ද්වයෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ද්වි-පක්ෂ ක්‍රමයට කම්කරු පන්තික ක්‍රියාමාර්ගයකින් එල්ල විය හැකි තර්ජනයක් පූර්ව භංග කිරීමේ අරමුනෙනි.

ඕස්ට්‍රේලියානු ධනේශ්වර රාජ්‍යය මෙම පක්ෂ දෙකේ ම ආන්ඩු යටතේ පසුගිය දශකය කීපය පුරා වඩ වඩාත් දකුනට ගොස් ඇත්තේ පැසිෆික් කලාපයේ චීනයට එරෙහි ඇමරිකානු යුද සැලසුම්වල සමසහකරුවෙකු බවට පත් වෙමින් වැඩි දියුනු වන සමාජ අසමානතාවක් නිර්මානය කරමිනි.

2022 ජාතික මැතිවරනය මහජනතාව අතර පැතිර පවතින සමාජ අතෘප්තිය විකෘත ආකාරයකින් ප්‍රකාශයට පත් කලේ ය. එම මැතිවරනයෙන් ජයග්‍රහනය කලේ වැඩියෙන් ම ඡන්ද දිනා ගත් පක්ෂය නොවේ, අඩුවෙන් ම ඛාදනය වූ පක්ෂයයි. ලිබරල් සන්ධානයේ ඡන්ද පදනම් නාය යද්දී, ආන්ඩුවක් පිහිට වූ ලේබර් පක්ෂය මූලික වටයේ දී දිනා ගත්තේ යන්තම් සියයට 33ක් වන ඡන්ද ප්‍රතිශතයකි.

“සුභවාදී අනාගතයක්” ගැන බලාපොරොත්තු දෙමින් පැවති ලේබර් ආන්ඩුව මොරිසන් ආන්ඩුව නැවතූ තැනින් සමාජ ප්‍රහාර ඉදිරියට ගෙන යමින් සිටියි.

පසුගිය වසර දෙක තුල ගෝලීය ධනේශ්වර අර්බුදය වඩාත් ගැඹුරු වන තතු යටතේ ලේබර් පක්ෂ ආන්ඩුව පැසිෆික් කලාපයේ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට නායකත්වය දීමේ ප්‍රතිගාමී භූමිකාවට පන පොවමින් සිටියි. සමාජ වියදම් දැවැන්ත වශයෙන් කපා හරිමින් මිලිටරි වියදම් පුලුල් කරන්නේ චීනයට එරෙහි යුද සූදානමේ කොටසක් වශයෙනි. ඕකුස් (ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය - AUKUS) යුද ගිවිසුම තුල ඕස්ට්‍රේලියාව නායක ක්‍රියාකලාපයක් ඉටු කරයි. එමෙන් ම, අගමැති ඇල්බනීස්ගේ ආන්ඩුව ඊශ්‍රායලයේ නෙතන්‍යාහු ආන්ඩුව ගෙන යන ජන සංහාරයේ ආධාරකරුවෙකු වශයෙන් ඉස්මතු වී ඇත.

දැන්, ඕස්ට්‍රේලියානු ධනේශ්වර පන්ති පාලනය කම්කරු පන්තික නැගිටීමක් යටපත් කර ගෙන ඇත්තේ ලේබර් පක්ෂය ආධිපත්‍යය දරන වෘත්තීය සමිති හරහා පන්ති අරගලයට ඇබ ගැසීමෙනි.

මැතිවරන ව්‍යාපාරයට මහා ව්‍යාපාරිකයන් සිදු කරන බලපෑම් නැවැත්වීමට යැයි කියමින් සම්පත් හිඟ පක්ෂවලට මැතිවරන අරමුදල් සපයා ගැනීම තව තවත් දුෂ්කර කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති නව වටයකින් හඳුන්වා දීමට ලේබර් ආන්ඩුව සූදානම් වෙමින් සිටින අතර ලබන වසරේ ජාතික මැතිවරනයේ දී ක්‍රියාත්මක වන ආකාරයට එම නීති ලිබරලුන්ගේ සහ හරිතයන් ගේ සහායෙන් වහා ම පාර්ලිමේන්තුව හරහා තල්ලු කර ගැනෙනු ඇත.

ඕස්ට්‍රේලියානු මැතිවරන ක්‍රමය යටතේ දැනටමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ලබා ගන්නා ඡන්දවලට අනුරූප ව මැතිවරන අරමුදල් මහජන බදු මුදල්වලින් ම සම්පාදනය කරනු ලැබේ. සාමාන්‍යය රේට්ටුව වන්නේ එක් ඡන්දයකට ඕස්ට්‍රේලියානු ඩොලර් 2.78ක් වුවත් බොහෝ ප්‍රාන්ත සඳහා මෙම අගය මීට ඉහල අගයක් ගනී. මෙ නයින්, මහජන බදු මුදල් ම ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක තම මැතිවරන සඳහා ගසා කද්දී පාර්ලිමේන්තුවෙන් පිට පක්ෂ සඳහා අරමුදල් රැස් කිරීම දැඩි නීති රීති පද්ධතියකින් අකර්මන්‍ය කෙරෙනු ඇත.

2022 මැයි ජාතික මැතිවරනය විශ්ලේෂනය කරමින් 2023 ජූලි වාර්තාවක් සම්පාදනය කල පාර්ලිමේන්තු පක්ෂවල ඒකාබද්ධ කමිටුවක නිර්දේශ මෙම නව නීති සඳහා පදනම වී ඇත. එම වාර්තාව “වැඩෙන මහජන අවිශ්වාසය මහජනතාව පාර්ලිමේන්තු ක්‍රමයෙන් තව තවත් ඈත් කරනු ඇත” යනුවෙන් අනතුරු අඟවයි. “ඡන්දාදායකයන් අවිශ්වාසයට සහ කෝපයට පත් ව ඇත්තේ සත්‍ය සහ විශ්වාසී කටයුතු බව අතර නිර්මානය වී ඇති පරතරය” නිසා යැයි වාර්තාව පැහැදිලි කරයි.

ලේබර් ආන්ඩුවට සහ එහි වෘත්තීය සමිති නිලධරයට බලපෑම් යෙදීම වශයෙන් සමාජ විරෝධය අවමංගත කරන හරිතයන් ඇතුලු ව්‍යාජ වම වෙතින් කම්කරුවන්ට සහ තරුනයන්ට මාවතක් සොයා ගත නොහැකි අතර ම මේ ව්‍යාජ-වාම බලවේග ධනේශ්වර ක්‍රමයේ අවසාන ආරක්ෂක වලල්ල ලෙස ක්‍රියාත්මක වෙයි. ආරම්භයේ දී ව්‍යාජ විවේචන ඉදිරිපත් කල හරිතයන් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරන නීති සම්බන්ධයෙන් මුනිවත රකිමින් ඒවා පාර්ලිමේන්තු නියෝජනයක් නොමැති පක්ෂවල දේශපාලන කටයුතු අවහිර කරමින් පවතින්නට ඉඩ හැර ඇත.

මෙ බඳු දක්ෂිනාංශික දේශපාලන වාතාවරනයක් මැද සමාජවාදී යුද විරෝධී කම්කරු පන්තික ස්වාධීන ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කරන එක ම පක්ෂය වන්නේ සසප යි. සමාජ අයිතීන්ට සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල වන ප්‍රහාරයන්ගේත්, ජනසංහාරයේත්, න්‍යෂ්ටික ලෝක යුද්ධයේත්, කෝවිඩ්-19 වැනි වසංගතයන්ගේත් මූලය වන යල්පීනු ලෝක ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීමට කම්කරු පන්ති නායකත්වය ගොඩ නැගීම තීරනාත්මකයි.

එ නිසා, සසපට තම නමින් මැතිවරන සඳහා තරග කිරීමේ අයිතිය දිනා ගැනීම ඕස්ට්‍රේලියානු කම්කරු පන්තියට ඉදිරි මාවතක් සම්පාදනය කිරීමේ අරගලයේ දී තීරනාත්මක වෙයි.

ඇමරිකානු සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපතිවරන උද්ඝෝෂන ව්‍යාපාරය හ සමපාත ව ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂය මෙම අරගලය ගෙනියන්නේ අර්බුද ග්‍රස්ත ලෝක ධනේශ්වර පර්යායට එරෙහි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් ජාත්‍යන්තර කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට හතර වැනි ජාත්‍යන්තර ගෙන යන වැඩකටයුතුවල කොටසක් වශයෙනි.

Loading