ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය -දහ වැනි කොටස

10 . ජනතා විමුක්ති පෙරමුන හා මාක්ස්වාදී විධික්‍රමය

කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ දහ වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන හා මාක්ස්වාදී විධික්‍රමය” යි. නව වැනි කොටස මාර්තු 16 දින, අට වැනි කොටස මාර්තු 14 දින, හත් වැනි කොටස මාර්තු 08 දින, හය වැනි කොටස මාර්තු 04දින, පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

අප මේ සමග පලකිරීම ආරම්භ කර ඇත්තේ, සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමී සංවිධානය වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම්ව සිටි කීර්ති බාලසූරිය (1948 -1987) විසින් 'ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය හා පන්ති ස්වභාවය' යන මාතෘකාවෙන් ලියන ලද ලිපි මාලාවයි. මෙම ලිපි මාලාව ප්‍රථමයෙන්ම පල කෙරුනේ, එවක විකොස සතිපතා මධ්‍යම පුවත් පතවූ “කම්කරු පුවත්” 1970 අගෝස්තු අවසානයේ සිට නොවැම්බර් අවසානය දක්වා කලාප තුලය. පසුව එය පොතක් වශයෙන් මුද්‍රනය කෙරුනි. ලෝසවෙඅ හි පලකල කෘතියේ හැඳින්වීම පෙබරවාරි 19 දින පලකෙරුනි. කොටස් දහයකින් සමන්විත ලිපි මාලාවේ දහ වැනි කොටස “ජනතා විමුක්ති පෙරමුන හා මාක්ස්වාදී විධික්‍රමය” යි. නව වැනි කොටස මාර්තු 16 දින, අට වැනි කොටස මාර්තු 14 දින, හත් වැනි කොටස මාර්තු 08 දින, හය වැනි කොටස මාර්තු 04දින, පස්වැනි කොටස 26දින, සිව්වන කොටස 25දින, තුන්වන කොටස 22 දින, දෙවන කොටස 21 දින සහ පලමුවන කොටස 20 දින පලවිය.

ලිපි අනුපිලිවෙලින් කොටස් වශයෙන් පලකරමු.

***

1970 දෙසැම්බර් 11 දින ප්‍රකාශයට පත් කෙරුනු පොතේ පිටකවරය

10 . ජනතා විමුක්ති පෙරමුන හා මාක්ස්වාදී විධික්‍රමය

කම්කරු පන්ති ව්‍යාපාරය තුල නායකත්වය පිලිබඳ අර්බුදය අතිශයින් ම උග්‍ර තත්වයකට පත්ව ඇති අද වැනි කාලයන්හි දී මාඕවාදී න්‍යාය “සංවර්ධනය කිරීමට” උනන්දු වන්නේ යැයි කියන්නවුන්, පොදුවේ වාමාශික යැයි සැලකෙන ව්‍යාපාරය තුල බහුලව දැකිය හැකි වේ. මේ ඊනියා මාක්ස්වාද “සංවර්ධකයන්” තුල දැකිය හැකි ඉතා මත් ම පැහැදිලි ලක්ෂනය නම් මාක්ස්වාදී න්‍යාය ආරක්ෂා කිරීමට ඔවුන් දක්වන නරුම නොකැමැත්ත හා විරුද්ධත්වය යි.

ඔවුන් මාක්ස්වාදය “සංවර්ධනය කිරීමට” සැරසෙන්නේ මාක්ස්වාදී ව්‍යාපාරය මේ දක්වා ලබා ගෙන ඇති සියලු ම න්‍යායික හා ප්‍රායෝගික ජයග්‍රහනයන් තරයේ ම ප්‍රතික්ෂේප කරමින් ය.

ලෙනින්ගෙන් පසුව අධිරාජ්‍යවාදයේ වෙනස් වූ ස්වභාවය ගැන ඉදිරිපත් කල “න්‍යායන්” තුලින් මාක්ස්-ලෙනින්වාදීන් මේ අධිරාජ්‍යවාදී යුගය සම්බන්ධයෙන් කල විග්‍රහය ප්‍රතික්ෂේප කර දැමූ ස්ටැලින්වාදීන්ගේ සිට වඩා විප්ලවවාදී වචන පුනරුච්චාරනය කරන පැබ්‍ලෝවාදී සංශෝධනවාදීන් (ලංකාවේ බාලා තම්පෝ කල්ලිය හා ඔවුන් සම්බන්ධව සිටින එක්සත් ලේකම් මන්ඩලයේ සගයන්) දක්වා සියලු ම කොටස් මාක්ස්වාදී න්‍යාය සංවර්ධනය කිරීමේ කඩතුරාවට මුවා වී ඇත්තට ම සිදු කරන්නේ මාක්ස්වාදයේ අරටුවට ම පහර දීම යි. මේ පහර දීම හැම විටක දී ම පාහේ මාක්ස්වාදය ආධානග්‍රාහී සූත්‍රයක් බවට පත් කිරීමේ උත්සාහයන්ට විරුද්ධව කරන සටනක ස්වරූපයෙන් පෙරට ගොස් ඇත.

සත්තකින් ම මාක්ස්වාදී න්‍යාය ආධානග්‍රාහී සූත්‍රයන් රැසක් හෝ බන පොතක් වැනි දෙයක් හෝ නො වේ. මාක්ස්වාදීන් හැම විට ම අවධාරනය කර ඇති පරිදි ම, එය 'ක්‍රියාවට මග පෙන්වන්නක් වේ. ක්‍රියාව, එනම් පවතින සමාජ ක්‍රමය විප්ලවවාදී ලෙස පෙරලා දැමීමේ ක්‍රියාව සිදු වන්නේ නො නැවතී වෙනස් වන සංකීර්න ක්‍රියා දාමයක් වන සමාජය තුල ම බැවින් ක්‍රියාවට මග පෙන්වන න්‍යාය ද ක්‍රියාව තුලින් ම නො නැවතී සංවර්ධනය කල යුතු වේ.

එනමුදු ස්ටැලින්වාදීන් හා සංශෝධනවාදීන් මාක්ස්වාදය සංවර්ධනය කිරීම යනුවෙන් කරන්නේ එය නො වේ; පවතින ධනේශ්වර සමාජ රටාවට අනුව හැඩ ගැසීම සඳහා මාක්ස්වාදය විකෘත කිරීම යි. මේ විකෘත කිරීම් හැම විටක දී ම පවතින ලෝක තත්වය නොවෙනස් වන දෙයක් ලෙස සැලකීමත් සමග අත්වැල් බැඳ ගෙන ඇත.

උදාහරනයක් හැටියට, රුසියානු විප්ලවයත් සමග ම පෙරට ඇදී ආ විප්ලවවාදී ප්‍රවාහය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පාවා දීම් නිසා පරාජයට පත් වීමත් සමග ම ඉස්මතු වූ තත්වය සදාකාලික කොට සැලකීම තුලින් කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්ය භාරය ගැන මාක්ස්වාදයේ විග්‍රහය ඉවත ලූ ස්ටැලින්වාදය “තනි රටේ සමාජවාදය ගොඩ නැගීමේ” න්‍යායෙන් එම තත්වයට අනුව හැඩ ගැසීමට කඩතුරාවක් සපයා ගති. අධිරාජ්‍යවාදය විසින් යුරෝපයේ කම්කරු පන්තිය යටත් කර ගෙන සිටීම වෙනස් කල නොහැකි දෙයක් ලෙස සැලකීමෙන් පසුව, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවය මගින් රුසියානු විප්ලවය ආරක්ෂා කර ගැනීමේ විප්ලවවාදී ඉදිරි දර්ශනය ඉවත වීසි කර දමා ලෝකය යට කර ගෙන සිටින අධිරාජ්‍යවාදීන් සමග සම්මුති ගසමින් හා ඔවුන් අතර උපාමාරු යොදමින් දිගු කලක් පවතින්ට ස්ටැලින්වාදී නිලධරය “ඉදිරි දර්ශනයන්” සකසා ගත්තේ ය.

පවතින තත්වයට අනුව හැඩ ගැසීමේ මේ අනුභූතිවාදී විධික්‍රමය අපෝහක භෞතිකවාදී විධික්‍රමයේ (එනම්, මාක්ස්වාදී විධික්‍රමයේ) සම්පූර්න අනෙක් පැත්ත යි. අනුභූතිවාදය, පවතින තත්වයේ ස්ථිරත්වය පිලිගැනීම තුලින් පවතින තත්වයට අනුව සකස් වීමේ විධික්‍රමයක් වන අතර, අපෝහක භෞතිකවාදයේ ආස්ථානය වන්නේ සෑම විටක ම පවතින තත්වය වෙනස් කිරීම යි.

මේ වෙනස් කිරීමේ ස්ථානයේ සිට පන්ති තත්වයේ ඇති වන සෑම නව වර්ධනයක් ම ග්‍රහනය කර ගැනීමට නම් මාක්ස්වාදීන් ප්‍රථමයෙන් ම මාක්ස්වාදී ව්‍යාපාරය අතීත කාලයේ දී ලබා ඇති න්‍යායික වර්ධනයන් මත ස්ථිරව ම පදනම් විය යුතු ය; එම න්‍යායන්ගෙන් පටන් ගෙන නව තත්වය අලුතෙන් විග්‍රහ කල යුතුය.

අනුභූතිවාදියාගේ ආරම්භක ස්ථානය වන්නේ එම න්‍යාය නො වේ. අනුභූතිවාදියා හැම විට ම යථාර්ථය ලෙස දකින්නේ මතුපිට පමනි. යථාර්ථයේ මතුපිට තලයේ ඇති “සිදුවීම්” ආදිය ඇති කල ගැඹුරු ක්‍රියා දාමය සොයා යාමට ඔහු උනන්දු නො වේ. ඔහුට නම් මේ “සිද්ධි” නැත් නම් “කරුනු” නොවෙනස් වන ස්ථිරසාර දේවල් ය. ඔහු තම ආරම්භක ස්ථානය වශයෙන් සලකන්නේ යථාර්ථයේ මතුපිට තලයේ දිස් වන එම “සිද්ධි” නැත් නම් “කරුනු” යනාදිය යි. මේ “කරුනු” හෝ “සිද්ධි” වැලඳ ගෙන ඒවාට ගැලපෙන ලෙස තම අදහස්උදහස් වෙනස් කර ගැනීම ඔහුගේ ක්‍රමය යි.

උදාහරනයක් හැටියට, පසු ගිය ලෝක යුද්ධයෙන් පසු කාලය තුල විජිත රටවල ජාතික ධනේශ්වර නායකයන් විසින් ඉටු කරන ලද රැඩිකල් ක්‍රියා කලාපය අලුත් “කරුනක්” ලෙස සැලකූ සංශෝධනවාදියෝ මේ අලුත් “කරුනුවලට” ගැලපෙන ලෙස මාක්ස්වාදී න්‍යාය වෙනස් කර එම නායකත්වයන්ට මුක්කු ගැසූහ.

මීට පටහැනි ලෙස, ඊනියා “කරුනුවලින්” නො ව කම්කරු පන්තිය බලය කරා ගෙන යාමේ අවශ්‍යතාවෙන් පටන් ගෙන එම රැඩිකල් ක්‍රියා කලාපය විග්‍රහ කල මාක්ස්වාදීහු මේ රැඩිකල් පියවරයන් නිර්ධන පන්ති විප්ලවය රඳවා තැබීමට අධිරාජ්‍යවාදය විසින් යොදන ලද උපාමාරුවක් ලෙස සැලකූහ.

මාක්ස්වාදීන් “කරුනුවලට” අනුව හැඩ ගැසෙන්නවුන් නො වේ. අලුත් කරුනු හෝ අලුත් සිද්ධි ලෙසින් යථාර්ථයේ මතුපිට තලයේ අලුත් දෑ දෘශ්‍යමාන වත් ම, මතුපිටට යටින් පවතින පන්ති සටනේ කුමන වර්ධනයක් විසින් එම “කරුනු” ඇති කරනු ලැබී දැයි සොයා යාම තුලින් පන්ති සටන වඩාත් සංයුක්තව ග්‍රහනය කර ගෙන ධනවාදය පෙරලා දැමීමට අවශ්‍ය න්‍යායික හා ප්‍රායෝගික අවි මුවහත් කර ගැනීම මාක්ස්වාදීන්ගේ කටයුත්ත වේ. මාක්ස්වාදී න්‍යාය සංවර්ධනය කෙරෙන්නේ එම ක්‍රියා දාමය තුලින් පමනි.

යථාර්ථයේ මතුපිට තලයේ දිස් වන විවිධ “කරුනුවලට” ගැලපෙන ලෙස තම “ක්‍රියාව” හැඩ ගස්වා ගැනුම අනුභූතිවාදී ක්‍රමය වන අතර මෙයට මාක්ස්වාදී විධික්‍රමයත් සමග කිසි ම සම්බන්ධයක් නැත. විප්ලවවාදී ක්‍රියාව හැසිරවෙන්නේ යථාර්ථයේ මතුපිට තලයේ දිස් වන කරුනුවලින් නො ව, සම්පූර්න යථාර්ථයේ වර්ධනය සම්බන්ධ නියාම ගැන ඇති වැටහීමෙනි. මාක්ස්වාදය අත හැර දමා “කරුනු” හෝ “සිද්ධිවලට” අනුකූලව තම “ක්‍රියාව” හසුරුවා ගන්නා ඇත්තට ම හැසිරවෙන්නේ ධනේශ්වර දෘෂ්ටීන්ගෙනි. මක් නිසා ද යත්, ධනේශ්වර සමාජයේ යථාර්ථයේ මතුපිට තලය හැම විට ම නිර්නය වන්නේ ධනේශ්වර දේශපාලනයෙන් හා ධනේශ්වර දෘෂ්ටීන්ගෙන් බැවිනි.

ජනතා විමුක්ති පෙරමුන “ලංකාවේ සුවිශේෂ තත්වයන්ට මාක්ස්වාදය ගැලපීම” යනුවෙන් ඇත්තට ම කරන්නේ ලංකාවේ සමාජ යථාර්ථයේ මතුපිට තලයේ දිස් වන දේවලට අනුකූලව හැඩ ගැසීම සඳහා මාක්ස්වාදය කප්පාදු කිරීම යි.

අප ඉහත දැක්වූ පරිදි, මාක්ස්වාදීන්ගේ කර්තව්‍යය වන්නේ ඒ ඒ රටවල “සුවිශේෂ තත්වයන්ට” අනුකූලව හැඩ ගැසීම නො ව, මේ සුවිශේෂ තත්වයන්ට යටින් ඇති මුලු ලෝකයට ම පොදු පන්ති සටනට මැදිහත් වී කම්කරු පන්තිය රාජ්‍ය බලය ඇල්ලීමේ එල්ලය කරා මෙහෙයවීම යි. යථාර්ථයේ මතුපිට තලයේ දිස් වන “සුවිශේෂ තත්වයන්” කෙලින් ම නිර්නයව ඇත්තේ ඒකාධිකාරි ධනවාදයෙනි.

කම්කරු හා ජනතා ව්‍යාපාරය තුල දැන් පවතින විඤ්ඤාන මට්ටම් හා මතිමතාන්තර සියල්ලක් ම ධනේශ්වර විඤ්ඤානය වන අතර මේ තත්වය සුවිශේෂ වුවත් නොවූවත්, ඊට “ගැලපීමට” හෝ ඊට අනුව හැඩ ගැසීමට මාක්ස්වාදී න්‍යායේ කිසි ම ඉඩක් නොමැත.

එනමුදු, මාක්ස්වාදය 'සංවර්ධනය” කිරීමේ නාමයෙන් ජනතා විමුක්ති පෙරමුන කරන්නේ එම විඤ්ඤාන මට්ටම්වලට අනුකූලව හැඩ ගැසෙමින් ජාත්‍යන්තර පන්ති සටනේ යථාර්ථයට පසුපස හැරවීම යි.

ඔවුන් තම ක්‍රියාවන් ආරම්භ කරන්නේ කම්කරු පන්තියේ හා ජනතා ව්‍යාපාරයේ දැන් පවතින විඤ්ඤාන මට්ටම් ස්ථිරසාර දේවල් ලෙස පිලිගැනීමෙනි.

කම්කරු පන්තිය ආර්ථික සටන්වල හිරව සිටීම නිසා, කම්කරු පන්තිය විප්ලවවාදී පන්තිය නො වෙතැයි නිගමනය කර ගෙන මධ්‍යම පන්තිකයන් තුල මතුපිටින් දිස් වන පෙරලිකාරිත්වයට අනුව හැඩ ගැසී ඇති ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලනය කම්කරු පන්තියේ දැන් පවතින විඤ්ඤානය වෙනස් කිරීමේ ප්‍රශ්නය මග හැර පලා ගොස් ඇත. කම්කරු පන්තිය තුල ඇති ධනේශ්වර විඤ්ඤානය වෙනස් කර සමාජවාදී විඤ්ඤානය ඇති කිරීම සඳහා කල යුතු සටන වෙනුවට මතුපිටින් විප්ලවවාදී ලෙස පෙනෙන මධ්‍යම පන්තික පෙරලිකාරිත්වය වැලඳ ගැනීම වෙන කිසිවක් නො ව, කම්කරු හා ජනතා ව්‍යාපාරය තුල දැන් පවතින තත්වය පිලිගෙන ඊට අනුකූලව ක්‍රියා කිරීමක් පමනි.

කම්කරු පන්තිය තුල පවතින ධනේශ්වර විඤ්ඤානය වෙනස් කිරීමට කරන සටනෙන් තම කටයුතු අරඹන මාක්ස්වාදියාගේ ක්‍රියා කලාපයේ සම්පූර්න අනෙක් පැත්ත මෙය යි.

කම්කරු පන්තියේ හා ජනතා ව්‍යාපාරයේ පවතින හැගීම් හා විඤ්ඤාන මට්ටම්වලින් තම කටයුතු අරඹන ජනතා විමුක්ති පෙරමුනේ “ක්‍රියාවල්” මේ නිසා ම ධනේශ්වර මහජන මතයේ ඇති වන ඉහල පහල යාම් සහ වෙනස් වීම් සමග ඒ මේ අතට පැද්දෙයි. මේ මහජන මතයට අනුව “ක්‍රියාව” වෙනස් කිරිමේ දී, එම වෙනස් කිරීම් යුක්ති සහගත කිරීම සඳහා “න්‍යායන්” ගොඩ නැගීම ජනතා විමුක්ති පෙරමුනේ ඉතා ම පැහැදිලිව දැකිය හැකි ලක්ෂනයකි.

පසු ගිය යූඇන්පී ආන්ඩු සමයේ අවසන් අදියරේ දී ලංකාවේ මධ්‍යම පන්තිකයන් පුරා පැතිර ගිය “ඒකාධිපති භීතියට” අනුකූලව හැඩ ගැසුනු ජනතා විමුක්ති පෙරමුන සන්නද්ධ විරෝධතා කැරලි තුලින් හෝ යූඇන්පිය ඒකාධිපති වීම නැවැත්වීමට යත්න දැරී ය.

මහ මැතිවරනයෙන් යූඇන්පිය පැරදීමෙන් පසු බලයට ආ තුන් හවුල් ආන්ඩුව වටා මහජන මතය ගොනු වත් ම ඊට අනුව හැඩ ගැසුනු ජනතා විමුක්ති පෙරමුන සමාජවාදය කරා පෙරට යන ලෙසත්, ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රය ජනසතු කරන ලෙසත් ආන්ඩුවෙන් ඉල්ලී ය.

මේ අවස්ථාවන් දෙකෙහි ම පන්ති සටනේ වර්ධනය මත පදනම්ව ධනේශ්වර රාජ්‍යයට විරුද්ධව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ ක්‍රියා මාර්ගයක් ඔවුන් ඉදිරිපත් කලේ නැත. හැම විට ම, යථාර්ථයේ මතුපිට තලයේ දිස් වන දැයින් දේශපාලනය අරඹන මොවුන්ගේ භාවිතය හැසිරවෙන්නේ පන්ති සටනේ අවශ්‍යතාවන්ගෙන් නො ව ජනතාව තුල තාවකාලිකව පවත්නා හැගීම්වලින් හා මතිමතාන්තරවලින් බව පෙන්වීමට එය ම හොඳ උදාහරනයකි.

ධනේශ්වර මහජන මතය සමග කෙසේ හෝ සම්මුතියක් ගැසීමට කැස කවන මේ දේශපාලනය හැම විටක ම යථාර්ථයේ මතුපිට තලයේ උද්ගත වන ඒ ඒ තත්වයන්ට හැඩ ගැසීමේ දේශපාලනයකි.

මාක්ස්වාදී න්‍යාය ගැන ඔවුන්ට ඇති පිලිකුලත්, ක්‍රියාවට දැමිය නොහැකි න්‍යායන් වැඩක් නැති බව ගැන ඔවුන් කරන ප්‍රකාශත් කෙලින් ම ගලා එන්නේ පවතින තත්වයට අනුකූලව හැඩ ගැසීමේ ඒ දේශපාලනයෙනි.

න්‍යාය 'ක්‍රියාවේ ” මට්ටමට ගෙන යා යුතු ය යනුවෙන් ජනතා විමුක්ති පෙරමුන ගසන පම්පෝරියේ ඇති ව්‍යාජ විප්ලවවාදී ස්වභාවයට යටත්ව දන නමා ඇති ලංකාවේ පැබ්ලෝවාදී සංශෝධනවාදීන් (තම්පෝ කල්ලිය) ජනතා විමුක්ති පෙරමුන විප්ලවවාදී සංවිධානයක් ලෙස බදා ගැනීමේ දී අනුගමනය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුනේ විධික්‍රමය වන ඒ අනුභූතිවාදී විධික්‍රමය ම ය.

පැබ්ලෝවාදී සංශෝධනවාදීන් කලකට ඉහත දී ලියොන් ට්‍රොට්ස්කි ආරම්භ කල හතර වන ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගයත්, විධික්‍රමයත් ඉවත ලූයේ යථාර්ථය තුල දිස් වන අලුත් තත්වයන්ට අනුව හැඩ ගැසීම සඳහා ය. ස්ටැලින්වාදය හා අධිරාජ්‍යවාදය යුද්ධයෙන් පසු කාලය තුල අත් කර ගෙන සිටි තාවකාලික ශක්තියට දන නමා, ස්ටැලින්වාදයේ විප්ලවීය වර්ධනයක් බලාපොරොත්තු වෙමින් ස්ටැලින්වාදී නිලධාරි තන්ත්‍රයටත් එමගින් අධිරාජ්‍යවාදයටත් අනුව හැඩ ගැසුනු මේ පැබ්ලෝවාදී සංශෝධනවාදය එදා පටන් මේ දක්වා ම කම්කරු ව්‍යාපාරය තුල මතු වුනු සෑම ප්‍රධාන ප්‍රශ්නයක දී ම ට්‍රොට්ස්කි වාදයේ හරයට ම විරුද්ධව ගොස් ඇත.

මේ විරුද්ධත්වය ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ප්‍රශ්නයේ දී ද වඩාත් නග්න ස්වරූපයකින් ඉස්මතු වී තිබේ.

එනමුදු ධනේශ්වර මහජන මතයෙන් නො ව පන්ති අරගලයේ සැබෑ අවශ්‍යතාවන්ගෙන් පටන් ගැනෙන ට්‍රොට්ස්කිවාදී දේශපාලනය න්‍යාය 'ක්‍රියාවේ මට්ටමට” ගෙන යන ව්‍යාපාරයක් නො වේ. න්‍යාය 'ක්‍රියාවේ මට්ටමට ගෙන යාම යනු, අප ඉහත දැක්වූ පරිදි, කම්කරු පන්තිය හා ජනතා ව්‍යාපාරය තුල දැන් පවතින විඤ්ඤාන මට්ටම්වලට ගැලපෙන සේ ක්‍රියා කිරීම යි. මාක්ස්වාදියා න්‍යායේ හා භාවිතයේ ඒකාග්‍රතාව අත් කර ගන්නේ ජනතා ව්‍යාපාරය තුල දැන් පවතින අදහස්උදහස්වලට ගැලපෙන සේ ක්‍රියා කිරීමට තත්වයන් සකසා ගැනීමෙන් නො ව දැන් පවතින විඤ්ඤාන මට්ටම් වෙනස් කිරීමට කරන සටන තුලිනි.

මේ සටන, එනම් විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ සටන “කට්ටිවාදී” වැඩක් ලෙස සලකා, කම්කරු ව්‍යාපාරය තුල ඇති ධනේශ්වර වෘත්තීය සමිති විඤ්ඤානයට කෙලින් ම යට වී සිටින ලංකාවේ පැබ්ලෝවාදීන් (තම්පෝ කල්ලිය) සුලු ධනේශ්වර රැඩිකල්වාදය ඉදිරියේ දන ගැසීම පමනක් ජනතා විමුක්ති පෙරමුන ගැන ඔවුන් ගෙන ඇති ආකල්පය පෙන්වයි.

විප්ලවය ගැනත්, ඇතැම් විට කම්කරු පන්තිය ගැනත්, පන්ති සටන ගැනත් ජනතා විමුක්ති පෙරමුන වරින් වර කියා ඇති දෑ ඉදිරිපත් කරමින් මේ පැබ්ලෝවාදීහු ජනතා විමුක්ති පෙරමුනට විප්ලවවාදී ලේබලයක් ඇලවීමට මහන්සි ගනිති.

අප මුලින් පැහැදිලි කල ජනතා විමුක්ති පෙරමුනේ විධික්‍රමය වන අනුභූතිවාදී විධික්‍රමය, අවස්ථාවාදී උපාමාරුවලට හා ප්‍රතිපත්ති විරහිත සම්මුතිවලට හැම විට ම දොර විවෘත කරන බැවින් ජනතා විමුක්ති පෙරමුන කම්කරු පන්තිය ගැන ඉඳහිට කරන කතාවලින් ඔවුන් මනින්ට යාම අතිශයින් ම මාරක වේ.

කම්කරු පන්තියේ ඇති වෙමින් යන දරුනු පෙරලිකාරිත්වයට අනුභූතිකව ප්‍රතික්‍රියා කිරීමක් ලෙස ජනතා විමුක්ති පෙරමුන කම්කරු පන්තිය ගැන කතා කල ද, ඔවුන්ගේ දේශපාලනය නිර්නයව ඇත්තේ කම්කරු පන්තියේ වෛෂයික අවශ්‍යතාවන්ගෙන් නො ව, ධනේශ්වර ක්‍රමය තුල ම කිසි යම් සමාජ ස්ථිරත්වයක් පවත්වා ගෙන යාමේ මධ්‍යම පන්තික අවශ්‍යතාවගෙනි.

උදාහරනයක් හැටියට, කීනකැලේ වතු කම්කරුවන් දෙදෙනෙකු මරා දැමීමට විරුද්ධව නෝවුඩ්හි පැවති රැස්වීමකට බාලා තම්පෝ හා ඩීඇම්කේ නායක ඉලන්චේලියන් සමග ජනතා විමුක්ති පෙරමුනේ විජේවීර ද සම්බන්ධ වූ අවස්ථාව මේ දේශපාලන අවස්ථාවාදයේ පැහැදිලි ප්‍රකාශනයක් හැටියට පෙන්විය හැකි ය.

කම්කරු පන්තිය තුල ඇති වී ගෙන එන දරුනු පෙරලිකාරිත්වයට අනුභූතිකව ප්‍රතික්‍රියා කර ඇති ජනතා විමුක්ති පෙරමුන, එම රැස්වීමට යාම ඔවුන් කම්කරු පන්තිය වෙතට හැරීමක් ලෙස පෙන්වීමට ලංකාවේ සංශෝධනවාදීන් උත්සාහ දැරුව ද ඇත්ත එය නො වේ. විජේවීර එම රැස්වීමට ගොස් ඉදිරිපත් කල අදහස් සියල්ල ම කම්කරු පන්තියට සතුරු, පන්ති සටන විරෝධතා සටන්වලට හැරවීමේ දේශපාලනය පදනම් කර ගත් ඒවා ය.

කම්කරු පන්තිය විප්ලවවාදී බලවේගය නො වෙතැයි සලකා වෘත්තීය සමිති සංවිධානයන් හා කම්කරු පන්තියේ අනෙකුත් පන්ති සංවිධානයන් නො තකා දේශප්‍රේමීන් එකතු කිරීමට පසු ගිය කාලයේ දී යොමුව සිටි ජනතා විමුක්ති පෙරමුනට දැන් කම්කරු පන්තිය තුල ඇති වී එන පෙරලිකාරිත්වය නො තකා හැරිය නොහැකි ය. වෘත්තීය සමිති ගැන හා ස්ට්‍රයික් සටන් ගැන මොනවා හෝ කතා කිරීමට ඔවුන්ට සිදුව ඇත්තේ ඒ නිසා ය. ඔවුන් වෘත්තීය සමිති ගැනත් ස්ට්‍රයික් සටන් ගැනත් ප්‍රකාශ කරන අදහස් මේ ලිපි මාලාව තුල දී අපි විග්‍රහ කර පෙන්වූයෙමු. දැනට කලකට පෙර වෘත්තීය සමිති ආදියට කිසි ම අවධානයක් යොමු නොකල මධ්‍යම පන්තිකයන් පිරිසක්, දැන් වෘත්තීය සමිති දෙසට හැරි වෘත්තීය සමිති විනාශ කර දැමීමේ ඉදිරි දර්ශනයක් ඉදිරිපත් කරන විට, ඔවුන් වෘත්තීය සමිති දෙසට හැරී තිබීම යන 'කරුන” වැලඳ ගෙන ඔවුන් විප්ලවවාදී දිශාවට විකාශනය වන බව කිව හැකි වන්නේ කිසි ම තත්වයක මතුපිටින් ඔබ්බට නොයන දේශපාලන මුග්ධයන්ට පමනි.

වතු කම්කරුවන් විනාශ කිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණ තම දේශන මාලාවන්හි සඳහන් කර ඇති දේවලට නෝවුඩ් රැස්වීමේ දී විජේවීර කියා ඇති දෑ පටහැනි නැත. කම්කරු පන්තිය ආරක්ෂාකාරී සටන්වල නිමග්නව සිටි පසු ගිය යූඇන්පී ආන්ඩු සමයේ දී මෙන් නො ව කම්කරු පන්තිය ප්‍රහාරාත්මකව පෙරට ඇදෙන මේ කාලයේ දී කම්කරු පන්තියට විරුද්ධව මධ්‍යම පන්තික රැඩිකල්වාදයේ ප්‍රහාරය වෙනත් ස්වරූපයක් ගෙන ඇත.

නෝවුඩ් රැස්වීම කම්කරු පන්තිය තුල ඉස්මතුව ඇති ඇත්ත ප්‍රශ්නය වන මේ ධනපති ආන්ඩුවට විරුද්ධව සටන් කිරීමේ ප්‍රශ්නය යට ගසා කම්කරු පන්තියේ යහපතට නීති පනවන ලෙස වර්තමාන ධනපති ආන්ඩුවට බල කිරීමට එකමුතු වූ දේශපාලන අවස්ථාවාදීන් පිරිසකගේ නාඩගමකි.

විජේවීර මේ රැස්වීමට සම්බන්ධ වූයේ, කම්කරු පන්ති පෙරලිකාරිත්වය ධනේශ්වරයෙන් ස්වාධීන වීමේ මාවතකට පිවිසීම වලක්වා ලීමට ඔවුන් ම ඉන්දීය ව්‍යාප්තවාදීන් ලෙස හංවඩු ගසන ඩීඇම්කේකාරයන් හා බාලා තම්පෝ බඳු වෘත්තීය සමිති අවස්ථාවාදීන් සමග ඉතා මත් ම අවස්ථාවාදී “මහජන පෙරමුනක්” ඇටවීමට ය.

ඒ ඒ අවස්ථාවන්හි දී කම්කරු ව්‍යාපාරය හා ජනතා ව්‍යාපාරය තුල උද්ගත වන තත්වයන්ට ඔවුන් කරන අනුභූතික ප්‍රතික්‍රියාවන් තැනෙන් තැනට වෙනස් වුව ද කම්කරු පන්තියට විරුද්ධව ධනේශ්වරයත් සමග අත්වැල් බැඳ ගැනීමේ ඔවුන්ගේ දේශපාලනය මේ සෑම තත්වයක් තුලින් ම නො නැවතී ගමන් කරමින් ඇත.

මේ මධ්‍යම පන්තික රැඩිකල්වාදය එබඳු අනුභූතික හැඩ ගැසීම් මාලාවක් තුලින් විප්ලවවාදී දේශපාලනය කරා විකාශනය වන්නක් නො වේ. රැඩිකල්වාදය විප්ලවවාදී ව්‍යාපාරයට අනුව හැඩ ගැසීමට දරන සෑම උත්සාහයක් ම එම රැඩිකල්වාදයේ අවශ්‍යතාවන්ට අනුව කම්කරු පන්තිය හැසිරවීමට ගන්නා උත්සාහයක් පමනක් වේ.

කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වය ගොඩ නැගිය හැකි වන්නේ මෙම රැඩිකල්වාදයත් සමග සම්මුති ගැසීමෙන් නො වේ.

ධනවාදයේ බලය පෙරලා දැමීම සඳහා සටනේ දී කම්කරු පන්තියට අත්‍යවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩ නැගෙන්නේ මාක්ස්වාදී න්‍යාය හා අපෝහක භෞතිකවාදී විධික්‍රමය සඳහා, ඒවායේ සතුරන්ට විරුද්ධව කල යුතු දැඩි අරගලය ඇතුලතිනි.

1917 දී රුසියාවේ ජය ගත් විප්ලවයේ ප්‍රධානතම පාඩම එය යි. බෝල්ෂෙවික් පක්ෂය රුසියානු කම්කරුවන් බලය කරා මෙහෙයවූයේ ජනතා ව්‍යාපාරයේ පැවති මතිමතාන්තරවලට ගැලපෙන සේ ක්‍රියාකාරී වීමෙන් නො වේ. බෝල්ෂෙවික් පක්ෂයේ වර්ධනය සිදු වූයේ නරෝද්නික්වාදයේ සිට රුසියානු මෙන්ෂෙවික්වාදයටත් මෙන්ෂෙවික්වාදය හා බෝල්ෂෙවික්වාදය අතරමැද වැනි වැනී සිටියවුන්ටත් දෙවන ජාත්‍යන්තරය තුල අවස්ථාවාදී දක්ෂිනාංශිකයන්ට හා මාධ්‍යමිකයන්ටත් විරුද්ධව දිගු කාලයක් තිස්සේ මාක්ස්වාදී න්‍යාය ගැඹුරු කිරීමට හා වැඩි දියුනු කිරීමට ගෙන යන ලද සටන් තුලින් පමනි.

එමෙන් ම, අදත් මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂය ගොඩ නැගෙනවා ඇත්තේ හුදු ක්‍රියාකාරිත්වය තුලින් හෝ 'ක්‍රියාවේ මට්ටමට න්‍යාය ගෙන යාම” යනුවෙන් හැඳින්වෙන ජනතා ව්‍යාපාරය තුල දැන් පවතින හැගීම්වලට හා මතිමතාන්තරවලට අනුව හැඩ ගැසීමෙන් හෝ නො වේ.

විප්ලවවාදී පක්ෂයේ සැබෑ වර්ධනය සිදු වනවා ඇත්තේ මාක්ස්වාදී න්‍යාය හා විධික්‍රමය රැකීමේ හා වැඩි දියුනු කිරීමේ න්‍යායික සටන් බිම මත ය.

ස්ටැලින්වාදයේ හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ න්‍යායික හා දේශපාලනික පරිහානියට විරුද්ධව, කම්කරු ව්‍යාපාරය තුල නව මාක්ස්වාදී නායකත්වයක් ගොඩ නගා කම්කරු පන්ති ව්‍යාපාරයේ නායකත්වය පිලිබඳ අර්බුදය විසඳීමට කැප වුනු ලියොන් ට්‍රොට්ස්කි ප්‍රමුඛ විප්ලවවාදීන් හතර වන ජාත්‍යන්තරය ගොඩ නැගීම සඳහා ආරම්භ කල සටන, මාක්ස්වාදී න්‍යාය හා විධික්‍රමය ආරක්ෂා කිරීමේ වැඩි දියුණු කිරීමේ එම සටන යි.

තුන් වන ජාත්‍යන්තරය ස්ටැලින්වාදීන් විසින් විනාශ කර දැමීමෙන් පසුව, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී අවශ්‍යතාවන් සපුරා ලීමට අරඹන ලද එම සටනට පිටින් මාක්ස්වාදය සඳහා කෙරෙන වෙනත් සටනක් මේ ලෝකයේ ඇත්තේ නැත.

ජනතා විමුක්ති පෙරමුන වැනි සුලු ධනේශ්වර සංවිධානයන්ගේ දේශපාලනයට ඇත්ත පිලිතුර සැපයෙනවා ඇත්තේ ද හතර වන ජාත්‍යන්තරය ගොඩ නැගීම සඳහා වන සටන තුලිනි. ට්‍රොට්ස්කිවාදයෙන් පලා ගිය පැබ්ලෝවාදී සංශෝධනවාදීන්, මධ්‍යම පන්තික රැඩිකල්වාදය සමග අරගලය අත් හැර දැමීම තුලින් ඔවුන් තව දුරටත් සංක්‍රමන ක්‍රියා මාර්ගය (හතර වන ජාත්‍යන්තරයේ ක්‍රියා මාර්ගය) මත පදනම් නොවූවන් බව පෙන්වා හමාර ය.

එලඹෙන කම්කරු පන්ති පෙරලිකාරිත්වය මධ්‍යම පන්තික රැඩිකල්වාදය ඉමහත් අර්බුදයකට ඇද ලන අතර මේ දේශපාලනයට මුක්කු ගැසූ පැබ්ලෝවාදීන්ගේ අර්බුදය ද උග්‍ර කරනු ඇත.

කම්කරු පන්තිය මධ්‍යම පන්තීන්ට හා ඒවායේ දේශපාලනයන්ට යටත් කිරීමට විරුද්ධව විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ගෙන ගොස් ඇති හා ගෙන යමින් සිටින ස්ථිර සප්‍රතිපත්තික දේශපාලනය ඉමහත් ජයග්‍රහනයන් අත් කර ගනිමින්, ලංකාව තුල හතර වන ජාත්‍යන්තරයේ කොටසක් ලෙස විප්ලවවාදී පක්ෂය ගොඩ නගා, ලංකාවේ කම්කරු පන්තිය රාජ්‍ය බලය කරා මෙහෙයවීම ඉදිරි කාලය තුල දී යථාර්ථයක් බවට පත් කරනු ඇත.

Loading