කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැඳින්වීමක් - සුමනසිරි ලියනගේ

මාක්ස්වාදය විකෘත කිරීමේ ව්‍යාජ-වාම ප්‍රයත්නයක්

සුමනසිරි ලියනගේ විසින් රචිත කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැඳින්වීමක් නමැති ග්‍රන්ථය මේ වසර මුලදී නිකුත් විය.

එය, ප්‍රාග්ධනය කෘතිය සම්පාදනය කිරීමෙන් කාල් මාක්ස් ඉටුකල දැවැන්ත විප්ලවවාදී කාර්යභාරය, ධනවාදී ආර්ථිකය පිලිබඳ අසම්පූර්න විවේචනයක් ලෙසට පිරිහෙලීමට සහ මාක්ස් සිය කෘතිය පාදක කල අපෝහක භෞතිකවාදී විධික්‍රමය ව්‍යාකූල කිරීමට ගත් ප්‍රයත්නයකි.

සුමනසිරි ලියනගේ -[facebook.jpg]

ලියනගේ, තම කෘතියේ අරමුන පහත දැක්වෙන ලෙස සාරාංශ ගත කරයි:

“ප්‍රාග්ධනයට ලියූ මේ කෙටි හැඳින්වීම විශේෂ සැලකිල්ලකින් අවධාරනය කරන්නට තැත් කල කරුන වූයේ ධනේශ්වර ක්‍රමය ආර්ථික, සමාජ හා දේශපාලන ක්‍රමයක් ලෙස නිරන්තරයෙන් පරස්පර විරෝධතාවන්ගෙන් ගහන බවත් අර්බුදයනට ගමන් ගන්නා බවත් එම නිසා එය පෙරලා දැමිය යුතු බවත්‍ ය.” (කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැඳින්වීමක්, සුමනසිරි ලියනගේ, පිට 127)

මෙය අභූතයකි. කාල් මාක්ස් සිය ප්‍රාග්ධනය කෘතියේ පලමුවන වෙලුමෙහි ජර්මානු සංස්කරනයට ලියූ පෙරවදනේ සඳහන් කර ඇති පරිදි, '...මෙම කෘතියේ අවසන් අරමුන වන්නේ නුතන සමාජයේ චලනයෙහි ආර්ථික නියාමය හෙලිදරව් කිරීමයි...'. මාක්ස් ප්‍රාග්ධනය තුලින් පැහැදිලි කර ඇත්තේ ධනේශ්වර පද්ධතිය පෙරලා දැමීම ඓතිහාසික අවශ්‍යතාවක් බව සහ එම අවශ්‍යතාවයේ විද්‍යාත්මක පදනම යි.

කාල් මාක්ස් සිය ප්‍රාග්ධනය කෘතියේ පලමුවන වෙලුමෙහි පිටකවරය-Capital first Book Cover:

කොටින් කියතොත්, එය, ධනේශ්වර සමාජයේ 'චලනයේ නියාමය' ද, ධනවාදය විසින් නිර්මානය කර තිබෙන සමාජ ව්‍යසනයේ හේතු සහ සුරාකෑමෙන් විමුක්ත වූ ලෝකයක් තහවුරු කිරීමට සමාජවාදය සඳහා අරගලයේ අවශ්‍යතාවය ද විදාරනය කොට පෙන්වූයේය. මාක්ස්, එමගින්, සමාජවාදය, එය පිලිබඳව පැවති මනෝරාජික අපේක්ෂාවෙන් ගලවා විද්‍යාත්මක පදනමක පිහිටුවූයේය.

ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමට අවශ්‍ය වන්නේ, එහි පරස්පර විරෝධතාවයන් තියුනු වීමෙන් ගැඹුරුවන අර්බුදය මඟින් රුදුරු ලෙස පීඩාවට පත් කරනු ලබන ලෝක කම්කරු පන්තිය ප්‍රමුඛ වැඩ කරන ජනතාවට යි. මාක්ස්ගේ ව්‍යායාමය වන්නේ ඒ් සඳහා ලෝක කම්කරු පන්තියට අවශ්‍ය සමාජවාදී-විප්ලවවාදී ඉදිරිදර්ශනය සම්පාදනය කිරීමයි.

ලියනගේ ලියන ඉහත වැකි හුදු නොතේරුම් කමක් හෝ අතපසු වීමක් නොව ව්‍යාජ වමේ නියෝජිතයකු විසින් කරනු ලබන දැනුවත් විකෘතියකි. එය මාක්ස්ගේ විප්ලවවාදී කාර්යභාරයෙන් ඔහු ඉවත් කිරීම සඳහා සූක්ෂමව යොදා ගන්නා උපක්‍රමයකි. ඒ් මඟින් ඔහු මාක්ස්ගේ වෙලුම් තුනක් ලෙස ප්‍රකාශයට පත්වී ඇති ප්‍රාග්ධනය කෘතියේ සමස්ත අන්තර්ගතයම විකෘත කිරීමේ හා ව්‍යාකූල කිරීමේ ප්‍රයත්නයක යෙදෙයි.

මාක්ස් ප්‍රාග්ධනය කෘතිය තුල ඉදිරිපත් කරන වැටුප් ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර පවතින අති මූලික පරස්පරයෙන් පැන නඟින අර්බුදය, ධනේශ්වර පද්ධතිය විසින්ම විසඳා ගනිමින් ධනපති ක්‍රමය ඉදිරියට ඇදෙන බව ඉදිරිපත් කිරීම ලියනගේ විසින් රචිත කෘතියෙහි මූලික ඉලක්කයක් වන බව පෙනේ.

මෙම කර්තව්‍යය සඳහා ඔහු හතරවන ජාත්‍යන්තරයේ ට්‍රොට්ස්කිවාදී ක්‍රියා මාර්ගය පාවාදුන් භ්‍රෂ්ඨයෙකු ලෙස, මයිකල් පැබ්ලෝ සමඟ සංශෝධනවාදී එක්සත් ලේකම් මන්ඩලයට නායකත්වය දුන් අර්නස්ට් මැන්ඩෙල් කැඳවා ගනියි.

මැන්ඩෙල්, දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිඡ්චේදය තුල ධනේශ්වර පාලනයේ යලි ස්ථාවර වීමට අනුගත වෙමින් ලෝක ධනවාදයේ බිඳවැටීමට තුඩු දුන් සහ කම්කරු පන්තිය විප්ලවවාදී අරගලවලට තල්ලු කල ප්‍රතිවිරෝධතා ජයගෙන ඇතැයි කියා සිටියේය. ඒබැවින් ඔහුගේ විශ්ලේෂනය යොමු වන්නේ සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික අවශ්‍යතාවයක් තවදුරටත් නොපවතින බව තහවුරු කිරීමට යි.

මැන්ඩෙල් ලියූ “ප්‍රමාද ධනවාදය (Late Capitalism) දෙවන ලෝක යුද්ධයෙන් පසු ධනේශ්වර ක්‍රමයේ ඇතිවූ වෙනස්කම් න්‍යායගත කරන මෙතෙක් පලවූ හොඳම විග්‍රහය ලෙස සැලකේ,” යැයි ලියනගේ සඳහන් කරයි. (කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැඳින්වීමක්, සුමනසිරි ලියනගේ, පිටුව 4)

මාක්ස් ගේ අර්බුද පිලිබඳ සටහන් ප්‍රධාන අර්ථකතන තුනකට සංශෝධනය කරමින්, “ආර්ථික අර්බුද ගැන මාක්ස්ගේ ලියවිලි ඇසුරෙන් සුසංවිහිත න්‍යායක් වියමන, මේ අදහස් සියල්ල සැලකිල්ලට ගනිමින් සහ ඒ් කරුනු සුසංයෝජනය කරමින් කල යුතු යැ”යි මැන්ඩල් යෝජනා කරන බව ලියනගේ පවසයි (ඉහත ග්‍රන්ථය, පිටුව 155). එය ඔහුගේ කෘතියේ කූටප්‍රාප්තියයි.

මැන්ඩෙල් ගේ “ප්‍රමාද ධනවාදයේ” අන්තර්ගතය වන්නේ, විසිවන සියවසේ මුල් භාගයේ ලෝක ප්‍රජාව කෲරතර ම්ලේච්ඡත්වයට ඇද ගෙන යාමට හේතු වූ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා--නිෂ්පාදන බලවේගවල සමාජීය වීම සහ පුද්ගලික අයිතිය අතරද ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය අතරද ප්‍රතිවිරෝධතා --අධිරාජ්‍යවාදී බලයන් විසින් විසඳාගත් නව අවධියකට ධනවාදය ලඟා වී ඇති බවයි.

ධනපති නිෂ්පාදන මාදිලිය තුල පවතින ප්‍රතිවිරෝධතා මඟින් එය බිඳ වැටීමට ලක් කරන අතර කම්කරු පන්තියට දේශපාලන බලය ලබා ගැනීමේ හැකියාව හා අවශ්‍යතාව ඇති කරන කොන්දේසි එමගින් අනිවාර්යයෙන්ම පැනනංවන්නේය යන මාක්ස්වාදී ඉදිරි දර්ශනය මැන්ඩෙල් ප්‍රතික්ෂේප කරයි. ධනවාදයේ අඛන්ඩ ශක්‍යතාවය මැන්ඩෙල් මෙන්ම ලියනගේ ද ඔජවඩවයි.

රාජ්‍ය ධනවාදය හා බහු ජාතික සමාගම් වැනි ප්‍රපංචයන් මඟින් “ප්‍රමාද ධනවාදය” සිය අභ්‍යන්තර අර්බුද විසඳා ගැනීමට දරන ප්‍රයත්නයන් හරහා ඉදිරියට ඇදෙන ආකාරය මැන්ඩල් සිය ප්‍රමාද ධනවාදය කෘතිය තුල ගෙන හැර දක්වන ආකාරය මෙසේය:

“ප්‍රමාද ධනවාදය තුල රාජ්‍යය ශක්තිමත් කිරීම, මේ අනුව, ප්‍රාග්ධනය වඩ වඩාත් පුපුරන සුලු අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ජය ගැනීමට එය දරන උත්සාහයේ ප්‍රකාශනයක් වන අතර ඒ සමගම එම උත්සාහයට අදාල අසාර්ථකත්වයේ ප්‍රකාශනයකි. අද නිෂ්පාදන බලවේගවල සමකාලීන තත්ත්වය සහ වෛෂයික සමාජගත ශ්‍රමය සමඟ සමපාත වන්නේ ලෝක ව්‍යාප්ත නිෂ්පාදකයින්ගේ එකතුවක් පමනි. එක් මට්ටමක තරඟය (එනම්, අරාජිකත්වය) අහෝසි කරන ඕනෑම 'අතරමැදි විසඳුමක්', ඉහල මට්ටමක වඩා විනාශකාරී බලයක් පමනක් ප්‍රතිනිෂ්පාදනය කරයි. ප්‍රමාද ධනේශ්වර රාජ්‍යය සම්බන්ධයෙන් මෙන්ම ප්‍රමාද ධනේශ්වර බහුජාතික ඒකාධිකාරයන් සම්බන්ධයෙන්ද මෙය සත්‍ය වේ.”

මාක්ස්, ලෙනින් හා ට්‍රොට්ස්කි ගේ පැහැදිලි කිරීම් සමඟ පවතින තම නො එකඟතාවය ව්‍යාකූල කිරීමේ අදහසින් සිය ලේඛනයන් ඉදිරිපත් කරන මැන්ඩෙල් 1968 දී ඉදිරිපත් කල ලේඛනයකින් සිය ‘නව ධනවාදය’ (පසුව ‘ප්‍රමාද ධනවාදය’ ලෙස දැක්වූ) වඩා සෘජු ලෙස මෙසේ පැහැදිලි කලේය;

“කෙසේ වෙතත්, 1929-32 මහා අවපාතයෙන් හෝ දෙවන ලෝක යුද්ධයෙන් ආරම්භ වී, ධනවාදය එහි වර්ධනයේ තුන්වන අදියරකට ඇතුලු වූ අතර, එය ලෙනින්, හිල්ෆර්ඩින් සහ වෙනත් අය විසින් ඒකාධිකාරී ධනවාදය ලෙස විස්තර කරන ලද ඒකාධිකාරී ධනවාදයට වඩා වෙනස් වූවා මෙන්ම 19 වැනි සියවසේ සම්භාව්‍ය නිදහස් තරඟකාරී (laissez-faire) ධනවාදයට වඩා වෙනස් විය.”

ධනපති නිෂ්පාදන මාදිලිය තුල අභ්‍යන්තරිකවම ගැබ්ව ඇති ඊට මලබෙරය හඬවන පරස්පරයන් ධනවාදයේ තුන්වන අදියර තුලින් සමහන් කරගනිමින් අර්බුද හරහා ධනවාදය ඉදිරියට ගමන් කරන බවට පල කරන මැන්ඩෙල්ගේ ඉදිරිපත් කිරීම ලියනගේ වැලඳ ගනියි.

ප්‍රාග්ධනය කෘතියේ මාක්ස් ඉදිරිපත් කල විද්‍යාත්මක විශ්ලේෂනයෙන් කොටස් ආකාරගතව සිය පොතට ඇතුලත් කරමින් තමන් එම විශ්ලේෂනය පිලිගන්නා බවක් හඟවන ලියනගේ, ධනපති ක්‍රමයේ බල පරාක්‍රමය පිලිබඳවත්, මාක්ස්ට ධනපති ක්‍රමය පූර්න විශ්ලේෂනයකට භාජනය කල නොහැකි වූ බවත් ඒ් සමඟම පවසයි. ඒ් මෙසේය;

“සමාජයේ මූලික ප්‍රතිරෝධතාවන් සැබවින්ම ජනනය වන්නේ හා වර්ධනය වන්නේ නිෂ්පාදන තලයේ බව ඇත්තකි. එහෙත් ධනේශ්වර ක්‍රමය ඊට සීමා වූ සරල ක්‍රමයක් නොවේ. දේශ සීමාවන් තරනය කොට ගමන් ගන්නා මේ සමාජ ක්‍රමයේ සියලු සංකීර්නත්වයන් විශ්ලේෂනයට ගෙන ඒ්මට මාක්ස්ට ඇවැසි වුවද, දරිද්‍රතාව හා අගහිඟකම්, නරක සෞඛ්‍ය සහ අකල් මරනය ඔහුට එම පරිශ්‍රමය සාක්ෂාත් කර ගැනීමට ඉඩ නොදුන්නේය.” (කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැඳින්වීමක්, සුමනසිරි ලියනගේ, පිට 113)

ඒතෙකුදු නොව මාක්ස්හට ධනවාදයේ අර්බුදය පිලිබද “සුසංවිහිත අර්බුද න්‍යායක්” ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර ඔහු කලේ “ධනේශ්වර ආර්ථික අර්බුද විශ්ලේෂනය සඳහා වැදගත් සටහන්” සිය ලියවිලි වල අන්තර්ගත කිරීම බව ලියනගේ පවසයි. (ඉහත ග්‍රන්ථය, පිටුව 154)

මාක්ස් විසින් “සුසංවිහිත අර්බුද න්‍යායක්” ඉදිරිපත් නොකලේ යැයි පවසමින් ලියනගේ උත්සාහ දරන්නේ, මාක්ස් ප්‍රාග්ධනය තුල ඉදිරිපත් කරන විශ්ලේෂනයන් අසම්පූර්න හා අසම්බන්ධිත බවත් එබැවින් එම විශ්ලේෂනය තුලින් ධනවාදය සිය අර්බුද හරහා ගමන් කරන්නේ කෙසේද යන්න පැහැදිලිකර නොමැති බවත් කියා පෑමටය.

තම ව්‍යායාමය වන්නේ, ධනවාදයේ පවතින ඒ් හෝ මේ “අර්බුද” පෙලගැස්වීම නොව, අපෝහක භෞතිකවාදී විධික්‍රමය මත පදනම්ව ධනේශ්වර සමාජයේ චලනය පිලිබඳ නියාමයන් හෙලිදරව් කරමින් එය පෙරලා දැමීමට අවශ්‍ය මඟපෙන්වීම බව මාක්ස් පැහැදිලි කරයි.

නිෂ්පාදන බලවේගයන්ගේ ඓතිහාසික සංවර්ධනයේ මට්ටම වෙනස් වනවිට සමාජ කොන්දේසි හා ඒ්වා පාලනය වන නියාමයන් ද වෙනස් වෙයි. මාක්ස් පෙන්වා දී ඇති පරිදි ඔහු තමන් වෙත පවරාගත් කටයුත්ත වූයේ ප්‍රාග්ධනයෙහි ආධිපත්‍යයෙන් පිහිටුවන ලද ආර්ථික ක්‍රමය මෙම දෘෂ්ඨි ආස්ථානයට අනුව නිරීක්ෂනය කිරීමේ හා පැහැදිලි කිරීමේ කර්තව්‍යයයි. ඔහු කරන්නේ සෑම නිරවද්‍ය විමර්ෂනයකටම ආවේනික පරිද්දෙන් දැඩි විද්‍යාත්මක ආකාරයකින් සිය අරමුන කරා යොමු වීමයි. එබඳු විමර්ෂනයක විද්‍යාත්මක වටිනාකම රැඳී පවතින්නේ, දෙනලද සමාජ ඓන්ද්‍රීයිකයක උපත, පැවැත්ම, සංවර්ධනය හා අභාවය සහ වඩා උසස් වෙනත් සමාජ ඓන්ද්‍රීයිකයකින් එය ආදේශ කිරීම හසුරුවන විශේෂ නියාමයන් අනාවරනය කිරීමෙහි බව ප්‍රාග්ධනය කෘතියේ පසුවදනෙක සඳහන් කෙරෙයි.

මාක්ස්ගේ විශ්ලේෂනයේ මෙම විද්‍යාත්මක අන්තර්ගතය පසෙකලා, පවතින නොයෙකුත් කරුනු උපුටා ගනිමින් “අර්බුද” න්‍යායන් තනා ගෙන එම අර්බුද හරහා ධනවාදයේ ගමන් මාවත විස්තර කිරීම සඳහා සිය පොතෙහි විශාල පදාසයක් ලියනගේ වෙන් කර තිබේ.

අර්නස්ට් මැන්ඩල්ට අමතරව ඔහුගේ කෘතියේ අගට අන්වර් ෂෙයික් ගේ “අර්බුද න්‍යායන්ගේ ඉතිහාසයට හැඳින්වීමක්” යන ලියවිල්ලක පරිවර්තනයක් (මෙය පරිවර්තනය කර ඇත්තේ ශාස්ත්‍රාලිකයකු වන කල්ප රාජපක්ෂ විසිනි) එකතු කර තිබේ.

ෂෙයික්, අර්බුද න්‍යායන් පිලිබඳ සිය ලියවිල්ල ආරම්භයේදී මෙසේ සඳහන් කරයි; “අප මෙම ලිපියේදී පරීක්ෂා කිරීමට උත්සාහ කරන්නේ ධනේශ්වර පද්ධතිය කලින් කලට රෝගී වන්නේ කෙසේද සහ එය පිටුපස වන හේතුව කුමක්ද යන්න පිලිබඳ විවිධ පැහැදිලි කිරීම්‍ ය.” (කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැඳින්වීමක්, සුමනසිරි ලියනගේ, පිටුව 161)

ෂෙයික්ගේ ලිපිය යොමු වන්නේ, “කලින් කලට රෝගී වීම” සිදු වුව ද ධනපති ක්‍රමය අඛන්ඩව ඉදිරියට ගමන් කරන බව තහවුරු කිරීමටයි. මෙලෙස පන්ති අරගලය පාර්ශ්වික සංසිද්ධියකට පිරිහෙලේ.

ඔහුගේ ලිපියේ අවසාන කොටසේ මෙසේ සඳහන් කෙරෙයි;

“ඉතිහාසය අපට උගන්වන්නේ ධනවාදයේ ආර්ථික හා සාමාජීය වියමන වරින් වර කැඩී බිඳී යාමකට යටත් වන බවයි. එවැනි කාලවකවානුවලදී පද්ධතියට ආවේනික සමාජ ආතතීන් පෙර නොවූ විරූ ලෙස, තියුනුව නැගී සිටියි. විවිධ ප්‍රධාන ප්‍රවාහයේ බූෂුවා වාගාලාප කෙමෙන් දුර්වල වෙතත්, සුපුරුදු වදන් නැවත සෙමෙන් මුමුනන්නේ මංමුලා සහගත තත්වයෙන් කෙමෙන් මිදී හුස්මක් ගැනීමටය. ඒතුල පන්තිවල අරගලය විවෘත වේ. (ඉහත පොත, පිට 226)

ලියනගේ හා ඔහු ඔජ වඩවන මෙම පුද්ගලයන් කියන ලෙසින් මාක්ස් සිය ප්‍රාග්ධනය කෘතියේ මුඛ්‍ය ඉලක්කය කර ගත්තේ, ප්‍රාග්ධනයේ “අර්බුද” න්‍යායක් ශාස්ත්‍රාලික තර්කයක් ලෙස ඉදිරිපත් කිරීමට නොවන බවත්, ඊට ප්‍රතිකූලව ධනේශ්වර ප්‍රාග්ධනයේ මූලික ගාමක බලවේගයන් විශ්ලේෂනය කිරීම මඟින් එම ක්‍රමයේ පවතින පරස්පරයන් එය අහෝසි කිරීමට මාවත විවෘත කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම බවත් ප්‍රාග්ධනය කෘතිය පිලිබඳව ඉහත උපුටා දැක්වුනු විවරනයෙන් සනාථ වේ.

මාක්ස් හුදෙක් අර්බුද ඇතිවීම පෙන්නුම් කලා නොව අර්බුද ඇතිවීම ධනවාදය තුල ප්‍රතිවිරෝධයන්ගේ ප්‍රකාශනයන් ලෙස ඔහු පෙන්වා දුන්නේය. ඔහු නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය පුද්ගලික අයිතිය අතර ඇති මූලික ප්‍රතිවිරෝධය සමාජවාදී විප්ලවයට කොන්දේසි නිර්මානය කරන බව මෙසේ පැහැදිලි කලේය:

“ධනේශ්වර නිෂ්පාදන රූපාකාරයෙන් පැනනැගි සහ එය කැටුව හා එය යටතේ විකසිත වූ ප්‍රාග්ධනයේ ඒකාධිකාරය, එම නිෂ්පාදන රූපාකාරයේම විලංගුවක් බවට පත්වෙයි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ මධ්‍යකරනය සහ ශ්‍රමයේ සමාජයීයකරනය අවසානයේ දී ඒවායේ ධනේශ්වර පිටකබොල සමග නොගැලපෙන ලක්ෂ්‍යයකට ලඟා වේ. පිටකබොල පුපුරා යයි. ධනේශ්වර පෞද්ගලික දේපල ක්‍රමයට ඇනය ගසනු ලබන අතර අත්පත්කර ගත්තවුන්ගෙන් අත්පත්කර ගනු ලැබේ.” (ප්‍රාග්ධනය, කාල් මාක්ස්, 1වන වෙලුම, ප්‍රොග්‍රෙස් පබ්ලිෂර්ස්, මොස්කව්, පිටුව 715)

ප්‍රාග්ධනය කෘතිය ප්‍රකාශනයත් සමඟ ධනේශ්වර සමාජයේ ගාමක නීති හෙලිදරව් විය; ධනපති පද්ධතිය මුදා හරින ලද සමාජ පරිහානියට හේතු හෙලිදරව් විය. එහි වඩාත්ම වැදගත් අංශය වූයේ සූරාකෑමෙන් තොර ලෝකයක් සඳහා වන සමාජවාදය සඳහා අරගලය, අපේක්ෂාවේ මනෝරාජ්‍යයෙන් විද්‍යාවක් බවට පරිවර්තනය වීමයි.

මාක්ස් සිය ප්‍රාග්ධනය කෘතිය තුල විශ්ලේෂනය කරන “අර්බුදයන්” මැද්දෙන් ධනවාදය සාර්ථකව ඉදිරියට ගමන් කරන බවට සපථ වන මැන්ඩෙල්, ෂෙයික් හා ලියනගේ ඇතුලු සමාගමේ ව්‍යාජ-වාම නියෝජිතයින්ගේ ශබ්ද කෝෂ වලින් සමාජවාදය වැනි වචන පිටවීම අතිශයින්ම දුර්ලභ වන්නේ අහම්බයකින් නොවේ.

දේශපාලනිකව වංචාකාරී ලෙස ධනවාදය ආරක්ෂා කිරීමේ මෙවන් ප්‍රයත්නයන් මාක්ස් පැහැදිලි කරන්නේ මෙලෙසිනි;

“ප්‍රංශයේ හා එංගලන්තයේ ධනපති පන්තිය දේශපාලන බලය දිනා සිටියේය. එවක් පටන් පන්ති අරගලය න්‍යායිකව මෙන්ම ප්‍රායෝගිකවද වඩ වඩා උච්ඡ ස්වර හා තර්ජනාත්මක ස්වරූප ගත්තේය. විද්‍යාත්මක ධනේශ්වර ආර්ථික විද්‍යාවෙහි මල බෙරය එයින් වැයිනි. එවක් පටන් එය අර හෝ මේ න්‍යාය නිවැරදිද යන්න පිලිබඳ ප්‍රශ්නයක් නොවන නමුත් ප්‍රාග්ධනයට ප්‍රයෝජනවත්ද නැතහොත් හානිකරද? යෝග්‍යද? අයෝග්‍යද?දේශපාලන වශයෙන් අනතුරුදායකද? නැද්ද? යන ප්‍රශ්නයක් විය. උපේක්ෂාශීලී විද්‍යාත්මක විමර්ශකයින් වෙනුවට කුලියටගත් ත්‍යාගලාභී ශූරයෝ පැමිනියහ. නිර්ව්‍යාජ විද්‍යාත්මක පර්යේෂනය වෙනුවට නිදහසට කරුනු කියන්නන්ගේ නරක හෘද සාක්ෂිය සහ නපුරු චේතනා පිවිසියේය.” (ඉහත කෘතිය, පිටු 24-25)

මාක්ස් සඳහන් කරන මෙම කාරනාව එදාට මෙන්ම අදටද වලංගුවේ. ව්‍යාජ වමේ ඒ්ජන්තයින් වර්තමානයේ උත්සාහ දරන්නේ මරලතෝනි යෙන් ඇලලී ගොස් ඇති ධනවාදයේ ශක්‍යතාවය පිලිබඳ කුතර්කයන් ඉදිරිපත් කරමින්, ධනවාදය පෙරලා දමා සමාජවාදය ගොඩ නැඟීමට කම්කරු පන්තිය ගත යුතුව පවතින මූලිකත්වයට මඟ වැලහීමටයි.

කාල් මාක්ස් හා ෆ්‍රෙඩ්‍රික් ඒංගල්ස් නමැති විප්ලවවාදී සමාජවාදීන් හුදු විවේචකයින් හෝ විරෝධතාකරුවන් බවට පත් කරමින් ලියනගේ මෙසේ ලියයි; “මාක්ස් සහ ඔහුගේ මිතුරා සහ සහචින්තකයා වූ ෆ්‍රෙඩ්‍රික් ඒංග්ල්ස් හැම ආකාරයකම පීඩනයට මර්දනයට, සූරාකෑම ආන්තිකකරනයට සහ පරිසර විනාශයට එරෙහිව පෙනී සිටියහ.” (කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැඳින්වීමක්, සුමනසිරි ලියනගේ, පිට 3)

මෙම විප්ලවවාදීන් ධනපති ක්‍රමය විසින් ගෙන එන විනාශය පැහැදිලි කරනු ලැබුවේ හුදු විරෝධය පල කිරීමක් ලෙස නොවේ. මාක්ස් ප්‍රාග්ධනය ලිවීමේ කාර්යයට පිවිසුනේ ධනවාදය පෙරලා දමා මනුෂ්‍ය වර්ගයා සමාජයේ වඩා ඉහල ස්වරූපයක් කරා ඔසවා තැබීමට අවශ්‍ය න්‍යායික අවි වලින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට වෙර දරන විප්ලවවාදියෙකුගේ ආස්ථානයෙන් මිස හුදු ධනපති ක්‍රමයේ විවේචකයෙකු ලෙස නොවේ.

එබැවින් ප්‍රාග්ධනය යනු ධනේශ්වර ආර්ථිකය පිලිබඳ හුදු විවේචනාත්මක කෘතියක් නොව මෙම අරගලය කේන්ද්‍ර කර ගත් ව්‍යායාමයකි. කම්කරු පන්තිය ගතයුතුව ඇති විප්ලවවාදී ක්‍රියා මාර්ගය පැහැදිලි කරමින් සමාජය විද්‍යාත්මක සමාජවාදය මත ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව මත ලෝක කම්කරු පන්තිය සංවිධානය කිරීමේ ප්‍රථම පියවර ලෙස පලමු ජාත්‍යන්තරය සඳහා මූලිකත්වය ගත් ඔවුන් ඊට මඟ පෙන්වන විශ්ලේෂනාත්මක ක්‍රියා මාර්ගය ලෙස කොමියුනිස්ට් ප්‍රකාශනය ලිවූහ.

අතිරික්ත වටිනාකමේ රහස සොයාගැනීමේ සිට, අර්බුදවල නොවැලැක්විය හැකි බව මෙන්ම නිෂ්පාදන බලවේගවල වර්ධනය සහ වැටුප් ශ්‍රමය සහ භාන්ඩ නිෂ්පාදනය මත පදනම් වූ සමාජ සම්බන්ධතා අතර ගැබ්වන ප්‍රතිවිරෝධතාව ලාබ අනුපාතයේ පහත වැටීමට තුඩු දෙන ආකාරය හෙලි කිරීමට ප්‍රාග්ධනය කෘතිය තුල මාක්ස් සමත් විය. ධනේශ්වර ක්‍රමය පිලිබඳ මෙවන් විශ්ලේෂනයක් සපයන වෙනත් කෘතියක් නොමැති බව ඒම කෘතිය ලියා වසර 150ට වඩා ගතව ඇති තතු තුලත් අවිවාදිතය.

මාක්ස් නමැති විද්‍යාඥයා සහ මාක්ස් නමැති විප්ලවවාදියා වෙන් කල නොහැකි ය. ඇත්ත වශයෙන්ම, ඔහුගේ අතිවිශාල විද්‍යාත්මක ජයග්‍රහනවල පදනම වූයේ ඔහු ධනේශ්වර සමාජයට එරෙහි විප්ලවවාදියෙකු වූ නිසා, ධනේශ්වර ආර්ථික විද්‍යාඥයින් විසින් පවත්වාගෙන යනු ලබන ආර්ථික ප්‍රවර්ග 'ස්වාභාවික' නොවන බවත්, එබැවින් සදාකාලික නොවන බවත් අවබෝධ කර ගැනීම මත පදනම්ව, ඓතිහාසික සංවර්ධනයේ ප්‍රතිඵලය වෙත යොමුවූ බැවිනි.

ඒංගල්ස්, මාක්ස්ගේ අවමංගල්‍යයේදී පැවසූ ලෙස ධනවාදී වර්ධනයේ නීති නියාම පිලිබඳ විද්‍යාත්මක විශ්ලේශනයක් කිරීමේ අවශ්‍යතාව ඔහුට පැන නැගුනේ ඉහල මට්ටමේ සමාජ ක්‍රමයකට වර්ධනය වීමේ මාවත විවෘත කර ගැනීම සඳහා ධනවාදය පෙරලා දැමීමට අවශ්‍ය වන න්‍යායික ආයුධ කම්කරු පන්තියට ලබා දීමේ විප්ලවවාදී අවශ්‍යතාවයෙනි.

මාක්ස් විකෘත කිරීමට ලියනගේ දරන කූට ප්‍රයත්නය ප්‍රාග්ධනය කෘතියේ ඉදිරිපත් කෙරෙන මූලික විශ්ලේෂනයන්ටම ඉලක්ක කෙරේ.

අති මූලික වශයෙන්ම භෞතිකවාදියෙකුවූත් වඩාත් පැහැදිලි ලෙස අපෝහක භෞතිකවාදියෙකුවූත් මාක්ස්, ප්‍රාග්ධනය කෘතිය තුල සුවිශේෂව අවධානයට ලක් කරන වටිනාකම පිලිබඳ විශ්ලේෂනය මඩ කිරීම සඳහා චිත්‍ර ශිල්පියෙකුගේ ශ්‍රමය මිනිය නොහැකි බව පවසන ලියනගේ, සිය වටිනාකම පිලිබඳ න්‍යාය මාක්ස්ට එරෙහිව පිහිටුවන්නේ ග්‍රාම්‍ය විඤ්ඤානවාදියෙකු වන නලින්ද සිල්වාගෙන්ද උපුටා ගනිමිනි.

ඔහු මෙසේ පවසයි; “‘වටිනාකම’ කිසියම් පාරභෞතික දෙයක් ලෙස යමෙකුට පෙනුනොත් එය පුදුමයක් නොවේ. එය අපේ පංචේන්ද්‍රියට හසු නොවන්නේය. එම තේරුමෙන් ‘වටිනාකම’ අභෞතිකය. එහෙත් අප මීට පෙර දුටු පරිදි අභෞතික දෑ යථාර්තවාදී වන්නේය.” (ඉහත කෘතිය, පිටුව 52-53)

මෙහිදී පාද සටහනකින් නලින් ද සිල්වා මනස ඉන්ද්‍රියක් ලෙස දකින බව පවසන ලියනගේ, “එය අභෞතිකය. එහෙත් එය ක්‍රියාකාරී” යැයි පවසයි.

මාක්ස් සිය වටිනාකම පිලිබඳව කල විශ්ලේෂනයට මෙලොව සම්බන්ධයක් මෙහි නොපවතියි. වටිනාකම පිලිබඳ මාක්ස් ගේ පැහැදිලි කිරීමෙන් බිඳක් මෙසේය;

“ඔ්නෑම භාන්ඩයක වටිනාකමෙහි විශාලත්වය නිශ්චය කරන්නේ සමාජමය වශයෙන් අවශ්‍ය කෙරෙන ශ්‍රම ප්‍රමානය හෙවත් එහි නිෂ්පාදනය සඳහා අවශ්‍ය කෙරෙන ශ්‍රම කාලය බව එවිට අපට පෙනෙයි. මේ සම්බන්ධයෙන් සෑම තනි හුවමාරු භාන්ඩයක්ම එම ප්‍රවර්ගයට අයත් මධ්‍යන්‍ය නියැදියක් ලෙස සැලකිය යුතුය. ඒබැවින් සමාන ශ්‍රම ප්‍රමාන දේහගත වූ හෝ එකම කාලය තුල නිෂ්පාදනය කල හැකි හෝ හුවමාරු භාන්ඩ එකම වටිනාකමකින් යුක්තය. එක් හුවමාරු භාන්ඩයක වටිනාකම වෙනත් හුවමාරු භාන්ඩයක වටිනාකමට ඇති අනුපාතිකය, පලමුවැන්න නිෂ්පාදනය කිරීමටට අවශ්‍ය ශ්‍රම කාලය, දෙවැන්න නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ශ්‍රම කාලයට ඇති අනුපාතිකයමය. “වටිනාකමි මෙන්ම, සියලු හුවමාරු භාන්ඩ වනාහි කැටි කරන ලද ශ්‍රම කාලයෙහි නිශ්චිත ස්කන්ධයන් පමනි.”” (කැපිටාල්, කාල් මාක්ස්, 1වන වෙලුම, ප්‍රොග්‍රෙස් පබ්ලිෂර්ස්, මොස්කව්, පිටුව 47)

පංචේන්ද්‍රියට හසු නොවන බවට ලියනගේ පවසන වටිනාකම පංචේන්ද්‍රියට හසු වන ආකාරය පිලිබඳව මාක්ස් තව දුරටත් මෙසේ පවසයි;

“ඒබැවින් ප්‍රයෝජ්‍ය වටිනාකමට හෙවත් ප්‍රයෝජනවත් භාන්ඩයකට වටිනාකම ඇත්තේ වියුක්ත මානව ශ්‍රමය ඒය තුල දේහගතව හෝ ද්‍රව්‍යජව ඇති බැවිනි. ඒසේ නම් මෙම වටිනාකමෙහි විශාලත්වය මිනිය යුතු වන්නේ කෙසේද? සරලවම භාන්ඩයෙහි අන්තර්ගත ශ්‍රමය නමැති වටිනාකම නිර්මානය කරන පදාර්ථයෙහි ප්‍රමානයෙනි. කෙසේ වෙතත් ශ්‍රම ප්‍රමානය මනිනු ලබන්නේ එහි කාලයෙන් වන අතර ශ්‍රම කාලය සති, දින සහ පැය මඟින් ප්‍රමිතියට පත් කෙරෙයි.” (ඉහත කෘතිය, පිටුව 46)

ලියනගේ ලියා ඇති ග්‍රන්ථය පිලිබඳව වඩාත් උචිත වන්නේ, එවක ප්‍රාග්ධනය කෘතිය මරා දැමීම සඳහා ධනපති පන්තියේ ප්‍රකාශකයන් දැරූ උත්සාහය පිලිබඳව මාක්ස් ප්‍රාග්ධනයේ දෙවන ජර්මානු සංස්කරනයට ලියූ පසුවදන තුල කල පහත දැක්වෙන පැහැදිලි කිරීමයි;

“මා විසින් ඉහතදී පල කල කෘති සම්බන්ධයෙන් ඔවුන්ට කල හැකිවූ පරිද්දෙන්ම නිහඬතාවයෙන් ප්‍රාග්ධනය මරා දැමීමට ජර්මානු ධනේශ්වර පන්තියේ වියත් හා අවියත් ප්‍රකාශකරුවෝ මුලදී තැත් කලහ. එසමයෙහි පැවති තත්වයට එම උපක්‍රම තව දුරටත් උචිත නොවන බව දැන ගත් විගසම ඔවුහු මගේ පොත විවේචනය කිරීමේ මුවාවෙන් 'ධනේශ්වර මනස අස්වැසීම සඳහා' වට්ටෝරු ලිවූහ.” (ඉහත කෘතිය, පිටුව 26)

ලෝක සමාජවාදී විප්ලවයේ ප්‍රධාන බලවේගය වන ලෝක කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී යුද්ධයන්ට, කඩා වැටෙන ආර්ථිකයේ බර තමි මත පැටවීමට, පැතිරීම වලක්වා නැති වසංගතයට හා පරිසර විනාශයට එරෙහිව සටනට පිවිසෙමින් ඇති පසුබිම තුල සුමනසිරි ලියනගේ නම් ව්‍යාජ වමේ නියෝජිතයාගේ උත්සාහය ඊට සමගාමීවේ.

ලියනගේ පොතෙහි හැඳින්වීම තුල සඳහන් කරන්නේ එහි අපේක්ෂිත පාඨකයන් වන්නේ “කම්කරු පන්තිය හා සමාජ පහත මාලයේ ජනතාව” බවයි. මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය, විප්ලවවාදී ජවයෙන් බැහැර කල ව්‍යාකූල කෘතියක් බවට පිරිහෙලා, සමාජයේ විප්ලවවාදී පන්තිය වන කම්කරු පන්තිය හා එහි නායකත්වය මත සංවිධානය විය යුතු ගොවීන් ඇතුලු පීඩිත ජනයා හට පිලිගැන්වීම ලියනගේ පවරාගෙන ඇති කර්තව්‍ය යි.

කාල් මාක්ස්ගේ කාර්යභාරය විකෘත කිරීමට ලියනගේට අවශ්‍යව ඇත්තේ ඇයිද යන්න මොහුගේ දශක ගනනක දේශපාලන පැටිකිරිය සහ වත්මන් තියුනු ගෝලීය ආර්ථික-දේශපාලන අර්බුදය තුල ධනවාදයේ ශක්‍යතාවය ඔජ වැඩවීමේ ව්‍යාජ වමේ භූමිකාව තුලින් වටහා ගත යුතුය.

1964 දී සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට සම්බන්ධ වීමෙන් ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම විවෘතව පාවා දුන්නාවූත් ඉන් අනතුරුව 1970 දී දෙවන බන්ඩාරනායක ආන්ඩුවට සම්බන්ධවී කම්කරු පන්ති විරෝධී වාර්ගික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූවාවූත් ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) සාමාජිකයෙකු ලෙස දිගටම සිටි සුමනසිරි ලියනගේ ලසසපයෙන් කැඩී ගියේ එය කම්කරු පන්තියේ අතිමහත් බහුතරයකගේ වෛරයට ලක් වීමෙන් අනතුරුව පමනි.

ලසසපයෙන් ඉවත් වීම ඔහුගේ අවස්ථාවාදී ගමන් මග වෙනස් කලේ නැත. ඒ් වෙනුවට, “නව” යන්න මුලට දමා ගනිමින් ලසසපයේ පන්ති සහයෝගීතා දේශපාලනය ඉදිරියට ගෙන යාමට 1978 දී බිහි කල නව සමසමාජ පක්ෂයේ (නසසප) නිර්මාතෘවරයෙකු බවට ඔහු පත් විය. ඔහු පසුව නසසපයෙන් ඉවතට ගිය අතර යලිත් ලසසපයට එක්විය.

1991 සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු ලියනගේ, මාක්ස්ගේ 'පිලිගත් සමාජවාදය' 'යල් පැන ගිය' බව ප්‍රකාශ කරමින් තව දුරටත් දකුනට ඇදී ගියේය.

ලියනගේ විසින් 2018 දී පල කල කෘතියක හැඳින්වීමේ ඔහු මෙසේ සදහන් කර තිබේ;

“මුලු ලොවම වෙව්ලුවාලූ නැගෙනහිර හා මධ්‍යම යුරෝපයේ සිදුවූ සමාජ භූමි කම්පාව (ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් සෝවියට් සංගමය බිඳ විසිරවීම ලියනගේ ස්වාභාවික විපතකට සම කරයි) විසින් අසුරු සැනින් මා ලෙනින්වාදී මාක්ස්වාදියෙකුගෙන් නිර්-ලෙනින්වාදී මාක්ස්වාදියෙකු බවට පරිවර්තනය කෙරිනි.” (ලෙනින් විසින්, සුමනසිරි ලියනගේ, පිට 2)

වත්මන් පොතෙන් යලිත් තහවුරු වන්නේ ඔහුගේ නිර්-මාක්ස්වාදී බවයි.

වැඩි දුර අධ්‍යයනය සඳහා

Capital(ප‍්‍රාග්ධනය ) ග‍්‍රන්ථය පල කිරීමේ 150 වැනි සංවත්සරය

Loading