ඉදිරිදර්ශන

රෆා සමතලා කිරීමට වොෂින්ටනය තවත් නගර-නාශක බෝම්බ ඊශ්‍රායලයට යවයි

[මෙය Washington sends Israel more city-busting bombs to level Rafah යන මැයෙන් 2024 මාර්තු 29 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි]

රාත්තල් 2,000ක දැවැන්ත බෝම්බ 1,800කට අධික ප්‍රමානයක් ඇතුලු තවත් ආයුධ තොගයක් ගාසා ජන සංහාරයේ භාවිතය සඳහා ඊශ්‍රායලයට යැවීමට බයිඩන් පරිපාලනය අනුමත කර ඇති බව, සිකුරාදා වොෂින්ටන් පෝස්ට් වාර්තා කලේය.

2023 නොවැම්බර් 1 වැනි බදාදා, උතුරු ගාසා තීරයේ, ජබාලියා සරනාගත කඳවුරට එල්ල කරන ලද ඊස්රායල ගුවන් ප්‍රහාර වලට ඉලක්ක වූ ගොඩනැගිලිවල සුන්බුන් අතර පිරිසක් සැරිසරද්දී මිනිසෙක් ගල් කැබලි මත වාඩි වී සිටී. (ඒපී ඡායාරූප/අබෙඩ් කලීඩ්)

රෆා මත ඊශ්‍රායල ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා ඉහල මට්ටමේ එක්සත් ජනපද-ඊශ්‍රායල හමු මාලාවකින් පසු, මිලියන 1.5කට අධික ජනතාවක් අමානුෂීය කොන්දේසි තුල එකට සිරවී සිටින නගරය සමතලා කිරීමට කොල එලිය දල්වමින් වොෂින්ටනය ඊශ්‍රායලයට පැහැදිලි පනිවිඩයක් යවයි.

රාත්තල් 2,000ක් බරැති මෙම බෝම්බ දෙවන ලෝක යුද සමයේදී, සමස්ත නගර කැබලි (city blocks - නගරයක පිහිටි, වීදි වලින් වටවූ ඝෘජු කෝනාශ්‍ර බිම් කොටස්) සමතලා කල ඊනියා 'බ්ලොක්බස්ටර්' බෝම්බවලට සමාන වේ. ඉන් එකක් පුපුරුවා හල විට, අඩි 40 ක් දිගු ආවාටයක් සෑදෙන අතර, අඩි 1,200 ක අරීය ප්‍රදේශයක, නැතහොත් පාපන්දු පිටි 58 ක වපසරියක සිටින ජනයා ආබාධිත තත්වයට පත් කරයි; නැතහොත් මරා දමයි.

ඊශ්‍රායලය අද වන විට රාත්තල් 2,000 බෝම්බ සියගනනක් හෙලා ඇති අතර, ඒවා ගාසා තීරයේ බහුතරයක් නිවාස, පාසල්, ව්‍යාපාර සහ සිවිල් ආයතන ක්‍රමානුකූලව විනාශ කිරීමට ප්‍රධාන දායකත්වයක් සපයයි. මෙම ආයුධයේ භාවිතයන් අතර වඩාත්ම කුප්‍රකට වනුයේ, 400 කට අධික පිරිසක් ඝාතනය කරමින් හෝ තුවාල කරමින් ජබාලියා සරනාගත කඳවුර විනාශ කල ඔක්තෝබර් 31 ප්‍රහාරයයි. “අමතර හානි” (collateral damages- ඉලක්කයෙන් පිටත සිවිල් වැසියන්ට සහ දේපොල වලට සිදුවන හානි) සඳහා ඇති දැවැන්ත විභවය හේතුවෙන් මෙම බෝම්බ භාවිතය බොහෝ දුරට නවතා ඇතැයි ඇමරිකානු මිලිටරිය නාම මාත්‍රිකව පවසයි.

එහෙත් ගාසාවේ ජන ඝාතනය සහ එහි ගොඩනැගිලි නාශනය අනපේක්ෂිත ප්‍රතිවිපාකයක් නොව ගාසා තීරයේ එක්සත් ජනපද-ඊශ්‍රායල් ජන සංහාරයේ දැනුවත් අරමුනකි.

යුද්ධයේ මුල් මාස දෙක තුලදී, ඊශ්‍රායලය ගාසා තීරයට බෝම්බ ටොන් 25,000කට වඩා හෙලූ අතර එය 1945 හිරෝෂිමාවට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බයේ ප්‍රතිපලය මෙන් දෙගුනයකට සමාන වේ.

එක්සත් ජනපද මාධ්‍ය විසින් ඇමරිකානු සහ ඊශ්‍රායල ආන්ඩු අතර “දබරයක්” ලෙස හැඳින්වූ දෙයෙහි සැබෑ අන්තර්ගතය නවතම ආයුධ නැව්ගත කිරීම මගින් අනාවරනය කෙරේ. ධවල මන්දිරය නෙතන්‍යාහු ආන්ඩුව ප්‍රසිද්ධියේ විවේචනය කරනතාක් දුරට එය එසේ කරනුයේ, හැකිතාක් පලස්තීනුවන් මරා දැමීමේ හෝ අවතැන් කිරීමේ ඊශ්‍රායල ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ආවරනයක් සම්පාදනය කරදීමටයි.

මෙම සතිය මුලදී, ගාසාවේ සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය තුල ගෙන ආ යෝජනාව එක්සත් ජනපදය නිශේධ නො කලේය. එක්සත් ජනපදය යෝජනාව සම්මත කිරීමට ඉඩ දුන්නේ මන්දැයි පැහැදිලි කරමින් ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ, එහි “කවර හෝ බලපෑමක් නැති” බැවින්, එක්සත් ජනපදය එය නිෂේධ නොකලේ බවයි. “එය නොබැඳි යෝජනාවක් බව ඔහු වැඩිදුරටත් පැවසීය”.

ජනාධිපති ජෝ බයිඩන් සහ සෙනෙට් සභාවේ සුලුතර නායක චාල්ස් ෂුමර් විසින් නෙතන්‍යාහු ආන්ඩුව ගැන මෑතදී කරන ලද ප්‍රසිද්ධ විවේචනය අවධාරනය කරන මානසිකත්වය මෙයයි. බයිඩන් පරිපාලනය බලාපොරොත්තු වන්නේ එය “සටන් විරාමයකට” සහාය දෙන බව ප්‍රකාශ කිරීමෙන් සහ ගාසාවට වැඩියෙන් ආහාර යැවීමට ඉඩදෙන ලෙස ඊශ්‍රායල ආන්ඩුවෙන් ඉල්ලා සිටීමෙන්, ගාසාවට බෝම්බ හෙලීමට සහ එහි දේශසීමා අවහිර කිරීමට භාවිතා කෙරෙන ආයුධ ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සපයන බව ලෝක ජනතාවට අමතක කරවීමයි.

පලස්තීනුවන් 'මිනිස් තිරිසනුන්' ලෙස විස්තර කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොකාස් ගැලන්ට්, මෙම සතිය මුලදී, රෆා නගරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඇතුලු ප්‍රමුඛ එක්සත් ජනපද නිලධාරීන් හමුවීමට වොශින්ටන් ඩී.සී. වෙත ගියේය.

ගැලන්ට් සහ ඔස්ටින් අතර හමුවේ දී සාකච්ඡා කෙරුනු දෑ පිලිබඳ නිල ප්‍රකාශය තුල, “රෆාහි සිටින හමාස් බලඇනි පරාජය කිරීම” එක්සත් ජනපද හමුදාවේ අරමුනක් බව පැවසෙන එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වා තිබුනේ, රෆා නගරයට එල්ල කිරීමට යන ඊශ්‍රායලයේ සැලසුම් සහගත ප්‍රහාරය අනුමත කිරීමක් ලෙසිනි.

බදාදා වෝල් ස්ට්‍රීට් ජර්නලය, “වැසුනු දොරවල් පිටුපස, එක්සත් ජනපදය, රෆා මෙහෙයුම නැවැත්වීමටට නොව එය හැඩගැසීමට තල්ලුව දෙයි” යන සිරස්තල සහිත ලිපියක් පල කලේය. 'දකුනු ගාසාවේ ඊශ්‍රායලයේ සැලසුම්ගත මිලිටරි මෙහෙයුම පිලිබඳ සාකච්ඡා අවධානය යොමු කලේ එය නැවැත්විය යුත්තේ කෙසේද යන්න පිලිබඳව නොව, එය දියත් කිරීමේදී සිවිල් වැසියන් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිලිබඳව' බව ලිපිය පැහැදිලි කලේය.

සිවිල් වැසියන් 'ආරක්ෂා කිරීම' යන්නෙන් අදහස් කරන්නේ ඊශ්‍රායලය රෆා කුඩු කිරීමට පෙර ඔවුන් නගරයෙන් ඉවත් කිරීම බව එක්සත් ජනපද නිලධාරීන් පැහැදිලි කර ඇත. ඇමරිකානු මූලධර්මය නම්, වාර්ගික පවිත්‍රකරනයක් සමඟ ජන සංහාරය එකට යන තාක් එය පිලිගත හැකි බවයි.

ගාසාවේ ඊශ්‍රායලයේ ජන සංහාරය අද වන විට මිනිසුන් 32,000 කට වඩා මරා දමා ඇති අතර තවත් දහස් ගනනක් සුන්බුන් යට වැලලී ඇත, එයින් අදහස් වන්නේ සැබෑ මරන සංඛ්‍යාව 40,000 ඉක්මවිය හැකි බවයි. මිලියන 1.9 කට අධික ජනතාවක් අභ්‍යන්තරව අවතැන්ව සිටිති.

ඊශ්‍රායල අවහිර කිරීම් දිගටම පවත්වාගෙන යාම හේතුවෙන් ජීවතුන් අතර සිටින අය ක්‍රමානුකූලව හාමතට පත්කර ඇත. “මරනවල හා මන්දපෝෂනයේ සුවිසල් නැග්මකට” තුඩුදෙන “සාගතයක්' ගාසාව තුල 'ආසන්න” බව, එක්සත් ජාතීන්ගේ පිටුබලය ලත් සාගින්න පිලිබඳ නිල ගෝලීය ආයතනය, පසුගිය සතියේ ප්‍රකාශ කලේය.

මාස කිහිපයක් ඇතුලත, සමූහ සාගින්නෙන් සිදුවන මරන සංඛ්‍යාව ඊශ්‍රායල බෝම්බ සහ උන්ඩවලින් සිදුවන මරන සංඛ්‍යාව පවා ඉක්මවා යනු ඇතැයි විශේෂඥයෝ අනතුරු ඇඟවූහ.

ගාසානුවන් කුසගින්නෙන් මරනයට පත් කිරීම එක්සත් ජනපද-ඊශ්‍රායල යුද අරමුනු සාක්ෂාත් කර ගැනීමේ මාධ්‍යයක් ලෙස දකින එක්සත් ජනපදය එයට පූර්න සහයෝගය ලබා දෙන බැවින් ගාසා ජනගහනයේ සාගින්න දිගටම පවතී. ජනවාරි මාසයේ දී සහ මේ සතියේ දී දුන් තීන්දු මගින්, ගාසාවට ආහාර සැපයීමට ඉඩ දියයුතු යැයි ජාත්‍යන්තර අධිකරනය ඊශ්‍රායලයෙන් කල විධානයන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය නීතියෙන් 'බැඳී නැති' බවක් පෙන්නුම් කෙරේ. මන්දයත් එක්සත් ජනපදය ජාත්‍යන්තර අධිකරනයේ නීත්‍යානුකූලභාවය නොපිලිගන්නා බැවිනි.

වෙනත් වචන වලින් කිවහොත්, එක්සත් ජනපද ආන්ඩුව ජාත්‍යන්තර නීතියේ රාමුවට පිටින් සම්පූර්නයෙන්ම ක්‍රියාත්මක වන අපරාධ තන්ත්‍රයක් ලෙස ක්‍රියා කරයි. රුසියාව සමග එහි යුද්ධය සහ චීනයට එරෙහි මිලිටරි ප්‍රකෝපකරනයන් උත්සන්න කරද්දී, බයිඩන් පරිපාලනය ගාසාවේ පූර්වාදර්ශයක් තැබීමට උත්සාහ කරයි: මිලියන 2.2 ක සමස්ත ජනගහනයක් සමූලඝාතනය කිරීමෙන් හෝ අවතැන් කිරීමෙන් එය වැලකේ ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර අධිකරනය වැනි ධනේශ්වර ආයතන කෙරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් ජන සංහාරය නැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ යෝජනා වලට 'බැඳී නැති' බව ප්‍රකාශ කරන විට, එය ඇත්ත වශයෙන්ම, කටයුතුවල සැබෑ තත්වය විස්තර කරයි. ගාසා තීරයේ ක්‍රමානුකූල විනාශය නැවැත්වීමට එකදු දෙයක් කිරීමට හැකියාවක් හෝ කැමැත්තක් නොමැති බව මෙම ආයතන ඔප්පු කර ඇත.

පසුගිය මාස පහ තුල, ජන සංහාරයට එරෙහිව ලොව සෑම රටකම පාහේ මිලියන සංඛ්‍යාත ජනතාවක් පෙලපාලි ගොස් ඇත. එහෙත් මෙම පෙලපාලි මුහුනදී ඇත්තේ ගාසා තීරයේ සමූහ ඝාතනය තීව්‍ර කිරීමකට පමනි.

එක් කේන්ද්‍රීය පාඩමක් උකහා ගත යුතුය: ගාසා තීරයේ ජන සංහාරයට එරෙහි අරගලය, එම සංහාරයට ඉඩ සලසන අධිරාජ්‍යවාදී ආන්ඩුවලට එරෙහි, ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයේ ආන්ඩුවට එරෙහි අරගලයකි. පලස්තීන ජනතාවට එරෙහි ජන සංහාරය නැවැත්වීමට යුද්ධයේ සහ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ මූල හේතුව වන ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත සෑම රටකම කම්කරු පන්තියේ මහජන දේශපාලන බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

Loading