රුසියානු ජනාධිපතිවරනය සහ කම්කරු පන්තියේ කර්තව්‍යයෝ

(මෙය The Russian presidential elections and the tasks of the working class මැයෙන් 2024 මාර්තු 18දා පල කල ලිපියේ පරිවර්තනය යි.)

යුක්‍රේනයෙන් ලමුන් පැහැර ගැනීමට සම්බන්ධ වීමේ චෝදනාව මත, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් තමන් නිකුත් කර ඇතැයි, 2023 මාර්තු 17 සිකුරාදා ජාත්‍යන්තර අපරාධ අධිකරනය සඳහන් කලේ ය. (ඒපී ඡායාරූප/ගැව්රිල් ග්‍රිගොරොව්, ස්පුට්නික්, ඒපී හරහා ක්‍රෙම්ලින් ඡායාරූප එකතුව) [AP Photo/Gavriil Grigorov, Sputnik, Kremlin Pool Photo via AP]


මාර්තු 14-17 අතර පැවති රුසියානු ජනාධිපතිවරනයෙන්, 2000 වසරේ දී පලමු වරට ජනාධිපති ධුරයට පත් ව්ලැදිමීර් පුටින්, පස්වැනි ධුර කාලය සඳහා ජනාධිපති ලෙස තේරී පත්වුනි.

ධුරයට තරඟ කල අනෙකුත් අපේක්ෂකයන් අතර, අවසානයේ පුටින් පාලන තන්ත්‍රයේ ක්‍රියාවන්ට සහයෝගය දෙන, අධිරාජ්‍යවාදය සමග ගනුදෙනුවක් සඳහා වඩා විවෘත ව හා ශබ්ද නගමින් පෙනී සිටින නව ජනතා පක්ෂයේ ව්ලැඩිස්ලාව් දවන්කොව් සිටියේ ය. අනෙකුත් අපේක්ෂකයෝ පුටින් සමග කිසිදු ප්‍රධාන වෙනසක් වෙනුවෙන් කිසිදු හඬක් නැගුවේ නැත. ස්ටැලින්වාදී රුසියානු ෆෙඩරේෂනයේ කොමියුනිස්ට් පක්ෂයේ (සීපීආර්එෆ්) අපේක්ෂකයා වූ නිකොලායි කාරිතෝනොව්, විසිපස් වසරක් තිස්සේ පුටින් පාලන තන්ත්‍රය සඳහා තීරනාත්මක කුලුනක් ලෙස ක්‍රියා කර ඇති සීපීආර්එෆ්, පුටින්ගේ ජයග්‍රහනය ඔවුන්ගේ ම ජයග්‍රහනයක් ලෙස සාදරයෙන් පිලිගන්නා බව, ආරම්භයේ පටන් ම පැහැදිලි කලේ ය. අර්ධ-ෆැසිස්ට්වාදී රුසියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (එල්ඩීපීආර්) අපේක්ෂකයා වූ ලියොනිද් ස්ලුට්ස්කි, පුටින් පාලනයේ ප්‍රධාන ෆැසිස්ට්වාදී අමනයා වූ නැසී ගිය ව්ලැදිමීර් ශිරිනොව්ස්කිගේ වියැකෙමින් පවතින සෙවනැල්ලක් වූ අතර දිගට ම එසේ සිටී. නැටෝ පිටුබලය ලබන විරුද්ධ පක්ෂ අපේක්ෂකයා වූ බෝරිස් නදේෂ්දින් තරඟ කිරීම වලක්වන ලදී.

මැතිවරනය අරක්ගෙන තිබුනේ, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි නැටෝවේ තීව්‍ර වන වක්‍ර යුද්ධය විසිනි. මාසයකටත් අඩු කාලයකට පෙර, ප්‍රන්ස ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් නිවේදනය කලේ, නැටෝව යුක්‍රේනයට ඍජු ව යුදභටයන් යැවීම සාකච්ඡා කරමින් සිටින බව යි. පසුගිය වසරේ, යුක්‍රේන හමුදාවේ ප්‍රති-ප්‍රහාරය විනාශකාරී ලෙස ඇද වැටීමෙන් පසුව, නැටෝවට මෙම පියවර වඩ වඩා අවශ්‍ය වෙමින් පවතින අතර, එම ප්‍රති-ප්‍රහාරයේ දී කිසිදු ජයග්‍රහනයකින් තොර ව විශාල පරාජයන්ට යුක්‍රේනය මුහුන පෑවේ ය. මෙම බියකරු භාතෘ ඝාතක යුද්ධයෙහි පලමු වසර දෙක තුල, යුක්‍රේනියානුවන් 400,000ක් මැරී තවත් බොහෝ ගනනක් තුවාල ලබා ඇති බව තක්සේරු කෙරේ. රුසියානුවන් අතර මිය ගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව දැන් 100,000ට වඩා බොහෝ වැඩි විය හැකි ය.

මැතිවරනයට පෙර හා මැතිවරනය තුල දීම, රුසියානු භූමියට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කල නැටෝව, අවම වසයෙන් පුද්ගලයින් පහක් මරා දමා දුසිම් ගනනකට තුවාල සිදු කලේ ය. අඛන්ඩව සිදුවන ප්‍රහාර හේතුවෙන්, සමස්ත බෙල්ගොරොද් කලාපයේ පාසල් හා සාප්පු සංකීර්න අඟහරුවාදා (මාර්තු 12) සිට වසා දැමීමට බල කෙරුනි. සෙනසුරාදා, යුක්‍රේනයෙහි කීව් පාලනය සමගින් පෙලගැසී සිටින නව-නාසි හමුදා හා නැටෝව, දෙවන ලෝක යුද්ධයේ දී සෝවියට් සංගමයට සිදු කල නාසි ආක්‍රමනයෙන් මෙපිට පලමු වරට, රුසියානු භූමියට විදෙස් රටක යුද ටැංකි දිගේලි කිරීමේ නිරත වෙමින්, එරටේ දේශ සීමාවට කඩා වැදීමක් දියත් කල හ. එක්සත් ජනපද ඔත්තු සේවාවල හා ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන හොරනෑව වන නිව් යෝක් ටයිම්ස් පත්‍රය, ඔවුන්ගේ “නිර්භීත ප්‍රහාර” හේතුවෙන් මෙම ෆැසිස්ට්වාදීන් ව උත්කර්ෂයට නැංවූයේ “කැරලිකාරී රුසියානුවන්” ලෙස ය.

මැතිවරනයේ ප්‍රතිඵලයට නැටෝ-ගැති මාධ්‍යවල ප්‍රතිචාරය, ඒ හා සමාන ව යුදවාදී විය. අධිරාජ්‍යවාදී බලයන් ව්ලැදිමීර් පුටින්ගේ අඛන්ඩ පාලනය නො ඉවසන බවත්, තන්ත්‍ර-මාරුවක් සඳහා ඔවුන්ගේ ප්‍රයත්නයන් දෙගුන තෙගුන කරන බවත් කියමින්, බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය “පුටින්ගේ පස්වැනි ධූර කාලය” විස්තර කලේ “යුරෝපයට හා ලෝකයට තර්ජනයක්” ලෙස ය.

නැටෝවේ අත්‍යසාමාන්‍ය ආක්‍රමනශීලී උද්ඝෝෂනයට සාපේක්ෂ ව, නැටෝ පිටුබලය ලබන හමුදාවන් විසින් කරන තර්ජනයන්ට හා කඩාවැදීම්වලට පුටින්ගේ ප්‍රතිචාරය නිහඬ බවින් සලකුනු වී ඇත. රුසියාව තුල පලල් ලෙස ප්‍රසිද්ධ කරන ලද, පෙබරවාරි මුල එක්සත් ජනපදයේ අන්ත-දක්ෂිනාංශික මාධ්‍ය චරිතයක් ටකර් කාල්සන් සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී, “සාමකාමී සහජීවනය” සඳහා නැටෝ රටවල පාලක ප්‍රභූන්ට ආයාචනා කිරීම මත, පුටින් මුලුමනින් ම පාහේ නාභිගත විය. පෙබරවාරි 29දා ෆෙඩරල් මන්ත්‍රන සභාවට කල වාර්තාගත දීර්ඝ කතාවක දී, න්‍යෂ්ටික ආයුධ යොදාගැනීමේ තර්ජනය පුටින් යලි අවධාරනය කල ද නැටෝ යුදභටයන් යුක්‍රේනයට ඍජු ව දිගේලි කිරීම සඳහා නැටෝව කරන තර්ජනය ගැන සඳහන් කලේ ඉතා කෙටියෙනි. යලි වතාවක් ඔහු, සාකච්ඡා සඳහා අධිරාජ්‍යවාදී බලයන්ට ආයාචනා කලේ ය.

නැටෝවේ හෝ පුටින්ගේ තර්ජන හිස් වචන ලෙස ගත නො හැක. රුසියාවට එරෙහි ව තීව්‍ර කරන හා පලල් කරන අධිරාජ්‍යවාදී යුද්ධය, පැරනි සෝවියට් සංගමයේ ද සමස්ත ලෝකයේ ද කම්කරුවන්ට පැවැත්ම පිලිබඳ තර්ජනයක් ඉදිරිපත් කරයි. අධිරාජ්‍යවාදය විසින් ඉදිරිපත් කරනු ලබන තර්ජනය අවතක්සේරු කිරීම හෝ පාලක කතිපයාධිකාරයේ එක් හෝ තවත් කොටසකට න්‍යෂ්ටික විනාශයක් පෙරලොප් කල හැකි යයි විශ්වාසය තැබීම තරම් වෙන කිසිවක් අන්තරායකාරී නො වනු ඇත.

පුටින් පාලන තන්ත්‍රය: කතිපයාධිකාරයේ බොනපාට්වාදී පාලන තන්ත්‍රයක්

රුසියානු දේශපාලනයේ වර්තමාන තත්ත්වය ද යුක්‍රේනය තුල යුද්ධය ද අවබෝධ කරගැනීමේ පදනම රැඳී තිබෙන්නේ පසුගිය ශතවර්ෂයේ මූලික සිද්ධීන් තුල ය. 1917 ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන ස්ටැලින්වාදය විසින් පාවාදීමේ කුලුගැන්වීම වූ, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් සෝවියට් සංගමය විනාශ කිරීම, රුසියානු ෆෙඩරේෂනය ද ඇතුලු ජාතික ධනපති රාජ්‍යයන් 15කට උපත දුන් සිද්ධියක් විය.

රුසියානු කතිපයාධිකාරය එහි උත්පත්ති වේදනාවන් සම්බන්ධ කලේ, සෞභාග්‍යමත් ප්‍රජාතන්ත්‍රවාදී රුසියාවක් හා අධිරාජ්‍යවාදය පිලිබඳ සාමවාදී මායාවන් ගැන සටන් පාඨ සමගිනි. ඒ අතර ම, අධිරාජ්‍යවාදයේ ස්වභාවය පිලිබඳ “බොල්ශෙවික්වරුන්ගේ මායාවන්” යයි එය කියූ දෙය, එම කතිපයාධිකාරය විසින් හෙලා දුටුවේ ය. එහෙත්, ලියොන් ට්‍රොට්ස්කි 1936 දී ලියූ පාවාදුන් විප්ලවය කෘතිය තුල හා 1986-1991 සමයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ස්ටැලින්වාදයේ අර්බුදය තුලට කල මැදිහත් වීමේ දී සිදු කල සියලු අනතුරු ඇඟවීම්, ධනවාදය පුනස්ථාපනය කිරීමෙහි විනාශකාරී ප්‍රතිඵල විසින් මුලුමනින් ම සනාථ කර තිබේ.

ඉන්පසුව ගෙවී ගිය රුසියානු ධනවාදයේ වසර 33 තුල, මහජනයාට ලැබී ඇත්තේ සෞභාග්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය නො ව වැඩිදුර පීඩනය, අහස උසට නගින මට්ටම්වල සමාජ අසමානතාව හා ඒකාධිපති පාලනය යි. සියල්ලට ඉහලින්, ලොව පුරා අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ පුපුරා යාමක ආරම්භය සලකුනු කල ධනවාදයේ පුනස්ථාපනය, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි මුලුමනින් ම විවෘත යුද්ධය තුල කුලුගැන්වෙන අධිරාජ්‍යවාදයේ වැඩෙන ප්‍රහාරයකට සමස්ත පැරනි සෝවියට් සංගමය ම විවෘත කලේ ය.

කතිපයාධිකාරයේ අවශ්‍යතා ආරක්ෂා කරන බොනපාට්වාදී පාලන තන්ත්‍රයක් ලෙස, පුටින් පාලනය ඉස්මතු වූයේ මෙම කොන්දේසි යටතේ ය. පාවාදුන් විප්ලවය කෘතිය තුල ලියොන් ට්‍රොට්ස්කි විස්තර කල පරිදි:

“බොනපාට්වාදය ඉතිහාසයේ ඒ මොහොතවල දර්ශන පථයට ඇතුල් වන්නේ කඳවුරු දෙකේ තියුනු අරගලය රාජ්‍ය බලය ජාතියට ඉහලින් ඔසවා තැබීමත් සමග ය. මතුපිටින් පෙනෙන ආකාරයට එය පන්තීන්ගෙන් සම්පූර්නයෙන් ම ස්වාධීන ව පවතින බවට සහතික වෙයි. එහෙත් ඇත්ත වසයෙන් ම එය සහතික කරන්නේ වරප්‍රසාද ලත් ස්ථරයේ ආරක්ෂාවට අවශ්‍ය නිදහස පමනි. ...බොනපාට්වාදය වූ කලී, ධනවාදී පාලන තන්ත්‍රයන්ගේ තීරනාත්මක කාල පරිච්ඡේද තුල පාවිච්චියට ගැනෙන දේශපාලන අවි අතරින් එක් අවියකි.”

ට්‍රොට්ස්කි මෙසේ ඉදිරියට ගියේ ය:

“ඉතිහාසය දෙස් දෙන පරිදි, බොනපාට්වාදය සර්වජන ඡන්ද බලය පමනක් නො ව රහස් ඡන්ද ක්‍රමය සමග පවා ප්‍රශංසනීය ලෙස එක් ව ක්‍රියා කරයි. බොනපාට්වාදයේ ප්‍රජාතන්ත්‍රවාදී පිලිවෙත ජනමත විචාරනය යි. නායකයාට පක්ෂ ද විරුද්ධ ද? යන ප්‍රශ්නය කලින් කලට පුරවැසියන්ට ඉදිරිපත් කරනු ලැබේ. රිවෝල්වර කඳක් තම නලල් කෙලවරට එල්ල කොට තිබෙන්නාක් මෙන් ඡන්දදායකයාට දැනෙයි.”

ලියොන් ට්‍රොට්ස්කි

එහි ‌ඓතිහාසික සම්භවයන්ගෙන් හා සමාජ ක්‍රියාකාරීත්වයෙන් ගත් කල, පුටින් පාලන තන්ත්‍රය පැන නැගුනේ හා ක්‍රියා කරන්නේ, පලමුවත් ප්‍රමුඛවත්, කතිපයාධිකාරයේ වරප්‍රසාදවල ආරක්ෂකයෙක් ලෙස ය. ධනවාදය පුනස්ථාපනය කිරීම, ජනගහනය තුල පලල් මහජනයා අත්‍යසාමාන්‍ය දුගීකරනය කිරීමකට තුඩු දුන් අතර ම, රහස් ඔත්තු සේවය, කේජීබීය, නැගී එන ව්‍යවසායකයන් හා ඍජු අපරාධකාරයන් ද ඇතුලත් පැරනි නිලධරය වෙතින් බඳවාගත් තුනී කතිපයාධිකාර කල්ලියක්, මහා ධනස්කන්ධයන් ගොඩගසා ගත් හ. සමාජීය අතෘප්තියට ආයාචනා කිරීමට අනවරත ව උත්සාහ කරන පුටින්, මහජනයාගේ මිනිසෙකු ලෙස තමන්ව ම පෙරට දමා ගන්නා නමුත්, ඔහුගේ පාලන තන්ත්‍රය යටතේ, සත්‍ය වසයෙන් ම, සමාජ අසමානතාව යෝධ ලෙස වැඩී ඇත.

2000 දී පුටින් පලමු වරට බලය ගන්නා විට, ෆෝබ්ස් ලැයිස්තුවේ එක් රුසියානු බිලියනපතියෙක් වත් සිටියේ නැත. 2023 දී එය 83ක් විය. යුක්‍රේන යුද්ධය ඇරඹීමට වසරකට පෙර 2021 දී, කතිපයාධිකාරීන් 500ක් දෙනා -ඩොලර් බිලියන 640ක් නොහොත් සමස්ත කුටුම්බ ධනයෙන් සියයට 40ක්- ජනගහනයෙන් සියයට 99.8ට වැඩි ධනයක් පාලනය කල හ. අධිරාජ්‍යවාදී බලයන් සමග සාකච්ඡාමය විසඳුමක් සොයා ගැනීම සඳහා පුටින් පාලන තන්ත්‍රය වත්මනේ දී දරන මංමුලා සහගත ප්‍රයත්නයන්වල දී, එය කතා කරන්නේ මෙම සමාජ පන්තිය වෙනුවෙනි.

රුසියානු කතිපයාධිකාරයේ දෘෂ්ටියෙන් ගත් කල, බොනපාට්වාදී චරිතයක් ලෙස පුටින්ගේ සමාජ හා දේශපාලන ක්‍රියාකාරීත්වය වන්නේ, පලමුව ඔහු කම්කරු පන්තිය සහ කතිපයාධිකාරය අතරත්, දෙවනුව කතිපයාධිකාරයේ ම වෙනස් කන්ඩායම් අතරත්, තෙවනුව කතිපයාධිකාරයේ ජාතික හා ආර්ථික අවශ්‍යතා හා බටහිර අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා අතරත් මාධ්‍යයක් ලෙස ඔහු ක්‍රියා කිරීම ය. ඕනෑ ම බොනපාට්වාදී පාලන තන්ත්‍රයක් මෙන්, පුටින් තන්ත්‍රය ද ගැඹුරින් ම අස්ථාවර අර්බුද ග්‍රස්ත පාලනයකි. එය මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරන එම පන්ති, දේශපාලනික හා ජාත්‍යන්තර පරස්පර-විරෝධයන් විසින් ම එය අනිවාර්යයෙන් ම පුපුරුවා හරිනු ඇත.

අධිරාජ්‍යවාදයට හා “බහුධ්‍රැවීයත්වයට” පුටින්ගේ ආයාචනාවන්ගේ ආවෘත අන්තය

‌ෙඑතිහාසික ව හා ආර්ථික ව, පුටින් පාලන තන්ත්‍රයට හා සමස්තයක් ලෙස කතිපයාධිකාරයට, අධිරාජ්‍යවාදයෙන් නිදහසක් කිසි දිනක තිබුනේ නැත. සෝවියට් සංගමය විනාශ කිරීමේ දී, පැරනි ස්ටැලින්වාදී නිලධරයන් වැඩ කලේ, එක්සත් ජනපදයේ, ජර්මනියේ හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන්ගේ පාලක පන්ති සමග අතිනත ගෙන ය.

එක්සත් ජනපදය හා බටහිර යුරෝපය තුල ධනේශ්වර මාධ්‍ය පුටින් වනාහි “ඒකාධිපතියෙකු” ලෙස අඛන්ඩ ව හඬ තලද්දී, සත්‍යය වන්නේ 2000 වසරේ දී ඔහු පලමු වරට ජනාධිපති ධූරයෙහි ස්ථාපිත කරනු ලැබුවේ, කල් තබා ම පුටින් “මැතිවරනය ජයග්‍රහනය කරනු ඇතැ” යි යෙල්ට්සින් දැනුම් දුන් බිල් ක්ලින්ටන් යටතේ පැවති ධවල මන්දිරය හා බෝරිස් යෙල්ට්සින් අතර තිරයෙන් පිටුපස පැවති සාකච්ඡා හරහා බව යි. ජනාධිපති ලෙස කටයුතු කල පලමු ධූර කාලයේ දී, ඒකාබද්ධතාව පතා අධිරාජ්‍යවාදී බලයන්ට ආයාචනා කරනු වස් පසුපසට නැමුනු පුටින්, ඔහු ම පිලිගන්නා පරිදි රුසියාව නැටෝවට ඇතුලත් කිරීමට උත්සාහ කලේ ය. එහෙත්, අධිරාජ්‍යවාදයෙහි දෘෂ්ටි ආස්ථානයෙන් ගත් කල, කතිපයාධිකාරයේ කිසිදු යෝජනාවක් නොසෑහුනු අතර, සෑහීමේ හැකියාවක් ද නො වී ය. විසඳිය නො හැකි ජාත්‍යන්තර අර්බුදය විසින් ධාවනය කරන අධිරාජ්‍යවාදී බලයන්, සමස්ත කලාපය ම එහි පූර්න හා ඍජු පාලනයට යටත් කිරීමෙන් මෙපිට කිසිවකින් සෑහීමකට පත් නො වේ.

රුසියානු ජනාධිපති බෝරිස් යෙල්ට්සින් හා ජනාධිපති බිල් ක්ලින්ටන් 1995 දී නිව් යෝක් නගරයේ හයිඩ් පාක්හි එෆ්ඩීආර් පුස්තකාලයේ දී (ඡායාරූපය: ධවල මන්දිරයේ ඡායාරූප කාර්යාලය) [Photo: White House Photographic Office]


මෑත දී ටකර් කාල්සන් සමග පැවති සම්මුඛ සාකච්ඡාවේ දී, ගෙවී ගිය වසර 25 පුරා අධිරාජ්‍යවාදය කෙරෙහි තමන් අනුගමනය කල විදේශ පිලිවෙත පූර්න අසාර්ථකත්වයක් වූ බව පුටින් ඍජු ව පිලිගත්තේ ය. ඒ අතර ම, පුටින් කල දෙය වූයේ, මෙම දිශානතිය යලි යලිත් අවධාරනය කිරීම හා බටහිර ඒ ආකාරයෙන් හැසිරෙන්නේ මන්දැයි “මට තේරෙන්නේ නැහැ” යි අනවරත ව පුනරුච්ඡාරනය කිරීම යි. සම්මුඛ සාකච්ඡාව පිලිබඳ අපගේ ප්‍රකාශය තුල අප විස්තර කල පරිදි, අධිරාජ්‍යවාදයේ ස්වභාවය “අවබෝධ කර ගැනීමට” හිටපු කේජීබී නිලධාරියා දක්වන නොහැකියාව මුල් බැස තිබෙන්නේ, කතිපයාධිකාරයෙහි ‌ෙඑතිහාසික සම්භවයන් හා එහි සමස්ත සමාජ දෘෂ්ටිය තුල යි.

අධිරාජ්‍යවාදී බලයන් සමග ගනුදෙනුවක් කරා ලඟා වීමට දරන සිය ප්‍රයත්නයන්හි දී රුසියානු කතිපයාධිකාරය පිලිබිඹු කරන්නේ, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රයේ “සාමකාමී සහජීවනය” යන ප්‍රතිගාමී සංකල්පය යි. ඔක්තෝබර් විප්ලවය තුල පදනම් වූ සෝවියට් සංගමයේ විප්ලවවාදී හා ජාත්‍යන්තරවාදී පදනම් පාවාදීමේ දී, අධිරාජ්‍යවාදී බලයන් සමග එකඟතාවක් සොයා ගැනීමට උත්සාහ කල නිලධාරී තන්ත්‍රය, සෑම තැනක ම විප්ලවවාදී ව්‍යාපාරයන්වල ගෙල හිර කලේ ය.

හිටපු ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදී ටකර් කාල්සන්, 2024 පෙබරවාරි 6දා රුසියාවේ මොස්කව් අගනුවර ක්‍රෙම්ලින් මන්දිරයේ දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි (ඡායාරූපය ගැව්රිල් ග්‍රිගොරොව් විසිනි/ක්‍රෙම්ලිනය) [Photo by Gavriil Grigorov/Kremlin]


පුටින් පාලන තන්ත්‍රය විසින් “බහුධ්‍රැවීය”ලෝකයක් ඉදිරියට දැමීම පැන නගින්නේ මෙම සම්ප්‍රදායයෙනි. රුසියානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක ඉස්මතු වීමට තරම් වෙන කිසිවකට බිය නො වන ක්‍රෙම්ලිනය, අධිරාජ්‍යවාදී බලයන්ට ප්‍රති-භාරයක් තැනීමට සෑම තැනක ම ජාතිකවාදී පාලන තන්ත්‍රයට ආයාචනා කරමින් සිටින්නේ, සාකච්ඡා මේසයේ දී ඔවුන්ගේ ම කේවල් කිරීමේ හැකියාව ඉහල දමා ගැනීමට පමනි. මෙම ඉදිරි දර්ශනය හුදෙක් අභව්‍ය හා බංකොලොත් පමනක් නො ව වඩ වඩා යුද්ධ ද කැටි කරගෙන සිටී. 2023 ලෝසවෙඅ හා හජාජාක ජාත්‍යන්තර මැයි දින රැලියේ දී ඩේවිඩ් නෝර්ත් සඳහන් කල පරිදි,

...සාවද්‍ය න්‍යායික පදනම් පසෙක දමමින් “බහුධ්‍රැවීය” ලෝකයක් යථාවත් කර ගැනීමට, අද දින ආධිපත්‍යධාරී අධිරාජ්‍යවාදී බලය වන එක්සත් ජනපදය විසින් එය සාමකාමී ව පිලිගැනීම අවශ්‍ය වෙයි. මෙය යථාර්ථවාදී භව්‍යතාවක් නො වේ. එක්සත් ජනපදය “ඒකධ්‍රැවීය” ආධිපත්‍යය සඳහා කරන ධාවනයට බාධා කරන සියලු දේට එය සතු සියලු උපක්‍රම යොදාගෙන විරුද්ධ වනු ඇත. මේ අනුව, “ඒකධ්‍රැවීය” ලෝකයක් “බහුධ්‍රැවීය” ලෝකයකින් විස්ථාපනය කිරීමට දරන මනෝරාජික අභිලාෂය තුඩු දෙන්නේ, එහි ම ඇඹරුනු තර්කයට අනුව, තුන්වැනි ලෝක යුද්ධයට හා ග්‍රහලෝකය විනාශ කිරීමට යි.

රුසියානු කතිපයාධිකාරය තුල සිටින නැටෝ පිටුබලය ලබන විරුද්ධ පාර්ශවයේ ප්‍රතිගාමී ස්වභාවය

බෝරිස් නදේෂ්දින්, මිකායිල් කොදොර්කොව්ස්කි, නැසී ගිය ඇලෙක්සි නැවාල්නි හා ඔහුගේ වැන්දඹුව වන යූලියා නැවාල්නායා වැනි බලවේග, නැටෝ-ගැති මාධ්‍ය හා ව්‍යාජ-වම විසින් සාමය වෙනුවෙන් පෙනී සිටින්නන් හා පුටින්ට එරෙහි “ප්‍රජාතන්ත්‍රවාදී” විකල්පයන් ලෙස ඉදිරියට දැමීම, බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල (වයිජීබීඑල්) විසින් ප්‍රතික්ෂේප කරයි. කම්කරුවන්ගේ හා තරුන ජනයාගේ අවශ්‍යතා වෙනුවෙන් කතා නො කරන මෙම පුද්ගලයන් පෙනී සිටින්නේ, තමන්ගේ ම වැඩි දුර පොහොසත් වීමේ පදනම ලෙස කලාපය අධිරාජ්‍යවාදය විසින් කැබලි කිරීමක් දැක ගන්නා රුසියානු කතිපයාධිකාරයේ, රාජ්‍ය යාන්ත්‍රනයේ හා ඉහල මධ්‍යම පන්තියේ කොටස් වෙනුවෙනි. පුටින් පාලන තන්ත්‍රය පෙරලා දමා, එය අධිරාජ්‍යවාදයේ රූකඩ පාලනයකින් විස්ථාපනය කරනු වස් අධිරාජ්‍යවාදී බලයන් විසින් උපයෝගී කර ගැනීමට උත්සාහ කරන සමාජීය හා දේශපාලනික ඡන්දාසය මෙය යි.

මැතිවරනයේ දී, මෙම “විරුද්ධවාදීන්” මහජනයාට කැඳවුම් කලේ, ඉරිදා දහවල් ඊනියා “පුටින්ට විරුද්ධ මධ්‍යහනයේ” ඡන්ද පොලට ගොස් ඡන්දය අවලංගු කරන ලෙස යි. රුසියානු සමාජවාදී ව්‍යාපාරයේ පැබ්ලෝවාදීන් හා අනෙකුත් ව්‍යාජ-වාම බලවේගයන් මෙම කැඳවුමට සහයෝගය දුන්නේ ය. අපි එවන් විධික්‍රම ප්‍රතික්ෂේප කරමු. “පුටින්ට විරුද්ධ මධ්‍යහනය” වැනි ක්‍රියාවන් සේවය කරන්නේ, අත්අඩංගුවට ගැනීම හා අනෙකුත් රාජ්‍ය මර්දනයන්ට මහජනයා නිරාවරනය කිරීමට පමනි. නැටෝවේ යුද ප්‍රචාරන යාන්ත්‍රනයට අමු ද්‍රව්‍ය සම්පාදනය කරන ඔවුහු, කම්කරුවන් දේශපාලනික ව අධ්‍යාපනගත කිරීමට හා බලමුලු ගැන්වීමට කිසිවක් නො කරති. ඊනියා “ලිබරල් විරුද්ධ පාර්ශවයේ” ප්‍රතිගාමී අරමුනුවලට හා සමාජ පදනමට මෙය ගැලපෙයි.

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නැවාල්නිගේ බිරිඳ වන යූලියා නැවාල්නායා, 2024 පෙබරවාරි 19 සඳුදා බ්‍රසල්ස්හි යුරෝපා කවුන්සිල ගොඩනැගිල්ලේ දී බෙල්ජියානු විදේශ ඇමති හද්ජා ලාබිබ් මුනගැසෙද්දී කතා කරයි. (ඒපී ඡායාරූප/ යිවෙස් හර්මන්) [AP Photo/Yves Herman]


“සාමය” හා “ප්‍රජාතන්ත්‍රවාදය” පිලිබඳ ඔවුන්ගේ උද්ඝෝෂනය කවරක් වුව ද විරුද්ධ පක්ෂයේ ක්‍රියාමාර්ගය හා සමාජ බලවේග නියෝජනය කරන්නේ “සාමය” නො ව යුද්ධය යි: එනම්, ෆැසිස්ට්වාදී බලවේගවල ආධාරය සමගින් අධිරාජ්‍යවාදය විසින් සමස්ත කලාපය ප්‍රචන්ඩ ලෙස කැබලි කිරීම යි. වසර ගනනාවක් තිස්සේ ෆැසිස්ට් හා බෙදුම්වාදී ප්‍රවනතා සමග සබඳතා පවත්වාගෙන ගිය ඇයගේ මිය ගිය ස්වාමි පුරුෂයා වන නැවාල්නි මෙන් ම, නැවාල්නායා ද අධිරාජ්‍යවාදී බලයන්ගේ රූකඩයකි. රුසියාවට එරෙහි යුද ධාවනයට නායකත්වය දී ඇති හා සියොන්වාදී පාලන තන්ත්‍රය විසින් ගාසා තීරයේ පලස්තීන ජනයා සංහාරය ලක්කිරීමට අරමුදල් සපයමින් සිටින බයිඩන් පරිපාලනය ඇයට විවෘත ව සහයෝගය දෙයි.

“පුටින්ට විරුද්ධ මධ්‍යහන” ක්‍රියාවට සහයෝගය දුන් තවත් තැනැත්තෙක් වන කොදොර්කොව්ස්කි, රුසියාවේ පොහොසත් ම මිනිසා වූ අතර, 2003 දී පුටින් විසින් සිරගත කරන තෙක් රුසියාවේ තෙල් මූලාශ්‍රවල විශාල කොටසක් පාලනය කලේ ය. කුඩා රාජ්‍ය කැබලිති ඇටවීම හා අධිරාජ්‍යවාදී බලයන් සමග වඩා ඍජු සබඳතා ස්ථාපිත කර ගැනීම මගින් රුසියාවේ යෝධ සම්පත් මත වඩා ඍජු පාලනයක් අයත් කර ගැනීමට අපේක්ෂා කරන ප්‍රාදේශීය ප්‍රභූන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කතා කරන බෙදුම්වාදී හා ප්‍රාදේශීයවාදී ව්‍යාපාරවලට නැවාල්නි මෙන් කොදොර්කොව්ස්කි ද අනුමැතිය දෙයි. නැටෝ පිටුබලය ලබන විපාර්ශවයේ සිටින ඉල්යා පොනොමාරියොව් වැනි අනෙකුත් පුද්ගලයන්ට ද රුසියානු භූමියට කරන කඩාවැදීම්වලට සම්බන්ධ නව-නාසි පැරාමිලිටරි බලවේගයන් සමග ඍජු සබඳතා ඇත.

මෙම ප්‍රතිගාමී පුද්ගලයින්ට හා ඔවුන්ගේ “පුටින්ට විරුද්ධ මධ්‍යහනයට” අනුමැතිය දීම මගින්, රුසියානු සමාජවාදී ව්‍යාපාරය යන සංවිධානයේ පැබ්ලෝවාදීන් හා අනෙකුත් ව්‍යාජ-වාම බලවේගයන්, ඔවුන් ඔවුන්ට ම තමන් අධිරාජ්‍යවාදයේ හෙංචයියන් බව පෙන්වා දෙයි. පුටින් පාලන තන්ත්‍රයටත් යුක්‍රේනය තුල යුද්ධයටත් එරෙහි කම්කරු පන්තියේ අරගලය ඉදිරියට යා යුත්තේ මුලුමනින් ම වෙනස් මාවතක් වන පන්ති අරගලයේ මාවත ඔස්සේ ය.

පන්ති අරගලයේ තර්කනය

කතිපයාධිකාරයේ සියලු කොටස් තුල 1917 බොල්ශෙවික් විප්ලවයේ අවතාරය හොල්මන් කරයි. යුක්‍රේනය තුල යුද්ධය, පලමුවැනි ලෝක යුද්ධයට සමාන ව, මහජනයාගේ විප්ලවවාදී ව්‍යාපාරයකට අවසානයේ දී තුඩු දෙනු ඇතැයි යන්නට ඔවුහු අන් සියල්ලට වඩා බිය වෙති. කතිපයාධිකාරය හා රාජ්‍ය යාන්ත්‍රනය තුල නැටෝ පිටුබලය ලබන පුටින්ගේ හතුරන්ට වඩා නො අඩු ව මෙය ව්ලැදිමීර් පුටින්ට ද අදාල වෙයි.

ෆෙඩරල් මන්ත්‍රී මන්ඩලය අමතා පුටින් පැවැත්වූ වාර්තාගත දීර්ඝ කතාවේ දී, යුක්‍රේනය තුලට කරන නැටෝවේ ඍජු මැදිහත් වීමක හැකියාව ගැන ඔහු කලේ කෙටි සඳහන් කිරීම් පමනක් වුව ද “මහජනයාට හා ව්‍යාපාරවලට සහයෝගය දීම” ඉලක්ක කර ගන්නා ජාතික ව්‍යාපෘති පහක් හා පියවරයන් දුසිම් ගනනක් ගැන ඔහු දීර්ඝ ව කතා කලේ ය. 2030 වන විට, ජාතික ව්‍යාපෘති මත වියදම රූබල් ට්‍රිලියන 8ත් 15ත් දක්වා වනු ඇතැයි ඔහු පොරොන්දු විය. මෙහි අර්ථය වන්නේ, වසරකට රූබල් ට්‍රිලියන 1.4 සිට 2.5 දක්වා ඉහල යන රාජ්‍ය අයවැය මත අතිරේක බරකි. මෙම ව්‍යාපෘතිවලට අරමුදල් සැපයීමට තමන් සැලසුම් කරමින් සිටින්නේ කෙසේදැයි පුටින් විස්තර කලේ නැත. රුසියාව දැනට මත් අයවැය හිඟයකට මුහුන දෙමින් සිටී.

2021 වසරට සාපේක්ෂ ව රුසියාවේ මිලිටරි වියදම ආසන්න වසයෙන් තෙගුනයක් වීමට නියමිත බවත්, පලමු වතාවට සමාජ වියදම් ඉක්මවා යනු ඇති බවත් අපි මතකයට ගනිමු. ඔහුගේ වාචාල ජනතාවාදී පූච්චානම් කවරක් වුව ද එවන් මිලිටරි වියදමක් අඛන්ඩ ව පවත්වාගෙන යනු වස්, පුටින් පාලනය වැඩකරන ජනයාගේ මේ වන විටත් දරිද්‍ර වන සමාජ කොන්දේසිවලට එරෙහි ව, අනිවාර්යයෙන් ම ප්‍රහාරයක් දියත් කල යුතු ය. මතුපිට පෘෂ්ටයට යටින් වර්ධනය වෙමින් පැවතී ඇති අර්ථභාරී සමාජ ආතතීන් මෙමගින් වැඩි දුරටත් සංකීර්න කරනු ඇත.

2023 දෙවන අර්ධයේ දී, නිල දත්තවලට අනුව, රුසියානුවන්ගෙන් සියයට 10.2ක් ජීවත් වූයේ, සතියක ආදායම රූබල් 14,000ට (ඩොලර් 155ක් පමන) නොවැඩි ආදායමකින් හෙයත් දරිද්‍රතා රේඛාවට පහලිනි. එනම් ආසන්න වසයෙන් මිලියන 15ක ජනතාවකි. ඊට අමතර ව, මිල ඉහල යාම්වල නව රැල්ලකට රුසියානුවන් මුහුන දෙන අතර, රුසියානුවන්ගේ පාරිභෝගික නයෙහි සමස්ත ප්‍රමානය ඉහල යමින් පවතී. 2023 ජූලි වන විට, එහි අගය රූබල් ට්‍රිලියන 32ට (මෙය ඩොලර් බිලියන 353ට වැඩිය) සමාන විය. 2022 ජූලි හා 2023 ජූලි අතර, නය සහිත කුටුම්බ ගනන ද ඉහල යාම ආරම්භ වී ඇත්තේ, සියයට 19.4 සිට 21.8 දක්වා නැගෙමිනි. තව ද පුටින් ම පිලිගන්නා පරිදි, සංගත ලාභ සියයට 24කින් ඉහල ගියේ, 2023 වර්ෂය සඳහා බැංකු ක්ෂේත්‍රය රූබල් ට්‍රිලියන 3ට වැඩි ප්‍රමානයක් (ඩොලර් බිලියන 33ක්) උපයා ගනිද්දී ය.

රුසියාව තුල සමාජ අසමානතාව 1995න් මෙපිට ඉහල ම මට්ටම්වල රැඳී ඇත. 2021 දී, රුසියානු පවුල්වලින් පොහොසත් ම සියයට 1 ශුද්ධ කුටුම්බ ධනයෙන් සියයට 47.6ක් සතු කරගත්තේ ය. පවුල්වලින් දුගී ම සියයට 50ට අයිති ව තිබුනේ යන්තම් සියයට 3.1ක් පමනි. කටයුතුවල මෙම තත්ත්වය යෝධ සමාජීය පිපිරීමක බීජ දරා සිටී.

රුසියාව තුල පන්ති අරගලය වර්ධනය වන්නේ රික්තයක් තුල නො වේ. ජාත්‍යන්තර ව, එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රන්සය හා බ්‍රිතාන්‍යය වැනි අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන තුල වඩාත් සැලකිය යුතු ලෙසින් ද අප්‍රිකාව, ලතින් ඇමරිකාව හා ආසියාව තුල ද පන්ති අරගලයේ පුනර්ජීවනයක ආරම්භය අපි දැක ඇත්තමු. සියල්ලට ඉහලින් අධිරාජ්‍යවාදී රටවල් තුල ද එක්සත් ජනපදය තුල විශේෂයෙන් ද කම්කරු පන්තියේ ව්‍යාපාරයක ඉස්මතු වීම, රුසියාව හා යුක්‍රේනය තුල කම්කරු පන්තියේ ව්‍යාපාරයක ඉස්මතු වීම මත බලගතු බලපෑමක් ඇති කරනු ඇත.

මෙම සන්දර්භය තුල, රුසියාව තුලත් ජාත්‍යන්තර වත් අන්ත-දක්ෂිනාංශයට පුටින් කරන විවෘත ආයාචනාවන් ගැන කම්කරුවන්ට අනතුරු ඇඟවිය යුතු ය. සුප්‍රකට අන්ත-දක්ෂිනාංශිකයෙක් වන ඩොනෙට්ස්ක් මහජන සමූහාන්ඩුවේ මහජන කවුන්සිලයේ සභාපති වන ආටියොම් ශෝගා ගේ “ඉල්ලීමකට” ප්‍රතිචාර ලෙස, දෙසැම්බර් 8දා පුටින් ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කලේ ය. ශෝගා ස්පාර්තා භට හමුදාවේ අන දෙන්නා ද වන අතර, එම භට හමුදාවේ සංකේතය මත එස්එස්හි (නාසි මිලීෂියාවේ) සංකේතය පිලිබිඹු කරමින් විසිරෙන බෝල්ට් ඇන සහ රුසියානු අධිරාජ්‍යවාදී ධජය ඇත.

‌ඓතිහාසික ව රුසියාව තුල අන්ත-දක්ෂිනාංශික, ප්‍රති-විප්ලවවාදී හා යුදෙව්-විරෝධී ප්‍රවනතාවන්ගේ ආරක්ෂකයෙකු ලෙස ඉස්මතු වී ඇති රුසියානු ඕතොඩොක්ස් පල්ලිය, අනාගමික ආයතන සමග ඒකාග්‍රකරනය කිරීමට ද ක්‍රෙම්ලිනය වඩ වඩා සහයෝගය දක්වමින් සිටින්නේ, “මහජනයාගේ අධ්‍යාත්මය ඉහල දැමීමට” ය. තව ද ගබ්සා-විරෝධී හා සංක්‍රමන-විරෝධී ව්‍යාපාරයට පුටින් ප්‍රසිද්ධියේ සහයෝගය පල කර තිබේ. ආන්තික ජාතිකවාදය ඉදිරියට දැමීම හා අන්ත-දක්ෂිනාංශික බලවේග ගොඩනැගීම මූලික ව යොමු කරනු ලබන්නේ කම්කරු පන්තියට විරුද්ධව ය. මෙහි ඉලක්කය වන්නේ කම්කරුවන් බෙදීම හා ව්‍යාකූල කිරීම යන දෙක ම කරමින්, කම්කරු පන්තිය තුල වැඩෙන ඕනෑ ම ව්‍යාපාරයකට එරෙහි ව තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට කතිපයාධිකාරය රැඳී සිටිනු ඇති අන්ත-දක්ෂිනාංශික බලවේග දිරිමත් කිරීම හා ගොඩනැගීම ය.

ඉදිරි මාවත

ව්ලැදිමීර් පුටින්ගේ පස්වැනි ධූර කාලය සංලක්ෂිත වනු ඇත්තේ, දිග්ගැස්සෙන යුද්ධයක් සහ ඔහුගේ පාලන තන්ත්‍රය විසඳුම් නො දෙන හා විසඳුම් දිය නො හැකි සදා පලල් වන සමාජ හා දේශපාලන අර්බුදයක් විසිනි. ඔහුගේ පාලන තන්ත්‍රයේ ආවෘත අන්තය, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී විනාශ කිරීමෙන් පැන නැගුනු සමස්ත පාලක පන්තියේ හා සමාජ ක්‍රමයේ ආවෘත අන්තය යි.

යුක්‍රේනය ආක්‍රමනය කිරීමට යටින් පැවති අධිරාජ්‍යවාදය සමග එකඟතාවක් සඳහා පුටින්ගේ පාර්ශවයෙන් ගත් බංකොලොත් ගනන් බැලීම් කවරක් වුව ද රුසියාවට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය, අවසාන විග්‍රහයේ දී, සෝවියට් සංගමය විනාශ කර ධනවාදය පුනස්ථාපනය කිරීමේ ප්‍රතිඵලය යි.

යුද්ධය වසර දෙකක් ඉක්මවා යද්දී, එය අඛන්ඩ ව ගෙන යාමත්, රුසියාවේ, යුක්‍රේනයේ හා ඒවායින් ඔබ්බේ කම්කරුවන් අතර විරෝධය තීව්‍ර වීමත් පිලිබඳ කාංසාව නිසැකයෙන් ම වැඩෙමින් පවතී. සෝවියට් සංගමය තුල අවම වසයෙන් මිලියන 27ක ජනකායක් මිය ගිය, දෙවැනි ලෝක යුද්ධයේ හා ෆැසිස්ට්වාදයේ බියකරු අත්දැකීම්, අමතක ව ගොස් නැත. එහෙත් මූලික ගැටලුව වන්නේ, කම්කරුවන් හා තරුන ජනයා ඉදිරි මාවතක් සොයා ගන්නේ කෙසේදැයි නො දැන සිටීම යි.

අපි මෙසේ අවධාරනය කරමු: යුක්‍රේනය තුල යුද්ධය නැවැත්විය යුත්තේ, කලාපය අධිරාජ්‍යවාදී කැබලි කිරීම හා මොස්කෝව තුල නැටෝ පිටුබලය ලබන පාලන තන්ත්‍රයක් ඇටවීම හරහා නො වේ. ජාතික දේශ සීමා යලි ඇඳීම, න්‍යෂ්ටික තර්ජනවල සංයුක්තය හා “ආරක්ෂක සහතිකයන්” සඳහා යැදීම හරහා අධිරාජ්‍යවාදය සමග සාකච්ඡාමය එකඟතාවක් කරා ලඟා වීමට පුටින් පාලනය දරන මංමුලා සහගත ප්‍රයත්නයන් මත ද කම්කරු පන්තියට විශ්වාසය තැබිය නො හැක. කම්කරු පන්තියේ කර්තව්‍යය වන්නේ, ජාතික දේශ සීමා සංශෝධනය කිරීම හෝ අධිරාජ්‍යවාදී බලයන්ගේ හා කතිපයාධිකාරයේ ඒ හෝ මේ කන්ඩායමට ආයාචනා කිරීම නො ව, සමස්තයක් ලෙස ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය අවසන් කිරීමට සටන් කිරීම යි. මෙම යුද්ධය නැවැත්වීමටත්, න්‍යෂ්ටික විනාශයක අනතුර පූර්ව භංග කිරීමටත් පවතින එක ම මාවත වන්නේ, රුසියානු, යුක්‍රේනියානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී යුද-විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම යි.

ඉතිහාසය, විශේෂයෙන් 1905 හා 1917 රුසියානු විප්ලවවල ඉතිහාසය, පෙන්වා දී ඇත්තේ යුද්ධයට තුඩු දෙන එම පරස්පර-විරෝධයන් ම විප්ලවයට ද මාවත දක්වන බව යි. එහෙත්, යුද්ධයට හා ධනවාදයට විරුද්ධ කම්කරු පන්තියේ හා තරුන ජනයාගේ එවන් ව්‍යාපාරයක් සූදානම් කල යුත්තේ, එවන් ව්‍යාපාරයක් ඇතුලත විප්ලවවාදී ඉදිරි දර්ශනයක් හා මාක්ස්වාදය සඳහා සටන් කල හැකි කම්කරු පන්තියේ පෙරටු බල ඇනි ගොඩනැගීම හරහා ය.

මාක්ස්වාදයටත් සෝවියට් හා ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල එහි කේඩරයටත් විරුද්ධ ව දශක ගනනක් තිස්සේ ගෙන ගිය යුද්ධයකින් ඒවා විනාශ කිරීමට ස්ටැලින්වාදය උත්සාහ කල, බොල්ශෙවික්වාදයේ හා මාක්ස්වාදී ජාත්‍යන්තරවාදයේ විප්ලවවාදී සම්ප්‍රදායයන් යලි ගොඩ නැගිය යුතු ය. ස්ටැලින්වාදයටත්, සුලු-ධනේශ්වර ජාතිකවාදයේ හා අවස්ථාවාදයේ සියලු රූපාකාරයන්ටත් එරෙහි ව ශත වර්ෂයක් පුරා ගෙන ගිය අරගලයේ පාඩම් මත පදනම් ව, ට්‍රොට්ස්කිවාදය සඳහා සටන් කිරීම මේ සඳහා අවශ්‍ය කරයි. රුසියාවේ හා යුක්‍රේනයේ බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල මෙම සටන ඉදිරියට ගනිමින් සිටින්නේ, පැරනි සෝවියට් සංගමය පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම හරහා ය. ඉස්මතු වෙමින් පවතින ගෝලීය යුද්ධයට එරෙහි සටන් කිරීමට අධිෂ්ඨානයෙන් සිටින කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් මෙම අරගලය සමග එක් වන ලෙස අපි ඉල්ලා සිටිමු.

Loading