වෘත්තීය සමිතිය, පාලනාධිකාරියේ විසඳුම පිලිගෙන නොරිටාකේ කම්කරුවන්ගේ අරගලය නතර කරයි

අප්‍රේල් 17 දා වැඩ වර්ජනය ආරම්භ කල නොරිටාකේ පෝසිලේන් සමාගමේ සේවකයන්

නොරිටාකේ පෝසිලේන් සමාගමේ සේවකයන් අප්‍රේල් 17 දා ආරම්භ කල අඛන්ඩ වැඩ වර්ජනය, එය කැඳවූ අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) විසින් පාලනාධිකාරියේ “විසඳුම” පිලිගැනීමත් සමග, අප්‍රේල් 29 දා අවසන් විය. වාර්ෂිකව ලබා දෙන පෝසිලේන් භාන්ඩ සලාකය කප්පාදු කිරීමට හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්දනය කිරීමට එරෙහිව දියත් කෙරුනු මෙම වර්ජනයට, කාන්තා සහ පිරිමි කම්කරුවෝ 650 ට අධික පිරිසක් සහභාගි වූහ.

අසසේස පාලනය කරනු ලබනුයේ ජනතා විමුක්ති පෙරමුන විසිනි. එහි සභාපති වසන්ත සමරසිංහ ඇතුලු වෘත්තීය සමිති නායකයන් හා සමාගමේ පාලකයන් අතර සඳුදා පැවති සාකච්ඡාවක දී, වාර්ෂිකව ලබාදෙන සීමිත භාන්ඩ සලාකය වෙනුවට, පිලිවෙලින් 2023 සහ 2024 වසර වලට මුදලින් රුපියල් 30,000 ක් සහ රුපියල් 36,000 ක් ලබාදෙන බවට ද, 2025 සිට එක් වසරකට භාන්ඩ ද ඊලඟ වසරට මුදල් ද වන ආකාරයෙන් එය ක්‍රියාත්මක කරන බවට ද සමාගම පොරොන්දු වී ඇත. භාන්ඩ සලාකය නොදෙන්නේ නම් ඒ වෙනුවට කම්කරුවන්ගේ ඉල්ලීම වූයේ රුපියල් 45,000 කි.

වැඩ තහනම්කර සිටින අසසේසයේ මධ්‍යම පලාත් ලේකම් හා පෝසිලේන් ශාඛාවේ නායකයෙකු වන මලින්ද හෙට්ටිආරච්චි, පෝසිලේන් ශාඛාවේ ලේකම්-බුද්ධික වර්නකුලසූරිය සහ උපලේකම්-උපුල් බන්ඩාර සම්බන්ධයෙන් මැයි 6 වෙනිදා විනය පරික්ෂනයක් පවත්වා ඉන් අනතුරුව ඔවුන් සේවයට කැඳවන බව ද පාලනාධිකාරිය පවසා ඇත.

සමාගම විසින් වසරින් වසර භාන්ඩ සලාකයේ මිල සංශෝධනය කරනු ලබයි. 2023 වසරේ දී සියයට 15 මිල සංශෝධනය කිරීමට හා 2024 වසර සඳහා සලාකයට හිමි භාන්ඩ වල වෙලඳපල වටිනාකමින් සියයට 60 ක් කම්කරුවන් විසින් ගෙවිය යුතු බවට පාලනධිකාරිය කල යෝජනා කම්කරුවෝ ප්‍රතික්ෂේප කලහ.

වෘත්තීය සමිති නිලධරය මුලසිටම ක්‍රියාත්මක වූයේ කම්කරුවන්ගේ අරගලය වැලැක්වීමට යි. අප්‍රේල් මාසයේ මුල පැවති සාකච්ඡා දෙකක දී පාලනාධිකාරය කම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුනි. එහෙත් වෘත්තීය සමිති නායකයන් කලේ කලු පටි පැලඳීමේ සහ කෑම පැයේ පිකට් කිරීමේ සීමිත උද්ඝෝෂන වලට කම්කරුවන් කොටුකර තැබීමයි.

වර්ජනය ආරම්භ කෙරුනේ පාලනාධිකාරය විසින් 16 වෙනිදා සංවිධානය කර තිබු සම්මන්ත්‍රනයක ට කම්කරුවන් සභාගිවීම වෘත්තීය සමිතිය විසින් වැලැක්වීම පදනම් කරගෙන එය 'විනය විරෝධි විෂමාචාර ක්‍රියාවක්' ලෙස සලකා අප්‍රෙල් 17 වෙනිදා වෘත්තීය සමිති නායකයන්ගේ වැඩ තහනම් කිරීමෙන් පසුවයි. එහෙත් එම අරගලය වටා කවර ආකාරයකින් හෝ සෙසු කම්කරුවන් බලමුලු ගැන්වීම මගහරිමින් එය හුදකලා කර තැබීමට සමරසිංහ සහ නොරිටාකේ ශාඛා සමිති නිලධරය වග බලා ගත්හ.

නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගම, සිලෝන් සෙරමික් කෝපරේෂන් සමාගමේ සහ බහුජාතික සංගතයක් වන ජපානයේ පෝසිලේන් සමාගමේ ඒකාබද්ධ ව්‍යවසායකි. 1972 ආරම්භ කල ලංකා පෝසිලේන් සමාගමේ වර්තමාන සේවක සංඛ්‍යාව 1300 ට ආසන්න වේ. රටවල් ගනනාවකට එහි නිෂ්පාදන අලවි කිරීමෙන් සමාගම අධික ලාභයක් උපයන බව සේවකයෝ පැවසූහ.

සමාගම වර්ජනය බිඳීම සඳහා 300 පමන වන අනියම් කම්කරුවන් සේවයේ යොදවා නිෂ්පාදනය පවත්වාගෙන ගියේ ය. සාමූහික ගිවිසුමට අනුව වර්ජනය නීතිවිරෝධී බව සඳහන් කරමින් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරි අතුල ආර් සෙනරත් විසින් අප්‍රේල් 24 වනදා වර්ජනයේ නිරත කම්කරුවන් වෙත තර්ජනාත්මක ලිපියක් එවා තිබුනි. වර්ජනය 'සාමුහික ගිවිසුමේ 15(d) වගන්තිය උල්ලංඝනය කරන නීති විරෝධී” ක්‍රියාවක් බවත්, 'එම බරපතල විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් ඔබට විරුද්ධව තනි තනිව හෝ සාමූහික වශයෙන් සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට හැකි' බවත්,'වැඩ වර්ජනයේ යෙදෙන කාලය තුල වැටුප් නොගෙවන' බවත් ලිපියෙහි සඳහන් විය.

වෘත්තීය සමිති සහ සමාගම් එකතුව ගිවිස ගන්නා මෙම ඊනියා සාමූහික ගිවිසුම්, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට කෙතරම් එරෙහි ද යන්න පිලිබඳව මෙම ගිවිසුම බලගතු උදාහරනයකි.

එහෙත් සමාගමේ බලධාරීන්ගේ මර්දනය නොතකා තම ඉල්ලීම් වෙනුවෙන් අරගලය ඉදිරියට ගෙන යාමට කම්කරුවන් අතර බලගතු අධිෂ්ඨානයක් පැවතුනි. 'හරි ජයග්‍රහනයක් නැතිව වර්ජනය නතර කරලා වැඩට ගියොත් අපට වෙන්නේ වහල්ලු වගේ වැඩ කරන්න' යැයි වර්ජනය නතර කිරීමට පෙරාතුව අප වාර්තාකරුවන්ට කතාකල කම්කරුවෙක් පැවසිය.

පෝසිලෙන් කම්කරුවන්ගේ භාන්ඩ සලාකය කප්පාදු කිරීම ගැඹුරු වන ලෝක ධනවාදයේ අර්බුදය මධ්‍යයේ එහි බර කම්කරුවන් මත පටවා ලාබය තර කර ගැනීම පිනිස ධනපති සංගත විසින් ලෝක පරිමානව ක්‍රියාවට දමන රැකියා, වැටුප්, දීමනා ඇතුලුසමාජ අයිතීන් විනාශ කිරීමේ කොටසකි.

අඩු වැටුප ට දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කිරීමට සිදුවී ඇති අයුරු කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් ට විස්තර කලහ. අප වාර්තාකරුවෝ, කම්කරුවන් මුහුන දෙන තීරනාත්මක දේශපාලනික හා ක්‍රියාමර්ගික ප්‍රශ්න ඔවුන් සමග සාකච්ඡා කලහ.

තම සේවාකාලය වසර 33ක් වුවත් මූලික වැටුප රුපියල් 50,000 ට අඩු බව කම්කරුවෙක් පැවසිය.

'සියලු දීමනා එක්ක රු70,000 විතර ගන්න පුලුවන්. නයවලට කැපුනම අතට ලැබෙන්නේ 25,000 ක් විතර. වර්ජනය කල දිනවලට පඩි කපපු නිසා මේ මාසේ පඩිය රුපියල් 16,000 යි” ඔහු .සඳහන් කලේ ය. “කෝටා එක අපි විකුනන්නේ පඩියෙන් ජීවත් වෙන්න බැරි නිසා. කොම්පැනියම කියනවා බඩු කට්ටලයක වටිනාකම දෙලක්ෂ හැත්ත දාහක් විතර වෙනවලු. අපි ඉල්ලන්නෙ රුපියල් 45000ක්. ඒ කියන්නේ ඔය වටිනාකමින් පහෙන් එකකටත් අඩු ප්‍රමානයක්” යැයි ඔහු කීවේය.

සේවා කාලය වසර 26 වන කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවාය: 'මගේ මූලික පඩිය රු 40,000 යි. වර්ජනයට සම්බන්ධ වුන නිසා පඩියෙන් නවදාස් ගනනක් කපලා. අතට ලබුනෙ 11,000 යි. දූලා තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දුව උසස් පෙල කරනවා. කරන්න දෙයක් නැති නිසා මගුල් මුද්ද උකස් කලා. ලැබෙන පඩියෙන් ජීවත් වෙන්නේ අමාරුවෙන්.”

පාඩු ලබන නිසා භාන්ඩ සලාකය කැපුව කියන එක පිලි නොගන්නා බවත් සමාගම කම්කරුවන් ට නොමිලේ ලබා දෙනුයේ කිරි වීදුරුවක් පමනක් බවත් ඇය සඳහන් කලා ය. “කෑම එකක් දෙනව. ඒකටත් රුපියල් පනහක් ගෙවන්න ඕන'

පුද්ගලීකරනයට එරෙහිව වර්ජනයේ යෙදුනු ලංකා විදුලි බල මන්ඩලයේ කම්කරුවන්ගේ වැඩ තහනම් කිරීම ඇය හෙලා දුටුවාය. 'ඒ අය සටන් කලේ අපි හැමෝම වෙනුවෙන්. ඔබ සඳහන් කල විදිහට විදුලිබල, විශ්වවිද්‍යාල, සෞඛ්‍ය ඇතුලු සියලුම කම්කරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් එක්ව සටන් කල යුතුයි. එහෙම වුනොත් අපටත් ජය ලබන්න පුලුවන් කියලා මම හිතනවා ' යැයි ඇය පැවසුවාය.

අන්තර් සමාගම් සේවක සංගමයේ සාමාජිකයෙකු වුවද තමන් ජවිපෙ දේශපාලනය සමග එකඟ නොවන බව තවත් කම්කරුවෙක් පැවසීය. “මේ සමිතිය හැදුවේ 2015 දී පමන. කලින් තිබුන ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් කිසිම සටනක් නොකල නිසයි. මට ජේවීපී එක ගැන විශ්වයක් නැහැ. මම ප්‍රසිද්ධියේ කියනවා මම ජේවීපයකට ඡන්දෙ දෙන්නෙ නැහැ කියල. ඔය පක්ෂය චන්ද්‍රිකා මහින්ද වගේ අය බලයට ගේන්න වැඩ කරපු පක්ෂයක්. ඒ ඉතිහාසය මට මතකයි. ඔබ කිව්වා වගේ අනුර කුමාර කියනවනම් රට ගොඩ ගන්න තව දුකක් විඳින්න වෙනවා කියලා මට කියන්න තියෙන්නේ විඳින්න දුකක් අපිට තවත් ඉතුරු වෙලා නැහැ කියල' යැයි ඔහු සඳහන් කලේ ය.

අනියම් කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවාය: “සේවා කාලය අවුරුදු තුනක්. ඒත් ස්ථීර කරල නැහැ. මගේ මූලික පඩිය රුපියල් 17500. ඕටී (අතිකාල) කලොත් 22,000 විතර ගන්න පුලුවන්. ඕටී පැයකට රුපියල් 108 යි ගෙවන්නේ. දවසට පැය දොලහක් වැඩ කරන්න ඕන 22,000 ගන්න.

“පෙර දී වසරකට අනියම් සේවකයින් ස්ථීර කෙරී ඇත්තේ 60 දෙනෙකු පමනි. වෘත්තීය සමිතියේ එකඟතාවය ඇතිව දැන් එම සංඛ්‍යාව ද 40 ට අඩුකර තිබේ.”

සේවා කාලය තුල කම්කරුවන් අනතුරුවලට ලක්වන නමුත් පාලකයන් ඒ කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වන බව ද කම්කරුවෙක් පැවසිය. 'අවුරුදු දහයකට විතර කලින් මැෂින් එකකට අපේ කෙනෙකුගෙ කොන්ඩයක් අහුවෙලා කොන්ඩය සම්පුර්නයෙන් ගැලවුනා. පරිපාලනය ඒක යට ගැහැව්වා. මාස හයක් විතර රෝහලේ ප්‍රතිකාර ගත්තා. ඒ දවස්වල ආරක්ෂිත හිස් වැසුම් තිබුනේ නැහැ. අනතුරෙන් පස්සේ තමයි ඒවා දුන්නේ. නිෂ්පාදන සඳහා ලැබෙන සහතික වලට අවශ්‍ය නිසා දැන් ආරක්ෂක උපකරන දෙන ව.'

'නමුත් අපි වැඩ කරන්නේ විෂ රසායන ද්‍රව්‍ය සමඟ. බර ලෝහ සහිත තීන්ත වර්ග පාවිච්චි කරනවා. ගෝල්ඩ් කියන එක සැරයි. ඒක දවසකට පැය දෙකයි ගාන්න දෙන්නේ. ඊට පස්සේ විනාඩි විස්සක් භාන්ඩ එලියෙන් තියනවා. සැර නිසා. මාස්ක් දැම්මත් ඒකෙ සැර දැනෙනවා.'

'කෝවිඩ් කාලෙ අපි දිගටම වැඩ කලා. වැඩ කිරීම අපිට විශාල අභියෝගයක් වුනා. අපේම සහෝදර සහෝදරියන් ට කෝවිඩ් හැදිලා තිබුනත් බලන්නවත් යන්න බැරි වුනා. ඇතුලෙ කෝවිඩ් වසංගතය බෝ වෙන එක වලක්වගන්න අපි ගොඩක් කැප කිරීම් කලා. අපි උදෙන්ම ඇවිත් ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්න කටයුතු කලා” යැයි ඔහු සඳහන් කලේ ය.

තවත් කම්කරුවෙක් පැවසුවේ සමාගම ඉතා සමීපව ආන්ඩුවත් එක්ක කටයුතු කරන බවයි. 'පරිපාලනය කම්කරු ඇමති හමුවෙන්න ගියා කියලා ආරංචියි. ඇමැති කියල තියෙන්නේ මේක අතාරින්න එපා පුලුවන් තරම් තද කරන්න කියලා. ඒ කියන්නේ කම්කරුවන් ට කිසිම සහනයක් දෙන්න එපා කියලා. ඔබ කියන විදියට රජය පෞද්ගලික කොම්පැනි පැත්තේ තමයි ඉන්නෙ. කොම්පැනිය කම්කරුවො මර්දනය කරන එකට ආන්ඩුව සපෝට්. කම්කරු කාර්යාලයේ නිලධාරි දෙන්නෙකුත් ආව වර්ජනය වෙලාවේ. අපිත් එක්කත් කතා කරලා මැනේජර්ලත් එක්කත් කතා කරලා ගියා. එච්චරයි .ඔබ කියන එක ඇත්ත. අපිට මේ ප්‍රශ්නය කොම්පැනියටවත් ආන්ඩුවට වත් කියලා වැඩක් නැහැ. අපිට තනි සටනක් තියෙන්නෙ”.

'කොම්පැනිය අපිට කෝටා එක නුදුන්න ට හැම අවුරුද්දෙම කම්කරු කාර්යාල වලට, පොලිසියට, උකුවෙල සහ මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වීඅයිපී පිඟන් බඩු කට්ටල යවනවා.'

'ඔබ කියන එක පැහැදිලියි. ආන්ඩුව ලංකාව තුල ලාභ ශ්‍රමය ඇතිකරලා ජාත්‍යන්තර ආයෝජකයින්ට අපිව සුරකන්න කොන්දේසි හදල දෙන්න තමයි වැඩ කරන්නේ. අලුත් කම්කරු පනත එන්න කලින් මෙහෙමනම් ඕවා ආවහම අපිට කොහොම කරයිද?.

වෘත්තීය සමිති ඒවාට විරුද්ධව සටන් කරන්නේ නැහැ. මේකෙන් ගැලවෙන්න නම් කම්කරුවො එකට එකතු වෙන්න ඕන. කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවාගෙන කම්කරු පන්තියේ අයිතීන් සඳහා ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම සඳහා ඔබ ඉදිරිපත් කරන වැඩපිලිවෙලට මම එකඟයි' ඔහු සඳහන් කලේ ය.

Loading