ඉදිරිදර්ශන

බයිඩන්ගේ ශිෂ්‍ය මර්දනය - ඩිමොක්‍රටික් පක්ෂය නැවතත් තම උල් දත් විලිස්සයි

[මෙය Biden’s campus crackdown—the Democratic Party bares its fangs, again යන මැයෙන් 2024 අප්‍රේල් 26 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

පසු ගිය දින කීපය තුල, ඇමරිකාවේ විශ්වවිද්‍යාල සිසුන්ට ප්‍රචන්ඩ පොලිස් ප්‍රහාර එල්ල කෙරෙන තැන් බවට පත් කෙරී ඇත. ගාසා තීරයේ සිදුවෙමින් පවතින ඊශ්‍රායල ජන සංහාරයට එරෙහිව සාමකාමීව පෙලපාලි යමින් සිටින තරුනයන් - දැනටමත් ඉතිහාසයේ බිහිසුනුම අපරාධවලින් එකක් වන එහි හයවන මාසය තුල - ගනනින් 1,000 ක් අත්අඩංගුවට ගෙන ඇත. සටන් ආම්පන්න සහ අශ්වාරෝහක සමගින් පොලිසිය යොදවා, විශ්වවිද්‍යාල ගොඩනැගිලිවල ස්නයිපර්ස්ලා යොදවනු ලැබින. පොලිසිය සිසුන්ට පහර දී. එමරි විශ්වවිද්‍යාලයේ සිසුන් ආරක්ෂා කරන මහාචාර්යවරු ප්‍රචන්ඩ ලෙස අත්අඩංගුවට ගනු ලැබූහ.

2024 අප්‍රේල් 25 වැනි බ්‍රහස්පතින්දා ඇට්ලන්ටා හි පලස්තීනයට සහය පල කරන උද්ඝෝෂනයක් අතරතුර පොලිස් නිලධාරියෙකු එමරි විශ්ව විද්‍යාල මන්ඩපයේ විරෝධතාකරුවෙකු රඳවා තබා ගනී. [AP Photo/Mike Stewart]

මෙම සිදු වීම් ඉරානය තුල සිදු වූයේ නම්, ඇමරිකානු මාධ්‍යවල අඛන්ඩව ආවරනය වන අතර විරෝධතාකරුවන් ආරක්ෂා කිරීම සඳහා “මානුෂීය මැදිහත්වීමක්” ඉල්ලා සිටිනු ඇත. නමුත් මේ ඇමරිකාවයි. එබැවින් සමූහ ඝාතනයට එරෙහිව සාමකාමීව විරෝධතා දක්වන සිසුන් “යුදෙව් විරෝධීන්” ලෙස මාධ්‍ය සහ දේශපාලකයෝ හෙලා දකිති. ගොරහැඩි, විනිවිද පෙනෙන සම්මිශ්‍රනය නම් ඊශ්‍රායලයේ පලස්තීනුවන් වාර්ගික ජනශුන්‍ය කිරීමට එරෙහි වීම යුදෙව් විරෝධය ලෙස හැඳින් වීමයි.

ඕවල් කාර්යාලයේ සිට ප්‍රචාරනය සහ පොලිස් මර්දනය සංවිධානය කෙරේ. අප්‍රේල් 22 සඳුදා මාධ්‍ය හමුවකදී පෙලපාලි ගැන විමසූ විට බයිඩන් පැවසුවේ, “මම යුදෙව් විරෝධී විරෝධතා හෙලා දකිනවා” යනුවෙනි. දිනයකට පෙර බයිඩන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “යුදෙව්විරෝධවාදය හෙලා දැකිය යුතු අතර එයට විශ්වවිද්‍යාලවල ඉඩක් නැත” යනුවෙනි. ඔර්වේලියන් නාමයෙන් හැඳින්වෙන “යුදෙව්විරෝධවාදයට එරෙහි ජාතික උපායමාර්ගය” (the National Strategy to Counter Antisemitism) යනුවෙන් හඳුන්වනු ලබන කැම්පස් නිරීක්ෂනය කිරීම සඳහා නව පොලිස් නිලධරයක් නිර්මානය කිරීම නිවේදනය කිරීම සහ “යුදෙව් ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ෆෙඩරල් ආන්ඩුවේ සම්පූර්න බලය” යෙදවීමට පොරොන්දු විය.

ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහි යුදෙව්විරෝධය බිඳ දැමීමේ දී, ධවල මන්දිරය, “ශ්‍රේෂ්ඨ ප්‍රතිස්ථාපන න්‍යාය” පතුරුවන රිපබ්ලිකන් පක්ෂයේ සැබෑ යුදෙව් විරෝධීන් සමඟ අත්වැල් බැඳගෙන ක්‍රියා කිරීමෙන්, යුදෙව් විරෝධවාදය පිලිබඳ බයිඩන් ගේ ව්‍යාජ කැක්කුම එලිදරවු වේ. “ශ්‍රේෂ්ඨ ප්‍රතිස්ථාපන න්‍යාය” සුදු කිතුනුවන් ඇමරිකාවෙන් තුරන් කිරීමට යුදෙව්වන් කුමන්ත්‍රනය කරන්නේ යැයි පවසයි. ඒ අතර ම හිට්ලර්ගේ නැගෙනහිර යුරෝපීය යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට සම්බන්ධවූ යුක්‍රේන අනුගාමිකයින්ගේ ශ්‍රේෂ්ඨතම ජාතික වීරයා ස්ටෙපාන් බන්ඩෙරා ලෙස සමරන යුක්‍රේන රජයකට බයිඩන් නිමක් නැති ඩොලර් බිලියන ගනන් වටිනා ඝාතන යන්ත්‍ර යවා ඇත.

ඇත්තෙන් ම බයිඩෙන් ඔහුගේ ම ප්‍රතිපත්තියෙන් වෙන් කර ඔහු විසින් ම මර්දනය කෙරෙන මෙම විරෝධතාවන්ට සවන් දෙන තැනට ඔහු නම්මා ගත හැකිය යන විකාරරූපී මිථ්‍යාව ප්‍රවර්ධනයට අත්‍යසාමාන්‍ය උත්සහයන් දැරෙනු ඇත. ඇත්තෙන් ම ඩිමොක්‍රටික් පක්ෂය තුල කන්ඩායමක් පමනක් වන ඩිමොක්‍රටික් සෝෂලිස්ට්ස් ඔෆ් ඇමරිකා වැනි සංවිධානවල දේශපාලන කර්තව්‍ය වන්නේ මෙයයි. නමුත් ඇත්තෙන් ම බයිඩෙන් පරිපාලනය යනු කුමක් ද එය කුමකට සැරසෙන්නේ ද යන්න (එනම් ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ යැයි කියමින් එය කටු ගා දැමීම) තීරනය වන්නේ එහි වාම සට්ටැඹියන් එය ගැන විශ්වාස කිරීමට කැමති දෙයනි් නොවේ. එය තීරනය වන්නේ ඩිමොක්‍රටික් පක්ෂය සැබෑවට ම නියෝජනය කරන පන්ති අවශ්‍යතාවලින්, ඇත්තෙන් ම එම පක්ෂයේ සමස්ත ඉතිහාසයෙනි.

එය ලෝකයේ පැරනිතම ධනේශ්වර මැතිවරන පක්ෂයයි. සිවිල් යුද්ධය වන විටත් කම්කරු පන්තිය බෙදීමට වාර්ගික දෘෂ්ටිවාදය ඔජවැඩීම වැනි එහි ඇතැම් දිගුකාලීන ගතිලක්ෂන මතු ව තිබුනු නමුත්, එහි වර්තමානික ස්වරූපය අත්පත් කර ගත්තේ 1820 ගනන් 1830 ගනන් ජැක්සන් යුගයත් අද දින බිඩෙන් පරිපාලනයත් අතර දල වසයෙන් මැදට වන්නට එන වුඩ්රෝ විල්සන්ගේ (1913-1921) පාලන කාලයේ දීයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදය ඩිමොක්‍රටික් පක්ෂය තම නියෝජිත පක්ෂය ලෙස තෝරා ගත්තේ ඒ මොහොතේ ය. දශක ගනනාවක් තිස්සේ සෑම ප්‍රධාන යුද්ධයක්ම ධවල මන්දිරයේ ඩිමොක්‍රටිකයෙක් ධූරයේ සිටින විට ආරම්භ කෙරී ඇත: පලමු ලෝක යුද්ධය (විල්සන්); දෙවන ලෝක යුද්ධය (ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්); කොරියානු යුද්ධය (ටෲමන්); සහ වියට්නාම් යුද්ධය (කෙනඩි සහ ජොන්සන්).

මෙම විශාල යුද්ධ නිසා ආර්ථිකය මාරු කිරීම සහ ශ්‍රම බලකාය විනයගත කිරීම අවශ්‍ය විය. මෙහි දී, තීරනාත්මක භූමිකාව සෑම විටම ඉටු කරනු ලැබුවේ වෘත්තීය සමිති නිලධරය විසිනි. ට්‍රොට්ස්කිගෙන් වාක්‍ය ඛන්ඩයක් යොදා ගන්නේ නම්, “අධිරාජ්‍යවාදී රාජ්‍යයේ අයෝමය ග්‍රහනයේ තුරුලට යාමෙනි.” මේ සඳහා හරියට ම යුද්ධයේ මොහොතක දී ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටිය යුතු විය.

පලමුවන ලෝක සංග්‍රාමයේදී ඒෆ්එල් හි සැමුවෙල් ගොම්පර්ස් මෙම සේවාව විල්සන්ට ලබා දීමට උත්සාහ කල අතර යූඒඩබ්ලිව් හි වෝල්ටර් රූතර් (තවත් වෘත්තීය සමිති ප්‍රධානීන් කිහිප දෙනෙකු සමඟ) රූස්වෙල්ට්, ටෲමන්, කෙනඩි සහ ජොන්සන් සඳහාද එසේ කලේය. යූඒඩබ්ලිව් හි ෂෝන් ෆේන් මේ වන විට මෙම භූමිකාව සඳහා කාර්යබහුල ලෙම මෙම තෝරා ගැනීමේ පරීක්ෂනයට ඉදිරිපත් වෙමින් සිටී.

20 වැනි සියවසේ විශාල යුද්ධ දේශපාලන අදහස් ප්‍රකාශ කිරීම සහ චින්තනය පාලනය කිරීම අරමුනු කර ගත් මිලිටරිමය පරිසරයක් නිර්මානය කිරීම ඉල්ලා සිටියේ ය. ලිබරල් බුද්ධිමතුන් සහ විනෝදාස්වාද කර්මාන්තය තුල ඩිමොක්‍රටික් පක්ෂය දරා ගෙන සිටි සැලකිය යුතු ලෙස විශාල ආධිපත්‍යය නිසා මේ කටයුත්තට රිපබ්ලිකානුවන්ට වඩා උචිත වූයේ ඩිමොක්‍රටික් පක්ෂයයි. පලමු වැනි ලෝක යුද සමයේ දී 1917 දී රැන්ඩොල්ෆ් බෝන් සඳහන් කල ආකාරයට මෙම බුද්ධිමතුන්ගේ කර්තව්‍යය වූයේ “යුද මනෝගතියේ අපජලයේ ගංවතුරකට අප යට කරවීමට” “සොරොවු” විවර කිරීමයි.

එහෙත් ඩිමොක්‍රටික් පක්ෂයට පමනක් ලබා දිය හැකි වූ අධිරාජ්‍යවාදී යුද්ධයට වෘත්තීය සමිති නිලධරයේ සහ බුද්ධිමතුන්ගේ පක්ෂපාතීත්වයට හැමවිටම තිබුනේ අඳුරු පැත්තකි - පූර්න මර්දනයෙනි. වියට්නාම් යුද්ධයේදී, කෙනඩි සහ ජොන්සන් පරිපාලන, යුද විරෝධී සංවිධාන කඩාකප්පල් කිරීම තම ප්‍රධාන ඉලක්කය කරගත් රහස් කොයින්ටල්ප්‍රො (COINTELPRO) සංවිධානය නාටකාකාර ලෙස පුලුල් කලේය.

දෙවන ලෝක සංග්‍රාමයේදී, රූස්වෙල්ට් පරිපාලනය යුද්ධයට දේශීය විරෝධය නීති විරෝධී කිරීමට ස්මිත් පනත භාවිතා කල අතර, ජෝසෆ් හැන්සන් හැර සමාජවාදී කම්කරු පක්ෂයේ සමස්ත නායකත්වයට ම පාහේ දේශද්‍රෝහීත්වය සඳහා නඩු පවරන ලදී; හැන්සන් පසුව එෆ්බීඅයි ඔත්තුකරුවෙකු බව හෙලි විය. .

එහෙත් අනුගමනය කල යුතු සියල්ලෙහි පූර්වාදර්ශය වූයේ පලමු ලෝක යුද්ධයට එරෙහි ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා විල්සන් පරිපාලනය විසින් සිදු කරන ලද දැවැන්ත මෙහෙයුමයි. ඔහුගේ ඔත්තු බැලීමේ පනත තවමත් ක්‍රියාකාරී අතර බොහෝ විට ජූලියන් අසාන්ජ්ට එරෙහි ව ඕනෑ ම නඩු පැවරීමකට පදනම විය හැකි එය සඵලදායි ලෙස යුද්ධයට එරෙහි ව යොදා ගනු ලැබුනේ යුද විරෝධී ක්‍රියාකාරකම් හමුදාවේ මෙහෙයුම්වලට බාධාවක් වන බව ප්‍රකාශ කිරීමෙනි. ඇමරිකානු සමාජවාදයේ ආරම්භකයා වන ඉයුජින් ඩෙබ්ස් තම සුප්‍රසිද්ධ කැන්ටන් දේශනයේදී යුද්ධයට එක්සත් ජනපදය ඇතුල්වීමට විරුද්ධ වීම නිසා ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුට එරෙහි ව නඩු පවරා සිරගත කෙරුනි.

ඉයුජින් ඩෙබ්ස් 1918 ජූනි 16 වැනි දින පලමු ලෝක යුද්ධයට එරෙහිව තම කැන්ටන් දේශනය පවත්වමින්. ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුව සිරගත කරන ලදී.

ඔත්තු බැලීමේ පනත සහ රාජ්‍ය මට්ටමින් පනවන ලද එ වැනි නීති යටතේ සමාජවාදියෝ සහ කම්කරු සටන්කාමියෝ සිය ගනනක් සිරගත කරන ලදහ. විදේශ භාෂාවලින් පල කෙරුනු සියලු ම ප්‍රකාශනවල පරිවර්තිත පිටපත් තැපැල්පතිවරයාට ඉදිරිපත් කිරීමට අවශ්‍ය විය. විල්සන් පරිපාලනය, කම්කරු වැඩ වර්ජන සහ රැඩිකල් සංවිධානවලට ප්‍රචන්ඩ ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකානු ආරක්‍ෂක ලීගය නමින් සිවිල් මැර සංවිධානයක් නිර්මානය කලේය.

ඇමරිකන් ලීජන් සහ කු ක්ලූක්ස් ක්ලැන් විසින් මෙහෙයවනු ලැබූ සහ සංවිධානය කරන ලද එවැනි උපක්‍රම යුද්ධයෙන් පසුවද දිගට ම ක්‍රියාත්මක විය. සංක්‍රමනික රැඩිකල්වාදීන් විශේෂයෙන් ඉලක්ක කරන ලද විල්සන්ගේ “පාමර් වැටලීම්” යුද්ධයෙන් පසු මාස කිහිපය තුල දහස් ගනනක් සංක්‍රමනිකයන් වටලා පරීක්ෂාවට ලක් කර සිය ගනනක් පිටුවහල් කලේ ය.

විල්සන් මුහුන දුන් සහ අද බයිඩන් මුහුන දෙන තීරනාත්මක ප්‍රශ්නය, යුද්ධයට විරුද්ධත්වය සමග කම්කරු පන්තිය ඒකාබද්ධ වීම වැලැක්වීමයි. ගොම්පර්ස්ගේ උත්සාහයන් නොතකා, විල්සන් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම වැඩ වර්ජන රැල්ලට මුහුන දුන්නේය. කම්කරුවන් මිලියනයකට වඩා 1917 සහ 1918 දී සිය වැඩ රාජකාරි වලින් දොට්ටබැස්ස අතර 1919 දී මිලියන 4.5 ක් වර්ජනය කලහ. ඒ සමගම බොල්ෂෙවික් විප්ලවය රුසියාවේ බලය අල්ලා ගත් අතර ලෙනින් සහ ට්‍රොට්ස්කි යටතේ “යුද්ධයට එරෙහි යුද්ධය” ප්‍රකාශ කෙරුනි. මෙම තත්වයන් යටතේ, විල්සන්ගේ මර්දනයේ වැඩපිලිවෙල කම්කරු පන්තිය මත සමාජවාදයේ බලපෑම වැලකීමට, අර්ධ වශයෙන් සාර්ථක වූ මංමුලා සහගත උත්සාහයක් විය.

ඊට පෙර විල්සන් පරිපාලනය මෙන්ම, බයිඩන් ධවල මන්දිරය ද කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරය යුද විරෝධය සමග ඒකාබද්ධ වේ යැයි බියෙන් යුද්ධයට එරෙහි විරෝධය මර්දනයට උත්සාහ කරයි. නමුත් බයිඩන් එසේ කරන්නේ විල්සන්ට හාත්පසින්ම වෙනස් තත්වයන් යටතේය.

විල්සන්ගේ කාලයේ ඇමරිකානු ධනවාදය ඉහලට නගිමින් තිබුනි. අද තවදුරටත් එම තත්ත්වය නොපවතී. දශක ගනනාවක් තිස්සේ, ඇමරිකානු ධනවාදය එහි මිලිටරි ආධිපත්‍යය වෙන කවරදාකටත් වඩා ප්‍රචන්ඩ ලෙස තහවුරු කර ගනිමින් එහි දිගුකාලීන ආර්ථික පරිහානිය සමනය කිරීමට උත්සාහ කර ඇත.

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු, වොෂින්ටනය සහ එහි අනුගාමිකයින්, ඉරාකය, සෝමාලියාව, සර්බියාව, ඇෆ්ගනිස්ථානය, යේමනය, ලිබියාව, සිරියාව, යුක්‍රේනය සහ ගාසාව එල්ල කර ගත් අඛන්ඩ ලේ වැකි යුද්ධ මාලාවක් දියත් කර ඇත. යුද්ධ මගින් මිලියන ගනනක් මරා දමා අවතැන් කර ඇත, ඩොලර් ට්‍රිලියන ගනන් වියදම් කර, ඇමරිකානු සංස්කෘතිය සහ බුද්ධිමය ජීවිතය විෂ කවා ඇත. එහෙත් ඒවායින් ඇමරිකානු ආර්ථික පරිහානිය වේගවත් කර ඇත, මෑතකාලීනව ලෝක සංචිත මුදල ලෙස ඩොලරයේ තත්වය ප්‍රශ්නයට ලක් කෙරී ඇත.

මැද පෙරදිග භූගෝලීය මධ්‍ය කර ගත් යුරේසියාව වටා වක්‍රයක් සාදන මෙම යුද්ධ, ඇත්ත වශයෙන් ම දැනටමත් එහි ආරම්භක අදියරේ පවතින තුන්වන ලෝක යුද්ධයක් සඳහා සූදානම් වී ඇති බව දැන් පැහැදිලිය.

බයිඩන් තවත් දැවැන්ත යුද විදයම් ප්‍රතිපාදනයක් සම්මත කිරීම ගැන අදහස් දක්වමින් මෑත කාලීන ඉදිරිදර්ශනයක අපි සටහන් කල පරිදි:

යුක්‍රේනය, ඊශ්‍රායලය සහ තායිවානය සඳහා යුද වියදම් තනි නීති සම්පාදනයකින් එකට සම්බන්ධ කිරීම මගින්, බයිඩන් පරිපාලනය සහ සමස්තයක් ලෙස එක්සත් ජනපද පාලක ප්‍රභූව මෙම ගැටුම් වෙන වෙනම සහ වෙනස් ලෙස නොසලකන බව පනත් කෙටුම්පත ඇඟවුම් කරයි. ඒවා ගෝලීය යුද්ධයකට සම්බන්ධ යුද කලාප වේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය ආක්ටික් සාගරයේ සිට කලු මුහුද දක්වාත්, ඉන්පසු මැදපෙරදිග හා මධ්‍යම ආසියාව හරහාත්, චීනය හා පැසිෆික් කලාපය දක්වාත් විහිදුනු යෝධ පෙරමුනක සටන් කරයි.

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් අතර ප්‍රතිපත්තිමය මතභේද නොමැත, ඔවුන් අතර මතභේද ඇත්තේ එම ලෝක ආධිපත්‍යයේ වැඩපිලිවෙල ඉදිරිපත් කල යුත්තේ කෙසේද සහ එය ක්‍රියාත්මක කල යුත්තේ කෙසේද යන්න ගැන පමනි.

එබැවින් ජන සංහාරයට විරෝධය දක්වන තරුන තරුනියන් අවශ්‍ය දේශපාලන නිගමන උකහා ගනිමින් ඩිමොක්‍රටික් පක්ෂය සහ ඒ වටා ගොනු වී සිටින එම දේශපාලන බලවේග වෙතින් සදහට ම භේද වීම හදිසි කාලීන අවශ්‍යතාවයකි. යුද්ධය එය බෝ කරන ධනේශ්වර ක්‍රමය අවසන් කිරීමට ඒ සඳහා විධික්‍රම සහ අභිප්‍රේරනය යන දෙකම ඇති විප්ලවවාදී බලවේගය වන ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත ඔවුන් දැනුවත්ව හැරිය යුතු ය.

Loading