අනධ්‍යන කම්කරුවන්ගේ විරෝධතා උද්ඝෝෂනයට එල්ලකල රුදුරු පොලිස් ප්‍රහාරයට එරෙහිවෙනු!

වැඩි වැටුප් සහ දීමනා ඉල්ලා, විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් මැයි 12 දා පාර්ලිමේන්තු වටරවුම අසල පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව එල්ලකල රුදුරු පොලිස් ප්‍රහාරය සමාජවාදී සමානතා පක්ෂය තරයේ හෙලා දකියි.

අනධ්‍යන වෘත්තීය සමිති එකමුතුව මැයි 07 අඟහරුවාදා, කොලඹ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතා උද්ඝෝෂනයට, සහබාගී වූවන්ගෙන් කොටසක්

විරෝධතාවට එරෙහි වාරන නියෝගය කල්තබාම ලබාගත් පොලීසිය, සීයකට අධික සන්නද්ධ කැරලි මර්දන භටයන් පාර්ලිමේන්තු වටරවුම අසල රඳවා තිබුනි. දියත උයන අසලට එක් වූ, සිය ගනනක් අනධ්‍යන සේවකයන්ට එම නියෝගය පෙන් වූ පොලීසිය, ඔවුන්ට වහා විසිර යන ලෙස අන කලේය. කම්කරුවන් එය ප්‍රතික්ෂේප කරත්ම, අධි පීඩන ජල ප්‍රහාර එල්ල කෙරී ඇත. තම ඇස් වලට වේගවත් ජල ප්‍රහාර වැදීම හේතුවෙන් මෙතෙකුදු වේදනා විඳින බවත්, දුර්ගන්ධයෙන් යුත් ඉතා අපිරිසිදු ජලයෙන් ඔවුන්ගේ සිරුරු තෙත්වූ බවත් කම්කරුවෝ කේන්තියෙන් පැවසූහ.

මෙම මුර්ග ප්‍රහාරය මගින් ආන්ඩුව යලි වතාවක් පෙන්නුම් කර ඇත්තේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග මත ගෙනයන කප්පාදු වැඩපිලිවෙලට එරෙහි සීමිත විරෝධතාවක් හෝ ඉවසීමට තමා සූදානම් නොමැති බවයි.

මාසික හිලවු දීමනාව (එම්සීඒ) සියයට 25කින් වැඩි කරන ලෙස ද, 2015 දී රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සියයට 107 ක වැටුප් වැඩිවීමට අදාලව අනධ්‍යන සේවකයන්ට ලබා දුන්නේ සියයට 92 ක වැටුප් වැඩිවීමක් පමනක් බැවින් ඉතිරි සියයට 15 ලබාදී 'වැටුප් විෂමතාව' ඉවත් කරන ලෙස ද ඉල්ලා, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ, මැයි 02 දා සිට අඛන්ඩ වැඩ වර්ජනයක යෙදී සිටිති. රාජ්‍ය විශ්වවිද්‍යාල 17 හි සේවයේ නියුතු 13,000 කට අධික සමස්ත අනධ්‍යන කම්කරු බලකාය වර්ජනයට සහභාගි වී සිටින අතර, මැයි 12 දා පැවැත් වූ විරෝධතාව එම අරගලයේ කොටසකි.

මෙම ඉල්ලීම් සඳහා විසඳුම් යෝජනා අඩංගු කැබිනට් පත්‍රිකාවක් මැයි 12 වැනි දා සවස පැවැත්වීමට නියමිත වූ කැබිනට් මන්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පොරොන්දුවී ඇතැයි වර්ජනය කැඳවූ අනධ්‍යන සේවක වෘත්තීය සමිති සන්ධානය තම සාමාජිකත්වයට පවසා තිබුනි. එම යෝජනා අනුමත කර ගැනීම සඳහා කැබිනට්ටුවට පීඩනය යොදනුවස්, එදින තම විශ්වවිද්‍යාලයට ආසන්න ප්‍රධාන නගරයේදී විරෝධතා උද්ඝෝෂනවල නිරතවන ලෙස, වෘත්තීය සමිති සන්ධානය අනධ්‍යන සේවකයන්ට කැඳවුම් කලේය.

කොලඹ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වලට සහ නාවල විවෘත විශ්වවිද්‍යාලයට අයත් අනධ්‍යන කම්කරුවන් බත්තරමුල්ල පාර්ලිමේන්තුව වටරවුම අසල උද්ඝෝෂනය කිරීමට තීරනය කලේ ඒ අනුවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කම්කරුවන්ගේ අරගලයට මේ වසරේ පොලිස් ප්‍රහාර එල්ලකල දෙවන අවස්ථාව මෙයයි. ජනවාරි 18 වෙනිදා සිදුකල එක්දින වැඩ වර්ජනයේ දී පෙලපාලියකින් විජේරාම මංසන්ධියට යෑමට උත්සාහ කල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කම්කරුවන් විසුරුවා හැරීමට පොලීසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර යොදා ගත්තේය. ආසන්න දිනවල එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ටද ඒ ආකාරයෙන්ම පොලිසිය පහර දුන්නේය.

භාන්ඩ සහ සේවා මිල දැවැන්තව ඉහලයාම, වැටුප් කැටි කිරීම, මහජන සෞඛ්‍යයේ හා අධ්‍යාපනයේ කප්පාදුව සහ පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහි අරගල වේගයෙන් පිපිරෙමින් ඇත. අරගලයන්ට පිවිසෙන කම්කරුවන්ට සහ ශිෂ්‍යයන්ට එරෙහිව ආන්ඩුව රුදුරු මර්දනයක් දියත් කරමින් තිබේ. විරෝධතාවන්ට එරෙහිව අධිකරන වාරන නියෝග යොදා ගැනීම, ජල සහ කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විරෝධතාවන් දුටුතැන මර්දනය සාමාන්‍යය බවට පත්ව ඇත.

මීට අමතරව ක්ෂේත්‍ර ගනනාවකටම 'අත්‍යවශ්‍ය සේවා විධිවිධාන' පනවා එම ක්ෂේත්‍රයන්හි වැඩවර්ජන තහනම්කොට ඇත. එම විධිවිධාන කඩකරන්නවුනට එරෙහිව රුදුරු දඬුවම් පැනවිය හැකිවන අතර, රැකියාවෙන් නෙරපීම සහ සිර දඬුවම් ඒ අතර වේ. 2024 මුල දී, ලංකා විදුලිබල මන්ඩලයේ කම්කරුවන් පුද්ලීගලීකරනයට එරෙහිව ගෙනගිය අසනීප නිවාඩු උද්ඝෝෂනයට සහභාගි වූ 62 කගේ වැඩ තහනම් කිරීමට ආන්ඩුව වහා පියවර ගත්තේය. දැන් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනෙමින් පවතී.

මීට අමතරව, “ප්‍රති-ත්‍රස්ත පනත” සහ “මාර්ගගත ක්‍රමවේදයන්ගේ ආරක්ෂාව පිලිබඳ පනත” ආදී ප්‍රජාතන්ත්‍ර-විරෝධී අනපනත් සම්මත කර ගැනීම තුලින්, තම දේශපාලන විරුද්ධවාදීන් සහ සටන්කාමී කම්කරුවන් දඬු ගැසීමටත්, විරුද්ධ මතවාදයන් මර්දනය කිරීමටත් ආන්ඩුව ක්‍රියාත්මක වෙමින් පවතී. කම්කරුවන්, තරුනයන් සහ දේශපාලන විරුද්ධවාදීන් හමුදා පාලනය යටතේ පවත්නා කඳවුරුවල රඳවා තැබීමේ නීතිමය ප්‍රතිපාදන සහිත “පුනරුත්ථාපන පනත” 2023 ජනවාරියේදී සම්මත කර ගැනුනි.

මෙම රුදුරු රාජ්‍ය මර්දනය හමුවේ තම ඉල්ලීම් දිනාගත හැක්කේ කෙසේද යන බරපතල ප්‍රශ්නයට අනධ්‍යන සේවකයන් ඇතුලු සියලු කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් මුහුන දී සිටී. සැබැවින්ම, ඔවුන් සෘජුව අභිමුඛව සිටින්නේ, හමුදාව, පොලීසිය, අධිකරනය, බන්ධනාගාර සහ පාර්ලිමේන්තුව ආදියෙන් සමන්විත ධනපති රාජ්‍යයට යි.

මාක්ස්වාදයේ පුරෝගාමීන් පෙන්වාදුන් පරිදි, ඉහත අවයව වලින් සමන්විත ධනපති රාජ්‍යය සහ එය මෙහෙයවන ධනපති ආන්ඩු සෑමවිටම ක්‍රියාත්මක වන්නේ ප්‍රාග්ධනයේ අවශ්‍යතාව මත බවත්, ඒ අනුව, ආර්ථිකය ගෝලීයකරනය වූ අද දිනයේ ශ්‍රී ලංකාවේ ධනපති රාජ්‍යය සහ ධනපති ආන්ඩු ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ප්‍රධාන උපකරනයක් වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත බවත් අවබෝධ කර ගැනීම, කම්කරු පංතියට තම ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ.

ජාමූඅ හි ප්‍රහාරයන්ට එරෙහි සටන, අත්‍යවශ්‍යයෙන්ම ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනකි. නමුත්, ධනපති රාජ්‍යයට බැඳීගත් වෘත්තීය සමිති එවන් සටනකට පරම සතුරු ය.

ලංවිම කම්කරුවන්ට එරෙහි දඩයම සම්බන්ධයෙන් අනධ්‍යන සේවක සමිති ද ඇතුලු සියලු වෘත්තීය සමිති පවත්වාගෙන යන නිශ්ශබ්ධතාව පිටුපස පවතින්නේ එයයි. ලංවිම කම්කරුවන් සම්බන්ධයෙන් කෙසේ වෙතත්, තම කැඳවුම මත විරෝධතාවට පැමිනි අනධ්‍යන කම්කරුවන්ට එල්ල කෙරුනු පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන්, අවම වශයෙන් අනෙකුත් විශ්වවිද්‍යාලවල කම්කරුවන් දැනුවත් කිරීම පවා අනධ්‍යන සමිති මග හැරීය. කම්කරුවන් එය දැන ගත්තේ මාධ්‍ය තුලනි.

නිෂ්පාදන මාධ්‍යන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමයට අභියෝග නොකොට, හුදෙක් ධනපති ආන්ඩුවට බලපෑම් යෙදීමේ වෘත්තීය සමිති වැඩපිලිවෙලේ බංකොලොත්භාවය යලියලිත් තහවුරු වෙමින් පවතී. අනධ්‍යන කම්කරුවන් ඉදිරියේ එම සමිති තොරොම්බල් කල අධ්‍යාපන ඇමතිගේ ඊනියා කැබිනට් සංදේශය, කැබිනට් හමුව පැවති මැයි 12 දා ඉදිරිපත් කෙරුනේ නැත.

කම්කරුවන් තවදුරටත් මුලා කිරීම සඳහා යත්න දරන සමිති නායකයෝ, එදින සංදේශයක් ඉදිරිපත් කල බවත්, එය මුදල් අමාත්‍යාංශයට යොමු කර නිර්දේශ ලබාගෙන එලැඹෙන 27 වෙනිදා නැවත කැබිනෙට්ටුවට යොමු කර අනුමත කරගත හැකි බවත්, එතෙක් වර්ජනය ඉදිරියට ගෙනයන බවත් පවසති. “වැටුප් විෂමතාව” ඉවත් කිරීමේ සටනට වසර 08 ක් ගතවී ඇති අතර, මෙම සමස්ත කාලය පුරා සමිති විසින් අනධ්‍යන කම්කරුවන් මෙහෙයවා ඇත්තේ, මෙවන් නිස්සාර වැඩවර්ජන සහ විරෝධතාවන්ට යි.

12 වැනි දා උද්ඝෝෂනයට දින තුනකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ “2024 ආර්ථිකය වර්ධනය වන ස්වරූපය මෙන්ම රාජ්‍ය ආදායම් වැඩිවන ආකාරය පෙන්නුම් කරන්නේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම සලකා බැලිය හැකිවන්නේ ලබන වසරේ බවයි”. මෙය අනධ්‍යන සේවකයන් ඇතුලු සමස්ත කම්කරු පංතියට කරන ලද තර්ජනයකි.

තමා ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික පිලිවෙත් වලින් පිට පැන්නහොත් රට යලි “මහා විනාශයකට” ඇද වැටෙන බව වික්‍රමසිංහ තවදුරටත් කියා සිටියේ ය. ඔහු වක්‍රව පවසන්නේ, කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීමේ දී බාධාවක් වී ඇති බවයි. පුද්ගලීකරනය, සෞඛ්‍යය/අධ්‍යාපන කප්පාදුව, රැකියා කප්පාදුව සහ වැඩ වේගවත් කිරීම එම වැඩපිලිවෙලේ කොටසකි.

මෙම අර්බුදය 2025 දී විසඳනු ඇතැයි ජනාධිපති වික්‍රමසිංහ පවසන කතා ප්‍රලාපයන්‍ ය. ආන්ඩුව පවසන ආර්ථික ස්ථාවරභාවය, ජාමූඅ න් ලබාගත් දැවැන්ත නය කන්දක් මත ඇති කරගෙන තිබෙන ඉතාම අස්ථායී තත්ත්වයකි. ජාමූඅ හි නය කොන්දේසි අතරින් ප්‍රධානතම එකක් වන ජාත්‍යන්තර නය ප්‍රතිව්‍යුහකරනය මෙතෙක් සාක්ෂාත් නොකිරීම හේතුවෙන් ඊලඟ නය වාරිකය නොලැබීමේ අන්තරායට ආන්ඩුව මුහුන දී සිටී.

ශ්‍රී ලංකාවට නය ලබාදුන් විදේශීය පුද්ගලික ආයතන නය ප්‍රතිව්‍යුහකරනයේ දී ඉදිරිපත් කොට ඇති කොන්දේසි වඩාත් රුදුරු වේ. ධනපති ආන්ඩුවට එම කොන්දේසි සපුරාලිය හැක්කේ, කම්කරුවන් මත එහි සමස්ත බර පැටවීමෙන් පමනි. 2025 වසර සුභ වේයැයි වික්‍රමසිහ පවසන කතා මැතිවරනය ඉල්ලක්ක කරගත් හුදු ප්‍රලාපයන් පමනි.

සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු ධනපති විපක්ෂ ද, සියලු වෘත්තිය සමිති ද ජාමූඅ හි වැඩපිලිවෙලට මුලුමනින්ම කැප වී සිටිති. ඔවුන්ගේ කතා ද ඉලක්ක කෙරී ඇත්තේ මැතිවරනයට වන අතර, ඒවා වික්‍රමසිංහගේ ප්‍රලාපයන්ට නොදෙවෙනි ය.

කම්කරුවන්ට තමාගේම දේශපාලන වැඩපිලිවෙලක් අත්‍යවශ්‍යම කෙරී පවතින තතු තුල, වෘත්තීය සමිති එය කම්කරුවන්ගෙන් ඈත් කර ඇත්තේ, “වෘත්තීය සටන්” වලට දේශපාලනය අනවශ්‍ය බව ප්‍රකාශ කරමින් සහ සාමාජිකත්වය තුල ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් වලකා ලීමෙනි.

“විශ්වවිද්‍යාල අනධ්‍යන සමිති අධ්‍යාපන ඇමතිට යැවූ ලිපිය වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව ගැඹුරින්ම හෙලි කරයි” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 මැයි 01 පල කෙරුනු ලිපියේ සඳහන් කෙරුනු පරිදි,

“සමිති නිලධරය තොරොම්බල් කරන ආන්ඩුවට පීඩනය යෙදීමේ බංකොලොත් වැඩපිලිවෙලට එරෙහිව තම ඉල්ලීම් දිනා ගැනීමේ ශක්‍ය වැඩපිලිවෙලක් සම්මත කර ගැනීම සඳහා සියලු ශ්‍රේනිවල අනධ්‍යන කම්කරුවන්ගේ ඒකාබද්ධ සමුලුවක් කැඳවන ලෙසත්, සමුලුව තුල ඒ සඳහා පූර්න ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකට ඉඩ සලසන ලෙසත් ඉල්ලා සෑම අනධ්‍යන සමිතියකම සාමාන්‍ය සාමාජිකත්වය සටන් කල යුතුය.”

කම්කරුවන්ට සටන්කාමීත්වය පමනක් ප්‍රමානවත් නොවේ. අනධ්‍යන සේවකයින්, ආන්ඩුවට බලපෑම් කරන වෘත්තීය සමිති නායකයින්ගේ රාමුව තුලට සීමා නොවිය යුතුය. ඔවුන් කම්කරුවන්ගේ කෝපය විසුරුවා හැරීම සඳහා හිතාමතාම මෙම මිත්‍යාව තුල කම්කරුවන් නැවත නැවතත් සිර කරති. කම්කරුවන්ට අවශ්‍ය වන්නේ “වැටුප් විෂමතා ඉවත් කිරීම” සඳහා වූ කල් ඉකුත් වූ ඉල්ලීම පමනක් නොව ජීවන වියදම් වැඩිවීමට සරිලන වැටුප් වැඩිවීමකි.

මෙය ජාමූඅ කප්පාදුවලට එරෙහි පුලුල් අරගලයකි. එය ගෙන යා හැක්කේ, වික්‍රමසිංහ ආන්ඩුවට සහ සමස්ත ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ දේශපාලන අරගලයක් ලෙසිනි. මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි අනධ්‍යන සේවකයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading