යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ වරාය කම්කරුවන් සහ ශාස්ත්‍රාලිකයෙක් ඉල්ලා සිටී

[මෙය Port workers and an academic in Sri Lanka call for the immediate release of Ukrainian socialist Bogdan Syrotiuk යන මැයෙන් 2024 මැයි 16 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා නිදහස් කරන ලෙස ඉල්ලා කොලඹ වරාය කම්කරු ක්‍රියාකාරී කමිටුව සහ මහාචාර්ය ආරියරත්න හේරත් විසින් නිකුත් කරන ලද ප්‍රකාශ දෙකක් පහතින් පල කරන්නෙමු. එක්සත් ජනපද-නැටෝ යුද්ධයට සහ ඊට සම්බන්ධ සියලුම ආන්ඩුවලට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් මත යුක්‍රේන හා රුසියානු කම්කරුවන් එක්සත් කිරීමට සටන් කිරීම හේතුවෙන්, බොරු චෝදනා මත, යුක්‍රේනයේ ෆැසිස්ට් සෙලෙන්ස්කි තන්ත්‍රය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සයිරොටියුක් ගේ නිදහස ඉල්ලා ගෝලීය උද්ඝෝෂනයක් දියත් කර තිබේ. ඒ සඳහා ඔන්ලයින් පෙත්සම මෙතනින් අත්සන් කරන්න.

වරාය සේවක ක්‍රියාකාරී කමිටුව,

ශ්‍රී ලංකාව, 2024.05.12.

යුක්‍රේනයේ සමාජවාදී සටන්කරුවා, බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා වහා නිදහස් කරනු!

ෆැසිස්ට් සෙලෙන්ස්කි තන්ත්‍රයේ ආරක්ෂක බලකාය වන එස්බීයූව, ව්‍යාජ චෝදනා මත, අප්‍රේල් 25 දා යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගැනීමෙන් පසු දින විස්සක් ගතවී ඇත. දකුනු යුක්‍රේනයේ ඔහුගේ උපන් ගම්මානය වන පොරොමෙස්ක් හි රඳවා තබාගෙන සිටි සයිරොටියුක්, දැන් නිකොලෙියෙව් බන්ධනාගාරයේ රඳවා සිටී.

2023 ජනවාරි 30 වැනි දින කොලඹ වරාය සේවකයෝ රජයේ ආදායම් බදු වැඩි කිරීමට එරෙහිව දිවා ආහාර වේල තුල විරෝධතාවයට එක්වීමට [වැඩබිමෙන්] එලියට එන අයුරු. [ඡායාරූපය: ලෝසවෙඅ]

සයිරොටියුක් සහෝදරයා රුසියාවේ පුටින් පාලන තන්ත්‍රයේ ඒජන්තයෙකු බවට යුක්‍රේන තන්ත්‍රයේ අමූලික බොරුව අපි හෙලා දකිමු.

බොග්ඩාන් සයිරොටියුක්, කියෙව්හි ෆැසිස්ට් ආන්ඩුවේ සහ මොස්කව්හි ප්‍රතිගාමී ජාතික කතිපයාධිකාරී තන්ත්‍රය විසින් ගෙන යන යුද්ධයට එරෙහිව, යුක්‍රේනයේ හා රුසියාවේ කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන්කල අයෙකි. ඔහු, පැරනි සෝවියට් සංගමය පැවති ප්‍රදේශයේ වැඩ කරන, බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන අතර නැටෝව සහ ෆැසිස්ට්වාදී සෙලෙන්ස්කි තන්ත්‍රය අවුලුවාලූ යුද්ධයේ විරුද්ධවාදියෙකි.

අධිරාජ්‍යවාදය සහ යුක්‍රේනය තුල එහි නැටෝ ආධාරකරුවන් යුද්ධය උත්සන්න කිරීමටත්, ඉරානයට හා චීනයට එරෙහිව පුලුල් යුද්ධයක් සඳහා සූදානම් වීමටත් එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තික ගෝලීය ව්‍යාපාරයක් වර්ධනය කරන ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් කරන ලද කැඳවීමේ වැදගත්කම අපි තේරුම් ගනිමු. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ භූ-දේශපාලනික අවශ්‍යතා සඳහා යුක්‍රේනයේ යුද්ධය දැනටමත් සිය දහස් ගනනක් ජීවිත බිලිගෙන ඇති අතර එය නැවැත්විය යුතුය.

ඇමරිකානු සහ නැටෝ අධිරාජ්‍යවාදීන් ලෝක ජනතාව තුන්වන ලෝක යුද්ධයක් කරා ඇදගෙන යද්දී, කම්කරු පන්තිය මුහුන දෙන දැවැන්ත කර්තව්‍යය වන්නේ එවන් යුද්ධයක් වැලැක්වීමයි. එක්සත් ජනපදය හා එහි සහචරයින් විසින් කුපිත කරන ලද මිලිටරි ගැටුම්, මනුෂ්‍ය වර්ගයාට න්‍යෂ්ටික ගිනි ජාලාවක තර්ජනය ගෙන එයි.

මානව වර්ගයා ආරක්ෂා කිරීමේ හැකියාව ඇති එකම වැඩපිලිවෙල වන ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටන් කරන හජාජාක සමග දේශපාලන සහයෝගීතාවයෙන්, යුක්‍රේනයේ සහ රුසියාවේ ධනේශ්වර ආන්ඩුවලට එරෙහිව සයිරොටියුක් සටන් වදියි.

බොග්ඩාන් සහෝදරයා නිදහස් කර ගැනීම සඳහා පෙරට පැමින උද්ඝෝෂන කරන ලෙස, කොලඹ වරාය කම්කරු ක්‍රියාකාරී කමිටුව (වකක්‍රික) සියලුම වරාය සේවකයන්ගෙන්, තරුනයන්ගෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගය කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් දියත් කර ඇති
න්තර්ජාල පෙත්සමට
ඔබගේ අත්සන යොදන්න.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කක්‍රික-ජාස) විසින් මැයි 1 දා නිකුත් කරන ලද ප්‍රකාශයට, වකක්‍රික සම්පුර්නයෙන්ම එකඟත්ව පලකරයි. එය මෙසේ ප්‍රකාශ කරයි: “සිය ශ්‍රමය තුලින් සියලු ධනය නිර්මානය කරන, පෘථිවියේ බලවත්ම සමාජ බලවේගය වන කම්කරු පන්තිය, ජන සංහාරය හා යුද්ධය අවසන් කිරීමට බල කිරීම සඳහා එම බලය යොදාගත යුතුය.”

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකේම පිටුබලය ලබන බයිඩන් පරිපාලනයේ පූර්න සහයෝගය ඇතිව සියොන්වාදී නෙතන්‍යාහු පාලන තන්ත්‍රය විසින් ගෙනයන ගාසා තීරයේ ජන සංහාරයට එරෙහිව ඇමරිකානු විශ්ව විද්‍යාල 40 ක පමන සිසුන් කඳවුරු බැඳ තිබේ. ඔවුන්ගේ විරෝධතා තලා දැමීමට කඩතුරාවක් සැපයීම සඳහා මෙම සිසුන් “යුදෙව් විරෝධී” ලෙස ව්‍යාජ ලෙස ලේබල් කරන බයිඩන් පරිපාලනය, සිසුන් 3,000 ක් අත්අඩංගුවට ගැනීමට කැරලි මර්දන පොලිසිය යොදවා ඇත.

වකක්‍රික මෙම සිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ද පෙනී සිටී. අපි ඔවුන්ව වහාම නිදහස් කරන ලෙස බලකර සිටිමු.

ජනතාව දැනුවත් කිරීම, රැස්වීම් ගොඩනැගීම, පෝස්ටර් ව්‍යාපාර දියත් කිරීම සහ අසල්වැසි ප්‍රදේශවල, විශ්ව විද්‍යාල සහ පාසල්වල විරෝධතා සංවිධානය කිරීම ආදිය මගින්, යුද විරෝධී ට්‍රොට්ස්කිවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කිරීමේ ව්‍යාපාරයට සහාය දෙන ලෙස වකක්‍රික කම්කරුවන්, තරුනයන් සහ පීඩිතයන්ගෙන් ඉල්ලා සිටී.

ස්තුතියි,

ශ්‍රී ලංකා වරාය සේවක ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන්,

කැඳවුම්කරු, ජෝතිපාල දැදිගම.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ, මහාචාර්ය ආරියරත්න හේරත්:
සමාජවාදී බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කරනු

යුක්‍රේනයේ සෙලෙන්ස්කි තන්ත්‍රය විසින් බොග්ඩාන් සයිරෝටියුක් සහෝදරයා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට මාගේ දැඩි විරෝධය පලකර සිටිමි. ඒ සමගම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ, ඔහු වහා නිදහස් කිරීම සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයට මගේ පූර්න සහයෝගය ප්‍රකාශ කරමි.

මහාචාර්ය ආරියරත්න හේරත්

සයිරොටියුක් සටන් වදින ජාත්‍යන්තර සමාජවාදී මූලධර්ම සලකා බැලීමේදී, 'යුක්‍රේනයේ භෞමික අඛන්ඩතාවයට වල කැපීම සහ රුසියාවේ අවශ්‍යතාවලට සේවය කිරීම' සම්බන්ධයෙන් ඔහුට එරෙහි චෝදනා සම්පූර්නයෙන්ම අසත්‍ය බව පැහැදිලිය. ජාත්‍යන්තර මැයි දිනයේදී සයිරොටියුක් සැලසුම් කර සිටි කතාව තුල මෙසේ සඳහන් ය: 'මෙම යුද්ධය අවසන් කිරීම සඳහා යුක්‍රේන හා රුසියානු නිර්ධන පංතියට, අධිරාජ්‍යවාදී රටවල නිර්ධන පංතිය සමග එක්සත් වන ලෙස අපි කැඳවුම් කර සිටිමු!'

අධිරාජ්‍යවාදී අවශ්‍යතා වෙනුවෙන් යුක්‍රේනියානුවන් ලක්ෂ ගනනක් බිල්ලට දෙන සෙලෙන්ස්කි තන්ත්‍රය සහ රුසියානු ධනේශ්වර කතිපයාධිකාරය වෙනුවෙන් සහෝදර ඝාතක යුද්ධයක යෙදී සිටින පුටින් පාලනය යන දෙකටම එරෙහිව, යුද්ධය නැවැත්විය හැකි එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීමට සටන් කරන ඔහු යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියෙකු බව පැහැදිලිය.

ඔහුගේ කැඳවුම මට මහත් ධෛර්යයක් ලබා දෙයි. එමෙන්ම එය ලොව පුරා කම්කරුවන්ට හා තරුනයින්ට විශාල බලපෑමක් ඇති කරනු නිසැකය.

මෙම යුද්ධයට හේතුව 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම බව මම විශ්වාස කරමි. එය ජෝසප් ස්ටැලින් ප්‍රමුඛ නිලධරය විසින් ගෙන ගිය 'තනි රටේ සමාජවාදයේ' ප්‍රතිපලයකි. මම මේ ඉතිහාසය උගත්තේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය විසින් අපේ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයකිනි.

යුක්‍රේන යුද්ධය පමනක් නොව, සැබවින්ම න්‍යෂ්ටික ලෝක යුද්ධයක් කරා අධිරාජ්‍යවාදීන්ගේ තල්ලුව වැලැක්විය හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සටන තුලින් පමනි.

එම වැඩපිලිවෙල වෙනුවෙන් සටන් කරන බොග්ඩාන් සයිරොටියුක් සහෝදරයා වහා නිදහස් කරනු!

Loading