රුසියාවේ වැග්නර් කුලී හමුදාවට සැපයූ ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකු දිවයිනට පලා ඒමත් සමග මිනිස් ජාවාරම පිලිබඳ තවත් තොරතුරු හෙලිවේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සෙබලුන්ට රුසියානු හමුදාවේ රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වී රුසියාවේ සිට ක්‍රියාත්මක වන වැග්නර් කුලී හමුදාවට ඔවුන් බඳවා දෙන මිනිස් ජාවාරමක් මේ වසර මුල දී අනාවරනය විය. එම මගඩියට හසුව අවසානයේ යුක්‍රේනය තුල රුසියානු යුද පෙරමුනක සිට පලා ඒමට සමත් වූ සෙබලුන් කීප දෙනෙකු මිනිස් ජාවාරම සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු එලිදරවු කර ඇත. ඇතැම් සිවිල් වැසියන් ද යුරෝපයේ විදේශ රැකියා ලබා දෙන බව රවටා යුක්‍රේනයේ සහ රුසියාවේ කුලී හමුදාවන්ට සපයනු ලැබ ඇති බව ද අනාවරනය වෙමින් තිබේ.

වොෂින්ටනය සහ යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන් යුක්‍රේනය වක්‍රව යොදාගෙන රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය දැන් දෙවසර ඉක්මවා ඇත. මෙය දෙ වැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපා භූමියේ සිදු වන දරුනුම යුද්ධයයි. මෙම යුද්ධයට දැනටමත් මිලියන භාගයක් යුක්‍රේන ජීවිත බිලි දී ඇත. දසදහස් සංඛ්‍යාත රුසියානු සොල්දාදුවන් ද මරනයට පත්ව තිබේ. යුක්‍රේනය ද රුසියාව ද ලංකාව ඇතුලු දුගී රටවල සොල්දාදුවන් හෝ සිවිල් ජනයා කුලී හමුදා ලෙස දෙරටේ හමුදා වලට අනුයුක්ත කර යුද්ධයට යැවීම සිදුවන්නේ මේ තත්වය තුලයි.

වොෂින්ටනය සහ යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන්ගේ මැදිහත් වීමෙන් 2014 යුක්‍රේනයේ සිදු කෙරුනු තන්ත්‍රමාරු කුමන්ත්‍රනය ද ඇතුලුව ඊට පෙර සහ පසුව රුසියාව එල්ල කර ගත් ආක්‍රමනශීලි පියවර ගනනාවකට මංමුලා සහගත ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් පුටින් තන්ත්‍රය 2022 පෙබරවාරි මාසයේ යුක්‍රේනය ආක්‍රමනය කිරීමත් සමග යුද්ධය ඇවිලී ගියේය. දැන් එය වඩවඩාත් බිහිසුනු ව දිග් ගැසෙමින් න්‍යෂ්ටික ලෝක යද්ධයක අනතුර මතු කරමින් තිබේ.

අධිරාජ්‍යවාදීන්ගේ අරමුන වන්නේ රුසියාව අස්ථාවර කර එරට තිබෙන තීරනාත්මක ස්වභාවික සම්පත් තම ආධිපත්‍යයට ගැනීම සහ චීනයට එරෙහි යුද්ධයක දී වඩාත් වාසි සහගත කොන්දේසි අත් කර ගැනීම ය.

වැග්නර් හමුදාව රුසියාව සඳහා බඳවා ගැනීම්වල මුලිකත්වය ගෙන ඇත. එය, රුසියානු කතිපයාධිකාරියේ ජාත්‍යන්තර අවශ්‍යතා ආරක්ෂා කිරීමට, සම්මත මිලිටරියක් වගකිව යුතු ජාත්‍යන්තර නීතිරීති නොතකමින් ම්ලේච්ඡ ම ආකාරයේ මැදිහත් කිරීම්වලට භාවිතා කෙරෙන මිලිටරි සමාගමකි. සිරියාවට රුසියානු මිලිටරියේ මැදිහත් වීමේ සිට යුක්‍රේන යුද්ධය දක්වා තම දායකත්වය සපයා ඇති වැග්නර් අප්‍රිකාව තුල ද තම මෙහෙයුම් සිදු කරයි.

රුසියානු පුරවැසි භාවය, මාසික ව රුපියල් ලක්ෂ 7 සිට ඉහල වේතන, ජීවිත හානියක දී දැවැන්ත පරිමාන වන්දියක්, රුසියාවෙන් ඉඩකඩම් ඇතුලු තවත් දීමනා සහ පහසුකම් සමගින් රුසියානු හමුදාවට සම්බන්ධ විය හැකි බව පවසමින් විශ්‍රාමික හමුදා සෙබලුන් මේ සඳහා ලංකාව තුල දී එක් රැස් කර ඇත්තේ සම්මන්ත්‍රන ද පවත්වමිනි.

වැග්නර් සමාගම කුලී හේවායන් බඳවා ගැනීමේ දී ගෙවනවා යැයි කියන ලක්ෂ 25කට ආසන්න මුදල එම සමාගමෙන් තමන්ට ලබා ගන්නා මෙම ව්‍යාපාරයේ යෙදෙන්නන්, රුසියාවට යවනු ලබන පිරිසෙන් ද විවිධ කාරනාවලට යැයි කියමින් තවත් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 20කට ආසන්න මුදල් අය කර ගෙන ඇත. බොහෝ පිරිසක් මෙම මුදල් සොයා ගෙන ඇත්තේ තම නිවෙස් ඉඩම් සහ ස්වර්නාභරන උකස් කරමින් නැති නම් පොලියට නය ලබා ගනිමිනි.

පලා ආ සෙබලුන් ප්‍රකාශ කරන්නේ මේ බඳවා ගැනීමේ ජාලය තුල විශ්‍රාමික ඉහල නිලධාරීන් ගනනාවක් සිටීම නිසා තමන් මොවුන්ගේ පොරොන්දු විශ්වාස කල බවයි. මේ සෙබලුන් යුද බිමේ සටන් කරන්නේ කිසිදු මාසික වේතනයකින් තොරවයි. රුසියාවට යාමෙන් පසු ඔවුන්ට ලැබී ඇත්තේ සති දෙකක පුහුනුවකින් පසු ගෙවනු ලැබූ රූබල් ලක්ෂ දෙකකට (ඒ.ජ. ඩොලර් 2,200) ආසන්න මුදලක් පමනි.

නිල පොලිස් විමර්ශනවලට අනුව දැනට යුක්‍රේනයට සහ රුසියාවට කුලී සටන්කරුවන් ලෙස ගොස් ඇත්තේ සියයකට ආසන්න පිරිසක් බවට අනාවරනය කර ගෙන ඇතත් රුසියාවේ සිට පලා ආ සෙබලුන් පවසන ආකාරයට පන්සියයේ සිට දහසකට ආසන්න ශ්‍රී ලාංකික පුරවැසියන් පිරිසක් රුසියාව වෙනුවෙන් පමනක් එහි යුද බිමේ සිටිති. සියයක් වත් දැනට මිය ගොස් ඇති අතර තවත් දෙසියයක්වත් තුවලා ලබා සිටිති. ඔවුන් පවසන ආකාරයට අප්‍රිකානු රටවලින් සහ කියුබාව, බංගලාදේශය, පාකිස්ථානය, ඉන්දියාව සහ නේපාලය යන රටවල දහස් ගනනක් මෙ ලෙස කුලී හේවායන් වශයෙන් සේවය කරති.

දෙරන රූපවාහිනියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් පලා ආ විශ්‍රාමික සෙබලෙකු තමන් විදේශ ගත වීමට හේතු වූ ආර්ථික දුෂ්කරතා මෙසේ පැහැදිලි කලේ ය: “ලංකාවේ ලැබෙන වැටුපෙන් [වියදම්] කලමනාකරනය කර ගන්න අමාරුයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් වෙනවා. නය වාරික කැපෙනවා. පසු ව පොලී අනුපාතත් වැඩි වුනා. ලැබෙන වැටුපෙන් කර කියා ගත නොහැකි තත්ත්වයක් ඇති වුනා.”

එම රූපවාහිනියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් තවත් සෙබලෙකු පැහැදිලි කර සිටියේ බොහෝ විශ්‍රාමික සෙබලුන් පසුකාලීන ව පාතාලයට සම්බන්ධ වීමට පොලඹවනු ලබන්නේ ද මේ ආර්ථික කොන්දේසිම බවයි. “ලංකාවේ ජීවත් වෙනවට වැඩිය ගිහින් මැරෙන එක හොඳයි. අඩු ම තරමින් තම දරු පවුලට ඉන් වන්දියක් හෝ ලැබෙනවා” යන කල්පනාවෙන් රුසියානු මිලිටරියට එක් වීමට තමන් තීරනය කල බව ඔහු පැවසුවේ ය.

නිව්ස්ෆස්ට් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් යුද්ධයට ගොස් මිය ගියා යැයි සැලකෙන විශ්‍රාමික ගුවන් හමුදා සෙබලෙකුගේ බිරිඳක් මෙසේ පවසා සිටියා ය: “පැන්ෂන් එක හැටියට ලැබුනේ රුපියල් 38 000ක් මුදලක්. 2017 දී විශ්‍රාම ගියාට පසු ඔහු ගොවිතැන්වල යෙදුනා. කරන්න තියෙන හැම දෙයක් ම කලා. හැම දෙයක් ම නැති වුනා, මේ බඩු මිලත් එක්ක. ජීවත් වෙන්න, දරුවන්ට උගන්වන්න මදි.”

මෙම ප්‍රකාශ, දිවි පරදුවට තබා හෝ තම දරු පවුල් පෝෂනය කිරීමට තරම් සමාජ කාලකන්නිභාවය ගැඹුරු වී ඇති අයුරු පෙන්නුම් කරන එක් නිදසුනකි. විදේශ සංචිත සිඳී යාමත් සමග ආන්ඩුව පැන වූ රසායනික පොහොර තහනම සමග 2021 වසරේ දී කෘෂිකර්මාන්තය විශාල වශයෙන් විනාශ වූ අතර ග්‍රාමීය විශාල පිරිසක් රැකියා සොයමින් නිදහස් වෙලඳ කලාප ආශ්‍රිත ප්‍රදේශවලට සංක්‍රමනය වූහ.

කෝවිඩ්-19 වසංගතයෙන් උග්‍ර කෙරුනු ලාභ අර්බුදය පීඩිත ජනතාවට තවතවත් පටවමින් ෆැක්ටරි වසා දැමීම් සහ වැඩ වේගවත් කිරීමේ පියවර පසු ව ආ වර්ෂවල දී දැඩි කෙරුනි. යුක්‍රේනය තුල යුද්ධය ඇරඹීමත් සමග රටේ ආර්ථික අර්බුදය තවත් දැවැන්තව ඉහල ගියේය.

2022 අප්‍රේල්-ජූලි මහජන අරගලය පුපුරා ගියේ මෙම අර්බුදයේ බර ඉවසිය නොහැකි ලෙස මහජනයා මත පැටවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව පියවර ගැනීමත් සමග ය.

2022 පටන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ක්‍රියාවට දමමින් තිබෙන මුර්ග වැඩපිලිවෙල කම්කරුවන්ගේ හා දුගී ජනයාගේ ජීවන හා සමාජ කොන්දේසි තවත් පාතාලයට ඇදදමා දරිද්‍රතාව, මන්දපෝෂනය හා කුසගින්න පතුරුවා හරිමින් තිබේ.

මේ තත්වය තුල පසුගිය වසර දෙක තුල බොහෝ පිරිසක් නීත්‍යානුකූල ව හෝ නීති විරෝධී ව හෝ යහපත් ජීවන කොන්දේසි සොයමින් විදේශ ගත වූ අතර තවත් බොහෝ පිරිසක් ඒ සඳහා උත්සහ කරමින් සිටිති. මහජනයාගේ මෙම දුක් කම්කටොලුවලින් මිනිස් ජාවාරමේ යෙදෙන සමාගම් තර වෙයි.

මොවුන් නිදහස් කර ගැනීම ගැන මැයි 13දා පාර්ලිමේන්තුවේ දී හිස් සාකච්ඡා පැවැත් වුනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියේ විදේශ ඇමති හෝ රාජ්‍ය ඇමති රුසියාවට ගොස් මොවුන් ගලවා ගැනීමට මැදිහත් විය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් තමන් වැඩ කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත තෙන්නකෝන් පිලිතුරු දුන්නේ ය.

මීට පෙර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුනරත්න මෙ වැනි ජාවාරම්වලට අසු නොවන්නැයි ඇල්මැරුනු පනිවිඩයක් නිකුත් කර තිබුනි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමකට උපදෙස් දී ඇතැයි සිකුරාදා මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

නින්දෙන් ඇහැරුනා සේ කරන මේ සියලු ප්‍රකාශ, පාලක පන්තියේ අමු කුහකකම ප්‍රදර්ශනය කරයි. යුද බිමේ සිට වීඩියෝ පටයක් නිකුත් කල එක් සෙබලෙකු ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය මේ ජාවාරම සම්බන්ධයෙන් දැනුවත් යැයි තමන් සැක කරන බවට චෝදනා එල්ල කලේ ය. සත්‍යය විය හැක්කේ මෙයයි.

ආන්ඩුව මහජන කෝපය සමනය කිරීමට මවා පෙන්වීම් වල යෙදෙයි. මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ මේජර් ජනරාල්වරයෙකු සහ සැරයන්වරයෙකු කුරුනෑගල දී අත් අඩංගුවට ගෙන ඇත. තවත් අත් අඩංගුවට ගැනීම් වාර්තාවෙමින් පවතී.

රැකියා විරහිතයන් ඇතුලු ආර්ථික අර්බුදයෙන් බැටකන ජනයා මොන ක්‍රමයෙන් හෝ රටින් පිටමංවීම මෙන් ම ඔවුන් ජීවිත පරදුවට තබා හෝ විදේශ මුදල් උපයාදීම සිදු කරන්නේ නම් එය ආශීර්වාදයක් ලෙස සලකන කාලකන්නි ධනපති පන්තියක් රට පාලනය කරයි.

මේ ව්‍යසනකාරී ආර්ථික කොන්දේසි තව දුර පුලුල් කෙරෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිලිවෙලට ඔවුහු කැප වී සිටිති. ඒ අතරම, එක් අතකින්, ජාවාරම්කරුවන් පීඩිත තරුනයන් නේටෝ-රුසියානු යුද්ධයට යවද්දී, ලංකාවේ ආන්ඩුව රතු මුහුදේ හවුති සටන්කරුවන්ගෙන් වානිජ යාත්‍රාවන් ආරක්ෂා කරන්නට යැයි එක්සත් ජනපදය මූලික වී යොදවා ඇති නාවුක මෙහෙයුමට දැනටමත් ලංකාවේ නාවික යාත්‍රා නිල වශයෙන් යවා ඇත.

Loading