ඉදිරිදර්ශන

යුක්‍රේන සමාජවාදී බොග්ඩාන් සයිරෝටියුක්ට එරෙහි දේශපාලන බොරු නඩුව නතර කරනු!

[මෙය Stop the political frame-up of Ukrainian socialist Bogdan Syrotiuk! යන මැයෙන් 2024 මැයි 18 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

රුසියාවේ, යුක්‍රේනයේ සහ පෙර පැවති සෝවියට් සංගමය පුරා ක්‍රියාකාරී සමාජවාදී-ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් වන බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල හි (වයිජීබීඑල්) නායකයා වන 25 හැවිරිදි බොග්ඩාන් සයිරෝටියුක්, ෆැසිස්ට් සෙලෙන්ස්කි පාලන තන්ත්‍රයේ කුප්‍රකට රාජ්‍ය ආරක්ෂක සේවය වන එස්බීයූ විසින්, 2024 අප්‍රේල් 25 වන දින අත්අඩංගුවට ගන්නා ලදී. දකුනු යුක්‍රේනයේ පිහිටි මිකොලයෙව් නගරයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක බොග්ඩාන් දරුනු තත්වයන් යටතේ රඳවා සිටී.

වයිජීබීඑල් දේශපාලනිකව අනුබද්ධිත ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක), අවසානයේ දී, එස්බීයූ විසින් බොග්ඩාන් සයිරෝටියුක් ට එරෙහිව ඉදිරිපත් කරන චෝදනාවල සත්‍ය ලේඛන ලබාගෙන ඇත. බොග්ඩාන් රඳවා තබා ගැනීමේ පදනම සකසන්නා වූ මෙම ලේඛන, ඔහු බිහිසුනු රාජ්‍ය හොර නඩුවක ගොදුරක් වී ඇති බව සම්පූර්නයෙන්ම පැහැදිලි කරයි. එස්බීයූ ව විසින් ගොතා ඇති චෝදනා වනාහි, අසත්‍යයන්ගේ, ඉතා පැහැදිලිව පෙනෙන ප්‍රබන්ධයන්ගේ සහ දේශපාලන විකාරයන්ගේ ගොරහැඩි සම්මිශ්‍රනයකි.

බොග්ඩාන් සයිරෝටියුක්, 2023 අප්‍රේල්

එපමනක් නොව, එස්බීයූ ව විසින් ඉදිරිපත් කරන ලද ලියකියවිලි යොමු කරනු ලබන්නේ බොග්ඩාන්ට එරෙහිව පමනක් නොවේ. එය, සෙලෙන්ස්කි තන්ත්‍රයට එරෙහි සියලු වාමාංශික හා සමාජවාදී විරුද්ධත්වයට සහ විශේෂයෙන් ම, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට සහ එහි ප්‍රසිද්ධ ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමකට වඩා අඩු දෙයක් නොවේ.

බොග්ඩාන් සයිරොටියුක්ට එරෙහි කේන්ද්‍රීය චෝදනාව වනුයේ, බරපතල රාජද්‍රෝහී ක්‍රියාවන් හි නිරතවීම සම්බන්ධයෙන් ඔහු වරදකරු බවයි. පසුගිය වසර දෙකක කාලය තුල, 'රුසියානු ප්‍රචාරක හා තොරතුරු ඒජන්සියක් වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නියෝජිතයින්ගේ බලයලත් ප්‍රකාශන සකස් කිරීමේ නිරතව සිටීම' මෙම චෝදනාවේ පදනම වේ.[අවධාරනය ඈඳිනි.]

රුසියාව විසින් මෙහෙයවන, 'යුක්‍රේනයට එරෙහි ක්‍රියාකාරී තොරතුරු යුද්ධය' සඳහා වන මෙවලමක් ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙලා දකින එකී චෝදනාවට අනුව,

ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් යුක්‍රේනයට දෙන සහාය අපකීර්තියට පත් කිරීම සඳහා ඊනියා 'වාමාංශික' ප්‍රචාරකයන් සහ ඔවුන්ගේ තොරතුරු වේදිකා (වෙබ් අඩවි, මාධ්‍ය සහ සමාජ වේදිකා) භාවිතා කරන ලෝක සමාජවාදී වෙබ් අඩවිය, යුක්‍රේනයට එරෙහි රුසියාවේ සන්නද්ධ ආක්‍රමනය සාධාරනීකරනය කරයි; යුක්‍රේනයට ආයුධ සපයමින් ද, යුක්‍රේනය තුල යුද්ධය අවුස්සමින් ද ඊනියා විශේෂ මිලිටරි මෙහෙයුම දියත් කිරීමට රුසියාවට බලකෙරෙන කොන්දේසි නිර්මානය කල බවට බටහිර රටවලට චෝදනා කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, යුක්‍රේනයේ සහ යුක්‍රේනය සමග මිත්‍ර රටවල ජනගහනයට ක්‍රෙම්ලින-ගැති ප්‍රබන්ධ ක්‍රමානුකූලව ගෙනයාමට රුසියාව විසින් ඒවා භාවිතා කරනු ලැබේ...

රුසියාවේ පූර්න පරිමාන යුක්‍රේන ආක්‍රමනයේ ආරම්භයේ සිටම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය 'ලෝසවෙඅ' යුක්‍රේනයත්, එහි ආක්‍රමනික රාජ්‍යයට එරෙහිව සටන් කරන ලොව පුරා ආන්ඩුවල නියෝජිතයිනුත් අපකීර්තියට පත් කිරීම අරමුනු කරගනිමින් විවිධ භාෂාවලින් ලිපි පල කර තිබේ

යුක්‍රේනය තුල එක්සත් ජනපද-නැටෝ යුද්ධයට ජාත්‍යන්තර කමිටුවේ විරුද්ධත්වය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලධර්ම තුල ගැඹුරින් මුල් බැසගත්, එහි දේශපාලන වැඩපිලිවෙලේ අත්‍යවශ්‍ය අංගයකි. මෙම විරුද්ධත්වය, පුටින්ගේ ප්‍රචාරක ජාලයේ මෙවලමක් ලෙස හුවා දැක්වීමට යුක්‍රේන තන්ත්‍රය දරන උත්සාහය, දේශපාලනිකව විකාර සහගත මෙන්ම බිහිසුනු ලෙස සාවද්‍ය වේ. පුටින් තන්ත්‍රයට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සම්මුති විරහිත විරුද්ධත්වය—එය මතු වූයේ, ස්ටැලින්වාදී නිලධරය විසින් සමාජවාදය අවසාන වශයෙන් පාවාදීමේ සහ පැරනි සෝවියට් සංගමය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමේ ප්‍රතිවිපාකයක් ලෙස ය—සිය ගනනක ලේඛන වලින් පමනක් නොව, දශක ගනනාවක් පුරා විහිදුනු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ විස්තීර්න ලේඛනගත ක්‍රියාකාරකම් තුලින් සනාථ වන මූලික දේශපාලන කාරනාවකි.

එහි ෆැසිස්ට් ස්වභාවයට අනුව යුක්‍රේන තන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ, හිට්ලර්ගේ සහ ඔහුගේ ප්‍රචාරක අමාත්‍ය ජෝසෆ් ගොබෙල්ස්ගේ සුප්‍රසිද්ධ ශික්ෂා පදය මත ය: 'බොරුව විශාල වන තරමට, එය පහසුවෙන් විශ්වාස කරනු ඇත.'

මෙම විශේෂිත සිදුධියේ දී, එස්බීයූ බොරුවල පරිමානය කෙතරම් විශාලද යත්, ඒවා සරලව, සිතන මතන මහජනතාව යටපත් කරනු ඇති බව සෙලෙන්ස්කි පාලනය විශ්වාස කරන බව පෙනේ. එස්බීයූ අධිචෝදනාව විස්තර කරන පරිදි, ලෝසවෙඅ හි වැඩ මෙහෙයවන්නේ පුටින් තන්ත්‍රය බව මහ ජනතාව පිලිගනු ඇතැයි එය අපේක්ෂා කරයි.

'සමාජවාදී විප්ලවය හරහා ලෝක සමාජවාදය ස්ථාපිත කිරීමේ අරමුන ඇතිව, ධනේශ්වර වෙලඳපොල ක්‍රමයට එරෙහි විප්ලවවාදී විරුද්ධත්වයේ ආස්ථානයක සිට ලොව පුරා ප්‍රධාන සමාජ-දේශපාලන ගැටලු ආවරනය කරන එය, ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ ලොව පුරා සමාජවාදී සමානතා පක්ෂවල සහ එහි අනුබද්ධ ශාඛාවල අන්තර්ජාල ප්‍රකාශනයකි.'

ධනේශ්වර පාලක පන්තිය විසින් දියත් කරන ලද යුද්ධවලට සමාජවාදී හා ජාත්‍යන්තරවාදී විරුද්ධවාදියෙකු ලෙස ඔහු ආරක්ෂා කරන දේශපාලන මූලධර්ම, පුටින් පාලන තන්ත්‍රය විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම ඇතුලුව එහි පිලිවෙත්වලට අශමනීය ලෙස සතුරු වන බව, එනම්, බොග්ඩාන්ට එරෙහි තම නඩුව කීතුකර දමන ප්‍රතිවිරෝධතා පැහැදිලි කිරීමට එස්බීයූව කිසිවිටෙක උත්සාහ නොකරයි.

එය හුදෙක් බොරු කීම මගින් ප්‍රතිවිරෝධතාව මග හැරීමට උත්සාහ කරයි. 'ලෝක සමාජවාදී වෙබ් අඩවියේ නියෝජිතයෙකුගේ උපදෙස් මත ක්‍රියා කරන' බොග්ඩාන්ගේ ක්‍රියාකාරකම්, 'යුක්‍රේන භූමිය මත රුසියානු ආක්‍රමනශීලී යුද්ධය කරගෙන යාමට සහාය දීම සහ එය යුක්ති සහගත කිරීම...' අරමුනු කර ඇති බව අධිචෝදනා පත්‍රය කියා සිටී.

වචනයක් වචනයක් පාසා බොරු ය. පුටින් තන්ත්‍රය කෙරෙහි දක්වන සතුරුකමට සමගාමීව, රුසියානු ආක්‍රමනයට හජාජාක, එහි අනුබද්ධ සංවිධාන සහ ලෝසවෙඅ හි විරුද්ධත්වය, ආක්‍රමනයේ පලමු දිනයේ සිට ම පලකල ලිපි සිය ගනනක ලේඛනගත කර ඇති දේශපාලන යතාර්ථයකි.

2022 මාර්තු 21, සඳුදා, යුක්‍රේනයේ කියෙව්හි සාප්පු සංකීර්නයකට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු සිදු වූ විනාශය මධ්‍යයේ ජනතාව රැස් වෙති. (ඒපී ඡායාරූප/රොද්‍රිගෝ ඒබීඩී) [AP Photo/Rodrigo Abd]

රුසියානු ආක්‍රමනය සිදුවූ 2022 පෙබරවාරි 24, හජාජාක ලෝසවෙඅ හි, “පුටින් ආන්ඩුවේ යුක්‍රේන ආක්‍රමනයට සහ එක්සත් ජනපද-නැටෝ යුද ඝෝෂාවට විරුද්ධ වනු! රුසියානු සහ යුක්‍රේන කම්කරුවන්ගේ එකමුතුව සඳහා!' යන මැයෙන් ප්‍රකාශයක් පල කලේය. එය ආරම්භ වූයේ මෙසේය:

'හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය යුක්‍රේනය තුලට රුසියානු මිලිටරි මැදිහත්වීම හෙලා දකී. එක්සත් ජනපද හා නැටෝ බලවතුන්ගේ ප්‍රකෝප කිරීම් සහ තර්ජන පැවතියේ වුවත්, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමට, සමාජවාදීන් හා පන්ති සවිඥානික කම්කරුවන් විරුද්ධ විය යුතුය. 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඇරඹුනු මෙම ව්‍යසනය, ව්ලැඩිමීර් පුටින් විසින් නියෝජනය කරන ධනේශ්වර පාලක පන්තියේ අවශ්‍යතා සඳහා සේවය කරන තරයේම ප්‍රතිගාමී දෘෂ්ටිවාදයක් වන රුසියානු ජාතිකවාදයේ පදනම මත වලක්වා ගත නොහැක.'(සිංහල පරිවර්තනයෙන් ගන්නා ලදී)

'අවශ්‍ය වන්නේ, 1917ට පෙර පැවති සාර්වාදයේ විදේශ ප්‍රතිපත්තිය වෙත ආපසු යාම නොවේ. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් ආවේශය ලැබූ හා සෝවියට් සංගමය කම්කරු රාජ්‍යයක් ලෙස නිර්මානය කිරීමට තුඩු දුන් සමාජවාදී ජාත්‍යන්තරවාදය රුසියාව තුල සහ ලොව පුරා පුනර්ජීවනය කිරීමයි. යුක්‍රේනය ආක්‍රමනය කිරීමට පුටින් පාලන තන්ත්‍රය විසින් දෙන ලද කවර සාධාරනීකරනයක් වුව ද සේවය කරනු ඇත්තේ, රුසියානු හා යුක්‍රේන කම්කරු පන්තිය බෙදීමට ද ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට ද වේ.'(සිං ප)

'පසුගිය සතියේ පුටින් විසින් කරන ලද ප්‍රධාන ප්‍රකාශ දෙක තුලින්ම සිය ක්‍රියාවන් යුක්ති සහගත කර ඇත්තේ එක්සත් ජනපදයේ ප්‍රකෝප කිරීම් සහ අපරාධ පෙන්නුම් කරමිනි. වොෂින්ටනයේ කුහකත්වය පිලිබඳ ඔහුගේ හෙලාදැකීම් බෙහෙවින් කරුනු වශයෙන් සත්‍ය බවට විවාදයක් නැත. එහෙත් ඔහු හුවා දැක්වූ දරුනු කොමියුනිස්ට් විරෝධී සහ විජාතික භීතිකාවේ දෘෂ්ටිවාදය ද ඔහු ආරක්ෂා කරන බව කියන අවශ්‍යතා ද තරයේම ප්‍රතිගාමී වේ. එය, යුක්‍රේනයේ සහ ලොව පුරා කම්කරුවන්ට තබා රුසියාවේ කම්කරු පන්තියේ පුලුල් කොටසකටවත් ආයාචනා කිරීමට අපොහොසත් ය. ඔක්තෝබර් විප්ලවය හා බහු ජාතික රාජ්‍යයක් ලෙස සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංඟමයේ පැවැත්ම හෙලා දකිමින්, දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය විසින් ගෙන ගිය වීරෝධාර අරගලය උත්කර්ෂයට නැංවීමේ පුටින්ගේ නරුමත්වය රුසියානු සහ යුක්‍රේන කම්කරු පන්තියේ සැලකිය යුතු කොටසකගේ පිලිකුලට ලක්වනු ඇත.(සිං ප)'

අධිරාජ්‍යවාදයට එරෙහි සමාජවාදී විරෝධය ඕනෑම ආකාරයක ජාතික ස්වෝත්තමවාදයකට නොගැලපෙන බව ජාත්‍යන්තර කමිටුව අවධාරනය කලේය, එබැවින් පුටින් තන්ත්‍රය සහ එහි ක්ෂමාලාපකයින් විසින් ආක්‍රමනය සඳහා දෙන ලද සියලු යුක්තිසහගත කිරීම් එය ප්‍රතික්ෂේප කලේය. 'ජාතික ආරක්ෂාව' පිලිබඳ ඔවුන්ගේ ආයාචනය සමාජවාදීන්ට පිලිගත නොහැකි විය. අධිරාජ්‍යවාදයේ පරාජය සහ එය පෙරලා දැමීම හැකි වූයේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලය තුලින් පමනි. හජාජාක ප්‍රකාශය ට්‍රොට්ස්කිගේ වචන උපුටා දැක්වීය: “ඒ සඳහා යුද්ධයේ සිතියම නොව පන්ති අරගලයේ සිතියම අනුයා යුතුය, එය කල හැක්කේ, දැනටමත් එනම් සාමයේ අවධිය තුල, ජාතික රාජ්‍යයට එරෙහිව අශමනීය යුද්ධය ප්‍රකාශකොට ඇති එම පක්ෂයට පමනි.”

බොග්ඩාන් සයිරොටියුක්

හජාජාක “යුද්ධය වහා අවසන් කරන ලෙස” ඉල්ලා සිටි අතර මෙසේ පැහැදිලි කලේ ය: “යුක්‍රේනය ආක්‍රමනයට විරුද්ධවන අතරේම, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කරන බවට ප්‍රකාශ කරන, කුහකකමින් ලේ තවරාගත් එක්සත් ජනපද/නැටෝ අධිරාජ්‍යවාදයේ පිලිවෙත් අපි හෙලා දකිමු.”

මෙම දේශපාලන ප්‍රකාශය, යුද්ධය ආරම්භයේ සිට හජාජාක හා ලෝසවෙඅ වැඩකටයුතුවලට මග පෙන්වූ මූලධර්ම හා ප්‍රතිපත්ති විස්තාරනය කලේය.

2022 පෙබරවාරි 26 වන දින ජාත්‍යන්තර කමිටුව ජාත්‍යන්තර වෙබිනාර් රැස්වීමක් පැවැත්වූ අතර, ඒ තුල යුද්ධයට එරෙහි සිය විරෝධය දැඩි ලෙස ඉදිරියට ගෙන ගියේය. කථිකයන් අතර, මට අමතරව, ජාත්‍යන්තර කමිටුවේ ඔස්ට්‍රේලියානු ශාඛාවේ දිගුකාලීන නායකයෙකු වූ නික් බීම්ස්, ජර්මනියේ ජාත්‍යන්තර කමිටුවේ නායකයෙකු වන ජොහැන්නස් ස්ටර්න්, බ්‍රිතාන්‍යයේ හජාජාක ශාඛාවේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන තෝමස් ස්ක්‍රිප්ස්, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් වන ජෝසප් කිෂෝර් සහ සසප (එක්සත් ජනපදය) තවත් ප්‍රමුඛ සාමාජිකයෙකු වන ඉවාන් බ්ලේක් ද විය.

නැටෝවේ හා රුසියාවේ ප්‍රතිපත්තිවලට එරෙහිව, යුද්ධයේ මුල් දිනවල දී ම, හජාජාක පුකාශයට පත්කල සප්‍රතිපත්තික විරුද්ධත්වය කිසිවිටෙකත් වැනෙනසුලු වූයේ නැත.

හජාජාක සමග වයිජීබීඑල් සහෝදරවරුන්ගේ සම්බන්ධය, මුලුමනින්ම පාහේ යුද්ධය පුපුරා යාම සමග සමපාත විය. ඔවුන් හරියටම හජාජාක වෙත ආකර්ෂනය වූයේ, යුද්ධය සහ රුසියානු හා යුක්‍රේන තන්ත්‍රයන්ගේ ජාතික ස්වෝත්තමවාදය යන දෙකටම එරෙහි එහි විරුද්ධත්වය හේතුවෙනි.

එස්බීයූ අධිචෝදනාවට අනුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, “2022 පෙබරවාරි 24 වන දින ආරම්භ වූ යුක්‍රේනයට එරෙහි රුසියානු සමූහාන්ඩුවේ සන්නද්ධ ආක්‍රමනයට සම්බන්ධිත රුසියාවට පක්ෂපාතී ප්‍රබන්ධයන්, ලෝසවෙඅ හි සහ අනෙකුත් කොමියුනිස්ට්වාදයට-නැඹුරු, මාධ්‍ය, ලිපි සහ ප්‍රකාශන මගින් පතුරුවා හැරීම සඳහා සූදානම් කිරීමේ, ලිවීමේ, සංස්කරනය කිරීමේ සහ ප්‍රකාශයට පත් කිරීමේ කර්තව්‍යය බොග්ඩාන් ට පවරා තිබේ… මෙයට ඔහු [බොග්ඩාන් සයිරොටියුක්] තම ස්වේච්ඡා අනුමැතිය ලබා දුන්නේය.”

මෙම ප්‍රකාශයට සහය ගොනුකර ගනුවස්, “යුද්ධයට එරෙහි ව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා!” යන මැයෙන් යුත් වයිජීබීඑල් ප්‍රකාශයක් වෙත එස්බීයූ අවධානය යොමු කරයි. 2022 ඔක්තෝබර් 12 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද මෙම ලේඛනයට, '2014 දී ආරම්භ වූ රුසියානු සමූහාන්ඩුවේ සන්නද්ධ ආක්‍රමනය සාධාරනීකරනය කරන කොටස්, ප්‍රකාශ, වාක්‍ය සහ වාක්‍ය ඛන්ඩ...' ඇතුලත් බව එය කියා සිටී.

මෙම ප්‍රකාශය බොරුවක් බව, සැබෑ ලේඛනය පැහැදිලිවම හෙලිදරව් කරයි. යුක්‍රේනය ආක්‍රමනයට සහයෝගය දක්වන එක් වාක්‍යයක්වත් වයිජීබීඑල් ප්‍රකාශනයේ නැත. එස්බීයූ, අංක 4, 7, 8, 10 සහ 13 ඡේද ඇතුලුව තෝරාගත් ඡේදවල පමනක් වාක්‍ය ඛන්ඩ, ලේඛනයෙන් තෝරාගෙන උපුටා දක්වයි. 4 සිට 8 දක්වා වන ඡේද— 5 සහ 6 ඡේද මගහැර යාමෙන් එස්බීයූ ව, වයිජීබීඑල් විශ්ලේෂනයේ අඛන්ඩතාවයට බාධා කරයි—එක්සත් ජනපදය හා එහි නැටෝ සහචරයින් විසින් යුද්ධය උසිගැන්වීම යටින් පවත්නා වෛෂයික ධනේශ්වර අර්බුදය සහ දේශපාලන අරමුනු පිලිබඳ සංක්ෂිප්ත මාක්ස්වාදී පැහැදිලි කිරීමක් සපයයි. එය මෙසේ සඳහන් කරයි:

4. එක්සත් ජනපදයට ස්ථාපනය කිරීම අවශ්‍ය කරන නව ලෝක පර්යාය, මෙම පින්තූරය මගින් පැහැදිලිව දිස්වේ: රුසියාවේ හා චීනයේ ස්වාභාවික, කාර්මික-තාක්ෂනික හා මානව සම්පත් මත ඍජු පාලනය අත්කර ගැනීම සඳහා එම රටවල් අධිරාජ්‍යවාදයට යටත් කරගෙන බෙදා ගත යුතුය(සිං ප).

5. යලි බෙදනු ලබන ලෝකය තුල තමන්ගේ ස්ථානය ලබා ගැනීම සඳහා යුරෝපීය අධිරාජ්‍යවාදී බලයෝ එක්සත් ජනපදයට සහයෝගය දෙති. ඒ අතර ම, එක්සත් ජනපදය විසින් සලාක මත තබා තිබෙන යුරෝපීය අධිරාජ්‍යවාදය, එයට පුර්වයේ පැවතියා වූ විභූතිය යලි අත් කර ගැනීම සඳහා ලෝකය යලි බෙදීමක් තුලින් සිය ආර්ථික හා භූ-දේශපාලනික දුර්දසාවෙන් එලියට ඒමේ මාවතක් දැකගනී.(සිං ප)

6. පැසිෆික් කලාපය තුල චීනයට එරෙහි සිය අරගලය තුල දී, සිය අවශ්‍යතාවන්ට ගැලපෙන තරමට පමනක්, ජපානය, දකුනු කොරියාව හා ඕස්ට්‍රේලියාව එක්සත් ජනපදයට සහයෝගය දෙති. තමන්ට චීනය සමග තරඟ කිරීමට ඉඩ ලබා දෙන තාක් කල්, මෙම රටවල් එක්සත් ජනපදයට සහයෝගය දෙනු ඇත. බලපෑම් කල හැකි කලාප බෙදාගැනීමේ ක්‍රියාදාමය, යුරෝපය තරම් ම යටපත්ව තිබූ පැසිෆික් ධනේශ්වර බලයන් අතර ද පරස්පර විරෝධයන් පනගන්වනු ඇත.(සිං ප)

7. 2008 අර්බුදය ලොව පුරා පන්ති අරගල පුනර්ජීවනය කලේය. 2010 ගනන් මුල අරාබි වසන්තය, මෙම පුනර්ජීවනයෙහි විචිත්‍ර ප්‍රකාශනයකි. එය එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයට, වඩා තීරනාත්මක පියවරයන් ගැනීමට බල කලේ ය. 2014 දී ඔවුහු යුක්‍රේනයේ කුමන්ත්‍රනයට සහයෝගය දුන් හ. මෙම කුමන්ත්‍රනය හරහා, රුසියාවට එරෙහි අනාගත යුද්ධයක දී, මුරපොලක් ගොඩනැගීම සඳහා සියලු කොන්දේසි නිර්මානය කරගැනීමට එක්සත් ජනපදයට හැකි විය.(සිං ප)

8. 2020 දී පුපුරා ගිය කෝවිඩ්-19 වසංගතය, ධනවාදයේ පරස්පර විරෝධයන් ගැඹුරු කලේ, රුසියාවට හා චීනයට එරෙහි යුද්ධය සඳහා සූදානම් වීම් ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ වඩා වේගවත් ප්‍රසාරනයක් සඳහා ප්‍රේරකය බවට පත්වෙමිනි. “එක් චීනයක්” පිලිගැනීමේ පිලිවෙත අත්හැර දැමීමේ ද සෙලෙන්ස්කිගේ “ක්‍රිමියානු වේදිකාවට” සහයෝගය දුන් 2021 අගෝස්තුවේ පැවති නැටෝ සමුලුව තුල ප්‍රකාශයට පත් වූ ආකාරයෙන් යුක්‍රේනයට දෙන සහයෝගය ඉහල දමමින් ද වඩා ප්‍රකෝපකාරී මාවතක් අනුගමනය කිරීමට එක්සත් ජනපදය කටයුතු කලේ ය.(සිං ප)

අර්ථභාරීව, පුටින් පාලන තන්ත්‍රය පිලිබඳ දරුනු චෝදනාවක් ඉදිරිපත් කරන වයිජීබීඑල් ප්‍රකාශනයේ 9 වන ඡේදය එස්බීයූ ව විසින් ඉවත් කෙරේ. එම ඡේදයේ මෙසේ සඳහන් වේ:

ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රතිගාමී පාලන තන්ත්‍රය ඉස්මතු වූයේ, ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් සෝවියට් සංගමය ද්‍රෝහී ලෙස විසුරුවා හැර, ධනවාදය පුනස්ථාපනය කිරීමෙනි. අවසන් විග්‍රහයේ දී පුටින්ගේ පිලිවෙත්වල ඉලක්කය වන්නේ, ඉහලින් එන බටහිර අධිරාජ්‍යවාදයේ පීඩනයෙන් ද වඩාත් තීරනාත්මක ලෙස පහලින් වර්ධනය වන රුසියානු කම්කරු පන්තියේ ගමනින් ද පශ්චාත්-සෝවියට් කතිපයාධිකාරයේ ධනය ආරක්ෂා කරදීම යි.(සිං ප)

පුටින් පාලන තන්ත්‍රය පිලිබඳ වයිජීබීඑල් විවේචනය ඉදිරියට ගෙනයන 10 ඡේදය එස්බීයූ ව උපුටා දක්වයි:

මෙම භූ-දේශපාලනික හා සමාජීය සන්දර්භය ඇතුලත, පෙබරවාරි 24දා පුටින් සිදු කල අතිධාවනකාරී යුක්‍රේන ආක්‍රමනය වනාහි, නැටෝව අඛන්ඩව නැගෙනහිර දක්වා ප්‍රසාරනය කිරීම කෙරෙහි රුසියානු කතිපයාධිකාරය දැක්වූ ප්‍රතිචාරය විය. පුටින්ගේ ආක්‍රමනයට තුඩු දෙමින් එක්සත් ජනපද-නැටෝ පාර්ශවය විසින් “රතු සීමා” පැන අවසන් සාකච්ඡා වටය නිම කෙරුනු තතු යටතේ, පුටින් පාලන තන්ත්‍රයේ ප්‍රධාන අරමුන වූයේ, එහි “විශේෂ මෙහෙයුමෙහි” පීඩනය යෙදීම මගින් එක්සත් ජනපද-නැටෝ සන්ධානය සමග සාකච්ඡාවල නව වටයක් ලබා ගැනීම යි [අවධාරනය ඈඳිනි].(සිං ප)

වයිජිබීඑල් විසින් පුටින්ගේ ආක්‍රමනය 'අතිධාවනකාරී' ලෙස ගුනාංගීකරනය කිරීම, එස්බීයූ ව විසින් 'රුසියානු ගැති ප්‍රබන්ධයක්' යැයි කියාපාන දෑ සමග කිසිසේත් නොගැලපේ. වයිජීබීඑල් ප්‍රකාශය පුටින් ගැති ප්‍රචාරනයක් ලෙස නිරූපනය කිරීමට දරන උත්සාහයේ බිඳෙනසුලු බව පැහැදිලිවම හඳුනා ගනිමින්, ලේඛනයෙන් තවදුරටත් උපුටා දැක්වීම් නොකිරීමට තීරනය කරන එස්බීයූව, 11 සහ 12 ඡේදවල වයිජීබීඑල් විසින් පුටින්ගේ ප්‍රතිපත්ති හෙලා දැකීමේ වර්ධනයන් මගහැර යයි. ඒවායේ මෙසේ සඳහන් ය:

11. රුසියානු ධනේශ්වරය බටහිර සමග “සම හවුල්කාරීත්වයක්” අපේක්ෂා කිරීම, බොහෝ මනෝරාජික මායාවන්ගෙන් එකක් විය. ස්ටැලින්ගේ “මහජන පෙරමුනු” පිලිවෙතින් හා “සාමකාමී සහජීවනයෙන්” ඓතිහාසික ව තද්භව වන මෙම මායාව, 1990 ගනන්වල දී නැගී එමින් පැවති රුසියානු ධනපති පන්තිය අතර වර්ධනය වූ එකකි.(සිං ප)

12. පුටින් පාලන තන්ත්‍රය මෙම මනෝරාජික මායාවෙන් අත්මිදී නැත. එහි සමස්ත පිලිවෙත ලෙස පැවතියේ, බටහිර සමග උපාමාරු දැමීම හා සම්මුති සෙවීම ය. රුසියානු කතිපයාධිකාරයට බටහිර සමග “සම තත්ත්වයක සිටීම” අවශ්‍ය වුයේය. රුසියාව අල්ලාගැනීමේ අභිලාෂයන් සහිත බටහිර අධිරාජ්‍යවාදය, පුටින් පාලන තන්ත්‍රයේ මෙම සමාදානමය හඬ ගැන තැකීමක් කලේ නැත.(සිං ප)

එස්බීයූ ව විසින් වයිජීබීඑල් ප්‍රකාශයේ 17 වැනි ඡේදය උපුටා නොදැක්වීමට ද තීරනය කර ඇත:

පුටින්ගේ යුක්‍රේන ආක්‍රමනයෙන් පසුව යුද්ධය ගත් මාවතෙන් වඩවඩාත් තහවුරු කෙරෙන්නේ මෙම ආක්‍රමනයෙහි ප්‍රතිගාමී ස්වභාවයයි. බටහිර අධිරාජ්‍යවාදයේ තර්ජනයෙන් රුසියානු ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීම සඳහා සටන් කරන්නේ යයි කියාපාන පුටින් යතාර්ථයේ දී ආරක්ෂා කරමින් සිටින්නේ රුසියානු කම්කරු පන්තිය හා රටෙහි අමු ද්‍රව්‍ය සම්පත් සූරාකෑමට රුසියානු කතිපයාධිකාරයට පවතින නිදහස පමනි.(සිං ප)

18 වැනි ඡේදය ද උපුටා නොදක්වන්නේ, රුසියානු ප්‍රචාරක උපකරන ලෙස බොග්ඩාන්, වයිජීබීඑල් සහ ලෝසවෙඅ පිලිබඳ එස්බීයූ හි අධිචෝදනා තවදුරටත් කීතු කෙරෙන බැවිනි. මෙම ඡේදය එය තහවුරු කරයි

පුටින් තන්ත්‍රයට රුසියානු සමාජයෙහි වර්තමාන අර්බුදයෙන් එලියට ඒමේ මාවතක් නැත. අනාගතයේදී ද එවැනි මගක් නොලැබෙනු ඇත. පුටින් පාලන තන්ත්‍රයේ සියලු මිලිටරි හා දේශපාලනික ක්‍රියාකාරකම්, බටහිර අධිරාජ්‍යවාදයේ ප්‍රහාර තීව්‍ර කිරීමටත්, රුසියානු, යුක්‍රේනියානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොන්දේසි ඛාදනය කිරීමටත් පමනක් දායක වනු ඇත.

යුද්ධය ගෙන ආහැකි ව්‍යසනය ගැන පූර්වයෙන් අනතුරු ඇඟවූ 19 සහ 20 ඡේද උපුටා දැක්වීමට ද එස්බීයූ අසමත් වෙයි.

19. ධනේශ්වර පද්ධතියෙහි රාමුව තුලින් සිතා බලන කල, වත්මන් යුද්ධයේ අපේක්ෂා අතිශයින් ම අඳුරු සහගතය. පලමුව, මෙම යුද්ධය දීර්ඝ-කාලීන ස්වභාවයක් අත් කරගනු ඇති අතර, එය හුදෙක් රුසියාව හා යුක්‍රේනය අතර සටනක් ලෙසට සීමා නොවේ. එය වනාහි, තුන්වැනි ලෝක යුද්ධයක තර්ජනය නො වැලැක්විය හැකි සේ ලෝක තත්ත්වය අවුලුවා ලන පලමු පියවරයි. ඉදිරි යුද්ධයකට ලෝකයේ සියලු රටවල් සහභාගි වනු ඇත(සිං ප).

20. දෙවනුව, මේ වන විට තරයේම මානව-විරෝධී ආස්ථානයක සිටින පාලක පන්තීන්ගේ පිලිවෙත් මගින්, යුද්ධයෙහි ස්වභාවය තීන්දු කෙරනු ඇත. පාලක පන්තීන් මෙම ගැටුමේ දී න්‍යෂ්ටික ආයුධ භාවිතය දක්වා සාහසිකව ගමන් ගනිමින් සිටින්නේ, ඒ මගින් අවසන් මහා න්‍යෂ්ටික සංග්‍රාමයක සැබෑ ඉඩකඩ නිර්මානය කරමිනි. අධිරාජ්‍යවාදී හා ධනපති ආන්ඩුවල උමතු පිලිවෙත් වෙතින් ග්‍රහලෝකය විනාශ කිරීමේ තර්ජනය පැනනගී. පාලක ධනපති ප්‍රභූවේ සැහැසිකම් විසින් තරුනයන්ට බලකෙරෙන්නේ මොවුන් තමන්ට මොනම අනාගතයකටවත් ඉඩ තබනු ඇත්දැයි ප්‍රශ්න කිරීමටයි.(සිං ප)

එස්බීයූ ව විශේෂයෙන් මෙම ලේඛනය බොග්ඩාන් සයිරොටියුක් ගේ රාජද්‍රෝහී ක්‍රියාකාරකම් පිලිබඳ සාක්ෂියක් ලෙස උපුටා දක්වයි. නමුත් මෙම ලේඛනයේ පෙල, බොග්ඩාන් සහ වයිජීබීඑල් පුටින්-ගැති ප්‍රබන්ධයක් ඉදිරියට ගෙන යන බවට වන චෝදනාව නිෂ්ප්‍රභ කරයි.

එපමනක් නොව, වඩාත් තීරනාත්මකව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය “රුසියානු ප්‍රචාරක සහ තොරතුරු ඒජන්සියක්” බවට වන එහි අභූත සහ බොරු ප්‍රකාශය සනාථ කිරීමට යුක්‍රේනියානු පාලන තන්ත්‍රය නිශ්චිත සාක්ෂි ලේෂමාත්‍රයක් හෝ ඉදිරිපත් නොකරයි. මෙම කැත අවලාද සමග, සෙලෙන්ස්කි පාලන තන්ත්‍රය—රුසියාව සමග පවතින යුද්ධය නොතකා—ට්‍රොට්ස්කිවාදය කෙරෙහි ස්ටැලින්වාදයේ උමතු සහගත වෛරයේ ශේෂව පවත්නා බලපෑම එලිදරව් කරයි. රුසියාවේ මෙන්, යුක්‍රේනයේ බලය ස්ටැලින්වාදී නිලධරයන්ගේ සිට ධනේශ්වර කතිපයාධිකාරීන් වෙත පැවරීමට, දේශපාලන පොලිසියේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් අවශ්‍ය නොකරයි. මොස්කව් නඩු විභාග සහ 1936-39 භීෂන යුගයේ දී ට්‍රොට්ස්කිවාදීන්ට එරෙහිව ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් භාවිතා කරන ලද බොරු ගෙතීමේ සහ මඩගැසීමේ එම ශිල්පීය ක්‍රමයන් ම කියෙව්හි ද ක්‍රියාත්මක වේ.

බොග්ඩාන් සයිරොටියුක් රාජද්‍රෝහී චෝදනාවට ලක්ව සිටින අතර මරනීය දන්ඩනයට සමාන ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමේ තර්ජනයට මුහුන දෙයි. එහෙත් බොග්ඩාන්ට එරෙහි චෝදනා මුලුමනින්ම පදනම් වී ඇත්තේ, ඔහු සමාජවාදී ජාත්‍යන්තරවාදියෙකු ලෙස, සෙලෙන්ස්කි සහ පුටින්ගේ ධනේශ්වර තන්ත්‍රවලටත්, යුක්‍රේන සහ රුසියානු ජීවිත ලක්ෂ ගනනකින් වන්දි ගෙවා ඇති යුද්ධයටත් එරෙහිව සිය විරෝධය ප්‍රකාශ කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල ලිපි සහ කථා මත ය.

2023 අප්‍රේල් 26 වැනි බදාදා යුක්‍රේන සහ රුසියානු හමුදා අතර දරුනු සටන් පැවති යුක්‍රේනයේ බක්මුට් හි ගොඩනැගිලි වලින් දුමාරය නැඟේ. [ඒපී ඡායාරූප/ලිබ්කොස්] [AP Photo/Libkos]

යුක්‍රේන තන්ත්‍රයේ සහ යුද්ධයේ ප්‍රතිගාමී ස්වභාවය හෙලිදරව් කරන, “යුක්‍රේනයේ පුරවැසියන් ද ඇතුලුව ලෝකයේ සෑම කෙනෙකුටම ප්‍රවේශ විය හැකි” තොරතුරු, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලද ඔහුගේ කථා සහ ලේඛන ඔස්සේ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් එස්බීයූ ව බොග්ඩාන්ට චෝදනා කරයි.

බොග්ඩාන්ගේ 'සාපරාධී ක්‍රියා නැවැත්වීමට හැකි වූයේ, නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක මැදිහත්වීම මත පමනක්' බව එස්බීයූ ව ප්‍රකාශ කරයි. යුක්‍රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපද-නැටෝ වක්‍ර යුද්ධය දියත් කෙරෙන බවට කරන ප්‍රකාශයන්, කෙතරම් නම් විනාශකාරී ස්වයං-අනාවරනයක්ද?

යථාර්ථය නම් යුක්‍රේනය යනු, ජනතාවට කිව නොහැකි දුක් වේදනා හා මරනය ගෙන දුන් ප්‍රතිපත්තිවලට එරෙහි මහජන විරෝධය ප්‍රකාශයට පත්වීම වැලැක්වීමට පොලිස් විධික්‍රම යොදා ගන්නා ෆැසිස්ට්වාදී ආඥාදායකත්වයකි.

බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ, හරියටම සෙලෙන්ස්කි තන්ත්‍රයට එරෙහි මහජන විරෝධය වැඩෙන අවස්ථාවක ය. මැයි 18 දා, යුක්‍රේන හමුදාවේ බඳවාගැනීම් ජාලය විශාල වශයෙන් පුලුල් කරන, නව සහ විශාල වශයෙන් මහජන පිලිකුලට ලක්වූ බලමුලු ගැන්වීමේ නීතියක් ක්‍රියාත්මක වේ. නිව් යෝර්ක් ටයිම්ස් සඟරාව පවා 'වෙහෙසට පත් වූ, බොහෝ විට අධෛර්යයට පත් වූ භට කන්ඩායම්වලට සහනයක් දීම සඳහා නව හමුදා සොයා ගැනීමට' සෙලෙන්ස්කිට පවතින හැකියාව ගැන සැක පල කර ඇත.

අප්‍රේල් 30 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ලිපියක, සෙලෙන්ස්කි තන්ත්‍රයේ හිංසාවට ලක්වූ යුක්‍රේනියානු සමාජවාදියෙකු වන මැක්සිම් ගෝල්ඩාර්බ් මෙසේ වාර්තා කලේය: “අන් කෙනෙකුගේ ආත්මාර්ථකාමී අරමුනු සඳහා මිය යාමට අකමැති බොහෝ යුක්‍රේන පිරිමින්, මංමුලා සහගත ලෙස රටින් පලා යාමට උත්සාහ කරති.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය:

ලේ වැකි දංගෙඩියට යවනු ලබන්නේ ධනවත් සුලුතරය නොව, දුප්පත් බහුතරය යි. එනම් රැකියා විරහිතයන්, කම්කරුවන්, ගොවීන්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, කාර්යාල සේවකයින් ය. දැන් නව නීතිය සම්මත වීමත් සමඟ, සතුන් මෙන් දඩයම් කර අල්ලාගත් මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි මිනිසුන් සමග, පෙරමුනට යවන සංඛ්‍යාව මීට වඩා කිහිප ගුනයකින් වැඩි වනු ඇත.

එසේම, මෙම යුද්ධයෙන් ප්‍රතිලාභ ලබන අයගේ ලාභය ද බොහෝ වාරයකින් වැඩි වනු ඇත ... මෙම දැවැන්ත ලාභ, මිලිටරි-කාර්මික සංකීර්නය, ඇමරිකානු හා යුරෝපීය සංස්ථාපිතයේ එහි ලොබිකරුවන් (නීති සම්පාදකයින්ට බලපෑම් කිරීමේ සංවිධානාත්මක උත්සාහයකට සහභාගී වන පුද්ගලයින්) සහ යුක්‍රේන කතිපයාධිකාරියේ ඉහල තනතුරු දරන්නන් අතර බෙදී යනු ඇත.

බොග්ඩාන් සයිරොටියුක්ගේ ජීවිතය පවතින්නේ අනතුරේ ය. යුක්‍රේනය තුල පවතින ත්‍රස්ත පරිසරය තුල, ඔහුට තමාව ආරක්ෂා කර ගැනීමට ඇති සියලු මාර්ග අහිමි කර ඇත. විත්තියේ නීතීඥයින්ට එරෙහිව ආන්ඩුව එල්ල කරන තර්ජන හේතුවෙන්, නිසි නීති නියෝජනයක් ලබාගැනීමේ උත්සාහයන් ව්‍යර්ත වී ඇත. සැලකියයුතු කායික අන්තරායකට මුහුන දීමට සිදුවෙතැයි යන භීතියෙන්, නීතීඥයින් පස් දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක්, බොග්ඩාන් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබේ.

බොග්ඩාන් සයිරොටියුක් දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනියට එරෙහිව සෝවියට් ජයග්‍රහනය වෙනුවෙන් මැයි 9 දින පැවති රැලියකදී.

බොග්ඩාන් ආරක්ෂා කිරීමේ සහ ඔහුගේ නිදහස සුරක්ෂිත කර ගැනීමේ සටනේ වැදගත්කම යුක්‍රේනයෙන් ඔබ්බට විහිදේ. ඔහුගේ සිරගත කිරීම, අධිරාජ්‍යවාදය ලොව පුරා සිය මිලිටරි මෙහෙයුම් තීව්‍ර කරන විට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත වැඩෙන ජාත්‍යන්තර ප්‍රහාරයේ තවත් උදාහරනයකි. ජූලියන් අසාන්ජ් විනාශ කිරීමේ දේශපාලන කුමන්ත්‍රනය, ලොව පුරා අනුකාරක සිද්ධි දාමයක් මුදා හලේය.

අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍රවල අපරාධවලට විරුද්ධවක්නෝ සහ ඒවා හෙලිදරව් කරන්නෝ රාජ්‍ය තාඩන පීඩනවලට ලක්වෙති. මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට—පලමුව හා ප්‍රධාන වශයෙන්, සිතීමේ සහ භාෂනයේ නිදහසට—එල්ල කරන ප්‍රහාර සෑම විටම යුක්තිසහගත කෙරෙන්නේ බොරුවේ පදනම මතය.

විරෝධතාකරුවන් යුදෙව්වන් වූවද, ගාසා වැසියන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයේ විරුද්ධවාදීන් යුදෙව් විරෝධීන් ලෙස හෙලා දකිනු ලැබේ. යුක්‍රේනයේ වක්‍ර යුද්ධයට විරුද්ධ වීම සම්බන්ධයෙන් රුසියාවේ ඒජන්තයෙකු ලෙස බොග්ඩාන් සයිරොටියුක් හෙලාදැකීම තුල ක්‍රියාත්මක වන්නේ ද එම බොරුවේ විධික්‍රමය මය.

බොග්ඩාන් සයිරොටියුක් අත්අඩංගුවට ගැනීමට හා හිංසා කිරීමට සැබෑ හේතුව නම්, ඔහු සියලු රටවල පාලක ධනේශ්වර ප්‍රභූවට එරෙහිව යුක්‍රේන, රුසියානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුව සඳහා සටන් කිරීම යි. බොල්ෂෙවික්-ලෙනින්වාදීන්ගේ තරුන රැකවල හි රුසියානු ශාඛාවේ අන්ද්‍රෙයි රිට්ස්කි සහෝදරයා, ජාත්‍යන්තර කමිටුව විසින් පවත්වන ලද 2024 මැයි දින සැමරුමේදී පවත්වන ලද දේශනයකදී ඉතා චතුර ලෙස පැහැදිලි කල පරිදි:

බොග්ඩාන් කල එකම “අපරාධය” වන්නේ, යුක්‍රේනයට සැබවින් ම නිදහස් විය හැක්කේ අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක් ව යුක්‍රේන කම්කරු පන්තිය ගෙන යන ස්වාධීන අරගලය තුලින් පමනක් බවට ඔහුට පැවති විශ්වාසය යි. යුක්‍රේන ජාතිකවාදය උමතු ලෙස වන්දනාමාන කිරීමට එරෙහිව මෙන් ම, පුටින් පාලනයේ ප්‍රතිගාමී රුසියානු ජාතිකවාදයට එරෙහිව ද යුද්ධය පිලිබඳ මාක්ස්වාදී අවබෝධය මත පදනම් වූ ප්‍රතිපත්තිමය දේශපාලන ආස්ථානයක් ඔහු වර්ධනය කලේ ය. අවම වශයෙන් යුක්‍රේනියානුවන් මිලියන භාගයකගේ සහ රුසියානුවන් දස දහස් ගනනකගේ ජීවිත බිලිගෙන ඇති මෙම භාතෘ ඝාතක යුද්ධයට තිත තැබීම සඳහා අපගේ සමස්ත ව්‍යාපාරය මෙන් ම, ඔහු ද රුසියාවේ සහ යුක්‍රේනයේ කම්කරුවන් අධිරාජ්‍යවාදී රටවල කම්කරුවන් සමග එක්සත් කිරීමට සටන් කර ඇත.(සිං ප)

හතරවන ජාත්‍යන්තරයේ වැඩකටයුතුවලට යටින් පවතින මූලික ඉදිරිදර්ශනය පිලිබඳ ප්‍රකාශයක් සමගින් ඔහු සිය ප්‍රකාශය අවසන් කලේය:

යුද්ධයෙන් හා විනාශයෙන් හැර අර්බුදය විසඳීමට කිසිදු ධනේශ්වර පාලනයකට හැකියාවක් නැත, මන්ද වෙනත් ඕනෑම මාර්ගයක් එහි මූලික ධනේශ්වර අවශ්‍යතාවලට පටහැනි වනු ඇත. ධනවාදයේ ප්‍රතිවිරෝධතා ජාතික දේශසීමා තුල සහ පුද්ගලික දේපල ආරක්ෂා කිරීමේ පදනම මත විසඳිය නොහැකියි. යුද්ධවලට තිත තැබීමට සහ මූලික අර්බුදය විසඳීමට හැකි වන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙලින් සන්නද්ධ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමනයි. එහෙත්, එසේ කිරීමට නම්, එය ලොව පුරා සිටින තම සහෝදර සහෝදරියන් සමඟ එක්සත්කම සඳහා සටන් කල යුතුයි.(සිං ප)

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, බොග්ඩාන් සයිරොටියුක් වහාම සිරෙන් නිදහස් කරන ලෙස බල කරන ගෝලීය උද්ඝෝෂනයක් කැඳවුම් කර සිටී. බොග්ඩාන්ගේ නිදහස සඳහා අරගලය, කම්කරුවන්, සිසුන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට කැපවී සිටින සහ, නතර නොකලහොත් මනුෂ්‍ය වර්ගයාට න්‍යෂ්ටික ව්‍යසනයකින් තර්ජනය කරන අධිරාජ්‍යවාදී යුද්ධ උත්සන්නියට විරුද්ධ සියලු දෙනා විසින් භාර ගත යුතුය.

බොග්ඩාන් නිදහස් කරගැනීමේ සටනට එක්වන්න. මෙම ප්‍රකාශය හැකිතාක් පුලුල්ව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්න. මෙම කාරනය සහෝදර කම්කරුවන්, සිසු සගයන් සහ මිතුරන්ගේ අවධානයට යොමු කරන්න. බොග්ඩාන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සමට අත්සන් කිරීමට, ආරක්ෂක උද්ඝෝෂනයේ අරමුදලට දායක වීමට සහ ඔහුගේ නිදහස සඳහා වන සටනේදී පුද්ගලිකව ක්‍රියාකාරී වීමට, wsws.org/freebogdan වෙත පිවිසෙන්න.

Loading